වාණිජ චිත‍්‍රපටයක් පිළිබඳ මට අභියෝගයක් තිබුණා | ප‍්‍රවීණ සිනමාවේදී සුගතපාල සෙනරත් යාපා

සුලෝචන වික‍්‍රමසිංහ

හන්තානේ කතාවට’ දැන් අවු.46ක්. ඒ පිළිබඳ ඔබ දැන් සිතන්නේ කුමක්ද?

හන්තානේ කතාව චිත‍්‍රපටය ගැන මතක් වෙනකොට මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඒ වගේම දුකක් හා මානසිකව කඩා වැටීමක්. සතුට තමයි එවැනි චිත‍්‍රපටයක් 60 දශකයේදී කළා කියන එක. අදත් තාම කිසිම කෙනෙක් සම්පූර්ණයෙන්ම විශ්ව විද්‍යාල ජීවිතය පසුබිම් කරගත් චිත‍්‍රපටයක් නිර්මාණය කරලා නැහැ. එහෙත් මා ඇතුළු අපේ නිෂ්පාදන කණ්ඩායමට එය දැනට දශක ගණනාවකට එපිටින් කරන්න පුළුවන් වුණා. එය සිහිවීමත් සතුටුයි. දුක තමයි හන්තානෙ කතාව චිත‍්‍රපටයෙ සම්පූර්ණ බර කරට අරගෙන එහි අද්වීතීය රංගනයක යෙදුණු ටෝනි රණසිංහගේ අභාවය. එය මට මහත් කම්පනයක් ඇති කළා. ටෝනි කියන්නේ ඉතා විශිෂ්ට රංගධරයෙක්. රංගනය ක‍්‍රමවත්ව සකසාගත් කුසලතා පිරිපුන් නළුවෙක්. ඒ වගේම හොඳ මිතුරෙක්. ඔහු සමග මගේ තිබුණෙ පුදුමාකාර බැඳීමක්. අපි දෙන්නගේ අසනීප තත්ත්වය නිසා නිතර නිතර අපි දෙන්නා මුණ නොගැසුණත් සුමානෙකට එක වතාවක් හරි දුරකථනය හරහා අපි සම්බන්ධ වෙනවා. එහිදී අපි අපේ අතීත සිද්ධි මතක් කරමින් පුදුමාකාර සතුටක් ලැබුවා. එහෙත් අවසාන දින කිහිපයේදී මාව සම්බන්ධ කරගන්න අපහසුවීම නිසා ඔහු මගේ දුරකථනයට පණීවිඩයක් තියලා තිබ්බා. මම ඊට පසු දවසකදී ඔහුට කතා කළා. එහිදී ඔහු කිව්ව පුදුමාකාර අදහස තාමත් මගේ හිතේ හොල්මන් කරනවා. එහිදී ඔහු කිව්වා සුගත් ඔයයි මමයි දෙන්නම අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඒ නිසා මට කළින් ඔයා මළොත් ඒ මළගෙදරට මට එන්න වෙන්නේ නැහැ. ඒ වගේම මං ඔයාට ඉස්සෙල්ලා මළොත් ඔයා එන්නත් එපා කියලා. එදා ?ම තමයි ටෝනිව ඉස්පිරිතාලෙට ගෙනිහිල්ලා තියෙන්නේ. එයාගේ මළගමට මට එන්න එපා කිව්වත් මගේ අසනීප තත්ත්වෙ පැත්තකින් තියලා මම කොහොම හරි ටෝනිට අවසන් ගෞරවය දක්වන්න ගියා. ඔහුගේ අඩුව කාටවත් පුරවන්න බැහැ. ඔහු එතරම් දක්ෂයෙක්. ටෝනි නිසා හන්තානෙ කතාවටත් හන්තානේ කතාව නිසා ටෝනිටත් ලැබුණු ආලෝකය ඉතා විශාලයි.

මේ හැම දෙයකටම වඩා ඒ චිත‍්‍රපටය නිසා මා මහත් මානසික කම්පනයකට පත්වෙලා ඉන්නෙ. ‘හන්තානේ කතාව’ චිත‍්‍රපටයෙ අයිතිය මගෙයි. මම එය මගේ දුවට පවරලයි තියෙන්නේ. ඒ නිසා එහි වර්තමාන හිමිකරු ඇයයි. එහෙත් ළඟදි අපේ අවසරයකින් තොරව එම චිත‍්‍රපටය කිසියම් පුද්ගලයෙක් රූපවාහිනී නාලිකාවක ප‍්‍රදර්ශනය කළා. ඒ වගේම තව තැන් කිහිපයකම ප‍්‍රදර්ශනය කළා. අවසානයේ එක්තරා සමාගමක් විසින් එය ඞීවීඞී පටයකට නගලා කිසිදු ලැජ්ජාවක් නැතිව මට එහි පිටපතක් තැපෑලෙන් ලැබෙන්නට සලස්වනවා. මෙහෙම නිර්මාණ මංකොල්ලයක් ලෝකෙ කොහේවත් සිද්ධවෙන්නේ නැහැ. මේ සම්බන්ධව අදාළ අංශවලට අපි පැමිණිලි කළත් ඒ පිළිබඳව කිසිදු පියවරක් මේ දක්වා අරගෙන නැහැ. ඇත්තටම අපිට ඒ හොරකම් ගැන කියන්න ගිහිල්ලා විඳින්න සිද්ධවුණු කරදර ඉතා විශාලයි. මම දැන් ඉන්නේ රෝගාතුරවයි. මට කාගේවත් උදව්වක් නැතුව ඇවිදින්න බැහැ. ඒ වගේ මොහොතක මගේ නිර්මාණයක් මෙසේ හොරකම් කරලා මුදල් හම්බ කරනකොට මට දැනෙන මානසික කම්පනය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කෙසේ නමුත් මේ සම්බන්ධව ඉදිරි පියවර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

නිර්මාණ මංකොල්ලය ලංකාවේ ක‍්‍රියාත්මක වන සංවිධානාත්මක ව්‍යාපාරයක්

එය තනිකරම මාෆියාවක්. එහෙම වෙන්නේ ඒ සම්බන්ධව ක‍්‍රියාත්මක වන ආයතන ඒ සම්බන්ධව එතරම් උනන්දුවක් නොදැක්වීමයි. බුද්ධිමය දේපොළ සොරාගැනීම සම්බන්ධ යෙන් ක‍්‍රියාත්මත වන සක‍්‍රීය ආයතනයක් නැහැ. මං කල්පනා කරන ආකාරයට ඒ සම්බන්ධව ක‍්‍රියාත්මක වන වෙනම රාජ්‍ය ආයතනයක් තිබිය යුතුයි. එය බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් පමණක් ක‍්‍රියාත්මක වන සක‍්‍රීය ආයතනයනක් විය යුතුයි. එහෙම නැතුව දැන් තියෙනවා වගේ පැමිණිලිකරුවන් අපහසු තාවට පත්කරන අක‍්‍රීය ආයතනයක් නොවිය යුතුයි. සදාචාරාත්මක වශයෙන් මෙම නිර්මාණ හොරු කොපමණ පිරිහිලාද කියනවා නම් මගේ චිත‍්‍රපටය හොරෙන් වීඩියෝ කරලා කිසිම හිරිකිතයක් නැතුව මගේ නමට තැපෑලෙන් එහි පිටපතක්ද එවනවා. මෙහෙම යනකොට මගේ අනිකුත් නිර්මාණවලටද ඔය දෙයම සිදුවෙන්න පුළුවන්.

‘හන්තානේ කතාව’ චිත‍්‍රපටයට එවැනි ප‍්‍රස්තුතයක් තෝරාගත්තේ ඇයි?

එය මගේ පෞද්ගලික අත්දැකීම් හා බැඳුනක්. තරුණ වයසෙදි මටත් අනපේක්ෂිතව බිඳී ගිය පේ‍්‍රමයක් තිබුණා. එය තමයි මූලිකම කාරණය. අනික මට සරසවියට යන්න ආසාවක් තිබුණත් එම අවස්ථාව මට නොලැබීම. මේ කාරණා දෙක මූලික කරගෙන තමයි මම එම චිත‍්‍රපටය නිර්මාණය කළේ. එම කරුණු දෙකට ගැලපෙන ආකාරයේ නළු නිළියන්ද යොදාගැනීමට මට වුවමනා වුණා. ටෝනි රණසිංහව තෝරාගත්තේ ඔහු ‘ගම්පෙරළිය’ චිත‍්‍රපටයේ බලදාසගේ චරිතය කරනවා දැකලා. ඒ කාලේ ටෝනි එතරම් චිත‍්‍රපට සංඛ්‍යාවක රඟපාලා තිබුණු ජනප‍්‍රිය නළුවෙක් නෙවෙයි. ස්වර්ණව තෝරාගත්තේ ඒ චරිතයට කෙසඟ සිරුරක් ඇති නිළියක් අවශ්‍ය වුණ නිසා. කොහොමත් කෙසඟ සිරුර තමයි කාන්තාවට ලස්සන. ඇයත් එවිට වැඩිය චිත‍්‍රපටවල රඟපා තිබුණේ නැහැ. විජයගෙත් පළමු චිත‍්‍රපටය. කිසියම් රංගන ශිල්පියෙක්ගේ බාහිර ස්වරූපය බලලා ඔහු හෝ ඇය මගේ චිත‍්‍රපටයට ගැලපෙනවාද නැද්ද කියලා කියන්න මට පුළුවන්. ‘ඉන්දුට මල් මිටක්’ චිත‍්‍රපටය සඳහා ධම්මි ෆොන්සේකාව තෝරාගත්තෙත් ඒ ආකාරයට. මගේ තෝරාගැනීම වැරදුණේ නැහැ. කෙසේ වුවත් ‘හන්තානේ කතාව’ රූපගත කළ කාලය ඉතා රසවත්. අපි සියලූ දෙනාම එකම කණ්ඩායමක් විදිහට තමයි කටයුතු කළේ. එහෙත් ඒ අය අතර හිටපු ප‍්‍රධාන පුද්ගලයො කීප දෙනෙක්ම දැැන් අප අතර නැහැ. විජය ධර්ම ශ‍්‍රී නැහැ. කේමදාස, සුමිත්ත අමරසිංහ, විජය ඇතුළු අපිත් එක්ක වැඩ කරපු කිහිප දෙනෙක්ම අද නැහැ. ජීවත්වෙලා ඉන්න සමහරු කොහේ ඉන්නවද කියලා දන්නේ නැහැ. චිත‍්‍රපටයට ගොඩක් ආස කරපු මහගමසේකරත් නැහැ. මටත් තව කොච්චර කල් ජීවත්වෙන්න පුළූවන් වෙයිද කියලා දන්නෙ නැහැ. ඒක තමයි මිනිස් ජීවිතේ ස්වභාවය. ඒක ගැන දුකක් නැහැ. එකම දුක මේ රට මගෙන් නියම ප‍්‍රයෝජනයක් ගත්තෙ නැති එකයි.

මා නිවැරදි නම්, සිංහල චිත‍්‍රපටයක හමුවන ප‍්‍රථම හා අවසාන යුගල ගීත රචනාව බිහිවුණෙත් ‘හන්තානේ කතාවෙන්’.

මහගමසේකර මගේ ඉතා හොඳ මිත‍්‍රයෙක්. ‘හන්තානේ කතාව’ ට ගීතයක් අවශ්‍ය බව වැසුවහම ඔහු මට යෝජනා කළා අපි දෙන්නම ලියමු කියලා. එහෙම ලියාපු ගීත අපිට ඉස්සෙල්ලා හරි පස්සෙ හරි ලියැවුණාද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි දවසක් අපි සේකරගෙ ගෙදරදි හම්බවෙලා ඒ සම්බන්ධව කතාකර කර ඉන්නකොට ‘සරා සොඳුරු මල් පැටලී ලිහී නොයන ජීවිතයයි’ කියලා ඔහු කියනකොට ‘නුරා දියර ගඟුල් හැලී-සිහිල ගලන ජීවිතයයි’ කියා මගෙ කටින් පිටවුණා. එතැන ඉඳන් ඔහු හා මම එකම ගීතයේ විවිධ කොටස් ලිව්වා. සේකර ලියපු කොටස වික්ටර් රත්නායක ගායනා කළා. මම ලියපු කොටස නන්දාමාලිනී ගායනා කළා. කේමදාස එයට ඉතා රසවත් තනුවක් මෙන්ම සංගීත සංයෝජනයක්ද එක් කළා. හන්තානේ කතාව දැනට ජීවතුන් අතර සිටින හා නොසිටින ප‍්‍රධාන පෙලේ නිර්මාණකරුවන්ගේ දොරට වැඩුම සටහන් කළා සේම ‘සරා සොඳුරු’ ගීතය වික්ටර්ගේ පළමුවන චිත‍්‍රපට ගීතයද වීම සතුටක්. එහෙත් එම ගීතය පසුකලකදී කේමදාසයන් විසින් වෙනත් ගායකයකු ලවා ගායනා කෙරෙව්වත් එයට මගේ කිසිම සම්බන්ධයක් නැහැ.

හන්තානේ කතාවෙන් පස්සේ ඔබ ‘පෙම්බර මධු’ වගේ චිත‍්‍රපටයක් කළේ ඇයි?

ඒ කාලේ මට ලොකු චෝදනාවක් තිබුණා වාණිජ ගණයේ චිත‍්‍රපටයත් කරන්න බැහැ කියලා. එයට පිළිතුරක් වශයෙන් තමයි මම ඒ චිත‍්‍රපටය කළේ. ඒ කාලේ ලෙනින් මොරායස්, රොබින් තම්පෝ වැනි අය අත තමයි වාණිජ සිනමාව තිබුණේ. එහෙත් මම ඔවුන්ගේ චිත‍්‍රපටවල නොමැති සිනමාත්මක ලක්ෂණ අඩංගු කරලා ‘පෙම්බර මධු’ හැදුවා. එය අති සාර්ථක වුණා. කොතරම් සාර්ථක වුණාද කිව්වොත් අවසානයන් දෙකක් සහිතව තිබුණු එම චිත‍්‍රපටයෙ අවසානයන් දෙකම බලන්න එකම පේ‍්‍රක්ෂක පිරිසක් සිනමා ශාලා දෙකකටම ගියා. එවැනි අති විශාල පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක් එදා අපට සිටියා. දැන් වෙනකොට සිනමා ශාලා වැහිලා ගිහින්. අද වානිජ චිත‍්‍රපටයක්වත් සාර්ථකව තිරගත වෙන්නේ නැති තත්ත්වයකට පත්වෙලා. මේවාට වගකිව යුතු ලොකු පිරිසක් ඉන්නවා. කිසි කෙනෙකුට අද සිනමාව ගොඩගන්න ඕන නැහැ. අපි අපේ ශක්ති ප‍්‍රමාණයෙන් සිනමාවට අපට කරන්න පුළුවන් දේ ප‍්‍රදානය කළා. වෘතාන්ත චිත‍්‍රපට හැදුවා. වාර්තා චිත‍්‍රපට හැදුවා. විත්ති චිත‍්‍රපට හැදුවා. ‘මිනිසා සහ කපුටා’ වගේ කෙටි චිත‍්‍රපටයක් හදලා අන්තර්ජාතික තලයට අපේ කෙටි චිත‍්‍රපටය අරගෙන ගියා. එහෙත් අද මේ කිසි දෙයක් ක‍්‍රමානුකූලව කරන පාටක් පේන්නේ නැහැ. අපට ඉතා දක්ෂ තරුණ චිත‍්‍රපටකරුවන් සිටිනවා. ඔවුන් පවා තමන්ගේ නිර්මාණය කරලා ඒ සඳහා නොයෙක් දුෂ්කරතාවලට මුහුණ දෙනවා. අපේ කාලෙත් අපිට විශාල දුෂ්කරතා රාශියක් තිබුණා. එහෙත් එම තත්ත්වයන් අපි සාමූහිකව ජයගත්තා. අද නිර්මාණකරුවන් අතර එවැනි සාමූහිකකමක් දක්නට නැති බව පෙනෙනවා. අපි කලාපෙල තුළින් ‘සාමා’ චිත‍්‍රපටය’ කරනකොට එහි අධ්‍යක්ෂ ජී.ඞී.එල්.පෙරේරාට දුන් සහයෝගය විශාලයි. කෙටි උදාහරණයකින් කියනවා නම් අපි සියලූදෙනාම නැවතිලා හිටියෙ දර්ශනතලය වෙනුවෙන් යොදාගත් නිවසෙයි. අපි ලොකු ලොකු හෝටල් හොයාගෙන ගියේ නැහැ. එක දවසක් එක්කෙනෙක් හාල් සේරුවක් ගේනවා. තව කෙනෙක් පොල්ගෙඩි දෙක තුනක් ගේනවා. තව කෙනෙක් හොද්දට අවශ්‍ය මිරිස් තුනපහ ගේනවා. ඒ කලමනා එක්කාහු කරලා කෑම උයන්නේ ලියෝනි කොතලාවලයි දෙනවක හාමිනෙයි. බොහෝ වෙලාවට අපි කෑවේ පොල් සම්බෝලයි බතුයි. හැබැයි ඒ පොල් සම්බෝලෙ තිබුණ රහ අද හෝටලටකින්වත් ලැබෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක ඉඳලා තමයි අපි චිත‍්‍රපට කෙරුවේ. ඒ කාලෙත් අද වගේම ඊර්ෂ්‍යාකාරයෝ, කුහකයෝ හිටියා. ඒත් අපිට වැදගත් වුණේ නිර්මාණය විතරයි. ‘හන්තානේ කතාව’ කරද්දිත් එම සාමූහික බව තිබුණා. එහෙත් අද එහෙම නැහැ. අද එහෙම කරන්නත් බැහැ. අද හැම දෙයම තීරණය වෙන්නේ මුදල් මත. නිර්මාණය පවා මුදලට විකිණෙනවා. ඒ නිසා මුදල් ඇති පුද්ගලයා නිර්මාණාත්මක හැකියාවක් නැති වුවත් එක රැුයින් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙනවා. මුදල් නැති කෙනාට එහෙම නැත්නම් මුදල් හොයාගෙන එක එක්කෙනාගේ පස්සේ නොදුවන එක්කෙනා හැකියාවත් සමග වැළලී යනවා. ඒ නිසා සැබෑ නිර්මාණකරුවන් හඳුනාගෙන ඔවුන්ගේ නවතම නිර්මාණ එළිදැක්වීමට අවශ්‍ය පසුබිමක් සකස් කිරීමට සුදුසු වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක විය යුතුයි.

ඔබගේ සෑම නිර්මාණයකම සංගීත නිර්මාපකයා වුණේ කේමදාසයන්. එහෙත් ‘පෙම්බර මධූ’ චිත‍්‍රපටයට පී.එල්.ඒ.සෝමපාලත් සම්බන්ධ වෙනවා.

එය මගේ තීරණයක් නෙමේ. නිෂ්පාදකවරුන්ට අවශ්‍ය වුණා සෝමපාල යොදාගන්න. ඔවුන්ගේ අදහස වුණේ ‘පෙම්බර මධූ’ වගේ වාණිජ වටිනාකමක් ඇති චිත‍්‍රපටයකට කේමදාසයන්ගේ සංගීතය නොගැළපෙන බවයි. ඒ නිසා පී.එල්.ඒ.සෝමපාලව යොදා ගැනීමට ඔවුන් පියවර ගත්තා. ඒ වෙනකොට කේමදාස එහි ගීත කිහිපයක් නිර්මාණය කරලා තිබුණේ. ඒවා අහක දාන්න බැරි බව මම කියා සිටියා. ඉන්පසු එම ගීත කිහිපයක් සමගින් සෝමපාල ද අලූත් ගීත කිහිපයක් නිර්මාණය කළා. ඒ නිසා ‘පෙම්බර මධූ’ චිත‍්‍රපටයට ගීත හයක් ඇතුළත් වුණා. පී.එල්.ඒ.සෝමපාල නිර්මාණය කරපු ‘පෙම්බර මධූ මගේ’ ගීතය අතිශය ජනප‍්‍රිය වුණා. එය අදත් ජනප‍්‍රිය ගීතයක්. ඒ වගේම එම ගීතය චිත‍්‍රපටය තුළත් විශාල කාර්යභාරයක් ඉටුකළා. ඒ නිසා පී.එල්.ඒ.සෝමපාල යොදාගැනීම වරදක් වුණේ නැහැ. හැබැයි එහි පසුබිම් සංගීතය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ.

චිත‍්‍රපටය තුළ බහුල ලෙස ගීත යොදාගැනීම ඔබගේ එක් අනන්‍යතාවක්.

රූපයෙන් කියන දෙය වඩාත් තීව්ර කිරීමට හොඳ ගීතයකට හැකියාවක් තියෙනවා. ඒ වගේම චිත‍්‍රපටයක් තුළ ගැයෙන හොඳ ගීතයකින් එම චිත‍්‍රපටයට යම් සෞන්දර්යාත්මක රසයක් එකතුවෙනවා. උදාහරණ යක් ලෙස ‘හන්තානේ කතාව’ චිත‍්‍රපටයේ එන හැම ගීතයකම යම් වටිනාකමක් තියෙනවා. ඒ අතර එහි අවසන් ඡුවනිකාවෙ ගැයෙන ‘අනන්ත වූ දෙරණ සරා’ ගීතය මුළු චිත‍්‍රපටයෙම සමුදාර්ථය එකට එක් කරනවා. ඒ වගේම තමයි ‘පෙම්බර මධූ’ චිත‍්‍රපට ගීත. එය තරමක වාණිජ ස්වරූපයෙන් බිහිවුණේ. එහෙත් චිත‍්‍රපටය සමග බද්ධ වුණා. ‘ඉන්දුට මල් මිටක්’ සඳහා කේමදාස නිර්මාණය කළ ගීත එහි රූපයෙහි ගැඹුර තව තවත් දියුණු කරනවා. ඒ නිසා චිත‍්‍රපට ගීතය ගැන මම ඉතා විශ්වාසයෙන් කටයුතු කරන පුද්ගලයෙක්. හැබැයි චිත‍්‍රපට ගීතය තවත් නිකම් හුදු ගීතයක් වෙන්න බැහැ. එය නිර්මාණාත්මක පද වැලක් තුළ හොඳ ගායනයක් හා සංගීත සංයෝජනයක් සහිතව බිහිවිය යුතුයි. මගේ චිත‍්‍රපට තුළ එම නිර්මාණාත්මක ලක්ෂණ ඉස්මතු වුණා. ඒ නිසා ඒ ගීයත් ජනප‍්‍රිය වුණා. චිත‍්‍රපටයත් ජනප‍්‍රිය වුණා.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;