Untitled-1

Untitled-1

ජාතික ආණ්ඩු වංගුව


කුසල් පෙරේරා

යහපත් පාලනයක් සඳහා රාජපක්ෂ පාලනය අවසන් කරගැනීමට බලාපොරොත්තු වූ ජනතාවට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුකර ඇත්තේ අතරමං කිරීමකි. රාජපක්ෂ පාලනය වෙනුවට වැදගත් ශිෂ්ට පාලනයක් පිහිටුවන්නට මුලින්ම කළ යුතුව තිබූයේ විධායක ජනාධිපති ධුරයට ලබාදී තිබූ මුක්තිය ඉවත් කිරීම ය. එහෙත් එය ඉවත් නොකිරීම දැනුවත්ව කෙරුණකි. ජනාධිපති රාජපක්ෂ පැරදවීම වෙනුවෙන් ඉතාම ජනපි‍්‍රය සටන් පාඨය වූ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමත් 19 න් සිදු නොවුණකි. රාජපක්ෂ යුගයේ වූ යෝධ ඇමති මණ්ඩල ගැන සමාජයේ තිබූ අප‍්‍රසාදය සහ විරෝධයද 19 න් සූක්ෂ්ම ලෙස මග හැර එයම කිරීමේ ව්‍යවස්ථාමය ඉඩ තබා ගෙන ඇත. එය රාජ්‍ය නායක ජනාධිපති සිරිසේනගේත් ආණ්ඩුවේ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහගේත් ජනතා විමුක්ති පෙරමුණෙහිත් එගකත්වය ඇතිව කෙරුණකි.

සමාජ අප‍්‍රසාදය සහ විරෝධය වෙනුවෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ 46(1) ව්‍යවස්ථාව ලියා සම්මත කෙරුණේ, ‘46. (1) (අ)අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරයන් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතු ය: (ආ) අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාවේ එකතුව හතලිහ නොඉක්මවිය යුතු ය.’ යනුවෙනි. රාජපක්ෂ යුගයේ මෙන් යෝධ ඇමති මණ්ඩල මින් මනත නැතැයි ඉන් සියල්ලෝ සතුටු වූහ. රැුවටිල්ල ඇත්තේ ඒ සතුට කෙළවර වන තැනය. ඒ ගැන ලියන්නට පෙර මෙම ඉලක්කම් සතු බොල් බව ගැනද කතා කළ යුතුව ඇත.

එම ව්‍යස්ථා සංශෝධනයට අනුව, මෙවර මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාව දිනාගත් එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ තනි ආණ්ඩුවක් පිහිටුවූයේ නම්, ඔවුන්ගේ ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව 70 ඉක්මවන්නට නොහැක. එහෙත් ඔවුන් දිනා ගත් ආසන සංඛ්‍යාව 106 කි. ඉන් 70 ක් ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් වන විට එහි තේරුම වන්නේ තේරිපත් වූ මන්තී‍්‍රවරුන්ගෙන් තුනෙන් දෙකක් (2/3)ම අධිබලයට හා වරප‍්‍රසාදවලට ගොඩවන බව ය. ඇත්ත ප‍්‍රශ්නය වන්නේ එවැනි යෝධ ඇමති මණ්ඩල මිලියන 20 ක ජනගහනයක් වන අපට අවශ්‍යයද යන්න ය.

ඉන්දියානු ජනගහනය 1,236,344631 (බිලියන 1.24) කි. එරට මන්මෝහන් සිංගේ ආණ්ඩුව ඇමතිවරුන් 77 කින් පාලනය ගෙන ගියේය. වත්මන් නරේන්ද්‍ර මෝඩි ආණ්ඩුවෙහි ඇත්තේ ඇමතිවරුන් 66 කි. අපගේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි 46(1) අනු ව්‍යවස්ථාව ඉන්දියාවට අදාළ කර ගණන් හැදුවහොත් ඉන්දියානු ඇමති මණ්ඩලයට ඇමතිවරුන් 4,300 ට වඩා සිටිය හැක. 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් නිදහස් ලංකාවේ පිහිටුවූ පළමු ආණ්ඩුවේ සිට ගණන් බැලූවද මෙවැනි යෝධ අමාත්‍ය මණ්ඩල තබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් අපට නැත. අපේ දේශපාලනඥයන් ඔවුන් කියන ආකාරයට සැබැවින්ම අවංක නම්, උපරිම 15 ක ඇමති මණ්ඩලයකින් සහ නියෝජ්‍ය ඇමතිවරුන් 20 කින් පමණ අපට රට පාලනය ගෙන යා හැක.
එහෙත් ඔවුනගේ කියමන් හා කෙරුවාවන් අතර බරපතළ බොරුවක් ඇත. එනිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි සමාජ විරෝධය වෙනුවෙන් අඩංගු කළ 46.(1) (අ) සහ (ආ) අනු ව්‍යවස්ථාව නිශේධ කෙරෙන තවත් ව්‍යවස්ථාමය වංගුවක් ජනාධිපති සිරිසේනගේත් අගමැති වික‍්‍රමසිංහගේත් ජනතා විමුක්ති පෙරමුණෙත් එක`ගත්වයෙන් ඇතුළු කර ඇත. එහි කියන්නේ, ‘46(4). (1)වන අනු ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුව ද, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම හෝවිසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාවද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් සංඛ්‍යාවද නියෝජ්‍ය අමාත්‍යවරයන් සංඛ්‍යාවද පාර්ලිමේන්තුව විසින් තීන්දු කළ යුත්තේ ය.’ යනුවෙනි. එහි කි‍්‍රයාත්මක අරුත වන්නේ 46(1) හි සඳහන් සංඛ්‍යාවන් අඩු කළ හැක යන්න නම් නොවේ. ජාතික ආණ්ඩු ලේබලය ඔවුන්ට වැදගත් වන්නේ ඒ අරුතෙනි.

ජාතික ආණ්ඩු ගැන මැතිවරණ සමයේද කතා කෙරුණි. එහෙත් ජාතික ආණ්ඩුවක් සැබෑ ලෙස පිහිටුවන්නට බල කෙරෙන ජාතික වුවමනාවක් මැතිවරණයේදී සමාජය හමුවේ නොතැබුණි. සාධාරණය නොකෙරුණි. එනිසාම ඒ සඳහා වන වැඩපිළිවෙලක් හෝ ජනතාවට ඉදිරිපත් නොකෙරුණි. එබැවින් ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවක් හෝ වුවමනාවක් සමාජයට තිුූණේ යැයි තර්ක කළ නොහැක. එය කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවක් යනු කවර ගණයේ ආණ්ඩුවක්ද යන්න හෝ පැහැදිලි තේරුම් ගැනීමක් සමාජයේ නැත. එවැන්නක් ජනාධිපති හෝ ආණ්ඩුවේ ලොක්කන් තේරුම් කරන්නේද නැත.

ජාතික ආණ්ඩුවක් පිළිබඳව පළමු වරට කතා වන්නේ පළමු ලෝක යුද්ධය සමග කැනඩාවෙහි ය. බි‍්‍රතාන්‍යය වෙනුවෙන් යුද්ධයට සහාය දීමට සැලකිය යුතු කොටසක් අකමැති වූයෙන් අනිවාර්ය යුද සේවය කි‍්‍රයාත්මක කිරීම සඳහා 1917 දී කැනේඩියානු කොන්සවටිව් ආණ්ඩුව විපක්ෂයේ ලිබරල් පක්ෂය සමග හවුල්වී ‘යුනියනිස්ට්’ නම් සන්ධානයක් ලෙස 1920 තෙක් ආණ්ඩු පාලනය ගෙන ගියේය. එය ජාතික ආණ්ඩුවක් ලෙස හඳුන්වනු ලැබූයේ ‘ජාතික’ අවශ්‍යතාවක් වෙනුවෙන් විපක්ෂයද ආණ්ඩුවට හවුල් වූ හෙයිනි. ඉන්පසු 1929 ලෝක ආර්ථිකයේ මහා අවපාතය හමුවේ බි‍්‍රතාන්‍ය ආර්ථිකයද බරපතළ ලෙස කඩා වැටුණ හෙයින් කම්කරු පක්ෂ ආණ්ඩුව ගැන ජනතාව අතර විශ්වාසය හීන වන්නට විය. ආණ්ඩුවේ අයවැය හා ආර්ථිකය පිළිසකර කිරිම පිළිබඳව කම්කරු පක්ෂයේ සහ ආණ්ඩුවේද විශාල බෙදීම් ඇති විය. එනිසා 1931 අගෝස්තුවේදී කම්කරු පක්ෂ ආණ්ඩුව විසුරුවා හරිනු ලැබ, පාර්ලිමේන්තුවෙහි නියෝජනය වූ දේශපාලන පක්ෂ 03 – කොන්සවටිව්, ලිබරල් සහ කම්කරු පක්ෂය එකතුවී ඇමතිවරුන් 10කින් යුත් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත්හ. ඊළඟට ඇත්තේ දෙවන ලෝක යුද සමයේ අගමැති වින්ස්ටන්ට් චර්චිල්ගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවා ගනු ලැබූ ජාතික ආණ්ඩුව පිළිබඳ ජනපි‍්‍රය කතාව ය.

මේ කිසි අවස්ථාවක ජාතික ආණ්ඩු හදන්නට ඇමති මණ්ඩලයේ ඇමති සංඛ්‍යාව වැඩිකරන්නට සාකච්ඡුා නොතිබුණි. වැදගත්ම කාරණාව වන්නේ ඒ ජාතික ආණ්ඩු ඉතාම තාවකාලික අවශ්‍යතාවන් සඳහා වූ කෙටි කාලීන හවුල් ආණ්ඩු වීමය. එනිසාම ජාතික ආණ්ඩු හදන්නට ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නොවිණ. අපටද මේ ජාතික ආණ්ඩුව අවුරුදු 2 ට යැයි කියන්නේ නම් ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැත. එහෙත් අපේ ජාතික ආණ්ඩු පිළිබඳ ඇත්ත කතාව ඊට වෙනස් ය. එනිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි ජාතික ආණ්ඩු හැදීම නිත්‍ය කාරණාවක් ලෙස මෙලෙසින් දැන් ව්‍යවස්ථාවෙහි විස්තර කෙරෙන්නේ ය. ‘46(5). (4) වන අනු ව්‍යවස්ථාවේ කාර්යය සඳහා ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේ ය.’

එවැනි හෝ ජාතික ආණ්ඩුවක් හැදිය යුත්තේ කවර කාරණා සඳහාදැයි කොතැනකවත් සඳහනක් එනමුත් නැත. එහෙත් එලෙසින් හවුල් වන පක්ෂ සඳහා පාර්ලිමේන්තුවෙහි ඔවුන්ගේ වැඩි ඡුන්ද මත (2/3 ක වැඩි ඡුන්දයක් නොමැතිව) ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් සංඛ්‍යා අවශ්‍ය පරිදි වැඩි කරගන්නට ව්‍යවස්ථාවෙන් ඉඩ හදා ගෙනද ඇත. ප‍්‍රශ්නය මතු වන්නේ ආණ්ඩුවකට හවුල් වන පක්ෂ හෝ කණ්ඩායම් සංඛ්‍යාව අනුව අමාත්‍ය ධුර වැඩිවීම් සාධාරණය කෙරෙන තර්කය කුමක්ද යන්නෙහිය. අපේ රටේ 1947 පැවැත් වූ පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඞීඑස් සේනානායක අගමැති වන්නේද හවුල් ආණ්ඩුවකින් ය. ඞීඑස් සේනානායක හැදු එක්සත් ජාතික පක්ෂය ප‍්‍රභූ මුස්ලිම් නියෝජනයක්ද සිංහල මහ සභා නියෝජනයක්ද ලබා තිබූ අතර, ආණ්ඩුව හදන්නට අවශ්‍ය වූ බහුතරය ලබා ගන්නේ සමස්ත ලංකා ද්‍රවිඩ කොන්ග‍්‍රසය හවුල් කර ගැනීමෙනි. එහෙත් ඒ ආණ්ඩුවේ සිටියේ ඇමතිවරුන් 14 කි.
එතැන් සිට දසක 03 ක ආණ්ඩු පාලන සැලකුවහොත් 1960 ජූලි බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවෙහි සිටියේ ඇමතිවරුන් 16 දෙනෙකි. ඉන්පසු 1965 දී ඩඞ්ලි සේනානායක හැදූ ආණ්ඩුව හත් හවුල් ආණ්ඩුවක් විය. එහෙත් එනිසාම ඇමති මණ්ඩලය විශාල ඇමති මණ්ඩලයක් නොවුණි. එහි බණ්ඩාරනායක මැතිනියගේ ඇමති මණ්ඩලයේ සංඛ්‍යාවට වඩා වැඩියෙන් වූයේ එක ඇමතිවරයෙකු පමණි. සී.පී ද සිල්වාගේ ශී‍්‍ර.ල.නි.ස.පක්ෂයට ඇමතිකම් 2 ක්ද, මහජන පක්ෂය ලෙස පිලිප් ගුණවර්ධනට ඇමතිකමක්ද ෆෙඩරල් පක්ෂය වෙනුවෙන් සෙනෙට් සභික එම්. තිරුචෙල්වම්ට ඇමතිකමක්ද ඒ 17 ට ඇතුළුවිය. ඉන් පසු 1970 දී පිහිටවූ සභාග ආණ්ඩුවෙහි 1977 දක්වා පක්ෂ 3 අතර ඇමති මණ්ඩලය බෙදා ගැනීමේදී අලූතින් හැදු ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යාංශයද සමගින් එහි සිටියේ ඇමතිවරුන් 21 ක් පමණි.

එනිසා අද අප ප‍්‍රශ්නය මතු කළ යුත්තේ මේ රටේ ආණ්ඩු පාලනය සඳහා එදාට වැඩි විෂය ක්ෂේත‍්‍ර හා අවශ්‍යතා බිහිව ඇතිද යනුවෙන් ය. උත්තරය වන්නේ ‘‘නැත’’ යන්න ය. ඇත්තෙන්ම 1987 ට පෙර පාර්ලිමේන්තුව සතුව තිබූ වගකීම් ප‍්‍රමාණයෙන් කොටසක් පළාත් සභා වෙත පැවරීමෙන් පසු කොළඹ මධ්‍යම ආණ්ඩුවට දැන් අඩු ඇමති සංඛ්‍යාවකින් රට පාලනය කළ හැක. නිදසුනක් ලෙස, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයක් කොළඹ මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය නැත. සමාජ සේවා අමාත්‍යාංශයක් අවශ්‍යද නැත. රජයේ දෙපාර්තමේන්තුවක් රාජ්‍ය සංස්ථාපිත ආයතනයක් දෙකක් වෙනුවෙන් ඇමතිවරුන් පත් කිරීම විහිළුවකි. යළි නිදසුනක් ගන්නේ නම්, මහා මාර්ග, දුම්රිය සහ ගුවන් යන සියලූ විෂය ක්ෂේත‍්‍ර ප‍්‍රවාහන සහ මගී සේවා අමාත්‍යාංශය ලෙස තනි අමාත්‍යාංශයකට බාර කළ හැක.

එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග අනු ව්‍යවස්ථා 46(4) සහ (5) සම්මත කෙරුණේ කාර්යක්ෂම යහපාලනයක් වෙනුවෙන් නොවේ. මැතිවරණයේදී පොරොන්දු වූ කාර්යක්ෂම යහපාලනය සඳහා අවශ්‍ය වන්නේ යෝධ ඇමති මණ්ඩල සහිත ජාතික ආණ්ඩු නොවේ. අවශ්‍ය වන්නේ දියුණු වැඩපිළිවෙලක් සහ එය කි‍්‍රයාවට නැගීම සඳහා කැපවන අමාත්‍ය මණ්ඩලයකි. මෙය ඉතා පැහැදිලිවම ආණ්ඩුවට හවුල් කරගන්නා මන්තී‍්‍රවරුන්ට වරදාන පුදන්නට ‘ජාතික’යැයි හදා ගත් ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනයක් පමණි.