රාවය

මතට තිත සටන් පාඨයක් පමණය

sdgetphotos

ක්‍රි.පූ.4 සියවසේ ඉන්දියාවේ විසූ ආර්ථික විද්‍යාඥ කෞටිල්‍ය ජනතාව මත්පැන් බීම අනුමත කළේ නැත. චාණක්‍ය නීතිවල මත්පැන් බොන්නා හා මස් කන්නා සමාන කළේ මනුෂ්‍ය ස්වරූපයෙන් සිටින තිරිසනෙකුටය. ඒ මත්පැන් බීමෙන් පසු ඔහුට සිහිකල්පනාවෙන් කටයුතු කළ නොහැකි නිසාය. එහෙත් මත්පැනට ඇබ්බැහි වී ඇති මිනිසුන් ඉන් ඈත් කිරීම ප‍්‍රායෝගික නොවන බව ඔහු දැනසිටියේය. එබැවින් අර්ථ ශාස්ත‍්‍ර නමැති ඔහුගේ ග‍්‍රන්ථයේදී මත්පැන් ව්‍යාපාරය රාජ්‍ය ඒකාධිකාරයක් වශයෙන් නියාමනය කළ යුතු බවට රජුන්ට උපදෙස් දුන්නේය. එය රජු අතේ තබාගත් විට එහි ගුණය, බෙදාහැරීම හා විවිධත්වය පාලනය කිරීමට අමතරව රජයේ භාණ්ඩාගාරයට විශාල ආදායමක්ද ලැබෙන බව ඔහු දැක්වූයේය. එහෙත් මත්පැන් පානය අනෙක් අයට කරදරයක් නොවන සේ තබාගැනීම ඔහුට අවශ්‍ය විය.

ඒ අනුව ඔහු නිර්දේශ කළ සමාජ ක‍්‍රමය තුළ ප‍්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම තහනම් විය. මත්පැන් පානයට අවසර ලැබුණේ ඇඳන්, අසුන් සහිත කාමර රාශියක් ඇති ‘පාන ශාලා’ තුළය. එමෙන්ම එම පාන ශාලා වත්සුණු, මල් සහ ජලය සහිත විය යුතුය. මත්පැන් අල්ප ප‍්‍රමාණයක් මිලදී නිවසට ගෙනයා හැකිවූයේ යහපත් චරිත ඇත්තන්ට පමණි.

කෞටිල්‍යගේ අනුගාමිකයකු වූ ශ‍්‍රී ලංකාවේ 12 සියවසේ විසූ මහා පරාක‍්‍රමබාහු ඔහුගේ උපදෙස් අකුරට පිළිපැද්දේය. ඊජිප්තු භූගෝල විද්‍යාඥ අයිඩි‍්‍රස් උපුටා දක්වමින් සෙනරත් පරණවිතාන සූරීන් පවසන්නේ එම යුගයේදී ‘අරක්’ නම් ප‍්‍රදේශයකින් නැව් පුරා මත්පැන් ශ‍්‍රී ලංකාවට ගෙන එන ලද අතර රට තුළදී ඒවාට මිල නියම කර අලෙවි කරන ලද්දේ රජු විසින් බවය.

අද බොහෝ රටවල් මෙහි අනික් අන්තයට ගොස් මත්පැන් සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මාලදිවයිනේ මත්පැන් තහනම් අතර විදේශීය වෘත්තිකයකුට මසකට මත්පැන් බෝතල් 2ක් ලබාගත හැකිය. මෙමගින් ඔවුන්ගේ නිවෙස්වල මනා සංවිධානයෙන් යුතු කළුකඩ පවත්වාගන යති. මින් සිදුව ඇත්තේ මාලදිවයින් වැසියන්ට මත්පැන් මිල ඉහළයෑමත්, මත්පැන් අලෙවියෙන් රජයට ලැබිය යුතු ආදායම විදේශ ශ‍්‍රමිකයන් අතට යෑමත්ය. ඔවුන් කෞටිල්‍ය අනුගමනය කළේ නම් සියලූදෙනා තෘප්තිමත් වන තත්ත්වයක් ඇති කළ හැකිව තිිබිණ.

ශ‍්‍රී ලංකාවේ මතට තිත ප‍්‍රතිපත්තිය

මහින්ද රාජපක්ෂ 2005දී ජනාධිපති වූ පසුව ශ‍්‍රී ලංකාවේ ‘මතට තිත’ ප‍්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබීය. එය ජනාධිපතිවරණයේදී මහින්ද චින්තන තුළින් දුන් පොරොන්දුවකි. ජනාධිපති දිවුරුම් දුන් පසුව 2006 මත්පැන් හා දුම්කොළ සඳහා ජාතික අධිකාරියක් පිහිටුවීමට ඔහු පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත්තේය. පිහිටුවා වසර 7ක් ගතවූ පසුවත් අධිකාරිය පවසන්නේ කෙතරම් ශක්තිමත් අයුරින් ක‍්‍රියාත්මක කළත් තවම පනත සම්පූර්ණයෙන් බලාත්මක වී නොමැති බවය. දුම්කොළ භාවිතය නිසා රෝගාබාධ ඇතිවීම, අඩු කිරීම සඳහා පනත ශක්තිමත් කළයුතු බව ප‍්‍රකාශ කෙරේ. අධිකාරිය මත්පැන්වලට වඩා දුම්කොළවලින් වන හානිය මුල්තැන ලා සලකන බව පෙනේ. එම අධිකාරිය උපදේශ සහ ක‍්‍රියාත්මක නියෝජිතායතනයක් බැවින් රජය විසින් ඔවුන්ගේ නිර්දේශය ක‍්‍රියාත්මක කළයුතු වේ.

අධිකාරිය ගත් වැදගත් පියවරක් නම් මත්පැන් හා දුම්වැටි වයස 21ට අඩු අයට විකිණීම තහනම් කිරීමය. විද්‍යුත් දෘශ්‍ය මාධ්‍ය තුළ මත්පැන් භාවිත කරන දර්ශන ප‍්‍රදර්ශනයෙන් කපාහරින ලදි. එහෙත් නිර්මාණාත්මක හැකියාව ඇති ප‍්‍රචාරක ආයතන මත්පැන් නොපෙන්වා අවශ්‍යම පණිවුඩය නොඅඩුවම ජනතාවට දීමට දනිති. මෙම පසුබිම තුළ ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් ශ‍්‍රී ලංකාව තුළ මත්පැන් ව්‍යාපාරය හා රාජ්‍ය ප‍්‍රතිපත්ති විග‍්‍රහ කිරීම සඳහා ජී.ඞී. දයාරත්න ලවා පර්යේෂණ පත‍්‍රිකාවක් පිළියෙළ කරන ලදි. දයාරත්නට අනුව පසුගිය සියවස තුළ ලෝකය පුරා මත්පැන් ප‍්‍රතිපත්ති වෙනස් වී ඇත්තේ වැඩිහිටියන් මඳ වශයෙන් මත්පැන් පානයට යොමුකරන අයුරිනි. ලංකාවේ ප‍්‍රතිපත්ති තුළ ජනගහනයේ විශාල කොටසකට මත්පැන් ලබාගැනීම අපහසු තත්ත්වයකට පත්කර ඇත. දයාරත්න පවසන්නේ සාර්ථක මත්පැන් ප‍්‍රතිපත්තියක් සඳහා ප‍්‍රධාන සාධක රාශියක් සලකා බැලිය යුතු බවය. ඊට සමාජයීය, ආගමික, සංස්කෘතික, ආර්ථික, දේශපාලන මෙන්ම මහජන සෞඛ්‍යයට අදාළ කරුණුද ඇතුළත් වේ. දයාරත්නට අනුව ශ‍්‍රී ලංකාවේ මත්පැන් ප‍්‍රතිපත්ති දෙබිඩි එකකි. එක් පැත්තකින් රජය ‘මතට තිත’ වැනි ප‍්‍රතිපත්ති තුළින් ජනතාවගේ මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීමට කටයුතු කරයි. මත්පැන් අධික ලෙස භාවිතයෙන් පවුල් කඩා ඉහිරීම්, දරුවන් හදාවඩා ගැනීමට නොහැකිවීම්, පුරවැසියන්ට තමාගේ කාර්ය සාධනය උපරිම ලෙස දීමට අසමත්වීම වැනි දෑ සිදුවන බැවින් එය වටිනා කටයුත්තකි. අනික් අතට රජය බලපත‍්‍ර සහිත මත්පැන් කර්මාන්තය තුළින් රජයේ අයවැයට විශාල ආදායමක් අපේක්ෂා කරයි. එය පව්කාර බද්දක් හා පව්කාර කර්මාන්තයක් ලෙස සැලකිය හැකිය. මත්පැන් කර්මාන්තය පසුගිය කාලය තුළ රජයට බිලියන 60ක ආදායමක් උපයා දෙන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ට ආසන්න වේ. ආදායම් ඉපැයීමට කෑදර රජයකට මෙය අතහැරිය හැක්කක් නොවේ. රජය ප‍්‍රසිද්ධියේ මත්පැන් භාවිතයට දොස් පවරන මුත් රාජ්‍ය උත්සවවලදී එය ඉහළින්ම භාවිත කෙරේ.

වැඩිම මද්‍යසාර ප‍්‍රතිශතයක් ඇති අරක්කු නිපදවීම 1992 තෙක් රජයේ ඒකාධිකාරයක්ව පැවතියේය. 1992 ප‍්‍රධාන මද්‍යසාර නිපදවන්නා වන ඉස්කාගාර සංස්ථාව පෞද්ගලිකකරණය කරන ලදි. එම අවධියේ පුද්ගලික මත්පැන් බෝතල් කරන්නෝ හත්දෙනෙක් වූහ. රජයේ ‘මතට තිත’ ප‍්‍රතිපත්තිය තුළින් පව්කාර කර්මාන්තයක් ලෙස සලකන මත්පැන් නිපදවන්නන්ගේ සංඛ්‍යාව අද 20ක් වී ඇති බව සුරාබදු කොමසාරිස්ගේ පරිපාලන වාර්තාවේ සඳහන් වේ. නිෂ්පාදකයන් වැඩිවීම තුළින් ඇතිවන තරගකාරීත්වය කර්මාන්තයකට හොඳ නමුත් මත්පැන් භාවිතය අඩු කිරීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තියට ගැළපෙන්නේ නැත. එය විසින් ජනතාවට තරගකාරී මිලට අරක්කු ලබාදේ. හොඳම උදාහරණය බඞී අරක්කු බෝතලයයි. ස්කාගාර සංස්ථාව කුඩා බෝතලය රුපියල් 255කට දෙනවිට පුද්ගලික නිෂ්පාදකයෝ එය රුපියල් 180ට දෙති. එය අඩු ආදායම් පාරිභෝගිකයාට දරාගත හැක්කකි. මතට තිත ප‍්‍රචාරයන් යටතේ මත්පැන් භාවිතය අඩුවනු වෙනුවට එය ඉහළ නගිමින් පවතී. ස්කාගාර සංස්ථාවේ අරක්කු මිල වැඩි වුවත් යුද්ධයෙන් පසු එහි අලෙවිය හා ආදායම වැඩිවූ බව දයාරත්න සඳහන් කරයි. 2007 එහි ආදායම බිලියන 23ක් හා ශුද්ධ ලාභය බිලියන 1.8 වනවිට 2009දී ආදායම බිලියන 29ක් වී ලාභය බිලියන 2.6ට නගී. 2011දී ආදායම රුපියල් බිලියන 39 දක්වාද, ලාභය රුපියල් බිලියන 7.7 දක්වාද විශාල ලෙස ඉහළ නගී. එහෙත් මේ කාලය තුළ වාර්ෂික රා නිෂ්පාදනය පැවතියේ ලීටර් මිලියන 5.5 මට්ටමේය. එහෙත් 2009 අරක්කු නිෂ්පාදනය ලීටර් මිලියන 55 සිට 2011දී 87 දක්වා නැග ඇත. අරක්කු නිෂ්පාදනය රඳා පවතින්නේ සීනි කර්මාන්තයේ අතුරු ඵලයක් වන මොලැෂස් ආනයනය කරන ස්ප‍්‍රිතු එතනෝල් මතය. එහෙත් සැර නැති බීර වැනි බීම මේ කාලය තුළ පැවතියේ ලීටර් මිලියන 49ක සමාන මට්ටමකය.

පශ්චාත් යුද සමය තුළ ශ‍්‍රී ලාංකිකයන් සැර නැති මත්පැන්වල සිට සැර මත්පැන් භාවිතය සඳහා හුරුවී ඇත. මේ රජයේ සුරාවට එරෙහි යුද්ධය පවතිද්දීය. පුද්ගල මත්පැන් භාවිත ප‍්‍රමාණය අනුව ශ‍්‍රී ලංකාව 4 වන ස්ථානයේය.

දේශීය නිෂ්පාදනය හා ආනයනය කරන ප‍්‍රමාණය සලකා බලා සුරාබදු කොමසාරිස් රටේ මත්පැන් භාවිතය තක්සේරු කරයි. මීට හොර මත්පැන් ඇතුළත් නැත. දයාරත්නගේ වාර්තාවට අනුව මතට තිත හඳුන්වාදීමට පෙර 2005 අරක්කු ආනයනික මත්පැන් හා බීර මුළු භාවිතය ලීටර් මිලියන 128ක් විය. 2010දී එය ලීටර් මිලියන 148 දක්වා වැඩිවී තිබේ. ඒක පුද්ගල මත්පැන් භාවිතයද ලීටර් 6.41 සිට 7.41 දක්වා වැඩිවී තිබේ. නිවැරදි අයුරින් සැලකිය යුත්තේ වයස අවුරුදු 18ට වැඩි ජනගහනයට අදළාව බැවින් 2005 ලීටර් 9.79 භාවිතය 2011දී ලීටර් 11.2 දක්වා වැඩිවී තිබේ.

කනගාටුදායකම කරුණ වාර්තා නොවන මත්පැන් භාවිතයයි. සුරාබදු කොමසාරිස්ගේ වාර්තා අනුව 2010 එය ඒකපුද්ගලව ලීටර් 9.38ක් වේ. එවිට මුළු මත්පැන් භාවිතය ලීටර් 16 දක්වා වැඩිවේ. මේ දෙකම එක්ව ගත්විට ශ‍්‍රී ලංකාව ලෝකයේ මත්පැන් භාවිත කරන රටවල් අතරින් ඉහළින්ම සිටී. එය දෙවැනි වන්නේ චෙක් ජනරජයට, ප‍්‍රංශයට හා රුසියාවට පමණි. මෙය සිදුව ඇත්තේ රජය විසින් මතින් තොර ධර්මිෂ්ඨ සමාජයක් ඇති කිරීමට පොරොන්දු වී සිටින අවස්ථාවකය. මත්පැන් පානය අධෛර්යමත් කිරීමට ප‍්‍රචාරක දැන්වීම් තහනම් කරන මත්පැන් පාන දර්ශන කපා දමන තත්ත්වයක් තුළදීය. හොර මත්පැන් පොළවල් බලපත‍්‍රලාභී බීම සාප්පුවලට වඩා වැඩිය.

මින් පෙනීයන්නේ මත්පැන් පිළිබඳ රජයේ ප‍්‍රතිපත්තිය ප‍්‍රතිඵල ලබාදීමට අසමත් වී ඇති බවය. දයාරත්නගේ වාර්තාවට අනුව බලපත‍්‍රලාභී මත්පැන්හල් 3332ක් පවතින විට හොර මත්පැන් අලෙවි කරන තැන් 200,000ක් පමණ වේ. දයාරත්නට අනුව මේවා පවත්වාගෙන යන්නේ පාලක පෙළැන්තීන් උදව් මත නිසා මැඬලීම අපහසු වේ. මේ මත්පැන් ගුණාත්මක අතින් ඉතා පහළ නමුත් මිල නීත්‍යනුකූල මත්පැන්වලට වඩා බොහෝ සේ අඩු බැවින් ඒවා භාවිතයට ගනිති. මේ මිල අතර විශාල වෙනසක් පැවතීමට හේතුව රජය විසින් නීත්‍යනුකූල මත්පැන්වලට විශාල බද්දක් පැනවීමයි. දයාරත්නට අනුව මත්පැන්වලට අධික බද්දක් පැනවීම හේතුවෙන් බදු නොගෙවා පෙරන මත්පැන් සඳහා විශාල දිරිදීමනාවක් රජය විසින් ගෙවනු ලබයි. කෘත‍්‍රිම රාවලින් සහ තීන්ත හා බීඩි කොළ නිපදවීමට ගන්නා ස්ප‍්‍රීතු යොදා කෙරෙන නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය විශාල ලෙස වැඩිවී තිබේ.

කතාව මෙතනින් අවසන්වන්නේ නැත. නීත්‍යනුකූල මත්පැන් නිෂ්පාදකයන් ප‍්‍රතික්ෂේප කරන රා යොදා නීති විරෝධී මත්පැන් නිපදවනු ලබයි. එය පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යයට හානිකර වේ. දයාරත්න තවදුරටත් පවසන්නේ හොරෙන් ආනයනය කරන ස්ප‍්‍රිතුවලින් ව්‍යාජ මත්පැන් නිපදවන බවයි. මේ ස්ප‍්‍රීතු රේගුවෙන් පන්නා ගැනීමට යොදාගන්නේ තීන්ත හා ළමා ඕඩිකොළොං නිපදවීමට ගන්නා බව සඳහන් කිරීමෙනි.

බීමහල් සඳහා අලූත් බලපත් ලබාදීම

පවතින සාක්ෂිවලින් පෙනීයන්නේ මතට තිතෙන් අදහස් කරන මත්පැන් භාවිතය අඩුකිරීම ක‍්‍රම ක‍්‍රමයෙන් යටයමින් පවතින බවය. මේ වැඩසටහන ක‍්‍රියාත්මක වන අවධියේ මත්පැන් භාවිතය ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇත. දයාරත්න සඳහන් කරන ලෙසට රජයේ අපැහැදිලි ප‍්‍රතිපත්තිය නිසා මතට තිතට එරෙහිව යමින් දේශපාලන හිතවතුන්ට බීමහල් වෙනුවෙන් වැඩිපුර බලපත‍්‍ර ලබාදී තිබේ. සුරාබදු කොමසාරිස්ගේ 2011 වාර්තාවට අනුව මත්පැන් සිල්ලර අලෙවිහල් ඇරීමට අලූත් බලපත‍්‍ර 377ක් (2005-2011) කාලසීමාව තුළ දී තිබේ. සැර මත්පැන් නිපදවන්නන් ලියාපදිංචි කිරීම වැඩිකර තිබේ. මතට තිත ප‍්‍රතිපත්තිය සටන් පාඨයකින් එහාට ගෙන ඉහළ මට්ටමකට නැංවිය යුතුවේ. ශ‍්‍රී ලංකාව තුළ මත්පැන් කර්මාන්තය අසාර්ථක වූයේ මන්දැ’යි මෙම වාර්තාව පෙන්වා දෙන අතර රටේ බලවතුන් මෙන්ම සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්ද එය කියවිය යුතුව ඇත.