පොදු දේපළ ඡන්දෙට යොදාගත්තොත් දැඩිදඬුවම්

නීතිඥ ජගත් ලියනආරච්චි

මැතිවරණය සඳහා ඉදිරිපත්වන පොදු දේපළ පාලනයට බලපෑම් කළ හැකි අපේක්‍ෂකයන් සිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා එම පොදු දේපළ භාවිත කිරීම මෙතෙක් පැවති සෑම මැතිවරණයකදීම පාහේ දක්නට ලැබුණු සුලබ සිදුවීමකි. 2015 ජනාධිපතිවරණය එහි උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැකිය.

මැතිවරණයක් යනු ජනතා පරමාධිපත්‍යය ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නැගෙන අවස්ථාවකි, එබැවින් මැතිවරණවලදී ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන රජය හා ව්‍යවස්ථාපිත මණ්ඩල රාජ්‍ය සමාගම් සතු භෞතික සම්පත් හා මානව සම්පත මැතිවරණයන්හිදී යම් යම් දේශපාලන පක්‍ෂ හා අපේක්‍ෂකයන් ප‍්‍රවර්ධනය සඳහා භාවිත කිරීම මගින් ජනතා පරමාධිපත්‍යයට අභියෝගයන් දෙකක් එල්ල කරයි.

නිශ්චිත මහජන කාර්යයන් සඳහා අමාත්‍යාංශ සහ රජයේ වෙනත් ආයතන සදහා වෙන් කරනු ලබන මුදල් අවභාවිත කිරීම වැළැක්වීම පළමු අභියෝගය වේ. දෙවෙනි අභියෝගය වන්නේ මැතිවරණයකදී අනිවාර්යෙන් ම අපේක්‍ෂා කරන සමබර බව බරපතළ ලෙස බිඳවැටීමයි. එනම් යම් යම් පුද්ගලයන්ට මැතිවරණ තරගබිමේ අයුතු වාසි ලබා ගැනීම මගින් විශේෂ තත්ත්වයන් හිමිකර ගැනීමට හැකිවීමයි. මෙම තත්ත්වය පිළිබඳව ‘හෙට්ටිආරච්චි එදිරිව මහවැලි අධිකාරිය’ නඩුවේදී පුළුල් ලෙස අවධානයට ලක්විය. එහිදී මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුතුමන් ප‍්‍රකාශ කරන ලද්දේ ‘යම් දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක ප‍්‍රතිලාභය සඳහා සෘජුව හෝ වක‍්‍රාකාරයෙන් රාජ්‍ය හෝ සංස්ථා දේපළක් (ඉඩමක්, ගොඩනැගිල්ලක්, මෝටර් රථයක්, උපකරණයක්, අරමුදලක්, වෙනත් පහසුකමක් හෝ මානව සම්පතක්) පරිහරණය කිරීම සමානාත්මතාව උල්ලංඝනය වන ක‍්‍රියාකාරකමක් සහ දේශපාලන අසාධාරණයක්’ බවයි. එයට හේතුව එමගින් එක් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට ඔවුන්ගේ ප‍්‍රතිවිරුද්ධවාදීන්ට හිමි නොවන වාසි සහගත තත්ත්වයක් ප‍්‍රදානය වීමය.

මෙම තත්ත්වය පිටුදැක මැතිවරණ නිදහස්ව හා සාධාරණව පැවැත්වීම හා පොදු දේපළ ආරක්‍ෂාකර ගැනීම සදහා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන සැලසීම ආරම්භවූයේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට 2001 වසරේදී සිදුකරන ලද 17 වන සංශෝධනය යටතේය. එහෙත් එම ප‍්‍රතිපාදන යටතේ මැතිවරණ කොමසාරිස් වරයාට (මැතිවරණ කොමිසමට* නීතිමය කටයුතු කිරීමේ යම් නීතිමය නොහැකියාවක් පැවතිණි. එකී අඩුපාඩු මගහරවමින් 2015 වසරේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක්වූ 19 වන සංශෝධනය මගින් පොදු දේපළ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා යොදාගැනීම වැළැක්වීම සඳහා නිශ්චිත බලතල මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබාදී ඇත.

එසේම වත්මන් මැතිවරණ කොමසාරිස්වරයා එම බලතල ඉමහත් උනන්දුවෙන් යුක්තව භාවිත කරන බව දක්නට ලැබේ.
19 වන සංශෝධනයට අනුව, යම් අපේක්‍ෂකයකු ප‍්‍රවර්ධනය කිරීම සඳහා හෝ යම් අපේක්‍ෂකයකුගේ ජයග‍්‍රහණය වැළැක්වීම සඳහා පොදු දේපළ යොදාගැනීම වැළැක්වීමට අවශ්‍ය විධාන මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගැසට් පත‍්‍රයේ පළකළ යුතුය. ඒ ප‍්‍රතිපාදන අනුව යමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා විසින් එකී නියෝග 2015 ජූනි මස 13 වන දින හා අංක 1923/4 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ පළකරන ලදි. එකී නියෝග අනුව රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා/ව්‍යවස්ථාපිත මණ්ඩල හා වෙනත් එවැනි රාජ්‍ය ආයතන, රාජ්‍ය බැංකු/රාජ්‍ය විශ්වවිද්‍යාල, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සමාගම්/සන්නද්ධ හමුදා ඇතුළු ශ‍්‍රී ලංකා ජනරජයට අයත් සෑම ආයතනයක්ම සන්තකයේ ඇති වාහන, උපකරණ, යන්ත‍්‍ර සූත‍්‍ර, සංචාරක බංගලා, නිවාඩු නිකේතන හා ගොඩනැගිලි ඇතුළු සියලූම චංචල හා නිශ්චල දේපළ සහ පෙර සඳහන් ආයතනවල සේවයේ නියුතු කිසිදු නිලධරයකු හෝ සේවකයකු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කිසිදු දේශපාලන පක්ෂයක්/ ස්වාධීන කණ්ඩායමක් හෝ අපේක්ෂකයකු ප‍්‍රවර්ධනය කිරීම සඳහා නැතහොත් අගතියට පත් කිරීම සඳහා කවර හෝ ආකාරයකින් නොයෙදවිය යුතුය. එසේ යොදා ගැනීමට කිසිදු දේශපාලනඥයකුට හෝ නිලධරයකුට හෝ වෙනත් පුද්ගලයකුට හෝ ඉඩ නොතැබිය යුතුය.

එමෙන්ම මැතිවරණ මහජනතාවට සහන සැලසීම සඳහා හෝ මහජනතාව දැනුවත් කිරීමට රජයෙන් හෝ පළාත් සභාවලින් හෝ වෙනත් රාජ්‍ය ආයතනවලින් පවත්වනු ලබන ජංගම සේවා, වැඩමුළු, ප‍්‍රදර්ශන, සම්මන්ත‍්‍රණ, ශිෂ්‍යත්ව ප‍්‍රදාන, ආධාර හෝ සහනාධාර ප‍්‍රදාන කිරීමේ උත්සව, සමාරම්භක උත්සව, විවිධ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පැවරීමේ හෝ විවෘත කිරීමේ උත්සව, ක‍්‍රීඩා තරග යනාදීය මැතිවරණ වාසි ලබාගැනීම සදහා යොදා නොගත යුතුය. අපේක්‍ෂකයන් දරන අමාත්‍යධුරවලට අදාල නිල උත්සව දේශපාලන ස්වරූපයෙන් පැවැත්වීම නොකළ යුතුය. මැතිවරණය නිමාවන තෙක් පත්වීම උසස්වීම් හා ස්ථාන මාරු ස්ථිර කිරීම් මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතියෙන් තොරව සිදු නොකළ යුතුය.

මැතිවරණ කොමසාරිස් වරයා විසින් නිකුත් කර ඇති මෙම විධානයන්ට අනුකූලව කටයුතු කිරීමට, අපොහොසත්වන, යම් රජයේ නිලධරයකු, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ රජය වෙත පවරනු ලැබ ඇති යම් වෙළෙඳ ව්‍යාපාරයක හෝ වෙනත් ව්‍යාපාරයක සේවා නියුක්තිකයකු, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති හෝ ලියාපදිංචි වී ඇති බවට සලකනු ලබන සහ ස්වකීය කොටස්වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප‍්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සමාගමක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ විසින් දරනු ලබන යම් සමාගමක් වරදකට වරදකරු වන අතර, රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ අවුරුදු තුනකට අඩු බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩුවම් දෙකටම හෝ යටත් විය යුතු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104(උ) ව්‍යවස්ථාවේ දක්වා තිබේ. එමෙන්ම පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ සියලූම නීති බලාත්මක කිරීමට, සුරක්ෂිත කිරීමට මැතිවරණ කොම සාරිස්වරයාට සහාය දැක්වීමට අපොහොසත් වන, එම නීති බලාත්මක කිරීම භාරව සිටින සියලූම රජයේ බලධරයන් සම්බන්ධව දහනව වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104(උඋ) ව්‍යවස්ථාවෙහි සඳහන් පරිදි කටයුතු කරනු ලබන බව එම ගැසට් පත‍්‍රය මගින් මැතිවරණ කොමසාරිස්වයා විසින් අවධාරණ කර තිබේ.

දැන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්‍ෂාකරන හා යහපාලනයක් අපේක්‍ෂා කරන ජනතාවට වගකීම් දෙකක් ඇත. එකක් නම් මෙවැනි සිදුවීම මැතිවරණ කොමසාරිස්වරයාට හෝ මැතිවරණ නිරීක්‍ෂකයන්ට දැනුම්දීමයි. අනෙක් කරුණ නම් මහජන දේපළ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා යොදාගන්නා අපේක්‍ෂකයන් පිටුදැකීමයි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;