මාලිනී ගැන හෝඩුවාව දුන්නේ ජෝ

එන්. ලංකා මාගම්මන

කලාව ගැන තිබෙන දුරම මතකය මොකක්ද?

ඒ කාලේ අද වගේ නෙමෙයි. චිත‍්‍රපට බලන්න ලැබෙන අවස්ථා හරි අඩුයි. හැබැයි ලැබුණු හැම අවස්ථාවකදීම ඉංග‍්‍රීසි, සිංහල, දෙමළ කියලා වෙනසක් නැතිව චිත‍්‍රපට බැලූවා. ඒ කාලේ චිත‍්‍රපට බලනවා කියන්නේ අම්මල, තාත්තල අනුමත නොකරන දෙයක්. මං පොඩි කාලේ ඉඳලා හිතපු දෙයක් තමයි කවදාහරි සිනමාවට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඒත් ඒ කාලේ හැටියට සිනමාවට අපි වගේ අයට සම්බන්ධ වෙන්න එච්චර ලේසි නැහැ කොහොම නමුත් මට අහම්බෙන් වගේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහත්මයා හඳුනා ගන්න ලැබුණා. ඔහු එකල ගුවන්විදුලියට සම්බන්ධ වෙලා බාහිර නිෂ්පාදකයකු හැටියට ගුවන්විදුලි නාට්‍ය කරනවා. පාසල් යද්දිම මං එතුමා හමුවී ඒ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව සලසා ගත්තා. ඔය 1951දී. එතුමා බාහිර නිෂ්පාදකයකු ලෙස කරන වැඩසටහන් වන විචිත‍්‍රාංග, ගුවන්විදුලි නාට්‍ය, සාහිත්‍ය පැත්තට නැඹුරු වූ රේඩියෝ සඟරාව සතියට වරක් පැය 1/2 යන වැඩසටහන්වලට එතුමා මගේ දායකත්වය ලබාගත්තා. සාහිත්‍ය ලිපි, තේරීම වැඩසටහන ඉදිරිපත් කිරීම වැනි කටයුතු මං සිදුකළා. ඒ වගේම මගේ හැකියාවන් අත්හදා බලන්න ගුවන්විදුලි නාට්‍ය කීපයක් රචනා කරන්නත් මට හැකිවුණා. ඒ නාට්‍යවලට කටහඬ දුන්නා. ඒ තමයි මගේ ආරම්භය.

ඔබ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට සමීපවෙන්නෙ කොහොමද?

මේ කාලේ කේ.ඒ.ඩබ්ලිව් ලෙස්ටර් මහතා සමග රේඛාවේ කටයුතු කරලා සංදේශය චිත‍්‍රපටය නිර්මාණය කරන්න ලෑස්තිවෙන යුගය. 19580දී විතර ලෙස්ටර් මහතා සංදේශ චිත‍්‍රපටය කරන කොට එහි තිරපිටපත ලියන්න කේ.ඒ.ඩබ්. සහභාගි වුණා. සංදේශය එවකට නිර්මාණය වූ දැවැන්ත චිත‍්‍රපටයක් නිසා ලෙස්ටර් මහතාට අවශ්‍ය වුණා තවත් හොඳ සහායකයකුගේ සේවය. ඒ බව ඔහුත් පවසා තිබුණා. ඒ අනුව තමයි කේ.ඒඩබ්ලිව් ලෙස්ටර් මහතාට මා හඳුන්වා දුන්නේ.

මාත් සමග සංදේශය චිත‍්‍රපටයේ ප‍්‍රධාන සහයකයන් හැටියට විජය අබේදේවා සුමිත‍්‍රා ගුණවර්ධන කටයුතු කළා. ඒ කාලේ සුමිත‍්‍රා ලෙස්ටර් මහතා සමග විවාහ වී සිටියේ නැහැ. සංදේශය චිත‍්‍රපටය ඒ කාලේ හැටියට දැවැන්ත නිර්මාණයක්. පසුතල දර්ශන පවා සෑහෙන කාලයක් තිස්සේ නිර්මාණය කළා. ඒ වගේම දර්ශන තලවල සෑහෙන කාලයක් තිස්සේ රූපගත කිරීම් සිදුකරන ලද චිත‍්‍රපටයක්.

සංදේශය චිත‍්‍රපටයේ කලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ අරිවංශ වීරක්කොඩි. ඒ කාලේ ඔහු හිටියේ වේයන්ගොඩ. ඔහු හමුවීමට ලෙස්ටර් මහතා සමග ගිය ගමන තමයි, සංදේශ චිත‍්‍රපටයේ වැඩ කටයුතුවලට මම දායක වූ පළමු අවස්ථාව වුණේ. සංදේශයේ දර්ශන තල බොහොමයක් බෙලිහුල්ඔය තමයි නිර්මාණය කරලා තිබුණේ. මෙහිදී කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතාට ගුවන්විදුලියේ නිවාඩු අනුමත කරගැනීමට නොහැකි නිසා ඔහු ලියූ දෙබස් පිටපතෙහි වැඩ කටයුතුත් මා වෙත පැවරුණා. සංදේශයේ රූපගත කිරීම් සම්පූර්ණයෙන්ම නිමවුණාට පසුව එහි සංස්කරණ කටයුතුවලටත් සම්බන්ධ වෙන්න ලෙස්ටර් මහතා මට අවසර ලබා දුන්නා. ඒ අනුව සංදේශය චිත‍්‍රපටයේ ප‍්‍රධාන සංස්කරණ ශිල්පී ටයිටස් තොටවත්ත මහතා හමුවීමට හා ඔහු හා වැඩකටයුතු කිරීමේ අවස්ථාව මට සැලසුණා. එහිදී රසායනාගාර කටයුතු, ශබ්ද පරිපාලන කටයුතු ගැන ඉගෙනීමටත් අවස්ථාව ලැබුණා. දවසක් මගෙන් ලෙස්ටර් මහතා ඇසුවා කවදාද තිස්ස ඔයාගේ චිත‍්‍රපටයක් දකින්න අපට පුළුවන් වෙන්නේ කියලා. මං කිව්වා මං තව චිත‍්‍රපට දෙක තුනක අත්දැකීම් එකතු කරන්න ඕනේ කියලා.

සහය අධ්‍යක්ෂවරයකු ලෙස ලාංකීය සිනමාවට එකතු කළ දේ පිළිබඳ සෑහීමකට පත්වෙනවාද?

සංදේශය චිත‍්‍රපටයෙන් පස්සේ මට ලැබුණා සීගිරි කාශ්‍යප චිත‍්‍රපටය. එහි රංගනයෙන් ගාමිණි, ෂේන්, හෙන්රි ජයසේන, ජෝ අබේවික‍්‍රම වැනි අය සිටියා. සෑහෙන කාලයක් ගතවෙච්ච චිත‍්‍රපටයක්. මට මතක විදිහට වසර 5ක් පමණ ගතවුණා එය ප‍්‍රදර්ශනය කරන්න. සීගිරි කාශ්‍යප නිෂ්පාදනය කළේ වෝල්ටර් මේඞීස්, මුලදි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ පේ‍්‍රමනාත් මොරායස්, පසුව බන්දු ගුණසේකර එය අධ්‍යක්ෂණය කළා. පේ‍්‍රමනාත් චිත‍්‍රපටයෙන් ඉවත් වෙනකොට මාත් ඔහු සමග චිත‍්‍රපටයෙන් ඉවත් වුණා.

1961 දී පමණ සෙරන්ඩිබ් ආයතනයේ මුල්ම චිත‍්‍රපටය වූ රන්මුතු දූව චිත‍්‍රපටයට එකතුවෙන්න මට අවස්ථාව සැලසුණා. එය අතිසාර්ථක චිත‍්‍රපටයක් වුණා. රන්මුතු දූව චිත‍්‍රපටයේ නිෂ්පාදනය ආතර් සී ක්ලාක්, ශේෂා පලිහක්කාර, මයික් විල්සන්. අධ්‍යක්ෂ ලෙස හා කැමරා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළෙත් මයික් විල්සන්. ටයි මහත්තයා තමයි චිත‍්‍රපටයේ සංස්කරණ කටයුතු කළේ. ටයි මහතා තමයි මාව සෙරන්ඩිබ් ආයතනයට හඳුන්වා දුන්නේ. ලාංකීය සිනමාවේ ප‍්‍රථම වර්ණ චිත‍්‍රපටය නිර්මාණය කරන්න දායකවීමට හැකිවීම පිළිබඳ අදටත් මට ලොකු සතුටක් දැනෙනවා. දේශීය සිනමාවේ විප්ලවීය වෙනසකට රන්මුතු දූව අත්පොත් තැබූ බව කිව යුතුයි. එදා කාටවත් හිතන්නවත් බැරි මුහුදු යට දර්ශන ඇතුළත් එවකට නිර්මාණය වූ ප‍්‍රථම චිත‍්‍රපටය රන්මුතු දූව වුණා. ඒ වෙනකොට ඉන්දියාවේ සිනමාවේ පවා එවැනි දර්ශන ඇතුළත් චිත‍්‍රපටයක් නිර්මාණය වෙලා තිබුණේ නැහැ. රන්මුතු දූවේ තිර පිටපත මයික් විල්සන් ලියා තිබුණේ ඉංග‍්‍රීසි භාෂාවෙන්. ඔහු මගෙන් විමසුවා එය සිංහල භාෂාවට හරවන්න පුළුවන්ද කියලා. ඒ කාර්යය සිදුකළේ මා විසින්.

අපට තිබුණු එකම ප‍්‍රශ්නය වුණේ වර්ණ රසායනාගාර පහසුකම් ඒ කාලේ නොතිබීමයි. ඒ ප‍්‍රශ්නය විසඳුණේ ආතර් සී. ක්ලාක් මහතා නිසයි. ඔහුගේ දායකත්වයෙන් එංග ලන්තයේ ‘ටෙක්නික්ලර්’ රසායනාගාරයෙන් චිත‍්‍ර පටයේ රසායනාගාර කටයුතු සියල්ල කර ගැනීමට හැකියාව ලැබුණා. මිලි මීටර් 16 කැමරාවේ රසායනාගාර කටයුතු කළේ එංගලන්තයේ ‘රැුන්ක් රසායනාගාරයෙන්.’ අපි චිත‍්‍රපටය මි.මී. 16 සහ මි.මී. 35 කැමරා දෙකක් පාවිච්චි කළා. සංස්කරණ කටයුතුවලට මයික් සහ ටයිටස් දෙන්නාම එංගලන්තයට ගියා. මට මතක හැටියට එංගලන්තයෙන් රන්මුතු දූව චිත‍්‍රපටයේ පිටපත් 15ක්, ඒ දවස්වල අප ලබාගත්තා. රන්මුතු දූව චිත‍්‍රපටයේ එන පිපී පිපී රේණු නටන, පාරමිතා බලපූරිත පූජිත, ගලන ගඟකි යන ගීත රූපගත කිරීමේ කටයුතු මයික් සම්පූර්ණයෙන්ම මට පැවරුවා.

මයික් විල්සන් හා තිස්ස ලියනසූරිය සුසංයෝගයේ ප‍්‍රතිඵලය තමයි ගැටවරයෝ.

ඇත්තටම හොඳ පිවිසුමක්. මයික් විල්සන් කියන මේ අධ්‍යක්ෂවරයාට මා ගැන හොඳ පැහැදීමක් තිබුණා. රන්මුතු දූව චිත‍්‍රපටයේ වැඩ කටයුතු කිරීමේදී තමයි මේ බැඳීම ඇතිවුණේ.
අප මුලදීම හිතුව දෙයක් තමයි රන්මුතු දූවට වඩා වෙනස් කතා සාරාංශයක් සහිතව ගැටවරයෝ නිර්මාණය කරන්න ඕනේ කියලා. අපට ඕනේ වුණා තරුණයන්ගේ ප‍්‍රශ්නයක් ගැන කතා කරන්න. විරැුකියාව පිළිබඳ තරුණ අසහනය අද වගේම එදත් ඔඩුදුවපු ප‍්‍රශ්නයක්. ගැටවරයෝ කළු සුදු චිත‍්‍රපටයක් ලෙස නිර්මාණය වුණත් එය පේ‍්‍රක්ෂකයාට සමීප චිත‍්‍රපටයක් වුණා. එවක සමාජ, දේශපාලන, ආර්ථික, ප‍්‍රතිරූපය ගැටවරයෝ හරහා අප එළිදැක්වූවා. ගැටවරයෝ චිත‍්‍රපටයේ තිර පිටපත රචනා කරන්න අප භාර දුන්නේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතාටමයි. එවකට සිනමා කර්මාන්තයේ නියැලෙන නළුවන් නිළියන් අතරින් අවශ්‍යම කෙනා තමයි චරිතවලට තෝරා ගත්තේ. ඒ අනුව ගාමිණී, ජෝ, තෝරා ගත්තා. මට මතක හැටියට ටෝනි ගැන කිව්වේ ගාමිණී. පත්තර වාර්තාකරුවකුට ගැළපෙන කෙනෙක් ඉන්නවා අප එයාට මේ චරිත දීලා බලමු කියලා. ඒ වගේම මෙහි ප‍්‍රධාන නිළි චරිතයට අප අලූත් මුහුණක් හෙව්වාම විලි බ්ලේක් තමයි ශලින්දි සිල්වා ගැන කිව්වේ. ඇයගේ තම චිත‍්‍රපටයේදී නිල්මිණි සිල්වා වුණා. ඇය ඉංග‍්‍රීසි කැඩිච්ච සිංහල භාවිත කරන්න පුළුවන් වූ නිසා අප ඇයට මෙහි ප‍්‍රධාන නිළි චරිතයට ඇතුළත් කර ගත්තා. ජෝ, ගාමිණී, ටෝනි වගේ නළුවන් සමග වැඩ කරන එක ඇත්ත වශයෙන්ම සම අධ්‍යක්ෂවරුන් හැටියට අපට සහනයක් වුණා.

ඔබේ නිර්මාණයන් වූ 65 සාරවිට, 68 පුංචි බබා, 69 නාරිලතා චිත‍්‍රපට ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?

සෙරන්ඩිබ් සමාගම මීට ප‍්‍රථම නිර්මාණය කරපු චිත‍්‍රපට දෙකටම වඩා වෙනස් නිර්මාණයක් කරන්න අපට අවශ්‍ය වුණා. සාරවිට චිත‍්‍රපටයේ අදහස පළමුවෙන්ම ආවේ ජෝ අබේවික‍්‍රමගෙන්. සබරගමු දේවාලේ පෙරහැර තියෙන දවස්වලට එනවා සාරවිටකාරයෙක්. ඒ සාරවිටකාරයාගේ චරිතය අරගෙන අපි කතාවක් කරමු. ඒ කතාවත් ලියන්න කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාට දුන්නා. ප‍්‍රධාන චරිතයට ජෝ පිළිබඳ අපගේ අදහසක් මුලදීම ඇතිවුණා. කතාව ලියා අවසන් වූ විගස ශේෂා පලිහක්කාර, මයික් විල්සන්ට මෙය පෙන්නුවා. මයික් කිව්වා මේක මගේ ශෛලියේ කතාවක් නෙමෙයි කියා. ඒ නිසා මට ඒ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ කටයුත්ත පැවරුණා. මං ඒ අභියෝගය කැමැත්තෙන් භාර ගත්තා. රන්මුතු දූව හා ගැටවරයෝ තරමට සාර්ථක වුණේ නැති වුණාට දින 100ක් සිනමා ශාලාවල ප‍්‍රදර්ශනය කළා.

සුගතදාස මාරසිංහ නිෂ්පාදනය කරන සිංහගිරි චිත‍්‍රපට වෙනුවෙන් පුංචි බබා නිර්මාණය කළා. විධායක නිෂ්පාදක ලෙස කටයුතු කළේ ජෝ අබේවික‍්‍රමයි. ජෝ තමයි යෝජනා කළේ පොඞ්ඩක් හාස්‍ය පැත්තට බරවූ චිත‍්‍රපටයක් කරමුයි කියලා. තිරකතාව ලිව්වේ විමලවීර පෙරේරා. ජෝ සහ මගෙයි උදව්වත් එයට එකතු කළා. ඒ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට ජෝ එකම සුදුස්සා ලෙස අප තෝරා ගත්තා. මේ සඳහා ප‍්‍රධාන නිළිය ලෙස අලූත් නිළියක් තෝරාගැනීමට වුවමනා වුණා. ඒ අනුව තමයි මාලනී ෆොන්සේකත් තෝරා ගත්තේ. ජෝ තමයි මාලනී ගැන හෝඩුවාව අපට දුන්නේ. එවකට ඇය රඟපාලා තිබුණේ එක නාට්‍යයක පමණයි. සිනමා කලාවේ තාක්ෂණය පිළිබඳ බොහෝ ඉක්මනින් තේරුම් ගැනීමට මාලනීට හැකිවුණා. මාලනී පුංචි බබා චිත‍්‍රපටයේ රඟපාන කොට ඇයට වයස 18/20 අතර. ප‍්‍රධාන චරිතය හරි සරල චරිතයක්. චිත‍්‍රපටයත් සරල චිත‍්‍රපටයක් නිසා මාලනීට පළමු චිත‍්‍රපටය රඟපාන්න අමාරු වුණේ නැහැ.

නාරිලතා චිත‍්‍රපටයේ, නිෂ්පාදක ලෙස කටයුතු කළේ එල් ඒ දාවිත් සිංඤෝ මහතායි. නාරිලතා චිත‍්‍රපටය කතා තේමාව දුම් කෝච්චියක රියදුරු, ගාඞ්, ෆයර්මන් උපයෝගී කරගනු ලැබුවා. ධර්මසිරි ගමගේ මහතා තමයි නාරිලතා චිත‍්‍රපටයේ තිර නාටකය ලියුවේ. කිත්සිරි පෙරේරා, ජෝ, ටෝනි ප‍්‍රධාන චරිත තුනටත් සෙසු චරිතවලට සන්ධ්‍යා කුමාරි, අනුලා කරුණාතිලක සහ එස්.ඞී. කුලතුංග සම්බන්ධ වුණා.

ලාංකීය සිනමාවේ ඔබ දුටු දක්ෂතාවෙන් හා ආකර්ෂණීයම නිළිය කවුද?

බලන එක බැල්මකින්, කටහෙඬ් පෞරුෂ්‍යත්වය, ගායනා කිරීමේ හැකියාව හා ඒ කාලයේ ලංකාවේ සිනමාවේ තිබුණු පහසුකම් අනුව මං හිතනවා රුක්මණී වගේ නිළියක්ගෙන් ලාංකීය සිනමාවට ලැබුණු දායකත්වය ඉතා ඉහළයි. අප ඇයව අගය කළාද කියන ප‍්‍රශ්නය ලාංකීය සිනමාවෙන්ම ඇසිය යුතු ප‍්‍රශ්නයක්. ඒ කාලේ කලාව, සිනමාව, සමාජය ප‍්‍රතික්ෂේප කරපු යුගයක්. එවැනි යුගයක් රුක්මණී දේවිය ලාංකීය සිනමාව වෙනුවෙන් කළ මෙහෙය ප‍්‍රබලයි. ඇයගේ තියෙන හැකියාව, රංගන ශිල්පියෙක් ලෙස නැටුම් ශිල්පිනියක් ලෙස, ඇය දැක්වූ දක්ෂතා සුවිශාලයි. ඇය ඒ වගේම නිහතමානි කාන්තාවක්. රුක්මණී හොඳ ඉගෙනීමක් තිබුණු නිළියක්. දස්කොන් චිත‍්‍රපටයේදී ඇය සමග මට එකට වැඩ කරන්න අවස්ථාව සැලසුණා. ඇය ඇත්තම ලාංකීය සිනමාවේ නිළි රැුජින ලෙස හැඳින්වූවාට වරදක් නැහැ.

සිනමාවෙන් ඔබ ඈත්වුණේ ඇයි?

1970දී පමණ රජයේ චිත‍්‍රපට අංශයේ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස වැඩ භාරගැනීමට සිදුවුණා. ඒ අනුව ලංකාවේ ඉතා වටිනා වාර්තා චිත‍්‍රපට කීපයකටම සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණා. රජයේ චිත‍්‍රපට අංශයේ වසර 21ක් පමණ සේවය කළා. චිත‍්‍රපට නිෂ්පාදන සමාගම් ක‍්‍රමයෙන් චිත‍්‍රපටවලින් ඉවත්වීමත් සමග තමයි මා මේ තීරණයට එළැඹුණේ.

ඔබ දේශපාලනයට සම්බන්ධ වුණාද?

ලාංකීය සිනමාව වෙනුවෙන් ජාතික චිත‍්‍රපට සංස්ථාව නිර්මාණය කරන්න අප මූලික වුණා. පෞද්ගලික දේශපාලන වාසි බලාගෙන නෙමෙයි අප දේශපාලනය කළේ. ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භයේදී ලාංකීය සිනමා කර්මාන්තය වෙනුවෙන් බලාපොරොත්තු වූ වැඩ කටයුතු බොහොමයක් ඉටුවුණා. හැබැයි අවාසනාවට චිත‍්‍රපට සංස්ථාව කාලයත් සමග මංමුලා වුණා. අද වෙනකොට ජාතික චිත‍්‍රපට සංස්ථාවෙන් ලාංකීය සිනමාව වෙනුවෙන් වෙන සේවාවක් නැහැ.

ඔබ ඉපදුණේ කොහේද?

මං බොරැුල්ලේ දුන්වත්තේ. ඒ කාලේ මේ හරියට කියන්නේ දුන්වත්ත කියලා. මගේ පවුලේ 6 දෙනෙක් හිටියා. මං පවුලේ බාලයා. මං ඉගෙන ගත්තේ මරදාන ශාන්ත ජෝසප් විදුහලේ. මට රෝහණ තිස්ස ලියනසූරිය කියලා නම තැබුවේ ශ‍්‍රී ජයවර්ධනාරාමයේ ලොකු හාමුදුරුවෝ.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;