නායකත්ව පුහුණුව මරණයෙන් කෙළවර කළ ලහිරු

නොච්චියාගම අඹගහවැව, කුඩාවැව ගම්මානය විල්පත්තුව කැළයට මායිම් කරගත්ත ඉතාමත් දුෂ්කර ගමක්. අඹගහවැව හන්දියෙන් හැරිලා කුඩාවැව පැත්තට යන විට පාර දෙපස සුදුකොඩි මරණ ගෙදරට පාර කිව්වා. මුළු ගම්මානයම දුක්බර මරණයක සෞන්දර්යයෙන් සැරසිලා. කුඩා වැව වැව් බැම්මට සමාන්තරව ඉදිවුණ දූවිලි වළාකුළු නංවන පාර ගමේ දුෂ්කරතාව රූපයට පෙරළුවා. අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු ඇරඹිලා වග ළං ළංව ඇසෙන ස්පීකරය සැලකළා. ලහිරු සඳරුවන් රත්නායක කියන්නේ මේ ගම්මානයට පායපු පුංචි තරු කැටයක්. ස්පීකරයේ හ`ඩ තව තවත් ළංව ඇසෙනවා. මිනිසුන් දහසකගේ සෝසුසුම් වාතලයට මුුසුවෙන අවකාශයට මමත් ඇතුළු වුණා. හැමතැනම සුදු පැහැය ඒ අතර හමුදා සිවිල් ආරක්ෂක ඇඳුම් කොළ පැහැය. හමුදා මළ ගෙදරක් දෝ යන සැකය මගේ සිතේ ඇති කළා.

මරණයක දැවටුණු සරසවි සිහිනය

ලහිරු සඳරුවන් රත්නායක දරුවන් සතර දෙනෙකු සිටින පවුලක එකම පිරිමි දරුවා. විල්පත්තුව කැළෑවට මායිම් වූ කුඩාවැව ගම්මානයේ මිනිස් ජීවිතය බොහොම දුෂ්කරයි. බොහෝ දෙනෙක් ගොවිතැන් කළා. එවැනිම ප‍්‍රමාණයක් ආරක්ෂක හමුදාවල සේවය කළා. මෙවැනි ගමකින් සරසවියට ඇතුළුවීම ලොකු හීනයක්. එවැනි හීන මිට මොළවාගෙන ජීවිතය ගෙවා දමන තරුණ පිරිස් මෙවැනි ගම් පළාත්වල සුලබ නැහැ. මෙහෙ බොහොම තරුණ අයගේ සිහිනය වෙන්නේ ඉක්මනට පවුලක් පන්සලක් වෙලා කුඹුරක් කොටාගෙන හේනක් වපුරගෙන ළමයි හදාගෙන දුෂ්කර ජීවිතයට මුහුණදෙන එක. ඒත් කාලයකට පස්සේ සරසවි හීනයක් හිත දරාගෙන කුඹුරු කොටන හේන් කොටන තරුණයෙක් කුඩා වැව ගමට හිමියි. ඒ ලහිරු. මේ දුෂ්කර ජීවිතයෙන් මිදීමේ එකම ම`ග ඉගෙනීම යන්න ලහිරුගේ සිතුවිල්ල වුණා. ඔහු ඒ හීනය ජය ගන්න ගහක් උඩ පැලක් හැදුවා. ඒ පැලේ පාඩම් කරමින් රැුය පහන් කළා. අවසානයේ ඒ 3ක් ලැබ ඒ සරසවි සිහිනය ජයගත්තා. ලහිරු සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය කළේ අඹහගවැව විද්‍යාලෝක විද්‍යාලයේ. පසුව සරසවි පිවිසුම් පෙළ සඳහා නොච්චියාගම විද්‍යාදර්ශ විද්‍යාලයට ඇතුළු වුණා. 2011 අවුරුද්දේ වාණිජ විෂය දහරාවෙන් ඔහු විභාගයට වාඩි වුණා. ප‍්‍රතිඵලය බී 2ක් සමගින් ඒ එකක්. දිස්ති‍්‍රක් කුසලතාව එකසිය හතළිහ. එවර ඔහු සරසවියට සමත්. ඒත් ලහිරුගේ ඒ තුනක සිහිනය එවර ඔහුට සරසවි යන්න මනස් දොර විවෘත කරන්නේ නැහැ. 2012 අවුරුද්දේ දී ලහිරු ඒ තුනක සිහිනය ඉහළින් ජය ගන්නවා. දිස්ති‍්‍රක් කුසලතාව එකසිය පහළොව. ඔහු සරසවියට යන්න තීරණය කරනවා. ඔහුට ලැබෙන සරසවිය යාපනය විශ්වවිද්‍යාලය.

නායකත්ව පුහුණුව

දැන් දිවයිනේ කොයි පඳුර බැලූවත් හමුදා කඳවුරු. ඔවුන් සිවිල් කටයුතු බොහොමයක මැදිවෙලා. කාණු සුද්ද කරනවා. එළවළු විකුණනවා. හෝටල් පවත්වාගෙන යනවා. මේවා බලනකොට වෙලාවකට මේ රට හමුදා රාජ්‍යයක් දැයි හිතෙන තරම්. ඒ මදිවාට දැන් විදුහල්තිවරුන්ටත් හමුදා පුහුණුව. විශ්වවිද්‍යාල සිසුනුත් සරසවියට යන්න කලින් හමුදා පුහුණුව ගත යුතුමයි. ඒකට කියන්නේ නායකත්ව පුහුණුව කියලා. රටේ පාලකයන්ට මහා බාධකයක් වුණ ශිෂ්‍ය දේශපාලනය අහෝසි කිරීම මූලික අරමුණ වෙච්ච මේ හමුදා පුහුණුවට රටේ බොහෝ තැන්වලින් ආවේ විරෝධය. එහෙත් ඒ විරෝධය නොතකා පාලකයන් තවමත් මේ පුහුණුව පවත්වාගෙන යනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට තේරුණ ලහිරු 2014 ජනවාරි මාසයේ 18 වැනිදා මේ නායකත්ව පුහුණුව ගන්නෝරුව විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු යුද හමුදා පාසලේදී ආරම්භ කරන්නේ තවත් ශිෂ්‍යයන් 269ක් සමග. ඒ පුහුණුව අතරතුර 26 වැනිදා ඔහු අසනීප වෙනවා. එදිනම පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළු කරන ලහිරුගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් සුබදායක වෙන්නේ නැහැ. දැනගන්නට තිබෙන විදියට 28 වැනි දින නිවසට කතා කරන යුද හමුදාව රෝගී තත්ත්වයක සිටින ලහිරුට හදිසි සැත්කමක් කළ යුතු නිසා රෝහලට පැමිණ කැමැත්ත ලබාදෙන්නැ’යි ඉල්ලීමක් කරනවා. 28 වැනි දින හදිසි සැත්කමින් පස්සේ පෙබරවාරි 7 වැනිදා ලහිරු මරණයට පත්වෙනවා. මේ මරණය ගැන රජයේ මතය කුමක්ද?

රජයේ මතය

මේ වෙලාවේ රජයේ මතය වෙන්නේ හමුදා මතය. යුද හමුදාව උපුටා දක්වන එක් පුවත්පතක් සඳහන් කරන්නේ ලහිරු සඳරුවන් රත්නායක උපතේ සිට රෝගියකු ව සිට ඇති බවයි. මහා ප‍්‍රාචීර පේශි බිත්තියේ සංකූලතාවක් ( Diaphraganatic Eventracting) ඔහුට උපතේ සිට තිබූ බවත්, ඒ නිසාම මහා ප‍්‍රාචීර බිත්තියේ පැවතුණ හර්නියා තත්ත්වය හේතුවෙන් හෘදය වාහිනී පද්ධතියේ කි‍්‍රයාකාරීත්වය අඩාල වී, මොළයට රුධිරය සැපයීම අඩාල වීම මේ මරණයට සෘජුව වගකිව යුතු බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය සී.පී.ඞී සේනසිංහ මහතාගේ නිගමනය වූ බව රජයේ මත දැක්වීම විදියට ප‍්‍රකාශ වෙනවා. ඇත්ත. ළහිරුට මෙවැනි රෝගී තත්ත්වයක් උපතේ සිට තිබුණා.

ගහක් ගලක් වගේ හිටිය පුතා

‘‘අනේ ගහක් ගලක් වගේ හිටිය මගේ පුතා. පොල් වළවල් කැපුවා. පොල් හිටෙව්වා. මේ සේරම කළේ මගේ පුතා. එයාට ලෙඩක් තිබුණේ නැහැ දෙයියනේ.’’ ලහිරුගේ මව කරුණාවතී මහත්මියගේ ඒ විලාප හ`ඩ මේ මළගෙදරට ගිය කාට වුණත් ඇසුණ දෙයක්. මළගෙදරදී මුණ ගැසුණ යාළුවන් ගම්මුන් සියල්ලෝම කියුවේ ලහිරු නිරෝගීව සිටියා කියායි. ‘‘එයාට කිසිම ලෙඩක් තිබුණේ නැහැ.’‘ මේ සියලූ කතා මට කතා කර කීවේ හමුදා සොල්දාදුවෙක්. ඔහු කීවේ මේ තරම් හමුදා අනුග‍්‍රහයක් යුද්ධ කාලේ මැරුණ හමුදා සෙබළකුටවත් තිබුණේ නැහැ කියායි. ‘‘දැන් මහත්තයෝ මේ අවමංගල්‍යයේ හැම වැඩක්ම කළේ යුද හමුදාව. මම ඒක නරකයි කියලා කියනවා නොවෙයි. ඒක හොඳයි. හැබැයි මෙතන වහන්න දෙයක් තියෙනවා කියලා මහත්තයට හිතෙන්නේ නැද්ද?’’ වසා දමන්න දෙයක් තිබෙනවාද? අප ලහිරුගේ පියා ජයරත්න මහතාගෙන් විමසුවා. තවමත් සිවිල් ආරක්ෂක බලකායේ කි‍්‍රයාකාරී සාමාජිකයකු වන ජයරත්න මහත්තයා, ‘දැන් සේරම වෙලා ඉවරයි, කියන්න තරම් දෙයක් නැහැයැ’යි කියා මාධ්‍යයට කරුණු කීමෙන් වැළකුණා. චතුරිකා ශ්‍යාමලි (20) ලහිරුගේ නැගණිය. ඇය අමාරුවෙන් අමාරුවෙන් ලහිරු ගැන වචන සොයා ගත්තා. ‘‘මොනවාද තවත් එයා ගැන කියන්න තියෙන්නේ. එයාට ලෙඩක් තිබුණේ නැහැ. එයා පොල් පැළ හිටෙව්වා. වගා කළා. සේරම කළා. මගේ අයියා ගොඩක් හොඳ කෙනෙක්. එයා හැම දෙයක්ම දරාගත්තා. මගේ අයියාට මේ මොකද වුණේ’’ හදිසි මරණ පරීක්ෂණ වාර්තා මොනවා කියූවත් අවමංගල්‍යයට පැමිණි බොහෝ දෙනෙකුට ඒ ප‍්‍රශ්නය තිබුණා. මේ මරණය සැල වූ ගමන්ම අවමංගල්‍යයේ සියලූ බර පැන දරන්නට මෙන් හමුදා වියදමින් ළහිරුගේ මාපියන්ට නව නිවසක් තනා දෙන්නටත් හමුදාපතිවරයා පොරොන්දු වී ඇති බව සැලයි. යුද්ධ හමුදාවේ හොඳ හිතද? පාඨමාලාවේ විශ්වාසය නැවත තහවුරු කිරීමද?

මේ ලහිරුගේ කරුමයමද?

‘සත් පුරුෂ මිනිසුන්ට මේ ලෝකයේ වැඩිකලක් ජීවත් වෙන්න බැහැ. එයාලා අපිව අත ඇරලා දෙව් ලොවට යනවා. මරණයට වෙලාවක් කලාවක් නැහැ. තැනක් නොතැනක් නැහැ. උගත් නූගත් භේදයක් නැහැ. ඒක තමයි මරණයේ ස්වභාවය. මේක ලෝක ස්වභාවය. කෙනකු ඉපදුණොත් එයා අනිවාර්යයෙන්ම මැරෙනවා. අපිට පි‍්‍රය අයගෙන් වෙන් වෙනකොට අපිට දුකයි. ඒත් ඒක තමයි සත්‍යය. මේ මරණයට ඕනෑම කෙනකුට ඕනෑම අර්ථකථනයක් දෙන්න පුළුවන්. ඒත් මරණය පොදු ධර්මතාවක්. අපි කාටවත් ඒකෙන් ගැලවෙන්න බැහැ.’

‘මේක කරුමය කියලා අර්ථකථනය කරන්න බැහැ. ලහිරු අපි කුඩා කාලේ ඉඳලා දන්නවා. ඒත් මරණය අපිට පිළිගන්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. දැන් හ`ඩලා පලක් නැහැ. එළඹෙන ආත්මයකදී හරි මෙවැනි අකල් මරණයකින් ගැලවෙන්න එයාට අපි පිං රැුස්කරලා දෙන්න ඕනෑ.’ මේ අවමංගල්‍ය සභාවේ ගිහි පැවිදි කතා. මරණය ලෝක ස්වභාවය නිසා මරණය අප ප‍්‍රශ්න නොකළ යුතු බව ඔවුන් කියනවා. මොන විදියට මැරුණත් ආයුෂ ඉවරයි කියා හිත හදා ගත යුතුයි. ඒක සිංහල බෞද්ධ උරුමය. අපි වර්තමාන ජීවිතයකට මරණයෙන් පස්සේ ජීවත්වෙන විදිය ගැන හිතන ජාතියක් හින්දා. මේ මරණය අමතක කරලා ඔහුට පිං දී මතු ආත්මයකදී මෙවැනි මරණයකින් ඔහු ගලවා ගත යුතුයි. මේ පොදු සිතුවිල්ලයි. මේ සිතුවිල්ල නිවැරදි ද? අපි නැවත නැවත සමාජයක් ලෙස ප‍්‍රශ්න කළ යුතුයි. ලහිරුගේ අම්මා තාත්තා මාධ්‍යයට කරුණු නොකීවත් අප මේ ගැන කතා කළේ ලහිරුගේ මරණය තවත් සිසුන් දහස් ගණකගේ ඉරණම එක්ක ගැටෙන නිසා. නායකත්ව පුහුණුව නමින් ව්‍යාජ ලේබලයක් අලවා සමාජය හමුදාකරණය කරන්න හදන වැඩසටහන නවත්වන්න දැන් කාලය හරි කියලාද ලහිරු අපිට මේ කියන්නේ.

තව කී දෙනෙක්

ජීවිත පරිත්‍යාග කළ යුතුද? – ජෝෂප් ස්ටාලින් , ලංකා ගුරුසංගමයේ ලේකම්

දැන් නායකත්ව පුහුණුව කියලා විදුහල්පතිවරුන්ට සති ගාණක පුහුණුවක් දීලා කර්නල් තනතුරු දෙනවා. ඒකම තවත් විදියකට විශ්වවිද්‍යාලවලට තේරුණ ශිෂ්‍යයන්ට දෙනවා. මේක සිිවිල් සමාජය හමුදාකරණය කිරීම කියලා අපි මුල ඉඳලාම විරුද්ධ වුණා. ඒ වාගේම සමාජයෙනුත් මේ වැඩමුළුවලට ලොකු විරෝධයක් ආවා. රජය ඒ කිසිදෙයක් ගණන් ගත්තේ නැහැ. අපි අහන්නේ මේ වැඩවලින් සමාජයට රටට සේවයක් වෙලා තියෙනවාද, මේවා ඵලදායි ද කියලා. අපිට දැනගන්න තියෙන විදියට මේකේ කිසිම ඵලදායිතාවක් නැහැ. ඒත් මේක තවදුරටත් කරගෙන යනවා. දැනට එක විදුහල්පතිවරයෙක්, ශිෂ්‍යයන් දෙදෙනෙක් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා. දැනගන්න තියෙන විදියට 500ක් විතර තුවාල ලබලා තියෙනවා. අපි රජයෙන් අහන්නේ මේ වුවමනා නැති වැඩ නතර කරන්න තව කීදෙනෙක් ජීවිත පරිත්‍යාග කළ යුතු ද කියලා.

ඊළගට ඔබේ දරුවා විය හැකියි – සංජීව බණ්ඩාර , අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු

මේ හමුදා පුහුණුව උසස් අධ්‍යාපනයට වැදගත් වන දෙයක් නොවෙයි. ඒක මූලධර්මානුකූලවත් උසස් අධ්‍යාපනයත් එක්ක සමගාමී වෙන්නේ නැහැ. මේකට සිවිල් සමාජයත් විරුද්ධයි. එහෙනම් ඇයි මෙවැනි ව්‍යාපෘතියක් ආණ්ඩුව පවත්වාගෙන යන්නේ. හේතුව පැහැදිලියි. ඒ තමයි තමන්ගේ ඉදිරි පැවැත්මට එක`ගවෙන නිවට පරපුරක් නිර්මාණය කර ගැනීම. මේ බලහත්කාර නායකත්ව පුහුණුවෙන් දැනට රටට වටිනා ජීවිත තුනක් නැතිවෙලා තියෙනවා. මේවා ස්වාභාවික මරණ නොවෙයි. හමුදා හිංසනය නිසා ඇති වෙන මනුෂ්‍ය ඝාතන විදිහට තමයි අපි මේවා සලකන්නේ. එස්.බී. ඇමතිවරයාම පිළිඅරගෙන තියෙනවා දැනට 500කට වඩා තුවාල ලබලා තියෙනවා කියලා. ආබාධිත වෙලා තියෙනවා. ශිෂ්‍යාවෝ මේක නිසා ලිංගික හිංසනයට යටත් වෙමින් තිබෙනවා. ඒ නිසා ජනතාවට අපි කියන්නේ මේ කි‍්‍රයාවලිය නතර කරන්න පෙරට එන්න කියලා. මොකද හෙට දවසේ ඔබගේ වටිනා දරුවා මේකට බිලිවෙන්න පුළුවන්.

කාලයක් තිස්සේ තිබුණ රෝගී තත්ත්වයක් – රුවන් වනිගසූරිය,යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක

අපි ගන්නෝරුවේ පුහුණුව පටන් අරගෙන සති දෙකක් විතර ගියාට පස්සේ නිවාඩු දවසක තමයි මෙයා බඬේ දැවිල්ලක් ගැන කියලා තියෙන්නේ. එයා ඒ වෙලාවේ කියලා තියෙනවා එයාට ගැස්ට‍්‍රයිටීස් තියෙනවා කියලා. ඒ අනුව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළු කරනවා. එහිදී පරීක්ෂණ කරන වෛද්‍යවරුන් සොයාගෙන තියෙනවා මේ බඬේ අමාරුව ඇති වෙන්නේ මහා ප‍්‍රාචීරයේ උදර කුහරයේ අවයව විසින් උරස් කුහරයේ අවයව තෙරපීම නිසා කියලා. එනිසා එයාලා ඔපරේෂන් එකක් කරන්න නියම කරනවා. ඒක සිදුකරලා දින දෙකකට පස්සේ ලහිරු නැතිවෙනවා. ඒ නිසා මේ මරණයට හේතුව මේ පුහුණුව නොවෙයි. කාලයක් තිස්සේ පැවතුණු මේ රෝගය. අපි මේ අවමංගල්‍යයට උදව් කළා. ඉදිරියේදී නිවසක් හදාගන්න උදව් කරනවා. ඒ ලහිරුගේ තාත්තා දැනට සිවිල් ආරක්ෂක බලකායේ සේවය කරන නිසා.