තාජුදීන් පැහැරගත්තේ ශිරන්තිට දුන් වාහනයකින්

අබිරහස් ලෙස ඝාතනය කරන ලද රගර් ක‍්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන තෙක් කර ඇති විමර්ශනවලින් හෙළිවී ඇත්තේ ජීප් රථයකින් ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවය. එම ජීප් රථය හිටපු ජනාධිපති බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට රතුකුරුස සංවිධානය විසින් ලබා දුන් එකක් බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

මේ අතර රගර් ක‍්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණයට ජනාධිපති ආරක්ෂක අංශයේ තිදෙනකු සම්බන්ධ බව ඇමති රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අගෝස්තු 06වැනිදා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී ප‍්‍රකාශ කළේය.

මිහිදන් කරන ලද රගර් ක‍්‍රීඩකයාගේ සිරුර ලබන 10 වැනි සඳුදා ගොඩ ගන්නට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා රහස් පොලිසියට පසුගිය 6 වැනි දින අවසර දෙන ලදි.

අස්ථි බිඳීයාම් සහ ශරීරයට සිදුවී ඇති හානි පිළිබඳව විශ්ලේෂණයක් කිරීමට ක‍්‍රීඩකයාගේ සිරුර ගොඩගැනීම සඳහා ඝාතනය පිළිබඳව පරීක්ෂණ සිදුකරන රහස් පොලිස් කණ්ඩායම නීතිපති මාර්ගයෙන් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලිය සුසාන භූමියේ මිහිදන් කර ඇති එම සිරුර අධිකරණ වෛද්‍ය මණ්ඩලයත්, පල්ලියේ පූජකතුමා, ග‍්‍රාමසේවක යන අයත් ඉදිරියේ ගොඩගන්නට අවසර ලබා දුන් අතර එම දිනය පැමිණෙන තුරු පල්ලියේ වළදැමූ ස්ථානයට පොලිස් ආරක්ෂාව සපයන ලෙසද නියෝග නිකුත් කර ඇත. 10වැනිදා පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණය ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන්්, මහාචාර්ය ජීන් පෙරේරා සහ නියෝජ්‍ය අධිකරණ වෛද්‍ය නිලධාරී හේවගේ යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්ව යෙන් පැවැත්වීමට නියමිතය.

2012 මැයි 17 වැනි දින නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය අසලදී රගර් ක‍්‍රීඩකයාගේ පිළිස්සුණ ශරීරය සහ මෝටර් රථය හමුවී තිබුණ අතර එවකදී පොලිසිය ප‍්‍රකාශ කළේ මෙය ඝාතනයක් නොව රිය අනතුරක් බවය. පසුගිය ජනවාරි 8 වැනි දින මහින්ද රාජපක්ෂ බලයෙන් පහවීමත් සමග මෙම මරණය පිළිබඳව පරීක්ෂණ නැවත ආරම්භ වන අතර වසර 2 1/2කට අධික කාලයක් පමාවූ රස පරීක්ෂක වාර්තාවද පොලිසියට ලැබෙන්නේ ඉන් අනතුරුවය. දත් කඩා, කලවා ප‍්‍රදේශයේ අස්ථි බිඳ, තියුණු ආයුධයකින් ගෙල සිදුරු කර කෲර ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බව දැනට ක‍්‍රියාත්මක පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;