නර්තනයේ ගිනි සිළුව ජිලියන් ලින්

ප‍්‍රභාෂ්වර

එංගලන්තයේ කෙන්ට් ප‍්‍රාන්ත යට අයත් බ්‍රෝම්ලි නමැති ගමෙහි 1926 පෙබරවාරි 20 දින උපත ලද ජිලියන් ලින් කුඩා කල පටන් විනාඩි කිහිපයක් වුව එක තැන රැුඳී සිටීමට නොහැකි නිතරම නලියන දැරියක ලෙස සිය මාපියන්ගේ උදහසට ලක්ව සිටියාය. ඇගේ මෙම දාංගලය ප‍්‍රාථමික පාසලේ ගුරුවරුන්ටද මහත් ප‍්‍රහේළිකාවක් බවට පත්ව තිබුණි. පාසලෙන් පවරන ගෙදර වැඩ පවා නියමිත වේලාවට සම්පූර්ණ නොකරන හෙයින් කිසිදු කාර්යයකට නිසි අවධානයක් යොමු කරගත නොහැකි යම් මානසික ආබාධයකින් ඇය පෙළෙන බව ගුරුවරුන්ගේ නිගමනය විය. ඉස්සෙකු මෙන් එහෙ මෙහෙ පනින දැරිය, බෙහෙත් ලබාදී හෝ එක තැනක තැබිය යුතුය යන අරමුණ ඇතිව ජිලියන් ලින් මනෝ වෛද්‍යවරයකු වෙත කැඳවාගෙන යෑමට ඇගේ මව ක‍්‍රියාකළාය. එවිට ජිලියන්ගේ වයස අවුරුදු 7ක් පමණ විය. ‘අවධාන ඌනතා හා අධික‍්‍රියාකාරීත්ව’ රෝගයෙන් ජිලියන් නියත වශයෙන්ම පෙළෙන බව ඥාති හිතමිත‍්‍රාදීහු පවා ඇගේ මාපියන්ට නිතර කියා සිටියහ.

රෝග විනිශ්චය

ජිලියන්, මනෝ වෛද්‍යවරයා සමග කතාබහ කළේද එක ඉරියව්වක නොරැඳෙමින්, හතරතට අතපය විසි කරමිනි. මෙය මවගේ කෝපයට හේතු වුණු නමුත් මනෝ වෛද්‍යවරයා ජිලියන්ට තම අදහස් නිදහසේ ප‍්‍රකාශ කරන්නට ඉඩ සැලැසුවේය. ඉනික්බිති ඔහු තම සායනයේ තිබූ රේඩියෝ යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කළේය. එකෙණෙහි ඉන් පිටවුණු සංගීතයට අනුව පා තබමින් දැරිය සායනය මැද වේගයෙන් නටන්නට පටන් ගත්තාය. දැරියගේ නර්තනය මවට පෙන්වූ දොස්තර මහතා පවසා සිටියේ ජිලියන් දුර්වල ළමයකු නොව අනේකවිධ රිද්මයන්ගෙන් සපිරි දක්ෂ නැට්ටුක්කාරියක බවයි. ලන්ඩනයේ ඇති කීර්තිමත් නර්තන පාසලකට දැරිය ඇතුළත් කරන්නැයි මනෝ වෛද්‍යවරයා මෑණියන්ට උපදෙස් දුන්නේය. දොස්තරගේ උපදෙස්වලට ඇහුම්කන් දුන් මව තම දියණිය මොලී ලේක් නමැති ගුරුවරියගේ බැලේ නැටුම් පන්තියට ඇතුල් කළාය. මාස කිහිපයක් ඇතුළත එම පන්තියේ හොඳම ශිෂ්‍යාව බවට පත්වීමට ජිලියන් ලින් සමත් වූවාය. මොලී ලේක්ගේ බැලේ නර්තන කණ්ඩායම ග්ලාස්ගෝහි නැටුම් සංදර්ශනයකට සහභාගි වෙමින් සිටියදී එහි රැුඟූ ජිලියන් ලින්ගේ හුරුබුහුටි නැටුම් රිද්මය ලෝ ප‍්‍රකට නැටුම් නිර්මාණකාරියක වූ නිනෙට් දි වැලොයිස්ගේ නෙත ගැටුණි. ලන්ඩන්හි පිහිටි රාජකීය ඔපෙරා නිවහනට සම්බන්ධ වන්නැයි නිනෙට් කළ ඇරයුම ජිලියන් එක පයින් පිිළිගත්තාය. සිය නර්තන දිවියේ වැදගත් සන්ධිස්ථානයකට එළැඹි එම මොහොතේ ඉතා අවාසනාවන්ත ලෙස ජිලියන්ගේ මව කවෙන්ටි‍්‍රහි සිදුවූ රිය අනතුරකින් මරණයට පත් වූවාය. වියෝගයේ වේදනාව බැහැර කිරීම පිණිස ඇය සිය නැටුම භාවිත කිරීමේදී ඇගේ නර්තන කුසලතා නරඹන්නන්ගේ විස්මයට පත් කරවන තරමටම තීව‍්‍ර වීම නොවැළැක්විය හැකි විය. නිනෙට් දි වැලොයිස්ගේ ‘චෙක් මේට්’ නමැති බැලේ නාට්‍යයෙහි ‘කළු රැුජිණ’ ලෙස 20 හැවිරිදි ජිලියන් ඉදිරිපත් කළ රංගනය පේ‍්‍රක්ෂක නෙත් සිත් වසඟ කිරීමට සමත් වූයේ ඒ නිසාය. එදත් අදත් බි‍්‍රතාන්‍යයේ ජනප‍්‍රියම රඟහල ලෙස සැලකෙන්නේ ආසන 2286කින් සමන්විත ‘ලන්ඩන් පැලඩියම්’ නමැති දැවැන්ත රංග ශාලාවයි. 1951දී, එනම් වයස අවුරුදු 25 වනවිට මෙම සුවිශේෂ රඟහලේ ප‍්‍රධාන නර්තන ශිල්පිිනිය බවට පත්වීමට ජිලියන් ලින් සමත් වූවාය.

බි‍්‍රතාන්‍ය ටෙලිවිෂන් කලාව ආරම්භ වූ මුල් අවධියේදී නර්තන ශිල්පිනියක හා ටෙලි නිළියක ලෙස කිරුළු පැළඳීමේ වාසනාවද ජිලියන්ට හිමිවිය. විලියම් කීලි අධ්‍යක්ෂණය කළ ‘මාස්ටර් ඔෆ් බැලන්ටි‍්‍ර’ චිත‍්‍රපටයේ මේරියන්ගේ චරිතය නිරූපණය කිරීමත් සමග ඇගේ ජනප‍්‍රියත්වය ලොව දසත පැතිර ගියේය. 1953දී තිරගත වුණු මෙම චිත‍්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක ආදායමක් ඉපැයීය. සිය අසමසම නර්තන හැකියාව හරහා 27වන වියේදී කෝටිපතිනියක බවට පත්වීමට ජිලියන්ට හැකිවිය.

මවගේ වියෝව

මෑණියන්ගේ ඛේදජනක මරණය සහ ඉන් ඇය තුළ හටගත් දැඩි කම්පනය පිළිබඳව ජිලියන් සිය අදහස් දක්වන්නේ මේ අයුරිනි. ‘දැන් මගේ වයස අවුරුදු 89ක්. මගේ මව හදිසි අනතුරකින් මරණයට පත්වුණේ මීට අවුරුදු 76කට පෙරයි. එහෙත් ඒ දවස මට අද වගේ මතකයි. 1939 ජූලි 8 වැනිදා උදැහැන කෙන්ට් ප‍්‍රදේශයේ මනරම් උද්‍යානයකට වී 13 හැවිරිදි මාත් මගේ වයසේ යෙහෙළියන් හතරදෙනෙකුත් සතුටින් සෙල්ලම් කරමින් සිටියා. අපි හැමෝගේම මව්පියන්, අපව අපේ සීයා හා ආච්චි ළඟ තබා විනෝද ගමනක් ගොස් තිබුණේ ළමයින්ගෙන් ටික දවසක් හෝ ඈත්වී හොඳ විවේකයක් ලබාගැනීමේ අරමුණ ඇතිවයි. විනෝද ගමන ගිය එක් ජෝඩුවකගේ මව්පිය දෙපළක් සීයාගේ නිවසට පැමිණ තිබුණේ ළමයින් 5 දෙනා බලාගැනීමට ඔවුන්ට උදව්කිරීම සඳහායි. මේ සීයලා ආච්චිලා අපට නිවාස අසල පිහිටි උද්‍යානයේ සෙල්ලම් කිරීමට ඉඩහැර ගෙතුළට වී කතාබහ කරමින් සිටියා. වසන්තය එළැඹ තිබූ හෙයින් උයන හැමතැනම විසිතුරු මල් පිපී තිබුණා. අපි පස්දෙනා උයන පුරා දිව ගියේ ඉපිල ගිය ප‍්‍රීතියෙනුයි. එහෙත් උදේ දහය විතර වෙනකොට සීයලා හා ආච්චිලා කලබලයෙන් මෙන් නිවසින් පිටතට පැමිණ අපට වහාම ගෙට එන්නැයි අණකර සිටියා. ඔවුන්ගේ මුහුණු මහත් කණස්සලකින් පිරී තිබෙනු හා දුටුවා. මහ විපතක් කාට හෝ සිදුව තිබෙන බව අපි පස්දෙනාට වැටහී ගියේ වැඩිහිටියන් හරිම අමුතු විදිහට හැසිරුණු නිසායි. නිවසින් පිටතට නොගොස් ඇතුළේම සිටින්නැයි ඒ අය අපට කිව්වත්, එතැනින් එහාට සිදුව තිබෙන කිසිවක් හෙළිදරව් කළේ නැහැ. ? 11ට විතර අපේ තාත්තා සීයාගේ නිවස වෙත පැමිණියා. ඔහුගේ අවුල් වූ හිසකෙස්, රතුවුණු දෑසත් දුටු විට මට ඇත්තෙන්ම පුදුම හිතුණා. මන්ද තාත්තා සාමාන්‍යයෙන් එහෙම අපිළිවෙළට සිටින කෙනෙකු නොව ඉතාමත් විනෝදශීලී පුද්ගලයෙකු වග මා හොඳින් දන්නා නිසායි. ඔහු මාව තුරුලට ගෙන ඉකිබිඳිමින් හඬන්නට පටන් ගත්තා. ඉන්පසු බිඳුණු ස්වරයෙන් ඔහු මට මෙහෙම කිව්වා. ‘තාත්තලාට නිවාඩු නිකේතනයට වී ඉන්නැයි කියා අම්මා ඔයාගේ යහළුවන්ගේ මව්වරුන් එක්ක කාර් එක එළවාගෙන සාප්පු සවාරියක් ගියා. ඒ ගමන අතරතුර කාර් එක පාරෙන් ලිස්සා ගොස් පෙරලූණා. කාරෙකේ හිටපු අම්මලා හතර දෙනෙක්ම මැරුණා. බේරුණේ එක්කෙනෙක් විතරයි. ඉතින් ආයේ කවදාවත්, ඔයාට ඔයාගේ අම්මාව පණපිටින් මුණගැහෙන්නේ නැහැ.’ තාත්තා එහෙම කිව්වාම මං ඔහුව බදාගෙන මහ හයියෙන් හැඬුවා. තාත්තේ, අම්මා නැතුවාට මං ඔයාව හොඳින් බලාගන්නවායැයි මා පැවසූ විට ඔහු ඉකිබිඳිමින් වැළපුණු අයුරු මට මතකයි. අම්මාගේ මරණයත් සමග මගේ සුන්දර ළමා විය අවසන් වුණායැයි මට හිතුණා. හදවත පතුළින් බුර බුරා නැඟී එන දැඩි ශෝකය තුනීකරගැනීම පිණිස මා බොහෝ වේලාවක් දුෂ්කර නර්තන අභ්‍යාසයන්හි නියැලූණා.

හොඳට නටනකොට, කොහේ හෝ උස් තැනක සිට අම්මා මා දෙස බලමින් සතුටු වනු ඇතැයි මට නිතර සිතුණා. විස්තර කළ නොහැකි ආවේශයක් ලෙස නැටුම මගේ සිරුර අභ්‍යන්තරයටම කිඳා බැස්සේ අම්මා නැතිවුණු ශෝකයේ දෝංකාරයක් ලෙසයි. ‘කැට්ස්’ හා ‘ෆැන්ටම් ඔෆ් ඔපෙරා’ වැනි විශිෂ්ට ගී නළු මා අතින් නිර්මාණය වුණේ කොහොමදැයි මාධ්‍යවේදීන් මගෙන් නිතර විමසනවා. බෙල්ලෙකු තනන මුතු මෙන්, මගේ හදපතුළින් නැඟුණු දුක් කන්දරාව, මේ නිර්මාණ බිහිකිරීමට ඍජුවම දායක වුණු වග එවිට මා ඒ අයට නොපැකිළව පවසා සිටිනවා. එංගලන්තයේ රජ පවුල ඇතුළු සම්භාවනීය පේ‍්‍රක්ෂක සමූහයක් අබියස, මගොට් ෆොන්ටීන් අධ්‍යක්ෂණය කළ ‘ස්ලීපින් බියුටි’ ගීත නාටකයේ රඟන විට මට දැනුණේ පේ‍්‍රක්ෂකාගාරයේ සිවිලිමේ හිඳ අම්මා මා දෙස බලා ඉන්නවා කියායි. හොඳින් නටා අම්මා සතුටු කළ යුතුයැයි සිතූ සැණින් ඇදහිය නොහැකි තරමේ ජවයක් මගේ සිරුර තුළට ගලා ආවා. එම නර්තනය අවසානයේ පේ‍්‍රක්ෂකාගාරයෙන් නැඟුණු කන් බිහිරි කරවන තරමේ අත්පොළසන් නාදය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අධ්‍යක්ෂිකා මාගොට්, ගීත නාටකය අවසානයේදී මට කීවේ එවැනි සුපිරි ගණයේ නර්තනයක් මින් පෙර කිසිදිනෙක ඇගේ නෙත නොගැටුණු බවයි. නොපෙනෙන යම් තැනක සිට අම්මා නොමඳව තිළිණ කළ දිරිය, බැලේ නර්තන ශිල්පිනියක ලෙස ජීවිතය ජයගැනීමට මට මහත් පිටුබලයක් සැපයුවා.’

බැලේ තාරකාවක් බවට පත්වීම

1975දී ඕස්ටේ‍්‍රලියාව බලා ගිය ජිලියන් ලින්, ඕස්ටේ‍්‍රලියානු බැලේ පාසල විසින් මුල්වරට ටෙලි ගී නළුවක් ලෙස නිපැයූ ‘ද ෆුල් ඔෆ් ද හිල්’ නමැති ගීත නාටකය අධ්‍යක්ෂණය කළාය. 80 දශකයේදී ලොව පුරා ජනප‍්‍රිය වුණු ‘ද මපට් ෂෝ’ නාට්‍ය මාලාවේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළේද ඇයයි. ලෝ ප‍්‍රකට ගීත නාටක 55කට හා චිත‍්‍රපට 17කට රංගනයෙන් හා නැටුම් අධ්‍යක්ෂණයෙන් සිය දායකත්වය පිරිනැමූ ජිලියන්, 2015 ජනවාරියේදී ‘වැඩිහිටියන්ගේ නීරෝගී සුවය සඳහා ව්‍යායාම’ නමින් ඞීවීඞී තැටියක් නිකුත් කළාය. වයස අවුරුදු 89දීත් ඇය ඉතා දුෂ්කර ව්‍යායාමයන්හි යෙදෙන්නේ නව යොවුන් තරුණියකගේ ජව සම්පන්නභාවය නොමඳව පෙන්වමිනි. දිනපතාම යෝග ව්‍යායාමවල හා විපස්සනා භාවනාවේ නියැලූනු හෙයින්, ක‍්‍රියාශීලී හා ප‍්‍රීතිමත් ජීවිතයක් තමන්ට උරුම වුණු බව ජිලියන් ලින් අවධාරණය කරයි. වත්මන් බැලේ නර්තන ශිල්පීන් හා ශිල්පිනියන් සිය පුහුණුවීම්වලදී හැම පැයකට වරක්ම මිනිත්තු 15ක විවේකයක් ගැනීම තමා පුදුමයට පත් කරවන බවත්, අවුරුදු 89දීත් පැය තුන හතරක් පමණ නොකඩවා බැලේ නර්තනයේ නිරත වීම තමාට සුළු දෙයක් බවත් ඇය කියයි. ලෝක පූජිත බැලේ නාට්‍ය ශිල්පිනියක ලෙස කිරුළු පළන් ජිලියන් ලින්ගේ ජීවිතයෙන් අපට උගත හැකි පාඩම් දෙකක් තිබේ. පළමුවැන්න, එක තැන රැුඳී සිටිය නොහැකි දඟකාර දරුවන් අපතයන් ලෙස සලකා ඔවුන්ට දඬුවම් දීම වෙනුවට එම ජවය යම් ඵලදායී පුහුණුවක් වෙත යොමුකිරීම මව්පියන්ගේ හා ගුරුවරුන්ගේ යුතුකමයි. ජීවන ගමනේදී අප මුහුණ දෙන අනන්ත දුක් දොම්නස්වලින් නොසැලී එම ශෝකී චේතනා සාධනීය බලයක් බවට පත්කරගැනීම ජිලියන්ගෙන් අප උගත යුතු දෙවැනි පාඩමයි. රත්න ශ‍්‍රීගේ කවි පද කිහිපයක් මෙහි උපුටා දැක්වීම වටී.
‘දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස’

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;