ටිරන් කුමාර බංගගමආරච්චි

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ආණ්ඩුව ඇතුළෙන් මෙන්ම පිටතින්ද විරෝධතා මතුවනු පෙනේ. සමගි ජන බලවේගය විපක්ෂය ලෙස විස්සට එරෙහි සටන කරටම ගෙන ඇති බව දැකිය හැකිය. සෙසු පක්ෂද එවැනිම විරෝධයක නිරතය. ඒ සියල්ලට වඩා වැදගත් වනුයේ ඒ කෙරෙහි ඇති ආණ්ඩු විරෝධයය.


එහි උච්චතම අවස්ථාව අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඒ පිළිබඳ නිසි අධ්‍යයනයක් කිරීමට කමිටුවක් පත් කිරීමය. මේ කමිටුවේ ප්‍රධානත්වය දරනුයේ ජී.එල්. පීරිස්ය. මෙහි සෙසු සාමාජිකයන් වනුයේ නීතිඥ දොළවත්ත, අලි සබි්‍ර, නිමල් සිරිපාල, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, එස්. වියලේන්ද්‍රන්, ඩිලාන් පෙරේරා යන අයය. මීට අමතරව ජාතික ලැයිස්තුව නියෝජනය කරන ගෙවිඳු කුමාරතුංගද වෙනම සටනක නියැලෙමින් සිටී.
ඉහත රංගනයන් සමග විපක්ෂයේ විරෝධතා හෑල්ලු වී ගොස් ඇත. විපක්ෂය පවා විසිවැනි සංශෝධනයට ආණ්ඩුව ඇතුළෙන්ම නොසතුට පළවීම ගැන අප්‍රමාණ සතුටක ගිලෙනු පෙනෙන්නට ඇත. මෙය වූ කලී තනිකරම ගුණ්ඩුවක් බව පැහැදිලිය. විමල් සහ ගම්මන්පිල දෙපළ ඡන්දයට පෙර කීවේ තමන් ඉදිරි ආණ්ඩුවේ විපක්ෂ භූමිකාවද ඉටු කරන බවය. මේ එම විපක්ෂ භූමිකාවේ බාල රංගනය. කෙටුම්පත මුලින් ආ කල විමල් වීරවංශ මාධ්‍ය හමුවේ ‘ජනපති බලයට ආවේ ඉහළ ජනතා කැමැත්තකින්. ඒ නිසා මෙවැනි සංශෝධනයක් නොගෙන වෙන එක එකාට ඕන ඒවද ගේන්න ඕන” යැයි මහා චණ්ඩි වාක්‍යයක් මුදාහැරියා මතකය. පිටරැටියනට පාර්ලිමේන්තු වරම් දිය යුතු යැයි ඩිලාන් පෙරේරා මාධ්‍ය සාකච්ඡා තියමින් වහල්කම උපරිම ප්‍රකාශ කළේය. දොළවත්ත කොමිෂන් සභා ගැන කියන කතා හතර විලිලැජ්ජා සහගතය. උදය ගම්මන්පිල යනු රාජපක්ෂලාගේ පඩයත් සුවඳයි කියන පන්නයේ තර්කකාරයෙකි. මේ කමිටුවේ සැම එසේය. නිමල් සහ සුසිල් යනු නිකන් නම්ය. අවසානයේ මේ කමිටුව ජනපති ගෝඨා ගෙනා සංශෝධනයම වාක්‍යයක් දෙකක් කපා එයට ජනපති ගෝඨාගෙන් අවසර ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. සිදුවිය හැකි එකම දේ එයය.

ජනපති ගෝඨා සහ අගමැති මහින්ද ඇවිලෙනකම් විපක්ෂය බලා ඉන්නේ නම් එය මුලාවකි. මේ කරනුයේ ඒ සැම එකතු වී විපක්ෂය මුලාවේ දැමීමය. ඉහත කමිටුව යනු බොරු නාඩගමකි. ගෝඨා එකඟ වූ යම් යම් වාක්‍ය මහින්ද කමිටුවක් දමා කැපුවා කියා පෙන්වීම මෙම සංස්කාරක මණ්ඩලයේ වගකීමය. ආණ්ඩුවේ නියම අපුල්ලන්නෝ අතරින් මැෂිමේ දමා රෙදි අපුල්ලන්නෝ මෙයට දමා ඇත. ඔවුන් රෙදි අපුල්ලා වේලාද දෙනුයේ නවා අල්මාරියේම දාගන්නටය. ගෙවිඳු කරන්නේ තනිකරම ව්‍යාජ යුතුකමකි. ඉහත සියලු අමන රංගනයන්ට විපක්ෂය සහ සිවිල් විරෝධීන් රැවටී ඇති බව පෙනේ. ඒ අයත් මහින්ද ගැලවුම්කාරයා කරගැනීමට නියමිතය.


සජිත් විපක්ෂ නායකයා ලෙස පාරට බහින්නට පටන් ගෙන ඇත. ඒ කුමක් වුව අවසානයේ වනුයේ විස්සට උසාවි යන්නට සිවිල් චරිත දෙක තුනක් සොයා ගන්නට විපක්ෂයට සිදුවීමය. මේ කිසිදු පක්ෂයක් මෙවැනි ප්‍රශ්නවලදී පක්ෂ ලෙස උසාවි නොයති. ඒ අය කරනුයේ කාව හෝ බිල්ලට දී ඇඟ බේරා ගැනීමය. ආණ්ඩුව පන්න පන්නා පහර දෙනුයේ එලෙස දමන බිලි බෝයිස්ලාටය. සජිත්ලා හෝ ජවිපෙ පවා මේ සියලු සටන් ගෙන යනුයේ අවංක අදහසින් නොව පුරුද්දටය. දේශපාලන වුවමනා ලෙසය.


විස්ස ඉතාම නරක වුවද ඇත්ත නම් එය කෙසේ හෝ මේ ආණ්ඩුව සම්මත කරගන්නා බවය. ආණ්ඩුව ඇතුළින් මෙයට විරෝධය දක්වතැයි ඇඟිලි ගණින අය සෝදිසියෙන් සිටිය යුත්තේ ආණ්ඩුවේ විරෝධතා කෙසේ වෙතත් විපක්ෂයේ කැමැත්ත ඇත්තේද ඒ පැත්තට බල්ටි ගහන දෙසය. ඇමතිකම් ප්‍රමාණය විස්ස හරහා විවෘත කළේ මේ ගෙඹි දේශපාලකයන් ඉලක්ක කොටගෙනය.


ශ්‍රී ලංකා එකේ ස්ථාවරය සිරිසේනගේ ස්ථාවරයම බව කිව යුතුය. දයාසිරිලා, දුමින්දලා කැමති වුවද අකමැති වුවද අවසානයේ අත ඔසවනවා නියතය. අවසානයේ ලොකු වෙනසක් නැතිවම විසිවැනි සංශෝධනය අනුමත වනවා සහතිකය. මේ යථාර්ථය මෙරට දේශපාලනය තුළ කලෙක පටන් දැකිය හැකි පරම සත්‍යයකි.


එදා සිරිසේන ලවා තිස් ගණනක් මන්ත්‍රීවරු ඇමති අල්ලස්වලට නොගන්නට 19 වැන ව්‍යවස්ථා සංශෝධනයක් නොමැතිය. අනෙක් අතට යහපාලනය පෙරළා බලයට ආ රාජපක්ෂලා නැවත යහපාලනය ගෙනා හොඳ නරක තෝරා බලමින් කාලය කන්නට ලෑස්ති නොවෙති.


18 හරහා උපරිම බලය තමන් වෙතට උරා ගන්නට හැදූ මහින්දට 20 හරහා අමුතු දොසක් පෙනේද? එදා අයියා ගෙනා එකම මෙදා මල්ලි පුංචි පුංචි වෙනස්කම් සහිතව ගෙනවිත් ඇත. විස්සට එරෙහිවීමට ජනතාව පෙළගස්වනවා යැයි කීවද ඒවාට පණ ගසා නැගිටිය නොහැක්කේ මේ සෙල්ලම පාර්ලිමේන්තුව තුළම පටන් ගෙන එහිම අහවර වන බැවිනි. පෙරටුගාමීන් මෙය නොදන්නවා නොවේ. ඒ අය හිතනුයේ ඒ අයගේ දේශපාලන භූමිකාව කිරීමය. ලංකාවේ සියලු දේශපාලන පක්ෂ කරනුයේ තම රාමුවේ සිට පින්තූර රාමු කිරීමය. යුද්ධයට එරෙහිව සාමය ඉල්ලා කරන උද්ඝෝෂණය දෙස බලා සිටියද ඇඟ කිළපොළා යනු ඇත. තත්ත්වය එයය. ආණ්ඩුවේ දේවල්වලට මෑත කාලයේම විපක්ෂය කරනුයේ විරුද්ධවීමය. ඒ නිසාම ඒ අය විරුද්ධ පක්ෂය වී ඇත. වෙන කිසිවක් ජනතා පැත්තෙන් ඉටු නොවේ. නව ව්‍යවස්ථාවක් නොගෙන ආවොත් ඊළඟට රාජපක්ෂලා පරාජය කර එන අයට අවැසි නම් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කළ හැකිය.


ඒ කුමක් වුවත් නායකයන් වන්නට හීන දකින හැම ගෝඨා ගෙනා විස්සට කැමතියි. මේවාට විරුද්ධ බව පෙන්වනුයේ සිවිල් චරිත සනස්සන්නටය. ප්‍රේමලාල් පාර්ලිමේන්තුවට ගෙන ආ නොහැකි යැයි හඬ නැගුවද සිදුවූයේ කුමක්ද? ගව මස් තහනමට එරෙහිව ෆේස්බුක් හරහා වගන්ති දැමීම හැර කළහැක්කේ කුමක්ද?


රාජපක්ෂලා තුනෙන් දෙකක් ඉල්ලුවාට කරන්න ඉන්නේ කුමක්ද යන්න දන්නේ නැතැයි එදා වාසු කීවේය. එය හරියට හිතට මෙන්ම ඇඟට ගත් අයටද රාජපක්ෂලා තුනෙන් දෙකෙන් ගෙන කරන කෙළි ඇස් කන් පියාගෙන බලා සිටීම හැර වෙන විකල්පයක් නැත. රාජපක්ෂලාට උපරිම බලය ලැබුණු පසු කරන්න යන දේ දන්නේ නෑ කියනුයේ වාසු වැනි පරණ බඩු හැර කියවීමක් ඇති අය නොවේ. තුනෙන් දෙකෙන් රාජපක්ෂලා දැමිය හැකි උපරිම සෙල්ලම් මෙවර දමනු ඇත.


විසිවැනි සංශෝධනය හරහා අගමැති නිකමෙක් වේ යැයි පෙනුණද රාජපක්ෂ කෙනෙකුම අගමැති නිසා එය නොවන බව කිව යුතුය. මහින්ද සිය බලය උපරිම ලෙස පාවිච්චි කරනවා නියතය. ගෝඨා වුව එයට එරෙහි වන්නේ නැත. ඒ නිසා අගමැති නිකමකු වුවද මහින්ද නිකමකු නොවන බව කිව යුතුය. එය එසේ නොවන්න මන්ත්‍රී කෙනකු හෝ නොවන බැසිල් මේ තරම් කෙරුම්කාරයෙක් වේද? චමල් කෙසේ වෙතත්, ගෝඨා, මහින්ද, බැසිල්, නාමල් විස්ස පැත්තකට දමා ඒ ඒ ගමන යනු ඇත.


මහින්ද බොරු කමිටු දමාගෙන රටට පෙන්වනුයේ තමා අමුතු දේශපාලන සත්වයෙක් බවය. ඔහු මුළු සමාජයම ඇන්දුවේ ඒ ලෙසටමය. දැන් ඒ ඇන්දිල්ලෙන් නිරුවත් වන්නට සමාජයට වුව තව සෑහෙන කාලයක් ගතවනු ඇත. එතෙක් සජිත්ට නිකං සද්ද කර කර සිටිය හැකිය. එසේ නොවුණහොත් විපක්ෂයක් කියා දෙයක් නැති බැවිනි. අනුර කුමාරටත් පාර්ලිමේන්තුවේ විහිළුකාරයකු ලෙස සභාව පිනවිය හැකිය. ඔහු තවමත් යහපාලන මානසිකත්වයේ ගිලෙමින් සිටී. ඔහු අනෙක් අයට ෆයිල් තිබෙනවා අපි ඔයාලගේ ගේම් ගැන දන්නවා. ඒවා කියනවා. කරුණාකරලා ඉඳගන්න වැනි විහිළු කතා කියමින් ඔහුද දැන් අනෙක් අය බ්ලැක් මේල් කරන්නට පටන් ගෙන ඇත. මේ සියලු විහිළු අස්සේ විස්ස සම්මත වනු ඇත.

ඉන්පසු ටික දවසකින් එය අමතක කොට වෙන එකකට කෑගසනු ඇත. හැම සද්දයක්ම දේශපාලන ‘හූ’වක්වී ඇත. ජනතාවද ඒ සද්දයට බලා ආයේ සුපුරුදු පරිදි දිවි ගෙවති. බැසිල් අද කිසිදු මන්ත්‍රීකමක් හෝ නොමැතිව ඇමතිවරු පාලනය කරන තැනට පත්වී ඇත. එදා ආරක්ෂක ලේකම් වූ ගෝඨා ආරක්ෂක ඇමතිටත් එහා ගිය බලයක නිරත විය. කවුරු එරෙහි වීද? අදත් වන්නේ රාජපක්ෂලා රාජපක්ෂලාට අවැසි දේ කිරීමය. රාජපක්ෂලා හොඳ බව ජනතාවට ඒත්තු ගැන්වූයේ කවුද? එදාටත් වඩා හොඳ බව ඔප්පු කළේ කවුද? යහපාලනය නොවේ නම් වෙන කෙන්ගෙඩියක්ද? ■