අගෝස්තු 17 මැතිවරණය: පුරවැසි ප‍්‍රජාවේ තීරණය

කුමුදු කුසුම් කුමාර

ඉදිරි අගෝස්තු 17 මහ මැතිවරණය 1977 න් පසු මෙරට වඩාත්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටාපිටාවක පැවැත්වෙන මැතිවරණය විය හැකිය. එලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය යළි විවර කර ගැනීමට ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයේදී සක‍්‍රිය වූ පුරවැසි ප‍්‍රජාව හමුවේ වත්මන් මැතිවරණය බරපතළ අභියෝගයක් ඉදිරිපත් කොට ඇත. එය නම් ‘ජනවාරි 8 දා තමන් පෙනී සිටි නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණය යන මූලික අභිලාෂයන් ඉදිරියට ගෙන යාම සඳහා වත්මන් මැතිවරණයේදී කටයුතු කරන්නේ කෙසේද?’ යන්නට පිළිතුරු සෙවීමයි.

මෙම මැතිවරණයේදී තරග වදින ප‍්‍රධාන දේශපාලන පක්ෂ/ කණ්ඩායම් හතරකි. ඒ අතර මූලික වන්නේ වන්නේ මහින්ද රාජපක්ෂ අගමැති කිරීම අපේක්ෂා කරන එක්සත් නිදහස් ජනතා සන්ධානය (එජනිස) සහ රනිල් වික‍්‍රමසිංහ අගමැති කිරීම ඉලක්ක කොට ගත් එක්සත් ජාතික පක්ෂය (එජාප) යි.

එජනිසය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අමතරව මූලිකවම ගොනු වී ඇත්තේ කුඩා සිංහල පක්ෂ ගණනාවකි. එජනිසයේ පොදු යොමුව සිංහල බෞද්ධ ජාතිකවාදී වන අතරම එජාප නායක රනිල් විරෝධී ය. එහි හවුල් කාර සමහර පක්ෂ උග‍්‍ර සිංහල බෞද්ධ ජාතිවාදී ඒවාය. අනෙක්වා අමෙරිකානු අධිරාජ්‍ය විරෝධයක් සහ බටහිර විරෝධයක් මෙන්ම එහි දිගුවක් ලෙස අතීතයේ දී මර්දනකාරී වූ එජාපයක් සහ එම මර්දනයේ ප‍්‍රධාන කොටස්කරුවකු ලෙස රනිල් වික‍්‍රමසිංහ විරෝධයක් ද වෙනුවෙන් පෙනී සිටිති.

එජාපය යටතේ චම්පික රණවක නායකත්වය දරන ජාතික හෙළ උරුමයත්, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයත්, දකුණේ සහ වතුකරයේ දෙමළ පක්ෂත් එක්ව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී-පිළේ සාමාජික පිරිසකුත් තරග කරති. ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා දිනවීමට පෙළ ගැසුණු මාදුළුවාවේ සෝභිත හිමි නායකයා වන සමාජ සාධාරණය සඳහා වන ජාතික ව්‍යාපාරය ඇතුළු පුරවැසි සංවිධාන සහ සිවිල් සංවිධාන සමූහයත් එජාපය සමග මහ මැතිවරණය ඉලක්ක කොට අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට ඇත. මෙලෙසින් එජාපය ජනවාරි 8 දා මෙරට ගොඩ නැඟුණු දේශපාලන ගතිකය නියෝජනය කරන ප‍්‍රධාන දේශපාලන පක්ෂය ලෙස දකුණේ දෙමළ සහ මුස්ලිම් ජන කොටස්වල මෙන්ම පුරවැසි සහ සිවිල් සංවිධානවලත් විශ්වාසය දිනා ගැනීමට සමත් වූ බව පෙන්නුම් කෙරෙයි.

එජනිසයේ මැතිවරණ ව්‍යාපාරයේ මූලික තේමාව වී ඇත්තේ වත්මන් මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව යටතේ රට දෙකට බෙදනු ඇති බවයි. එම රජය දෙමළ ජාතික සන්ධානයේ (දෙජාසයේ) සහායෙන් බලයට පත් වූ හෙයින් ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණ නොසලකා හැරීම නිසා විදෙස්ගත කොටස්වල මූලිකත්වයෙන් එල්ටීටීඊය යළි පණ ගැන්වී රට දෙකට බෙදෙනු ඇතැයි යන්නයි. එල්ටීටීයට එරෙහිව යුද වැද පරාජය කොට එය වනසා දැමූ හෙයින් ජාතික ආරක්ෂාව සුරැුකීමට තමන් කෙරෙහි විශ්වාසය තබන මෙන් මහින්ද රාජපක්ෂ කියා සිටියි. දෙජාසයේ මැතිවරණ ප‍්‍රකාශනයේ ෆෙඩරල් ක‍්‍රමයට අනුව දේශපාලන බලය බෙදීමක් සඳහා සටන් කරන බව කියා තිබීම එජාපයට බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයක් ඇතැයි චෝදනා කරන්නට මහින්ද රාජපක්ෂ පිළ යොදා ගනියි. දෙජාසය ජාතීන් අතර සංහිඳියාව සඳහා මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිට තිබීම මහින්ද රාජපක්ෂ පිළ යොදා ගන්නේ තම චෝදනාව සනාථ කරන කරුණක් ලෙසිනි.

රනිල් වික‍්‍රමසිංහ සහ චම්පික රණවක ඇතුළු එජාපයෙන් තරග වදින අපේක්ෂකයෝ තම ආණ්ඩුව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලූ පියවර යොදා ඇති බවත් එල්ටීටීය නැවත නැඟී සිටීමේ කිසිදු ඉඩක් නොමැති බවත් කියා සිටිති. ඩයස්පෝරාවේ ප‍්‍රබල කොටස් සමග ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් ක‍්‍රියා කරන්නටත් ඔවුන් සමත් වී ඇත. ඒ අනුව එජාපය කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ පිළ සිංහල බෞද්ධ ඡුන්දදායකයන් එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට ඇති බිය යළි අවදිකොට ඡුන්දය දිනා ගැනීමට උත්සාහ කිරීම ජාතිවාදය ඇවිස්සීමක් බවයි.

තවද, ගෝලීයකරණය වූ මෙම යුගයේ හුදු බටහිර විරෝධයක් පවත්වා ගැනීම යටත් විජිත යුගයට හිමි යල්පැන ගිය ආකල්පයකි යන්න සහ ආර්ථික වර්ධනයේ ගතිකය ආසියාවට මාරු වී ඇති මෙම අවධියේ අමෙරිකානු අධිරාජ්‍ය විරෝධයක් දේශපාලන උපාය මාර්ගයක් ලෙස තවදුරටත් වලංගු නොවේය යන්න විචාරකයන්ගේ මතයයි. නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක‍්‍රියාත්මක කිරීම එජනිසයත් එජාපයත් දෙකම එක සේ කරමින් සිට ඇත. එජාපය සහ රනිල් වික‍්‍රමසිංහ ජනතා විරෝධී මර්දනකාරී පක්ෂයක් ලෙස නව තරුණ පරපුරට අත්දැකීමක් නොමැති අතර ඔවුන්ට ඇති අත්දැකීම මහින්ද රාජපක්ෂ රජයේ ජනතා විරෝධී සහ මර්දනකාරී පිළිවෙත් පිළිබඳය.

දෙජාසයම පවා එක්සත් ලංකාවක් තුළ බලය බෙදීමේ අදහස පිළිගෙන ඇති බව ප‍්‍රකාශ කොට තිබියදී බලය බෙදීම ප‍්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්නා එජාපය තම මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඒකීය ලංකාව පිළිබඳ අදහස අවධාරණය කිරීමට හේතුව චම්පික රණවක කණ්ඩායම සමග එජාපය ඇති කරගත් අවබෝධතාවක්ද, නැත හොත් එජාපය රට බෙදීමට කටයුතු කරන බවට මහින්ද පිළ මැතිවරණ සමයේදී එල්ල කරන චෝදනාව ප‍්‍රතික්ෂේප කිරීම අවශ්‍ය වීමද යන්න පැහැදිලි නැත. බාගවිට මේ දෙකරුණම හේතු විය හැකිය. චම්පික රණවක එජාපය සමග සන්ධාන ගත වීමම එජාපය බෙදුම් වාදීයැයි එල්ල කෙරෙන චෝදනාවට පිළිතුරක් වන හෙයිනි.

එජාපයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පවුල් පාලනය සහ කූට්ටාලි ධනවාදය මත පදනම් වූ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පරාජය කරමින් ජනවාරි 8 දා ලබාගත් ජයග‍්‍ර හණය ඉදිරියට ගෙන යාම ඉලක්ක කර ගනියි. මූලිකවම වසර පහක් ඇතුළත ප‍්‍රබල ආර්ථික සංවර්ධනයක් සාක්ෂාත් කොට ගෙන රැුකියා උත්පාදනය මගින් ජනයාගේ ජීවන තත්ත්වය නගා සිටුවන බවට පොරොන්දු වෙයි. ඒ සඳහා තමන්ට තනි බලයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට ඡුන්දය ඉල්ලා සිටියි.

තමන් ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ඇති බවත් එහි අගමැති පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් දිනා ගන්නා පක්ෂයෙනුත් දෙවැනි තැනට එන පක්ෂය ආණ්ඩුවට හවුල් කොට ගෙන උප අගමැති එම පක්ෂයෙනුත් පත් කරන බව එජාපය කියයි. එහෙත් මහින්ද රාජපක්ෂ පිළ කියා සිටින්නේ තමන් එජාපය සමග හවුල් වී ජාතික ආණ්ඩු පිහිටුවීමට එකඟ නොවන බවත් තමන්ට තනියෙන් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍ය තරම් ආසන ගණනක් තමන් දිනන බවයි. තවද, එජාපයේ මැතිවරණ ප‍්‍රතිපත්ති වෙළෙඳ පොළ තර්කනයට ආර්ථිකය සහ මහජන සේවාවන් නතු කොට දැනට ජනතාවට ලැබෙන සහන කපා හැරීම ඉලක්ක කරන බවට ද මහින්ද රාජපක්ෂ පිළ චෝදනා කරයි.

මැතිවරණ බිමෙන් වාර්තා වන තොරතුරු අනුව සහ බොහෝ දේශපාලන විචාරකයන් එකඟ වන පරිදි මෙම මැතිවරණයේදී ප‍්‍රධාන පක්ෂ/සන්ධාන දෙකෙන් එකකට වත් තනියෙන් ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් නොලැබෙනු ඇතැයි කියැවෙයි. එනිසාම පසමිතුරු පිළෙන් මන්ත‍්‍රීවරුන් බවට පත් විය හැකි පුද්ගලයන් මෙතෙක් කල් සිදුවූවා සේ මුදල් සහ/ හෝ තනතුරු සම්පත් යනාදිය ලබා දෙන පොරොන්දු පිට තම පිළට බා ගැනීමේ ක‍්‍රියාවලීන් මෙම දෙපාර්ශ්වයෙන්ම දැනටමත් ඇරඹී ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.

මෙම පසුබිමෙහි ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) කියන්නේ ප‍්‍රධාන පක්ෂ/සන්ධාන දෙකෙන් එකකට වත් තනිව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව සහ කවුරුන් ආණ්ඩුවක් පිහිටුවුවද එය හවුල් ආණ්ඩුවක් වන හෙයින් එබඳු ආණ්ඩුවක් අයාලේ යෑම වළක්වන්නට ප‍්‍රබල විපක්ෂයක් අවශ්‍ය වන බවයි. ඔවුනට අනුව එම ප‍්‍රබල විපක්ෂය බවට පත් විය හැක්කේ ජවිපෙටය. ප‍්‍රධාන පක්ෂ/සන්ධාන දෙක ප‍්‍රබල විපක්ෂයක කාර්ය භාරය ඉටුකිරීමට අතීතයේදී අපොහොසත් වී ඇති හෙයිනි.

ජවිපෙ අදහසට සහයෝගය පළකරන්නට ජනවාරි 8 දා ව්‍යාපාරය වෙනුවෙන් කැපවුණු සිවිල් සංවිධාන නියෝජිත යන්ගෙන් පිරිසක්ද ඉදිරිපත් වී සිටිති. ඔවුන් අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් සහ වෘත්තියවේදීන් ප‍්‍රමුඛය. (මොවුන් ජවිපෙ දකුණේ ප‍්‍රබල විපක්ෂය ලෙස නම් කිරීමෙන් පෙනී යන්නේ ආසන සංඛ්‍යාව අතින් ගත් කල ලාංකේය පාර්ලිමේන්තුවේ තුන්වැනි ප‍්‍රධාන බලවේගය වනු ඇත්තේ දෙමළ ජාතික සන්ධානය නමුත් ඔවුනට සිංහල ජනයා නියෝජනය කළ නොහැකි හෙයින් ඔවුන් මෙහි ලා අදාළ නොවන්නේය යන අදහස විය හැකිය. මෙරට ජනවර්ග අතර සබඳතා සම්බන්ධයෙන් මෙයින් ගම්‍ය කෙරෙන දේශපාලන කරුණ වෙනම සාකච්ඡුා කළ යුතු කරුණකි.)

ජවිපෙ සම්බන්ධ තර්කයට පසුබිම් වන ප‍්‍රධාන අදහස් කිහිපයක් තිබිය හැකිය. ඉන් පළමුවැන්න, මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පිළට තනිව ආණ්ඩුවක් පිහිටුවා ගත නොහැකි වූ විට ඔහුගේ පිළේ දේශපාලනය ඉන් පහසුවෙන් පරාජය වනු ඇත සහ ඔහුගේ පිළ නියෝජනය කරන දේශපාලන සහ සමාජ-ආර්ථික බලවේග ජනවාරි 8 දා ජයග‍්‍රහණ තහවුරු කර ගැනීමේ උත්සාහයට තව දුරටත් බාධාවක් විය නොහැකිය, යන්න විය හැකිය. දෙවැන්න, රනිල්ගේ නායකත්වයෙන් සැදෙන එජාප-මෛත‍්‍රී-එජනිස හවුල් ආණ්ඩුවෙන් පසු ජවිපෙට පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන සිංහල විපක්ෂය බවට පත් විය හැකිය යන්නයි. තමන් මහින්ද රාජපක්ෂ සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේද යන්න තීන්දු වනු ඇත්තේ ජනාධිපති මෛත‍්‍රී තම පක්ෂයේ නියෝජිතයා ලෙස මහින්ද නම් කරන්නේද යන්න මත බවට රනිල් කළ ප‍්‍රකාශය එක් අතකින් මෙම අදහසට අනුබල දෙයි.

එහෙත්, ජනවාරි 8දා දිනාගත් ජයග‍්‍රහණයන් තහවුරු කර ගනු වස් මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවක් ඉදිරියටත් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින පිරිස් තර්ක කරන්නේ එජාපයට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් රටේ දිගු කාලීන දේශපාලන අස්ථාවරභාවයක් උදාවනු ඇති බවයි. මහින්ද පිළ මන්ත‍්‍රීවරුන් බිලී බා ගනිමින්, සහ දැනටත් තමන්ට වැඩි වශයෙන් පක්ෂපාතීව ක‍්‍රියා කරන රාජ්‍ය නිලධාරී තන්ත‍්‍රයේ සහ රාජ්‍ය යාන්ත‍්‍රණයේ නිලධාරීන්ගේද සහායෙන් මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව පෙරළා දැමීමට නිසැකවම දිගින් දිගටම ක‍්‍රියා කරනු ඇති බවයි. ඔවුනට දේශීය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධන මාෆියාවන් ගේද සහාය ලැබෙනු ඇත. එමගින් ඔවුන් ජනාධිපති මෛත‍්‍රීපාල නිෂ්ක‍්‍රිය කිරීමටද ඔහු බලයෙන් පහ කිරීමටද පවා කටයුතු කරනු ඇත. එසේ වුවහොත් මෙරට පුරවැසියන් ඉමහත් කැපවීමකින් ජනවාරි 8 දා දිනාගත් ජයග‍්‍රහණ ආපස්සට හරවනු ලැබෙනු ඇති බවට ඔවුහු තර්ක කරති.

එහෙත් ජනවාරි 8 දා ජයග‍්‍රහණයන් තහවුරු කිරීම අත්‍යවශ්‍යයැයි විශ්වාස කරන තවත් පිරිස් කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ පිළ පැරදවිය යුතු නමුත් එජාපයට තනිව ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ දීම ජනවාරි 8ට සබැඳි අපේක්ෂාවන් ඉදිරියට ගෙන යාමට බාධාවක් විය හැකි බවයි. රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දෙන එජාපය තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේදී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගැන කතාකළද වෙළෙඳපොළ මුල් කරගත් නව ලිබරල්වාදයට ඇති නැඹුරුවෙන් ඊට මිදෙන්නට නොහැකි වීම ඊට ප‍්‍රධාන හේතුවකි. සමාජ සාධාරණය පිළිබඳ ජනතා අපේක්ෂාවන් වෙළෙඳපොළ තර්කණයට යට කිරීම රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවකින් කෙරෙනු ඇත. ලංකාවේ අපනයන ආදායම් නංවා ලීමට තමාට හැකි බවත් ඒ සඳහා ශ‍්‍රම වෙළෙඳපොල සහ කෘෂිකාර්මික ඉඩම් වෙළෙඳපොළ නිර්බාධී කරණය කළ යුතු බවට රනිල් වික‍්‍රමසිංහ මෑතදී කළ ප‍්‍රකාශය මෙයට උදාහරණයකි. මේ සුප‍්‍රසිද්ධ ලෝක බැංකු සූත‍්‍රයයි. තවද, සේවක අර්ථ සාධක අරමුදල සෘජුව ආණ්ඩුවේ පාලනයට යටත් කිරීමට එජාපය කරන යෝජනාව එම අරමුදල අවදානමට හෙලීමක් බවට වෘත්තීය සමිති අනතුරු අඟවා ඇත. සෞඛ්‍ය සේවාව ස්වාධීන මණ්ඩලයක් යටතට පත් කිරීමේ යෝජනාව පිළිබඳව ද සෞඛ්‍ය අංශයේ කොටස් සැක පහළ කරති. මෙම තත්ත්වය පුරවැසි ප‍්‍රජාව සහ එජාප රජයක් අතර ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය කිරීමට හේතු විය හැකිය. රනිල් වික‍්‍රමසිංහ කෙරෙහි පූර්ණ විශ්වාසය නොතැබීමට දැක්වෙන තවත් හේතුවක් නම් ඔහු තම හිතූමතයේ ප‍්‍රතිපත්ති තීරණ ගෙන දරදඬු ලෙස ඒවා ක‍්‍රියාත්මක කරන්නෙකි යන්නයි. මෙම පිරිස් තර්ක කරන්නේ මහින්ද රාජපක්ෂ පිළ පරාජය කළ යුතු නමුත් රනිල් වික‍්‍රමසිංහට පාර්ලිමේන්තුවේ තනි බහුතර බලයක් නොදිය යුතු බවයි.

ප‍්‍රධාන දේශපාලන පක්ෂ/සන්ධාන දෙකෙන් එකකට වත් තනිව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි වනු ඇතැයි කියැවෙන වාර්තා පිළිබිඹු කරන්නේ මෙම දෙවැනිව කී අදහසද? පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද පිළට ලැබුණු ඡන්ද බොහෝ දුරට එලෙසින් ම පවතිද්දී මෛත‍්‍රී පිළට ලැබුණු සියලූ ඡන්ද එලෙසින්ම එජාප සන්ධානයට නොලැබීම ඊට හේතු විය හැකිද? ජවිපෙ මහ මැතිවරණය පිළිබඳ ගන්නා ස්ථාවරයේ ප‍්‍රතිඵලය මෙම දෙවැනි අදහස සැබෑ කිරීමට දායක වන්නක්යැයි එජාපය ප‍්‍රබල ආණ්ඩුවක් පිහිටුවීම අපේක්ෂා කරන්නවුන් කියන්නේ එහෙයිනි.

මේ තත්ත්වය හමුවේ තම ඡන්දය දෙන්නේ කාහටද යන්න මෙරට පුරවැසියන් විනිශ්චයකට එළඹිය යුතු ගැටලූවයි. පක්ෂ භේදය පසෙක ලා දූෂිත නොවන අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවට ප‍්‍රබල මතයක් ද රටේ ගොඩ නැගෙමින් පවතී. තම පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන දූෂිත නියෝජිතයන් දැක තමන් පක්ෂයට ඡන්දයට දෙනවා මිස පුද්ගලයන්ට මනාප නොදෙන්නේ යැයි අදහසක් ප‍්‍රධාන පක්ෂ/සන්ධාන දෙකේ සාමාජිකයන් අතර පැතිර යමින් පවත්නේ මේ නිසා විය හැකිය. මහ මැතිවරණයකදී ඡුන්දය දීම සාමාන්‍යයෙන් තීරණය වන්නේ එක් එක් මන්ත‍්‍රී අපේක්ෂකයා කෙරෙහි ඡුන්දදායකයා දක්වන ආකල්පය මතය යන්න මෙම මැතිවරණයේදී වෙනස් වීමට ඉඩ ඇතැයි මෙයින් කියැවෙන්නේද?

ජනවාරි 8 දා මෙරට පුරවැසි ප‍්‍රජාව සක‍්‍රිය වීමෙන් දේශපාලනයේ ආරම්භ කළ පරිවර්තනය ඉදිරියටම ගෙන යාමේ ගතිකය මහ මැතිවරණයෙන් තව දුරටත් වර්ධනය වේද? එය තීරණය වනු ඇත්තේ පුරවැසියන් අගෝස්තු 17 වැනිදා තම ඡන්දය පාවිච්චි කරන ආකාරය මතය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;