ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

අධිකරණය ගැන නැවතත්

දිසාවිනිසුරු අරවින්ද පෙරේරා ගැන අපි ගිය සතියේ ලීවෙමු. විනිසුරුවරයකුට අමතරව ව්‍යාපාරිකයකුද වන ඔහු බැංකු හා මූල්‍ය ආයතන ගණනාවකින් ලබාගත් ණය හා ණයපත්වලට අදාළ මුදල් නැවත නොගෙවීම නිසා ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනගත පුද්ගලයකු ලෙස සිටිද්දීත් දිසා විනිසුරුවරයකු ලෙස කටයුතු කරන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කළෙමු. මේ ගැන පැමිණිලි අධිකරණ සේවා කොමිෂන් සභාවටද ලැබී තිබුණේය.

මේ සතිය වන විට දිසාවිනිසුරුවරයාගේ රාජකාරි කටයුතු අත්හිටුවා ඔහු ගැන පරීක්‍ෂණයක් කරන්නට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. එම පියවර යුක්තිය අගය කරන, පිරිසිදු හා ස්වාධීන අධිකරණයක් ඉල්ලා සිටින කොයිකාගේත් ප‍්‍රසාදයට හා ගෞරවයට පාත‍්‍රවන දෙයකි.

අධිකරණ බලය ජනතාවගේය. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී තිබෙන පරමාධිපත්‍ය බලතල පහෙන් එකකි. ජනතාවගේ එම අධිකරණ බලය රටේ අධි...



මරණය භීතියට හෝ කනස්සල්ලට හේතුවක් කරගත යුතුද?

වික්ටර් අයිවන් [Sunday, September 16, 2012]

ආච්චිලා සීයලා හා අම්මලා තාත්තලා ගැනත්, දූදරුවන් පිළිබඳවත් මා පළකරමින් තිබෙන අදහස් සමහර අයගේ විශේෂ උනන්දුවට හේතුවී තිබෙන බව පෙනේ. කොළඹ ප‍්‍රසිද්ධ විද්‍යාලයක ගුරුවරයකු දුරකතනයෙන් මට කතා කරමින් කීවේ ඔහු රාවයේ පාඨකයකු බවත්, මාගේ බොහෝ පොත්පත්ද කියවා ඇති බවත්, ඔහුගේ මව උගත් වුවත් රාවය නොකියවන බවත්, එහෙත් මෙම ලිපි පෙළ ඇගේ අවධානයට යොමු කළ පසු ඇය උනන්දුවෙන් ඒවා කියවූවා පමණක් නොව, ඒ ලිපි පෙළ කියවන ලෙස ඇගේ සම වයසේ මිතුරියන්ටද කියනවා ඇසුණු බවත්ය.

රත්න ශ‍්‍රී කවියාගේ ආදරණීය බිරිඳගේ මළගෙදරදී එහි සිටි එක් කණ්ඩායමක් අතර ඒ ගැන සිදුවූ අදහස් පළකිරීමක් ඒ ස්ථානයේ සිටි දෙදෙනකුගෙන් අසන්නට ලැබුණි. මෙම විෂය ගැන මා පළකරමින් තිබෙන අදහස් මැද පන්තිකයන්ට මිස, දුප්පතුන්ට අදාළ නොවන බව එම අදහස් පළකිරීමේදී එක් අයකු කියා සිටි බවත්, එසේ වුවද එම කතාබහට සම්බන්ධ වූයේ දහදෙනකු නම් ඒ සියලූදෙනාම එම ලිපි පෙළ කියවා තිබුණු බව පෙනෙන්නට තිබුණු බවත් ඔවුහු කියා සිටියෝය.

එහි එන සමහර අදහස් මැද පන්තික ආර්ථික පසුබිමක් ඇති අයට මිස දුප්පතුන්ට පිළිපැදීම දුෂ්කර බව මම ද පිළිගනිමි. ඒ අදහස් පළකරන විට එවැනි හැඟීමක් මා තුළද ඇතිවී තිබුණි. සමහර දේවල් හැම කෙනකුටම පිළිපැදිය නොහැකි තත්ත්වයක් තිබිය හැකිය. කෙසේ වුවත් එම ධර්මතා ඔවුන්ගේ ජීවිතවලටද අදාළය.

සියලූ පුද්ගලයන්ට විවාහ වූ පසු දෙමාපියන්ගෙන් වෙන්ව වෙනම ජීවිතයක් ගතකිරීමට පුළුවන්කමක් නොතිබිය හැකිය. සිය දෙමාපියන් සමග මහගෙදර ජීවත්වීම ඔවුන්ට තෝරාගැනීමට තිබෙන එකම විකල්පය විය හැකිය. එහෙත් එවැනි අවස්ථාවලදී පවා විවාහවීමෙන් පසු දෙමාපියන් සමග එකට ජීවත්වීමේදී ඇතිවිය හැකි ප‍්‍රශ්න පිළිබඳව හරි අවබෝධයක් ඇතිනම් ඒ නිසා ඇතිවිය හැකි හානි අවම කරගත හැකිය. එම ධර්මතාව රක්ෂාවලට යන අම්මලාටද අදාළය. තම දරුවන් සමග නොසිටීමෙන් ඔවුන්ට විය හැකි හානිය ගැන හරි අවබෝධයක් ඒ අම්මලාට තිබේ නම් හානිය අවම කරගැනීම සඳහා කළයුතු අතිරේක දේවල් කෙරෙහි ඔවුන්ට අවධානය යොමු කළ හැකිය.

මගේ මව සහ ඇගේ ලේලිය

මා පෙන්වා දුන් සමහර ධර්මතා ක‍්‍රියාත්මක කිරීම සඳහා මැද පන්තික ආර්ථික පසුබිමක් අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේ නැත. මාද විවාහවීමෙන් පසු බිරිඳ සමග පළමුවෙන් ජීවත්වන්නට ගියේ අම්මා ජීවත් වූ මහගෙදරටය. ඒ ආශ‍්‍රයෙන් ඇතිවිය හැකි ආරාවුල් ගැනද කිසියම් අවබෝධයක් තිබියදීය. එහෙත් නැන්දාට හා ලේලියට එකට ජීවත්විය නොහැකි බව හා ඒ තත්ත්වය දරුවන්ගේ ජීවිත කෙරෙහි පමණක් නොව මාගේ ජීවිතයද අප‍්‍රසන්න කිරීමට හේතුවන බව තේරුම් ගත් විට මම අම්මාට තනිව ජීවත්වීමට ඉඩහැර කුලී නිවසක ජීවත්වන්නට ගියෙමි. මා ඒ අවස්ථාවේදී එම තීරණය නොගෙන අම්මා තනි කොට යන්නේ කෙසේදැයි කල්පනා කරමින් එහිම ජීවත් වන්නට ගියේ නම් මහා අවුලක් ඇතිවන්නට ඉඩ තිබුණේය. එකල මට ලැබුණු වැටුප කුලී ගෙයක් නඩත්තු කරන්නට තරම් ලොකු එකක් නොවීය. අනෙක් අතට මහගෙදර ජීවත්වීමේදී ගෙවත්තෙන් ලැබෙන සමහර දේවල් ජීවන වියදම් බර සැහැල්ලූ කිරීමට හේතුවිය. ඒ අර්ථයෙන් මහගෙදර අතහැර යෑම බොහෝ වාසි අතහැරීමක් විය. එහෙත් ඒ වාසි සලකා එහි ඉන්නට උත්සාහ කළේ නම් ජීවිතය කෙරෙහි වඩා විශාල හානි ඇතිවන්නට ඉඩ තිබුණි. මා එම නිවසින් පිටවී යනවිට අම්මාට බැණ වැදී කෝපයෙන් පිටවී ගියේ නැත. මා ඒ වෙනුවට කළේ සන්සුන් ලෙස ඇයට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කිරීමය. මාගේ මව ස්වභාවයෙන්ම මාන්නාධික කෙනකු වූවා සේම කරුණු තේරුම් ගැනීමේ හැකියාව ඇති උගත් කෙනෙක්ද විය. මාගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඇය මට යන්න එපා කීවේද නැත. මහගෙදර පිහිටි ඉඩම විශාල එකක් නොවූවද වැඩ කිරීමකින් තොරව තනි පුද්ගලයකුට අවම ජීවිතයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය ආදායම් උපයාදීමේ හැකියාව ඊට තිබුණි. අම්මා ළඟ ලොකුවට නොවූවත් කිසියම් ප‍්‍රමාණයක ඉතිරි කිරීම්ද තිබුණි. මා ගාල්ලෙන් කුලියට ගත් නිවස හා මහගෙදර අතර ඇති දුර කිලෝමීටර් පහකට වැඩි නොවීය. ඉන්පසු මා කළේ මසකට වරක් ඇය කැමති දෙයක්ද රැගෙන ඇය බලන්නට ගොස් සුළු මුදලක් ඇයට දීම පමණය.

එහෙත් එසේ අවුරුදු කිහිපයක් ගිය පසු තවදුරටත් තමාට තනිව ජීවත්විය නොහැකි බව කියා සියලූදෙනාටම එහි පැමිණ ජීවත් වන ලෙස ඈ මගෙන් ඉල්ලා සිටියාය. මම ඇගේ ඉල්ලීම පිළිගත්තෙමි. බිරිඳ හා දරුවෝද ඊට කැමති වූහ. අප එහි ගිය පසුව එතෙක් ඈ පවත්වාගෙන ගිය නිවසේ ආධිපත්‍යය අත්හරිමින් ඒ තැන ගැනීමට බිරිඳට ඉඩ දුන්නාය. අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලින් තොරව මාගේ පොත් එකතුවේ තිබුණ ඇය කැමති පොත් උනන්දුවෙන් කියවන්නියක බවට පත්වූවාය. ඒ සමග ඇය මුණුබුරන් හා මිණිබිරියන් සමග කෙළිදෙළෙන් කල් ගෙව්වාය.

ඇගේ ජීවිතයේ අවසාන කාලයේදී ඇය ලේලිය සමග මනා සහයෝගයෙන් ක‍්‍රියා කළාය. ඇය මියයන්නට පෙර කෙටි කලක් එක්තැන් විය. ඒ කාලයේ ඇගේ සියලූ කැතකුණු අතගාන්නට සිදුවූයේ බිරිඳටය. ඒ කාර්යය ඇය සතුටින් කළාය. ඇගේ මරණය ශාන්ත හා නිසසල මරණයක් වීයැයි කිව හැකිය. ඇගේ අවමඟුල සරල, චාම්, ඉක්මනින් පවත්වනු ලබන, ළඟ ඥාතීන්ට පමණක් සීමා කළ දෙයක් බවට පත්කිරීමට මට අවශ්‍ය විය. ඒ ගැන දැනුම් දෙන දැන්වීම් පළ කරනු නොලැබීය. අත් පත‍්‍රිකාද මුද්‍රණය කරනු නොලැබීය. කොඩි හෝ බැනර් දැමීමක්ද සිදු නොවීය. ආගමික වතාවන්ට ඉඩ දුන්නේද ඇය ආගම වැදගත් කොට සැලකූ නිසාය. සභාගිත්වය ඉතාමත් සුළු පිරිසකට සීමා කරන්නට අපේක්ෂා කළද එය පමණක් අපේක්ෂා කළ ආකාරයට සිදු නොවීය. ඇගේ සිරුර කනත්තේ භූමදානය කරන ලද්දේ නොබඳින ලද පස් වළකය. වල මත සිහිවටන ඵලකයක්ද ඉදි නොකරන ලදි. කවදා හෝ මගේ අවමඟුල සිදුවිය යුත්තේද ඒ ආකාරයට හෝ ඊටත් වඩා සරල ආකාරයකටය.

මාගේ මවගේ මරණය එක් පරම්පරාවක අවසානය සංකේතවත් කළේය. ඒ සමග පියවරුන් බවට පත්ව සිටි ඇගේ දරුවන් සීයලා බවට පත්වීමේ අදියරය ආරම්භවෙමින් ඇගේ මුණුබුරන් හා මිණිබිරියන් මව්වරුන් හා පියවරුන් බවට පත්වීමේ අදියරය ආරම්භවීයැ යි කිව හැකිය.

මරණය තේරුම් ගැනීම

බොහෝ වැඩිහිටියන් තුළ විශේෂයෙන්ම ඔවුහු විශ‍්‍රාම වයසට පැමිණි කල අනවශ්‍ය තරමට මරණය ගැන කල්පනා කරන්නන් බවට පත්වෙති. මරණය ගැන බියක් සේ ම පසුතැවිල්ලක්ද ඔවුහු ඇතිකර ගනිති. දැන් ඔවුන් ආච්චිලා සීයලා බවට පත්වී ඔවුන්ගේ සුරතල් දඟකාර දරුවෝ මව්වරුන් හා පියවරුන් බවට පත්වී සිටිති. බොහෝ විට විශ‍්‍රාම යන විට ලැබුණු පාරිතෝෂිකය මුළුමනින් හෝ ඉන් වැඩි කොටසක් නිෂ්ප‍්‍රයෝජනවත් ලෙස වැය කිරීම නිසා හෝ ඒවා ඥානාන්විතව ආයෝජනය නොකිරීම නිසා හෝ ඔවුන්ට ගතකරන්නට සිදුවී තිබෙනුයේද අගහිඟකම්වලින් පිරුණු ජීවිතයකි. සමහරවිට සමහර අයට ඔවුන්ගේ දරුවන් සමග තිබෙන සම්බන්ධකම්ද යහපත් තත්ත්වයක නොපවතී. අපි ඒගොල්ලන්ට හැම දෙයක්ම කළා. ඒ්ත් දැන් ඒ ගොල්ලන්ට අපි ගැන සැලකිල්ලක් නැතැ යි ඔවුහු මැසිවිලි කියති. සමහර අයගේ දරුවන් ජීවත්වන්නේ එතෙර රටවලය. තවත් සමහර අයගේ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා මියගොසිනි. මෙම විශේෂ වටාපිටාව වැඩි වැඩියෙන් ඔවුන්ගේ සිත් මරණය කෙරෙහි යොමු කිරීමට හේතුවී තිබේ. ඒ තත්්ත්වය කෙරෙහි, විශ‍්‍රාම ජීවිත අදියරයට ආ විට ඒ අදියරයේ අවසානය මරණය වීමේ සාධකයද බලපා තිබේ.

එම ජීවිත අදියරයේ අවසානය මරණය වන බව සත්‍යයකි. එහෙත් ඒ අදියරය ජීවිතයේ කෙටි අදියරයක් ලෙස සැලකිය නොහැකිය. විශ‍්‍රාම යන වසර අවුරුදු 60ක් ලෙස සලකා වර්තමානයේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 80ක් ලෙස සලකතොත් ජීවිතයේ එම අවසාන අදියරයට අයත් වසර ගණන අවුරුදු 20කි. එය මුළු ජීවිත කාලයෙන් සීයට විසිපහකට සමානය. එය මනුෂ්‍ය ජීවිතයේත් කෙටි කාලයක් නොව දීර්ඝ කාලයකි. අවුරුදු 10ක ඉදිරි ජීවිතයක් ඇතිවිට පවා එය සැලකියයුත්තේ දීර්ඝ කාලයක් වශයෙනි. කෙනෙකු එවැනි දීර්ඝ කාලයක් මරණය ගැන කල්පනා කරමින් ඒ ගැන ළතැවෙමින් වඩා හොඳ ඊළඟ ජීවිතයක් සඳහා පින් රැස් කරන්නට උත්සාහ කරමින් කාලය ගතකරයි නම් එය සැලකිය යුත්තේ ප‍්‍රයෝජනවත් හා අර්ථවත් ජීවිතයක් සඳහා යොදාගත හැකි කාලයක් අපතේ දැමීමක් ලෙසය. ආගමික ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය නම් කළයුතු හොඳම දේ පැවිදි වී උද්යෝගිමත් හා ධාර්මික පැවිදි ජීවිතයක් ගතකිරීමය. බුදුන්වහන්සේ පවා පැවිදිවන්නන්ගෙන් බලාපොරොත්තු වන දේ ගිහියන්ගෙන් බලාපොරොත්තු නොවීය. ගිහියන්ගෙන් බලාපොරොත්තු වූයේ අර්ථවත් හා යහපත් ලෞකික ජීවිතයකි. මරණය මුළුමනින් අමතක නොකළ යුතු බව ඉන් අදහස්වන්නේ නැත. මරණය අමතක නොකරමින් මැරෙන තෙක් යහපත්, ඵලදායි හා ප‍්‍රබෝධමත් ජීවිතයක් පවත්වාගෙන යායුතුය. මරණය සැලකිය යුත්තේ අනිවාර්යතාවක් ලෙසය. ශ්‍රේෂ්ඨ ආගමික ශාස්තෲවරු පවා මරණයට පත්වූහ. මරණයට පත් නොවී මරණය ජයගත් කිසිවකු නැත. මරණය බියට පත්විය යුතු බිහිසුණු මාරයකු ලෙස සැලකීම වැරදිය. සන්සුන්ව තෘප්තිමත්ව හා අවශ්‍ය වෙතොත් නිර්භීතව ඒ අවස්ථාවට මුහුණ දිය යුතුය. යමක් හොඳින් අවසන් කළවිට එය කනගාටුවට නොව සංතෝෂයට හේතුවකි. හොඳ නවකතාවක් ලියා අවසන් කළ නවකතාකරුවකු තුළ හෝ හොඳ චිත‍්‍රයක් ඇඳ අවසන් කළ චිත‍්‍ර ශිල්පියකු තුළ හෝ ඇතිවන්නේ කනගාටුවක් නොව සංතෘෂ්ටියකි. ඊට වඩා සංකීර්ණ විය හැකි වුවත් ජීවිතයද ඒ හා සමානය. යහපත් හා අර්ථවත් ජීවිතයක් ගත කළ පුද්ගලයකු මරණය ගැන ඇති කරගත යුත්තේද ඒ හා සමාන හැඟීමකි. අයහපත් ජීවිතයක් ගතකර ඇත්නම් කළයුත්තේ ගතකළ එම අයහපත් ජීවිතය ගැන අවංක ලෙස කනගාටුවෙමින් යහපත් අලූත් ජීවිතයක් ඇතිකර ගැනීමය. අයහපත් ජීවිතයක් ගතකරන්නන් ඒ තත්ත්වයෙන් ඉවත් නොවී සිල්ගැනීම හෝ යාඥා කිරීම අර්ථ ශූන්‍යය. අධර්මිෂ්ඨ ලෙස ධනය උපයන්නන් තවදුරටත් එසේ කරමින් අධර්මිෂ්ඨ ලෙස උපයන ධනයෙන් පුංචි පංගුවක් ආගමික දේවලට දීමෙන් ඔවුන්ගේ ජීවිත යහපත් වන්නේවත් පිං ලැබෙන්නේවත් නැත. ඔවුන් සැලකිය යුත්තේ බුදුන් හෝ දෙවියන් රවටන්නට උත්සාහ කරන වංචාකාරයන් ලෙසය. එහෙත් රටේ ආගමික මහා ප‍්‍රවාහය සකස් වී තිබෙන්නේද වරදේ නිරත අයට ඒ වැරදි කරමින්ම ආගමික වීමට ඉඩ ලැබෙන ආකාරයටය. එය බාහිර ආටෝපයෙන් ධර්මිෂ්ඨ වුවත් අභ්‍යන්තර හරයෙන් අධර්මිෂ්ඨය. එම ජනප‍්‍රිය ප‍්‍රවාහයට අනුගතවීමෙන් ජීවිතයේ අවසන අදියරය යහපත් කරගත නොහැකිවා සේ ම යහපත් මරණයක්ද බලාපොරොත්තු විය නොහැකිය.

ශ්‍රේෂ්ඨ මරණ

මද්දුම බණ්ඩාර පුංචි ළමයකු වුවද ඔහුගේ මරණය සැලකිය හැක්කේ ඉතාමත්ම වර්ණවත් හා අර්ථවත් මරණයක් ලෙසය. එම පුංචි ළමයාට මරණය ඉදිරියේ තෝරාගැනීමට තිබුණේ විකල්ප දෙකක් පමණය. එකක් දීන ලෙස මරණයට මුහුණදීමය. අනෙක නිර්භීත ලෙස මරණයට මුහුණදීමය. ඔහු නිර්භීත ලෙස මරණයට මුහුණදෙමින් අපේ රටේ පිළිගත් ළමා වීරයා බවට පත්විය.

බුදුන් වහන්සේ බුදුබව ලැබීමෙන් පසුද උන්වහන්සේ විසින් පසක් කරගත් සත්‍ය ගැඹුරු අර්ථයන් තමන්ගේ පැවිදි අනුගාමිකයන්ටද, ඒවාහි සරල අර්ථයන් ගිහි මහජනතාවටද කියාදෙමින් මහලූ වයසට පත්ව මැරෙන තෙක්ම එම උතුම් කාර්යභාරය උද්යෝගිමත් ලෙස ඉදිරියට ගෙන ගියේය. උන්වහන්සේද අවසානයේ මරණයට මුහුණදුන්නේ ඉතාමත්ම ආදර්ශමත් සේ ම අර්ථවත් ආකාරයටය. එය උන්වහන්සේ තුළ පැවති මහා කරුණාවේ සියුම්බව හා ගැඹුර පෙන්නුම් කළ අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.

වැදි නායකයා දානය පිළිගන්වන අවස්ථාවේදී මහලූ වයසට පත්ව සිටි බුදුන්වහන්සේ සිටියේ රෝගී තත්ත්වයකය. වැදි නායකයා බුදුන් වහන්සේට දානය ලෙස පිළිගන්වන ලද්දේ ඔහුට දිය හැකි ඉස්තරම්ම දේය. එහෙත් බුදුන් වහන්සේ සිටි රෝගී තත්ත්වය තුළ වැදි නායකයා පිළිගන්වන ලද දානය වැළඳීමෙන් තම රෝගී තත්්ත්වය උත්සන්න කිරීමට හේතුවී මරණයද ඉක්මන් කළ හැකි බව බුදුන්වහන්සේ දැන සිටියේය. පිළිගන්වන ලද දානය නොවැළඳ වුවහොත් එය වැදි නායකයා දුකට පත් කරන හේතුවක් වන බව තේරුම් ගනිමින් රෝගය උත්සන්න කිරීමට හේතුවිය හැකි බව දැන දැනම එම දානය වැළඳුවේය. ඒ සමග ඒ ආශ‍්‍රයෙන් පැන නගින විසඳාලිය යුතු සංකීර්ණ ප‍්‍රශ්න දෙකක් කෙරෙහිද උන්වහන්සේගේ අවධානය යොමුවිය. තමා පිළිගන්වන ලද දානය වැළඳීම නිසා බුදුන්වහන්සේගේ මරණය ඉක්මන් වූ බව වැදි නායකයා දැනගතහොත් එය වැදි නායකයාට දරා ගැනීමට පහසු නැති දුකක් බවට පත්වන්නේය. එවැනි තත්ත්වයක් ඇතිවීම වැළකිය යුතුය. අනෙක් අතට උන්වහන්සේගේ මරණය ඉක්මන් වූයේ වැදි නායකයා විසින් පිළිගන්වන ලද දානය නිසා බව සිය සමීප අනුගාමිකයන් දැනගත් විට ඔවුන් තුළ වැදි නායකයා කෙරෙහි කෝපයක් ඇතිවිය හැකිය. එයද වැළැක්විය යුතුය. බුදුන්වහන්සේ මරණයට පත්වූයේ එම සංකීර්ණ ප‍්‍රශ්න දෙකම විසඳාලීමෙන් පසුවය. මරණ මංචකයේදී පවා ඒ ආකාරයෙන් ක‍්‍රියාකළ හැක්කේ අසාමාන්‍ය තරමේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට පමණය. උන්වහන්සේගේ පරිනිර්වාණය සිදුවුයේ අසූවියේදීය.

ක‍්‍රිස්තුස් වහන්සේගේ මරණයද අසාමාන්‍ය තරමේ වර්ණවත්භාවයක් පෙන්නුම් කළ මරණයක් ලෙස සැලකිය හැකිය. උන්වහන්සේ කුරුසියේ තබා ඇණ ගසා මරා දමන ලද්දේ උන්වහන්සේගේ මව හා ප‍්‍රධාන ශ‍්‍රාවකයන් ඉදිරියේය. එය පුද්ගලයකු උපරිම ලෙස වධහිංසාවට ලක් කොට සිදුකරන ලද මරණයක් විය. එය ක්ෂණිකව සිදුවූවක් නොවූ අතර කිසියම් දීර්ඝ වේලාවක් තුළ සිදුවූ ක‍්‍රියාවලියක් විය. ක‍්‍රිස්තුස් වහන්සේ ඊට සන්සුන් ලෙසත්, වෛරයෙන් තොරව නිර්භීත හා ප‍්‍රතාපවත් ලෙසත් මුහුණ දුන්නේය. ක‍්‍රිස්තු භක්තිකයන් එම මරණය සලකන්නේ ලෝකවාසීන් පාපයෙන් මුදාගැනීම සඳහා කරන ලද ශ්‍රේෂ්ඨ ප‍්‍රාණ පරිත්‍යාගයක් ලෙසය. මරණයට පත්වන විට ක‍්‍රිස්තුස් වහන්සේගේ වයස අවුරුදු 30ක් හෝ 33ක් විය.

සොක‍්‍රටීස්ගේ මරණය

සොක‍්‍රටීස්ගේ (ක‍්‍රි.පූ. 469-399) මරණයද ඉතිහාසයට එකතු වී තිබෙන ඉතාමත් වර්ණවත් හා ආකර්ෂණීය මරණයකි. ඇරිස්ටෝටල්ට අනුව ආචාර ධර්ම විද්‍යාවේ ආරම්භකයා සොක‍්‍රටීස්ය. සියලූම දාර්ශනිකයන් අතර බර්ට‍්‍රන්ඞ් රසල් විසින් ප‍්‍රබලම දාර්ශනිකයා ලෙස සලකන ප්ලේටෝ, සොක‍්‍රටීස්ගේ ගෝලයෙකි. දයලෙක්තිකවාදය හෝ අපෝහකවාදය ලෙස සැලකෙන ප‍්‍රශ්න හා උත්තර මගින් කැරෙන ඥාන වීමංසාව සොක‍්‍රටීස්ගේ නිර්මාණයකි. සොක‍්‍රටීස් වැදගත් කොට සැලකුවේ සත්ගුණය සමග එකතු කළ ඥානයයි. ඇතැන්ස් පුරවරයේ ප‍්‍රඥාවට අයිතිවාසිකම් කී ප‍්‍රකට පුද්ගලයෝ සොක‍්‍රටීස්ගේ ප‍්‍රශ්න කිරීමට ලක්වූහ. ඒ මගින් ඔහු ඔවුන්ගේ ප‍්‍රඥාවේ තිබූ බරපතළ සීමාසහිතකම් පෙන්වා දුන්නේය. ඒ සමග ඔහු පුරවරයේ තරුණයන්ට ප‍්‍රඥාව ලබාදීම සඳහා ක‍්‍රියා කළේය. ඔහුගේ මෙම ක‍්‍රියාවලිය ඇතැන්ස් පුරවරයේ ප‍්‍රමුඛ තත්ත්වයක් හිමි කරගෙන සිටියවුන් ප‍්‍රකෝප කිරීමට හේතුවිය. අවසානයේ ඔහු තරුණයන් නොමග යවන්නකු ලෙස සලකා නඩු පවරන ලදි. එම ඓතිහාසික නඩුව විභාග කරන ලද්දේ කුසපත් ඇදීමෙන් තෝරා පත්කර ගන්නා ලද 501 දෙනකුගෙන් සමන්විත විනිශ්චය සභාවක් මගිනි.

එහිදී සොක‍්‍රටීස් ව්‍යක්ත ලෙස සිය නිදහසට කරුණු ඉදිරිපත් කළේය. විනිශ්චයකරුවන් 221ක් සොක‍්‍රටීස්ට පක්ෂ වන විට 280ක් සොක‍්‍රටීස්ට විරුද්ධවීම නිසා සොක‍්‍රටීස් චූදිත පක්ෂය එල්ල කළ චෝදනාවලට වරදකරු විය. චෝදක පක්ෂය ඉල්ලා සිටි දඬුවම මරණ දඬුවම විය. එහි පැවති ක‍්‍රමය අනුව චූදිතයා වරදකරු කැරෙන අවස්ථාවකදී චෝදක පක්ෂය ඉල්ලා සිටින දඬුවම වෙනුවට ඊට වඩා ලිහිල් විකල්ප දඬුවමක් ඉල්ලා සිටීමේ අයිතිය වරදකරු බවට පත්ව සිටින චූදිතයාට තිබුණි. එම දඬුවම් දෙකෙන් කුමන දඬුවමක් පැනවිය යුතුද යන්න විනිශ්චය මණ්ඩලය තීරණය කළ යුතුය.

සොක‍්‍රටීස් කළේ ඉතා සුළු මුදල් දඩයක් ගසන ලෙස යෝජනා කිරීමය. එය හරියට මරණ දඬුවම නියම වී සිටින පුද්ගලයකු දඬුවම ලිහිල් කිරීමක් වශයෙන් රුපියල් 100ක් වැනි සුළු දඩයක් ඉල්ලා සිටීම වැනි දෙයක් විය. එයින් කෝපයට පත් විනිශ්චය මණ්ඩලය වඩා විශාල බහුතර එකඟත්වයකින් යුතුව ඔහුට මරණ දඬුවම නියම කළේය. සොක‍්‍රටීස් ලැබෙන ප‍්‍රතිවිපාක කල්තියා දැන සිටියේය. මරණ දඬුවම නියමවීමෙන් පසුද ඔහු ඒ ගැන එම අධිකරණය ඉදිරියේ ව්‍යක්ත ලෙස අදහස් පළකිරීමක යෙදුණේය. සමහරවිට මරණය සිහින විරහිත සදාකාලික නින්දක් විය හැකි බව කීවේය. එසේත් නැත්නම් එය අමරණීය ලෝකයකට යන ගමනක් විය හැකියැ යිද එසේ වුවහොත් බාධාවකින් තොරව තම ඥාන ගවේෂණය එහිදී ඉදිරියට ගෙනයෑමට හැකිවනු ඇතැ යි ද ඒ නිසා පනවන ලද මරණ දඬුවම ගැන දුක්වීමට හේතුවක් නැති බවද කියා සිටියේය.

මරණ දඬුවම නියමවීමෙන් පසු අත්අඩංගුවේ සිටි සොක‍්‍රටීස්ට හිරගෙයින් බේරී පලායාම සඳහා ඔහුගේ මිත‍්‍රයෝ වැඩපිළිවෙළක් සකස් කළෝය. එහෙත් සොක‍්‍රටීස් ඊට එකඟ නොවීය. තමන්ට නීතියෙන් දඬුවම් නියම කර ඇති බැවින් එය වළකාලීමට නීති විරෝධී කිසිවක් කිරීම වැරදි බව ඔහුගේ මතය විය. අවසානයේ ඔහු මරණයට පත්කරන දිනයේදී ඔහුගේ විලංගු ඉවත් කොට සිය මිතුරන් සමග නිදහසේ කතා කිරීමට ඉඩ දුන්නේය. හඬා වැළපෙන භාර්යාව හා බිළිඳු දරුවා ඒ ස්ථානයෙන් ඉවත් කොට ඔහු තමන්ගේ මරණයට පෙර සිය මිතුරන් සමග ඔහුගේ අවසාන දාර්ශනික සංවාදයේ නිරත විය. සොක‍්‍රටීස්ගේ අවසාන සංවාදය හා ඔහුගේ මරණ මොහොත විස්තර කිරීම සඳහා ප්ලේටෝ ලියා තිබෙන පීඩෝ නමැති ග‍්‍රන්ථය සැලකෙනුයේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම මහා කාව්‍යය වශයෙනි. වස පානය කළයුතු වේලාව එළඹෙන්නට ටික වේලාවකට පෙර ඔහු සංවාදය නවතා ජලය ස්නානය කොට සිය බිරිඳ හා දරුවන් තමා වෙත ගෙන්වා ගෙන ඔවුන්ට අවවාද දී ඔවුන්ගෙන් අවසන් වශයෙන් සමුගෙන ඔවුන් එම ස්ථානයෙන් පිටත් කොට යවා සංවාදයේ යෙදුණු සිය මිතුරන්ට පමණක් එහි ඉන්නට ඉඩදී අලූගෝසුවා තමා වෙත ගෙන්වාගෙන වස පානය කිරීමෙන් පසු කළයුතු දේ ගැන ඔහුගෙන් උපදෙස් ලබාගත්තේය. විස පානය කිරීමෙන් පසු පාදවල බර ගතියක් දැනෙන තෙක් ඇවිදින ලෙසත් ඉන්පසු හාන්සි වෙන ලෙසත් අලූගෝසුවා ඔහුට උපදෙස් දුන්නේය. ඉන්පසු අලූගෝසුවා අත තිබුණු හෙම්ලොක් විස බඳුන සියතට ගෙන සන්සුන් හා ප‍්‍රබෝධමත් ලෙස එය පානය කළේය. එතෙක් කඳුළු නොසැලූ එහි සිටි ඔහුගේ දාර්ශනික මිත‍්‍රයෝ ඔහු වසබීම ආරම්භ කොට එය අවසන් කරනු දැකීමත් සමග මහ හඬින් හඬාවැළපෙන්නට වූහ. ඔවුන්ගේ ඒ හැසිරීම ගැන සොක‍්‍රටීස් ඔවුන්ට දොස් කීවේය. සොක‍්‍රටීස් මඳ වේලාවක් එහා මෙහා ඇවිද්දේය. ඉන්පසු හාන්සි විය. අලූගෝසුවා ඔහු වෙත පැමිණ කකුලේ නාඩි බැලූවේය. ක‍්‍රමයෙන් පාද සීතල වනු ඇති බවත්, ඉන්පසු ඒ සීතල බව ශරීරයේ උඩට ගමන් කරනු ඇති බවත්, හෘදය වස්තුව කරා ළඟාවූ විට මරණයට පත්වනු ඇති බවත් අලූගෝසුවා සොක‍්‍රටීස්ට කීවේය. සොක‍්‍රටීස්ගේ පාද දරදඬුවෙමින් ක‍්‍රමයෙන් එම ලක්ෂණය ඉහළට ගමන් ගනිමින් තිබෙන බව ඔහු ළඟ සිටි මිතුරන්ට පෙනෙන්නට තිබුණි. හදිසියේම සොක‍්‍රටීස් තමන්ගේ මුහුණ වසාගෙන සිටි රෙදි කැබැල්ල ඉවත් කොට එහි සිටි මිතුරකු අමතා ක‍්‍රයිටො ඇස්ක්ලිපියස්ට නොවරදවාම කුකුළකු දෙන්නැ යි ඉල්ලා සිටියේය. රෝගාතුරව සිට සුවපත්වන්නන් වෛද්‍ය විද්‍යාවට අධිපති ලෙස සැලකුණු ඇස්ක්ලිපියස්ට කුකුළකු දෙන චාරිත‍්‍රයක් එකල තිබුණි. ඉන් පෙනෙන්නේ සොක‍්‍රටීස් මරණය සුවපත්වීමක් ලෙස සැලකූ බවය.

මරණය ගැන මෙවැනි සටහනක් ලිවීමට පෙළඹුණේ විශ‍්‍රාම වයස් අදියරයට පැමිණි පසු සමහර පුද්ගලයන්, විශේෂයෙන්ම කාන්තාවන් එම ජිවිත අදියරය අවසානයේදී මුහුණ දෙන්නට සිදුවන මරණයට බියවී තේරුමක් නැති දේවල් කරන තැනකට යොමුවී ප‍්‍රයෝජනවත් ලෙස යොදාගත යුතු කාලය නිෂ්ප‍්‍රයෝජනවත් ලෙස ගතකරන බව හා ඒ මගින් ඔවුන් සිය ජීවිතයේ අවසාන අදියරය ප‍්‍රබෝධයෙන් තොර මලානික දෙයක් බවට පත් කරගෙන තිබෙන බව පෙනෙන්නට තිබෙන නිසාය. එවැනි ජීවිතවල යහපත් වෙනසක් සඳහා එම පරාජිත මානසිකත්වය ජයගැනීම අත්‍යවශ්‍යය. මහත්මා ගාන්ධි ආගමික මිනිසෙක් විය. එහෙත් ඔහු මරණය හා මරණයෙන් පසු කුමක් සිදුවන්නේදැ යි කල්පනා කරමින් තමන්ගේ වටිනා කාලය නිෂ්ප‍්‍රයෝජනවත් ලෙස ගතකළේ නැත. ඔහු ඝාතනය කැරෙන අවස්ථාව දක්වාම (ඒ වන විට ගාන්ධිගේ වයස අවුරුදු 78ක් විය.) ඉතාමත් උද්යෝගිමත් හා ප‍්‍රබෝධමත් ලෙස සිය සමාජ කටයුතුවල නිරත වී සිටියේය. ඔහු මරණයට පත්වන අවස්ථාව වන විටත් ඉන්දියාවේ ඇවිලී තිබූ ජාතිවාදයේ ගිනි මුළුමනින් නිවී නොතිබුණි. ඔහුගේ මරණයත් සමග ඒ සියලූ ගිනි නිවී ඔහුගේ චිතකයෙන් දැල්වෙන ගින්න පමණක් ඉන්දියාවේ තිබුණු එකම ගින්න බවට පත්විය.

ටෝල්ස්ටෝයි බයිසිකල් පදින්නට ඉගෙන ගත්තේ අවුරුදු 67දී බව මීට පෙර ලිපියක සඳහන් කරන ලදි. ඔහු සිය 70 වැනි ජන්ම දිනය සමරන ලද්දේ එම බයිසිකලෙන් සැතපුම් 20ක් දුර ගමන් කිරීමෙනි. වයස අවුරුදු 82දී ඔහු මිය යන තෙක්ම ප‍්‍රබෝධමත් හා කාර්යයශීලී ජීවිතයක් ගත කළේය. අවුරුදු 97ක් ජීවත් වූ ගණිතඥයකු හා දාර්ශනිකයකු වූ බර්ට‍්‍රන්ඞ් රසල්ද මැරෙන තෙක් ප‍්‍රබෝධමත් හා කාර්යශීලී ජීවිතයක් ගත කළේය. ඔහුගේ යුද විරෝධී ප‍්‍රතිපත්තිය වෙනුවෙන් අවුරුදු 87දීත් ඔහු කෙටි සිරදඬුවමක් වින්දේය. ඔහු තමන්ගේ බටහිර දර්ශන ඉතිහාසය නමැති දැවැන්ත ග‍්‍රන්ථය ලීවේ අවුරුදු 75දීය. වෙළුම් තුනකින් යුතු ස්වයං චරිතාපදානය ලීවේ අවුරුදු 90න් පසුවය. අවුරුදු 88ක් ජීවත් වූ මයිකල් ඇන්ජලෝ ද මැරෙන තෙක්ම නිර්මාණශීලී ලෙස සිය පින්සල හැසිරවූ ශ්‍රේෂ්ඨ චිත‍්‍ර ශිල්පියෙක් විය. ඔහු වතිකානුවේ සාන්ත පීටර් බැසිලිකා ගොඩනැගිල්ලේ මුදුනේ තිබෙන සිතුවම් සහිත ගෝලාධර්ධ ශිඛරය සැලසුම් කළ ගෘහනිර්මාණ ශිල්පියාය. ඒ වගකීම ඔහු භාරගත්තේ වයස අවුරුදු 88දීය. රතු හුණුවලින් ඒ සඳහා අගනා සැලැස්මක් ඇඳ එහි කටයුතු ආරම්භ කිරීමට ඔහු සමත් වුවත් එය අවසන් කිරීමට ඔහුට හැකිවූයේ නැත. ඔහුගේ හොඳම නිර්මාණවලින් වැඩි කොටසක් කර තිබෙන්නේ ඔහුගේ අවසාන අවුරුදු 20දීය.

ඉදිරියේ ඇතිවන මරණය ගැන බියෙන් හා කණස්සල්ලෙන් ජීවත් වනවාට වඩා මරණය තෙක් යහපත් හා ප‍්‍රබෝධමත් ජීවිතයක් ගතකිරීම ඵලදායකය.




Line
Sri Lanka