Untitled-1

Untitled-1

රවිරාජ්ගේ දෙවැනි දුක්ඛ ප්‍රාප්තිය


bhashana

රෝහිත භාෂණ අබේවර්ධන

දස වසරකට පෙර නොවැම්බර් 10 වැනිදාවක උදෑසන 7ට පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් පෞද්ගලික රූපවාහිනී මැදිරියක දී සජීවී සාකච්ඡාවකට එක් විය.ඒ 9 මාර්ගය වැසීමෙන් යාපන අර්ධද්වීපයේ පැතිර යන සාගතය ගැන සිය ගැඹුරු කණස්සල්ල කියා පෑ හේ, ‘කොළඹ සිට හම්බන්තොටට යන පාර දෙසතියකට වසා දමා නැව් මගින් හම්බන්තොට ජනයාට ආහාර යවා ප්‍රතිඵලය බලන්නැ’යි ආණ්ඩුවට අභියෝග කළේය. සාගින්නෙන් පීඩිත සිය ජනයාගේ දුක් ගැහැට, අඩ හෝරාවක් පුරා දකුණේ සිංහලයන්ට තමන් දන්නා සිංහලෙන් පහදා දෙන්නට වෑයම් කළ රවිරාජ් ඉක්බිති නාරාහේන්පිට මැනිං ටවුමේ සිය නිවෙස බලා නික්ම ගියේය.
කොළඹ ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට පොකුරු වෙඩි වර්ෂාවකින් වටකොට ඔහු සහ පොලිස් ආරක්ෂක ලක්ෂ්මන් ලොකුවැල්ල ඝාතනය කරන ලද්දේ ඊ ළඟ පැයේදී ය.
2006 නොවැම්බර් 13 වැනිදා රවිරාජ්ගේ දේහය පෙරටු කොටගෙන කොළඹ වීදි ඔස්සේ ගලා ගිය මහා ජනකාය හා එක්ව ගමන් කළ අපි, විහාර මහා දේවි උද්‍යානයේදී ඒ කුළුපග මිනිසාගෙන් සදහටම සමු ගතිමු. 19 වැනිදා රාවය ‘සමකය’ තීරුව රවිරාජ් පිළිබඳ මතකයට කැපකොට මම මෙසේ ලීමි: ‘1989 රාජ්‍ය ධවල භීෂණය විසින් බිලිගත් දකුණේ කැරලිකාර පරම්පරාවක් සමරමින් ඇලවුණු පෝස්ටර් ගහණ වීදි ඔස්සේ 13 වෙනිදා මධ්‍යහ්නයේ රවිරාජ්ගේ දේහය රැගත් අවමඟුල් පෙරහැර ගමන් ගත්තේය. අනෙකාගේ බසින් තම දුක් ගැහැට පහදා කියන්නට උත්සාහ කළ ඒ නිරායුධ කුළුපග මිනිසා 14 වෙනිදා උදයෙන්ම හාමතින් සහ යුද බියෙන් පීඩිත තම ජනයා වෙතට පෙරළා නික්ම ගියේය. සමානත්වය සහ යුක්තිගරුකභාවය ඉල්ලා සිටි දකුණේ අතීත මළවුන් සහ ඝාතනය වූ රවිරාජ් අතර කෙස් ගසක වෙනසකි. ඒ වෙනස සලකුණුව තිබුණේ රවිරාජ්ගේ දෙමළකමෙනි.’
ඒ කෙස් ගසක වෙනස කෙතරම් බලගතුදැයි දස වසරකින් පසු යළිත් පසක් කොට දී තිබේ.
අභිනව ආණ්ඩුව බලයට පත්ව දෙමසක් ඇතුළත රවිරාජ් ඝාතනය පිළිබඳ සැකපිට නාවුක හමුදා සෙබළුන් තිදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබිණ. වසර එකහමාරක් තිස්සේ දිග්ගැසුණු මන්දගාමී පරීක්ෂණ ක්‍රියාවලියකට පසු, 2016 නොවැම්බර් 21 වැනිදා සිට, සර්ව සිංහල ජූරි සභාවක් ඉදිරිපිට රවිරාජ් ඝාතන නඩුව විභාග කරන්නට ඔක්තෝබර් 30 වැනිදා මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක විසින් තීරණය කරන ලද්දේ පැමිණිල්ල විසින් මතුකළ විරෝධතා නොතකා හරිමිනි. ඒ සිංහල ජූරි සභාව හමුවේ සාක්කි දුන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ හා ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් භටයෙක් මෙසේ කියා සිටියේය:
‘මා මාතා පාරේ පේමන්ට් එකේ යතුරු පැදිය නතර කරගෙන පැය භාගයක් විතර හිටියා. මා යතුරු පැදියේ වාඩි වෙලා ඉන්න කොට මට පිටුපසින් වෙඩි ශබ්දයක් ඇසුණා. ඒ සමගම මා මාතා පාරේ ආපු රතු පාට ජීප් රථයට වෙඩි තබනවා දුටුවා. ඒ ජීප් එකට වෙඩි තැබුවෙ සෙනෙවිරත්න කියන පුද්ගලයා. වෙඩි තියන්න විනාඩි තුනක් වගේ ගත වුණා. එක පාර උණ්ඩ තොගයක් පිටවන ආකාරයටයි වෙඩි තැබුවෙ….. වෙඩි තැබූ පුද්ගලයා දුවගෙන විත් මගේ යතුරු පැදිය පිටුපස වාඩි වී යමු යමු කියා කීවා. මම නාරාහේන්පිට දෙසට ගිහින් කලබලෙන් හදිසියෙන් යතුරු පැදිය පදවන් ගියා. මම සෙනවිරත්නගෙන් ඇහුව මොකක්ද ඒ කළේ කියල. උඹට වැඩක් නැහැ යමං කියලා ඔහු මට කීවා…. ඝාතන සිද්ධියට පසු දින මා උදේ 10.30ට විතර නාවික බුද්ධි අංශයට ගියා. එහි සෙනෙවිරත්න, ප්‍රසාද්, වජිර ඇතුළු පිරිසක් සිටියා. වෙඩි තිබ්බෙ රවිරාජ් මහත්තයට නේද කියල ඇසූ විට උඹට වැඩක් නෑ කට පියාගෙන ඉඳින් කියල ප්‍රසාද් පැවසුවා…. පසුදා උදේ බුද්ධි අංශයට යන විට එහි වම් අත පැත්තෙ කාමරයක මා පැදවූ යතුරු පැදිය කෑලි කෑලිවලට කපලා තිබෙනවා මා දුටුවා…. පසුව මා ප්‍රසාද් යන අයගෙන් යතුරු පැදිය ගැන විමසූ විට ඔහු පැවසුවා ඒ කෑලි මුහුදට දැම්ම බව.”
ඒ සාක්කි ප්‍රකාශය කරන ලද්දේ නොවැම්බර් 24 වැනිදා ය. එතැන් සිට මාසයක් දිග්ගැසුණු නඩු විභාගයක් කෙළවර, රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවේ පසු වූ නාවුක හමුදා බුද්ධි අංශයට අනුයුක්ත සියලු විත්තිකරුවන් සත් පුද්ගල සිංහල ජූරි සභාවේ ඒකමතිකත්වයට යටත්ව නිදොස් කොට නිදහස් කර හරින්නට කොළඹ මහාධිකරණය විසින් තීරණය කරන ලදි.
මයිලන්දනෛ, බිඳුණුවැව හා කුමාරපුරම් සමූහ ඝාතන පිළිබඳ දිග්ගැසුණු නඩු විභාග කෙළවර චූදිත පාර්ශ්වය උසාවි බිමේ උනුන් වැළැඳ සතුට පළකරගන්නා සුපුරුදු ජවනිකාව දෙසැම්බර් 25වැනිදා මුල් අලුයම් පැයේ දී කොළඹ මහාධිකරණ භූමියේ යළිත් රඟ දැක්විණ. සිය ජනයා විඳි දුක් වේදනාවන්ගේ කුරුසිය කර තබා ඇවිද එහිම ප්‍රාණ පරිත්‍යාග කළ සිව් සාළිස් වියැති මිනිසෙකුගේ දුක්ඛිත දේහය නත්තල් දා අලුයම ඒ කුරුසියේම අත්හැර දමා රූපවාහිනී කැමරා අබිමුව රාජ්‍ය අපරාධකාරීත්වයේ අශිෂ්ට ගැලවුම උද්දාමයෙන් සැමරූ සියල්ලෝ ඉක්බිති සතුටින් විසිර ගියහ.
රාජ්‍ය අපරාධකරුවන් විසින් භුක්ති විඳිනා ලද දණ්ඩ මුක්තිය අවසන් කිරීම ගැන දෑවුරුද්දකට කලින් ඇද වැටුණු වාගාඩම්බර වැසි කුණාටුව නිමාවේ, ‘යහපාලක සේනාවන්ගේ නග්න වීදි සංචාර සෘතුව දැන් ඇරඹී තිබේ. පළමුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා උපාලි තෙන්නකෝන් ඝාතන තැත පිළිබඳ සැකකාර හමුදා බුද්ධි අංශ නිලධාරියා ඇප මත නිදහස් කර යැවිණ. ඉක්බිති ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරා දැමීම පිළිබඳ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හමුදා සෙබළුන් 13 දෙනෙක් හය මාසයක් ඇතුළත කොටස් වශයෙන් නිදහස් කර යැවිණ. රවිරාජ් ඝාතන සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීම එහිම ඊ ළඟ තාර්කික අදියර සේ සැලකුව මනා ය. අවශ්‍ය වෙතොත් වසීම් තාජුඩීන්ගේ අස්ථානගත අස්ථි සොයා වළලා දැමීමෙන් පසු ඒ පරිච්ඡේදය ද ‘නීත්‍යනුකූල‘ අවසානයකට ගෙන ආ හැකි ය.
නමුත් නඩරාජා රවිරාජ්ගේ මරණය පිළිබඳ නඩු විභාගය දක්වාත්, ඉන් ඔබ්බටත් දිග්ගැසෙන්නට නියමිත නීති නාටක විසින් එක්තරා වැදගත් ව්‍යුහාත්මක ඇත්තක් යළිත් ගෙනහැර පායි. ඒ වනාහි ආණ්ඩු පාලනය වෙනස් කිරීමෙන් වෙනස් නොවන රාජ්‍ය අපරාධකාරීත්වයේ ඇති අඛණ්ඩත්වයයි. රාජ්‍යය විසින් සිදුකරන ලද අතීත අපරාධ විධිමත් පරීක්ෂණයන්ට භාජනය කිරීම ගැන නිදසුන් සපයන රටවල පොදු ලක්ෂණයක් වන්නේ එකී අපරාධකාරී ආණ්ඩු සහ පරීක්ෂණ පවත්වන ආණ්ඩු අතර ව්‍යුහාත්මක ඛණ්ඩනයක් දැකිය හැකි වීම ය. ආර්ජන්ටිනාවේත්, එල් සැලවදෝරයේත්, ගෝතමාලාවේත්, පිලිපීනයේත් මිලිටරි ඒකාධිපතිත්වයන් යටතේ සිදුකළ රාජ්‍ය අපරාධ විධිමත් විමර්ශනයන්ට භාජනය කිරීමට පසුව පත් වූ සිවිල් පාලන තන්ත්‍රයන්ට හැකි වූයේ මෙකී ඛණ්ඩනය නිසා ය. මෙම බොහෝ රටවල මහා පරිමාණ අපරාධ සිදුකළ ව්‍යතිරේකී රාජ්‍ය ආකෘතිය (ැංජැචඑසදබ්ක ිඒඑැ) ලංකාවේදී සැලකෙන්නේ නිත්‍ය පාලන ආකෘතියක් වශයෙනි. සමාජ අවනතියක් මතුවන සෑම විටකම රාජ්‍යය ක්ෂණිකව මෙකී ව්‍යතිරේකී ආකෘතියට මාරුවන්නේ ඒ අනුව ය. රාජ්‍ය අපරාධකාරීත්වය වනාහි කලින් කල මැතිවරණ මගින් බලයට පත්වන ආණ්ඩු විසින් නිර්බාධිතව පෙරට ගෙනයන අඛණ්ඩ පිළිවෙතක් බවට පෙරළී ඇත්තේ ඒ නිසා ය. උතුරේ හා දකුණේ දී රාජ්‍යය විසින් කරන ලද දණ්ඩනයෙන් නිදහස් අපරාධ අතරට නඩරාජා රවිරාජ් ඝාතනය එක්වන්නේ ඉහත සංකීර්ණ ඇත්ත අලුත් වටයකින් තහවුරු කරමිනි.
මේ සියලු ජවනිකා නරඹා ‘අප අකමැති වුවද නීතියේ ආධිපත්‍යය යළිත් තහවුරු විණැ’යි උදම් අනන්නට කැමැත්තෝද සිටිති. නමුත් අධිකරණ භූමියේ එකිනෙකා බදා වැළැඳ ‘යුක්තිය ඉටුවීම’ පිළිබඳ කලින් කල සතුට පළ කරන රාජ්‍ය හමුදා සෙබළුන්ගේ ප්‍රීතිමත් මුහුණු, අභාග්‍ය කැඳවන තාරකාවන් මෙන් මේ නත්තලේදීත් අපට මඟ පෙන්වනු ඇත්තේ අශිෂ්ටත්වයේ අඳුරු ආගාධ වගුරුබිම් කරා ය.■