අංග මැඬිල්ලෙන් උපන් රිදී බැඳිල්ල


Ban-gaga

විමලනාත් වීරරත්න

ආකාශ ගඟ වංගු දදා යන්නෙ රොන්මඩ පෙරෙන්නලූ. මේ ඇළ අඩි පනහක් විතර පළලයි. වංගු දදා ගිහින් අන්තිමට ගඟ නවතින්නෙ සමුද්දරෙන්.

පරාක‍්‍රම සමුද්‍රයේ වෑ කණ්ඩිය දිගේ අංග මැඬිල්ල නම්වූ සුවිශේෂී වාරික‍්‍රමෝපාය සොයා ගිය අපට අතරමගදී හමුවූ ගුණවර්ධන එසේ කීවේය. ගුණවර්ධන සමුද්දරේ යනුවෙන් හඳුන්වන්නේ පරාක‍්‍රම සමුද්‍රයටය. හෙතෙම සඳහන් කළ ආකාශ ගංගාව අපූරු නිර්මාණයක් වන අතර එහි ඉතිහාසය ක‍්‍රි.ව. 1153-1186 දක්වා වූ මහා පරාක‍්‍රමබාහු රජ සමය දක්වා දිවෙයි.

අඹන් ගඟ

මහවැලි ගෙඟ් විශාලතම අතු ගංගාව වන්නේ අඹන් ගඟයි. ඇළහැර සිට සැතපුම් දහයකට ආසන්න දුරකදී වස්ගමුව පැත්තේ සිට උතුරු දෙසට විහිදෙන සුදුකන්ද නම්වූ කඳු වළල්ලේ බිඳුමක් හරහා අඹන් ගඟ පහළට ගලයි. සුදු කන්දේ මෙම බිඳුම අසල කෝඳුරුවාව නමැති කන්දක් තිබේ. කොඳුරුවාව කන්ද මතින් පාත්වන රදවිගේ ඔය හෙවත් රිඳී බැඳි ඔයද අඹන් ගඟට වැටෙන්නකි. අංගමැඩිල්ල නම්වූ ක‍්‍රියාවලිය ඉටු කෙරෙන්නේ සුදු කන්ද සහ කොඳුරුවාව කන්ද අතර දෙබොක්කාවෙන් අඹන් ගඟට වැටෙන ජලයෙන් සැලකිය යුතු කොටසක් ගඟ නොනසා පරාක‍්‍රම සමුද්‍රයට හැරවීමටය. මහාපරාක‍්‍රමබාහු රජුට අඹන් ගඟ කෙළින්ම පරාක‍්‍රම සමුද්‍රයට හරවා ගත හැකිව තිබුණි. එහෙත් ඔහු අඹන් ගෙඟ් පෝෂක ප‍්‍රදේශ රැුකෙන ආකාරයට සහ ගෙඟහි අනන්‍ය ලක්ෂණ සුරැුකෙන පරිදි ගෙඟහි අංග මැඩ ආකාශ ගංගාව නම්වූ ඇළක් හරහා පරාක‍්‍රම සමුද්‍රය පුරවා ගත්තේය. ඒ මීට සියවස අටකටත් වඩා පුරාණ කාලයකය.

නව අංග මැඩිල්ල

පරාක‍්‍රම සමුද්‍රයේ වෑකන්ද දිගේ කලහගල නම්වූ ඓතිහාසික ග‍්‍රාමය දෙසට සැතපුම් 7-8ක් ගිය තැන 1939 වසරේදී ඞී.එස්. සේනානායක මහතා කෘෂිකර්ම ඇමතිවරයාව සිටි අවධියේ නිම කරන්නට යෙදුණු අංගමැඩිල්ල නම්වූ තාක්ෂණයක් හමුවෙයි. ඊට පැහැදිලිවම පරාක‍්‍රමබාහු රජුගේ අංග මැඩිල්ලෙහි අනුප‍්‍රාණය ලැබී තිබේ. එහි ඇත්තේ අඹන් ගෙඟහි එක් ස්ථානයක අමුණක් බැඳ එතැන් සිට ගෙඟහි දිගු අතට සමාන අර්ධය බැගින් වෙන්වෙන පරිදි බෙදූ එක් ජල අඩකින් ගලා යන, අඹන් ගඟට නිශ්චලව යන්නට ඉඩදීමය. අනෙක් අර්ධයේ මුවවිටෙහි ඇළක් කපා ගෙඟහි ජලය දිගු ඇළක් මගින් පරාක‍්‍රම සමුද්‍රය දක්වා ගෙනයෑමය. මෙම ක‍්‍රියාවලිය අංගමැඩිල්ල ලෙස හඳුන්වන අතර එය සිදුකෙරෙන්නේ රිදී බැඳිල්ලක ආකාරයටය. තැල්ලක් බැන්ද විට එහි දිගු රිදීපාට පට පැත්තකින් දිගට සුමට චලනයක යෙදෙමින් එල්ලා වැටේ. ආකාශ ගංගාව එසේ එල්ලා වැටෙන රිදී පටිය සදිසිය. 1939දී ඉංග‍්‍රීසි ආණ්ඩුව මගින් ඉදිකරන්නට යෙදුණු අංග මැඩිල්ල අමුණෙහි දිග මීටර් 27.4කි. ජල මට්ටම මීටර් 71.63කි.
පරාක‍්‍රම සමුද්‍රය දක්වා දිවෙන පෝෂිත ඇළෙහි දිග කි.මී. 6.08කි.

පැරණි අංග මැඩිල්ල

නව අංග මැඩිල්ලේ සිට මීටර් 300ක් පමණ ඉහළින් හා සුදුකන්ද සහ කෝඳුරුවාව කන්ද පෙනෙන නොපෙනෙන මානයේ අඹන් ගෙඟ් සුන්දරම ස්ථානයක පැරණි අංග මැඩිල්ල බැඳ තිබේ. පැරණි ගල් අමුණ එහි තවමත් දක්නට ලැබෙන අතර රිදී බැඳිල්ල හා ගල් එකක් මත එකක් ඇතිරූ රළපනාව වසර අටසියයකට වැඩි කාලයක් ගතවී ඇති නමුත් තවමත් සුරක්ෂිතව පවතී. මහා පරාක‍්‍රමබාහු රජ සමයේ කළ මෙම අංග මැඩිල්ලට අදාළ රිදී බැඳිල්ලෙන් නිපන් ජලය වර්තමානයේදී මෙන්ම අහස් ගඟක් ඔස්සේ පරාක‍්‍රම සමුද්‍රයට හරවා තිබුණි. එහෙත් මේ වනවිට එම ආකාශ ගංගාව මුළුමනින් ගොඩවී තිබේ. නව අංග මැඩිල්ලෙහි සංකල්පය වී තිබුණේද පරාක‍්‍රමබාහු සමයේ අංග මැඩිල්ල වන අතර පැරණි අහස් ගඟ ගොඩවී වැසී යෑම නිසා නව රිදී බැඳිල්ල ගෙඟහි වෙනත් තැනකින් සිදුකරන්නට ඇත.

සිඳී ගිය අහස් ගඟ

අලූත් රිදී බැඳිල්ලට නැතහොත් අලූත් ආකාශ ගංගාව බඳින්නට හේතුවූයේ පරාක‍්‍රමබාහු රජු කරවූ පළමු ආකාශ ගංගාව සිඳී බිඳී ගිය නිසාය. පරාක‍්‍රමබාහු, නිශ්ශංකමල්ල ආදීන්ගෙන් පසු විශේෂයෙන්ම පොළොන්නරු රාජධානිය ක‍්‍රි.ව. 1215 පටන් කාලිංග මාඝගේ ආක‍්‍රමණයට හසුවිය. ආක‍්‍රමණය සමග පොළොන්නරුවේ මහා ජනපදය අහෝසි වූ අතර පරාක‍්‍රම සමුද්‍රයට අයත් එක් වැවක් වන තෝපාවැවෙන් කෘෂිකර්මාන්තයෙහි නියැලෙමින් සිටි පිරිසක් පමණක් කුඩා ග‍්‍රාමයක් වශයෙන් එහි ඉතිරි වූහ. අනතුරුව පසුබසින පොළොන්නරු මහා ජනපදය විතැන් වන්නේ වයඹ රාජධානිය වෙතටය. මාඝගේ ආක‍්‍රමණයෙන් පසු සමස්ත පොළොන්නරු ජනපදයම ජනශූන්‍ය තත්ත්වයට පත්වන අතර එහි වාරි කර්මාන්තයද විනාශ මුඛයට ගියේය. රාජධානිය මාරුවීමත් හේතු කොටගෙන වසර 500ක් පමණ මෙම ප‍්‍රදේශයේ ජනශූන්‍යවීම හේතුවෙන් පරාක‍්‍රමබාහු රජුගේ රිදී බැඳිල්ල වල් වැදුණි. 1933 පොළොන්නරුවේ ගොවි ජනපද ව්‍යාපාරය පටන් ගන්නා තෙක් මේ තත්්ත්වයෙහි ලොකු වෙනසක් නොවුණි. 1933න් පසු මෙම ප‍්‍රදේශයේ සිංහල ජනගහනය අලූත් පදිංචි කිරීම් නිසා අට ගුණයකින් පමණ වැඩිවිය. පොළොන්නරුව පත්තු 03කටද බෙදුණි. මින්නේරිය හා කලහගල සිංහල පත්තුව ලෙසද, මනම්පිටිය දෙමළ පත්තුව ලෙසද, සුංගාවිල මරක්කල පත්තුව ලෙසද හැඳින්විණි.

විශිෂ්ට නිර්මාණයක්

පරාක‍්‍රමබාහු රජු සමයේ අඹන් ගඟ මැද දූපතක් නිර්මාණය මනා ලෙස දෙකොටසකට බෙදා දෙපැත්තෙහිම රළපනාව බැඳ කර තිබුණු මෙම පැරණි අංග මැඩිල්ල පසුකාලීනව බොහෝ දෙස් විදෙස් වාරි ඉංජිනේරුවන්ගේ පැසසුමට ලක්වූ අතිවිශිෂ්ට නිමැවුමක් විය. එහි විශේෂත්වය වූයේ ගඟ නොනසා ගෙඟහි ජලයෙන් උපරිම ප‍්‍රයෝජන ගෙන තවත් පරිපූර්ණ ජල ප‍්‍රභවයකට එමගින් පදනම දමා ගැනීමය. අහසින් වැටෙන දිය බිඳක් ජනයාගේ ප‍්‍රයෝජනයට ගෙන මිස මුහුදට නොයැවිය යුතුය යන පරාක‍්‍රමබාහුගේ උත්තර චින්තනය එමගින් යථාර්ථයක් කැරිණි.