දිනෙත් මල්ලිකාරච්චි


ආගමික විශ්වාසයක් මනුෂ්‍යකුට ඒත්තු ගැන්විය හැකි ආකාර දෙකකි. එකක් නම් තර්කයයි. අනෙක භක්තියයි. ලොව ඇති කිසිදු ආගමක් සත්‍ය නොවේය, ලෝකය යනු අපට පෙනෙන අයුරින්ම තිබෙන භෞතිකය පමණක්ම යයිද කියන පිරිසක් සිටිති. මොවුන් පොදුවේ නිරාගමිකයන් ලෙස හැඳින්වේ.


නිරාගමිකත්වය, හේතු ප්‍රත්‍ය(බුදු දහමේ එන හේතු ප්‍රත්‍ය නොවේ), සහ තර්ක විධි දේශපාලනිකව බලවත්ව ඉදිරියට ඒම නිසා ලෝකයට අහිමි වී ගිය එක් දෙයක් නම් භක්තියයි. මනුෂ්‍ය සංහතියේ විශිෂ්ට නිර්මාණ බොහොමයක් බිහි වී තිබෙන්නේ භක්තිය නිසාය. සුවිශාල නගර, ගොඩනැගිලි, ආරාම, දේවාල, පමණක් නොව සාහිත්‍ය කෘති සංකල්ප, විවිධ කලා ශිල්ප ආදී එකී නොකී ශිෂ්ඨගත නිර්මිත සහ අභිචාර විධි බොහොමයක් බිහි වී තිබෙන්නේ භක්තිය මුල් කරගෙනය. තාර්කිකත්වය සහ නිරාගමිකත්වය ප්‍රමුඛ වීමේ එක් ප්‍රථිපලයක් නම් භක්තිය මනුෂ්‍යයාගෙන් ඉවත් වීමය. භක්තිය දුරු වීමත් සමග භක්තිය සමග මනුෂ්‍ය වර්ගයා උත්පාදනය කොට තිබුණු සෞන්දර්යයද අතුරුදහන් විය.
තාර්කිකයා කියන්නේ ඔහුගේ තර්ක වලට අනුකූල ලෙස සාධනය කළ නොහැකි නම් කුමනාකාරයේ වුවද ආගමක් සැබෑවක් නොවන බවය. භක්තිවන්තයා කියන්නේ ආගම යනු තර්කයෙන් පැහැදිලි කළ නොහැකි දෙයක් බවත්, එය අත්දැකීමක් බවත්, එය අත් දැකීමට නම් තර්කනය අමතක කොට භක්තිය මාවතේ ඉදිරියට පැමිණිය යුතු බවත්ය.


දැන් අප නිරාගමිකයන් මොහොතකට අමතක කරමු. ඉහත ආකාරයේ වූ, භක්තිවන්තයන් දෙදෙනකු, වෙනස් භක්තීන්ට අයත් භක්තිවන්තයන් දෙදෙනකු අතර සිදු වන හමුවීමක් මීළඟට සිතා බලමු. එය කුමනාකාරයේ එකක් විය හැකිද?
පසුගිය සතියේ අම්පිටියේ සුමනරතන හිමියන් උන් වහන්සේගේ පන්සල ආශ්‍රිතව සැරිසැරූ යම් ක්‍රිස්තියානි නිකායකට අයත් පුද්ගලයකුට කනේ පහරක් දෙන ජවනිකාවක් අප සැවොම දුටුවෙමු. බොහෝ දෙනකු කලබල වී තිබේ. තවත් අයෙකු විස්සෝප වී තිබේ. ඇතැම් අයකු උද්දාමයටද පත් වී තිබේ. නමුත් මේ දෙස විචාරශීලීව බලන්නාට මේ කිසිවක් අදාළ නැත. මේ ජවනිකාව මෑත ඉතිහාසයේ දක්නට නොලැබුණු, මේ කාලය වන විට සොයා ගැනීමට අසීරු වර්ගයේ බැතිමතුන් දෙපලකගේ අභිමුඛ වීමකි. ඒ දෙස බැලිය යුත්තේ එලෙසිනි. සුමනරතන හිමියන්ට එකඟව හෝ විරුද්ධව උපාදානයෙන් නොගැටෙන්නේ නම් ඉහත කියූ “ භක්තිවන්තයාගේ සෞන්දර්යය” මේ ජවනිකාවේ නොඅඩුව ගැබ්ව තිබෙන බව පැහැදිලි වනු ඇත. සුමනරතන හිමියන් මුළු හදවතින්ම සිතන්නේ බුද්ධ ශාසනය රැක ගැනීමට නම් ඊට සතුරු වන මේ බලවේග මුලිනුපුටා දැමිය යුතු බවය. ඒ සඳහා ඕනෑම දෙයක් කිරීමටද උන් වහන්සේ තුල සූදානමක් තිබේ. මෙවැනි වූ උන් වහන්සේට අභිමුඛ වන්නේ ඊට නොදෙවෙනි තවත් භක්තිවන්තයෙකි. ඔහු ඉතාම තියුණු ප්‍රශ්නයක් උන් වහන්සේගෙන් අසයි. ඔහු අසන්නේ අප සියලු දෙනාටත් තිබෙන බරපතලම ගැටලුවක් වන, ලෝකයේ දර්ශන ආගම් ඇති වීමට බොහෝ වාර ගණනක් බලපා ඇති මූලික ප්‍රශ්නයකි. එනම් මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද කියාය.


අම්පිටියේ සුමනරතන හාමුදුරුවන් කිපෙන්නේ මේ ප්‍රශ්නය වැරදි ප්‍රශ්නයක් නිසා නොව, මෙය ඉතාම නිවැරදි ප්‍රශ්නයක් නිසාය. ඇත්ත වශයෙන්ම ඒ ප්‍රශ්නය අයත් විය යුත්තේ උන් වහන්සේගේ බණ දේශනාවටය. උන් වහන්සේගේ ජීවිතයේ ප්‍රකාශිත අරමුණ වන්නේද මේ ප්‍රශ්නයට පිළිතුරක් සම්පාදනය කිරීමය. උන් වහන්සේද ඒ බව දන්නේය.

ප්‍රශ්නය තිබෙන්නේ මේ ප්‍රශ්නය අසන්නා, මේ ප්‍රශ්නයට උන් වහන්සේ දීමට බලපොරොත්තු වන පිළිතුරේ පාර්ශ්වයේ නොසිට වෙනත් තැනක සිට ගැනීමයි. එමෙන්ම ඒ සිටගැනීම වෙතට උන් වහන්සේගේ භක්තියේ සෙනග විවිධාකාර වලින් ගෙන්වා ගැනීමට උත්සාහ දැරීමයි. බුදු සසුන ආරක්ෂා කොට මිය පරලොව යාම සුමනරතන හාමුදුරුවන්ගේ පරම අභිලාෂයයි. කොළඹට වී රූපවාහිනියෙන් හෝ අන්තර්ජාලයෙන් මෙය නරඹන ලිබරල්වාදියකු හෝ නිරාගමිකයකු මේ කරනා වැඩ වලින් පරලොව සුගතියක් අත්වේද යනුවෙන් සුමනරතන හිමියන්ගෙන් ඇසීමට ඉඩ තිබේ. එයට උන් වහන්සේගේ පිළිතුර වනු ඇත්තේ පරලොව කුමන ඉරණමක් අත් වුවද තම දිවි දෙවැනි කොට ශාසනය රැකීමට මෙලොවදී කළ යුතු ඕනෑම දෙයක් කිරීමට පසු නොබසින බවය . ලිබරල්වාදීන්ද, නිරාගමිකයන්ද වෙනත් සියලු ආකාරයේ දේශපාලනික වශයෙන් නිවැරදි විද්වතුන්ද දැන ගත යුත්තේ භක්තිවන්තයාගේ මේ සෞන්දර්යයි. අම්පිටියේ සුමනරත හිමියන් අතිශයින්ම සත්‍යවාදී මනුෂ්‍යයෙකි. උන් වහන්සේ සිදු කරන්නේ උන් වහන්සේ විසින් කළ යුතු බවට ඉතිහාසය විසින් නිර්ණය කළා යයි උන් වහන්සේ විශ්වාස කරන බැරෑරුම් කාර්යය භාරයකි. ධනවාදයේ තුන් වන කාර්තුවෙන් ඉක්බිති අපට අහිමි වී තිබෙන්නේ මේ සෞන්දර්යයයි. අම්පිටියේ සුමරතන හාමුදුරුවන් වැනි අය සිදු කරන්නේ මේ සෞන්දර්යය නැවත වතාවක් අප හමුවට ගෙන ඒමය. අනෙක් පසින් උන් වහන්සේගෙන් මරණයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි අසන මිනිසා සලකා බලන්න. ඔහු ඒ උද්වේගකර මොහොතේත් වර නගන්නේ දාර්ශනික ප්‍රශ්නයකි. මරණය ජීවිතයට භාවනාවකි ය යන්න බෞද්ධ සාහිත්‍ය යේ ප්‍රකට කියමනකි. මේ උද්වේගකර මොහොතේ ඔහු වරනගන්නේ ඔහුගේ ජීවිතයේ ගැඹුරුම ප්‍රශ්නයයි. ඔහු වෙනත් ආකාරයකට සුමනරතන හිමියන්ට කියා සිටින්නේ දැන් සියල්ල අත හැර තපසට යන ලෙසය.නමුත් ඉතිහාසය විසිනුත් සමාජය විසිනුත් තමන් කරපිට පැවරුණු රාජකාරිය එසේ මගහැරිය නොහැක. තෝ මගෙන් බන අසන්නට සැරසෙනවාද යනුවෙන් ඇසීමෙන්ම අදහස් වන්නේ මේ බණ අස අසා සිටීමට මොහොත නොවන බවයි. අනෙක් පසින් ගත් විට මේ ගුටි කන මිනිසාද උපරිම ආකාරයේ බැතිමතෙකි. තම දෙවියන් වෙනුවෙන් මිනිසුන් එකතු කරමින් ඔහු උදේ දිවා රෑ වෙහෙසෙයි . ඔහුගේ භක්තියට අනුව, තමන් විශ්වාස කරන භක්තිය “ වඩාත් විශ්වාසනීය භක්තියක් “ වන්නේ හැකි තරම් පිරිසක් ඒ වටා එකතු වූ විටය. ඔහු තමන්ගේ ජීවිතය පවා අවදානමේ දමා ගනිමින් ඒ කර්තව්‍යයේ යෙදෙයි. මේ අවස්ථාවේ ඒ වටා රැස්ව සිටින්නේ ගම් වැසියන් පිරිසකි. ඔවුහු හාමුදුරුවන්ට පක්ෂපාති බව පෙනේ. ඊට අමතරව පොලීසියයි. එනම් රාජ්‍යයේ නියෝජිතයාය.

මේ අවකාශය මෙන් සිය දහස් ගණනක් විශාල අවකාශයක මේ ජවනිකාව ඉන් අනතුරුව විකාශය වෙයි. එම අවකාශය තුල මේ සිද්ධිය සදාචාර විනිශ්චයන්ට ලක් වෙයි. මේ විනිශ්චයන්ගේ පදනම වන්නේ හේතු ප්‍රත්‍ය භාවය සහ තර්කයයි. මුළු ලොවක් තමන් දෙස තර්කයෙන් බලා විනිශ්චයන්ට එළඹෙන අතර තුරදී මේ භක්තිවන්තයන් දෙදෙනා ඒ කිසිවක් නොතකා අතීතයේ පැවති භක්තියේ සෞන්දර්යය අප වෙත ගෙන එයි. මට අනුව නම් මෙය කොළඹ ලිබරල් බුද්ධිමතුන් කියන්නාක් මෙන් ආගමික ප්‍රචණ්ඩත්වය , මදාවිකම හෝ වර්ගවාදයකට වඩා භක්තිවන්තයන්ගේ ආත්මීය සටනකි. සාමාන්‍ය චිත්‍රපටයක් බලන කෝණයෙන් මෙදෙස බලන කල මේ දෙදෙනා එදිරිවාදීන් දෙදෙනකු ලෙස පෙනුනද ඇත්ත වශයෙන්ම මේ දෙදෙනා සිටින්නේ එක පසින්ය. මේ අව්‍යාජ බැතිමතුන් දෙදෙනා නිරාගමිකත්වයටත් , මිනිසුන් පාළුවේ මුලා කොට දමන පුද්ගල ලිබරල්වාදයටත් එරෙහි මාරාන්තික සටනකට පිවිස සිටිති.


ඉන් අනතුරුව මේ ජවනිකාවට මෝටර් බයිසිකලයකින් පැමිණෙන ලෝගුධාරි පූජක තුමාද සුවිශේෂී චරිතයකි. ඔහු රජයට අයත් මහාමාර්ගයේ යතුරු පැදියකින් සැරිසරන්නේ හිස් ආවරණයක් නොමැතිවය. එය රටේ මාර්ග නීති වලට අනුව කල නොහැක්කකි. නීතියට අනුව කළ නොහැක්කක්, කිසිදු චකිතයකින්, තැතිගැන්මකින් තොරව සිදු කරන්නේ බලය පිළිබඳ යම් අවබෝධයකින් සහ ඉතා දැනුවත් ලෙස බලය අත් පත් කරගැනීමකින් යුතුවය. සුමනරතන හිමියන්ගේ කලබලකාරී හැසිරීමෙන් එක් විට පොලා පැන තිබෙන සිද්ධියට යම් නිහඬ අතීතයක් තිබෙන බව ඒ අනුව පැහැදිලිය. එය කොළඹ සිටින අපට විනිශ්චය කළ නොහැක. එය කිරීමට නම් ඒ අදාළ වටපිටාවට බැසිය යුතුය. මේ වටපිටාවේ ස්වරූපය පිළිබඳවද යමක් සටහන් කළ යුතුමය. මේ මඩකලපුව නැගෙනහිර වියලි කලාපයේ කාෂ්ඨකම පළාතකි. ජීවිතය දුෂ්කරය. පරිසරය මෙන්ම මනුෂ්‍ය ගනුදෙනුද කඨෝරය. එවැනි තැනක සංවාද හටගන්නේ සාමාන්‍යයෙන් මේ ආකාරයෙනි. ඒ සංවාද කොළඹ ඇති වන සැන්දෑ කාලයේ කෝපි අවන්හල් සංවාද වලට වඩා සංයුතියෙන්ද මාදිලියෙන්ද වෙනස්ය. මඩකලපුවේ වියලි පොළොවේ මහදවාලේ දාර්ශණික සංවාදයක් වුවද දිගහැරෙන්නේ මේ ලෙසය.

මෙදෙස අවඥාවෙන් බැලීම සුමනරතන හාමුදුරුවන්ගේ නොව කොළඹ සිටින ලිබරල් බුද්ධිමතුන්ගේ ගැටලුවකි.
ධර්මය මින්සුනට ඒත්තු ගැන්විය හැකි, ධර්මයට මිනිසුන් යොමු කළහැකි ආකාර එකකට වඩා වැඩි ප්‍රමාණයක් තිබේ. කුමන සුමධුර දහම් දේශනයකට වුව ඇහුම්කන් නොදෙන නිරාගමිකයන් සහ කොළඹ සිටින ලිබරල් බුද්ධිමතුන් බුදු දහමට යොමු කිරීමේ ලොකුම ගෞරවය හිමි වන්නේ ඥානසාර හාමුදුරුවන්ටය. ඥානසාර හාමුදුරුවන්ගෙන් ආරම්භ වූ සිංහල රැඩිකල් භික්ෂු පරම්පරාවේ කුමන හෝ සාමාජිකයකු මොනයම් හෝ සමාජ මැදිහත් වීමක් කළ බොහෝ අවස්ථා වලදී මේ ලිබරල් බුද්ධිමතුන්ට බුදු දහම සිහි වීමේ ආශ්චාර්ය ජනක සිද්ධිය අප අත් දැක ඇත්තෙමු. අසවල් සූත්‍රයේ බුදුන් පවසා ඇත්තේ මෙසේය, ත්‍රිපිටකයේ අසවල් තැන මේ පිළිබඳව සඳහන් වී ඇත්තේ මෙසේය, අසවල් අවස්ථාවේ බුදුන් කළේ මෙවැනි දෙයක්ය යනුවෙන් අටෝරාසියක් උපුටාගැනීම් දක්වමින් මේ ලිබරල් බුද්ධිමතුන් එකී භික්ෂූන්ගේ ක්‍රියාව විවේචනය කරනු අප දැක ඇත්තෙමු. මොන තරම් දක්ෂ ධර්ම කථිකයකුටවත් නැති හැකියාවක් මේ රැඩිකල් භික්ෂූන් සතුව තිබේ. එනම් බුද්ධ දේශිතය වචනයක් හෝ උපුටා නොදක්වමින් , බුදු දහම පිළිබඳ සාමාන්‍ය තත්ත්ව යටතේදී කිසිදු උනන්දුවක් නොදක්වන පිරිසක් ක්ෂණිකව බුද්ධ දේශිතය වෙතට යොමු කිරීමේ හැකියාවයි. එනයින් ගත් කල සුමධුර දහම් දෙසුම් පවත්වමින් බරපතල ධර්ම කාරණා පහදමින් වසර ගණනක් වෙහෙස වන හිමිවරුන්ට වඩා ප්‍රයෝගික සාර්ථකත්වයක් මේ රැඩිකල් භික්ෂූන් විසින් අත් කරගෙන තිබේ.


සුමනරතන හාමුදුරුවන්ගේ කනේ පහර කෙරෙහි කොළඹ ලිබරල් බුද්ධිමතුන් දක්වන ප්‍රතිචාරයෙන් පැහැදිලි වන තවත් දෙයක් නම් ඔවුන් මොන තරම් සුමනරතන හිමියන් සමග අනන්‍ය වන්නේද යන වගයි. සුමනරතන හාමුදුරුවන් මේ කනේ පහරට පසුව පිරිස සමග කතා බහකරන තරමක් දීර්ඝ වීඩියෝවක්ද මේ වන විට එලියට විත් තිබේ. එහිදී උන් වහන්සේ කලින් මනුෂ්‍යා විසින් ඇසූ දාර්ශණික ප්‍රශ්නයට අපූරු පිළිතුරක් ලබා දෙයි. උන් වහන්සේ පවසන්නේ මේ මිනිසා මගෙන් මරණයෙන් පසු යන තැන ඇසුවද මට ඒ ගැන නිච්චියක් නොමැති බවත්, මමත් එවැනි තැනක් සොයමින් සිටින බවත්, ඒ කොහේ ගියත් මම යන්නේ මේ රාජකාරිය කිරීමෙන් අනතුරුව බවත්ය. භාවාතීෂමය සිංහල ජාතිකවාදයේ ආත්මීය ප්‍රකාශනය මෙයයි. භක්තිවන්තයාගේ සෞන්දර්යය ප්‍රකාශනයද මෙයයි. ලිබරල් බුද්ධිමතුන් පවසන්නේ කනට ගැසීම වැරදි බවය. එය සත්‍යයකි. නමුත් ඔවුන් නොකියා පවසන්නේ නුඹද අපේ එකකු බවය. එනම් නිරාගමික ලිබරල් අපටත් කවුරුන් හෝ මරණයෙන් පසු සිදු වන දේ කුමක්ද යන්න ඇසුවහොත් දෙන්නට පිළිතුරක් නැත. එනයින් අපිත් ඔබත් සමානය. නමුත් අපි ඔබ මෙන් කනට ගසන්නේ නැත. කනට ගැසීම නිසා අපට ඔබත් සමග අනන්‍ය වීමට නොහැක.


පසුගිය දශක දෙකතුනේ සිංහල ජාතිකවාදය දියුණුවූයේ බුද්ධිවාදී ව්‍යාපාරයක් ලෙස නොවන බව සැලකිල්ලට ගත යුතුය. එය වර්ධනීය අවධීන් කීපයකටම පොලා පැනීම කළේ අතිශයින්ම භාවාතීෂමය රැලි මගින් මිස බුද්ධිවාදී සංවාද තුලින් නොවේ. නලීන් ද සිල්වා සහ චම්පික රණවක වැන්නන් විටින් විට මේ තුලට විවිධ මට්ටමින් බුද්ධිවාදයන් ආරෝපණය කිරීමට තැත් කළද, ඔවුන් පවා ගොඩනගාගෙන තිබෙන යම් සමාජ දේශපාලනික බලයක් වෙත් නම් ඒ බුද්ධිවාද මගින් නොව, හැඟීම්බර ආමන්ත්‍රණයන් වෙතින් ගොඩනගාගත් දේශපාලනික බලයන් බව කිව යුතුය. ඇත්ත වශයෙන්ම චම්පික රණවක මේ මොහොතේ මුහුණ දී තිබෙන බරපතලම අර්බුදයත් එයයි. ඔහුට දැන් තමන් හැඟීමෙන් ජනිත කළ මතවාදය බුද්ධිවාදයක් බවට අනුවර්තනය කිරීමට අවශ්‍යය. නමුත් එය එක රැයින් කළ හැක්කක් නොවේ.

අම්පිටියේ සුමනරතන හිමියන්ට දශක දෙකක් මුළුල්ලේ විඳින්නට සිදු වූ අනේක විධ දුක් ගැහැට පිළිබඳ දුක් ගැනවිල්ලක් උන් වහන්සේට ලැදි බොහෝ දෙනාට තිබේ. ඔය මඩකලපුවේම මින් මාස කීපයකට පෙරාතුව භික්ෂූන් වහන්සේ නමක් ගම් වැසියකුගෙන් (මුස්ලිම් ජාතික) පහරකන විටත්, වසර ගණනාවක් තිස්සේ සුමනරතන හිමියන්ගේ පන්සලට අසල්වැසි මුස්ලිම් ජාතිකයන්ගෙන් සිදු වූවා යයි කියන හිරිහැර සිද්ධ වන විටත් කොළඹ සිටින මේ ලිබරල් බුද්ධිමතුන් කිසිවක් කතා නොකළ බව ඔවුහු කියති. එනිසා මෙය එක් අතකින් සිංහල බුද්ධාගම මෙන්ම ලාංකීය ලිබරලුන්ගේ අනන්‍යතාවද ප්‍රශ්න කිරීමකට ලක් කරන සුළු සිදුවීමකි. මේ සියලු තර්ක විතර්ක පසෙක ලා බැතිමතාගේ ඇසින් මේ දෙස බැලුවහොත් බොහෝ ගැටලු විනිවිද පෙනෙන බව මගේ හැඟීමයි. රළු වුවද ප්‍රචණ්ඩ වුවද මේ රඟ දැක්වෙන්නේ බැතිමතාගේ භූමිකාවයි.