රට ඉදිරියට මිස ආපස්සට යායුතු නැත

වික්ටර් අයිවන්

ප්‍රභාකරන් උතුරේ කිළිනොච්චි කලාපයේ ගොඩ නගා ගෙන තිබූ තත්වාකාර රාජ්‍යය හා ඒ ආශ‍්‍රයෙන් එල්ලවෙමින් තිබූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර ශ‍්‍රී ලංකාවේ ඉදිරි ගමනට එල්ල වී තිබූ ලොකු සම්බාධකයක් වූ අතර ඒ තත්ත්වය ජයගැනීම ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ඉදිරි ගමන සඳහා නැතුවම බැරි අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප‍්‍රභාකරන් හා ඔහුගේ ව්‍යාපාරයට එරෙහිව කරන යුද්ධයක් මගින් ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට සමත් විය. එහෙත් එම ඓතිහාසික කාර්යභාරය සම්පූර්ණ කිරීමෙන් පසුව ඊළඟට සම්පූර්ණ කළ යුතුව තිබුණු ඓතිහාසික කාර්යභාරය, එනම් එක දිගට වසර තිහක් තරම් කාලයක් තුළ ලේ වැගිරෙන අශීලාචාර වටාපිටාවක් තුළ සමාජ ක‍්‍රමයේද දේශපාලන ක‍්‍රමයේද ඇතිවී තිබුණු පරිහානිය හා කුණුවීම ජයගැනීමට අවශ්‍ය කරන ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගැනීමට අසමත් විය. ඒ මගින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ ආණ්ඩුව එක් ඓතිහාසික කාර්යභාරයක් සම්පූර්ණ කිරීමෙන් පසු ඊටම අනුබද්ධව තිබුණු ඊළඟ ඓතිහාසික කාර්යභාරය සම්පූර්ණ කිරීමට අවශ්‍ය කරන දැක්මක් නැතිකම තුළ ඓතිහාසික වශයෙන් යල්පැන ගිය ආණ්ඩුවක් බවට පත්ව තිබුණේය. මහින්ද යුද්ධය ජයගත්තේය. එහෙත් සාමය ජයගැනීමට අසමත් විය.

මහින්දගේ සීමා

මහින්දගේ අසාර්ථක භාවය කෙරෙහි බලපෑ ප‍්‍රධාන හේතු තුනක් තිබුණි. නිර්භීතකම තිබුණද මහින්ද තියුණු දේශපාලන දැක්මක් තිබුණු රාජ්‍ය නායකයෙක් නොවීය. ලංකාව මුහුණ දී තිබුණු ගැටලූ ගැන තියුණු විශ්ලේෂණාත්මක අව බෝධයක් ඔහුට නොතිබුණි. ඔහු පොත්පත් කියවූ, ශාස්ත‍්‍රීය සංවාදයකට දායක වූ හා ගැඹුරු හැදෑරීමක නිරත වූ නායකයෙක් නොවීය. ඒ නිසා ලංකාව මුහුණ දී තිබුණු ඓතිහාසික අර්බුදය හා රටේ සිංහල දකුණෙත් දෙමළ උතුරෙත් ඇතිවූ තරුණ ත‍්‍රස්තවාදී ව්‍යාපාර අතර තිබූ අන්තර් සම්බන්ධය තේරුම් ගැනීමේ හැකියාවක් ඔහුට නොතිබුණේය. ඔහු ත‍්‍රස්තවාදියා හඳුනාගෙන ඔහු විනාශ කිරීමට සමත් වුවත් එම ත‍්‍රස්තවාදියා බිහිකිරීමට බලපෑ හේතු තේරුම් ගැනීමට අවශ්‍ය ගැඹුරු දැක්මක් ඔහුට නොතිබුණේය. ඔහු ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය දෙස බලන ලද්දේ පටු සිංහල වර්ගවාදී දෘෂ්ටි කෝණයකිනි. ත‍්‍රස්තවාදය උතුරේ දෙමළ තරුණයන්ට පමණක් ආවේණික දෙයක් නොවන දෙයක් බව හා එය දකුණේ සිංහල තරුණයන්ටද ආවේණික දෙයක්ව තිබුණු බව තේරුම් ගැනීමට ඔහු අසමත් විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තේරුම් ගැනීමට අසමත් වූ තවත් වැදගත් කරුණක් වනුයේ තමන් විසින් පරාජය කරන ලද්දේ විදේශීය ආක‍්‍රමණික පිරිසක් නොවන බව හා තමන්ගේම රටේ යක්ෂාවේශ වූ ¥දරු පිරිසක් බවය. එක දිගට දශක තුනක කාලයක් තිස්සේ පැවති ලේ වැගිරෙන අශීලාචාර වටාපිටාව තුළ සමස්ත සමාජ ක‍්‍රමය සේ ම ආණ්ඩුක‍්‍රමය හා ඒ යටතේ තිබෙන ආයතන ක‍්‍රමයද ලොකු ප‍්‍රතිසංවිධානයකට ලක්කිරීමකින් තොරව තවදුරටත් ප‍්‍රයෝජනයට ගත නොහැකි තරමට බෙලහීන වී දූෂිත වී කුණුවී තිබෙන බව තේරුම් ගැනීමට අසමත්වීමද ඔහුගේ දෘෂ්ටියට ආවේණික දුප්පත්කමේ තරම පෙන්නුම් කළ තවත් වැදගත් කරුණක් ලෙස සැලකිය හැකිය.

ඔහු තමන් ලැබූ ජයග‍්‍රහණයේ උද්දාමයෙන් තමන්ට තිබූ සීමාසහිත ප‍්‍රායෝගික දැක්ම පවා අහිමි කරගත් නායකයකු ලෙස සැලකිය හැකිය. ප‍්‍රභාකරන්ගේ රුදුරු ත‍්‍රස්තවාදයෙන් රට මුදාගත් වීරයා වශයෙන් මැරෙන තෙක් මේ රට පාලනය කිරීමේ අයිතිය තමන්ට තිබිය යුතුයැයි කියා සිතුවා පමණක් නොව ඒ වෙනුවෙන් රට තමන්ට සදා ණයගැතිවේයැ’යි කල්පනා කළේය. ඒ වෙනුවෙන් තමන් කැමති තරමක් රටේ වස්තුව තමන් වෙත හිමිකර ගැනීමේ අයිතිය තමන්ට තිබේයැයි විශ්වාස කළ බවද පෙනෙන්නට තිබේ. යුද ජයග‍්‍රහණයෙන් පසු ඇති කරගත් මාන්නාධිකභාවය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විනාශය කෙරෙහි බලපෑ තවත් වැදගත් සාධකයක් විය. ප‍්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු තමන් ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම හා බලවත්ම නායකයා ලෙස කල්පනා කරන අධිමානසිකත්වයක් ඇති කරගත් බවද පෙනෙන්නට තිබේ. යුද්ධයේ අවසන් කාලයේ සිදුවීයැ’යි කියන අන්තවාදී ක‍්‍රියා පිළිබඳව ජාත්‍යන්තර තලයේ ප‍්‍රශ්න කරන තත්ත්වයක් ඇතිවූ විට සන්සුන්ව කරුණු පහදා දෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග පමණක් නොව ඇමරිකාව හා බටහිර බලවතුන් සමගද රණ්ඩු කරන තැනකට යමින් පහසුවෙන් විසඳාගත හැකිව තිබූ ආරාවුලක් පහසුවෙන් විසඳාගත නොහැකි ලොකු ජාත්‍යන්තර ආරාවුලක් බවට පත්කර ගත්තේය. තමන් පරාජය කළ නොහැකි අපරාජිතයකු වේයැ’යි කියන විශ්වාසයද මාන්නාධිකකමේ ප‍්‍රතිඵල යක් ලෙස සැලකිය හැකිය.

ආත්මාර්ථකාමී වීම

2005 මැතවරණයට ප‍්‍රභාකරන් පනවන ලද ඡුන්ද තහනම නිසා ළඟ ළඟ තරගයකින් ජයගත් මැතිවරණයක් වුවත් යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසු 2010 පවත්වන ලද ජනාධිපතිවරණයේදී ප‍්‍රභාකරන් පරාජය කළ වීරයා වශයෙන් දැවැන්ත මැතිවරණ ජයග‍්‍රහණයක් හිමිකර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් විය. මැතිවරණයේදී ඔහුගේ ප‍්‍රතිවාදියා වූයේ යුද්ධයේ තවත් වීරයකු වූ යුද්ධ කාලයේ යුද හමුදාවේ ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළ ජෙනරල් ෆොන්සේකාය. මැතිවරණය ජයගැනීමෙන් පසු ඔහු සිය ප‍්‍රතිවාදියාගෙන් සාහසික ලෙස පළිගත්තේය. ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට ජනතාවට දෙන ලද පොරොන්දුවට පටහැනිව යමින් ජනාධිපති වරයකුට තනතුරේ සිටිය හැකි වාර ගණනට පනවා තිබූ සීමාව ඉවත් කරමින් ජනාධිපති බලය සහිතව තමන් කැමති වාර ගණනක් ජනාධිපති ධුරයට තරග කළ හැකි ක‍්‍රමයක් ඇතිකර ගත්තේය.

ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්ත වාදය පරාජය කරනවාට අතිරේකව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතින් රටට සිදුවූ ලොකුම සේවාව ලෙස සැලකිය හැක්කේ රටට ලොකු ණය බරක් ඇතිවන ලෙස හෝ රටේ මාර්ග පද්ධතිය නවීන කිරීමය. එහෙත් එම ව්‍යාපෘතිය තුළ පවා ගසාකෑමේ ලොකු හෙවණැල්ලක් පෙනෙන්නට තිබුණි.

යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පවුලට බර තබා ක‍්‍රියාකරන උද්දච්ච හා දුෂ්ට පාලකයකුගේ තත්ත්වයට පත්විය. ප‍්‍රභාකරන් පරාජය කළ වීරයා සිංහල ප‍්‍රභාකරන් කෙනෙකුගේ තත්ත්වයට පත්වෙමින් සිටියේයැ’යි කිව හැකිය. ඔහු තමන්ගේ පවුලේ සාමාජිකයන්ට පමණක් නොව තමන්ට සමීප ගජමිතුරන්ටද පිස්සු නටන්නට ඉඩ දුන්නේය. ඔවුන්ගේ ආත්මාර්ථකාමී නොසණ්ඩාල හෝ සාහසික ක‍්‍රියා දෙස ආශාවෙන් බලා සිටින පාලකයකුගේ තත්ත්වයට පත්වෙමින් සිටියේය. ඒ මගින් ඔහු තමන් හිමිකරගෙන තිබූ වීරත්වයද මහජන විශ්වාසයද අහිමි කරගනිමින් මහජනයාගේ අවිශ්වාසයට හා කෝපයට හේතුවූ පාලකයකුගේ තත්ත්වයට පත්වෙමින් සිටියේය.

ජනාධිපතිවරයාට ලොකු ඉදිරි දැක්මක් නොතිබුණද තමන්ට තිබෙන ජනප‍්‍රියභාවය අඩුවෙමින් තිබෙන බව ඔහුට පෙනුණේය. තත්ත්වය වඩා නරක අතට හැරෙන්නට පෙර දෙවැනි ධුර කාලයේ හතර අවුරුද්ද සම්පූර්ණ වීමෙන් පසු තුන්වැනි ධුර කාලය සඳහා වන ජනාධිපතිවරණයකට ගොස් එය ජයගැනීමට ඔහුට අවශ්‍ය විය. තමන් එම ජනාධිපතිවරණයෙන් පරාජය වනු ඇතැ’යි ජනාධිපතිවරයා හෝ ඔහුගේ උපදේශක බමුණෝ කල්පනා නොකළෝය. අපේක්ෂා කරන ජයග‍්‍රහණය ලොකු කරගැනීම සඳහා මැතිවරණ නීතිරීතිවලට පටහැනිව රුපියල් කෝටි දහස් ගණනක රජයේ අරමුදල් මැතිවරණ ව්‍යාපාරය සඳහා වැය කළේය. ඒ මගින් මුදල් ද නොයෙකුත් පරිභෝගික භාණ්ඩද තොග ගණනින් ඡුන්දදායකයන් අතර බෙදා දුන්නේය. ඒ සියල්ලෙන් කළ හැකි වූයේ ලබන්නට නියමිත ව තිබුණු පරාජයේ තරම අවම කරගැනීමට මිස පරාජය වළකාලීමට නොවේ. තමන් පරාජය කළ නොහැකි අපරාජිත යෙකුයැ’යි විශ්වාස කළ ජනාධිපතිවරයා ඔහු කලක් වීරයකු ලෙස සැලකූ මහජනතාව විසින්ම පරාජය කළේය. වැරදිලාවත් ඔහු එම මැතිවරණයෙන් පරාජය නොවන්නට රට අපරාධකාරයන් රජකරන රාජ්‍යයක් බවට පත්වන්නට ඉඩ තිබුණු අතර බටහිර රටවල් ශ‍්‍රී ලංකාව සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවී රට පහසුවෙන් ගොඩගත නොහැකි කාලකණ්ණි තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබුණි. ජනාධිපති වරයාට හෝ ජනාධිපති වරයාගේ උපදේශක බමුණන්ට මැතිවරණය පිළිබඳ යථා තක්සේරුවක් නොතිබීම රටේ වාසනාවක්වීයැ’යි කිව හැකිය. එවැනි තක්සේරුවක් වී නම් අඩුම වශයෙන් හතර අවුරුද්ද සම්පූර්ණ වීමෙන් පසු මැතිවරණයකට ගොස් තවත් අවුරුදු දෙකක් තනතුරේ රැුඳී සිටීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබුණු අතර එසේ වී නම් ඉන් රටට සිදුවන විනාශය අතිවිශාල වන්නට ඉඩ තිබුණි.

පරාජය පරාජයක් ලෙස නොසැලකීම

ඉතා වැදගත් දේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන් ලැබූ පරාජයෙන් පසුද පරාජය භාර නොගැනීමය. ඔහු පරාජය අර්ථකථනය කරන්නට උත්සාහ කළේ අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක් ලෙස හා සුළු ජාතීන් එකට එකතු වී කරන ලද ක‍්‍රියාවක් ලෙසය. සිංහල වර්ගයාගේ වැඩි කැමැත්ත තිබෙන්නේ තමාටයැ’යි කල්පනා කරමින් සාම්ප‍්‍රදායික අර්ථයෙන් පරාජයෙන් පසු දේශපාලනයෙන් විශ‍්‍රාම යායුතු හිටපු ජනාධිපති වරයා පාර්ලි මේන්තු මැතිවරණයකට තරග කරන තැනකට ආවේය. හිටපු ජනාධිපතිවරයාගේ හා ඔහුගේ ගජමිතුරන්ගේ විශ්වාසය වූයේ ජනාධිපතිවරණයක් මෙන් නොව පාර්ලිමේන්තු මැතිවරණයක ජයග‍්‍රහණය අවසාන වශයෙන් තීන්දු කරන්නේ රටේ විශාල බහුතරයක් වන සිංහල ජනතාව වන නිසා පාර්ලිමේන්තු මැතිවරණ යකින් ජයගැනීමේ හැකියාව තමන්ට හෝ හිටපු ජනධිපතිවරයාට තිබෙන බවය. මෙය මෝඩ තක්සේරුවක් වන බව අමුතුවෙන් කිවයුතු නැත. ශ‍්‍රිලනිප එක දිගට දශක දෙකක් රට පාලනය කළේය. එවැනි තත්ත්වයක් යටතේ ජනාධිපතිවරණයකින් පරාජය වී ඊළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකින් ජය ගැනීමේ කවර හැකියාවක්වත් තිබිය නොහැකිය. විය හැකි එකම දේ පරාජය වූ ජනාධිපතිවරණයෙන් හිමිකරගත් ජන පදනමද අහිමි කරගනිමින් ජනතාව විශාල ප‍්‍රමාණයකින් ප‍්‍රතික්ෂේප කළ පුද්ගලයකු ලෙස ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන තත්ත්වයකට තල්ලූවීමය.

රටට වැදගත් වනුයේ හිටපු ජනාධිපති මහින්ද රාපජක්ෂට හෝ ශ‍්‍රීලනිපයට හිමිවන්නට යන ඉරණම නොව රටට හිමිවන්නට නියමිත ඉරණමය.

ජාතිය හා රාජ්‍යය ගොඩනැගීම

ශ‍්‍රී ලංකාව වර්ෂ 30ක් එක දිගට ජීවත් වූයේ ලේ වැගිරෙන අශීලාචාර සමාජ පරිසරයකය. එම අශීලාචාර කාලය තුළ නීතියේ පාලනයක් රට තුළ නොතිබුණි. කාලයක් සිංහල දකුණේ දෙමළ උතුරෙන් ද්වන්ද්ව පාලනයක් ක‍්‍රියාත්මක විය. මිනිසුන්ට ජීවත්වන්නට සිදුවී තිබුණේ ආයුධ අතට ගත් දෙපිරිසකට මැදිවී මරණ බියෙනි. ඒ බිහිසුණු අශීලාචාර කාලවකවානුවේදී රට පාදඩයන්ගේ කප්පම් කාරයන්ගේ අපරාධ කාරයන්ගේ හෝ හොරජාවාරම්කාරයන්ගේ දඩබිමක් බවට පත්ව තිබුණේය. දේශපාලකයන් අපරාධකාරී සමාජ පසුබිමකින් එන එවැනි කණ්ඩායම්වලින් ආරක්ෂාව ලබාගන්නා තත්ත්වයක් තුළ එම බලවේගයන්ට රාජ්‍යයට අනුයුක්ත නිල පිළිගැනීමක්ද ලබාගැනීමට හැකිවිය. මෙම අශීලාචාර කාලයේදී සමාජයේ මනුෂ්‍ය ගුණධර්ම හා වටිනාකම් පිරිහුණේය. එම අශීලාචාර වටාපිටාව තුළ දීර්ඝ කාලයක් පැවතීම නිසා දේශපාලන ක‍්‍රමයද ඒ යටතේ තිබෙන ආයතන ක‍්‍රමයද ගරා හැලෙන ඵලදායි ක‍්‍රියාකාරීත්වයක් නැති දූෂණයෙන් කුණුවූ තත්ත්වයකට පත්විය.

දැන් රට ඉදිරියේ තිබෙන හා අලූතෙන් තේරී පත්වන ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ලොකුම අභියෝගය වනුයේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ජයග‍්‍රාහකයා විසින් සම්පූර්ණ කළ යුතුව තිබුණු එහෙත් මහින්ද රාජපක්ෂ අත නොගසන ලද ඓතිහාසික කාර්යභාරය විධිමත් ලෙස සම්පූර්ණ කිරීමය.

එක ලේ බිඳුවකුද නොසොල්වා නිදහස ලබාගත් රටට නිදහස ලැබී තිස් අවුරුද්දකට පසුව එක දිගට තවත් තිස් අවුරුද්දක් තරම් කාලයක් කෙළවරක් නැති තරමට ලේ හලන රටක තත්ත්වයකට පත්වීමට සිදුවූයේ ඇයි? බි‍්‍රතාන්‍යයන්ගෙන් ලැබී තිබුණ ජාතික රාජ්‍යයට සිය යහපැවැත්ම සඳහා නැතුවම බැරි කොන්දේසියක් ලෙස සැලකිය හැකි සම ජාතියක් නැතිනම් එක්සත් ශ‍්‍රී ලාංකික ජාතියක් ඇතිකර ගැනීමට ලංකාව අසමත්වීම නිසාය.

එය ඉතාමත් දුෂ්කර අරමුණක් වුවද එය අප ජයගත යුතුව තිබේ. ඒ සඳහා වැඩවසම් කුල ක‍්‍රමය විසින් සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් ඇතිකර තිබෙන උස් පහත් භේදය නැති කළ යුතුය. කුලභේදයට තිබෙන පිළිගැනීම නැති කොට සිංහල සමාජයේ සියලූ සිංහලයන් සේ ම දෙමළ සමාජයේ සියලූ දමිළයන්ද සමාන ගෞරවය ඇති සමාන අයිතිවාසිකම් ඇති මිනිසුන් බවට පත් කළ යුතුය. ඒ සමග වර්ග අතර හා ආගම් අතර තිබෙන භේද දුරුකොට ඒ සියලූදෙනාද සමාන ගෞරවය ඇති සමාන අයිතිවාසිකම් ඇති මිනිසුන් බවට පත් කළ යුතුය. ජාතික රාජ්‍යයේ සාර්ථක ඉදිරි ගමනක් සඳහා නැතිවම බැරි කොන්දේසියක් වී තිබෙන ජාතිය ගොඩනගා ගැනීමට අප සමත්වනු ඇත්තේ එවිටය. ඒ සමග ජාතික රාජ්‍යයේද එම රාජ්‍යයේ දේශපාලන ක‍්‍රමයේ හා ආයතන ක‍්‍රමයේ ඇතිවී තිබෙන පරිහානිය ගරාහැලීම හා කුණුවීමද ජයගැනීමට හේතුවන විධිමත් ප‍්‍රතිසංස්කරණවලට අප යා යුතුය. ඒ මගින් සියලූදෙනාගේ විශ්වාසයට හේතුවන දූෂණයට ඉඩක් නැති, මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන, නීතියේ ආධිපත්‍යය රජයන, කාර්යක්ෂම හා ඵලදායී ක‍්‍රියාකාරීත්වයකින් යුත් ආයතන ක‍්‍රමයක් ඇති කිරීමට හේතුවන නව දේශපාලන ක‍්‍රමයක් ඇතිකර ගනිමින් සියලූදෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන අභිනව ශ‍්‍රී ලංකා රාජ්‍යයක් අප ඇති කරගත යුතුය. සාමය හා සමගිය රජයන දියුණුව කරා වේගයෙන් ඉදිරියට යන සමෘද්ධිමත් දේශයක් අපට ඇති කරගත හැකිවනු ඇත්තේ එවිටය.

ජාත්‍යන්තරකරණය

රටේ වෙනස්කම් ඇති කරන විට නූතන ලෝකයේ ඇතිවී තිබෙන වෙනස්කම් හා අනාගතයේ ඇතිවන්නට යන වෙනස්කම්ද සැලකිල්ලට ගත යුතුය. අද අප ජීවත්වන්නේ මීට පෙර දක්නට නොතිබුණු අසාමාන්‍ය තරම් වේගයකින් වෙනස්වෙමින් තිබෙන ගෝලීය ලෝකයකය. මීට වසර පනහකට පෙර තිබූ ලෝකය අද ලෝකය අතර තිබෙන වෙනස අතිවිශාලය. මීට පෙර විදේශීය රටක සිටින කෙනකු වෙත පමණක් නොව තමන්ගේ රටේම ඈත ප‍්‍රදේශයක සිටින මිනිසකු වෙත ළඟාවීමට බොහෝ කාලයක් ගත්තේය. අද ලෝකයේ ඕනෑම දුරු රටක සිටින පුද්ගලයකු වෙත ඇසිල්ලකින් ළඟාවිය හැකිය. ඔවුන් සමග කතා කළ හැකිය. ඕනෑම තැනක සිදුවන දේවල් දැකිය හැකිය.

මීට වසර පනහකට පෙර විදේශ රටවල ජීවත් වූ ලාංකිකයන්ගේ සංඛ්‍යාව දස දහසකටත් අඩුය. අද ලෝකයේ විවිධ රටවල ජීවත්වන ලාංකිකයන්ගේ සංඛ්‍යාව ඉතා විශාලය. විදේශීය රටවල සේවය කරන්නන්ගෙන් ලැබෙන සංක‍්‍රාම ආදායම අද බොහෝ රටවල වැදගත් ආදායම් මාර්ගයක් බවට පත්වී තිබේ. එය ලංකාවේ විදේශ විනිමය ආදායම් උපයන ප‍්‍රධාන මාර්ගය වී තිබේ. විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස පොහොසත් රටකට සංක‍්‍රමණය වීම අද ශ‍්‍රී ලාංකික තරුණ පරපුරේද ලොකුම සිහිනය වී තිබෙන්නේයැ’යි කිව හැකිය. ඕනෑම රටක ජීවත් වන මිනිසුන්ගෙන් කිසියම් පංගුවක් විදේශ රටවල ජීවත්වීම සේ ම හැම රටකම ජීවත් වන මිනිසුන්ගෙන් කිසියම් කොටසක් විදේශිකයන් වීමද නූතන ලෝකයට ආවේණික වැදගත් ලක්ෂණයක් වී තිබෙන අතර එම ලක්ෂණය අනාගතයේ තව තව වර්ධනයවනු ඇතැ’යිද සිතිය හැකිය.

ඉන් පෙනෙන්නේ ලෝකයේ විවිධ රටවල් ඇතත් ඒ සියලූ රටවල් ක‍්‍රමයෙන් එකට ඒකාබද්ධ වූ තනි ඒකකයක් බවට පත්වෙමින් තිබෙන බවය. දේශසීමාවන්ට ලැබී තිබෙන වැදගත්කම සේ ම ජාතික ස්වාධිපත්‍යයට ලැබෙන වැදගත්කමද හීන වෙමින් පවතී. දේශීය නීතියට ලැබෙන වැදගත්කමද හීන වෙමින් ජාත්‍යන්තර නීතියට ලැබෙන වැදගත්කම ඉහළ යමින් පවතී. දේශීය ප‍්‍රමිතීන්ට ලැබෙන වැදගත්කමද හීන වෙමින් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට ලැබෙන වැදගත්කම ප‍්‍රමුඛ වෙමින් පවතී.

ලෝකයේ වේගයෙන් ඇතිවෙමින් තිබෙන මෙම වෙනස්කම් ඉදිරියේ අපට ශක්තිමත්ව නැගී සිටින රටක් බවට පත්වීමට හැකිවනු ඇත්තේ ඊට ගැළපෙන ලෙස හැම දෙයක්ම වෙනස්කර ගැනීමෙනි. අපේ අධ්‍යාපනය පිළිගත් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල තත්ත්වයකට ගෙනා යුතුය. පාඨමාලා, විභාග ක‍්‍රමය හා ලබාදෙන සහතික ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල තැනකට ගෙනා යුතුය. මිනිසුන් කාර්මික තාක්ෂණික හා වෙනත් ආකාරවලින් පුහුණු කළයුත්තේද දේශීය රක්ෂා වෙළෙඳපොළ ඉලක්ක කොට ගෙන නොව ලෝක රක්ෂා වෙළෙඳපොළ ඉලක්ක කොටගෙනය. අධ්‍යාපනය හෝ වෘත්තීය පුහුණුව සඳහා දෙනු ලබන ඕනෑම සහතික පත‍්‍රයක් ලෝකයේ ඕනෑම රටක පිළිගන්නා තත්ත්වයකට ගෙනා යුතුය. ශාස්ත‍්‍රීය අධ්‍යාපනයේදී සේ ම කාර්මික හා තාක්ෂණික අධ්‍යාපනයේදී ඉංග‍්‍රීසි හෝ වෙනත් ලෝක භාෂාවක් ඉගෙන ගැනීම අනිවාර්ය කළ යුතුව තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඇති කළ යුතුය. ශ‍්‍රී ලංකාව නවීන රටක් බවට පත්කළ හැකිවනු ඇත්තේ එවිටය.