මාස තුනකට පෙර තෝරාගත් ජවිපෙ තුන්වැනි නායකයා

ජනතා විමුක්ති පෙරමුණේ තුන්වැනි නායකයා හැටියට පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක පසුගිය පෙබරවාරි 2වැනිදා පැවැති පක්‍ෂ සම්මේලනයේදී ඒකමතිකව තේරී පත්විය. ඔහුගේ පත්වීම ජවිපෙහි මෙන්ම පොදු විපක්‍ෂයේද අනාගත ගමන්මගේ නව පිබිදීමක් ඇතිකරන්නට තුඩුදිය හැකි බව දේශපාලන විචාරකයෝ කියති.

තේරුවේ මාස තුනකට කලින්

ජවිපෙ නායකත්වය සඳහා අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කරගනු ලැබුවේ මීට මාස තුනකට පෙර බව පක්‍ෂයේ ආරංචි මාර්ග කියයි. එහෙත් පසුගිය පෙබරවාරි දෙවැනිදා වන තෙක් පක්‍ෂයෙන් බාහිර කිසිවෙක් ඒ ගැන නොදැන සිටියහ. පසුගිය කාලය තුළ අනාගත ජවිපෙ නායකයා කවුරුද යන්න ගැන විවිධ මාධ්‍ය විවිධ මත පළකරනු දක්නට ලැබුණු අතර, ජවිපෙන් කැඞීගිය ඇමති විමල් වීරවංශගේ වෙබ් අඩවිය වන ලංකා සීී නිව්ස් ජනවාරි මස අවසානය වන විටත් නැවත නැවත කියා සිටියේ ජවිපෙ නායකත්වය සඳහා අනුර කුමාර දිසානායක හා ලාල් කාන්ත යන අය අතර මාරාන්තික තරගයක් පවතින බවයි. එහෙත් ඇත්ත වශයෙන්ම ඒ වනවිටද ජවිපෙ නායකයා තෝරාගෙන අවසන්ය. විවිධ මාධ්‍ය විසින් ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහගෙන් හා අනෙකුත් නායකයන්ගෙන් මීළඟ නායකයා කවුරුද යන්න ගැන විමසූ අවස්ථාවලදී ඒ බව හැඟවෙන කිසිම පිළිතුරක් නොදීමට ඔවුහු වග බලාගත්හ. එයින් ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂයක් වශයෙන් පවත්වාගෙන එන විනය පැහැදිලි වෙයි. අනෙක් දේශපාලන පක්‍ෂවල විවිධ මට්ටමේ පුද්ගලයන් පක්‍ෂ නායකත්වය ගැනත් විවිධ නිලතල ගැනත් පෙන්වන බලවත් මසුරුකම හා සසඳා බලන විට ජවිපෙ සාමාජිකයන් දක්වන දැඩි විනයසහගත බව ආදර්ශයට ගතයුතු තරම් එකකි.

කාමරයක් පිරෙන්න ෆැක්ස්

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ සිය නායකත්වයෙන් සමුගැනීමේ කතාවේදී දැක්වූ අදහස්ද පක්‍ෂ සාමාජිකයන්ගේ මෙන්ම පොදු මහජනතාවගේ ප‍්‍රසාදයට හේතුවී තිබේ. ඔහු කීවේ විප්ලවවාදීන් විශ‍්‍රාමගැන්වීමට සූදානම් නොවන ලෙසය. තම ජීවිතය අවසන් වන තුරු හෝ අවසන් කෙරෙන තුරු තමා විප්ලවවාදියකු ලෙස ජීවත්වනු ඇතැ’යිද ඔහු කියා සිටියේය. සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙ පාක්‍ෂිකයන්ගේ සම්භාවනාවට පාත‍්‍රවන නායකයෙකි. අතිශය නිහතමානී හා මිත‍්‍රශීලී නායකයකුවූ ඔහු පක්‍ෂයේ ලොකු කුඩා සියලූ දෙනාගේම සමීප චරිතයක් විය. පක්‍ෂ නායකත්වය දරමින් ප‍්‍රංශයේ ජීවත්වූ සමයේ පක්‍ෂයේ එදිනෙදා සියලූ කටයුතු සම්බන්ධයෙන් ඔහුගේ උපදෙස් හා මඟපෙන්වීම් ලංකාවට ආවේ ෆැක්ස් මාර්ගයෙනි. ඔහු ඒ කාලය තුළ පක්‍ෂයේ කටයුතු මෙහෙයවමින් එවූ ෆැක්ස් ප‍්‍රමාණය අඩි දහයයි දහයේ කාමරයක භාගයක් උස පිරෙන්නට තරම් විශාල බව ඔහුගේ කැපවීම ගැන අදහස් දැක්වූ ජවිපෙ නායකයයෙක් ලියුම්කරු සමග පැවසීය. ‘ෆැක්ස් එවීම සඳහා ඇඟිලි යොදාගන්නවා නම් ඔහුගේ ඇඟිලි ගෙවීගොස් තිබිය යුතුයි. ඔහු ඒ තරම් ෆැක්ස් මගින් පක්‍ෂය සමග ගනුදෙනු කළා. ඔහු නොවන්නට අසීරු අවස්ථාවකින් පසු ජවිපෙයක් නැවත ගොඩනොනැගෙන්නට ඉඩ තිබුණා, ඔහුගේ කැපවීම එතරම්යැ’යිද ඔහු කීවේය.

ජවිපෙ මීළඟ නායකයා වනු ඇතැ’යි බොහෝ මාධ්‍ය පළකළේ එහි ලේකම් ටිල්වින් සිල්වාය. සෝමවංශ අමරසිංහ මහතා හැරුණුකොට පක්‍ෂයේ වඩාත්ම ජනප‍්‍රිය අනෙක් ජ්‍යෙෂ්ඨයා නම් ඔහුය. පක්‍ෂය වැදගත් නිර්භීත තීරණයක් ගනිමින් තරුණ නායකයකුට පක්‍ෂයේ අනාගතය බාරදී තිබෙන බව පෙනෙයි. පසුගිය කාලයේ රටේ ඉතාම වැදගත් සමාජ දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් අනුර දිසානායක මහතා පෙනීසිටි ආකාරය ජවිපෙ සාමාජිකයන් නොවන්නා වුවද බොහෝ උගත්, මධ්‍යම පාන්තික පිරිස් අතර පිළිගැනීමට හා ප‍්‍රසාදයට ලක්වූ බව රහසක් නොවේ. අනුර කුමාර දිසානායක රටේ සාමාන්‍ය මිනිසුන්ගේ දරුවෙකි. එවැනි සාමාන්‍ය කෙනෙකුට පක්‍ෂයේ නායකත්වයට එන්නට අවස්ථාව ලැබුණේ ජවිපෙ දේශපාලන පිළිවෙත නිසා බව මහා සම්මේලනයේදී නායකයා ලෙස කතාකළ අනුර කුමාර දිසානායක මහතා කීවේය.

කුඩා තැන්වලින් ජීවිතය පටන්ගත්

‘මෙතන ඉන්න බොහෝ පිරිසක් ජීවිතය අහම්බෙන් බේරාගත් පිරිසක්. බොහෝ අය වධ කඳවුරුවල වේදනාවට ලක්ව තිබෙනවා. මේ පක්‍ෂයට අප ආවේ සමාජවාදය වෙනුවෙන්. වැඩකරන්නේත් සමාජවාදය වෙනුවෙන්. මැරෙන්නේත් සමාජවාදය වෙනුවෙන්. මගේ අප්පච්චි මැනුම් කම්කරුවෙක්. මගේ අම්මාට ලියන්න බැහැ. එහෙම මිනිස්සුන්ව මේ රටේ මහා ජාතික නායකයන් බවට පත්කරලා තියෙන්නේ කවුද? මේ පක්‍ෂය ඉතාම පහළ මට්ටමේ මිනිසුන් මහා පෞරුෂයක් සහිත මිනිසුන් ලෙස ගොඩනගා තිබෙනවා. අපි බොහෝදෙනා බලවත් පවුල්වල අය නොවේ. ධනවත් නම්බුකාර පවුල්වල උදවිය නොවේ. බොහෝ කුඩා තැන්වලින් ජීවිතය පටන්ගත් උදවියයි.

අපේ ජීවිතයත් පක්‍ෂය. අපේ පවුලත් පක්‍ෂය. අපේ හිතවතුනුත් පක්‍ෂය. අපේ පාසලත්, විශ්වවිද්‍යාලයත්, අධ්‍යාපනයත් පක්‍ෂයයි. අපේ විනෝදයත් පක්‍ෂය. අපේ සැනසුමත් පක්‍ෂයයි.’ ඔහු තවදුරටත් කීවේය

. පුතාට විතරයි පුළුවන්: පාලිත

මේ සතියේ ඉතාම ගර්හිත දේශපාලන චරිතය බවට පත්වූයේ එක්සත් ජාතික පක්‍ෂ මතුගම සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුමය. එජාපය විසින් බස්නාහිර පළාත් සභාව සඳහා නාමයෝජනා මණ්ඩලයට පත්කසිටියේ රේණුකා හේරත් මහත්මිය හා ගයන්ත කරුණාතිලක මහතාය. ඔවුන් හමුවීමට පැමිණි පාලිත තෙවරප්පෙරුම මහතා, මෙවර මැතිවරණය සඳහා තම පුතා මතුගම ආසනයෙන් තරග වදින්නට බලාපොරොත්තු වන බවත්, ඒ නිසා පුතා හැර මතුගමට වෙනත් කිසිවකුට නාමයෝජනා නොදිය යුතු බවත් කීවේය. එහෙත් ඒ වන විට නාමයෝජනා මණ්ඩලයට මතුගමින් තවත් දෙදෙනෙකුගේ නම් යෝජනා වී තිබිණි. එක් යෝජනාවක් වූයේ සක‍්‍රිය පක්‍ෂ ක‍්‍රියාකාරිකයකුු වූ දොඩන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක උදිත ඉලේපෙරුමගේය. අනෙක, වරක් එජාප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකුව සිටි ප‍්‍රදේශයේ ධනවතකු වන ජගත් පින්නවලගමගේය. තෙවරප්පෙරුම මහතා මේ දෙදෙනාට අපේක්‍ෂකත්වය දෙනවාට බරපතළ ලෙස විරුද්ධ විය. ඔහුට වුවමනා වූයේ තම පුත‍්‍රයාට පමණක් මතුගම සීමාකරගැනීමටය. එහෙත් මතුගම ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය දේශපාලනඥයන් සියලූ දෙනාගේම නිර්දේශය වූයේ මේ තුන්දෙනාටම අපේක්‍ෂකත්වය දිය යුතු බවය. ඒ අනුව ජාතික නාමයෝජනා මණ්ඩලය, තෙවරප්පෙරුමගේ පුත‍්‍රයාටත් අනෙක් දෙදෙනාටත් නාමයෝජනා ලබාදීමට තීරණය කළේය. පසුව තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයාද තිදෙනාටම නාමයෝජනා ලැබීම ගැන සෑහීමට පත්වූ බවක් පෙන්විය.

උප්පැන්නේ වරදක්

එහෙත් පසුගිය 4වැනි අඟහරුවාදා කළුතර දිස්ත‍්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාර දීම බාරව සිටි කළුතර දිස්ත‍්‍රික් නායක අජිත් පී පෙරේරා මන්ත‍්‍රීවරයා තෙවරප්පෙරුම මහතාගේ පුත‍්‍රයා නාමයෝජනා අත්සන් කිරීමට පැමිණේයැ’යි බලාපොරොත්තුව සිටියත් ඔහු පැමිණියේ නැත. මුළු නාමයෝජනා ලැයිස්තුවට අපේක්‍ෂකයන් 25 දෙනකු ඇතුළත්වන අතර 24 දෙනකු අත්සන්කොට අවසන්වුවද තෙවරප්පෙරුම පුත‍්‍රයා ආවේ නැත. ඒ ගැන තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයාගෙන් විමසූ විට පුත‍්‍රයාගේ උප්පැන්න සහතිකයේ ප‍්‍රශ්නයක් තිබෙන බවත් එය නිවැරදි කරගෙන නාමයෝජනා අත්සන් කරන බවත් පිළිතුරු ලෙස කියැවිණි. දිස්ත‍්‍රික් නායක අජිත් පී පෙරේරා, 4වැනිදා සවස 1.30ට සිය නාමයෝජනා භාරදෙන බවට මැතිවරණ කොමසාරිස්ට දන්වා උදේ නවයේ සිට සිරිකොතේ බලා සිටියද තෙවරප්පෙරුම පුත‍්‍රයා පැමිණියේ නැත. මහලේකම් තිස්ස අත්තනායකද තෙවරප්පෙරුමගෙන් විමසූ කල ලැබුණේ ‘එනවා’ය යන පිළිතුරය.

අසභ්‍ය වචන හා පිහි

එදින දහවල් 12ට පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී රැුස්විය. ඒ අවස්ථාවට පැමිණි පාලිත තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයා සීමාවක් නැතිව පක්‍ෂ නායකයාටත්, නායකත්ව මණ්ඩලයටත්, අනෙක් සියලූ වගකිවයුත්තන්ටත් අසභ්‍ය වචනයෙන් බැණවදින්නට විය. ඔහු දැඩි ලෙස බීමත්ව සිටින බවද පෙනෙන්ට තිබුණි. ඒ අවස්ථාවේදී නායක රනිල් වික‍්‍රමසිංහ, ‘කරුණාකරලා ඔයාගේ පුතාව නාමයෝජනා අත්සන් කරන්න එවනවාද නැද්ද කියන්න’යි කියූ කල ඔහුගේ බැනීම වේගවත් විය. ඔහුගේ ඉණෙහි පිහියක් වැනි ආයුධයක්ද දක්නට ලැබුණු බව සිද්ධිය ඇසින් දුටු සමහර එජාප මන්ත‍්‍රීවරු කියති.

මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීම අවසන්වී පක්‍ෂ නායකයා ශාලාවෙන් පිටතට යනවාත් සමඟ ඔහු හඹා ගිය තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයා ඔහුගේ අතකින් ඇද පහරදීමට තැත්කළේය. ඒ අවස්ථාවේදී වහා මැදිහත්වූ රන්ජන් රාමනායක, තලතා අතුකෝරල, අකිල කාරියවසම්, අනෝමා ගමගේ, ගයන්ත කරුණාතිලක ඇතුළු කිහිපදෙනෙක් නායකයා ආපදාවෙන් ආරක්‍ෂාකරගත්හ. තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයා කිසියම් පසුබෑමකට ලක්වූයේ රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා ඉදිරියට පැන බාහුබලයෙන් ඔහු මැඬපවත්වන්නට තැත්කරන තත්ත්වයක් ඇතිවීමෙන් පසුව බවද ආරංචි මාර්ග කියයි.

රංගෙ බණ්ඩාර අරන් යයි

සිදුවීමෙන් පසු විපක්‍ෂ නායකයා පාර්ලිමේන්තුවෙන් පිටව ගිය අතර, තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයා තවත් දීර්ඝ වේලාවක් පාර්ලිමේන්තුවේ විවිධ ස්ථානවල රැුඳෙමින් හමුවන හමුවන සෑම කෙනකු සමගම පක්‍ෂ නායකයාටත්, කරු ජයසූරිය මහතා ඇතුළු සියලූ පක්‍ෂයේ වගකිවයුත්තන්ටත් නොනැවතී අසභ්‍ය වචනයෙන් බැනවදිමින් සිටියේය. පසුව ඔහුගෙන් ඇතිවිය හැකි ශාරීරික අවදානම ගැන සලකා මන්ත‍්‍රී රංගේ බණ්ඩාර තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයා පුත්තලමට රැුගෙන ගිය බව ආරංචි මාර්ග කියයි.

සිදුවීම සියැසින් දුටු එජාප පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා එදිනම සවස සිදුවීම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පක්‍ෂ නායකත්ව මණ්ඩලයට භාරදුන් බව දැනගන්නට තිබෙන අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවන්නට නියමිතව තිබිණි. ඔහු පක්‍ෂයෙන් නෙරපාහැරීමට තිබෙන ඉඩකඩද ඉතා වැඩි බව පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මේ අතර තෙවරප්පෙරුම පුත‍්‍රයාගේ නොපැමිණීම නිසා එක් පුරප්පාඩුවක් සහිතවූ කළුතර දිස්ත‍්‍රික් නාමයෝජනා පත‍්‍රය භාරදීම ගැන ගැටලූවක් මතුවූ අතර, දිස්ත‍්‍රික් ප‍්‍රධාන සංවිධායක අජිත් පී පෙරේරා මන්ත‍්‍රීවරයා, ඒ වනවිට නාමයෝජනා අයැදුම්කර මේ තරගය නිසා නාමයෝජනා අහිමිව සිටි, හොරණ ප‍්‍රාදේශීය සභාව 1997 සිට නියෝජනය කළ දේශපාලඥයකු වූ චන්ද්‍රදාස කළුබෝවිල මහතා සිය වාහනය යවා වහාම ගෙන්වාගෙන ඔහුට නාමයෝජනා ලබාදීමට එකඟත්වයක් ඇතිකර ගත්තේය.

ඒ අනුව සම්පූර්ණ කරන ලද කළුතර දිස්ත‍්‍රික් නාමයෝජනා පත‍්‍රය පසුගිය 6වැනි බ‍්‍රහස්පතින්දා භාරදීමට නියමිතව තිබිණ.

රවි නාමයෝජනා මණ්ඩලයෙන් අස්වෙයි

එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික නාමයෝජනා මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා, පෙබරවාරි 4වැනිදා ඉන් ඉවත්වෙමින් ඉවත්වීමට හේතු සඳහන් කළ නායක රනිල් වික‍්‍රමසිංහ ඇමතූ ලිපියක් සියලූ ජනමාධ්‍ය ආයතන වෙත බෙදාහැරියේය. අනෙක් දිස්ත‍්‍රික්කවල නාමයෝජනා සැකසීමේදී තිබූ විනිවිදභාවය කොළඹ දිස්ත‍්‍රික්කයේ නොතිබූ බවටත්, කොළඹ දිස්ත‍්‍රික් සංවිධායකගේ අදහස් එහිදී සලකා නොබලන ලද බවටත් ඔහු ලිපියෙන් චෝදනා කරයි. ඔහු ඉල්ලා අස්වූයේ නාමයෝජනා ම්ණ්ඩලයේ කාර්යභාරය අවසන්වූ පසුව බවද දැනගන්නට තිබේ.

කරුණානායක මහතා එජාපයෙන් නාමයෝජනා බලාපොරොත්තුවූ සිරස මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂවරයකුවූ එස්. මරික්කාර්ට නාමයෝජනා ලබාදීම ගැන දැක්වූ අකමැත්තේ ප‍්‍රතිඵලයක් ලෙස මෙස් ඉවත්වූ බවද දැනගන්නට තිබේ. කරුණානායක මහතාගේ ඉල්ලීමක් වූ කොළඹ නගරාධිපති මුසම්මිල්ගේ භාර්යාවට නාමයෝජනා නොලැබෙන තැන, මරික්කාර්ටද නාමයෝජනා නොලැබිය යුතුයැ’යි ඔහු කියාසිටි නමුත් තරුණ මාධ්‍යකරුවකු පක්‍ෂයට එකතුවීමෙන් ලැබෙන වාසිය සලකා නාමයෝජනා මණ්ඩලය මරික්කාර්ගේ නාමයෝජනාව පිළිගන්නටත් මුසම්මිල් බිරිඳ ඉවත්කරන්නටත් තීරණය කළේය. කරුණානායක මහතා සිරස මාධ්‍ය ජාලයේද ඉතාම සමීපතමයකු වන අතර, පසුගිය කාලයේ සිරසෙන් මාධ්‍ය ප‍්‍රචාරයක් ලද, එජාප කිහිප දෙනා අතර ඔහුද සිටියේය.