Untitled-1

Untitled-1

වොක්ස්වැගන් ආදරය


valks-wagan

විමලනාත් වීරරත්න

විසිල් එක නැති වොක්ස්වැගන් එකෙන් වැඩක් නැහැ. ඒකෙන් තමයි වොක්ස්වැගන් කාරෙකක් එනවා කියලා ඕනෙ කෙනෙක් අඳුරගන්නෙ.

ඒ වොක්ස්වැගන් මෝටර් රථ ලෝලියකු කියූවකි. වොක්ස්වැගන් කුලයේ පළමු මෝටර් රථය ලංකාවට එන්නේ 1947දීය. එනම් මීට වසර 68කට පෙරය. ලංකාවට පැමිණි දෙවැනි වොක්ස් වැගන් රථය මිලදීගෙන ඇත්තේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ය. ඉන්පසු මෙම රථය මෙරට වෘත්තිකයින් භාවිත කළ ජනප‍්‍රියම මෝටර් රථය බවට පත්විය. අනතුරුව එළැඹුණු අවධිය තුළ වොක්ස් වැගන් රථ ලංකාවේ සුලභ වූ බැවින් මහාමාර්ග මත නිබඳ එය දැකීම සාමාන්‍ය දසුනක් විය. 70 දශකය වන විට වොක්ස්වැගන් කුලී රථ සේවාව සඳහාද යොදා ගැනුණි. එහෙත් 90 දශකය වනවිට ලංකාවේ පමණක් නොව ලෝකයේද වොක්ස්වැගන් මෝටර් රථ දක්නට ලැබුණේ අඩුවෙනි. මෙම මෝටර් රථය කෙරෙහි යළි අතිබහුතරයකගේ ඇස යොමුවන්නේ වොක්ස් වැගන් මැරීයමින් තිබුණු අවදියකදීය. එවර වොක්ස්වැගන් ලෝලීහු තරුණ පෙළ තුළින් බිහිවූහ. නවීකරණය කරන ලද වොක්ස් වැගනයක් ස්පෝට්ස් රථයක අලංකාරය ගෙන දෙන බැවින් ඔවුහු ඊට ආශක්ත වූහ. මෝටර් රථයක් ඇති අයකු එය අලූත්වැඩියා කරගෙන පාවිච්චි කරනවා මිස විකුණන්නට හිතන්නේවත් නැති තත්ත්වයක් ඒ සමගම උදාවිය. වොක්ස්වැගන් තලයේ ජනප‍්‍රියම රථය හඳුන්වන්නේ  Valks Wagen Beetle යනුවෙනි. බීට්ල් යන්න භාවිත වන්නේ කුරුමිණියාගේ හැඩය නිසාය. විසිල් එක නැතිනම් වැඩක් නැහැ කිව්වේත් කුරුමිණියාට ආදරය කළ කෙනෙකි.

ෆර්ඩිනන්ඞ් පෝෂේ

ෆර්ඩිනන්ඞ් පෝෂේ යනු ඉකුත් සියවසේ ලොව බිහිවූ විශිෂ්ටතම මෝටර් රථ ඉංජිනේරුවාය. ඔහු උපන්නේ 1875 සැප්. 30 වැනිදා වන අතර මියගියේ 1951 ජන. 30 වැනිදාය. ඔහු මියයන්නට පෙර German National price for art and science iy Grate German Ingineer (Nazi Propaganda) යන සම්මාන දෙක දිනා ගත්තේය. හෙතෙම සියවසේ මෝටර් රථ ඉංජිනේරුවා ලෙස තෝරා ගැනෙන්නේ 1996දීය. ඒ සඳහා පත් කැරුණු විශේෂ මණ්ඩලයක් විසිනි. වොක්ස්වැගන් රථයේ නිර්මාතෘවරයා වන්නේද ෆර්ඩිනන්ඞ් පෝෂේය. කාන්තාරවල ගමන් සඳහා වතුර නැතිව භාවිතයට ගත හැකි මෝටර් රථයක අවශ්‍යතාව ගැන හිට්ලර් පෝෂේ නමැති ඉංජිනේරුවාට කීවේ 1931දී පමණය. හිට්ලර්ට එවැනි මෝටර් රථයක් පිළිබඳ තම සිත තුළ පැන නැගුණු, චිත‍්‍රයට නැගූ කටුසටහනක්ද තිබුණි. එහෙත් ඔහු එය පෝෂේට නොපෙන්නුවේය. ජර්මනියේ පැවති යුදමය වාතාවරණය මෙම නිෂ්පාදනයට හේතුවූ අතර දෙවැනි ලෝක යුද්ධයේ ඇරඹුමක් සමග එය කාන්තාරවල මිලිටරි කටයුතු සඳහා යොදා ගත්තේය.

හිතේ සටහන

හිට්ලර් ඉල්ලූවේ ඩොයිෂ් මාක් දහසකට අඩුවෙන් මිලදී ගතහැකි අඩු වියදම් රථයකි. වේගයෙන් ධාවනය කළ හැකි විය යුතුය. වතුර භාවිතයක් රහිතව සුළඟ සහ ඉන්ධන පමණක් පාවිච්චි විය යුතුය. මේ කරුණු සලකා බලා පෝෂේ රේඩියේටරයක් නැති සුළං මගින් එන්ජිම සිසිලනය කරන වාහනයක් සැලසුම් කළේය. කෙතරම් වේගයෙන් ගියත් වාහනය පෙරළීමට තිබෙන අවකාශය අඩුය. පිටුපස රෝද දෙක හකුළුවා ඇතුළට නෙරා ඇති ලෙස වොක්ස් වැගනයේ පිටුපස සකස් කර ඇති අතර රෝද ක‍්‍රමයෙන් ඍජුවන්නේ වාහනයට බර වැටුණු විටය. මේ ක‍්‍රමවේදය නිසා වේගයෙන් වංගුවක් ගත්තත් වාහනය නොපෙරළෙයි. සුළං කපාගෙන ඉදිරියට යන මෙම වාහනයේ හැඩය ගැනීම පිළිබඳ යම් යම් හාස්‍ය දනවන කතා ඇති අතර ඉන් එකක් නම් මාස නමයක පමණ ගර්භනී කාන්තාවක් උඩුකුරුව නිදා සිටින ඉරියව්ව පෝෂේ මෝටර් රථයේ හැඩය ලෙස භාවිත කළ බවය. නෙරා ගිය උදරයෙන් වහලයේ හැඩය ගත් අතර දෙකකුල්වලින් වාහනයේ ඉදිරිපස නිර්මාණය කැරිණි. සුළං කපාගෙන ඉදිරියට යෑම සඳහා මෙම ගෝලාකාර ස්වරූපය භාවිත කළා යන්න පිළිගත හැකිය. රථයේ හැඩය පිළිබඳ පෝෂේගේ කටුසටහන හිට්ලර්ට පෙන්වීමෙන් පසුව හිට්ලර් ඇඳ තිබුණු සටහන සමග එය සමපාත වී තිබුණි. හිට්ලර්ගේ පැත්තෙනුත් පෝෂේගේ කතාවටත් වඩා හාස්‍ය කතාවක් මේ සටහන සම්බන්ධයෙන් කියවෙන අතර ඔහුගේ බිරිඳගේ ඉදිරි හා පසු නිරුවත සංකල්පීය වශයෙන් මෝටර් රථයේ ඉදිරිපස පසුපස නිර්මාණය කරගැනීමට භාවිත කළ බවත් කියැවේ. කෙසේ වෙතත් ස්ත‍්‍රී ලාලිත්‍යය සම්බන්ධ යැයි කියවෙන වොක්ස්වැගන් රථයේ අපූරු හැඩය කාගේත් සිත් පැහැර ගැනීමට සමත්විය.

Peoples Car

Valks Wagen  යන ජර්මන් වදනෙහි අරුත Peoples Car හෙවත් මහජනයාගේ මෝටර් රථය යන්නය. මෝටර් රථයේ එන්ජිම පිටුපසට ගෙන තිබෙන්නේ වේගය වැඩිකර ගැනීමටය. එනම් අශ්වයාගේ පිටුපස පාදයේ ජවාධික බව නමැති සංකල්පයට අනුවය. එමෙන්ම යුද කටයුතු සඳහා භාවිතයේදී ඉදිරියෙන් එන සතුරු ප‍්‍රහාරයකදී එන්ජිම ක‍්‍රියාවිරහිතවීම වළක්වා ගැනීමටය. පිටුපස දොරටු රහිත වූයේ වියදම් අවම කරගැනීමටත් වාහනයේ ශක්තිමත්භාවය උදෙසාත්ය. ඊට පසුව එකතු වූ තවත් හේතුවක් වූයේ විශේෂ සිරකරුවකු පහසුවෙන් රථයෙහි පිටුපස ආසනයෙහි පැනයා නොහැකි ලෙස රැුගෙන යෑමටය. රියදුරු අසුනට වම් පැත්තේ අසුන ඉදිරියට කඩා ඉඩ ගැනීමෙන් මිස පිටුපස සිටින්නාට රථයෙන් බැස යෑම කළ නොහැකිය. දෙවන ලෝක සංග‍්‍රාමයේදී භාවිතයට ගත් ඇතැම් රථවල රියැදුරු අසුනට පිටුපසින් වටේට කර කව කවා වෙඩි තැබිය හැකි මැෂින් තුවක්කු සවිකර තිබුණි. මෝටර් රථය නිපදවා හිට්ලර්ගේ ඉහළම ගරු බුහුමනට පාත‍්‍රවුවත් නාසිවාදීන්ගේ ඝාතන සංස්කෘතිය බලා සිටින්නට බැරි තැන පෝෂේ ප‍්‍රංශයට පලාගිය බවත් ප‍්‍රකටය. පසු කලෙක නාසි යුද කටයුතු පිළිබඳව පෝෂේත් වගඋත්තරකරුවකු වූ නමුත් ඉක්මනින් ඔහු එම චෝදනාවලින් නිදහස්ව සිය මෝටර් රථ ව්‍යාපෘතියේ නිමග්නවීමට අවසර ලැබුවේය.

ලංකාවේ වොක්ස්වැගන්

ලංකාවට ආපු දෙවැනි වොක්ස්වැගන් එක ගත්තෙ ප්‍රොෆෙසර් සරච්චන්ද්‍ර. දවසක් වෙනත් කතාබහක් අතරතුරදී ලලිතා සරච්චන්ද්‍ර මා සමග එසේ කීවේය. ප‍්‍රකට වෘත්තීය සමිති නායකයකු වූ බාලා තම්පෝ දිගටම පාවිච්චි කළේ තදකොළ පැහැති වොක්ස්වැගනයකි. ගුණදාස අමරසේකරටත් එක් කලෙක වොක්ස්වැගනයක් තිබුණි. එයා මාර්ෂල් හැරී ගුණතිලකගේ වොක්ස්ව ැගන් එකේ දිනක් අගමැතිනිය හමුවන්නට ගිය බව වික්ටර් අයිවන් කීවේ වොක්ස් වැගන් රථ පිළිබඳ සල්ලාපයකදීය. තමන් දිසාපති වී අවුරුදු දෙකක් යද්දී 7500/-කට සුවඳ හමන අලූත්ම අලූත් වොක්ස්වැගන් එකක් ගත් බව කීවේ ලීල් ගුණසේකරය. ගත්කතුවරයකු හා නීතිවේදියකු වන නීල් විජේරත්න දවසක් කීවේ තමන් නීති ක්ෂේත‍්‍රයේ කටයුතු කරන කාලයේ විටින් විට වොක්ස්වැගන් රථ පහක් භාවිත කළ බවකි. එසේ බලන විට වොක්ස්වැගන් පාවිච්චි නොකළ කෙනෙක් නැත. 90 දශකය වනවිට ලංකාවේ කොල්ලන් අතපත්වූයේ මේ සියලූ වෘත්තිකයින් වෙතින් අතහැරුණු වොක්ස් වැගන්ය.

සුවාරපොළ වැඩබිම

මහේෂ් වීරසිංහ මට හමුවූයේ පිළියන්දල සුවාරපොළදීය. ඔහු කෙතරම් වොක්ස්වැගන් සමග බද්ධවී සිටීද කියන්නේ නම් ගෙදරට ඇඳ සිටි ටීෂර්ටයේත් තිබුණේ වොක්ස්වැගන්ය. මහේෂ් පියාගේ වොක්ස් වැගනයෙන් පටන් ගෙන අද වනවිට වොක්ස්වැගන් පමණක් අලූත්වැඩියා කරන කුඩා ප‍්‍රමාණයේ විධිමත් වැඩපළක් පවත්වාගෙන යයි. මම මේ කාර් එකට ආසා කළේ හේතු දෙකක් හින්දයි. එකක් ඒකේ හැඩයට. අනික තාක්ෂණයට. කොල්ලො මේක මොඩිෆයි කරලා පදින්න ආසයි. හැබැයි මම නම් මේක මොඩිෆයි කරන්න කැමති බාහිරව නෙවෙයි. එන්ජිම තව කාර්යක්ෂම කරගන්න තාක්ෂණය පැත්තෙන්. ඒ ඇරුණාම පෙට‍්‍රල් ඉතිරි කරගන්න, බ්‍රේක් සිස්ටම් එක තව හොඳට හදාගන්න වගේ දේවල්වලින්. ඉස්සර මේ ජාතියෙ කාර් එකක් ගන්න කෙනෙකුට තව අශ්වබල 1200ක එන්ජිමක් නොමිලේ දුන්නා. ඒ මේකෙ එන්ජිම හිටිගමන් ගිනි ගන්න අනතුරක් තිබුණ නිසා. පොඩි ළමයෙක් කාර් එකේ තනියම තියලා යන්න එපා කියලා ඒ දවස්වල මේකෙ මැනුවල් එකේ තිබුණා. පෙට‍්‍රල් කාබරේටර් එකෙන් ඕවර්ෆ්ලෝ වෙලා ගිනිගන්න නිසා. දැන් නම් අපි කරන්නෙ ගිනි ගන්න තැන පුනීලෙ ළඟින් සීල් කරන එක.

මහේෂ් කියන පරිදි වොක්ස්වැගන් රථය නියම මහජන රථයක්  (Peoples Car) බවට පත්ව තිබෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය. අනතුරුව එය ලෝකයේ සෑම රටකටම ව්‍යාප්ත විය. එය පස්දෙනෙකුට යා හැකි පවුලේ වාහනය බවට පත් කැරිණි. තාත්තා රියැදුරු අසුනේය. අම්මා අනෙක් පසය. දරුවන් තිදෙනා පසුපස අසුනේය. එම අසුනට යාබදව පිටුපස අවකාශයෙහි සූට්කේස් පහක් පිළිවෙළට ඇසිරිය හැකිය. සුවාරපොළ නිවසේම පවත්වාගෙන යන මහේෂ්ගේ වැඩපළ කාර්ය බහුල තැනකි. නිතරම ඇසෙන්නේ එන්ජිමක් පණ ගැන්වෙන ශබ්දයකි. නැතහොත් පිරී ගාන හඬකි. තට්ටු බට්ටු කිරීමකි.
ලංකාවට වොක්ස්වැගන් ආනයනය කළේ Colombo Car Mart ආයතනයයි. මේවා හදන්නට රජවැඩකාරයෝ සිටියේත් එහි පමණි. මහේෂ් හමුවන්නට මම යනවිටත් නාමරත්න නමැති 78 හැවිරිදි Car Mart රජවැඩකාරයකු එම වැඩබිමෙහි එන්ජිමත් සමග ඔට්ටුවෙමින් සිටියේය. Car Mart මගින් එකල ජර්මනියෙන් කාර්මිකයන් ගෙන්වා මෙරට කාර්මිකයන් පුහුණු කළ බව ප‍්‍රකටය.

මහේෂ් මෙම විෂයෙහි සියුම් නිර්මාපකයෙකි. පරිගණක තාක්ෂණය පිළිබඳව විදේශයක අධ්‍යාපනය ලබා ඇති ඔහු වොක්ස්වැගන් සමග ජීවිතය බෙදාහදා ගන්නට ඉටාගෙන තිබෙන්නේ නිර්මාණාත්මක ලෙස දිවි සැරීමට රිසි බැවිනි. ඒ බව පසක් කරමින් හෙතෙම hebmuller නමැති රථයක් මේ දිනවල නිර්මාණය කරමින් සිටියි. එය හිට්ලර් ඉඳහිට රාජ්‍ය උත්සවවලට පැමිණීමට භාවිත කළ වහලය රහිත හුරුබුහුටි වොක්ස් වැගනයකි. v.w. motorworks srilanka නමැති සමාජ ජාලයේ මිතුරු පිටුව මේ පිළිබඳව මහේෂ්ගේ වෙබ් අඩවියයි.

වුල්ෆ්බර්ග් එඩිෂන්

මුල් කාලයේ වොක්ස් වැගනයට තිබුණේ වෘක පෙනුමකි. වර්තමානයේදී ජර්මනියේ වොක්ස්වැගන් සමාගම පිහිටුවා ඇති නගරයටත් වුල්ෆ්බර්ග් යන නම භාවිත වෙයි. මුල් යුගයේ ඩඅ යන ලාංඡනය සමග තවත් සුවිශේෂී සලකුණු දෙකක් වොක්ස්වැගන් රථවල දක්නට ලැබිණි. එය නම් මාලිගාවක දොර විවර කර තැබීම හා වසා තැබීම යන සලකුණු දෙකය. මාලිගාවේ දොර වසා තිබුණු සලකුණ සහිත වොක්ස්වැගන් නිෂ්පාදනය වූයේ දෙවැනි ලෝක සංග‍්‍රාමයට පෙර සමයෙහිය. පසුව සියල්ල නිදහස් බව කියන්නට දෙවැනි ලෝක සංග‍්‍රාමයෙන් පසුව මාලිගාවේ දොර හැර ඇති බව දැක්වෙන සලකුණ සහිත වොක්ස්වැගන් නිෂ්පාදනයවිය. මුලදී පැති කණ්ණාඩිය තිබුණේ දකුණුපස පමණි. පැති කණ්ණාඩි දෙක ආවේ 4 ශ‍්‍රීවලින් පසුවය. අද වනවිට වටිනාම වොක්ස්වැගනය ලෙස සැලකෙන්නේ එන්ජින් ධාරිතාව 1500 ‘කනේ මයිල්’ යනුවෙන් මෙරට වහරින් හැඳින්වෙන රථයය.

ජුනි 22

90 දශකය වනවිට ලෝකයේම වොක්ස් වැගනය දක්නට තිබුණේ අතිශයින්ම අල්ප වශයෙනි. ඒ වෙනත් නවීන රථවාහන සුලබවීම නිසාය. 95 ජුනියේ දවසක වොක්ස්වැගන්වලට ආදරය කරන්නකු වන ඇලෙක්සැන්ඩර් ග්‍රොමෝව් නමැත්තා අන්තර්ජාලයේ ලිපියක් පළ කළේය. dear vw Bettle Friends යනුවෙන් ආමන්ත‍්‍රණය කර තිබුණු එහි සඳහන් වූයේ June 22nd drive your v.w. to work යනුවෙනි. ඊට අමතරව වොක්ස්වැගන් රථවල අපූර්වත්වය හිමිකරුවකු ලෙස ඔහු ඊට දක්වන ආදරය යනාදිය ගැන කෙටි සටහනක් ලිපියෙහි අඩංගු විය. ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, ජර්මන් හා පෘතුගීසි යන භාෂාවලින් මෙම ලිපිය අන්තර්ජාලයේ වොක්ස් වැගන් ලෝලීන්ගේ ඇසින් ඇස සැරිසැරුවේය. ඒ ලියුම වොක්ස්වැගන් ලෝලීහු පණගැන්වූහ. කුල්මත් කළහ. ඔවුහු ගරාජ්වල දුහුවිලි බැඳී තිබුණු රථ සෝදා පිසදා තෙල් දමා පණ ගන්වා බැලූහ. අනතුරුව තමන්ට සමාජයක් ඇතැයි යන උණුසුම් හැඟීම්වලින් යුතුව 95 ජූනි 22දා වොක්ස්වැගන් පාරට දැමූහ. සමහර ඒවා කලකින් පාරට දැමූ නිසා හුචාස් හුචාස් ගා නතර වූයේය. එහෙත් වොක්ස්වැගන් සමාජය උණුසුමට එකිනෙකා පිළිගන්න හඳුනාගන්න තත්ත්වයක් උදා කළේය. ජූනි 22 ජාත්‍යන්තර වොක්ස්වැගන් දිනය බවට පත්වූයේ එපරිද්දෙනි.

සරත්

මොරටුවේ සරත් පියාගේ වොක්ස්වැගන් දායාදය ලද්දෙකි. ඔහුගේ 4 ශ‍්‍රී රථය වසර දෙක තුනක් තිස්සේ අලූත්වැඩියාවේම පවතින අතර වෙනත් මෝටර් රථයක් මිලට ගැනීමටද හෙතෙම අකමැතිය. හිතවතකුගේ වොක්ස්වැගනයක් අක‍්‍රිය වුවත් යන ගමන නවත්වා කරන හදිසි වැඩ පවා නවත්වා ඊට උදව් කරන අමතර කොටස් හොයන්නට යන වර්ගයේ වොක්ස්වැගන් ලෝලියකු වන සරත් වොක්ස්වැගනය නැති නිසා පාපැදියේ ගමන්බිමන් යයි. හෙතෙම වොක්ස්වැගන් තාක්ෂණය පිළිබඳවද ස්වයං දැනුමක් අත්පත් කරගත්තෙකි.

‘මේක පාවිච්චි කරන්න පුරුදු වෙච්ච මිනිහට වෙන කිසිම කාරෙකක් හරි යන්නැහැ. තරුණ අය මේක මොඩිෆයි කරනවට මම ටිකක් විරුද්ධයි. එතකොට වෙළෙඳපොළේ වටිනාකම බහිනවා. වොක්ස්වැගන් කියන්නෙ හරිම ආරක්ෂිත කාර් එකක්. කවදාවත් ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා දැකලා තියනවද? දරුණු විදියට හැපුණත් ඇතුළෙ ඉන්න අය බේරෙන විදියට මේක හදලා තියෙන්නෙ.’

වොක්ස්වැගන් කන්නා

වොක්ස්වැගන් වත්තේ කන්නා මට හමුවූයේ පංචිකාවත්තේදීය. ඔහු ගැලවූ වොක්ස්වැගන් අමතර කොටස් විකුණන ප‍්‍රකටම වෙළෙන්දාය. පංචිකා වත්තේ ජේසන් සහ දර්ශන යන අමතර කොටස් වෙළෙඳුන් හැරුණු විට අඩු වියදමකින් ඕනෑම වොක්ස්වැගන් අමතර කොටසක් ගන්නට වොක්ස්වැගන් මිතුරෝ කන්නා සොයා එති. කන්නා ලොකු ගණන් කියා පසුව සහන මිලකට අවශ්‍ය දේ ලබාදෙයි.

වොක්ස්වැගන් රැලිය

ශ‍්‍රී ලංකාවේ වොක්ස් වැගන් රැුලිය සෑම වර්ෂයකම ජුනි 22දා පවත්වන්නේ v.w. owners club of Sri Lanka මගිනි. ඉතා රමණීය දසුනක් මැවීමට එදින ඔවුහු මනාලියන් පරිදි වොක්ස්වැගන් රථ සරසාගෙන එති. මෙම වොක්ස්වැගන් සමාජයේ සිටින්නේ තරමක් මුදල් හදල් ඇති අයය. එහෙත් එසේ නොමැති වොක්ස්වැගන් ලෝලීහු අමාරුවෙන් වොක්ස් වැගනයක් ගෙන චුට්ටක් තෙල් ගසා ගනිමින් එය ඉඳහිට පදිති. මේ දෙකම වොක්ස්වැගන් නමැති අපූරු සංකල්පයට දක්වන ආදරයේ නාමයෙනි.