දයාගේ සිරි දයාට අසිරි


daya

ටිරන් කුමාර බංගගමආරච්චි

නව දවසක හිරු කිරණ වැටී ඇත. මේ නව වසරක උදාවය. හෙටක් ගැන කතා කිරීම හෙටට ඉතිරි කොට ඊයේ ගැන කතා කිරීම අදට බාර ගත යුතුව ඇත. දාහතර වැනි ක්‍රීඩා ඇමතිවරයාගේ පහළොස් මසක කෙරුවාව ගැන ඔහු උදම් අනා තිබුණි. තම තමන්ගේ කෙරුවාවන් ගැන තමන්ගේම සහතික ලියා ගැනීම මෙකල අමුතු පන්නයේ රෝගයකි.
මාධ්‍ය සංදර්ශන මාධ්‍ය සාකච්ඡා නොවේනම් අද දේශපාලනයක් නැති තරම්ය. අද දේශපාලනය යනු මාධ්‍ය ගොඩනගන ව්‍යාපෘතියක් වී හමාරය. නොකෙරූ කෙරුම් කෙරූ බව ඔප්පු කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා පත්තර පිටුවක් පුරා මහත් වෑයමක් දරා තිබුණි. වැඩක් දැනෙන්නට නොකර කළ බව කියන්නට මොනතරම් වලි කෑ යුතුදැයි ඒ සාකච්ඡාවම දෙස් දෙන්නේය.
ඇතැමුන්ගේ මනෝ රාජික අදහස පිට්ටනියේ තරග පමණක්ම ආවරණය කිරීම මාධ්‍ය මෙහෙවර බවය. සපත්තු නොඇඳ දුවන ක්‍රීඩකයාගේ දියපට්ටා ගැන ලියන සමහරු හවස සිනාවෙවී ක්‍රීඩා නිලධාරීන් සමඟ අඩිය ගසති. ඉහත දියපට්ටා ඇති කරන යාන්ත්‍රණය හදා ඇත්තේ මේ අඩි ගසන්නන්ම බව ඔවුහු නොඅදහති. කඳුළු හැලීම වෙනුවට අප කරනුයේ ක්‍රීඩාව කරවනවුන්ගේ නිරුවත පෙන්වීමය. මේ වසරේ ද අපගේ මුඛ්‍ය අරමුණ එයය. සපත්තු දෙකක් නැති ක්‍රීඩකයකුට සපත්තු දෙකක් අරගෙන දීමට වඩා අපේ වෙහෙස සමස්ත ක්‍රීඩාවටම පොදු සැලැස්මක් එළීමට අවශ්‍ය සැකැස්ම හැදීමට බලකිරීමය. එවිට ක්‍රීඩා ඇමති යනු ප්‍රබලතම සාධකයය. ක්‍රීඩා ඇමැති කෙනෙකු පත්කොට අමාත්‍යාංශයක්ම වෙන් කොට මහා ධනස්කන්ධයක් වසරක් පතා පුදමින් බලාපොරොත්තු වනුයේ ඉහළ ක්‍රීඩා සංවර්ධනයක්ය. එය ඉටු නොකොට පිස්සු කෙළින්නේ නම් හැමවිටම ප්‍රශ්න කළයුත්තේ එහි ප්‍රමුඛයා විනා අවශේෂ චරිත නොවන බව අපගේ හැඟීමය. ඒ නිසා ක්‍රීඩා ඇමති කවුරු වුව අපට ඔහු සමඟ ක්‍රීඩාවක් ඇත. එය ඒකල ක්‍රීඩාවක් නොව සමූහ ක්‍රීඩාවකි.

නැවත මුලට එමු
ගෙවුණ පසළොස් මසක කාලය තුළ තමන් විශාල වැඩ කොටසක් කළ බවට විශ්වාසයක් තමන්ට ඇතැයි දයාසිරි ජයසේකර මහතා මාධ්‍යට කියා තිබුණි. ඒ විශ්වාසය ඔහුට පමණක් තිබුණාම ඇතිද? ඔහු වැඩක් කළ බව කිවයුත්තේ අනෙක් අය මිස ඔහුද? විශ්වාස කරන අතරම ඔහු කියනුයේ ඒත් මදි බවය. අපට කීමට ඇත්තේ මදි නොව හොඳටම මදි බවය. කොටින්ම ඔහු කළ කෙංගෙඩියක් නැති බවය. අපි ගියවරද එය කියූවෙමු. මේ ඇමති කතාව දකිනුයේ ඊට පසුවය.
ඇමතිට වැඩ මදි බව පෙනෙන්නේ ඔහුට වැඩ කළ හැකි පිරිසක් ක්‍රීඩා අමාත්‍යාංශයේ නොමැති කමය. ඔහු මේ අඩුපාඩුව දැක්කේ පත්වූ මුල සිටමය. අපට ඔහු ඒ බව කීවේ මීට මාස හයකටත් පෙරය. එහෙත් අපූරු වැඬේ, පහළොස් මසක් ගෙවුණු තැනද කිසිදු හිරිකිතකින් තොරව ඔහු ඒ දේම කියයි. මේ වැඩ බැරි දාසලාගේ කතාය. ‘වැඩකළ හැකි නිලධාරීන් ටිකක් හිටියා නම්..’ ඔහු කියයි. හිටියා නම් නොව ඇතිකර ගැනීම ඔහුගේ රාජකාරිය දක්‍ෂතාව විය යුතුය. එසේ නොවී හොටු පෙරාගෙන හිටියා නම් කී පළියට හිටින්නේ නැත. දැනට ක්‍රීඩා අමාත්‍යාංශයේ සිටින නිලධාරීන් අතිබහුතරය නිකමුන් බව කවුරුත් දනිති. එහෙත් එය වෙනස් කළ හැක්කේද ඇමතිට බව ඔහු නොදනී. එයට හේතු ලෙස ඔහු දකිනුයේ මෙරට පරිපාලන ක්ෂේත්‍රය තුළින් අපට සරිලන නිලධාරීන් සොයාගැනීමට නොහැකි යාවය. එසේනම් දයාසිරිට සරිලන මිනිස්සු කිසිදා හමුනොවන බව සහතිකය. මේ පහළොස් මස මෙන්ම ඉතිරි කාලයද ඔහේ ගෙවෙනු ඇත.
අප පුන පුනා කියනුයේ දයාසිරි ජයසේකර ඇමතිවරයා මෙතෙක් ක්‍රීඩාවට කළ කෙංගෙඩියක් නැති බවය. දැන් මේ චෝදනාව ඔහුට එල්ලවූ කල ඔහු කියනුයේ කුමක්ද? තමන් කප්පරක් වැඩ කළ බවය. මේ වැඩ මොනවාද? මේ ඔහුම කියන දෑය.
‘ක්‍රීඩා නිලධාරීන්ට වසර දහයක් තිස්සේ විශාල ප්‍රශ්නයක් තිබුණා. ඔවුන් විඳපු දුක්වේදනා ගැන අපට හොඳ අවබෝධයක් තිබුණා. අපි ඒ ප්‍රශ්න විසඳුවා.’ මේ ප්‍රශ්න මොනවාද? සවිස්තරාත්මක නැත. මේ කියනුයේ වැටුප් ප්‍රශ්නය විය යුතුය. එහෙත් ඒ වැටුප් ප්‍රශ්නය නියමාකාරයෙන් විසඳූ බවට අදටත් එම නිලධාරීන් තුළ ඉහළ පිළිගැනීමක් නැත. ඔවුහු එදා මෙන්ම අදද කලකිරීමෙන්ම සිටිති.
දයාසිරි ඇමතිවරයා කළ අනෙක් මහා වැඩය නම් ක්‍රිකට් නිලවරණය පැවැත්වීමය. ‘අවුරුදු අටක් පුරා නොපැවැත්වූ ක්‍රිකට් නිලවරණය තමා පැවැත්විය.’ මේ දයාසිරි ඇමතිවරයා පසළොස් මසක කළ රාජකාරී අතර මහත් අභිමානයෙන් කියන දෑය. නොදන්නා තොත්ත බබාලාට මෙය මාර වැඩකි. අපට නම් මෙය ඉළ ඇදෙන විහිළුවක්ම වන්නේය.
ඒ ගැනත් ඉතා කෙටියෙන් කිව යුතුව ඇත. පසුගිය අට වසර තුළ ක්‍රිකට් නිලවරණය පවත්වන්නට නොහැකි වූයේ අන් කිසිදු හේතුවක් නිසා නොව රාජපක්‍ෂලා නිසාය. ක්‍රිකට් ප්‍රමුඛ ධන නිධානයක් බව දැනගත් රාජපක්‍ෂලා කළේ එය වසරක් පාසා අලෙවි කිරීමය. ඡන්දයකින් දිනන්නට බැරි ධර්මදාසලා ඒ පුටුවේ වාඩිකරවීමය. සමස්ත ක්‍රීඩාවම රාජපක්‍ෂකරණය වී තිබූ එකල ක්‍රිකට් පුටුව යනු සූදුවක් විය. එය අදටත් එසේමය. වෙනස අද ඡන්දයෙන් ඒ සූදුව ජයගැනීමය. එවන් වටපිටාවක ඡන්දයකට යා හැකි ඉඩ නිර්මාණය වුණේ යහපාලනය බලය අතට ගැනීමත් සමඟය. අද දයාසිරිට ඇති වාසිය යහපාලනය දයාසිරිට නිදහස ලබාදී තිබීමය. අලුත්ගමගේ රාජපක්‍ෂලාට අවැසි දේ කළ කුක්කකු විනා අන් කිසිවෙක් නොවේ. ඒ අතර ක්‍රිකට් නිලවරණය පවත්වන්නට සහාය වූ අනෙක් සාධකය තිලංග සුමතිපාලය. ක්‍රිකට් පුටුවට ඒම රාජපක්‍ෂ සමයේ තිලංගට තහනම් විය. මේ නිසා ඔහු යහපාලනයට පැමිණ පරණ පැතුමට යන පාර මෛත්‍රීපාල ජනපතිවරයාගෙන් අසා දැනගත්තේය. ඒ අනුව ඔහුගේ සහායද පිරිනැමීය. මේ බව දන්නා දයාසිරි නොදන්නා ගානට තෙල බෙදමින් අද තමන් කළ වික්‍රම දෙක තුන අතරට ක්‍රිකට් නිලවරණයද දමාගෙන ඇත. ක්‍රිකට් නිලවරණයේදී අඩුම තරමේ ඔහු ඇමතිවරයා ලෙස වගකීම වත් නියමාකාරයෙන් ඉටු නොකොට තිලංග බදා වැළඳගෙන සිල්ලර රංගනයක් පළකළේ අදටත් තිලංග ෂෝක් අර්ජුන නරකයි කියමිනි.
ඒ සියල්ල අතහැර කිව යුතු දේ නම්, කාලයෙන් කාලයට ක්‍රීඩා ඇමතිවරු පත්වෙති. ඒ අයගේ රාජකාරි අතර ක්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීම මහා රාජකාරියක් නොවේය. මන්ද එය සංගම් සතු කාර්යයකි. එය නියමාකාරයෙන් පවත් වනවාද යන්න අධීක්‍ෂණය කිරීම අමාත්‍යාංශය සතුවූවකි. එලෙස පවත්වන්නට බැරි බාධක ඇති සංගම්වල බාධක ඉවත්කොට එයට අවැසි පසුබිම සකස්කිරීමද අමාත්‍යාංශය සතුවූවකි. මේවා උදම් ඇනීමට තරම් දෑ නොවේ. මුකුත් නොකළ අයෙකුට නිලවරණයක් පැවැත්වීමත් වැඩකි. උඩ පැන පැන කියන්නට තරම් දෙයකි. අනුර කුමාර කියන පරිදි මේවා විලිලැජ්ජා නැති වැඩය.
ඊට අමතරව ඇමති කළ අනෙක් රාජකාරිය අපේ රටේ ක්‍රීඩා රෙගුලාසි වෙනස් කිරීමට ගත් තීන්දුවය. අද දවසේ තීන්දුවක් ගැනීමත් වැඩකි. ඉතිහාසයේ ක්‍රීඩා ඇමතිවරුන් තිදෙනෙකුට කළ නොහැකි දේ මා කළ බව ඔහු එහිදී කියන්නේය. අලුත්ගමගේ ගෙනා මේ රෙගුලාසි තමන් සාර්ථකව අවසන් කළ බව මේ මහා වික්‍රමයය. එහෙත් අදටත් එහි අවසානයක් නැති බව ඔහුද දනී. අඩුපාඩු සහිතව වුව එම කටයුත්ත අවසන් කළ බවය. අඩුපාඩු සහිතව රෙගුලාසි සම්මත කරගෙන ප්‍රීතිවීම සාමාන්‍ය කෙනෙකුට කෙසේ වෙතත් නීතිඥයකුට නොහොබිනා බව කිව යුතුය. මන්ද පනතක වැරැද්දක් නිවැරදි කරන්නට හෝ වඩා ඵලදායි ලෙස සකස් කිරීමට රෙගුලාසි ගෙනෙනුයේ එය නිවැරදිව කරන්නටය. එය අඩුපාඩු ඇතිව හෝ අවසන් කළා කීමත් එය මාරම වැඩක් ලෙස අගය කිරීමක් රෝගයකි.
ගෙවුණු පසළොස් මසටම ක්‍රීඩා ඇමතිවරයා ලෙස ඔහු කළායැයි කියනුයේ ඒ වැඩ කිහිපයය. එසේනම් අප ගියවර ඉතා පැහැදිලිවම කී ලෙස ඔහු කළ කිසිවක් නැති බව ඊට පසු මාධ්‍යයට පැමිණ ඔහුම කෑ ගසා රටට කියන්නේය. එබැවින් අප කුමක් කියන්නද?
එහෙත් ඔහු අවසානයේ කියන දේ වැදගත්ය. එය මෙසේය. “මා විශ්වාස කරනවා. ක්‍රීඩා වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වසරක් බවට අලුත් අවුරුද්ද පත්වේවි.” අපත් පතනුයේ එයය. ගෙවුණු පහළොස් වසර වැඩක් නොවී කයිවාරු මතම ගෙවුණු බැවින් ඉදිරියේදී හෝ වැඩක් විය යුතුය යන්නය.
ඇමති සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහුට වෙනම නමක් ආදේශ කොට තිබුණි. එනම් ඩීජේ යන්නය. නමේ මුල කුරු ගෙන එය පට බැඳුවද මේ අකුරු දෙක මීට පෙර සිට ජනප්‍රියය. එනම් ඩීජේ යනු ඩිස්කෝ ජොකි යන්නය. සියල්ල රියැලිටි වී ඇති මෙකල එහි ඇමැත්තා රියැලිටි තරුවකි. එසේ නම් ඩිස්කෝ ජොකියන්ට බොහෝ වැඩ ඇති බව පැහැදිලිය.■