Untitled-1

Untitled-1

ජීවිතය සුළගේ යා නොදී රුවල් නැංවූ මිනිසා


ships

විමලනාත් වීරරත්න

කැත්තත් අරගෙන වත්තට යනකොට
පෙත්තෙක් ඉඳගෙන කජු කනවා
ලංසි පැටව් මුහුදු යන්න
නැවක් හදනවා
තකදොං නැවක් හදනවා

ලක්ශාන්තිත් සහායක තරුණයාත් මහෝගනී කොටය මත 320 වැලි කොළය රිද්මයානුකූල වේගයකින් අතුල්ලන්නේ ඒ රබන් පදයේ තාලයට වගේය. ඔවුන් සකස් කරමින් සිටියේ නැවෙහි බඳ පෙදෙසය. ලංසි පැටව් වගේ කඩිසර වුවත් ලංසි පැටව් නොවූ ඔවුහු පිළියන්දල දැල්තර පැත්තේ පැටව් වූහ. තව වැඩ ගොඩක් තිබේ. අසූවේ එකසිය විස්සේ හා තුන්සිය විස්සේ වැලි කොළවලින් නැව් බඳ සුමට කර ගැනීමෙන් පසු එහි සීලර් තවරයි. යළි කපයි. අනතුරුව තේක්ක වර්ණයෙන් සංග‍්‍රහ කැරෙන නැව් බඳට අවසාන වශයෙන් දුඹුරු පැහැ ලැකර් වර්ණය පිරියම් කරයි. එතැන් සිට ඇත්තේ වෙනත් අදියරකි.

දෙහිවල පාරෙන් දැල්තරට

පසුගිය දවසක මහරගම දෙහිවල පාරේදී මට හමුවූ තරුණයකු සිය දසරුව මත මනරම් නැවක් තබාගෙන සිටියේය. ඒ කලබලකාරී නගරය මැද තරුණයා නැව විකුණන්නට කෙනෙකු හා කතිකා කරමින් සිටියේය. ඒ අතරට පැන ඉන්නේ කොහේද? නැව් හදන්නේ කවුද ආදී වශයෙන් ප‍්‍රශ්න තුන හතරක් විමසා දැන හඳුනාගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඉකුත් දවසක දැල්තර නැව් හදන සුජිත් හමුවීමි. එම ඉරිදාවේ මා එහි යන විට ඔහු සිටියේ මුහුණ පුරා රැුඳුණු ලී කුඩුවලින් යුතුව මුහුණු ආවරණයක්ද පැළඳගෙනය. ඔහු යක්ගේ සුජිත් ප‍්‍රියශාන්ත මේදීස් ය. වෘත්තියෙන් ගෘහ භාණ්ඩ ස්පේ‍්‍ර පින්තාරුකරුවෙකි. එහෙත් දැන් ඒ රැුකියාව අතහැර ගෘහාභ්‍යන්තරය අලංකාරය සඳහා භාවිත කරන මනරම් රුවල් නැව් නිෂ්පාදනයෙහි නිරත වෙයි.

අපිත් මොරටුවෙ

මගේ ගම කොරලවැල්ල. අපේ සීයලා තාත්තලා වඩුවෝ.අපේ බාප්පා කෙනෙක් හිටියා එයා මං වගේ සෙල්ලමට නෙවෙයි ඇත්තටම ඔරු හැදුවා. මටත් ඔරු හදන්න පුළුවනි. ඒත් දැනට හදන්නේ සෙල්ලම් නැව්.

සුජිත් ඉගෙන ගත්තේ කොරලවැල්ල රෝමානු කතෝලික විද්‍යාලයෙහිය. හතේ පන්තියේදී ඔහු අත්වැඩ සඳහා ඔරුවක් කොල්ලෑවක් හා පාරුවක් සෑදුවේය. එවර අත්වැඩට වැඩිම ලකුණු ගත්තේ සුජිත්ය. එදා හදපු පාරුවත්, ඔරුවත්, කොල්ලෑවත් සිහිවටනයක් ලෙස ඇඳක් යට දමා තිබුණු අතර මකුළු දැල් බැඳී තිබෙන අයුරින්ම ඔහු එය එළියට අරන් පෙන්නුවේ මහත් තෘප්තිමත් අතීත ස්මරණයක්ද කරමිනි.

මේක පිටරටින් ගේන එකක්ද? සුජිත් හදන රුවල් නැව් දැක පාරේ තොටේදී මිනිස්සු එසේ විමසති. ඔහු හදන නැවක නිමාව සැබෑ නෞකාවක අපූරු අනුරුවක් සේම දිසේ. එය විධිමත්ය. අලංකාරය. මගේ ඔළුවට නිකම්ම වගේ මේ අදහස ආවේ. ඊට පස්සේ මම රුවල් නැව් පින්තූර බලලා මතකයට නඟාගෙන මේක හැදුවා. නැව් බඳට ගත්තේ මහෝගනී කොටයක්. රුවල්වලට ගත්තේ කොට්න් රෙද්දක්. ඒකෙ බටර් පාට ගානවා. නයිලෝන් නූල් ඕනේ.තව ටිකක් නැව ලස්සන කරගන්න ලී කැබලි රවුමට කපලා බොත්තම් ආකාරයට නැව් බඳේ අලවා ගන්නවා. ටූත් පික්වලින් නැවේ ඉනිමග හදාගන්නවා. වැඬේ හරි සරලයි. ඒත් ටිකක් කාලය ගත කරලා සියුම් විදිහට වැඬේ කරන්න ඕනේ.

sujith

සහායට බිරිඳ

සුජිත්ගේ බිරිඳ ලක්ශාන්තිත් මේ නැව් හැදිල්ලට හරි හරියට මහන්සි වන බව පෙනුණි. නැව් බඳ සඳහා සුජිත් කපන කොටවලට අත රිදෙනකම් වැලි කොළ අල්ලනවාට අතිරේකව රුවල් සඳහා රෙදි නිසි මිම්මට කපා වර්ණ ගන්වන්නේ ඇයයි. රුවල් අලවන්නේත් ඇගේ දෑතිනි. රුවල්, නැව් අවකාශයෙහි පිළිවෙළට බඳින එක නම් සුජිත්ට කරන්නට සිදුවෙයි. නයිලෝන් නූලෙන් රුවල් බැඳීම කරන්නට වෙනත් අයකු තවම පුරුදු පුහුණු වී නැත. දෙදෙනාම මහන්සි වී දවසකට සම්පූර්ණ කරගත හැක්කේ එක් රුවල් නැවකි. නැවෙහි නිසි ප‍්‍රමිතිය රැකීමට කාලය ගත වෙයි.

නැව් වෙළෙඳාම

සුජිත් හදන නැව් තිදෙනෙක් වෙළඳාම් කරති. එක් අයකු මහරගම දෙහිවල පාරේදී හමුවූ නුවන්ය. ඔහු සිය කුඩා මෝටර් සයිකලයෙහි වරකට නැව් පහක් රැුගෙන යයි. සුජිත් කීවේ නැවක් නිෂ්පාදනයට සාමාන්‍යයෙන් රුපියල් දහසක් පමණ වැය වන බවයි. ඔහු නුවන්ට නැවක් දෙන්නේ රුපියල් 2,200කටය. නුවන් එය මහරගමදී 3,000-3,500 අතර මිලකට අලෙවි කරයි. නුවන් කීවේ ගෙනියන පහම අලෙවි කර සෑහෙන ලාභයක් ලබාගන්නා දවස්ද තිබෙන බවකි. එහෙත් සමහරදාට එකක්වත් විකුණා ගන්නට නොහැකි වන බවත් හෙතෙම කීවේය. සඳසිරි හා චමින්ද යන දෙදෙනාත් සුජිත්ගේ නැව් විකුණන්නෝ වෙති. සඳසිරි නැව් ගෙනයන්නේ මොරටුවටය. චමින්ද කොට්ටාව හෝමාගම වැනි ප‍්‍රදේශවලට යයි. සඳසිරි මොරටුවේ හා පිළියන්දල සාප්පුවලට නැව් දමන්නේ රු.2,500කටය. සාප්පුවලට දෙන නැව් සුජිත් සඳසිරිට දෙන්නේ රු.2,000කටය. ඒ සඳසිරිට නැවකින් රු.500ක් වත් ලැබෙන පිළිවෙළටය. මේ සියල්ලන් එකම පවුලක සාමාජිකයන් වන නිසා එකිනෙකා ගැන බොහෝ දයාර්ද්‍ර ලෙස සිතා එම කුඩා නිර්මාණාත්මක ව්‍යාපාරය සැලසුම් කර තිබෙන බවත් පෙණුනි.

නැව් විතරද

සුජිත් මෙවැනි තවත් අලූත් නිර්මාණවලට හපන් කෙනෙකු බව ප‍්‍රත්‍යක්ෂ වූයේ ඔහු මීට පෙර ලීවලින් අලංකාර පෑනක් නිමවා තිබුණු බැවිනි. පෑන මැදින් බෝල් පොයින්ට් පෑනක කූරක් යවා ලියන්නට හැකි පරිදි සකස් කර තිබුණු එය ළඟදී සිය හිතෛෂි වන්තයකුට තෑග්ගක් වශයෙන් ලබාදී තිබුණි. ඊට අමතරව විකට් කූරු තුනක් පිත්තක් හා බෝලයක් ලීයෙන් නිමවා ස්ථාපනයක් වැනි නිර්මාණයක්ද හෙතෙම කර තිබුණි.

සැබැවින්ම සුජිත් නිර්මාණාත්මකව ජීවිතය දෙස බලන්නකු බව පෙනුණි. ඔහු තමන්ද නඩත්තු වී තවත් පවුල් තුනක තිදෙනකු නඩත්තු කළ හැකි මට්ටමේ කුඩා ව්‍යවසායකයකු වී සිටියේ නිවසෙහි පිටුපස වූ ඉතා කුඩා වැඩ බිම මතය. ඒ කුඩා වැඩ බිම ධෛර්ය සම්පන්න මිනිසකු ඉහළ පහළ දමන හුස්මෙන් ජීවමාන වී තිබුණි.