ජාත්‍යන්තර තෙරපුම: නැතිවම බැරි අලගුවක්

ආඥාදායකයෝ තමන් නිදහස් කර ගනිති. එහෙත් ජනතාව වහලුන් බවට පත්කරති: චාර්ලි චැප්ලින් (ද ඩික්ටේටර්)

‘‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමු ද ඒ අමාරුව?’’ ඒ, සිංහල භාෂාවේ එන සාරවත් ආප්තයකි. ආරක්ෂකයන් වශයෙන් බලය ලද්දන් එම බලය අයථා ලෙසින් පරිහරණය කරන විට ඇති වන නෂ්ටාපේක්ෂ ඛේදවාචකයේ උභතෝ කෝටිකය එයින් මනාව පළකෙරේ.

මේ උභතෝකෝටිකය, ලංකාවේ උතුරත් දකුණත් දෙකම දැන් දැන්, වැඩියෙන් අත්දකිමින් සිටී. ස්වාධීන අධිකරණයක්, අපක්ෂපාතී පොලීසියක් සහ නිදහස් මාධ්‍යයක් නැති තැන, සාමාන්‍ය මිනිසාට සහ අසරණ මිනිසාට ඇති හව්හරණය කුමක් ද? යුක්ති ධර්මයේ ආයතනම අයුක්තියට හැරෙන විට, ජනතාව වන අප හැරෙන්නේ කා වෙතට ද?

රාජපක්ෂ පාලනය යටතේ, බල අපහරණය, අසාධාරණය සහ දණ්ඩ මුක්තිය (දඬුවමෙන් වැළැකී අපරාධ කිරීමට ඇති නිදහසෙ) වනාහි, හුදෙක් දෙමළ (මුස්ලිම්) ජනතාවගේ ප‍්‍රශ්න පමණක්ම නොවන්නේය: ඒවා, සිංහල බෞද්ධයන්ගේ ද වන්නේය. පෞද්ගලික අංශයේ සේවකයන් මත රාජපක්ෂ ආණ්ඩුවෙන් බලහත් කාරයෙන් පටවන්ට ගිය චෞරතාන්ත‍්‍රික විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව සාමකාමී විරෝධය පෑ නිදහස් වෙළඳ කලාපයේ රොෂාන් චානක ඝාතනය කළ මිනීමරුවන් සේම, වැලිවේරියේ නිරායුධ පෙළපාලිකරුවන් තිදෙ නෙකු ඝාතනය කළ පදක්කම්ලාභී ‘යුද විරුවන්’ ද, නීතියෙන් ගැලවෙනු ඇත. රාජපක්ෂ පාලනයේ මේ බල අපහරණයට, රටේ ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුව හෝ අධිකරණය තබා ආගම සහ සදාචාරයවත් පරහට නොසිටින තත්ත්වය තුළ, එක දෙයක් පමණක් (දැනට) හරහට සිටී. ඒ වනාහි, ජාත්‍යන්තරයෙන් එල්ල වන මනා ඉලක්කගත අනවරත තෙරපුමයි. බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතනය කිරීම ගැන රාජපක්ෂ හෙංචයි යෙකු වන තංගල්ල ප‍්‍රාදේශීය සභාපතිට එරෙහිව දැන් නඩු පැවරෙන්නේත්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය කටුගෑ බලයෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තටු කැපීමෙන් පාලකයන් වළක්වනු ලැබූවේත්, දේශීය නොවන එවැනි බලගතු ආරක්ෂකයකු සිටි බැවිනි. උතුරේ දමිළයන් සහ දකුණේ සිංහලයන් මෙන්, කුරාම් ෂයික් ශ‍්‍රී ලාංකිකයෙක් නොවේ. (දුමින්ද සිල්වා වරිගයේ අය සිංහ සෙය්‍යාවෙන් නිදහසේ සැරිසරද්දී) චන්ද්‍රපුෂ්ප මහතා (තංගල්ල ප‍්‍රාදේශීය සභාපති) අද රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ, ඒ කාරණයත්, ඊට අමතරව, යුක්තිය වෙනුවෙන් ඔහුගේ බි‍්‍රතාන්‍ය පවුල් සාමාජිකයන් සහ ඔහුගේ මන්ත‍්‍රීවරයා ගෙන ගිය අරගලයත් නිසාම පමණි.

රාජපක්ෂලාගෙන් විපතට පත් කිසිවෙකුට, නොනවතින ජාත්‍යන්තර තෙරපුමකින් තොරව, මෙලෝ යුක්තියක් අපේක්ෂා කළ හැකි නොවේ. එය, යුද්ධයක් දිනූ හමුදාපතිවරයා සහ රටේ ඉහළම විනිසුරුවරිය ස්වකීය දුෂ්කර ක‍්‍රියාවන්ගෙන්ම ඔප්පු කොට තිබේ.

ජෙනරාල් සරත් ෆොන්සේකා, ‘මානව ක‍්‍රියාන්විතය’ සූක්ෂ්මාන් විතව සැලසුම් කෙළේය. 300,000 ක් දෙමළ ජනතාව විවෘත කඳවුරු තුළ නීති විරෝධීව හිරකර තැබීම අනුමත කොට ඉවසුවේය. අනතුරුව, රාජපක්ෂගේ යගදාවට ඔහුමත් යට විය. ඊට එරෙහිව ඔහු ඉල්ලා අස්වී විපක්ෂයට එක් වූ විට, රාජපක්ෂ සහෝදරවරු රාජ්‍ය යන්ත‍්‍රයේ සකල බලය ඔහුට එරෙහිව මුදා හැරියහ. ත‍්‍රස්තවාදියෙකු සේ අත්අඩංගුවට ගනු ලැබ, රාජපක්ෂ සහ ඔහුගේ පවුල ඝාතනය කිරීමට සහ ආණ්ඩුව පෙරැුලීමට කුමන්ත‍්‍රණය කිරීමේ චූදිතයෙකුගේ තත්ත්වයට එවිට ඔහු පත්වුණි. ‘මානව ක‍්‍රියාන්විතය’ සහ ‘සුභසාධන ගම්මාන’ වැනි කෙප්ප ගණයටම මේ චෝදනා ද ඇතුළත් වන බව ඔප්පු වුණේ, නිල ඇඳුමේ සිටියදී විපක්ෂය සමග බජනයට ගියේ යැයි ද, අයථා ලෙසින් බලය පාවිච්චි කොට සිය ව්‍යාපාරික බෑනාගේ වාසියටත් ඔහු කටයුතු කොට ඇතැ යි ද යන චෝදනාවන්ට ලක්වූ විට ය.

හිටපු යුද හමුදාපතිවරයාට සහ සිටින අගවිනිසුරුවරියට සාධාරණ නඩු විභාගයක් නොදෙන පාලන තන්ත‍්‍රයක්, තම අතපල්ලෙන් වැටී ඇතැ යි ඔවුන් සිතන සාමාන්‍ය ජනයාට යුක්තියක් පිරිනමති’යි තාර්කිකව සිතිය නොහේ.

විවිධ බලපෑම් නිසා, රාජපක්ෂලා යුක්තිය ඉටු කෙරෙති’යි ඉඳහිට පෙනී යන විටත්, එය ද අවසන් වන්නේ මායාවකින්මය. බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන්ට අදාළ සිදුවීම් 16 ක් සම්බන්ධයෙන් විමසා බැලීමට පත්කළ ජාතික කොමිසමට සහාය වීම පිණිස, ජනාධිපති රාජපක්ෂ 2007 දී ස්වාධීන ජාත්‍යන්තර විද්වත් කණ්ඩායමක් වශයෙන් ජාත්‍යන්තර විශේෂඥයන් 11 දෙනෙකුට ලංකාවට එන්නැ යි ආරාධනා කෙළේය. එහෙත් හැම විටම උඩුබුරන රාජපක්ෂ අතවැස්සෝ, 2008 වන විට, මේ විද්වතුන්ව රටෙන් පන්නා ගත්හ. අන්තිමේ දී, ඔවුන් සිය අවසාන වාර්තාවේ ඒ ගැන කියමින්, ‘ආණ්ඩුවේ ආයතන මගින් තමන් පත්කළ ගැටුම්කාරී සහ අසම්මිතික පරිසරය..’ ගැන සඳහන් කොට තිබුණි. කෙසේ වෙතත්, එදා සොයා බැලීමට නියමිතව තිබූ සිදුවීම් අතරින් එකක් වන ත‍්‍රිකුණාමලේ ශිෂ්‍යයන් පස් දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගිය දා 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන ආණ්ඩුව මහ ඉහළින් අඬබෙර ගැසුවේය. එහෙත් මේ ඝාතනයේ මහ මොළකාරයා වශයෙන් ‘මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය’ එදා සිට හඳුනාගෙන සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ජයසේකර එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරේ නැත. ඒ වෙනුවට ඔහු අද, එම ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේම නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් විරාජමානව සිටී.

උතුරෙන් උපත ලද දණ්ඩ මුක්තිය, අද වන විට රටම වෙළාගත් ජාතික ව්‍යාධියකි. එය, වැලිවේරියේ වෙඩි තැබීම වැනි දේශපාලනික ප‍්‍රචණ්ඩත් වයන් සහ තද සිංහල බෞද්ධ පළාත්වල පවා පොලීසියෙන් කෙරෙන වධහිංසා පැමිණවීම්/ ඝාතනයන් ඉහළ යාන ප‍්‍රවණතාවෙන් පමණක් නොව, දැනට හමුදා සේවයේ සිටින සහ සේවය අතහැර ගිය නිලධාරීන් විසින් සාමාන්‍ය පුරවැසියන්ට එරෙහිව සිදු කෙරෙනු ලබන අදේශපාලනික අපරාධයන් ද ඉහළ ගොස් තිබීමෙන් මනාව පෙන්නුම් කෙරේ. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නිමල් මැදිවකට අනුව: ‘‘යුද්ධයේ උච්ච අවස්ථාවේ දී පෙරමුණට යැවූ සොල්දාදුවන් වැඩි හරියක්, ග‍්‍රාමීය දුප්පත් පවුල්වලින් හමුදාවට පැමිණි අයයි. එහෙත්, සක‍්‍රිය යුද්ධයේ කොටස්කරුවන් බවට පත්වීමෙන් පසුව මේ අය ආපසු ගමට ගියේ, බයහැක නැති, තද හිත් ඇති පිරිසක් වශයෙනි. නීතියෙන් ගැලවී, තමන්ට කැමැති දෙයක් කළ හැකි යැයි සිතන්නේ, එවැනි පුද්ගලයන් ය.’’

මැග්නිට්ස්කි විකල්පය

මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික යෝජනා පාර්ලි මේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂයට ඇති අවසරය වනාහි, බහුතරයට ස්වකීය මනාපය කරගෙන යාමට ඉඩ ඇතත්, ස්වකීය මනාපය ප‍්‍රකාශ කිරීමට සුළුතරයට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නියෝජන ක‍්‍රමයක් අනුයන එක් යාන්ත‍්‍රණයකි. එහෙත් අධිකරණමය දෝෂාභියෝග සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ කෙටුම්පත් යෝජනාවට ආණ්ඩු පක්ෂය දැක්වූ රළු ප‍්‍රතිචාරයෙන් පෙන්නුම් කෙළේ, එවැනි නිසරු ආයිත්තමක් පවා රාජපක්ෂලාට දිරවා ගත නොහැකි තරමයි.

පවුල්වාදී රදළ ආණ්ඩුවකට ස්වාධීන අධිකරණයක් සමග සහවාසය කළ නොහේ. ඉහත කී දෝෂාභියෝගය, ඉහළ උසාවිවල විනිසුරුවරුන්ගේ නිරන්තර යටහත් පහත්භාවය සහතික කරගනු වස් රාජපක්ෂලා සතුව ඇති ‘න්‍යෂ්ටික නිවාරකයයි’. එසේ හෙයින්, අනාගතේ දී අයුක්තිසහගත සහ අසාධාරණ අන්දමින් දෝෂාභියෝග අවිය අවභාවිතයේ යෙදවීම වැළැක්වීමේ අරමුණ පෙරදැරිව විජේදාස රාජපක්ෂ ගෙනා යෝජනාව නීතියක් බවට පත්වීමට රාජපක්ෂලා කිසි සේත් ඉඩ නොදෙනු ඇත. එසේ වතුදු, පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව සතු විශාල බහුතරය අනුව, කිසි අවදානමකින් තොරව මේ යෝජනාව සභාගත කිරීමටත්, ඒ ගැන විවාද කිරීමටත් ඉඩ දිය හැකිව තිබුණි. එළැඹෙන ජිනීවා සැසිවාරය තුළ විපක්ෂය සමග තනි බලඇණියක් වශයෙන් ජාත්‍යන්තරයට මුහුණදීමට ආණ්ඩුව දක්වන කැමැත්ත ඉදිරියේ එවැනි ක‍්‍රියාමාර්ගයක් වඩාත් සබුද්ධික වන්නට තිබුණි. එහෙත් ආණ්ඩුව ඒ වෙනුවට කෙළේ කුමක් ද? අගමැති සිහිනය දකිමින් සිටින නිමල් සිරිපාල ද සිල්වා, එම යෝජනාව සභාගත කිරීමට පවා විරෝධය දැක්වීය. එහි දී, නියෝජ්‍ය කතානායකවරයා විසින් එම කාරණය ගැන, එනම් එම යෝජනාව සභාගත කරන්නේ ද නැද්ද යන්න ගැන ඡුන්දය විමසීමෙන් අනතුරුව, එම යෝජනාව සාකච්ඡුාවටවත් නොගෙන වීසි කෙරුණි. පළාත් පාලන ආයතන තුළ කාන්තා ප‍්‍රතිශතය අවම වශයෙන් සියයට 30 ක්වත් පවත්වා ගැනීම සඳහා රෝසි සේනානායක ගෙනා පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කෙළේ ද, අනිකාගේ අදහස් නොඉවසනසුලූ එවැනිම දඩබ්බර ආකාරයකිනි. එය නීතිපතිවරයා වෙත මුලින් ඉදිරිපත් කොට නොතිබුණේ ය යන තර්කය මත එම යෝජනාවත් සාකච්ඡුාවට නොගෙන වීසි කෙරුණි.

ජාතික තලයේ කිසි විසම්මුතියක් නොඉවසනසුලූ ඔවුන්ගේ චර්යාවත්, සකලකළමනාව සිය ග‍්‍රහණයේ රඳවා ගැනීමට ඔවුන් දක්වන අධිකතර ළැදියාවත් මගින් පෙන්නුම් කරන්නේ, විපක්ෂයටවත්, පාර්ලිමේන්තුවේ ගෞරවනීය සම්ප‍්‍රදායටවත් මොනම බුරුලක්වත් දීමට රාජපක්ෂ සහෝදරවරුන් තුළ ඇති නුසූදානමයි. විපක්ෂ මන්ත‍්‍රීවරුන් මුළුමණින් දණගැස්වීම ඔවුන්ගේ අපේක්ෂාව ය. ඒ අනුව, කිසි ආපදාවක් නැති පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් පාර්ලිමේන්තු පුස්තකයට ඇතුළත් කර ගැනීමට පවා විපක්ෂය තමන් පස්සෙන් එන තත්ත්වයට කටයුතු සැලැස්වීමට ඔවුන් ප‍්‍රිය කරනු ඇත. දේශපාලනික, ආර්ථික සහ සමාජයීය වශයෙන් සර්වබලධාරී වීම රාජපක්ෂගේ ඒකායන සිහිනයයි. බලය ආපසු දීමට රාජපක්ෂලාට උවමනාවක් නැත. මන්ද යත්, විශාල වන්දියකින් තොරව, සැබවින්ම හෝ රූපකාර්ථයෙන්, ආපසු සාමාන්‍ය තත්ත්වයට යෑමට ඔවුන්ට පුළුවන්කමක් නැති බැවිනි. බලයට ඇති ඒ රාජපක්ෂ ඇබ්බැහියේම නොවැළැක්විය හැකි අනිත් පැත්ත වන්නේ, ඉවක්බවක් නැති බල අපහරණයත්, දණ්ඩ මුක්තියත් ය. යම් ප‍්‍රශ්නයකින් වාසියක් ලබන කිසිවෙකු සිය කැමැත්තෙන්ම එම ප‍්‍රශ්නය විසඳතැ යි අපේක්ෂා කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

පවතින ආණ්ඩුව වෙනස් කර ගැනීම සාමාන්‍ය ලාංකිකයන්ට අයත් කාර්යයකි. එහෙත් රාජපක්ෂලා විසින් බලය සීමාන්තික අන්දමින් පරිහරණය කිරීම වැළැක්වීමට ලෝකයා සහාය විය යුතුව තිබේ. මැග්නිට්ස්කි පනතට) ස්තුතිවන්ත වන්නට, සාමාන්‍ය ලාංකිකයන්ට හානියක් නොකොට රාජපක්ෂලාට පාඩමක් ඉගැන්වීමට ජාත්‍යන්තරයට පිළිවන. සහෝදරයන් තුන් දෙනාගෙන් දෙන්නෙකුම ඇමරිකානු පුරවැසියන් යැයි කියන තත්වය තුළ, ඔවුන්ට එරෙහිව ගමන්බිමන් සහ වත්කම් තහනමක් පැනවීම, ජිනීවා යෝජනා සම්මත කර ගැනීමකට වඩා ප‍්‍රයෝජනවත් වන්නේය.

2012 දී සම්මත කර ගත් මේ ඇමරිකානු පනතට අනුව, බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන්ට සම්බන්ධ රුසියානු පුරවැසියන් ඇමරිකාවට පැමිණීම තහනම් කෙරෙන අතර, ඔවුන් සතුව ඇමරිකාවේ තිබූ දේපළ ද රාජසන්තක කෙරේ. (පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්)