රාවය

ප‍්‍රතිඵල ගැටලුව අහම්බයක් නොවෙයි.

ප‍්‍රතිඵල ගැටලුව අහම්බයක් නොවෙයි.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටෙරන්ස් පුරසිංහ

 

මෙවර උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵලය නිකුත්වීම දෝෂසහගතවීම ඔබ දකින්නේ කෙසේද?

මෙවර 2011 උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලූවට හේතු වුණේ විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වීම. එහෙත් මීට කලිනුත් ඒ වගේම සෑම වසර 10කට වරක්ම මෙහෙම නව හා පැරණි නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වීමක් සිදුවෙනවා. හැම අවුරුදු 10කට වරක්ම නව විෂය නිර්දේශයක් එනවා. නමුත් කලින් අවුරුදුවල මේ වගේ තත්ත්වයක් ඇතිවුණේ නැහැ. මෙහිදී ඉසෙඞ් ලකුණ සම්බන්ධයෙන් තමයි ගැටලූව ඇති වුණේ. නව හා පැරණි නිර්දේශ දෙක යටතේ විභාගයක් පැවැත්වුණාම වෙන වෙනම තමයි ඉසෙඞ් ලකුණ තීරණය කරන්න වෙන්නේ. ඊට පස්සේ ඒ ඉසෙඞ් අගයන් දෙක සම්බන්ධයෙන් යම් සමතුලනයක් ඇති කළ යුතුයි. ඒක කරන්නේ විභාග දෙපාර්තමේන්තුව. හැබැයි ඒක තීරණය කරන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව. ඉතින් මුලින්ම ඇතිවුණ අර්බුදය තමයි මේ ඉසෙඞ් ලකුණු දෙක සමතුලනය කිරීමේදී ඇතිවුණ ප‍්‍රශ්නය. විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රතිඵල පමා කිරීමේදී හේතුව විදිහට කිව්වේ ඒක. නමුත් ඊට පස්සේ ඇතිවුණු ප‍්‍රශ්නෙ තමයි දිස්ත‍්‍රික් කුසලතාව. මුලින් ඉදිරිපත්වුණු දිස්ත‍්‍රික් කුසලතාව අනෙක් දවස වෙද්දි වෙනස් වුණා. එතකොට ශ්‍රේණිගත කිරීම්වල විශාල අවුලක් ඇතිවුණා. ඒ අවස්ථාවේ විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළ දේ තමයි විශ්වවිද්‍යාලවල තෝරා ගැනීමේදී දිස්ත‍්‍රික් කුසලතාව වැදගත් වෙන්නේ නැහැ කියන එක. එහෙමනම් ඇයි දිස්ත‍්‍රික් කුසලතාව දෙන්නේ. ඒක වැදගත් නැත්නම් එහෙම එකක් දෙන්න ඕන නැහැනේ. ඊළඟට ඇතිවන ප‍්‍රශ්නයක් තමයි. සමහර ප‍්‍රතිඵල තවමත් නිකුත්වෙලා නැහැ. රුසියන් භාෂාව හා පාලි භාෂාව වගේ සමහර විෂයන්වල ප‍්‍රතිඵල නිකුත්වෙලා නැහැ. එහෙම ප‍්‍රතිඵල නිකුත් නොකළ තත්ත්වයක් මත ප‍්‍රතිඵල දුන්නේ කොහොමද? ප‍්‍රතිඵල දීම අංග සම්පූර්ණ නැහැනේ. විභාග දෙපාර්තමේන්තුව කියනවා ජාතික (දිවයින් කුසලතාව) කුසලතාවට එය බලපෑමක් නැහැ කියලා. එහෙත් සංඛ්‍යානය පිළිබඳ විශේෂඥයෝ කියනවා දිස්ත‍්‍රික් කුසලතාව වෙනස් වෙනවනම් දිවයින් කුසලතාව නිකුත් කිරීමේදීත් ප‍්‍රශ්නයක් ඇතිවෙනවා කියලා. ප‍්‍රතිඵල සම්පූර්ණයෙන්ම නිකුත් කිරීමේදීත් ප‍්‍රශ්නයක් ඇතිවෙනවා කියලා. ප‍්‍රතිඵල සම්පූර්ණයෙන්ම නිකුත් නොවී කොහොමද ජාතික කුසලතාව දුන්නේ.

ඒ වගේම විෂය නිර්දේශ දෙකේ ඉසෙඞ් අගය තීරණය කළ ක‍්‍රමය පැහැදිලි කළේ නැහැ. ඒක මොකක්ද කියලා මිනිස්සුන්ට පෙන්වන්න ඕන. ඒක ගැටලූවක්. ඕනම රටක විනිවිදභාවයක් තිබිය යුතුයි. පැරණි නිර්දේශයේ හා නව නිර්දේශයේ සිසුන්ට තමන් කොහොමද විශ්වවිද්‍යාලයට තෝරාගනු ලැබුවේ කියන ක‍්‍රමය, ඒ සූත‍්‍රය ඔවුන් දැනගන්න ඕන. ඒ ගැන ජනතාවත් දැනුවත් වෙන්න ඕන. එහෙත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවවත් විභාග දෙපාර්තමේන්තුවවත් මේ වනතුරු ඒක ප‍්‍රකාශ කරලා නැහැ. එහෙනම් ඇයි මේක හංගන්නේ කියන සැකය එතැන තිබෙනවා.

අනෙක් කරුණු තමයි, ළමයින්ට ලැබුණු ප‍්‍රතිඵල ලේඛනය නැවත වෙනස් වෙනකොට දිස්ත‍්‍රික් කුසලතාව හෝ කුමක් හෝ වෙනස් වෙන කොට අනෙක් ප‍්‍රතිඵල ගැනත් අවිශ්වසනීය තත්ත්වයක් ඇතිවෙනවා. ආණ්ඩුව කියනවා ජාතික කුසලතාවේ හා අනෙක් ප‍්‍රතිඵලවල වරදක් නැහැ කියලා. එක් ප‍්‍රතිඵලයක් ගැන අවිශ්වසනීයත්වයක් ඇතිවෙන කොට අනෙක් ඒවා ගැනත් අවිශ්වසනීයත්වයක් ඇතිවීම ස්වභාවිකයි. ඒ නිසා මුළු විභාග ප‍්‍රතිඵලය ගැනම අද තිබෙන්නේ අවිශ්වාසයක්, ඒක තමයි ලොකුම ගැටලූව.

බොහෝ දෙනකුගේ අනාගතය තීරණය වීම කෙරෙහි බලපාන විභාග ක‍්‍රියාවලිය ගැන තිබෙන විශ්වාසය බිඳවැටීම ඉදිරියේදී මොන වගේ බලපෑමක් ඇති කරයිද?

ඕනම රටක ජනතාවගේ උපරිම විශ්වාසය තිබිය යුත්තේ අධිකරණයට. අධිකරණය තමයි මිනිසුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රටක තිබෙන වැදගත්ම ආයතනය. අධිකරණය අපක්ෂපාතී වියයුතුයි. ස්වාධීන වියයුතුයි. ඊළඟට වැදගත්ම දේ තමයි විභාග. රටක ජනතාවගේ අනාගතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් මතයි. එතකොට අධ්‍යාපන සුදුසුකම් තීරණය කරන්නේ විභාගවලින්. ඒ විභාග පැවැත්වීම හා එහි ප‍්‍රතිඵල නිකුත් කිරීම ඇතුළු විභාගවල කාර්යභාරය පැවරෙන්නේ රටක විභාග දෙපාර්තමේන්තුවට. ලංකාවේත් එහෙමයි. අපි අන්නවා නිදහසෙන් පසුව ලංකාවේ විභාග පැවැත්වීම ඉතාම හොඳින් විනිවිදභාවයකින් පැවැත්විලා තිබෙනවා වගකීම් සහගත ලෙස. එහෙත් අපට පෙනෙනවා පහුගිය කාලේ, ඒ කියන්නේ විශ‍්‍රාම ගිය විභාග කොමසාරිස්වරයා යටතේ විභාග දෙපාර්තමේන්තුවේ තිබුණු විනිවිදභාවය, වගකීම්සහගත භාවය, විශ්වසනීයත්වය සම්පූර්ණයෙන්ම බිඳවැටුණා. ඒක මේ වසරේ විතරක් නෙමෙයි, දිගින් දිගටම වෙච්ච දෙයක්. මේ වසරේදී උසස් පෙළ විභාගයේදී පමණක් නෙමෙයි සමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදීත් කොච්චර ප‍්‍රශ්න වුණාද කියලා මේ රටේ හැමෝම දන්නවා. වෙලාවට විභාගේ පටන්ගත්තෙ නැහැ. වැරදි ප‍්‍රශ්න පත‍්‍ර බෙදීමේ ප‍්‍රශ්න, ප‍්‍රශ්න පත‍්‍රවල බරපතළ ලෙස වැරදි තිබුණා. නියමිත වෙලාවන්වලදී උත්තර පත‍්‍ර එකතු නොකිරීම, සමහර ශාලාධිපතිවරුන් ප‍්‍රශ්න පත‍්‍ර මිටි පිටින් ගෙවල්වල ගෙනිහින් තිබුණා. විභාග ශාලාවල හිටපු නිලධාරීන් කළ වංචා දූෂණ. මේ වගේ බොහෝමයක් අකටයුතුකම් තිබුණා. මෙච්චර කලක් ලංකාවේ විභාග තිබුණා. එහෙත් මේ තරම් බරපතළ ලෙස විභාග ප‍්‍රශ්න මතුවෙච්ච කාලයක් ලංකාවේ නිදහසෙන් පස්සේ තිබුණේ නැහැ. මේ උසස් පෙළ විභාගෙ ඇතිවෙච්ච ගැටලූවත් මේ බිඳවැටීමේම දිගුවක් මිසක් අහඹුවක් නෙමෙයි. පහුගිය කාළේ විභාග දෙපාර්තමේන්තුවේ ඇතිවුණු ප‍්‍රශ්න මම කියන්න අවශ්‍ය නැහැ රටම දන්නවා. ජනමාධ්‍ය තුළින් මේවා පහුගිය කාලේ බරපතළ ලෙස වාර්තා වුණා. පහුගිය කාලේ හිටපු විභාග කොමසාරිස්වරයාගේ නොසැලකිල්ල, අකාර්යක්ෂමතාව හා දේශපාලන බලපෑම්වලට යටවීම තමයි මේවායින් පෙන්නුම්කරන්නේ. ඒ නිසා තමයි මෙවන් තත්ත්වයක් නිර්මාණය වුණේ. ඒ සිදුවුණු ප‍්‍රශ්නවල ප‍්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිද්දවුණේ මේ රටේ අහිංසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. විභාග කොමසාරිස්වරයාගේ විශ‍්‍රාමික වයස පහුකරලා තිිබියදී සේවයේ දිගුවක් ලබාදුන්නා පහුගිය කාලේ. මේ වාගේ ආකාර්යක්ෂම, විභාග දෙපාර්තමේන්තුව අපහසුතාවට පත් කළ, විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි තිබුණු ජනතා විශ්වාසය නැති කළ විභාග කොමසාරිස්වරයකුගේ සේවා කාලය දීර්ඝ කිරීම පිළිබඳ ප‍්‍රශ්නෙකුත් තියනවානේ.

පරිපාලන කටයුතුවලට දේශපාලනයේ නොමනා බලපෑම් කිරීම මත ප‍්‍රතිඵල අවුල තවත් උග‍්‍රවුණා. රාජ්‍ය පරිපාලනයෙන් දේශපාලනය ඈත් වීම සිදුවිය යුත්තේ කුමනාකාරයටද?

රටක මේ වගේ ප‍්‍රශ්නයක් ඇතිවුණාම විධායකය මැදිහත් වීම සාමාන්‍යයෙන් සිදුවෙනවා. ප‍්‍රතිඵල සාමාන්‍යයෙන් ලබා දෙනවා නොවැම්බර් මාසය වෙනකොට. පහුගිය කාලය තුළ ප‍්‍රතිඵල ලබාදීම ප‍්‍රමාද වුණා. එතකොට රටේ උද්ඝෝෂණ ඇතිවුණා. ඒකට විරෝධය දක්වමින් වෘත්තීය සමිති උද්ඝෝෂණ කළා. දෙමව්පියන් උද්ඝෝෂණ කළා. ශිෂ්‍යයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වුණා. ඉතින් ඒවා සේරම එන්නේ විභාග දෙපාර්තමේන්තුවට නෙමෙයි. ඒවා එන්නේ දේශපාලන විධායකයට. අවසාන වශයෙන් රටේ ජනාධිපතිවරයාට තමයි මේ විරෝධය එන්නේ. මොකද රටක දේශපාලන විධායකය ඒ වගේ අවස්ථාවක බරපතළ අපහසුතාවකට පත්වෙනවා. එහෙම වුණාම දේශපාලන විධායකයට ඒ ප‍්‍රශ්නයට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. ඒ මැදිහත්වීම තමයි පසුගිය දවස්වල අපි දැක්කේ. විභාග ප‍්‍රතිඵල ප‍්‍රමාදවීමත් සමග ඇතිවුණු උද්ඝෝෂණ හා ශිෂ්‍යයන් තුළ ඇතිවුණු ව්‍යාකූලතාව අවිනිශ්චිතභාවය තුළ සිද්ධවෙන්නේ අවසාන වශයෙන් දේශපාලන විධායකය අපහසුතාවට පත්වීම. එවැනි අවස්ථාවක මේ කියන විදිහෙ දේශපාලන මැදිහත්වීම් ස්වභාවිකයි. දේශපාලන වශයෙන් ක‍්‍රියාකාරී පිරිසක් නෙමෙයි නිලධාරීන් කියන්නේ. ඔවුන් දේශපාලන විධායකය යටතේ සේවය කරන පිරිසක්. නිලධාරීන් වගකියන්නේ නැහැ ජනතාවට. නිලධාරීන් වගකියන්නේ දේශපාලන විධායකයට. නමුත් දේශපාලන විධායකය වගකියන්න ඕන ජනතාවට. ඒ නිසා දේශපාලන විධායකයට සිදුවෙනවා එවැනි අවස්ථාවක මැදිහත් වෙන්න. මෙතන ප‍්‍රශ්නය ඒක නෙමෙයි. ප‍්‍රශ්නය තමයි දේශපාලන විධායකය මැදිහත් වෙච්ච ගමන්ම කොහොමද ප‍්‍රතිඵල නිකුත් කළේ. ඒකයි තිබෙන ප‍්‍රශ්නය. ප‍්‍රතිඵලවල ප‍්‍රශ්නයක් තිබෙනවා. ප‍්‍රතිඵල නිකුත්කිරීම නිසි ක‍්‍රමවේදයකට අනුව කරන්න ඕනෑ. මේවා හදිසියේ කරන්න බැහැ. එහෙම වුණොත් මේවා වරදින්න පුළුවන් කියපු විභාග දෙපාර්තමේන්තුව කොහොමද එකපාරටම දේශපාලන විධායකය මැදිහත් වුණු ගමන් එදිනම ප‍්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගත්තේ? මෙන්න මේවා තමයි තිබෙන ගැටලූ. ඒ අවස්ථාවේදී ඔවුන් කිසිදු සූදානමකින් හිටියේ නැහැ.

අර බලපෑමට යටත්ව ප‍්‍රතිඵල නිකුත් කිරීමෙන් වුණේ තිබුණු ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වුණු එක. එහි තිබුණු ව්‍යාකූලතාව තවත් උග‍්‍රවුණා. විභාගයක් කියන්නේ ජාතික වශයෙන් වැදගත් වන දෙයක්. හදිසි තීරණ මත මේවා ක‍්‍රියාත්මක කරන්න බැහැ. මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නේ නිලධාරීන් තමන්ගේ කාර්යය හරිහැටි ඉෂ්ට නොකිරීම තුළයි. මේ රටේ තිබෙන එක ප‍්‍රශ්නයක් තමයි නිලධාරීවාදය කියන එක. සමහර නිලධාරීන් ඉන්නවා දේශපාල නඥයන්ටවත් හසුරවන්නට බැරි. ඒ මත ජනතාව අපහසුතාවට පත්වෙනවා. සාමාන්‍යයෙන් අපි කවුරුත් ආණ්ඩුවටනේ චෝදනාව එල්ල කරන්නේ. මෙතනදීත් වුණේ ආණ්ඩුවට චෝදනාව එල්ල වුණා. එහෙත් ආණ්ඩුව කියන්නේ වසර 6කට පත් වෙලා තිබෙන තාවකාලික දෙයක්. නමුත් නිලධාරී තන්ත‍්‍රය ස්ථීරයි. අවුරුදු 55ක් වෙනකම් සේවය කරන්න පුළුවන්. 55න් පස්සෙත් 60 වෙනකම් සේවා දිගුවක් ලබා දෙනවා. නිලධාරීන්ට යම් කිසි ආධිපත්‍යයක් ක‍්‍රියාත්මක කරන්න පුළුවන් දේශපාලනය අභිබවා. තමන්ගේ ආධිපත්‍යය පතුරුවන්න හැකියාවක් සමහර අවස්ථාවලදී ලැබෙනවා. ඉතින් මේ විභාග දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාකාරීත්වයත් නිසා ආණ්ඩුවත් අපහසුතාවයට පත් වුණා. නිලධාරීවාදයේ තිබෙන එක ගැටලූවක් තමයි ඕක. නිලධාරීන්ගේ වගකීම හා විනිවිදභාවය ප‍්‍රශ්නයක් වෙලා තිබෙනවා.

අපි බැලූවොත් යහපාලනයේ තිබෙන වැදගත් දෙයක් හෝ වගකීම කියන එක. එතකොට දැන් මේ ප‍්‍රශ්නෙදි කවුද වගකීම බාරගන්නේ? විභාග කොමසාරිස් වගකීමෙන් මග හැරියා. අධ්‍යාපන ඇමති වගකීමෙන් මගහැරියා. කවුද එතකොට මේකට වගකියන්න ඕන? වගකියන්න කෙනෙක් නැහැ. රටේ විභාග සම්බන්ධ අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා. වගකියන්න කෙනෙක් නැහැ. අධ්‍යාපන ඇමතිවරයා, විභාග කොමසාරිස්වරයා හා විභාග දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරීන් මේ රටේ යහපාලනය ගැන මහලොකුවට කතා කළාට වගකීමක් ගන්න කෙනෙක් නැහැ. ඔවුන් මේ ආකාරයෙන් ශිෂ්‍යයන්ට දෝෂාරෝපණය කරනවා කියන්නේ ඔවුන් වගකීමෙන් විරහිතයි කියන එකනේ. එක් පැත්තකින් වගකීමක් නැහැ. අනෙක් පැත්තෙන් විනිවිදභාවයක් නැහැ. බොහෝ දෙනා චෝදනා කරනවා අධ්‍යාපන ඇමති ඉල්ලා අස්විය යුතුයි කියලා?

අපි මේ ප‍්‍රශ්නෙදී බටහිර රටවල් මේ වගේ වෙලාවල්වලදී කටයුතු කරන ආකාරය පැත්තකින් තියලා ඉන්දියාව ගනිමුකෝ. එහි ඒ තරම් දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැති රටක්නේ. එහෙත් මේවගේ ප‍්‍රශ්නයක් ආවොත් අදාළ ඇමතිවරයා හා නිලධාරීන් ඉල්ලා අස්වෙනවා. ඉන්දියාවේ නිතරම දුම්රිය අනතුරු වෙනවා. ඒවායේ අවසන් වගකීම ගන්නවා ඇමතිවරයා. අරන් ඉල්ලා අස්වෙනවා. දුම්රිය අනතුරුවලින් ජීවිත විනාශ වෙනවා වගේම තමයි විභාග ප‍්‍රශ්නවලදී මිනිසුන්ගේ අපේක්ෂා භංගත්වයට පත්වෙනවා. ආණ්ඩුව මේක හරි වැරදි විදිහට විග‍්‍රහ කරනවා. ආණ්ඩුව කියනවා මේක කුමන්ත‍්‍රණයක් කියලා. කුමන්ත‍්‍රණ කරලා ආණ්ඩුව පෙරළන්න හදනවා කියන එක ඵල රහිත ප‍්‍රකාශයක්. විපක්ෂයක් තියෙන්නේ ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන්න. විවේචනය කරන්න. වැරදි පෙන්වලා දුන්නහම මේක අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක් කියලා කියන එකේම ප‍්‍රශ්නයක් තියනවානේ. මොකද එතකොට මාධ්‍යවේදීන්වත් වෘත්තීය සමිති කරුවන්වත් විවේචනය කරන්නේ නැහැනේ. විවේචනය කරපු ගමන් කුමන්ත‍්‍රණයක් කියනවා. ඒක ආණ්ඩුව ආරක්ෂාව සඳහා භාවිත කරන පියවරක්.

මේ අවස්ථාවේදීත් ආණ්ඩුව හා විභාග දෙපාර්තමේන්තුව විවේචනය කරන්න ඔවුන් අතින් සිදුවෙච්ච වරද මහජනතාවට පෙන්වන්න වෘත්තීය සංගම් හා ශිෂ්‍ය සංගම් පෙරට ආවා. නමුත් අනෙක් සෑම අවස්ථාවකදීම වගේ ආණ්ඩුව හා විභාග කොමසාරිස්වරයා ඔවුන් පහත් අයුරින් මර්දනය කරන්න කටයුතු කළා?

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තුළ අපි කිව්ව වගකීම විනිව්දභාවය විවේචනය කිරීමේ හැකියාව තිබිය යුතුයි. විරුද්ධ පක්ෂය තිබෙන්නේ ආණ්ඩුවේ වැරදි පෙන්වලා දෙන්න. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්මයක් සිවිල් සංවිධාන තිබෙනවා. විරුද්ධ පක්ෂ තිබෙනවා. ආණ්ඩුවේ කාර්යය තමයි රට පාලනය කිරීම. විරුද්ධ පක්ෂයේ කාර්යය තමයි ඒ පාලනය විවේචනය කිරීම. හැබැයි ඒ විවේචනයේ තිබෙන්නට ඕන සාධාරණ බවක්. අන්තවාදී විවේචන නොකළ යුතුයි. මේ රටේ තිබෙන ප‍්‍රශ්නය තමයි ආණ්ඩුව රට තුළ ඇති කරන දූෂණ වංචා තිබෙනවා නම් ඒවා ගැන විවේචනය කරනකොට ඒවාට කියන්නේ දේශපාලන බලපෑම් කරනවා කියලයි. නැත්නම් බටහිර කුමන්ත‍්‍රණකාරීන්, කීම තුළින් අර විවේචන යටපත්වෙනවා. කවුරුත් කැමති නැහැනේ ඒ කුමන්ත‍්‍රණකාරීන් ත‍්‍රස්තවාදීන් ගණයට වැටෙන්න. ඔවුන් බියවීම තුළින් විවේචන යටපත් වීමයි සිදුවන්නේ. විවේචනයක් නැතුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ගෙන යන්න බැහැ. වැරදි වුණාම ඒවා නිවැරදි කර ගැනීමයි කළ යුත්තේ. නිවැරදි කර තැබීම සඳහා විවේචන අවශ්‍යයි. විවේචනය කරන අය මර්දනය කිරීම තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වලපල්ලට යාමයි සිද්ධ වෙන්නේ. අපි අපේක්ෂා කරන යහපාලනය එතකොට සිද්ධ වෙන්නේ නැහැ. මේ විභාග ගැටලූවේදී සිද්ධවෙන්නේ අධ්‍යාපනයේ අයිතිය කප්පාදු වීමක්. අධ්‍යාපනයේ අයිතියනේ මේ කඩ වෙන්නේ. විවිධ මට්ටමේ බලධාරීන් මේ අයිතිය නොසලකා හරින්නේ කොහොමද කියලා අපි පහුගිය කාලේ පුරාවට දැකලා තිබෙනවා. මේ නොසලකා හරීම තුළ අවසාන වශයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමනේ සිදුවන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය හා අයිතිවාසිකම් කියන ඒවා වචනවලට පමණක් සීමා වෙලා වැඩක් නැහැ. මේවාට දුම් ඇල්ලූවට වැඩක් නැහැ. මේවා ප‍්‍රායෝගිකව භාවිතයයි සිදුවෙන්න ඕන.

අධිකාරිවාදී පාලන ක‍්‍රමවලට එරෙහිව ලෝකෙම රැල්ලක් මතුවෙලා තිබෙන අවස්ථාවක අපේ රටේ පාලනාධිකාරිය තේරුම්ගත යුතුයි, යුක්තිය සාධාරණය ඉටුනොවුණොත් පීඩාවට පත්වන ජනතාව දේශපාලන ප‍්‍රචණ්ඩත්වය කරා යොමුවන බව.

අපේ රටේ අධ්‍යාපන ක‍්‍රමයේ මේ සිදුවන කඩාවැටීමට හේතුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට බලධාරීන්ගේ උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙසත් චෝදනා නැගෙනවා?

පහුගිය කාලේ එල්ලවුණු චෝදනාවක් තමයි මේක. මොකද? ජාතික විභාග පද්ධතිය බිඳවැටුණාම මිනිස්සුන්ට මේ ගැන විශ්වාසයක් නැති වෙනවා. විශේෂයෙන්ම මධ්‍යම පන්තියට සල්ලි තිබෙන දෙමව්පියන්ගේ ළමයින් මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්නේ. දුප්පත් ළමයි ගන්නේ නැහැ. පාසල් පද්ධතිය හා ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය බිඳවැටුණාම ඒ බිඳවැටීමට හේතුවෙනවා ජාතික විභාගවල ඇතිවන ව්‍යාකූලභාවය. ඉතින් ඒ රටේ දුප්පත් දෙමව්පියන්ට කරන්නට දෙයක් නැහැ. මුදල් තිබෙන දෙමව්පියන් කල්පනා කරනවා මේ විභාගවල තිබෙන විශ්වසනීයත්වය බිඳ වැටීමත් එක්ක ලබා දෙන සහතිකයේ ගුණාත්මකභාවය පිළිබඳ ප‍්‍රශ්නයක් පැනනගිනවා. එවිට ඔවුන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යොමුවෙනවා කියලා චෝදනාවක් තිබෙනවා. ඒක මතභේදාත්මකයි. මම කියන්නේ නැහැ මේක 100%ක් හරි කියලා. මේ විභාග ක‍්‍රමය බිඳවැට්ටවීම ආණ්ඩුව ගෙන යන පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ වැඩපිළිවෙලට තල්ලූවක් ලබාදීමටයි කියලා ඇතැමෙකුට කියන්නට පුළුවන්.

ධනවාදී රටක අනෙක් හැම දේම පෞද්ගලික අංශයේ තිබිලා. අධ්‍යාපනය විතරක් පෞද්ගලික නොවී තිබෙන්නට බැහැනේ. ලෝකේ ඕනම රටක පෞද්ගලික විශ්වවිද්‍යාල තිබෙනවා. ඇමරිකාව ගත්තත් ප‍්‍රංශය ගත්තත් පෞද්ගලික විශ්වවිද්‍යාල තිබෙනවා. හැබැයි මෙතන ප‍්‍රශ්නය තිබෙන්නේ මේක නෙමෙයි. අධ්‍යාපනය අලෙවි කිරීම සඳහාද කියන කාරණය. බටහිර රටවල විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්නේ කි‍්‍රස්තියානි හෝ කතෝලික පල්ලියෙන්. ඒ විශ්වවිද්‍යාල ලාභ ලබන ආයතන නෙමෙයි. සිසුන්ගේ මුදල් අරමුදලකට දානවා ඒ විශ්වවිද්‍යාලයේම ප‍්‍රගතිය සඳහා. ඒ නිසා ලාබ ලැබීමේ පරමාර්ථයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවා කියන්නේ අධ්‍යාපනය විශාල ලෙස විනාශයට පත්වීමයි. මම නම් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒවා ලාභ ලැබීමේ පරමාර්ථයෙන් බැහැර විය යුතුයි. ලංකාවේ ඉතින් එහෙම විශ්වවිද්‍යාල නැහැනේ. මේ වගේ රටක ලාභ පරමාර්ථයක් නැතුව කවදාවත් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ වෙන්නේ නැහැ. රාජ්‍ය අධ්‍යාපනය දුර්වල වුණාම ඒකේ පාඩුව ගම්බද දුප්පත් ළමයින්ට පමණයි. මේ වෙනකොට ගම්බද පාසල් වැහිලා. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහෙමින් තිබෙනවා. මේ ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵල අද හෙට දකින්නට බැහැ. වසර 10කින් 15කින් තමයි මේ අසාධාරණය එළියට එන්නේ.