රාවය

මීය කඩමු අතලෙව නොකමු

විමලනාත් වීරරත්න

 

ලංකාවේ දේශපාලන හා සමාජ ආර්ථික ගැටලූ සමුදාය විසඳීම පහසු නැත. විසඳීමට සහාය දෙන්නෝ ඕනෑ තරම් සිටිති. ගැටලූව වී තිබුණේ සහයෝගීතාව පිළිබඳව කිසිදු වග විභාගයක් නොමැතිව හිතුවක්කාර පාලන රටාවක් ස්ථාපිත කර ගැනීමට යාම තුළය. එහි ආදීනව වූයේ ලංකාව ලෝකය තුළ අපකීර්තියට ලක්වීමය. ඊට අතිරේකව මෙරට වැසියෝ පහසුවෙන් ලෙහා ගත නොහැකි අවුලක පැටලූණහ. ආණ්ඩු බලය මාරුවීමත් සමග ඒ සියලූ ප‍්‍රශ්න දූරිභූත වූයේද? නැත. ප‍්‍රශ්න සමූහය එන්නේ මෙතැන් සිට අප රටක් හැටියට වැඩකරන ක‍්‍රමය මතය. ආණ්ඩු මාරුව යනු දේශපාලන ක‍්‍රමයේ වෙනසක් සිදුවීමක් නොවේ. එක් පාලක පිරිසක් වෙනුවට වෙනත් පාලක පිරිසක් පත්වීමය. වෙනස ස්පර්ශ කළ හැක්කේ දේශපාලනය තුළ තමන් අභ්‍යාස කරන වැඩසටහන් මතිනි. ජාතිවාදය වෙනුවට ජාතීන් අතර සහයෝගිතාවද, වගවීමද ආර්ථික අස්ථාවර බව වෙනුවට ස්ථාවරත්වයද යටිමඩි ගැසීම වෙනුවට මූල්‍යමය විනිවිදභාවයද අනාගතවාදී සංවර්ධන වැඩපිළිවෙළක්ද සෑම විෂය ක්ෂේත‍්‍රයක් කෙරෙහිම ප‍්‍රතිපත්ති සැලසුම් කර ක‍්‍රියාත්මක කිරීමෙන් අපේක්ෂිත වෙනස වෙත ළඟාවිය හැකිය.

දැන් ඊට හොඳ අවස්ථාවක්ද ලැබී තිබේ. එහි පළමු සංඥාව ලංකාව පැත්තෙන් දීම වැදගත්ය. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මහ මැතිවරණයට පෙර සිටම කීවේ මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පසු නිශ්චිත කාල රාමුවකට ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම වැදගත් වන බවය. එය මෙතෙක් කල් ලංකාවේ නොතිබුණු සංස්කෘතියක් අභ්‍යාස කර බැලීමක්ද වෙයි. කියූ ලෙසම මැතිවරණයෙන් පසු එම ක‍්‍රියාමාර්ගය සාර්ථක කරගැනීම සඳහා ජනපති හා අගමැති ප‍්‍රවිශ්ට වී තිබීම පැසසුම් කටයුතුය. එම ඓතිහාසික ප‍්‍රයත්නයෙහි එක් සන්ධිස්ථානයක් වන්නේ අග‍්‍රාමාත්‍යවරයා ජාතික ආණ්ඩුවක් සඳහා වන වුවමනාවෙහි දිගින් දිගටම ව්‍යාවෘත වීමය. සන්ධාන මන්ත‍්‍රීවරුන් එහි ලොකු කොටසක් ඉල්ලා ඊට වඩා බාධා කිරීම හේතුවෙන් මේ උත්සාහය ප‍්‍රමාද වෙමින් තිබෙන අතර වඩා වැදගත් තමන්ට ලැබෙන කොටසද රටේත් ජනතාවගේත් නොවිසඳුණු ප‍්‍රශ්නද යන්න ඔවුන් කල්පනා කළ යුතුව ඇත. සන්ධානයට සම්බන්ධ වෙනත් කුඩා පක්ෂවල නියෝජිතයන් වඩා බලවත් ලෙස හුදෙක් අමාත්‍ය ධුර පිළිබඳ මඩනා ලද වුවමනාවෙන් යුතුව කටයුතු කරන අතර මේ තත්ත්වය තුළ සහයෝගිතා ප‍්‍රයත්නය පසුගාමීත්වයට ලක්වී තිබේ. කළ යුත්තේ කඹ ඇදීම නොවේ. දෙපාර්ශ්වයම රටෙහි හා ජනතාවගේ මූලික ප‍්‍රශ්නවලට අභිමුඛ වී තනතුරු වරප‍්‍රසාද දෙවැනි තන්හිලා උක්ත ක‍්‍රියාවලියට මැදිහත් වීමය. මීයක් කඩන්නේ අත හෝ ලෙව කන්නට යයි ජනවහරේ කියමනක් තිබේ. එහෙත් මීය කඩා අතවත් ලෙව නොකෑමට තරම් අපට ජාතියක් හැටියට පරිත්‍යාගශීලී විය නොහැකිද? අපේක්ෂිත ජාතික ආණ්ඩුවක යහපාලනය එබඳු තත්ත්වයකට පත් කළ හැකි නම් රට ගොඬේ ගොඩය. එහෙත් පැවති දේශපාලන සංදර්භයෙහි වෙනසක් නොවී මිගෙල් වෙනුවට දනියෙල් පෙරමුණට පැමිණීමේ දේශපාලන වෙනස මෙහිදීත් ප‍්‍රධාන බාධකය බවට පත්වීම නොවැළැක්විය හැකිය. මේ බරපතළ සංදර්භීය වෙනසකින් තොරව සිදුවන දේශපාලන බල හුවමාරුවක නියත තත්ත්වයයි. ඉන් ගැලවිය හැකි එකම මග නිශ්චිත දේශපාලන ආර්ථික සාමාජීය හා ප‍්‍රතිසංස්කරණ සංස්කෘතික වැඩපිළිවෙළකට දෙපාර්ශ්වයම එකඟවීමය. ඒ අනුව තනතුරු බෙදා හදාගත හැකිය. එහෙත් මැතිවරණයේදී වැඩි මහජන බලයක් දිනාගත් කණ්ඩායමට එනම් එජාපයට තනතුරු බෙදාහදා ගැනීමේදී වැඩි අවස්ථාවක් ලබාදීම යුක්ති යුක්තය. සන්ධානයට වැඩි බලයක් ලැබී මෙබඳුම තත්ත්වයක් උද්ගත වූයේ නම් නිසැකවම සන්්ධානයට වැඩි අවස්ථාවක් හිමිවිය යුතුය. එය බල දේශපාලනයක් පසුබිමෙහි සහයෝගිතා දේශපාලනයක් ස්ථාපිත කිරීමට යාමේදී අනුයන්නට වෙන නියතයකි.

සැබැවින්ම අගමැතිවරයාට එකලාව ආණ්ඩුවක් හදන්නට හැකියාව තිබේ. ඒ සඳහා ඔහු තව එකතු කරගත යුත්තේ මන්ත‍්‍රීවරුන් සත් දෙනෙකි. එහෙත් එවැනි මාවතක් පෑදි තිබියදීත් ඔහු එබඳු ඒකාකෘතියක ගිලී නොයෑම එක්තරා දේශපාලන ආදර්ශයකි. කුට්ටියම කඩාගත හැකි පහසු මග හැර පියා අගමැතිවරයා වඩා සංකීර්ණ එමෙන්ම ලංකාවට නව දේශපාලන සංස්කෘතික මාවතක් තෝරා ගන්නට කල්පනා කිරීම ප‍්‍රශස්තය. සෙස්සන් කල්පනා කළ යුත්තේ එවැනි ප‍්‍රයත්නයකට සහාය දීම ගැන මිස ඊට බාධා පැමිණවීම ගැන නොවේ. අගමැතිවරයා කීවේ සම්මුතිවාදී දේශපාලනයකට සමස්ත පාර්ලිමේන්තුවම පරිවර්තනය කරගැනීම තම අරමුණ බවය. ඇතැමුන් දැනටම එවැන්නක් හඳුන්වන්නේ කැඳ හැලියක් ලෙසිනි. එහෙත් මුළු පාර්ලිමේන්තුවම එකතු වන්නේ වැඩපිළිවෙළක් ජයග‍්‍රහණය කරවීමට නම් එය කැඳ හැලියක් බවට පත්වන්නේ නැත. එසේ නම් එය රටට රස මීර දනවන අවන්හලක ක‍්‍රියාවලියක් බඳුවෙයි.

ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරිය ඉකුත් දා ලංකාවට පැමිණ කීවේ වගවීම පිළිබඳ ලංකාවේ ප‍්‍රතිසංධාන රාමුවට සහ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ විමර්ශනය කිරීමට ප‍්‍රයත්න දරන දේශීය යාන්ත‍්‍රණයට ඇමරිකානු සහාය මුළුමනින් හිමිවන බවය. මේ තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් ලංකාවේ මුහුණුවර යහපත් මට්ටමකට පත්ව ඇති බවට සාධකයකි. මුළුමනින් ජාත්‍යන්තරය විසින් ප‍්‍රතික්ෂේප කරන ලද පාලනයක සිට එසේ නොවන පාලනයක් දක්වා පැමිණීමේ වාසිය රටටත් ජනතාවටත් ක‍්‍රමයෙන් අත්වීමේ පෙර නිමිති දැන් දැන් මතුවෙමින් තිබීම රටේ ජනතාව සැලකිල්ලට ගත යුතු කාරණයකි. රාජපක්ෂ පාලනය තුළ ජාත්‍යන්තරය ලංකාව සමග බලවත් අරෝවකට පැටලීමත් දැන් එසේ නොවී හොඳ හිත වගා කරගැනීමට සැරසෙන්නේත් ඇයි? රාජපක්ෂ ජාතිමාමකයකු වී රනිල් වික‍්‍රමසිංහ ජාත්‍යන්තරයෙහි ගැත්තකු වීම නිසාද? ජාතිමාමකත්වය ඉදිරියට දමාගත් රාජාණ්ඩුවාදී, ජාතිවාදී මගඩි පාලනයක් වෙනුවට රටෙහි හා මහජනතාවගේ ප‍්‍රශ්න විවෘතව සාකච්ඡුා කරන්නට රිසි ඒ වෙනුවෙන් මැදිහත් වන බව කියන පාලනයක් ස්ථාපිත වූ නිසාද?

සැබෑව ඒ දෙවැනි කාරණයයි. සංවෘත ජාතිවාදයට දැන් ලෝකය තුළ පිළිගැනීමක් නැත. ලෝකයේ පිළිගැනීම වී ඇත්තේ විවෘත ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. රටක අභ්‍යන්තර දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදුවන්නේ ඒ වෙනුවෙනි. ජාත්‍යන්තර සම්මුතීන් ඇතිවන්නේ ඒ වෙනුවෙනි. මේ සත්‍ය වටහාගැනීමට නොහැකි වූ ඉකුත් ආණ්ඩුව ජාත්‍යන්තරය සමග මාරාන්තික සටනකට ගියේය. තවදුරටත් එම ආණ්ඩුව පැවතුනේ නම් ආර්ථික සම්බාධක වැටී ලංකාව ලෝකයේ අපකීර්තිමත් රටක් දක්වා පල්ලම් බසිනු ඇත.

වත්මන් අගමැතිවරයාගේ වගකීම විය යුත්තේ දැනටත් තිබෙන ප‍්‍රශ්න එකක් මත එකක් ගොඩ ගැසෙන්නට පෙර සියලූ දෙනාගේ සහායෙන් ඒවා විසඳීමය. ඒ සඳහා අවංකව කැපවී රට ආසියාවේ කඳුළු බිංදුවක් බවට පත් නොකිරීමය. ඉකුත් දින සියය තුළ මහ බැංකුවේ බැඳුම්කර ප‍්‍රශ්නය යළි අප ඔහුට මතක් කර දිය යුතුය. ඒ පිළිබඳ විමර්ශනයට ඔහුගේම නඩයක් පත්කර ඒ ප‍්‍රශ්නය යටපත් කිරීම වැරදි බව ඔහුට මේ සුබ මොහොතේදී පෙන්වා දිය යුතුය. ඉකුත් ආණ්ඩුවේ සිට කෝටි ප‍්‍රකෝටි ගණන් මහජන මුදල් වංචා කළවුන්, කුඩු එතනෝල් ජාවාරම්කාරයන් ඇතුළු බහුවිධ දූෂකයන්ට එරෙහිව නඩු අසා දඬුවම් කළ යුතුව ඇති බව අගමැතිවරයාට මේ සුබ මොහොතේදී අවධාරණය කළ යුතුය. පන්ති දේශපාලනය වෙනුවට ප‍්‍රතිපත්ති දේශපාලනය රටෙහි ඉස්මත්තටම ගත යුතු බවත් ඔහුට මේ සුබ මොහොතේදී කිව යුතුය. එතැන් සිට අපට අප කාගේත් මෙන්ම රටට අවශ්‍ය ගමනත් යා හැකිය.