රාවය

සිරියානු සිවිල් යුද්ධය හා සරණාගත අර්බුදය

සිරියානු සිවිල් යුද්ධය හා සරණාගත අර්බුදය

පන්නරය

ඉස්ලාම් ආගමේ සුන්නි-ෂියා නිකාය භේදය වර්ෂ 1400ක් තිස්සේ පැවත එන්නකි. මහම්මත්තුමාගේ අභාවයෙන් පසුව, ඉස්ලාම් ආගමේ නායකයා විය යුත්තේ කවුරුන්ද යන ප්‍රශ්නය පදනම් කොටගෙන ඉහත කී ආරාවුල පැන නැඟුණි. කෙසේ වෙතත්, මහම්මත්තුමාට පසුව ඉස්ලාම් දහමේ ප්‍රථම කාලිෆ්වරයා (මුස්ලිම් සිවිල් හා ආගමික පාලකයා) ලෙස පත්වූයේ උන්වහන්සේගේ හිතවත් උපදේශකයා වූ අබු බකර්ය. සුන්නි මුස්ලිම්වරුන් ඔවුන්ගේ සැබෑ නායකයා සේ සලකන්නේ අබු බකර් තුමා වන අතර ෂියා මුස්ලිම්වරුන් පවසන්නේ නියම නායකතුමා අබු බකර් නොව 4 වැනි කාලිෆ්වරයා ලෙස පත්වුණු (මහම්මත්තුමාගේ ඥාති සහෝදරයා වන) අලී බවයි. මිලියන 17ක ජයග්‍රහණයකින් හෙබි බටහිර ආසියානු රටක් වන සිරියාව තුළ සුන්නි නිකායට අයත් ජනතාවගේ ප්‍රතිශතය 74%ක් වුවද, එරට පාලන බලය හිමිව ඇත්තේ 13%ක් වන ෂියා සුළුතරයටයි. 1971 සිට වර්තමානය දක්වා සිරියාව පාලනය කරනු ලබන්නේ ‘අසාද් පවුල’ විසිනි. සිරියානු යුද හමුදා ජෙනරාල්වරයෙකු වූ හෆීස්-අල්-අසාද් (1930-2000) 1970දී එරට පාලන බලය අල්ලා ගත්තේ හමුදා කුමන්ත්‍රණයක් හරහාය. 1980දී සුන්නි මුස්ලිම්වරුන් ඔහුගේ ෂියා පාලනයට එරෙහිව ක්‍රියාත්මක කළ සන්නද්ධ අරගලය හෙතෙම ඉතා ක්‍රෑර ලෙස මර්දනය කර දැමීය. එතැන් සිට 2000 වසර දක්වාම අසාද් සිරියාව පාලනය කළේ ඒකාධිපතියෙකු ලෙසය.

පුත්‍ර සමාගම
1983-84 කාලයේදී හෆීස්-අල්-අසාද්ගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් පිරිහෙන්නට විය. එවකට සිරියාවේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළේ ජනපති හෆීස්ගේ බාල සහෝදරයා වූ රිෆාට් අලි අල් අසාද්ය. තමාගෙන් පසු ජනපති පුටුවට රිෆාට් ගෙන ආ යුතුයැයි හෆීස් මුලින් සිතුවද, සිය සහෝදරයා තමන්ට එරෙහිව හමුදා කැරැල්ලක් සංවිධානය කරන වග ආරංචි වූ පසු හෙතෙම රිෆාට් සිරියාවෙන් පිටුවහල් කර දැමීය. ඉනික්බිති සිය වැඩිමහල් පුතු බැසෙල් නායකත්වයට පුහුණු කිරීමට හෆීස් අදිටන් කරගත්තද, 1994දී ලුතිනන් කර්නල් බැසෙල් -අල්-අසාද් හදිසි රිය අනතුරකින් මියගිය හෙයින් කනිටු පුත්‍ර බෂාර්-අල්-අසාද්ට එම අවස්ථාව හිමිවිය. හදිසි හෘදයාබාධයකින් හෆීස් මරණයට පත්වූ පසුව (2000 ජූලි 17 දින) වෘත්තියෙන් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු හා නිලයේ හමුදා මාෂල්වරයෙකු වූ බෂාර්-අල්-අසාද් සිරියාවේ ජනපති ලෙස දිවුරුම් දුන්නේය. 2007දී පැවති ජනමත විචාරණයෙන් 97.6%ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අසාද් 2014 ජනපතිවරණයෙන්ද ඡන්ද 88.7%ක් ලබාගෙන තවත් වසර 7කට සිය නිල කාලය දීර්ඝ කරගත්තේය. එහෙත් සිරියාවේ විකල්ප මාධ්‍ය හා විදෙස් මාධ්‍යවේදීන් පවසන්නේ ඉහත කී මැතිවරණ, දූෂණයෙන් හා වංචාවෙන් ජයගත් ඒවා බවයි. ෂියා මුස්ලිම්වරුන්ට ක්‍රෑර ලෙස සැලකූ, සුන්නි සුළුතරය නියෝජනය කළ ඉරාක ජනාධිපති සදාම් හුසේන් සමඟ ආගමික වශයෙන් මතවාදී ගැටුම් තිබුණද, ඇමරිකාවේ ඉරාක ආක්‍රමණයට එරෙහිව බෂාර් අල්-අසාද් ප්‍රසිද්ධියේම තම විරෝධය ප්‍රකාශ කළේය.

ගැටුමේ ඇරඹුම
ඉරාක ආක්‍රමණය සම්බන්ධයෙන් බෂාර්-අල්-අසාද් ගත් ස්ථාවරය, එවකට ඇමරිකානු ජනපතිවරයා වූ ජෝජ් බුෂ්ගේ දැඩි උදහසට හේතුවිය. අසාද්ගේ රජයට විරුද්ධව කුර්දිවරුන්, සුන්නි මුස්ලිම් කණ්ඩායම් හා අනෙකුත් දේශපාලන ක්‍රියාකාරීන් ඔහුට එරෙහිව සංවිධානය කිරීමටත්, ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ අසාද් රෙජීමය විවේචනය කිරීමටත් ජෝජ් බුෂ්, ඇමරිකානු රහස් ඔත්තු සේවාව සූක්ෂ්ම ලෙස යොදවනු ලැබීය. තමන්ට ප්‍රසිද්ධියේ විරෝධතාව දක්වන කවර දේශයක වුව අභ්‍යන්තර කටයුතු ඉතා උපක්‍රමශීලීව අවුල් කර දැමීම ඇමරිකාවේ පරිචයයි. සිරියානු ජනපති අසාද් සාන්තුවරයෙකු නොවන නමුදු ඔහු සිත්පිත් නැති යක්ෂාවේශ වූ ඒකාධිපතියෙකු ලෙස පින්තාරු කරන ලද්දේ ඇමරිකානු හා යුරෝපා මාධ්‍ය මෙහෙයුම මඟිනි. 2010 දෙසැම්බර් 17 දින ටියුනීසියාවෙන් ඇරඹුණු ‘අරාබි වසන්තය’ නම් (ඒකාධිපති රෙජීමයන්ට එරෙහි) ජන උද්ඝෝෂණ රැල්ල ඊජිප්තුව, ලිබියාව, යේමනය හා සිරියාව දක්වා ළැව්ගින්නක් මෙන් පැතිර ගියේය. එහෙත් 2016 ජූලි වනවිට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමට හැකිවූයේ ටියුනීසියාව තුළ පමණි. අනෙක් සියලු රටවල තත්ත්වය කබළෙන් ළිපට වැටුණාක් මෙන් විය. 2007 සිට 2010 දක්වා සිරියාව පුරා පැතිර ගිය දැඩි නියඟය, වගා පාළුවට හා ආහාර මිල ඉහළ යෑමට තුඩු දුන්නේය. ආහාර හිඟය නිසා සිරියානු ගැමි පවුල් නගර බලා සංක්‍රමණය වීම නොවැළැක්විය හැකිවිය. විරැකියාව හා තරුණ අසහනය ඉහළ මට්ටමක පැවති අතර 1963 සිට 2011 දක්වාම සිරියාව පාලනය කෙරුණේ හදිසි නීතිය යටතේය. එනම් කුමන කරුණකට හෝ පුද්ගලයන් පස්දෙනෙකුට වඩා එක් තැනකට රැස් වුවහොත් ඔවුන් සැකපිට අත්අඩංගුවට ගැනීමේ බලතල සිරියානු පොලිසිය සතුව තිබුණි. අසාද් රජය විවේචනය කර පුද්ගලයන් සිපිරිගෙයට යවා ඒ අයට දැඩි වධබන්ධන පැමිණවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබිණි. 1962 පටන් රටේ පුරවැසිභාවය ඉල්ලමින් සිටින සිරියාවේ උපන් කුර්දිවරුන්ට එම සාධාරණ අයිතිය පිරිනැමීම “අසාද් සහෝදර හා පුත්‍ර සමාගම” විසින් ප්‍රතික්ෂේප කෙරුණි. ඉතින් 2011 මාර්තු 15 දින සිරියානු ජනතාව, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නැයි බෂාර්-අල්-අසාද්ගෙන් ඉල්ලා පාරට බැස්සේ ඔහුගේ මර්දනීය පාලනය වෙනස් කිරීමේ අභිලාෂයෙනි.

මර්දනීය හස්තය
2011 අප්‍රේල් 22 වන විට උද්ඝෝෂණ රැල්ල, සිරියාවේ නගර 20ක් පුරා පැතිර ගියේය. 2011 අප්‍රේල් 25 දින සිරියානු පාබල හමුදාව යුද ටැංකි යොදා ගනිමින් උද්ඝෝෂකයන්ට පහරදීම ආරම්භ කළේය. ඒ අනුව 2011 මැයි අවසානය වන විට සිවිල් වැසියන් දහසකුත් පොලිස් හා හමුදා භටයන් 150කුත් ගැටුම් නිසා ජීවිතක්ෂයට පත්ව තිබුණි. 2011 ජූලි මාසයේදී සිරියානු හමුදාවෙන් කොටසක් ද විරෝධතාකරුවන් සමඟ එක්ව නිදහස් සිරියානු හමුදාව නමින් අසාද් රෙජීමයට එරෙහිව සන්නද්ධ බලකායක් ගොඩ නගන ලදි. සාමකාමී උද්ඝෝෂණය, සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය වූයේ මෙතැනදීය. ඇමරිකාවේ පෙළැඹවීම මත ප්‍රංශය සහ බි්‍රතාන්‍යය, සිරියානු කැරලිකරුවන්ට සන්නිවේදන උපකරණ, යුද පුහුණුව සහ අවි ආයුධ යහමින් සැපයීය. සීඅයිඒ සංවිධානයේ බුද්ධි අංශ සහායද ඔවුන්ට නොමඳව ලැබිණි. 2013 ජූනි මාසය වන විට සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන් 93,000ක් මියගොස් තිබුණි. විදෙස් හමුදාවල වක්‍ර සහයෝගය කැරලිකරුවන්ට සැපයීම හරහා අසාද් රෙජීමය පලවා හැරීම නුවණට හුරු දෙයක් නොවේ යැයි කියැවෙන ඇමරිකානු බුද්ධි අංශ වාර්තාවක් 2013 වසරේදී එළිදැක්වුණි. බෂාර්-අල්-අසාද් ආගමික අන්තවාදියෙකු නොවන බවත්, සිරියානු කැරලිකරුවන් බහුතරය අල්කයිඩා වර්ගයේ ජිහාඞ්වාදීන් බවත් එම වාර්තාවේ සඳහන් විය. එහෙත් ඔබාමා රජය එම වාර්තාව නොසලකා හරිමින්, සිරියානු කැරලිකරුවන්ට දිගින් දිගටම ආධාර කළ වග එවකට ඇමරිකානු ආරක්ෂක බුද්ධි ඒජන්සියේ අධ්‍යක්ෂ මයිකල් ටී. ෆ්ලින් පවසයි. 2003 වසරේදී ඇමරිකාව විසින් පෙරළා දැමූ සදාම් හුසේන් රෙජීමයේ සියලු මිලිටරි නායකයන්, 2014 මුල වන විට අයි.එස්. ත්‍රස්ත කණ්ඩායම ගොඩ නැඟූ අතර ඔවුහු ඉරාක හමුදා රටේ බටහිර ප්‍රදේශයෙන් පන්නා දමා විශාල භූමි භාගයක් අත්පත් කරගැනීමට සමත් වූහ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන ඒකකයේ හිටපු ප්‍රධාන සැලසුම් නිලධාරී ඬේවිඞ් කිල්කුලන්ට අනුව, ඇමරිකාව 2003දී ඉරාකය ආක්‍රමණය නොකළේ නම්, අයි.එස්. සංවිධානය කිසිවිටෙක බිහිවන්නේ නොමැත.

සරණාගත ප්‍රශ්නය
බෂාර් අල් අසාද්හට සිරියානු කැරලිකරුවන් දිගින් දිගටම පහර දෙන අවස්ථාවේ, රුසියාව සිය ගුවන් හමුදාව යොදවා අසාද්ගේ සතුරන්ට පහරදීම ආරම්භ කළේය. ෂියා මුස්ලිම් රටවල් වන ඉරානය, ලෙබනන් වැනි පාර්ශ්වයන් අසාද්ට යුද සහාය පිරිනමද්දී, සුන්නි මුස්ලිම් දේශයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ජෝර්දාන් හා සෞදි අරාබිය ඇමරිකාව සමඟ එක්ව සිරියානු කැරලිකරුවන්ට ආධාර කරනු ලබයි. සිරියානු සිවිල් සංග්‍රාමය මේ වන විට තේරුම් ගත නොහැකි අවුල් ජාලයක් බවට පත්ව ඇත්තේ විවිධ අරමුණු සහිත සන්නද්ධ කණ්ඩායම් 1200ක් පමණ ඊට සම්බන්ධ වී ඇති හෙයිනි. ඉමක් කොනක් නොපෙනෙන මේ සිවිල් යුද්ධය නිසා 2016 නොවැම්බර් වන විට පුද්ගලයන් 450,000ක් මරණයට පත්ව තිබුණි. මෙයින් 50,000ක් ම හය හතර නොතේරෙන කුඩා ළමුන්ය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව හටගත් දරුණුම සංග්‍රාමය ලෙස මෙය හැඳින්විය හැකි අතර සිරියානු ජනගහනයෙන් හරි අඩක්ම මේ වනවිට අවතැන්ව සිටී. අසාද්ට එරෙහිව සටන් වදින අයි.එස්. ත්‍රස්තයන්ට ඇමරිකාව හා රුසියාව විටෙක එක්ව පහර දෙයි. හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුණාක් මෙන් සිරියාවෙන් පලා ගිය සරණාගතයෝ බොහොමයක්, දුප්පත් රටවල් දෙකක් වන ජෝර්දානය හා ලෙබනනය තුළ දිවි ගෙවති. මිලියනයක් පමණ වන අවතැන් වූ සිරියානුවන් යුරෝපය වෙත සරණාගතයන් ලෙස ඇතුළුවන්නට අයැදුම් කර තිබුණත් වත්මනෙහි ජර්මනිය, ස්වීඩනය, ඉතාලිය, ප්‍රංශය හා ඇමරිකාව සරණාගත විරෝධී ස්ථාවරයන්ට තල්ලු වී ගොස් ඇත්තේ ඒ අය සමඟ අයි.එස්. ත්‍රස්තයන් තම දේශයන් වෙත ඇතුළු වේය යන මරබිය හේතුවෙනි. එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වූයේ සිරියානු සරණාගතයන් එරටට පැමිණීමේ අවදානමෙන් ගැලවීම උදෙසාය. ඩොනල්ඞ් ට්‍රම්ප් පුන පුනා කියන්නේ දැනට ඇමරිකාවේ නීති විරෝධීව වෙසෙන මිලියන 11ක් වන සංක්‍රමණිකයන් හෙට අනිද්දාම පිටුවහල් කරන බවයි. බෂාර්-අල්-අසාද්ගේ ඒකාධිපති රෙජීමය පරදවා සිරියාව තුළ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට ගිය ඇමරිකාව, අද මැද පෙරදිග කලාපයට අවුලකට ඇද දමා තිබේ. යම් රටක අභ්‍යන්තර කටයුතුවලට වෙනත් රටක් ඇඟිලි ගැසීම, ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් බව මින් පෙනේ.■