විසැති කැලණි ගඟ කොකාකෝලාවෙන් එහාට

තරිඳු උඩුවරගෙදර

බියගම කොකා කෝලා සමා ගමේ තෙල් නළයක් කැඞී කැලණි ගංගාවට තෙල් මුසුවීම නිසා කොළඹ ප‍්‍රදේශ කිහිපයක ජනතාවට පානීය ජලය ලබාදීමට අපහසු තත්වයක් උදාවීමත් පරිසරයට හානි සිදුවීමත් සම්බන්ධයෙන් පසුගිය කාල සීමාවේදී විශාල ආන්දෝලනයක් ඇති විය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් කොකාකෝලා සමාගමේ පරිසර ආරක්ෂණ බලපත‍්‍රය තාවකාලිකව තහනම් කොට තෙල් කාන්දුව සිදුවූ ආකාරය පිළිබඳව සොයා බැලූවේ ය. එහිදී ප‍්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මේ සිදුවීම සම්බන්ධයෙන් නිහඬව සිටීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ අතර අවසානයේදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් කොකාකෝලා සමාගමට නැවත පරිසර ආරක්ෂණ බලපත‍්‍රය ලබාදීමට කටයුතු කළේය. ප‍්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලින් මෙම ප‍්‍රශ්නය ගැන කතා කිරීමක් බලාපොරොත්තු විය නොහැක්කේ කෝටි ගණනක වෙළඳ දැන්වීම් මෙම සමාගම් හරහා ඔවුන්ට ලැබෙන නිසා ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හඬක් නැඟුවේ විකල්ප ජනමාධ්‍ය සහ සමාජ ජාල ක‍්‍රියාකාරීන් හරහාය. විවිධ සිදුවීම් සම්බන්ධයෙන් ප‍්‍රධාන ජනමාධ්‍යවල බලපෑමකින් තොරව නැගෙන මේ විකල්ප හඬ හොඳ තත්වයක් වුණත් ඇතැම් අවස්ථාවල අඩුපාඩුද දක්නට තිබුණි. ජනමාධ්‍යවල ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් නැගෙන විරෝධය යහපත් නමුත් අනෙක් පැත්තෙන් අප දුටුවේ කොකාකෝලා සමාගම වසා දැමිය යුතුය යන්න අන්තර්ජාලයේ නැඟුණු හඬයි. එහෙත් මඳක් ගැඹුරින් කල්පනා කළ යුත්තේ කොකාකෝලා සමාගම ගැන නොවේ කැලණි ගංගාව ගැනය. කැලණි ගංගාව සම්බන්ධ ගැටලූව කොකාකෝලා සමාගමට එහා දිව යන්නකි. එය අතිශය බරපතළ සෞඛ්‍ය සහ පරිසර ගැටලූවකි.

බලපත‍්‍රය ලබාදීම

කෙටියෙන් හෝ කොකාකෝලා සමාගමට බලපත‍්‍රය ලබාදීම ගැන යමක් කිව යුතුය. මෙය කොකාකෝලා සමාගම වෙනුවෙන් ලියැවුණු සටහනක් නොවන නිසාය. බලපත‍්‍රය යළි ලබාදීම සම්බන්ධයෙන් පරිසරවේදීහු පදනම් සහගත විරෝධයක් දක්වන්නෝය. පරිසරවේදී තිලක් කාරියවසම් ප‍්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නේදැයි සොයා බලන බවයි.

කොකාකෝලා සමා ගමේ තෙල් කාන්දුව සිදුවූ අවස්ථාවේදී එය කැලණි ගඟට ගලා එන්නේ ගඟ දෙසට යොමුව තිබුණු කාණුවක් හරහා ය. එයින්ම පැහැදිලි වන්නේ ගඟට කොකාකෝලා සමාගමේ අපද්‍රව්‍ය පිටකරන කාණුවක් ඇති බවයි. ඒ කාණු මාර්ගය වසා දමා මෙම කාණුව පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු කිරීම වෙනුවට මධ්‍යම පරිසර අධිකාරිය කළේ් සමාගමෙන් නැවත එවන් වැරැුද්දක් සිදු නොවන බව සහතික කර සමාගම විවෘත කරන්නට ඉඩ දීමය. එක් අතකින් මෙය බරපතල වැරදි පූර්වාදර්ශයකි. මධ්‍යම පරිසර අධිකාරියේ ක‍්‍රියාකලාපය පිළිබඳව සොයා බැලිය යුතුය. පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දුන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ වැඩසටහන් සඳහා කොකාකෝලා සමාගමේ අනුග‍්‍රහය ලබාදුන් අවස්ථා තිබෙන බවත් ඒ හේතුවෙන් කොකාකෝලා සමාගම සමඟ බැඳීමක් එම ආයතනයට තිබෙන්නේ දැයි සැකයක් ඇතිවන බවත් ය. මේ ලිපිය ලියැවෙන්නේ කොකාකෝලා සමාගමට එහා ගිය කැලණි ගෙඟ් ජල දූෂණය පිළිබඳව අවධානය යොමු කරවීම සඳහා ය.

මඟ දිගට වස විස

කැලණි ගංගාව ඉතා පිරිසිදු සහ ඕනෑම කටයුත්තකට යොදා ගත හැකි පිරිසිදුම ජලය උල්පත්වලින් නිපදවා පහතට ගැලීම ආරම්භ කරන්නීය. කැලණි ගංඟාව මුහුදට එක්වන්නේ අතිශය නුසුදුසු අපිරිසිදු ජල ප‍්‍රවාහයක් ලෙස ය. කැලණි ගංගාවේ පිවිතුරු ජලය අතරමඟදී මූලාශ‍්‍ර කිහිපයකින් අපවිත‍්‍ර කරනු ලබන්නේ ය. කෙටියෙන් මෙය විමසා බැලිය හැකිය.

ගංඟාවට අතරමඟදී කෙහෙල්ගමු ඔය සහ මස්කෙළිය ඔය එක්වන ප‍්‍රධාන අතුරු ගංගා දෙකක් ලෙස එක්වේ. සප්ත කන්‍යා කඳුවැටියේ සිට ගලා එන මෙම අතුරු ගංගා දෙක හරහා කැලණි ගංගාවට කඳුකරයේ ගොවීන් එළවළු වවන්නට පාවිච්චි කරනා විස බෙහෙත් වර්ග මුසුවූ ජලය එක්වන්නේය. වර්ෂා කාලය වන විට පසට එක්වන මෙම විස සහිත රසායනික ද්‍රව්‍ය උල්පත් හරහා ජලයට මුසුවී කැලණි ගංගාව දිගේ පහළට ගැලීම අරඹන්නේය.

කැලණි ගංගාවේ ඉහළ කොටසේ කුඩා ප‍්‍රමාණයේ විදුලි බලාගාර 16ක් පමණ ඇත. ලක්ෂපාන හැරුණුකොට ඉන් බහුතරයක් කුඩා විදුලි බලාගාර වේ. ඉන් බහුතරයක් බලාගාරවල  විදුලි ජනක යන්ත‍්‍රවල තෙල් එක් වන්නේ කැලණි ගංගාවටය. කිතුල්ගල දක්වා මෙවන් විදුලි බලාගාර තිබෙන අතර ඉන් පසුව කැලණි ගඟ අපවිත‍්‍ර කරන්නට පැමිණෙන්නේ කර්මාන්තශාලා හෝටල් සහ විවිධ ආයතන ය.

හංවැල්ල සිට කඩුවෙල දක්වා හෝටල් සහ සංචාරක නිකේතනවලින්, කඩුවෙලින් පසු කොකාකෝලා, එලිෆන්ට්, ඇන්කර් වැනි ප‍්‍රධාන ධාරාවේ සමාගම් ඇතුළු විවිධ නිෂ්පාදන නිපදවන කර්මාන්තශාලාවලින් කැලණි ගංගාවට තර්ජන එල්ල වන්නේ ය. මෙම කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය පිට කරන්නේ කැලණි ගංගාවටයි. ඉන්පසුව සේදවත්ත කළුපාලම ප‍්‍රදේශය පසුකර යන කැලණි ගංගාවට පෙට්‍රෝලියම් ඔයිල් සහිත ඇළක්ද එක්වන අතර කැලණි ගංගාව රසායනික විෂ පිරුණු ලෝකයක් බවට පත් වන්නේ ය.

හෝටල් සහ කර්මාන්තශාලාවලින් අධික ලෙස බැහැර කරන අපද්‍රව්‍ය ටැංකිවල ගබඩා කොට තබා වර්ෂා කාලයේ ගෙඟ් ජලය වැඩි වන විට මුදාහැරීම සාමාන්‍ය සම්ප‍්‍රදාය වී ඇත. කොකාකෝලා සමාගමේ තෙල් කාන්දු වූ අවස්ථාවේදී කැලණි ගඟට තෙල් ගලා ආ කාණුව මෙසේ අපද්‍රව්‍ය පිටකරන බවට හොඳ සාක්ෂියකි. වැසි කාලයක පිටවන අපද්‍රව්‍ය තෙල් කාන්දුව සිදුවූ අවස්ථාව මෙන් රැුඳී නොපවතින අතර කැලඹිලි සහිත ජලයේ හොඳින් මුසු වන්නේ ය. රසායනික ද්‍රව්‍ය බීකරයකට දමා සෙලවූවා වැනිය. මධ්‍යම පරිසර අධිකාරිය මේවා ගැන සොයා බලන්නට නිසි යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කරන්නේ ද නැත. සාමාන්‍යයෙන් වසරකට වතාවක් පරිසර ආරක්ෂණ බලපත‍්‍රය ලබාදීම හැරෙන විට මධ්‍යම පරිසර අධිකාරිය වරින්වර තමන්ගේ කොන්දේසි කර්මාන්තශාලාවලින් ඉටු කරන්නේදැයි සොයා බැලිය යුතු නමුත් එවැන්නක් සිදුවන්නේ නැත. සැබැවින්ම මේ කර්මාන්තශාලාවලට ලැබෙන්නේ පරිසර දූෂණය සඳහා බලපත‍්‍රයක් දැයි සැක සිතේ.

කඩුවෙලින් පසු ජනතාව බොන්නට නල ජලය ලබාගත්තද ස්නානය ඇතුළු අනෙකුත් ක‍්‍රියා සඳහා යොදා ගන්නේ කැලණි ගෙඟ් ජලයයි. මෙහි ප‍්‍රතිඵලය විශේෂයෙන් සේදවත්ත ආශ‍්‍රිත ජනතාවට සමේ රෝගවල සිට පිළිකා දක්වා විවිධ ලෙඩරෝග වැළඳීමයි. කැලණි ගඟ දූෂණය වීමේ අනෙක් ප‍්‍රතිඵලය ජෛව විවිධත්වය බරපතළ ලෙස විනාශ වී යාමයි. කඩුවෙල පසුකරන කැලණි ගෙඟ් ජලජ ජීවීන්ට ජීවත් වීමට ඉඩකඩ නැති තරම්ය. එමෙන්ම සාමාන්‍යයෙන් මෙවැනි ගංගාවක් දෙපස අඩු තරමේ මීටර් සීයක්වත් යනතෙක් ස්වාභාවික පරිසරයකට පැවතීමට ඉඩ දිය යුතු නමුත් කැලණි ගඟ ආශ‍්‍රිතව හෝටල් කර්මාන්තශාලා ඇතුළු විවිධ ඉදිකිරීම් තිබීම නිසා ගංගාව ආශ‍්‍රිත සෞන්දර්යමය කලාපය විනාශ වී තිබේ.

කොළඹ වතුරේ බැර ලෝහ

මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය කැලණි ගෙඟ් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා 2014 දී සිදුකරන ලද අන්තර්ජාතික ප‍්‍රමිතියෙන් යුතු පරීක්ෂණ මාලාවකින් ඔහුට නිරීක්ෂණය වී තිබුණේ කැලණි ගංගාවේ අඹතලේ ප‍්‍රදේශය ආශ‍්‍රිත ජලයෙහි ආසනික් ප‍්‍රතිශතය තිබිය යුතු ප‍්‍රමාණයට වඩා සිය ගුණයකින් පමණ වැඩි බවයි. 2014 වර්ෂයේදී වතුර සාම්පල් තිස් හයක් පමණ වරින් වර රැුගෙන කළ එම පරීක්ෂණ වලදී කැඞ්මියම්, ආසනික් සහ මර්කරි වැනි බැර ලෝහ ප‍්‍රතිශතය සහ ජලයේ තිබෙන ඔක්සිජන් සහ කාබන් ප‍්‍රතිශතයත් පීඑච් අගයත් පිළිබඳව නිරීක්ෂණය කර ඇත. මෙහිදී නිරීක්ෂණය වී ඇත්තේ මෙම වතුර පරිභෝජනයට නුසුදුසු විෂ සහිත තත්වයේ පවතින බවයි. ආසනික් ප‍්‍රතිශතය සීයට හතරක් වාර්තා වී ඇති අතර තිබිය යුතු ප‍්‍රතිශතය 0.04% කි. මේවා පිළිබඳව නිතිපතා සොයා බැලීමක් මධ්‍යම පරිසර අධිකාරියෙන්, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කෙරෙන්නේ නැත. එහෙත් මේ කඩිනමින් විසඳුම් ලබා දිය යුතු ප‍්‍රශ්න ය.

විශේෂයෙන් කැලණි ගංගාවේ ජලය පිරිපහදු කරන අඹතලේ පොම්පාගාරය පිරිපහදු කාර්යය සඳහා විශාල පිරිවැයක් දැරීමත් ලබුගම ජලාශයේ වතුර පිරිපහදු කරන්නට එතරම් පිරිවැයක් දරන්නට සිදු නොවීමත් ප‍්‍රශ්නයේ බරපතළකම කියා පායි. ජලය පිරිපහදුවේදී කරන්නේ ජලයේ රොන්මඩ සහ අපද්‍රව්‍ය ඉවත්කොට පීඑච් අගය සලකා බලා කැල්සියම් යොදමින් පීඑච් අගය නිවැරදි කොට ක්ලෝරීන් යොදා ජලය ලබා දීම පමණකි. දීර්ඝ කාලීනව බලපෑම් ඇති කරන්නට හේතුවන ජලයේ රසායනික සංයුතිය ගැන හෝ බැර ලෝහ ගැන නිසි සොයා බැලීමක් සිදු කෙරෙන්නේ නැත. අපට කළ හැක්කේ කොළඹ ජනතාව විශ්වාසයෙන් යුතුව පිළිකා කාරක සහ වකුගඩු රෝග අවදානමක් සහිත ජලය පානය කරන බව ලියා තැබීම පමණකි.

දියුණුව හා සොබාදහම

කාර්මිකකරණය හා තාක්ෂණය සමඟ ගලා යන ලෝකය පරිසරය ගැන තකන්නේ අඩුවෙනි. කර්මාන්තශාලා ඇතුළු විවිධාකාර ආයතන හේතුවෙන් කැලණි ගඟ විනාශ වීම ගැන කතා කිරීමත් කැලණි ගෙඟ් ජෛව විවිධත්වය ගැන කම්පා වීමත් ඇතැමෙකු ප‍්‍රතිගාමී අදහසක් ලෙස සැලකිය හැකිය. නැතහොත් කාර්මික දියුණුවට විරුද්ධව ප‍්‍රතිගාමී අදහස් ප‍්‍රවර්ධනය සඳහා මේ සිදුවීම් යොදාගත හැකිය. එහෙත් කිවයුත්ත නම් පරිසරය අමතක කර කාර්මික සංවර්ධනය හෝ දියුණුව ගැන කතා කරන්නේ නම් එය දියුණුවක් නොව ලෙඩ රෝගවලට අතවනා ඖෂධ නිපදවන බහුජාතික සමාගම්වලටම වාසි සොයා දෙන ව්‍යාජ දියුණුවක් බවය.

අපි බහුජාතික සමාගම්වල විෂ රසායනික හේතුවෙන් ලෙඩ වී බහුජාතික සමාගම්වලින්ම ඖෂධ මිලදී ගෙන අවසානයේ මිය යන්නෙමු. මේවා වෙනස් කළ යුත්තේ මධ්‍යස්ථ සහ උගත් ක‍්‍රියාකාරීන්ගේ බුද්ධිමය මැදිහත් වීමකිනි. ඇමරිකා විරෝධී අවස්ථාවාදී දේශපේ‍්‍රමීන් කර තබාගෙන යන බොරු කොකාකෝලා විරෝධයක් නොව සැබෑ පදනමකින් විචාරශීලීව බහුජාතික සමාගම් ගැන සලකා බැලිය යුතුය. බොරු දේශපේ‍්‍රමීන් මැතිවරණයකින් පරාජය වී පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීමේ සිහිනයක ගිලී සිටින මෙවන් මොහොතක් බුද්ධිමත් සංවාදයකට එළැඹීමට හොඳ කාල සීමාවකි. වගකීම අලූත් ආණ්ඩුවට දී කට වසාගෙන සිටිය යුතු නැත. ඔළුගෙඩි වෙනස් වුණත් දේශපාලනඥයන්ගේ ස්වභාවය වෙනස් වී නොමැත. නිහඬව නොසිට මේවා ගැන කතා කරන්නටද සිවිල් සමාජය පෙරට ආ යුතුය. අප මේවා ලියන්නේ කියවා පැත්තකින් තැබීමට නොවේ. ක‍්‍රියාකාරී පුරවැසියන් පෙරට විත් සටන් කළ යුතු බව අවධාරණය කිරීම සඳහාය. පෙනෙන ආකාරයට පරිසර අමාත්‍ය ධුරයට පත්වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මේවාට මූලිකව වගකිව යුතු බවත් අවධාරණය කළ යුතුය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;