විමලනාත් වීරරත්න


සිනමා ශිල්පීහු පසුගියදා අගමැති හමුවුහ. නැවත සිනමාව හා සිනමාශාලා ආරම්භ කළ යුතුය සහ ප‍්‍රබෝධය සිනමා ශීල්පීන් වෙතින් එහිදී ප‍්‍රකට වු අතර අග‍්‍රාමාත්‍යවරයා කීවේ රජයට සහන සැලසිය හැකි නමුත් එම සහන පළදායක ලෙස භාවිත කිරීම සිනමා ශීල්පීන්ගේ වගකීමක් විය යුතු බවය. මෙරට සිනමාවට බලපෑ ප‍්‍රශ්නය කොවිඞ් වසංගතය නොවේ. සිනමාව කර්මාන්තයක් ලෙස දිගු කාලයක් තිස්සේ බිඳ වැටීමට වෙනත් ප‍්‍රශ්න හේතුවී තිබුණි. ඒවාට විසඳුමක් සෙවීම මෙම හමුවේදී සාකච්ඡුාවට ගැනුණු බවක් නොපෙනෙයි. මෙම හමුවෙන් දින තුන හතරකට පසු රූපවාහිනී වැඩසටහනකට සහාභාගිවෙමින් රවීන්ද්‍ර රන්දෙණිය කීවේ 60, 70, 80 දශකවලදී ලංකාව සිනමා කර්මාන්තය විෂයෙහි යම් දියුණුවක් අත්කරගෙන සිටි බවය. පසුව පෞද්ගලිකත්වය නිසා කර්මාන්තය ඇඳ වැටුණු බව හෙතෙම එහිදී කීවේය. සිනමාවේ වැටීමට බලපෑවේ පෞද්ගලීකරණය පමණක් නොවේ. සිනමාව කර්මාන්තයක් ලෙස නගා සිටුවිය හැකි නිර්මාණ රවීන්ද්‍ර කියු අවධියෙන් පසු බිහි නොවීම මෙහි ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බව කිව හැකිය. උක්ත හමුවට වර්තමානයේ සක‍්‍රීය සිනමා අධ්‍යක්ෂවරුන්ද කැඳවීමට තිබුණි. අගමැති ආරාධනා කරන්නට ඇත්තේ ඔහු දන්නා කියන ඔහුට හිතවත් සිනමා ශීල්පීන්ට විය හැකිය. මේ කාලයේ වැඩ කරන හඳගම, ප‍්‍රසන්න, ධර්මසිරි, විමුක්ති, සංජීව, නිලේන්ද්‍ර, උදයකාන්ත, චින්තන වැනි චිත‍්‍රපටකරුවන් මෙම හමුවට සහභාගි කරවා නොගැනීම අඩුවකි. අද කාටත් සිදුවී තිබෙන්නේ තමන් දන්නා පමණින් තීරණ ගැනීමටය. දන්නා පමණින් ගන්නා තීරණ ප‍්‍රශස්තම ඒවා වනු ඇතැයි සිතිය නොහැකිය. අගමැති කතා කරන්නේ ඔහු ජනාධිපති කාලයේ සිට දන්නා හිතවතුන් කිහිප දෙනෙකුටය. ශිල්පීන් අතර සිනමාව ගැන පරතෙරට දත් ප‍්‍රවීණයන් සිටියත් ඒ කිසිවෙක් මෙරට සිනමාව කර්මාන්තයක් ලෙස ගොඩනංවා ගැනීමට වැඩසටහන් සැලසුම් කරන බවක් නොපෙනේ. සිනමා ශිල්පීන් රජයේ සහන අපේක්ෂා කළ යුත්තේ එවැනි දීර්ඝ වැඩසටහනක් සැලසුම් කර එය ක‍්‍රියාත්මක කරවා ගැනීමටය. චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිවරයාගේ වැඩි අවධානය යොමුවන්නේද ශිල්පීන්ගේ සුබසාධක කටයුතු සඳහාය. සැබැවින්ම පැරණි දක්ෂතම ශිල්පීන් මේ වන විට ආකාස කුසුම් චිත‍්‍රපටයේ මට්ටමට පැමිණ ඇති නිසා එහිදී ජයන්ත ධර්මදාසගේ සුබසාධක මැදිහත්වීමද වැදගත්ය. ඒවා කරන අතරේ සිනමාව කර්මාන්තයක් ලෙස ගොඩගත හැක්කේ කෙසේද ! ඒ සඳහා අපට සැලසුම් කළ හැකි වැඩසටහන් කවරේද ? පුළුල් වශයෙන් සිතිය යුත්තේ මේවා ගැනය. සමස්තය දෙස උඩ සිට කුරුළු ඇසකින් නොබලා ආනුෂාංගික වශයෙන් බැලීමෙන් මේ ප‍්‍රශ්නය ජයගත නොහැකි බව සිනමා ශිල්පීන් වටහාගත යුතුය. ඒ බව අගමැතිටත් වටහා දිය යුතුය.


කලාවේ ඉතිහාසයට ගියහොත් යුග ගණනක් යන තුරුම කලාකරුවාත් රසිකයාත් අතර බාධකයක් නොපැවතුනි. එහෙත් ඍජුවම රසිකයා සඳහා වන කලාවක් අද ක‍්‍රියාත්මක නොවේ. යාන්ත‍්‍රණය සකස් වී ඇත්තේම කලාකරුවාගේ නිර්මාණ රසිකයා වෙත පියවර කිහිපයක් පසුකර එන පරිද්දෙනි. කලාකරුවා හා රසිකයා අතර ඍජු සබඳතාව පංති සමාජය ඇතිවුවායින් පසුවත් දුරස් නොවුණි. ග‍්‍රීසියේ පෞර රාජ්‍යවල නාට්‍ය නිෂ්පානය කිරීමට පටන් ගැනුණේ ආණ්ඩුවේ ආධාරයෙනි. ආණ්ඩුවේ ආධාර වලින් නිෂ්පාදනය කරන නාට්‍ය රසිකයා වෙත ඉදිරිපත් කැරුණි. ඉන්දියාවේ නම් මධ්‍ය කලීන යුගයේදී රජුට පණ්ඩිත සභාවක් සිටි බව මහාචාර්ය සුචරිත ගම්ලත් සිය ‘‘කලාව හා විඤ්ඥානවාදය’’ කෘතියෙහි දක්වයි. එම පණ්ඩිත සභාව සැබැවින්ම ශාස්ත‍්‍රය දත් පිරිසකගෙන් සමන්විත විය. මෙවැනි පණ්ඩිත සභාවක් නඩත්තු කිරීමට උනන්දුවක් රජෙකුට ඇතිවන්නේ රජු ද කලාව හා ශාස්ත‍්‍රීය විෂයයන්හි පරප‍්‍රාප්ත නම් පමණි. මෙම පණ්ඩිත සභාව පිළිබඳව මහැදුරු ගම්ලත්හු කලාව හා විඤ්ඥානය කෘතියෙහි මෙසේ දක්වති. ‘‘කාෂ්මීරයෙ රජෙකුට ඉඳලා තියනවා 14 දෙනෙකුගෙන් යුක්ත පණ්ඩිත සභාවක්. වික‍්‍රමාදිත්‍ය රජ්ජුැවන්ට නව දෙනෙකුගෙන් යුක්ත පණ්ඩිත සභාවක් ඉඳලා තියනවා. මහාකවි කාලිදාස ඒ නව දෙනාගෙන් එක්කෙනෙක්’’ (පිටුව 128*
කවීන් කාව්‍ය ප‍්‍රබන්ධ කර, නාට්‍යකරුවන් නාට්‍ය නිෂ්පාදනය කර මෙම පණ්ඩිත සභාවට ඉදිරිපත් කරන බව කියන ගම්ලත්හු කාලිදාස තම අභිඥාන ශාකුන්තලය කියන ලෝක ප‍්‍රකට නාට්‍යය නිෂ්පාදනය කර රාජ සභාවට ගොස් පෙන්නු බවද දක්වයි. මෙම පණ්ඩිත සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දෙන නිර්දේශ කලා නිෂ්පාදකයින් සැලකිල්ලට ගන්නා අතර ඇතැම් විටෙක පණ්ඩිත සභාව මුළුමනින්ම තෘප්තියට පත්වන තුරුම නිර්මාණ සංශෝධනය කිරීමට සිදුවෙයි. ශ‍්‍රී හර්ෂ නම් වු කවියා ‘‘ නෛෂධීය චරිත’’ නම්වු මහා කාව්‍යය කාෂ්මීර රාජ සභාවේ පඩිවරු 14 දෙනාට පෙන්වා අනුමැතිය ගෙන තිබේ.ඔවුහු එය විශිෂ්ට ගනයේ දෘශ්‍ය කාව්‍ය්‍යක් ලෙස හැඳින්වුහ.


උක්ත ක‍්‍රමය වැඩවසම් ක‍්‍රමයක් ලෙස නූතනයේ හැඳින්වෙන්නට ඉඩ ඇතත් ලංකාවේ පළ වන පොත් පත් උදාහරණයකට ගතහොත් ප‍්‍රකාශන ලෙස පළ කිරීමට පෙර සැබැවින්ම ඒවා විෂය ප‍්‍රාමාණිකයන් පිරිසකගේ විමර්ශනයට යොමුවීම වැදගත් බව කිව හැකිය. පළවන ඇතැම් කෘති අතිශයින්ම දුර්වලය. පළකිරීමට නුසුදුසුය. අනෙක් අතට එවැනි විෂය ප‍්‍රාමාණික පිරිසක් පොත් ප‍්‍රකාශන ආයතන වලට නඩත්තු කිරීමද කළ නොහැක්කකි. තවත් පැත්තකින් ලංකාවේ ලේඛකයන් එවැනි මණ්ඩල නොසලකා හරින්නටද පුළුවන. එහෙත් මධ්‍යකාලීන යුගයේ ඉන්දියාවේ හා කාෂ්මීරයේ රජවරුන්ට මෙන් අගමැති මහින්ද රාජපක්ෂටත් පණ්ඩිත සභාවක් නඩත්තු කළ හැකිය. නැවත එම සභාවේ සාමාජිකයන් තීරණය කරන්නේ අගමැති දන්නා කියන පිරිසකගෙන් බැවින් රටේ වෙදුන් එම පණ්ඩිත සබාවට ඇතුළත්වීමේ අනතුරක් තිබේ. ජනාධිපති ගෝඨාභය පණ්ඩිත සභාවක් පත්කළ යුතු යැයි සිතුවහොත් ආමිකාරයන්ගෙන් එම සභාව සමන්විත කරන්නට ඉඩ තිබේ. මේවායින් තහවුරු වන සත්‍යනම් පාලකයා ශාස්ත‍්‍රීය විෂයන් ගැන ප‍්‍රාමාණික දැනුමක් ඇති අයකු විය යුතුය යන්නය. අද එවැනි බහුශිල්පීය පාලකයන් බිහි නොවීමටද හේතුවක් තිබේ. උපතම රාජ්‍යත්වය සඳහා කැප කරන්නක් නම් එසේ විය හැකිය. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතුළත උපතම රාජ්‍යත්වය සඳහා වන්නේ නැත. ඇතැමුන් එසේ සිතා සිටියත් යථාර්ථය එසේ නොවේ. ඒ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආවේනික ස්වාභාවයයි.


ප‍්‍රංශ විප්ලවයෙන් පසුව පාලකයා මෙන්ම කලාකරුවාද මුහුණ පැ පොදු ප‍්‍රශ්නයක් තිබේ. පාලකයා මුහුණ දුන්නේ ජනතාව තමන්ව තෝරා ගැනීම හා නොගැනීම පිළිබඳ ප‍්‍රශ්නයටය. කලාකරුවා මුහුණ පෑවේ තවත් එවැනිම ප‍්‍රශ්නයක් වන වෙළඳපළ විසින් කලා කෘතිය තෝරාගැනීම හා නොගැනීම පිළිබඳ ප‍්‍රශ්නයටය. ධනේශ්වර විප්ලවයට පෙර තම ග‍්‍රාහකයා පිළිබඳ අවබෝධයක් කලාකරුවාට තිබුණි. එහෙත් ග‍්‍රාහකයාට වෙළෙඳපළ මගින් කෘතිය තෝරා දෙන පසුබිම වෙතට එනවිට නිර්මාණ කලාව කර්මාන්තයක් වීමේ අවශ්‍යතාව පැන නැගුණි. දැන් සිනමාව මෙන්ම සෙසු කලා මාධ්‍ය තුළ උද්ගතවී තිබෙන්නේ එම තත්ත්වයයි. පාලකයා ජනතාව වෙත තමන්ව තෝරා ගැනීමට යම් යම් උපකාර කරන, වරදාන දෙන ප‍්‍රචාරක කටයුතු කරන ආකාරයම කලාව කර්මාන්තයක් බවට පත්කිරීම සඳහාද වුවමනා වෙයි. මේ තත්ත්වය ගැන ලංකාවේ කලා සමාජයට අවබෝධයක් තිබේද? අනෙක් අතට මාකට් කළ හැකි සාර්ථක නිර්මාණ බිහිකිරීමට කලා සමාජය අසමත්වීම ගැන ඔවුන් කියන්නේ කුමක්ද ?


වැරදි මතයක්
ලංකාවේ ජාතිකවාදී ස්ථාවරය දරන ඇතැම් කලාකරුවන්ගේ අදහස මෙරට මෑත අවදියේ සිනමාකරුවන් විදෙස් වෙළෙඳපළ ඉලක්ක කරගෙන නිර්මාණ කරන බවයි. විදෙස් සිනමා වෙළඳපළකට නිර්මාණ කළ හැකිනම් එය වැදගත් පියවරක් බව පළමුව කිව යුතුය. රවීන්ද්‍ර රන්දෙනිය මහතා සඳහන් කළ රූපවාහිනී සාකච්ඡුාවේදී කීවේ 1965 තරම් ඈතකදී ලෙස්ටර්ගේ ගම්පෙරළිය ප‍්‍රධාන අන්තර්ජාතික සම්මානයක් දිනූ බවයි. ලෙස්ටර්ගේ සුපුෂ්පිත සිනමා මාවත ඔහු දෙදහස් ගණන් වල මුල හරියෙන් අවසන් කළේය. ඉන් පසුව එම සිනමා මාර්ගය තවත් ආකාරයකින් සංස්පර්ෂ කළ හැකි සිනමාකරුවා වූ ප‍්‍රසන්න විතානගේත් අන්තර්ජාතික සම්මාන දිනුවේය. සිනමාව වෙනස්ම හැඩයකින් භාවිත කළ හඳගමත් අන්තර්ජාතික සම්මානයට පාත‍්‍ර වුයේය. සංජීවගේ නිර්මාණ වලටත් ඇ`ගැයිම් ලැබිණි. කිසිම රටක කලාව එකම ස්වරූපයකින් පවතින්නේ නැත. රටවල් මගින් අනාගතවාදීව අන්තර්ග‍්‍රහණය කරගනු ඇත්තේ නව ස්වරූප විසින් ගොඩනගන කලාකරුවන් හා කලා කෘතීන්ය. ගම්පෙරළියේ හෝ නිධානයේ සිනමා අඛ්‍යානය තුළින් තවදුරටත් සිනමාව ඉදිරිපත් කළ හැකිය. එහෙත් නූතන ලෝකයේ ජීවත්වන මිනිසුන්ගේ අත්දැකීම් වෙනස් වන විට කලා ආඛ්‍යාන රටාවන්ද වෙනස් වෙයි. ඔවුන් ස්පර්ශ කරන හා සමීපව හදාරණ විෂය ප‍්‍රදේශ වෙනස්වෙයි. කොරෝනා කාලයෙන් පසුව මේ තත්ත්වය තවත් වෙනස් විය හැකිය. හඳගම යුද්ධයට මුහුණ දුන් ගම්මානවල දරිද්‍රතාව ස්පර්ශ කළේ සත්‍යජිත් රේ ඉන්දියාවේ දරිද්‍රතාව ස්පර්ශ කළ ආඛ්‍යානයෙන් නොවේ. එහෙත් ප‍්‍රස්තුත වෙනස් නැත. ප‍්‍රස්තුත නොවෙනස්නම් හඳගමට පමණක් විදෙස් සම්මාන දෙස බලා චිත‍්‍රපට කරන බව කීම අතාර්කික චෝදනාවකි. හඳගම විදෙස් වෙළෙඳපළට චිත‍්‍රපට හදනවා නම් අප වැඩපිළිවෙලක් සැකසිය යුත්තේ හඳගමගේ සිනමාව මෙරට සිනමා කර්මාන්තයට දායක කරගන්නේ කෙසේද යන්න පදනම් කර ගනිමිනි. හුදෙක් විවේචන එල්ල කරමින් නූතන සිනමාකරුවන් ලංකාවේ සිනමා කර්මාන්තයට සහායක් නොදෙන බව කීම තනිකරම ප‍්‍රලාපයකි. රවීන්ද්‍ර රන්දෙනිය ඉහතදී හැඳින්වු දශක තුනෙන් පසුව ලංකාවේ වෙළෙදපළ වෙනස් වුණේය. ප‍්‍රංශ විප්ලවයෙන් පසු වැඩවසම් යුගයේ වහලා නගරයට කැඳවා වෙනස් ආකාරයකට විකිණුවා සේ කලාව වෙළෙඳපළ ක‍්‍රමය යටතේ වෙනස් ස්වරූපයකින් විකුණන්නට සිදුවෙයි. අභියෝගය වන්නේ මෙම යථාර්ථයට මුහුණදීමය. අගමැතිට පැරණි සෙලෝලයිඞ් පෙම්වතුන් පෙම්වතියන් සමග පමණක් සාකච්ඡුා කොට මෙම ප‍්‍රශ්නය විසඳිය නොහැකිය. එම ප‍්‍රශ්නය තේරුම් ගැනීමටත් නව දැනුම අවශ්‍යය.


මීට පෙර හමුවකදීත් අගමැතිවරයා සිනමා ශිල්පීන්ට අවධාරණය කර තිබුණේ ‘‘තනි තනිව ප‍්‍රශ්න ගේන්න එපා සංවිධානගතව සිනමාවේ ප‍්‍රශ්න සාකච්ඡුා කරමු’’ යන්නය. එය ඉතාම නිවැරදි අදහසකි. චිත‍්‍රපට විෂය පිළිබඳ ප‍්‍රධානීන් පත් කර ගත යුත්තේද පෞද්ගලික හිතවත්කම් හෝ සුබසාධනවාදී අරුතකින් නොව සිනමාවේ උන්නතිය වෙනුවෙනි. සෑම රජයක්ම සිනමාව නැංවීමට කමිටු පත්කර, වාර්තා සකසා, මුදල් වැයකර වැඩසටහන් ගැන සාකච්ඡුා කර තිබුණි. එහෙත් ඒවා ඇතුළට වන් ඇතැම් බොරුකාරයෝ වැඩ අවුල් කළහ. එසේ වුයේත් වැඩසටහන් වලට නිසි නායකත්වයක් අහිමි වීම නිසාය. චිත‍්‍රපට යනු සෑම අතින්ම සමාජයක උන්නතිය වෙනුවෙන් කැප කළ හැකි මාධ්‍යයකි. අගමැති සහ සිනමාකරුවන් මෙතැන් සිට හෝ කළ යුත්තේ ප‍්‍රභේද ඉක්මවා එම සත්‍ය දකින්නට වෙර දැරීමය.

1 COMMENT

  1. I was flabbergasted why the Buddhist nuns have been deprived the issue of national identity card.
    A practicable proposal has been suggested by Mr wijewardana and the new govt should implement same.

Comments are closed.