රවිරාජ් ඝාතන පරීක්ෂණ පමාව නාවික හමුදා නීති උපදේශකට චෝදනා

කේ.සංජීව

2006 නොවැම්බර් 10 වැනි දින වෙඩිතබා ඝාතනය කරන ලද යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ එම ඝාතනය පිළිබඳව කෙරෙන පොලිස් පරීක්ෂණ සහ ඉදිරි නීති ක‍්‍රියාමාර්ග සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නාවික හමුදාවේ නීති උපදේශක රියර් අද්මිරාල් ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු විසින් අඩපණ කරනු ලැබ ඇති බවට සැක පළවන්නේ යැයි පොලිස් ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි.

රවිරාජ් ඝාතනය කර අවුරුදු 9ක් ගිය පසු පසුගිය කාලයේ එම ඝාතනයට අදාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් නාවික හමුදා සාමාජිකයන්ය. මෙම අත්අඩංගුවට ගැනීමත් සමග පරීක්ෂණ නාවික හමුදාව දෙසට යොමු වූ අතර එහිදී අදාළ පරීක්ෂණවලට නිසි සහාය නාවික හමුදාවෙන් නොලද බව වාර්තා වෙයි.

නීතිපති උපදෙස් මත නාවික හමුදාව කටයුතු කරන බවද නාවික හමුදාව අතහැර ඉතිරි විමර්ශන කරන ලෙසද පරීක්ෂණ සඳහා නාවික හමුදාවෙන් සහාය ඉල්ලූ විට ලැබුණු පිළිතුර වූ බවද එම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. කෙලෙසක හෝ මෙම පරීක්ෂණ මේ වනවිට සාර්ථක අවසානයකට ළංවී ඇති අතර, එහි ඉදිරි අත්අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම් ආදිය නීතිපති දෙපාර්තමේන්තුවේ නිසි ක‍්‍රියාමාර්ග ඉක්මනින් නොගැනීම මත ප‍්‍රමාද වෙමින් තිබේ. මෙම ඝාතනයේ සමහර සැකකරුවන් හමුදාව සමග කටයුතු කළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බවද දැනගන්නට තිබෙන අතර නීති උපදෙස් ප‍්‍රමාද වීම නිසා මේ වනවිට ඔවුන් රට අතහැර ගොස් ඇතැයි ද වාර්තා වෙයි.

මෙම චෝදනා පිළිබඳව රාවය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රියර් අද්මිරාල් ශවේන්ද්‍ර ප‍්‍රනාන්දුගෙන් විමසීමේදී ඒ මහතා මූලිකවම ප‍්‍රකාශ කළේ චෝදනා සියල්ල ප‍්‍රතික්ෂේප කරන බවය. තමන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තනතුර මෙන්ම නාවික හමුදාවේ නීතී උපදේශක යන තනතුරට සමාන ජජ් ඇඞ්වකේට් ජනරාල් තනතුරද දරන බව ප‍්‍රකාශ කරන ඒ මහතා තමන් මෙම තනතුරු දෙකම එකවර දැරුවත් ඉහත පරීක්ෂණවලට කුමන පාර්ශ්වයක් ඔස්සේවත් මැදිහත් වී පරීක්ෂණ අඩාල කරන්නට කිසිදු උත්සාහයක් නොගත් බවද ප‍්‍රකාශ කළේය.

එක් පුද්ගලයකු මෙවැනි රජයේ වගකිව යුතු තනතුරු දෙකක් දැරීම හා එය මෙම පරීක්ෂණවලට අදාළ වන ආකාරය පිළිබඳව නීතිවේදී එල්මෝ පෙරේරාගෙන් කරුණු විමසීමේදී ඒ මහතා ප‍්‍රකාශ කළේ එකවර මෙවැනි තනතුරු දෙකක් දැරීම නීතිවිරෝධී මෙන්ම සදාචාර විරෝධී බවය.

මෙවැනි තත්ත්වයකදී එක් පාර්ශ්වයකටවත් 100% පක්ෂපාතීත්වයක් දරන්නේ කෙලෙසක දැයි ප‍්‍රශ්න කරන ඒ මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු ලෙස තීන්දු තීරණ ගන්නට තිබෙන පසුබිම තුළ එයට සපුරා පටහැනි අරමුණු සහිත තවත් ආයතනයක එවැනි තනතුරක වැඩ කරන්නේ කෙලෙසක දැයි ප‍්‍රශ්න කරයි. දෙතැනක වැඩකර එක් ආයතනයකින් වේතනය ලැබුවත් නාවික හමුදාවේ අදාළ තනතුරට හිමි වරප‍්‍රසාදයන්ද ඔහු ලබා ගනිමින් සිටිනවා ඇතැයි ද ඔහු තවදුරටත් ප‍්‍රකාශ කළේය. රාවය මෙම චෝදනා පිළිබඳව සහ අදාළ නීති උපදේශක තනතුර පිළිබඳව නාවික හමුදාවේ මාධ්‍ය ප‍්‍රකාශක ඒ.අයි.ඞී.බී.සිල්වා මහතාගෙන් කරුණු විමසීමේදී ඔහු ප‍්‍රකාශ කළේ අදාළ පුද්ගලයා නාවික හමුදාවේ නීති උපදේශක බව තමන් දන්නා බවත් ඊට එහා දෙයක් මේ සම්බන්ධයෙන් නොදන්නා බවත්ය.