රාවය

ජාතිය පිළිබඳ ආදරයක් මටත් තිබුණා

ජාතිය පිළිබඳ ආදරයක් මටත් තිබුණා

විමලනාත් වීරරත්න

සඳා අහුබුදු, අරීසෙන් අහුබුදු සූරීන්ගේ බිරිඳය. ඇය සර්වෝදය පුවත්පතෙහි වසර 22ක් සේවය කළ අතර රාවය සඟරාව ආරම්භයේදී එහි සහකාර සංස්කාරක තනතුරද හෙබවූවාය. සඳා දැක්ම නමින් යුත් සිංහල ඉංග‍්‍රීසි දෙබසින්ම පළ කළ කාව්‍ය සංග‍්‍රහයේ් කතුවරියද වෙයි.

 

සඳාගෙ ජීවිතේ ප‍්‍රීතිමත්ම යුගය මොකක්ද?

පාසල් කාලෙ මට අමතක කරන්න බැහැ. මම ඉගෙන ගත්තෙ මාතර බෙලිදෙණියෙ ගොඩ උඩ මිශ‍්‍ර පාසලේ. මිශ‍්‍ර පාසලේ සංස්කෘතිය අපිට ජීවිතේට මුහුණදීම පිළිබඳ අත්දැකීම් රැසක් ගෙන දුන්නා. ගෑනු පිරිමි වෙන වෙනම පාසල්වල ඉගෙන ගන්න කොට එකිනෙකා සමග කතා කරන්න පවා ඇතිවෙන සබකෝලය අපි කාටවත් තිබුණෙ නැහැ. අපි දෙගොල්ලො හරි විවෘතයි. ඇත්තටම පිරිමි ළමයින්ගෙ ඇසුර අපිට ලොකු ආරක්ෂාවකුත් වුණා. අපි දෙගොල්ලොම වැස්ස දවසට මේසවලට තට්ටු කර කර සිංදු කියනවා. සුනිල් සාන්තගෙ සිංදු තමයි අපි වැඩිපුර කියන්නෙ. ඇත්තටම මේවා හැමදාම මතක් කරලා සතුටුවෙන්න පුළුවන් දේවල්.

අහුබුදු මහත්තයා ගැන මුලින්ම දැනගන්න ලැබෙන්නෙත් ඒ කාලෙද?

ඔව්. ගොඩ උඩ පාසලේ අපි ඉගෙන ගත්තෙ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන්. ඒත් ගුරුවරු අපිට සිංහල සාහිත්‍ය ඉගැන්නුවා. මම ඇතුළු කිහිපදෙනෙක් සාහිත්‍යයට විශේෂ ළැදියාවකුත් දැක්වූවා. අහුබුදු මහත්මයා ලියපු ලංකා ලංකා පෙම්බර ලංකා සිංදුවට තමයි අපිට මුලින්ම ඇලූම් කළේ.

අහුබුදු මහත්තයා මුණගැහෙන්නෙ කොහොමද?

බඳින්න කලින් එක දවසයිනෙ අපි එකිනෙකා දැක්කෙ. හැබැයි මම ඔහු සංස්කරණය කළ එඩිය කියන සඟරාවට ලිව්වා. ඒකට මම ලිව්වෙ කවි. කවි සම්බන්ධයෙන් අපි අතරෙ ලියුම් කිහිපයකුත් හුවමාරු වුණා. අහුබුදු මහත්තයගෙ අයියා විවාහ වෙලා හිටියෙ අපේ ගම් පළාතෙන්. මේ වගේ දැන හැඳුනුම්කම් කිහිපයක්ම අප අතර තිබුණා. දවසක් ඔහු අපේ ගමේ නෑ ගෙදරක ආපු ගමන් අපේ ගෙදරටත් ගොඩවුණා. මගේ නම චන්ද්‍රා කියලනෙ එයා දැනගෙන හිටියෙ. ඒත් එකපාරටම මම කැමතියි සඳාට, මොකද කියන්නෙ කියලා ඇහුවා. සඳා කියපු ගමන් මට අමුත්තකුත් දැනුණා. ඇත්තටම ඒ ආමන්ත‍්‍රණය ගැන කැමැත්තක් ඇතිවුණා. ඒත් මං කිව්වා ඒක ගැන අපේ නැන්දගෙන් අහන්න කියලා. මොකද මං ඒ වෙනකොට හිටියෙ අපේ මාමා කෙනෙකුගෙ ගෙදර.

ගෙදරින් කැමති වුණාද?

නැහැනෙ. ටිකක් විරුද්ධ වුණා. අපේ මාමා මුහන්දිරම් කෙනෙක්. ඒ නිසා මාමා ඇතුළු මගේ ඥාති පිරිස ගමේ ප‍්‍රභූ තත්ත්වයක සිටි අය. ඒ නිසා මේ වගේ එකපාරටම කෙරෙන විවාහයකට කැමැත්තක් දැක්වූයේ නැහැ. අනිත් එක ඒ වෙනකොට මම ඉස්කෝලෙ යන කෙල්ල. වයස දාහතයි. ඉතිං එකපාරටම විවාහ වෙනවට වැඩිහිටියො කැමති වෙන්නෙ නැහැනෙ. ඒත් අපි හිතුවක්කාරෙට බැන්දා. එයා මට වඩා අවුරුදු පහළොවකින් වැඩිමහල්.

විවාහය නිසා ඔබේ අධ්‍යාපනය කඩාකප්පල් වුණාද?

යම් පමණකට. ඒත් අහුබුදු මහත්තයා තවදුරටත් මාව ධෛර්යමත් කළා ඉගෙන ගන්න. පසුකාලෙක මම ජනසන්නිවේදනය පාඨමාලාවකුත් කළා. අපි බඳිනකොට අහුබුදු මහත්තයා ගල්කිස්සේ සාන්ත තෝමස් එකේ උගන්වනවා. මමත් වසර 03ක් පමණ භූගෝලය, සිංහල. ඉතිහාසය වැනි විෂයයන් සාන්ත තෝමස් එකේ ඉගැන්නුවා. අපි අටේ නමේ පන්ති වෙනකොට සැළලිහිණිය, ගිරා සංදේශය කියවපු ළමයි. ඒ නිසා සිංහල ගැන නම් ඉතාම හොඳ දැනුමක් තිබුණා.

අහුබුදු මහත්තයා සාහිත්‍ය ධරයකු හැටියට විශිෂ්ටයෙක්. ඔහු ස්වාමියෙක් හැටියට කොහොමද?

හරිම හොඳයි. මට නීති දැම්මෙ නැහැ. කිසිම දේකට එපා කිව්වෙත් නැහැ. හැබැයි ගෙදර වැඩ නම් මොකුත්ම බැහැ. බත් ටිකක් උයාගන්න තියා තේකක් හදා ගන්නවත් බැහැ මම නැතුව. ඒත් ඉතිං එයාට වැඩ කරන්න ඕනෙකමක් තිබුණෙත් නැහැ. ගෙදර වැඩට ඕනෙ තරම් කට්ටිය හිටියා. අහුබුදු මහත්තයා ගෙදර ඉන්න තාක් කළේ ලියන එකයි, පොතපත කියවන එකයි. ඒ වෙලාවට ළමයෙක් ඇඬුවත් එයාට ඇහෙන්නෙ නැහැ. මට ඉතිං එක වෙලාවකට ටිකක් කේන්තිත් යනවා.

ඔය කාලෙ පදිංචිය කොහෙද?

සෙන්ට්තෝමස් කොලී ජියෙන් අපිට කුලී පදනම මත ගෙයක් ලැබුණා. ඒක පෝල් ඊ පීරිස්ගෙ ඉඩමක් සහ වත්තක්. ගෙවල් කුලිය රු. 175_/-යි. ඒක පාසල් අරමුදලට බැරවෙනවා. ගෙදරට කාමර දොළහයි. වත්තෙ පොල් ගස් 60ක් තිබුණ. ඒවා අපිට භුක්ති විඳින්න අයිතිය ලැබුණා. ඒක දෙහිවල ස්ටේෂන් එකට කිට්ටු හරිම ලස්සන තැනක්. වත්ත මැදින් කෝච්චි පාර. වත්ත පිටිපස්ස ඉවර වුණේ මුහුදින්. හැබැයි පයිප්ප නම් තිබුණේ නැහැ. වතුර ළිඳෙන් ඇදගන්න වුණා. මේ ගෙදර ඉන්න කාලෙ අහුබුදු මහත්තයා අතින් හුඟාක් රසවත් ගීත ලියවුණා.

අහුබුදු මහත්තයා ‘කතා කළේ’ ලිඛිත සිංහලෙන්. ගෙදරදීත් ලිඛිත සිංහලෙන් කතා කරන එක ඔබට ගෝචර වුණාද?

මම මුලින් මුලින් හරි අප්සට් ගියා. ඇයි ඉතිං කියන්නෙම මට ඇල්දිය බඳුනක් ගේන්න, පැන් එකක් ගේන්න කියලයි. මොකක්හරි දෙයක් ඇයි එහෙම කළේ කියලා ඇහුවොත් කිම වරද කියල අහනවා. මට එතකොට හිනා යනවා. පස්සෙ පස්සෙ ඔය වගේ කතා කිරීම වෙනස් වුණා. මුලදි හෙළ බසෙහි අන්තෙට ගිහින් තිබුණු තත්ත්වයත් පසුව කළ නිර්මාණවලදි වෙනස් වුණා කියලයි මට හිතෙන්නෙ. හැමෝම ඒ භාෂා විලාසය දරා ගනියි කියලා හිතන්න බැහැ. හෙළ හවුලේ අය වුණත් විශේෂයෙන් තම තමන්ගේ ගෙවල්වල ඔය භාෂාව කතා කරන්න නැතුව ඇති. අහුබුදු මහත්තයා නම් ලියන දේවල්වලදි ටික ටික සාමාන්‍ය ජනයාට සමීප වෙන විදියට භාෂාව භාවිත කළා.

ලියූ දේවල් අනුව ඔහු දේශපේ‍්‍රමය ඉහවහා ගිය කෙනෙක්. ඔබටත් ඒ අදහස් කාන්දු වුණාද?

ජාතිය පිළිබඳ ආදරයක් මටත් තිබුණා. මම ගොඩ උඩ ඉස්කෝලෙට යන කාලෙ කුමාරතුංග මහත්තයගෙ පොත් කියෙව්වා. කුල ප‍්‍රශ්නය නිසා ප‍්‍රින්සිපල් කුමාරතුංගට කැමැති නැහැ. මමත් ශික්ෂා මාර්ගය වගේ කෘතිවලට ආදරය කරන බව දැනගත්තම උඹත් හෙළද කියලා ප‍්‍රින්සිපල් අහපු අවස්ථා තිබුණා. අහුබුදු මහත්තයා නිසා මගේ ඒ ජාතික හැඟීම් තවත් පුබුදු වුණා. ඔහු සංදේශය චිත‍්‍රපටයට ලියූ ගීත සියල්ලටම වගේ මම හරිම කැමතියි. ඔහුගේත් මගේත් ඇට නහරවලම දේශපේ‍්‍රමය තිබුණා.

දේශපේ‍්‍රමයෙන් ඔද වැඞී ගිය අහුබුදු මහත්තයා පෘතුගීසිකාරයා වීරයෙක් කියලා ලිව්වේ කවර හේතුවක් නිසා කියලද හිතෙන්නෙ?

ඒ ඉතිං චිත‍්‍රපටියේ රූප රාමුවට අනුව ලියපු එකක්නෙ. එහෙම නැතුව පෘතුගීසිකාරයා වීරයෙක් කියලා ලියන්න ඔහුට හේතුවක් නැහැ. පෘතුගීසිකාරයා යුද්දෙටයි, කන්නයි බොන්නයි හපන්නු තමයි. ඒත් ඔවුන් අපේ වීරයො වෙන්න බැහැනෙ ඉතිං.

ඒරොප්පෙන් ආවා – සුද්දන් රට කෑවා කියලත් අහුබුදු මහත්තයා ලියනවා. ඔහුට තද සුදු විරෝධයක් තිබුණද?

ඔව්. සුද්දො රට කෑවනෙ. ඒ ගැන ඔහුට විරෝධයක් තිබුණා. හැබැයි ඉතිං මේ ගීත හරියට ජනප‍්‍රිය වුණා. ඔහුට වතුර ගලනවා වගේ මේවට වචන ගලාගෙන ආවෙ. හඳයා චිත‍්‍රපටියට ලියපු කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ ගීතයත් ඒ වගේ. සරලයි. ඕනෑම මට්ටමක කෙනෙකුට ඒක වෙනම ඇහුවත් රසවිඳින්න පුළුවන්. ඒකයි මම කිව්වෙ අහුබුදු මහත්තයා හෙළ හවුලේ සමහර අය වගේ එක දිගට හැම දේකෙදිම ඒකෙම එල්ලිලා හිටියේ නැහැ කියලා. ඔහු අවස්ථානුකූලව නිර්මාණ වලදී වෙනස් වෙච්ච කෙනෙක්.

රැජිණ මමයි අපේ රාජ්ජේ ලියවෙච්ච කාලෙ මතකද?

ඔව්. අපි එතකොට අර කලින් කියපු ලොකු ගෙදර හිටියෙ. ඔය සිංදුව හදන කාලෙ අපේ දුව පුංචියි. අපි තුන්දෙනා එළිමහනට ඇවිත් හඳ පායන දිහා බලාගෙන ඉන්නවා. ඒක මට කවදාවත් අමතක නොවන දසුනක්. ඒ කන්දත් අපේ තමයි කියලා නිකම්ම කියවුණා. කඳුයායම අපේ තමයි කියලත් ඒ එක්කම කියවෙනවා. සුදට සුදේ වලාකුළයි නිල් අහසේ පාවෙන්නේ. කන්ද උඩින් පණිවුඩයයි පුතුට මගේ ගෙන එන්නේ. ගීතයත් එහෙම රාත‍්‍රියක ඔහුට එළිමහනේදී මතුවූ අදහසක්. ඒ වෙලාවට ඔහු පද ටික මතකයේ තියාගෙන ඉක්මනට ගෙට ඇවිත් වේගයෙන් ලියනවා. ඒ සේරම සංදේශයට ලියවුණු ගීත.

අහුබුදු මහත්තයා සක්විති රාවණ නාට්‍යය කරන කාලෙ නාට්‍ය පුහුණුවීම් සමග ඔහුගේ දෛනික චර්යා රටාව වෙනස් වුණාද?

ඔව්. තරමක් දුරට. මම එච්චර කැමති වුණේ නැහැ නාට්‍ය කරන්න යනවට. ඒක ගෙදර ඉඳන් ලියනවා වගේ නෙමෙයි සංකීර්ණ වැඩක්නෙ.
ඔහුට ගාල්ල මහින්ද විද්‍යාලයෙයි ශාන්ත තෝමස් එකෙයි ඉන්න කාලෙ නාට්‍ය කරලා පළපුරුද්දක් තිබුණා. ඒත් මේක ඊට වඩා ලොකු වැඩක් නිසා තවත් අය නාට්‍යය සාර්ථක කරගන්න උදව් කළා. ඔහු සාමාන්‍යයෙන් වැඩියම නාට්‍ය හා චිත‍්‍රපට බලන්න යන කෙනෙකුත් නෙවෙයි. විවේක වෙලාවෙදිත් කළේ ලියන එකම තමයි.

අහුබුදු මහත්තයා සඳාට පේ‍්‍රම කරනවටත් වඩාරටට ජාතියට භාෂාවට පේ‍්‍රම කළා වගේ දැනුණද?

ඒ දෙක දෙකක්නෙ ඉතිං. මුල් කාලෙ ඔය ප‍්‍රශ්නෙ තිබුණා. පස්සෙ පස්සෙ හරි ගියා. නිකම්ම හරි ගියත් නෙමෙයි ඉතිං. මම ඒ සමහර දේවල් ගැන ටික ටික දොස් නැගුවා. කාගෙවත් මූණ දිහා කෙළින් බලලා කතා නොකර තමන්ගෙ පාඩුවෙ ලියන කියන කාලයක් ඔහුට තිබුණා. ක‍්‍රමයෙන් ඔහු ඒ ඇතැම් ලක්ෂණ වෙනස් කරගත්තා.

හිටපු ජනපති පේ‍්‍රමදාස මහතා සමග ඔහුට විශේෂ මිත‍්‍රත්වයක් තිබුණද?

අහුබුදු මහත්තයා දේශපාලනය හෝ දේශපාලනඥයන් සමග විශේෂ ගනුදෙනුවක් කළේ නැහැ. හැබැයි ඕනෑම කෙනෙකු නිරත වන ජාතික කර්තව්‍යයකට ආරාධනා කළාම ගිහින් උදව් කළා. පේ‍්‍රමදාස මහත්තයත් අහුබුදු මහත්තයට කියලා ගීත ගණනාවක්ම ලියවා ගත්තා. දවසක් පාන්දර තුනට ඇවිත් හම්බවෙන්න කියලා ? ජනාධිපතිතුමා කතා කරලා කිව්වා. තුනට ගියා. එදාම තමයි අනෝජා වීරසිංහට හොඳම නිළිය ලෙස ජාත්‍යන්තර සම්මානයක් ලැබිලා ලංකාවට එන්නෙ. ඒ ගැන සිංදුවක් ඕනෙ කිව්වාම අහුබුදු මහත්තයා ඒක ලියන්න පටන් ගන්න කොටම ඇහුවලූ කවුද සංගීතය නිර්මාණය කරන්නෙ කියලා. එතකොට පේ‍්‍රමදාස මහත්තයා කිව්වලූ දැන් ෂෙල්ටන් පේ‍්‍රමරත්න මග එනවා කියලා. ඔය කාලෙ අහුබුදු මහත්තයා වැඩ කළේ සිංහල ශබ්දකෝෂ කාර්යාලයේ.

1986දි රාවය සඟරාව ආරම්භයෙදි සඳා ඊට සම්බන්ධ වෙනවා. ඒ අත්දැකීම කොහොමද?

මම සර්වෝදය පුවත්පතේ වසර 22ක් සේවය කළා. ඒ අතර තමයි රාවය සඟරාව පටන් ගන්නකොට එහි සහාය සංස්කාරක ලෙස වැඩ කරන්න පටන් ගත්තෙ. මම ලිපි ලිව්වෙ නැහැ. ඒත් සඟරාවෙ පළවෙච්ච ලිපිවල සමහර වියරණ දොස් නිදොස් කරල දුන්නා. අතුල මල්ලි (වික්ටර් අයිවන්) වුණත් ඒ කාලෙ ලිපියක් ලියලා මට කියනවා වියරණ දොස් බලන්න කියලා. අවුරුදු තුනක් විතර වැඩ කරලා මම නැවතුණා. රාවයේ තව ටිකක් කල් වැඩ කරන්න ලැබුණා නම් හොඳයි කියලා පස්සෙ මට හිතුණා.