රාවය

කාලීන

මේක හිරගෙයක්. අපි අපා දුක් විඳිනවා. – මිහිඳු සෙන් පුර සිපිරි නිවාස

getphotros

කාටත් අතපාන්නේ නැතිව අපි සන්තෝෂයෙන් ජීවත් වෙච්ච මිනිස්සු. අපේ උන්හිටි තැන් අහිමි කරලා සුරලෝකයක් කියලා අපිව මෙහාට ගෙනත් දැම්මා. දැන් අපි ඉන්නේ හිරගෙයක.’’

‘‘බයවෙන්න දෙයක් නෑ. මොකද අපිට ආයේ නැතිවෙන්න දෙයක් නැහැ. නම, ගම, පින්තූර දාන්න.’’ ඔහු කීය. එහෙත් අපි එසේ නොකරමු. මේ දෙමට ගොඩය. දෙමටගොඩ දුම්රියපළ ඉදිරිපිට මහල් නිවාස පොකුරය. අලූතින්ම ඉදිකළ මහල් නිවාස කිහිපයත් සමග මේ මිහිඳු සෙන් පුර විය. රාත‍්‍රියට එළි දැල්වෙමින් තිබේ. තට්ටු තට්ටු උඩට නැගුණු මහල් නිවාස කිහිපය පවුලක් සේ එක පොකුරට සිටගෙනය. බැලූ බැල්මට දසුන සුන්දරය. ආණ්ඩුව කී පරිදි සුපිරි නිවාසය. මේ ආණ්ඩුවට සුපිරි වූ එය දිවි ගෙවනවුන්ට සිපිරිගෙයක් වූ මහල් නිවාසය. මේ දෙමටගොඩ සිපිරි නිවාස බව කියනුයේ අප නොව එහි දිවි ගෙවනවුන්ය.

‘‘මම ගේ දොරකඩට ඇවිල්ලා තේ එක බිබී හිටියා. මොකද කරන්නේ ගේ ඇතුළට යනවා කියලා එලෙව්වා. මම කිව්වා යන්නේ නැහැ කියලා. එතකොට ගහන්න එනවා. ඇත්තටම මේක ගෙයක් නෙමෙයි හිරගෙයක්. කාමර දෙකයි ටොයිලට් එකයි. එකටම අල්ලලා නාන කාමරය. අතපය දිග අරින්න බෑ. සීරුවට හිටගෙන නාගන්න ඕනෑ. කට්ටියක් ආවොත් ඇයි ආවේ, මොකටද ආවේ ප‍්‍රශ්න කරනවා. මේ ගෙවල් දීලා තියෙන්නේ කවලම් කරලා. මේකේ පොලිසියේ අයත් ඉන්නවා. යූඞීඒ එකේ අයත් ඉන්නවා. දෙමටගොඩ දුම්රිය ඉඩමේ හිටපු රේල්වේ අයත් ඉන්නවා. මේ හැමෝටම අපි උත්තර බඳින්න ඕනෑ. ? නවය වෙලා එනකොට පොලිසියේ අය ප‍්‍රශ්න කරනවා. අපි අට පහ රස්සා කරන අය නෙමෙයි එදා වේල හොයා ගන්න සෑහෙන දුක්විඳින මිනිස්සු. දැන් අපිට ගෙදරට එන කෙනෙක් ගේ ඇතුළට අරගෙන කතා කරන්න බෑ. එළියට එක්කගෙන එන්න ඕනෑ. මේ බංකුවක ඉඳගෙන කතා කරලා යන්න ඕනෑ. මේක හිරගෙයක්. අපි අපා දුක් විඳිනවා.’’

ඔහු කීවේ සැබෑවකි. අපි කුරුබිලියෙන් ඇතුළට රිංගුවෙමු. එළියට පේන ලෝකය එළියට මවන ලෝකය ඇතුළේ නැත. ඇතුළෙහි සැමන් ටින් අසුරා ඇතිවා සේය. ඇතුළට රිංගූ සැණින් අප පසුපස දෙපළක් ඇදුණි. ගමන නැවතුණේ ඔවුන්ගේ බාධාවෙනි. අපි ආවේ ඇයිද? කින්ද? මන්ද? කොහි සිටද? ප‍්‍රශ්න කප්පරකි. ඔවුන් කවුදැ’යි ඇසූ කල උරණ වූ එම දෙපළ පොලිස් හැඳුනුම්පත් පෙන්වා අපේ හැඳුනුම්පත් බලහත් කාරයෙන් මෙන් ගෙන බැලූහ. ඒ අය සිටිනුයේ එහි යන එන අය සෝදිසි කරන්නට බව ඔවුන්ගේ හැඟවුම විය. අප යන යන තැන මොවුන් පසුපසින් ඇදෙන්නට වූ කල අපි එළියට බැස්සෙමු. එළියට බැස පසෙක ඇති බංකුවක හිඳගත් අප එකිනෙකා ඒ බංකුවට ගෙන්වා ගත්තේ අඳුරේද උපකාරය ඇතිවය. ‘‘ඔයගොල්ලෝ ඇහැටම දැක්කානේ තත්ත්වය. අපේ ගේකට ආවා නම් මේක පත්තරේ ගිය ගමන් අපිව අල්ලගන්නවා. ඒකයි නම් ගම් නොදා ඉමු කිව්වේ.’’ ඇය අප සමග කතා කරනුයේද වටපිට බලමින් හොරගල් අහුලමිනි. ඇය මෙන්ම අප සමග කතා කළ හැමදෙනාම එලෙසය.

‘‘හවසට අපේ ළමයි වැඩ ඇරිලා එනකොට සාක්කු එළියට ඇදලා දාලා චෙක් කරනවා. නවය වෙනකොට මේකට එන්න මාර දුකක් විඳින්න ඕනෑ. මේ අයගේ ප‍්‍රශ්නවලට උත්තර දීලාම එපා වෙනවා. රෙදි කෑල්ලක් වනලා තිබ්බොත් බනිනවා. අපිට රෙදි වේලගන්නවත් තැනක් නැහැ. ගේ දොරකඩට වෙලා ඉන්න බෑ. ගෙදර ආවා නම් ඇතුළට වෙලා දොරවල් වහගෙන ඉන්න ඕනෑ. අපි අද හිරකාරයෝම තමයි.’’

‘‘අපි ගොල්ෆ් පිට්ටනියේ රස්සාව කළේ. සුද්දාගේ කාලේ ඉඳලා අපේ පරම්පරා ගොල්ෆ් පිට්ටනියේ රස්සාව කළේ. අපේ ඉඩම් දේවි බාලිකා විද්‍යාලය ළඟම තිබුණේ. අපි හොඳට ගෙවල් හදාගෙන ජීවත් වුණේ. ටොයිලට් ටයිල් අල්ලලා හොඳට තිබුණේ. අපි හිඟන්නෝ නෙමෙයි. අපේ වටිනාම ඉඩම් තමයි ගත්තේ. එහෙම ගන්න කොට කිව්වේ මේ ගෙවල්වලට හරියන්න ගෙවල් දෙනවා කිව්වා. සුපිරි නිවාස හදනවා. ඒවා ඔය අයට දෙනවා කිව්වා. අපි ආණ්ඩුව කියපු එක විශ්වාස කරලා අපේ හොඳ ඉඩම් දීලා ආවා. අපිව ගිහින් දැම්මා වනාතේ ඕවල් ක‍්‍රීඩාංගණය පිටිපස්සට. අවුරුද්දයි මාස හතරක් එහේ අපා දුක් වින්දා මේ මහල් නිවාස හදනකම්. ඊළඟට මෙහේ මේවාට ආවා. මේ මොනවාද? අපි කොච්චර හොඳට ජීවත් වුණාද? අද අපේ ජීවිත එහෙම පිටින්ම විනාශ වුණා. රුපියල් 50,000 ගෙවනකම් යතුර දුන්නේ නැහැ. දැන් බලපුවාම මේවා ගෙවල් නෙමෙයි කුකුල් කූඩු. අපි හිටපු විදිහ අද ඔප්පු කරන්න බෑ. ඒවා ඩෝසර් කරලා. ඩෝසර් කරනකම් කියපු සුරංගනා කතා අද මුකුත් නැහැ. දැන් ලියුමක් එවනවා මේ මාසේ රුපියල් 53,690ක් ගෙවන්න කියලා. එහෙම ගෙවන්න බැරි අය එළියට දානවාලූ. මේක යකාගේ නීතියක්නේ. දැන් කතා කරන්නේ මේ දුන්න ගෙවල් ගැන. එතකොට අපේ කඩපු ගෙවල්? අපේ වටිනා ඉඩම්? ඒවා ගැන කවුරුත් කතාවක් නැහැ. රුපියල් 50,0000ක් අරගෙන කියනවා, ‘ඉතිරි 50,000හේ මාසික ගෙවීම රුපියල් 3960යි, මේ මාසේ ගෙව්වේ නැත්නම් එළියට ඇදලා දානවා’ කියලා. මේක හෙණ ගහන අපරාධයක්නේ. අපි අවුරුද්දයි මාස ගාණක් වනාතේ අපා දුක් වින්දා. දැන් මෙහාට දාලා සදාකාලික ණයකාරයෝ කරනවා. මුලින් කීවේ මේවා නිකං දෙනවා කියලා. අපේ දේපළ කොච්චර වටිනවාද? ඒවට හරියන්න අපිට මේවා නිකං දෙන්න ඕනෑ. මේ ආණ්ඩුව අපේ හිටපු ඉඩම් විකුණලාත් සල්ලි ගන්නවා. මේවා අපිට විකුණලාත් සල්ලි ගන්නවා. දැන් අපි ආණ්ඩුවේ කුලීකාරයෝ වෙලා. හිරකාරයෝ වෙලා. අවුරුදු දහයක් විස්සක් ගෙවනවා කියන්නේ අපි මැරිලා.’’

කොටුවට දුවන දුම්රියක් හූ කියාගෙන වේගයෙන් ඇදුණි. එබැවින් ඇගේ හඬ ගිලූණි. එකිනෙකා අපේ බංකුවට එති. බොහෝ දේ කීමට ඇතිවා වුවත් ආණ්ඩුවට ඇති බිය ඊට වඩාය. මොවුන්ට සියල්ල අහිමිය. හාල්පොත මෙන් ඉතිිරිව ඇත්තේ මේ මහල් නිවාසය. එය අඩුපාඩු ගොන්නක් වුවත් එය අතහැර යන්නට තැනක් මොවුන්ට නැත. එහෙත් ගෙවන්න සල්ලිද මොවුන්ට නැත.

‘‘මේක විවෘත කරන්න ජනාධිපති ආපුවාම ඒ එක්ක ඩලස් ඇමතියි, ෆවුසි ඇමතියි ආවා. ෆවුසි කියනවා ඔයගොල්ලන්ට යන්න ටොයිලට් එකක් තිබුණේ නැහැ. දැන් අපේ ජනාධිපතිතුමා ගේ ඇතුළේම ටොයිලට් එකක් හදලා තියෙනවා. ඒකේ බත් දාලා කන්න පුළුවන් කියලා. එයා ටොයිලට්වල බත් දාගෙන කනවා ඇති. අපිත් හිටියේ හොඳට ගෙවල් හදාගෙන, ටොයිලට් ගෙවල් ඇතුළේ හදාගෙන තමයි. තට්ටු දෙකට මගේ ගේ තිබුණේ. ඩලස් එදා මහා හයියෙන් කියනවා, ‘අපි ෂිෆ්ට් එකට නිදාගත්ත අයලූ. දැන් සුපිරි නිවාස තියෙනවා’ලූ. අපි කවුරුත් ෂිෆ්ට් එකට නිදාගත්තේ නැහැ. පේව්මන්ට් එකේ මිනිහාවත් ෂිෆ්ට් එකට නිදාගත්තා කියලා මම නම් හිතන්නේ නැහැ. ඒ තරම් පහත් විදිහට අපිට සැලකුවේ. පුළුවන් නම් ඒ ඇමතිලාට මාසයක් නෙමෙයි දවස් දෙකක් ඇවිල්ලා ඉඳලා පෙන්වන්න කියන්න මේ ගෙයක. නාන්න ගියාම ඇඬෙනවා. ඇයි අතපය දිග අරින්න බෑ.’’

ඇයගේ ඇස් කඳුළින් පිරුණි. තරබාරු ගැහැනියක වූ ඇය පටු නාන කාමරයක මුහුණදෙන අත්දැකීම් බොහෝ ඛේදජනක විය හැකිය. මෙහි බොහෝවුන් පදිංචිය, ඒ අතර කොළඹ 08, මොඞ්ල් ෆාම් පාර අංක 11382 ජනාවාසයේ හා 102 කාසල් වීදියේ විසූ ජනයා ප‍්‍රමුඛය. ‘‘අපි මොඞ්ල් ෆාම් පාරේ අවුරුදු පනහට වැඩියි. එහේ සියයට අනූවකටත් වැඩි පිරිසක් රැුකියාව කළේ ගොල්ෆ් පිට්ටනිය නඩත්තු කරපු එක. ඒකෙන් දෛනික වැටුප් හම්බවෙන්නේ. අද අපිට රස්සාවත් නැතිවෙලා. අපි මෙහේ ඉඳලා යනකොට පරක්කුයි. බස් ගාස්තු වැඩියි. මම පොලියට අරගෙන තමයි මුල් 50,000 දුන්නේ. දැන් කියනවා 53,960ක් මේ මාසේ ගෙවන්න කියලා. ශත හැටක්වත් ගෙවන්න විදිහක් නැහැ. අපේ ගෙවල් කඩලා මේ පොඩි මහල් නිවාසයක හිරකරලා අපෙන් සල්ලි ගන්නවා. මේක හරි අසාධාරණයි.’’

2012 ඔක්තෝබර් 3 වැනිදා නාගරික සංවර්ධන අධිකාරිය ඉවත් කළ මොඞ්ල් ෆාම් නිවාස ගණන 82කි. ඉන් නිවාස 79ක ජනතාව තාවකාලිකව කඳවුරුවල පදිංචි කරවන ලදි. නිවාස කඩා ඉවත් කරන විටද කිසිදු සහතිකයක් නොදුන් නාගරික සංවර්ධන අධිකාරිය කඳවුරුවලදීද එවැන්නක් නොදුන්නේය. එකම පොරොන්දුව වූයේ කටවචනයට කී නිවසට නිවසක් දෙන පොරොන්දුව පමණය. ඒ අතර ඔප්පු සහිත නිවාස 10කට පමණක් දෙමටගොඩ මහල් නිවාසය ඉදිකරන තෙක් මාසිකව කුලී නිවසක සිටීමට රුපියල් 15,000 බැගින් වසරක කුලී අත්තිකාරම්ද ලබාදී ඇති අතර ඔවුන්ට මහල් නිවාස ව්‍යාපෘතියේ නිවසක් ලබාදෙන බවට ලිඛිත සාක්ෂියක්ද ඉදිරිපත් කොට ඇත. එහෙත් අද මේ නිවාස සියල්ලද එකම බෝට්ටුවේය. ආණ්ඩුව මුලදී මේ සියල්ලන් දැනුවත් කොට ඇත්තේ නිවසට නිවසක් ලබාදෙන බව පමණය. එය කුලී පදනමෙන් දෙන බවට මොවුන්ට පොරොන්දු වී නැත. ඇතැම් තැන්හි ඉවත් කළ නිවාස හිමියන්ට මුදලට මහල් නිවාස ලබාදෙන බව කීවද මොවුන්ට කියා නැත. එහෙත් අද ඒ කිසිවක් වලංගු නැත. කොටින්ම මුලදී රුපියල් 50,000ක් ගෙවා මූලික ගෙවීම වන රුපියල් 50,000 මාස තුනක් ඇතුළත ගෙවන්නැ’යි කී පොරොන්දුව පවා කඩ කොට ඇත. ඒ දැන් එකවරම දෙවන රුපියල් 50,000 පමණක් නොව මාසික ගෙවීම වන රුපියල් 3,960ක මුදලද මේ මාසය ඇතුළත ගෙවිය යුතු බැවිනි. මෙය අනිවාර්ය කොට ඇත. ‘‘රුපියල් 50,000 ගත්තේ පොලියට. දැන් ආයේ 50,000ක් හොයන්නේ කොහොමද? අපි දවස් පඩිකාරයෝ. ආණ්ඩුව මීට වඩා කොච්චර සල්ලි නාස්ති කරනවාද? අපේ ඉඩම් පවා අරගෙන ඇයි අපිට මේවා නිකං දෙන්න බැරි. කුකුල් කූඩුවේ හරි ඉන්නවානේ දැන් යන්න තැනක් නැති හින්දා. ඒත් කුලී ගෙවන්නේ කොහොමද? මේවා පැල්පත්වාසීන්ට දුන්නා කියමු. එතකොට ඒ අය. මේවට කුලී ගෙවන්නේ කොහොමද?’

එකා පරයා එකා කප්පරක් ප‍්‍රශ්න නගති. එහෙත් විසඳුම් නැත. මෙම මහල් නිවාසවල පදිංචියට යූඞීඒ එකේ පිරිස්ද ඇතුළත් කොට ඇත. සේවය අවසන් වන තෙක් රේල්වේ නිවාසවල පදිංචිව සිටි දෙමටගොඩ දුම්රියපළ ඉඩමේ තිබූ නිවාසවල අයට ස්ථිර නිවාස මෙම මහල් නිවාසයෙන් හිමිවී ඇත. ඒ අතර පොලිසියේ අයටද මේ නිවාස ලබාදී ඇත. ඔවුන්ට මෙම වාරික ගෙවීම එතරම් අපහසු නැත. අනෙක් අතට මොවුන්ට එරෙහිව මේ සියල්ලෝ ආණ්ඩුවට ගතු කියන්නෝය. කොටින්ම අවසාන අර්ථයෙන් ආණ්ඩුවේ ඡුන්ද පදනම්ය. හෙට දවසේ මෙලෙස වාරික ගෙවන්නට බැරිවනවුන් පන්නා දමා ඒ නිවාස ආණ්ඩුවේ හිතවතුන්ට, මැති ඇමතිවරුන්ගේ හිතවතුන්ට ලබාදෙනු ඇත. ආණ්ඩුව එක ගලෙන් කුරුල්ලන් දෙන්නාම දඩයම් කළේය. ඔවුන් සිටි ඉඩම්ද අත්පත් කරගත් අතර ඔවුන් ආණ්ඩුවට ගෙවන කුලීකරුවන් බවටද පත් කළේය. දැන් මේ අතිබහුතරයක් පිරිස් ආණ්ඩුවට වසර 20ක් පමණ කුලී ගෙවන කුලීකරුවන් බවට පත්වී ඇත.

මෙම සුපිරි නිවාස සුපිරි මට්ටමට හැදීමට මුලදී සැලසුම් ඇඳ වර්ග අඩි 800 ඉක්මවා ඇඳ තිබූ බවක් පැවසේ. එහෙත් මේ නිවාස ව්‍යාපෘතියේ ලේකම් තැන ‘මෙවැනි හිඟන්නන්ට මේ ලොකු ගෙවල් කුමටද’ කියා වර්ග අඩි හාරසිය ගණනකට ඒවා සීමා කොට තිබේ. එය නව මහල් නිවාස ව්‍යාපෘතීන්හිදී වර්ග අඩි 380 දක්වාද සීමා කොට ඇත. ඒ අනුව පෙනීයන්නේ මේ ආදායම් මාර්ගයක් බවට පත්කර ගෙන ඇති ව්‍යාපෘතියක් බවය. එහි ඉන්නේ නම් ඕනෑම කෙනකුට ගෙවා සිටිය හැක. බැරි අය වෙන විකල්ප සොයා ගත යුතුය.

අද දෙමටගොඩ මිහිඳු සෙන් පුර සිරගෙයකි. එහි මහල් නිවාසවල ලැගසිටිනවුන් හූල්ල හූල්ලා දිවි ගෙවති. එරෙහි වීම නම් මේ නිවාස හැරයෑමය. එසේ හැර යන්නේ වුවද ඒ කොහේටද යන්න ඔවුන්ට සිතා ගැනීමටවත් නොහැකිය. වසර පනහක් හැටක් දිවි ගෙවූ අය, සිය උපන් බිම්කඩ අහිමි වන විට කතා කළ අය අද මහල් නිවාසයේ සිට මූණපෙන්නා කතා කිරීමට බියවෙති. නම කීමට බියවෙති. මේ තැනට ඒමට පෙර සිටි තැන කීමට බියවෙති. ඒ මොවුන් පසුවදා පැමිණ බලෙන් ඇද දැමුවහොත් මහල් නිවාස ඉදිරිපිටින් ඇදෙන රේල් පාර හැර විකල්පයක් ඔවුන්ට නැති බැවිනි.

‘‘ඇත්තටම දැන් අපිව හිරේ දාලා තියෙන්නේ. හිරේ හොඳයි. හිරේ ඉන්නවාට හිරකාරයෝ ගෙවන්නේ නැහැනේ. ඒත් අපි ගෙවනවා. අපි හිරකාරයන්ටත් අන්තයි. මේ මාසේ 53,960ක් ගෙව්වේ නැත්නම් ගෙයින් යන්න බලාපොරොත්තු වෙන්න කිව්වා. අපිට මේවා අයිති වෙන්නේ ලක්ෂ දහයක් ගෙවපු දවසටලූ. එතකන් ඔප්පු දෙන්නේ නැහැලූ. දැන් අපිට ජීවිතයක් නෑ. අපි හිටපු තැන් එක්ක කළ රස්සා මෙහොට ගැළපෙන්නේ නෑ. කොටින්ම අපිත් දැන් මෙහෙට ගැළපෙන්නේ නෑ. අපි කොළඹ ඉපදුණු මිනිස්සු. දැන් අපිට කොළඹ තියා ඉන්න තැනක් නැහැ.’’

මේ පිරිමි එදා පපුව ඉදිරියට දාගෙන සක්කරයාටවත් බිය නැති සේ සිටිවුන්ය. අද හෙවණැල්ලටත් බයය. කතා කරන්නේ වටපිට බලමින්ය. අපි ඉඩම් අත්පත් කොටගෙන පාරට ඇද දමන මිනිසුන් ගැන ලියූවෙමු. එවිට ආණ්ඩුව කීවේ ඔවුන්ට මහල් නිවාස දෙන බවය. ඒවා සුපිරි බවය. එහෙත් මුල් අදියරේ ඒවා දුන් අය ඒවායේ ලැග සිටින අය අද කියනුයේ මේ නම් අපායක් බවය.

‘‘එදා ජනාධිපති එන හින්දා දම්රෝ එකෙන් ගෙවල් පහකට බඩු ගෙනත් දාලා ටීවී එකේ මෙන්න සුපිරි නිවාස කියලා පෙන්නුවා. ජනාධිපති ආපහු පාලම පහු කළේ නෑ, දම්රෝ එක අර බඩු අරගෙන ගියා. පැය දෙකකට කුලියටලූ ගෙනාවේ කියලා ඒ අය කිව්වා.’’

මේ ආණ්ඩුවේ රැුවටීම ඉහළය. කොටින්ම රැුවටෙනවායැ’යි නොසිතෙන තරම්ය. දම්රෝ භාණ්ඩ දැමූ සේ ම මිනිසුන්වද එහි පටවා ඇත. හෙට කුලී නොගෙව්වොත් ඔවුන් එළියට ඇද දමනු ඇත. එම නිවාස තවකෙකුට දෙනු ඇත. දැන් මේ මිනිසුන් කබලෙන් ළිපට වැටී ඇත. මිහිඳු සෙන් පුර මිහිපිට අපායක් වී ඇත. එහෙත් ඒ කිසිවකට ඇහුම්කන් දෙන්නට කිසිවෙක් නැත. ආණ්ඩුව තබා විපක්ෂයක්වත් නැත.

මිහිඳු සෙන් පුර නව මහල් නිවාසය මුදුනෙහි ජනපති යෝධයකු සේ දෙඅත් ඔසවාගෙන සිටියි. ඒ යට පෑගෙන මිනිසුන් ගැන වගේවගක් නැති ගාණය. දෙමටගොඩ මිහිඳු සෙන් පුර සුපිරි නිවාසද සිපිරි ගෙයක්ද යන්න දන්නේ එහි ජීවත්වන වුන්ය. ඔවුන්ට නම් මෙය සිපිරි ගෙයක්මය. මේ මහල් නිවාසවල මුල් අත්දැකීම්ය. ඉදිරි පියවර මීට වඩා ගොහොරු විය හැකිය. එහෙත් එය කාට කියන්නද? දුම්රිය හූ තියාගෙන එහාට මෙහාට යයි. ‘ඔය ‘හූ’ කියන්නේ අපට.’ අප සමග කතා කරමින් සිටි මිනිසෙක් කීය.