බ්ලූමැන්ඩල් වෙඩි තැබීමෙන් හෙළිවන පාතාල සම්බන්ධකම්

විශේෂ ලියුම්කරුවකු විසිනි

උතුරු කොළඹ බ්ලූමැන්ඩල් පාරේ ශාන්ත බෙනඩික් විදුහල් ක‍්‍රීඩාංගනය අසලදී පසුගිය ජූලි 31 සිකුරාදා පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමත් සමග ඡන්ද ව්‍යාපාරය හා ඈඳෙන පාතාලය ගැන යළි කතා කරන්නට පටන්ගෙන ඇත.

මුදල් අමාත්‍ය එජාප උතුරු කොළඹ ආසන සංවිධායක රවී කරුණා නායකගේ ආධාරකරුවන් පිරිසකට එදින එම වෙඩි ප‍්‍රහාරය එල්ල වී තිබුණු අතර ඔවුන් එම අවස්ථාවේදී රවී කරුණානායකගේ ජය පතා අත් පත‍්‍රිකා බෙදමින් මහමග ගමන් කරමින් සිට ඇත.

බ්ලූමැන්ඩල් පාරේ බ්ලූමැන්ඩල් සිට ආමර්වීදිය දෙසට එම ආධාරකරුවන් ගමන් කරමින් සිට ඇති අතර බ්ලූමැන්ඩල් දෙස සිට පැමිණ ප‍්‍රහාරය එල්ල කළ වුන් එම ආධාරකරුවන් පසුකර ගොස් ආධාරකරුවන්ගේ ගමනට බාධා වන පරිදි ඔවුන් ගමන්ගත් වාහනය මහමග හරස්කර අදාළ වෙඩි ප‍්‍රහාරය එල්ල කර තිබේ.

එම වෙඩි ප‍්‍රහාරයෙන් එම අවස්ථාවේදීම කොළඹ 15 කිඹුලාඇල පදිංචි හතළිස් හතර හැවිරිදි තිදරු මවක් වූ සිත්ති නසීමා මිය ගිය අතර ඉන් දින තුනකට පසු අගෝස්තු 03 දින කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොළඹ 14 ස්ටේස්පුර පදිංචි තිස්හය හැවිරිදි නිරෝෂන් සම්පත් නමැත්තා මිය ගියේය. සිද්ධිය වූ දින මියගිය තැනැත්තාට අමතරව එම වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ දොළොස් දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර පසුව මියගිය නිරෝෂන් සම්පත් ඉන් එක් අයකු විය.

මෙම වෙඩි තැබීම විරුද්ධ දේශපාලන පක්ෂය හෙවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාතාල මැර කණ්ඩායමක් විසින් එජාප ආධාරකරුවන්ට එල්ල කරන ලද වෙඩි ප‍්‍රහාරයක් වශයෙන් එජාපය හඳුන්වා දෙනු ලැබූ අතර සිද්ධිය වූ දින සවස ජන මාධ්‍ය සාකච්ඡුාවකට එක්වෙමින් රවි කරුණානායක මහතා ප‍්‍රකාශ කළේ එම වෙඩි ප‍්‍රහාරය ‘රාජපක්ෂ අවතාරය නැවත හොල්මන් කිරීමක්’ වශයෙනි. එසේ වුවද එම වෙඩි ප‍්‍රහාරය මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප‍්‍රහාරයක් ලෙස තමා නොසිතන බව සුජීව සේනසිංහ මහතා පවසා තිබූ අතර ශ‍්‍රිීනාත්් පෙරේරා මහතා එම මතයට සමාන අදහසක් ප‍්‍රකාශ කර තිබුණි.

කෙසේ හෝ එම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට නැඟුණු චෝදනාවලට පිළිතුරු දෙමින් ඩිලාන් පෙරේරා මහතා ජනමාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ කළේ මෙය පාතාල කණ්ඩායම් දෙකක් අතර සිදුවූ ගැටුමක් බවත්, එයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.

ඩිලාන් පෙරේරා මහතාගේ එම ප‍්‍රකාශයෙන් කලබලයට පත් රවී කරුණානායක ඊට ප‍්‍රතිචාර දක්වමින් පාතාල සම්බන්ධයක් මෙම සිදුවීම තුළ නැති බව අඟවන්නට ඉන්පසු විවිධ ප‍්‍රකාශ කළ අතර ඊටම අඩු වැඩිය එකතු කරමින් පොලිසිය බාර ඇමති ජෝන් අමරතුංග ප‍්‍රකාශ කළේ මෙම සිදුවීමට සම්බන්ධ පාර්ශ්ව පිළිබඳව ඩිලාන් පෙරේරා දන්නා නිසා විමර්ශන කටයුතු සිදුකරන පොලිස් කණ්ඩායම් ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබාගත යුතු බවයි.

ඩිලාන් පෙරේරාගේ එම ප‍්‍රකාශය තවදුරටත් තහවුරු කරමින් සිද්ධිය පිළිබඳව වැඩි දුරටත් වාර්තා කිරීමේදී පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය ද පැවසුවේ ‘ආමි සම්පත්’ හා ‘බ්ලූමැන්ඩල් සංඛ’ යන පාතාල සාමාජිකයන් ඉලක්ක කරමින් අදාළ වෙඩි තැබීම සිදුවී ඇති බව හා රවී කරුණානායක මහතාට ජය පතා අත්පත‍්‍රිකා බෙදමින් ගිය පිරිස අතර එම පාතාල සාමාජිකයන් දෙදෙනාද සිට ඇති බවයි.

එමෙන්ම සිද්ධිය පිළිබඳ පසු වාර්තාකරණයන්හිදී පොලිසිය උපුටා දක්වමින් ජන මාධ්‍ය වාර්තා කර තිබුණේ සිද්ධිය වූ දිනට පෙර දිනවල පැවති රවී කරුණානායක මහතාගේ ඡුන්ද ප‍්‍රචාරක කටයුතුවලට ද අදාළ පාතාල සාමාජිකයන් දෙදෙනා ඇතුළු පිරිසක් සහභාගී වූ බවට විමර්ශන සඳහා ප‍්‍රකාශ ලබාදුන් රවී කරුණානායකගේ ඡුන්ද ප‍්‍රචාරක කටයුතුවලට සහභාගි වූ අය පවසා ඇති බවයි.

අදාළ පාතාල සාමාජිකයන් දෙදෙනා රවී කරුණානායක මහතාගේ ඡුන්ද ප‍්‍රචාරක කටයුතුවල එදින නිරතවෙමින් සිටි බවට පොලිස් විමර්ශනවලට තහවුරු වීමේ තත්ත්වය ගැන එජාප නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඒ ගැන බීබීසීය කරන ලද ප‍්‍රශ්න කිරීමකදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ එජාපයේ සාමාජිකයන් කිසිවකු හෝ පාතාලය සමග කටයුතු කරන්නේ නම් ඔවුන්ට විරුද්ධව තමන් පියවර ගන්නා බවය.

මේ අතර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාද අදාළ සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ අවසර ඇති ප‍්‍රමාණයට වඩා වැඩි පිරිසක් අත්පත‍්‍රිකා බෙදමින් පෙළපාළියක ස්වරූපයෙන් ගමන් කිරීම නැවැත්වීමට පොලිසිය පියවර නොගත්තේ මන්ද යන්න පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසයි.

පාතාලය සමග තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත්, තම ඡන්ද ප‍්‍රචාරණ කටයුතු සඳහා පාතාලය සහභාගි කර නොගත් බවත්, එසේ පාතාල සාමාජිකයන් තම ඡන්ද ප‍්‍රචාරණ ව්‍යාපෘතිය තුළ සිටියේ නම් එය තමාගේ අනුදැනුමකින් තොරව තමා නොදැනුවත්ව සිදුවී ඇති දෙයක් බවත් රවී කරුණානායක අමාත්‍ය වරයාට මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙනස් නිදහසට කරුණු වශයෙන් කිව හැකිය.

එහෙත් සත්‍යය ඊට වඩා හාත් පසින්ම වෙනස්ය. රවී කරුණානායක මහතා එම පාතාල සාමාජිකයන්ව නොදන්නවා වූවාට ඔහුගේ උතුරු කොළඹ නාගරික ආසන සංවිධායකයන් අදාළ පාතාල සාමාජිකයන්ව නොහඳුනනවා විය නොහැකිය. ඔවුන් ඒ බව සිය ආසන සංවිධායකවරයාට කියනවා ඇත. එසේ කීම සඳහා උතුරු කොළඹ නාගරික ආසන සංවිධායකයන්ට දැනුමක් නොවූයේ නම් එහි තේරුම වන්නේ උතුරු කොළඹ නාගරික ආසන සංවිධායකයන් බිම් මට්ටමේ වූ අත් පත‍්‍රිකා බෙදීමේ එම ඡන්ද ප‍්‍රචාරක කටයුතු මෙහෙයවා නැති බවය.

එසේ නම් ඊළඟට පැන නගින ප‍්‍රශ්නය වන්නේ බිම් මට්ටමේ එම ඡන්ද ප‍්‍රචාරණ කටයුතු මෙහෙයවා ඇත්තේ කවුද යන්නය. ඊට අදාළ තොරතුරු රැසක් උතුරු කොළඹ ප‍්‍රදේශයෙන් අපට ලැබී තිබේ. එම තොරතුරු සනාථ කරන්නේ දැනට බි‍්‍රතාන්‍යයේ හා ප‍්‍රංශයේ පදිංචිව සිටින කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත‍්‍රී මාලිගාවත්තේ ලාල් නොහොත් කුඩු ලාල් නොහොත් ලාල් පීරිස් විසින් රවී කරුණානායක අමාත්‍යවරයාගේ ඡන්ද ප‍්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීම් සිදුකර ඇති බවය.

කුඩු ලාල් විසින් උතුරු කොළඹ සිටින පාතාලයට හා මත්කුඩු ව්‍යාපාරයට සම්බන්ධ සිය ගෝලබාලයන්ගේ මාර්ගයෙන් ප‍්‍රාදේශීය වශයෙන් දැනට මත්කුඩු ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන්ගේ, නීත්‍යනුකූල නොවන වෙනත් ව්‍යාපාරවල යෙදෙන පුද්ගලයන්ගේ හා නීත්‍යනුකූලව ව්‍යාපාරවල යෙදෙන පුද්ගලයන්ගේ ජංගම දුරකථන අංක ලබාගෙන බි‍්‍රතාන්‍යයේ හෝ ප‍්‍රංශයේ සිට ඔහු විසින්ම අදාළ පුද්ගලයන්ට කතා කරමින් දැනුම් දී ඇත්තේ රවී කරුණානායක මහතාට මල්මාලා දමා සිය ප‍්‍රදේශවලදී පිළිගන්නා ලෙස හා ඔහු වෙනුවෙන් ප‍්‍රචාරණ කටයුතුවල යෙදෙන ලෙසය. ඒ අනුව ‘ලාල් අයියා’ගෙන් දුරකථනය ඔස්සේ අණ ලැබූ සියල්ලන්ම වාගේ උතුරු කොළඹ ඡුන්ද ප‍්‍රචාරක කටයුතු සිදු කළ දිනවලදී රවී කරුණානායක අමාත්‍යවරයාව සිය ප‍්‍රදේශයේදී මල්මාලා දමා පිළිගෙන ඇත.

සාමාන්‍යයෙන් ඡන්ද ව්‍යාපාරයකදී සිදුවන්නේ ප‍්‍රාදේශීය ආසන සංවිධායකයන් සිය අපේක්ෂකයා වෙනුවෙන් මල්මාලා දමා පිිළිගැනීම් සූදානම් කර එම කටයුතු සංවිධානය කිරීමය. එහිදී එවැනි පිළිගැනීම් සිදු කරන්නේ පාක්ෂිකයන් විසින්ය. එහෙත් ඉහතින් සඳහන් කරන්නට යෙදුණු කාරණයේදී එවැන්නක් සිදුවී තිබුණේ නැත. එම පිළිගැනීම් ගැන නාගරික ආසන සංවිධායකයන්ද බොහෝ විට දැන නොසිටින්නට ඇත.

කුඩු ලාල් සම්බන්ධයෙන් වූ මෙම අලූත් කරුණ ගැනද රවී කරුණානායක අමාත්‍ය වරයා තමා කිසිවක් නොදන්නවා යැයි කිව හැකිය. එය සනාථ කර ගැනීම සඳහා ඔහුට ඇති හොඳම ක‍්‍රමය වන්නේ උතුරු කොළඹ ඡන්ද ව්‍යාපාරයේදී අදාළ පිළිගැනීම් සිදුකරන ලද සියල්ලන් ගැන සිය නාගරික ආසන සංවිධායකයන් දැනුවත්ද යන්න සොයා බැලීමය. එමෙන්ම අදාළ පිළිගැනීම් සිදුකළ පිරිස එම පිළිගැනීම් සිදුකළේ කාගේ ඉල්ලීම හෝ අණ කිරීම මතද යන්න සොයා බැලීමය. එවිට නොදන්නා සත්‍යයක් රවී කරුණානායක මහතාට දැනගත හැකි වනු ඇත.

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ සිද්ධියේදී ඉලක්ක බවට පත්වූයේ යැයි කියන ‘ආමි සම්පත්’ යනු අප ඉහතින් සඳහන් කරන ලද කුඩු ලාල්ගේ ගෝලයකු බව මුළු පාතාලයම දන්නා කරුණකි. එමෙන්ම ‘බ්ලූමැන්ඩල් සංඛ’ ද ආමි සම්පත් සමග කටයුතු කරන්නෙක් බව ප‍්‍රකටය. ජීවිත ආරක්ෂාව පතා මේ පිරිස් පසුගිය කාලයේ සිටියේ විදේශගතවය. බොහෝ විට නැවත රටට පැමිණෙන්නට ඇත්තේ කුඩු ලාල්ගේ මෙහෙයවීම මත විය හැකිය.

උතුරු කොළඹ ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ හෝ වෙනත් දේශපාලන පක්ෂවල මැර හෝ පාතාල දේශපාලනයක් ඉතිහාසයේ දක්නට ලැබුණේ නැත. උතුරු කොළඹ ආසනයේ පාතාල නායකයන් හා පාතාල සාමාජිකයන් සිටියද උතුරු කොළඹට සම්බන්ධ දේශපාලකයන් ඔවුන් සිය මැතිවරණ කටයුතු සඳහා සහභාගි කරගත්තේ නැත. එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් පමණක් වුවද ගත් කල වී.ඒ.සුගතදාස හා එම්.වින්සන්ට් පෙරේරා වැනි දේශපාලකයන් ඒ ආදර්ශය රටටම ලබා දුන්හ. යහපාලනය ගැන නිතර ජප කරන රවී කරුණානායක අමාත්‍යවරයා උතුරු කොළඹ සිය දේශපාලනයට ලබාදිය යුත්තේ එම ආදර්ශයය.

තමා නොදැනුවත්ව හෝ සිය මැතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරයේදී පාතාලය සම්බන්ධ වී ඇත්නම් එය නිවැරදි කිරීමේ හැකියාව ඇත්තේද රවී කරුණානායක මහතාටමය. එවිට ඔහුට යළිත් යහපාලනය ගැන කතා කළ හැකිය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;