ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

විශ්වවිද්‍යාල අධ්‍යාපනය

එක් අතකින් විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ ආත්ම ගෞරවයට සරිලන වැටුප් වර්ධකයක් ඉල්ලා කෙරෙන මහා උද්ඝෝෂණයක් පවතී. ඒ සමගම විශ්වවිද්‍යාලවලට තේරුණු නවක ශිෂ්‍යයන් හමුදා කඳවුරුවලට යවා නායකත්ව පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළ උණුසුම් වාද විවාදවලට හේතුවී තිබුණි. මේ වන විට එම පුහුණුව පිණිස හමුදා කඳවුරුවලට යවන ලද පළමු කණ්ඩායම පුහුණුව අවසන් කර තිබෙන අතර දෙවැනි කණ්ඩායම සඳහා වන පුහුණු කිරීම් මේ සතිය මුලදී ආරම්භ කර තිබේ.
එම පුහුණු කිරීම් පිළිබඳව රටේ ජනතාව දැනගත යුතුව තිබෙන මූලික කාරණා සමහරක් මෙසේය.
1. විශ්වවිද්‍යාලවලට තෝරා ගැනුණු අය අතරින් පුහුණු වැඩසටහන්වලට සහභාගි වූ සංඛ්‍යාව කොපමණද? සහභාගි නොවූ අයගේ සංඛ්‍යාව කොපමණද? පුහුණුවන්නට ගොස් ඒ වැඩසටහන එපාවී පුහුණු වැඩසටහන් සම්පූර්ණ නොකොට අතරමග අතහැර පැමිණි පිරිසක් වේද? ඔවුන්ගේ සංඛ්‍යාව කොපමණද?
2. පුහුණ...



වෛද්‍යසභාවට විස වූ විදෙස් උපාධිධාරියෝ

හර්ෂා රූපරත්න [Sunday, June 26, 2011]

ශ්‍රී ලංකාව අනෙක් රටවල් හා සසඳද්දී ප්‍රබල වෛද්‍ය හිඟයකට මුහුණ පා සිටින රටකි. මෙරට මිනිසුන් 1820කට වෛද්‍යවරුන් සිටින්නේ එක් අයෙකි.
ශ්‍රී ලංකාවේ මෑතක් වනතුරුම කිසිදු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොතිබිණි. දැනට ලංකාව තුළ ක්‍රියාත්මක වන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් කිසිදු වෛද්‍යවරයකු මේ දක්වා සෞඛ්‍ය සේවාවට එක්වී නොමැත. එසේ නම් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලින් උපාධිය හදාරා වාර්ෂිකව පිටවන 950ක පමණ වෛද්‍යවරුන් සංඛ්‍යාව ලංකාවේ සෞඛ්‍ය සේවාව සැපයීම සඳහා කෙසේවත් ප්‍රමාණවත් වේද? පිළිතුර නැත යන්නයි. මන්ද, ඒ පිටවන 950කගේ පිරිසෙන් 10%කට වැඩි පිරිසක් වාර්ෂිකව සිය අධ්‍යයනයන් හමාර කොට විදේශ ගතවන බැවිනි. කෙසේ හෝ ඒ පිරිස ඉවත්ව ගිය පසු වෛද්‍ය සේවයට පිවිසෙන අතළොස්ස නිසි පරිදි රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව සැවොම දන්නා කරුණකි.
මෙවන් තත්ත්වයක් පවතිද්දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වෙනත් රටවලින් වෛද්‍ය උපාධිය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන වෛද්‍යවරුන්ට දක්වන අසාධාරණ සැලකිල්ල දෙස බලද්දී පෙනීයන්නේ මෙරට අසරණ රෝගීන් හිතාමතාම අපහසුතාවට පත්කිරීමේ ක්‍රමවේදයක් වක්‍රව වෛද්‍ය සභාව අතින් සිදුවන බවයි.
වාර්ෂිකව 125ක් වැනි ප්‍රමාණයක් පිටරට වෛද්‍යවිද්‍යාලවලින් උපාධි ලබා ලංකාවට පැමිණෙති. ඔවුන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත් කල වසරක් පාසා දේශීය වෛද්‍ය පාසල්වලින් ද පිටවන උපාධිධාරීන් කණ්ඩායමේ හා පිටරට වෛද්‍ය උපාධිධාරීන්ගේ සංඛ්‍යාවේ එකතුවෙන් 12%කි.
පෙර සඳහන් කළාවූ මෙරට ප්‍රධානම සෞඛ්‍ය සේවා සැපයීමේ ගැටලුව වන වෛද්‍ය හිඟයට යම්තාක් දුරකට හෝ සහනයක් සලසන්නේ මෙම 12%ක පිරිසකි. ඒ සියලුදෙනාම සේවයට බැඳුණද, ශ්‍රී ලංකාවේ වෛද්‍ය හිඟය කෙසේවත් සමනය කළ නොහැකි බව කිව යුතුය.
එහෙත් මේ පිරිස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගෙනයනු ලබන්නේ අන්ත අසාධාරණ ක්‍රියා පටිපාටියක් බව ඔවුන් නගන මැසිවිලිවලින් මනාව ප්‍රකාශිතය.
පිටරට වෛද්‍ය උපාධිධාරීන් ලංකාවට පැමිණි පසු ඔවුන් සම්බන්ධ වගකීම් සියල්ලක්ම පාහේ දරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. කෙටියෙන්ම කිවහොත් ඔවුන්ව සේවයට බඳවා ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. රුසියාව හා වෙනත් රටවල්වලින් වෛද්‍ය උපාධිය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුදෙනාම වෛද්‍ය සභාව විසින් පවත්වන විභාගයට මුහුණ දී ඉන් සමත් විය යුතුය. එම විභාගය ඊ.ආර්.පී.එම්. නැත්නම් විදෙස් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීම සඳහා පවත්වන විභාගය ලෙස හඳුන්වයි.
විදෙස් වෛද්‍ය උපාධිධාරීන් මැසිවිලි නගන්නේ මේ විභාගය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ක්‍රියාකරන්නේ කිසිදු විනිවිදභාවයකින් තොරව බවයි.
ඔවුන් නගන ප්‍රධාන චෝදනාව වන්නේ දේශීය වෛද්‍ය උපාධිධාරීන්ට හා විදෙස් වෛද්‍ය උපාධිධාරීන්ට පවත්වනු ලබන එකම විභාගයකදී ඔවුන් දෙපිරිස සමත්වීම සඳහා ලබාගත යුතු ලකුණු ප්‍රමාණය එක් එක් පිරිසට වෙනස් බවයි. එනම් දේශීය උපාධිධාරීන් එම විභාගයෙන් 30%ක් ලබාගත යුතු වන විට විදෙස් උපාධිධාරීන් 50%ක් ලබාගත යුතු බවයි. මෙය අසාධාරණ සීමාවක් බව හා ලබාදෙන ප්‍රශ්න පත්‍රය වෛද්‍ය උපදේශකවරයකුටවත් පිළිතුරු ලිවීමට නොහැකි ආකාරයේ ඉතා අමාරු ප්‍රශ්න පත්‍රයක් බවයි. ඉන් 50%ක් ලබාගැනීම සිහිනයක් බවත්, එම නිසා දිගින් දිගටම එම විභාගය අසමත් වන බවත් ඔවුහු පවසති.
2009 වසර වන තෙක් මෙම විභාගය පැවැත්වූයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසිනි. නමුත් තමන්ට එමගින් සිදුවන අසාධාරණයට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් විභාගය පැවැත්වීමේ සම්පූර්ණ බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත පවරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. නමුත් ඉන්පසුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් විභාගය පැවැත්වූ කාලයේදී තිබූ 30-35%ක සමත්වීමේ ප්‍රතිශතය 6%-10% දක්වා පහත වැටුණි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පසුව මේ දක්වා වරක් විභාගය පවත්වා ඇත්තේ උසාවි තීන්දුවට පටහැනි අයුරින් ඒ සෑම වාරයකදීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එම විභාගය පැවැත්වීමේ බලය තමන් අතට පත්කරගෙන ඇත.
විදෙස් වෛද්‍ය උපාධිධාරීන් පවසන්නේ ඔවුන්ට සිදුවන අසාධාරණකම් වෙනුවෙන් 2009 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය සිසුන් 51 දෙනා ඉන්පසුව පැවති එක් විභාගයකදීවත් එක් විෂයක් හෝ සමත් නොවූ බවයි. වෛද්‍ය සභාව ඔවුන්ගෙන් පන්න පන්නා පළිගන්නා බවත් වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා එම සිසුන් 5දෙනාම විභාගය සමත්වීමට ඉඩ නොතබන ආකාරයේ තර්ජනය කිරීම් සිදුකරන බවත් ඔවුහු ප්‍රකාශ කරති. 2009ට පෙර හොඳින්ම සමත්ව සිටි උපාධිධාරීන් පවා ඉන්පසුව එක් විෂයක්වත් සමත්වන්නේ නැත. ඔවුන් 51 දෙනාගේ ප්‍රතිඵල අනෙක් උපාධිධාරීන්ගේ මෙන් අන්තර්ජාලයේ පළකරන්නේ නැත. තමන්ගේ ප්‍රතිඵල දැනගැනීම සඳහා වෛද්‍ය සභාවට හා එම උපාධිධාරීන්ට ලේඛකාධිකාරීවරයා මේ පාරත් ෆේල් නේ. There are so many fuel station out side යැයි පැවසූ බවත් තව ඔයාලාට අවුරුදු 60 වෙනකම්ම පුළුවන්යැයි පැවසූ බවත් එම උපාධිධාරීන් පැවසීය.
වසර ගණනාවක් විවිධ කටුක අත්දැකීම්වලට මුහුණදෙමින් විශාල මුදලක් වැය කොට වෛද්‍ය උපාධිය ලබාගත්තද මෙරටට පැමිණි පසු විඳින්නට සිදුව ඇති අසාධාරණකම් නිසා ඔවුන්ගේ වෛද්‍ය සිහිනය බිඳ වැටෙමින් ඇති බවත් ඒ නිසාම ඔවුන් සමාජයේ නොයෙකුත් ගැහැට විඳින බවත් පෙනීයයි.
වෛද්‍ය සභාව ප්‍රකාශ කරන්නේ මොවුන් අඩු සුදුසුකම්ලත් වෛද්‍යවරුන් බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවාවට ඇතුළත් වීම තුළින් රෝගීන්ට අසාධාරණයක් සිදුවන බවත්ය. දේශීය වෛද්‍යවරුන්ගේ නිර්දය විවේචනයට නිරන්තරයෙන් ලක්වන මොවුන්ව දේශීය වෛද්‍යවරුන් හා වෛද්‍ය සභාවේ නිලධරයන් හඳුවන්නේ පොහොසතුන්ගේ මෝඩ ළමයි ලෙසය. ඔවුන්ට අනුව මේ උපාධිධාරීන් උපාධි ලබාගෙන එන්නේ තුට්ටු දෙකේ විශ්වවිද්‍යාල වලිනි. මේ චෝදනා දෙකටම විදෙස් වෛද්‍ය උපාධිධාරීන්ට නිසි පිළිතුරු ඇත.
දැනට ලංකාව තුළ පිටරට ගිහින් වෛද්‍ය උපාධි අරන් ලංකාවට ආපු 850ක් විතර ඉන්නවා. ඒ අතුරින් 50ක් විතර සංචාරක මගපෙන්වන්නන් විදියට වැඩ කරනවා. අපිට වෙන රස්සා කරන්න බෑ. අපි හොඳින්ම දන්නවා ලෙඩ්ඩුන්ට වෙදකම් කරන්න. අපි අනිත් දේවල් දන්නේ නෑ. අපේ එක්කෙනෙක් ඉන්නවා ත්‍රීවීල් ඩ්‍රයිවර් කෙනෙක්. අපි රුසියන් භාෂාව දන්නවා. ඉතින් ලංකාවට රුසියන් ජාතිකයන් එනකොට අපි යනවා ගයිඩ්ලා විදිහට. අපි ඉන්න ඕන තැන්වල නෙමෙයි අපි ඉන්නේ. අපි අතර හිටපු කසාද බැඳලා දරුවෝ ඉන්න අයගේ පවුල් ජීවිත මේ හේතුවෙන් කඩාකප්පල් වෙලා තියෙනවා. බිරින්දෑවරු දරුවො එක්ක යනවා තමන්ගේ සැමියව දාලා හොර දොස්තරයෙක් කියලා. අපි ඇත්තටම හදවතින් පුදුම දුකක් විඳින්නේ.
දැන් මට අවුරුදු 45කට ළඟයි. සේවයට බැඳුණත් තව වසර කීයද රස්සාව කරන්න වෙන්නේ. අපිට මේ සලකන විදිය අසාධාරණයි. අපි මෝඩයෝ නෙමෙයි. එග්සෑම් එකේ විෂයන් 7න් 6ක්ම පාස් වුණත් අනිත් විෂය සමත් කරන්නෙ නෑ වෛද්‍ය සභාව. විෂයන් 6ක් සමත් වෙන්න පුළුවන් නම් අපි මෝඩයෝ වෙන්නේ කොහොමද?
මේ අදහස් රාවය සමග පැවසුවේ රුසියානු විශ්වවිද්‍යාලයක වෛද්‍ය උපාධිධාරියෙකි. මොවුන් කිසිවිටෙකත් තමන්ගේ නම හෙළි කරනවාට අකමැතිය. ඒ අකමැත්ත තුළ ඔවුන් වෛද්‍ය සභාවට කොතරම් බියක් දක්වනවාද යන්නත් කෙදිනක හෝ තමන්ට විභාගය සමත්වීමට හැකිවෙතැයි යන සිහිනයක් තවමත් ඔවුන් තුළ තිබෙන බව ඔවුන් නම් හෙළිකිරීමට ඇති බියෙන් මනාවට ප්‍රකාශ වේ. වෛද්‍ය සභාව පන්න පන්නා පිළිගන්නා බවත්, නැවත නැවතත් එහි පළිගැනීමට හසුවී විනාශවී යෑමට නොහැකි බවත් සඳහන් කරමින් ඔවුහු නිර්නාමිකව සිටියහ.
මේ පොහොසතුන්ගේ දරුවන් නොවන බවට සාක්ෂි සැපයුවේ එම උපාධිධාරීන්ගේ මව්පියන්ය.
මගේ දුව පාකිස්තානයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය උපාධිය හදාරන කාලේ මගේ බිරිඳගේ කොන්දේ අසනීපයක් හැදිලා ඒක සුව කරන්න තිබුණු ඔපරේෂන් එකට රුපියල් ලක්ෂ 5කට වඩා වියදම් වන බව වෛද්‍යවරු කිව්වා. එතකොට මගේ දුව පිටරට යවලා තිබුණේ මගේ තේ වත්ත විකුණලා. ලක්ෂ පහක් ඒ වෙද්දි අපේ ළඟ තිබුණා. ඒක ඔපරේෂන් එකට වියදම් කළොත් දුවට වියදම් කරන්න සල්ලි අපි ළඟ නැති වෙනවා. එතකොට එයාට අධ්‍යාපනය බාගෙට ඉවර කරලා ලංකාවට එන්න වෙනවා. අපි ප්‍රසිඩන්ට් ෆන්ඩ් එකෙන් සල්ලි ඉල්ලුවා. ග්‍රාමසේවක ගෙදර ඇවිත් බලලා ඇහුවා මේ ගේ කාගෙද කියලා. මම කිව්වා මගේ කියලා. එතකොට මට වෑන් එකක් තිබුණා. අපි ඒක විකුණමු කිව්වම මගේ බිරිඳ කිව්වා බෙහෙත් ගේන්නවත් යන්න විදිහක් වෙන එකක් එකක් නෑ කියලා. ඒ නිසා වෑන් එක විකුනුවේ නෑ. ග්‍රාමසේවක ඇහුවා ඒ වෑන් එක කාගෙද කියලා. මම කිව්වා අපේ කියලා. ඊට පස්සෙ ඔහු ගියා. නමුත් අපිට ජනාධිපති අරමුදලෙන් සල්ලි ලැබුණේ නෑ. අපි රජයේ සේවකයෝ. මධ්‍යම පාන්තික මිනිස්සු. අන්තිමේදී මගේ බිරිඳ තීරණය කළා දුව අධ්‍යාපනය ඉවර කරලා ලංකාවට එනකං ඇඳේ ඉන්න. අපි එහෙම කැපකිරීම් කරලයි මේ දරුවන්ට ඉගැන්නුවේ. ලංකාවට ඇවිත් මෙච්චර ඉගෙන ගෙනත් මේ ළමයින්ට සිදුවෙන අසාධාරණ අපිට බලා ඉන්න බෑ. පිටරට වෛද්‍ය උපාධිධාරීන් සියල්ලෝම පොහොසතුන් නොවන බව අප සමග පැවසූ ඔහු පාකිස්තානු විශ්වවිද්‍යාලයක වෛද්‍ය උපාධිධාරිණියකගේ පියෙකි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන කුඩා පොත් පිංචක් මගින් ලංකාවෙන් පිටත විශ්වවිද්‍යාල ලැයිස්තුවක් ඉදිරිපත් කරයි. එම විශ්වවිද්‍යාල අතර රුසියාව පමණක් නොව බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය වැනි රටවලද විශ්වවිද්‍යාල අන්තර්ගතය. ඔවුන් එමගින් ප්‍රකාශ කරන්නේ එහි සඳහන් විශ්වවිද්‍යාලවලින් ලබාගන්නා වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගන්නා බවයි. එපමණක් නොව ඒ සියලුම විශ්වවිද්‍යාල ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාල ගොන්නට ඇතුළත් වන බවත් ශ්‍රී ලංකාවේ එක් විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක්වත් ඒ තරම් ඉහළ මට්ටමක නොපවතින බවත් පිටරට වෛද්‍ය උපාධිධාරීන් ප්‍රකාශ කරයි. කෙසේ හෝ මෙරට වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත්වීමට නොහැකි වූ ලකුණක් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් නොමැතිවීමෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත්වීමට සුදුසුකම් නොලැබුණු ශිෂ්‍යයන් මුදල් ගෙවා තම වෛද්‍ය සිහිනය සැබෑ කරගැනීමට ඇතුළත්වන්නේ වෛද්‍ය සභාව විසින් අනුමත කර තිබෙන පිටරට විශ්වවිද්‍යාලවලටයි. එසේ නම් ඔවුන් අනුමත කර තිබෙන්නේ පිළිගන්නවායැයි කියන්නේ තුට්ටු දෙකේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිධාරී සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් වනු ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් බලෙන් මෙන් අත්පත් කරගනිමින් වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන විභාගයේ නිරන්තරව දෝෂ සිදුවන බව පාර්ලිමේන්තුවේදී පවා සාකච්ඡා වී ඇත. වෛද්‍ය සභාව අන්ත දූෂිත ආයතනයක් බවත් ඔවුන් සතු අධිකතර බලය අනිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් සෞඛ්‍ය සේවාවේ ආධිපත්‍යයක් පවත්වාගෙන යන බවටත් නිරන්තරව සාකච්ඡාවෙමින් පවතී. ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැක්කේ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ විභාගයේදී සිදුවන තාක්ෂණික දෝෂයි.
පිටරට වෛද්‍ය උපාධිධාරීන් ලිඛිත සාක්ෂි සහිතව පෙන්වා දුන් පරිදි ඉන් කිහිපයක් මෙසේය.
1. විභාගයට මුහුණ නුදුන් උපාධිධාරීන් විභාගයෙන් සමත්යැයි වෛද්‍ය සභාව විසින් ලියුම් යවා තිබේ.
2. එකම විභාග අංකය කිහිප දෙනකුට ලබා දුන් අවස්ථා ඇත.
3. අපේක්ෂකයන්ට ලබාදී ඇත්තේ ප්‍රශ්න පත්‍රවල ඡායා පිටපත්ය.
4. ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී වාචික පරීක්ෂණ සමත්යැයි නිවැරදිවීම් සිදුව ඇත. (වාචික පරීක්ෂණ සඳහා නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නොකෙරේ.)
5. විභාගය සමත්යැයි සඳහන් ලියුමක් අපේක්ෂකයන් අතට පත් වුවද වෛද්‍ය සභාවට ගොස් බලද්දී විභාගය අසමත් ලෙස සටහන්ව ඇත.
6. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වී සිටි උසස් පෙළ ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍යයන් රජය විසින් පිරිනමන ලද විදේශ පරීක්ෂණයකට ගොස් අධ්‍යාපනය හමාර කොට ලංකාවට පැමිණි පසුවද ඔවුන්ට ලියාපදිංචි කිරීම පවා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කළ අවස්ථා ඇත.
මේ ආකාරයෙන් වෛද්‍ය සභාව තුළ රහසිගත දූෂිත ක්‍රියාවලියක් පවතින බව පෙනේ. මීට ප්‍රධාන හේතුව වන්නේ වෛද්‍ය සභාව තුළ අතිවිශාල බලයක් කේන්ද්‍රගතව පැවතීමයි. තමන්ට අවශ්‍ය වෛද්‍ය උපාධිධාරීන් විටින් විට කිසිදු වගවිභාගයකින් තොරව ලියාපදිංචි කළද නිසි ක්‍රියාපටිපාටියට අනුව ලියාපදිංචිය අපේක්ෂා කරන අපේක්ෂකයන්ට වෙනමම අසාධාරණ සැලකිල්ලක් දැක්වීමෙන් පෙනීයන්නේ වෛද්‍ය සභාව කිසිවකුට පාලනය කළ නොහැකි හෝ අත්තනෝමතිකව ක්‍රියාකරන බවයි.
1991 වසරට පෙර විදේශ වෛද්‍ය උපාධිධාරීන්ට විභාගයට පෙනී නොසිට තාවකාලික ලියාපදිංචිය ලබාදෙන ලදි. එවකට සිදුකෙරුණේ වසරක සීමාවාසික පුහුණුවක් ලබාගත් පසු විභාගයට පෙනී සිටීමට ඉඩකඩ ලබාදීමයි. පිටරට විශ්වවිද්‍යාලවලදී ඉගෙනුම ලබන්නේ එම පරිසරයට අදාළ රෝගාබාධ පිළිබඳව බවත්, මෙරටදී ලබන සීමාවාසික පුහුණු කාලයේදී මෙරටට විශේෂිත වූ රෝග පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ලබාගත හැකිවූ බවත් ඒ තුළින්ම අවසන් විභාගයට සාර්ථකව මුහුණදීමට හැකිවූ බවත් පෙන්වා දෙන පිටරට වෛද්‍ය උපාධිධාරීන් කියා සිටින්නේ 1991න් පසු එම තත්ත්වය වෙනස් කළ නිසා එනම් ප්‍රථමයෙන් විභාගයට මුහුණදීමට සිදුවන නිසා තවදුරටත් එම විභාගයේ අසීරුතාව දැනෙන බවයි.
සියලු තත්ත්වයන් එසේම තිබියදී මේ වනවිටත් වෛද්‍ය සභාව තවත් අත්තනෝමතික කාර්යයකට අතගසා ඇති බව එම උපාධිධාරීහු පෙන්වා දෙති. විභාගය පවත්වන ආයතනය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා පිටරට වෛද්‍ය විදුහල්වල උපාධිධාරීන් සම්බන්ධ වන මූලික අයිතිවාසිකම් පෙත්සමක් මේ වන විටද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගවෙමින් පවතී. එහි ඊළඟ නඩු වාරය එළැඹෙන 28 වැනිදාට යෙදී ඇත. නඩුවේ තීරණයට එළැඹීමට දින 4ක් ඉතිරි වන පරිද්දෙන් ජූලි 24 වැනිදා අවසන් දිනය ලෙස සටහන් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලියාපදිංචි කිරීමේ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමට හදිසියේ පුවත්පත් දැන්වීම් පළකර ඇත. මෙය නීතියට පටහැනි ක්‍රියාවක් බව එම උපාධාරීහු පෙන්වා දෙති.
කෙසේ හෝ පසුගිය අප්‍රේල් මස පැවති විභාගයෙන් දේශීය වෛද්‍ය උපාධිධාරීන්ගේ ප්‍රතිඵල නිසි වේලාවට නිකුත් කළද, ප්‍රතිඵල සටහන් වන යන්ත්‍රයේ දෝෂයක් නිසායැයි කියමින් විදේශ උපාධිධාරීන්ගේ ප්‍රතිඵල නිකුත් කර තිබුණේ නැත.
මේ සියලු දෙයින් පෙනීයන්නේ විදේශ වෛද්‍ය උපාධිධාරීන් ලංකාවේ වෛද්‍ය සේවයට බඳවා ගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අකමැත්තක් දක්වන බවයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිටරටවල වෛද්‍ය උපාධි ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන උපාධිධාරීන් වෛද්‍ය සේවයට ඈඳා ගැනීමට දක්වන අකමැත්තට හේතුව කුමක්දැයි විදේශ වෛද්‍ය උපාධිධාරියකුගේ පියකු වන ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධිය හදාරා ඇති අත්දැකීම් බහුල වෛද්‍යවරයකු අප සමග කරුණු පැහැදිලි කළේය.
මම හිතන විදියට පැහැදිලිවම පෙනෙන දේ තමයි මේකට හේතුව ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ තිබෙන ඊර්ෂ්‍යාව. ඔවුන් ඉතා විශාල මුදල් කන්දරාවක් පෞද්ගලික ඩිස්පෙන්සරි පවත්වාගෙන යෑම හරහා හම්බ කරගන්නවා. පෞද්ගලික රෝහලකට ගිහින් බැලුවොත් දැකගත හැකියි. රෝහල් ගාස්තු ක්‍රෙඩිට් කාඩ්වලින් එහෙම නැත්නම් චෙක්වලින් ගෙවන්න පුළුවන්. නමුත් වෛද්‍යවරයාගේ ගාස්තුව මුදල්වලින් ගෙවිය යුතුයි. ඒ සඳහා රිසිට් පතක් හෝ නිකුත් කරන්නේ නැහැ. මොවුන් අඩුම වශයෙන් ලංකාවට බදුගෙවන්නේවත් නැහැ. නමුත් විශාල මුදලක් හම්බ කරනව. මේක තමයි හේතුව. වෛද්‍යවරුන් වැඩිවෙනවා කියන්නේ ඔවුන්ට අභියෝගයක්. ඒකට ඔවුන් කැමති නැහැ. තවත් දෙයක් තමයි 1958 ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු ප්‍රධානියා (ඒ.ටී.එස්. පෝල්) පැහැදිලිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා එක කොමියුනිස්ට්කාරයෙක්ටවත් ලංකාවේ වෛද්‍ය වෘත්තියට ඇතුළත්වීමට ඉඩ දෙන්නේ නැහැ කියලා. මේක හරිම බරපතළයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ 23 දෙනෙක් සාමාජිකයන් ඉන්නවා. එක් අයෙක් තමයි නිල බලයෙන් පත්වන රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. තව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු. තවත් 4 දෙනෙක් සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් නාමයෝජනා කරනවා. ඔවුන් විෂය පිළිබඳ දන්න උදවිය. විශේෂම කොටස තමයි ඉතිරි අය. ඔවුන් 8 දෙනා රජයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංගමයේ සාමාජිකයන්. මේ අටදෙනා තමයි SLMc එක පාලනය කරන්නේ. එම සංගමේ ලංකාවේ සියලුම වෛද්‍යවරු සාමාජිකත්වය දරනවා. ඒ පිරිස කියලා තිබෙනවා UGC එක ඉල්ලන පරිදි ලකුණු සීමාව පහත දැම්මොත් ඔවුන් වැඩවර්ජනයකට යනවා කියලා. මේ තරම් විශාල බලයක් ඔවුන්ට තිබෙනවා. පාලනය කළ නොහැකි බලයක්. UGC එකෙන් විභාගෙ තියන කොට සමත් වන ප්‍රතිශතය 6% දක්වා පහත වැටෙන කොට UGC එකෙන් තමයි ඉල්ලීමක් ආවේ සමත් කරන ලකුණු සංඛ්‍යාව 40 දක්වා නැවතත් පහත දමන්න කියලා. ඒක තමයි ඉස්සරත් තිබුණු ක්‍රමය. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පාන්නේ ඒකට. අන්තිමට සිද්ධවෙන්නේ අහිංසක රෝගීන්ට ප්‍රමාණවත් සෞඛ්‍ය සේවාවක් ලබාදෙන්න බැරිවෙන එක.
දැනට 1620ක් පිටරට වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍යවරුන් ලෙස සේවය කරයි. තවත් 850ක් පමණ දෙනා ලියාපදිංචිව නොමැති සේවාවෙන් පිට වෙනත් රැකියා කරමින් හෝ කිසිදු රැකියාවක් නොකර සිටිති.
යුද්ධය පැවති සමයේ උපාධිය නිමකොට පැමිණී විදේශ උපාධිධාරී වෛද්‍යවරුන් කෙළින්ම උතුරු නැගෙනහිර සේවයට පරිපූර්ණ ලියාපදිංචිය සිදුනොකොට සේවයට එක් කිරීමට වෛද්‍ය සභාව කටයුතු කළේය. යුද්ධ පැවති සමයේ සියලු මෙහෙයුම්වලදී වෛද්‍ය සේවාව සැපයුවෝ මෙම වෛද්‍යවරු වෙති. නමුත් වසර දෙකෙන් දෙකට නැවත අලුත් කළයුතු තාවකාලික ලියාපදිංචිය මෙම වසරේ සිට අත්හිටුවීමට කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි. යුද මෙහෙයුම් සමත් මේ වෛද්‍යවරුන්ගෙන් ඇතැම් අය මියගිය අතර ඇතැමෙක් තුවාල ලැබීය. එසේ පරිත්‍යාගයක් සිදුකොට රටට අවශ්‍යම වේලාවක ලබාදුන් සේවයට කළගුණ සැලකීමක් ලෙසවත් මොවුන්ට සාධාරණය ඉටු නොකිරීමට තරම් වෛද්‍ය සභාව කුහක වී ඇත.
විදේශයන්ගෙන් වෛද්‍ය උපාධිය හදාරා එන පිරිසට (ඔවුන්ට අඩු සුදුසුකම් ඇතැයි සිතනවා නම්) විධිමත් අධ්‍යාපනයක් හෝ පුහුණුවක් මෙරටදී නැවත ලබාදී හෝ ඔවුන්ව සෞඛ්‍ය සේවාවට ඈඳා ගැනීම කරනවා විනා ඔවුන්ගෙන් පළිගැනීමට හෝ ස්වකීය පෞද්ගලික ප්‍රයෝජන තකා ඔවුන් ව්‍යුහයෙන් ඈත් කිරීම කළයුතු නොවන්නකි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විභාග පැවැත්වීමේ විනිවිදභාවය පිළිබඳ කෙරෙන විවේචනය පිළිබඳ එහි ලේඛකාධිකාරි වෛද්‍ය එන්.ඡේ. නෝනිස් මහතාගෙන් රාවය කරුණු විමසීය.

වෛද්‍ය එන්.ඡේ. නෝනිස්
මොකක්ද මේ එයාලා ඉල්ලන විනිවිදභාවය, ප්‍රශ්න පත්‍රය කලින් පිටකළ යුතුයි කියන එකද? ඒවා විශ්වවිද්‍යාල ඇතුළේ සිද්ධ වෙනවා. නමුත් SLMC එකේ එහෙම දේවල් කරන්නේ නැහැ.
ප්‍රශ්නෙ තියෙන්නේ ඔය 40ක් 50ක් විතර ඉන්නවා පිටරට වෛද්‍ය උපාධිය ගත්තු අය. එක දිගටම ලංකාවේ ලියාපදිංචි කිරීමේ විභාගය අසමත් වෙනවා. එයාලා තමයි ඔය දේවල් කියන්නේ.
UGC එක කියන්නේ ප්‍රශ්න පත්‍ර අමාරු නම් සමත් කිරීමේ ලකුණු ප්‍රමාණය අඩු කරන්න කියලා. ඒකට වෛද්‍ය සභාව එකඟ නැහැ. 1999 සිට දාහක් විතර විභාගය සමත්වෙලා තිබෙනවා. විදෙස් උපාධිධාරීන්ට දෙන ප්‍රශ්න පත්‍රය අමාරුයි කිව්වම අපි කිව්වා එහෙනම් MBBS එග්සෑම් එකටම ලියන්න කියල. එතනදි පොදු බහුවරණ ප්‍රශ්න පත්‍රය ඔවුන් අසමත් වෙනවා.
ඊට පස්සෙ ඒ අය නඩුවක් දැම්මා. ඒ සරත් එන්. සිල්වා විනිසුරුතුමාගේ සේවයේ අවසන් කාලය. ඔහු විස්තර අහන්නේ නැතුව අපෙන් ඇහුවා කොහොමද සමාදාන වෙන්නේ කියලා. ඊට පස්සෙ තීරණය වුණා UGC එක හරහා විභාගෙ තියන්න. තාමත් ප්‍රශ්න පත්‍ර දීලා එයාලට ඒවා එකතු කරගෙන යනවා.
නමුත් කියන්න ඕන දේ තමයි එකට කටයුතු කරන්න බලය තියෙන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල ගැන එයාලා කොහොමද දන්නේ. පිටරට විශ්වවිද්‍යාලවල දේවල්. ඒ අය ගැන ඔක්කොම රෙකෝඩ්ස් තියෙන්නේ අපි ළඟ. ඒ ගැන කටයුතු කරන්න බලය තියෙන්නේ අපිට.




Line
Sri Lanka