ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


“මගේ පුතාට වෙඩි තියලා මැරුව අයව එක දවසකටවත් රිමාන්ඞ් කළේ නෑ. ඒත් ගල් ගැහුව නිසා අපේ අයට ගහලා කූඩුවට දැම්මා. ගල් ගැහුව එකට ඒ අයට එච්චර වේදනාවක් තිබුණා නම් මගේ පුතා මැරුව එකට මට කොච්චර වේදනාවක් තියනවා ද කියන දේ ඒ කාටවත් තේරෙන්නේ නැත්තේ ඇයි?” එසේ විමසන්නේ 2020 ජූලි 10 වන දින මොරටුව ලුනාව ප්‍රදේශයේ දී අඟුලාන පොලීසියේ නිලධාරීන් විසින් වෙඩි තැබීම නිසා මිය ගිය අමිත් කරුණාරත්නගේ(39) මව යි.


ඔවුන් පවසන ආකාරයට මේ වෙඩි තැබීම සිදුවන්නේ ධීවරයකු වූ අමිත්, ඔහුගේ වැඩිමල් පුත්‍රයා සහ සහෝදරයෙකු ද ඇතුළු පස් දෙනෙකු රාත්‍රියේ ධීවර කටයුතු සදහා ත්‍රී රෝද රථ දෙකකින් පිටත්ව යන අතර තුර දී ය. සිදුවීමට මුහුණදුන් හා දුටු අය පවසන්නේ ලුනාව අඟුලාන මෝයකට අසළ දී අඟුලාන පොලීසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඔවුන් නතර කර පරීක්ෂා කිරීම අතරතුර ඔවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේ යැයි ඇතිවූ බහින් බස් වීමක් සමග අමිත්ට පොලිස් නිලධාරීන් පහර දී වෙඩි තැබූ බව ය. ඒ අනුව තවත් වෙඩි කීපයක් තැබුව ද අනෙක් අය දිව ගොස් බේරී තිබුණි. ප්‍රදේශවාසීන් පවසන්නේ එදින අඟුලාන පොලීසියේ ස්ථානාධිපතිගේ උපන්දින සාදයක් ද පැවති බැවින් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය පානය කර සිටි බව කි. කෙසේ වෙතත් අමිත්ට වෙඩි තබා තිබුණේ හිසට ම ය.


“ත්‍රී වීල් දෙකෙන් එකක ලයිෂන් එක තිබිලා නැති නිසා ඒකට පොලීසියෙන් කුණුහරුපෙන් බැනලා කෑ ගහලා තිබුණා. පස්සේ පොලීසිය මගේ පුතාගේ සාක්කු දෙකට අත දාන්න හදලා තිබුණා. මේ පැත්තේ සමහර වෙලාවට කුඩු ගංජා පොලීසියෙනුත් දාන වෙලාවල් තියනවා. ඒක දන්න නිසාම මගේ පුතාවත් එයාගේ දරුවෝවත් කවදාවත් සාක්කුවට අත දාන්න දෙන්නේ නැහැ. එයාම සාක්කු පෙන්නන්නම් කියලා පුතා කියලා තිබුණා. එයා සාක්කු දෙකම එළියට ඇදලා ඒකේ තිබුණ රුපියල් 7000යි ෆෝන් එකයි ඒ මහත්තුරුන්ගේ අතට දීලා තිබුණා. ඒ වෙලාවේ වෙච්ච කතා බහේ දී අපේ පුතාට ගහලා තියනවා.

මුණුබුරා කිව්වේත් තාත්තාට ගැහුවා, තාත්තා එයාලට ගැහුවේ නැහැ කියලා යි. ඒ වෙලාවේ වෙච්ච කතා බහේ දී තමයි මගේ පුතාට වෙඩි තියලා තිබුණේ.” අමිත්ගේ මව පවසයි. පොලීසිය පසුව පවසා තිබුණේ අමිත් ඔවුන්ට ගලකින් ගැසීමට ගිය බව ය. එහෙත් පැන යාමට ද තැත් නොකළ හා නිරායුධ ඔවුන්ට පොලීසිය වෙඩි තබන්නේ ගම්වාසීන් පවසන පරිදි එම පොලිස් නිලධාරීන් ද බීමත්ව සිටි නිසා දැයි අප දන්නේ නැත. මත්ද්‍රව්‍ය සෙවූ පොලිස් නිලධාරීන්ට මත්ද්‍රව්‍ය හමු නොවුණ ද නිරායුධ මිනිසකුගේ හිසටම වෙඩි තබා ඝාතනය කිරීමට තරම් පොලීසියට බලයක් හා අයිතියක් ලැබෙන්නේ කෙසේ ද යන්න බරපතල ගැටලුව කි. ඊටත් වඩා බරපතල ගැටලුව වන්නේ එසේ සිදුකළේ නම් ඔවුන් තවදුරටත් නිදැල්ලේ සිටින්නේ කෙසේ ද යන්න ය.


අඟුලාන පොලීසිය සම්බන්ධයෙන් මෙවැනි දේ වාර්තා වූයේ ද පළමු වතාවට නොවන්නේ ය. 2009 දී තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට මරණ දණ්ඩනය නියම වී තිබුණි. අමිත්ගේ මරණයට පෙර එවැනි ඝාතන පහක් සිදුවූ බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. මේ සියලු දේ මත ප්‍රදේශවාසීන්ට අඟුලාන පොලීසිය සම්බන්ධයෙන් තිබෙන්නේ දැඩි විරෝධයක් හා පිළිකුලකි. එය උග්‍රම තත්ත්වයකට පත්වූයේ අමිත්ගේ ඝාතනය හා ඉන් පසු සිදුවූ සිද්ධීන් පාදක කොට ගෙන ය.


අමිත්ගේ ඝාතනයට අදාල නඩුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතව තිබූ ජූලි 16 දා උදෑසන ලුනාව ප්‍රදේශවාසීන් විසින් අඟුලාන පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබුණි. ඒ, පෙරවරු 5 ට පමණ අඟුලාන පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ මෙම වෙඩි තැබීමේ සිදුවීමේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා ජීප් රථයකින් රැගෙන ගොස් තිබීමේ හේතුව මත ය. පොලිස් නිලධාරීන් විසින් ගල්කිස්ස හා මොරටුමුල්ල පොලිස් ස්ථාන වෙත රැගෙන ගොස් පසුව නැවතත් අඟුලාන පොලීසිය වෙත රැගෙන ආ බව එම සාක්ෂිකරුවකු පවසයි. තමන් රාත්‍රියේ ධීවර කටයුතු කර නිවසට පැමිණි පසු විවේක ගැනීමටවත් ඉඩ නොතබා එලෙස ඔවුන් දෙදෙනා ගෙන ගිය බවත් ඒ සම්බන්ධයෙන් විමසන විට උසාවියට යන බව පැවසූ බවත් ඔහු පවසන්නේ ය. එතරම් උදෑසන උසාවිය නොපැවැත්වෙන බැවින් තමන් නිවසට ගොස් සූදානම් වී පැමිණිය හැකි බවත් ඔවුහු එම නිලධාරීන්ට දැන්වූ බව පවසති.


එදින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගය කැඳවීමෙන් පසු දෙපාර්ශ්වයේ කරුණු සලකා බලා එහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට අධිකරණය තීන්දු කර තිබූ අතර නැවත එම නඩුව ජූලි 30 වන දා කැඳවීමට තීරණය වී තිබුණි. එදින පස්වරුවේ ප්‍රදේශවාසීන් නැවතත් අඟුලාන පොලීසිය ඉදිරියට පැමිණ විරෝධතාවයක් අරඹා තිබුණි. “උසාවියෙන් නඩුව කතා කළාට පස්සේ ඒ අයව රිමාන්ඞ් කළේ නැතිව පොලිස් ජීප් එකෙන් එක්ක ගියා. මගේ පුතාව මරපු අයව පොලිස් ජීප් එකෙන් නිදැල්ලේ එක්ක යද්දී මට ඒක වේදනාවක්. අඩුම ගණනේ දවස් 14ක්වත් රිමාන්ඞ් කළේ නැහැ. අල්ලපු වත්තේ පොල් ගෙඩියක් කඩන අහිංසකයාත් දවස් 14කට රිමාන්ඞ් කරන රටේ පුළුවන් මිනිස්සුන්ට ඒක වෙන්නේ නැහැ. ඒ අය නිදැල්ලේ ගියා. මම උසාවිය ළග ඉදලාම කෑ ගහගෙන ඇවිත් කට්ටිය එක්ක ගිහින් ගල් ගැහුවා. මගේ පුතාට කළ මේ අසාධාරණය මට ඉවස්න්න බැරි වුණා.” අමිත්ගේ මව පැවසුවේ එලෙස ය. අඟුලාන පොලීසියෙන් තමන්ට වූ හානියත් ඊට සාධාරණයක් ඉටු නොවේ යැයි යන හැඟීමත් විසින් ලුනාව ප්‍රදේශවාසීන් එලෙස ගල් ප්‍රහාරයක් පොලීසිට එල්ල කිරීමට මෙහෙයවා තිබුණි. ඒ සිදුවීමේ රූපරාමු අපට පැහැදිලිවම කියන්නේ පීඩිත පන්තියේ දරා ගත නොහැකි වූ වේදනාවේ පුපුරා යාම ය. එලෙස දේපොළ වලට හා නිලධාරීන්ට පහර දීම යහපත් දෙයක් යැයි අර්ථකතන කළ නොහැකි වුවත් ඒ සිදුවීම් වලින් ගම්‍ය වන්නේ නීතියෙන් හෝ ඒවා රැකීමට සිටින නිලධාරීන්ගෙන් හෝ මේ වින්දිතයන්ට තවදුරටත් සාධාරණයක් ඉටුවේ දැයි යන්න සම්බන්ධයෙන් වන අවිශ්වාස ය ය. ඒ අවිශ්වාසය ඇති වන්නේ මේ සිදුවීමෙන් පමණක් නොවේ. ඊට පෙර ද අඟුලාන පොලීසිය කෙරෙහි ඔවුන් තුළ ඇතිවී තිබුණු චිත්‍රය සොඳුරු වූයේ නැත. දැන් එහි නිලධාරීන්ම තමන්ගේ එකෙකුගේ හිසටම වෙඩි තබා තිබෙන්නේ ය. ඉන් පසු සිදුවූ ක්‍රියාදාමයන් තුළ ද තමන්ට යුක්තියක් ඉටුවේ ද යන්න පිළිබද සැක පහල වීම අරුමයක් නොවන්නේ ය. එවන් පසුබිමක ඔවුන්ගේ කලහකාරී හැසිරීම ද අරුමයක් නොවන්නේ ය. “ගල් ගැහුවාට උසාවි ගෙනිච්චා. ඒත් මැරුව අයට නිදැල්ලේ ඉන්න පුළුවන්. මීට කලියෙන් වුණු මරණත් මේ විධියට යටපත් කරන්න උත්සාහ කළා.” ඒ ප්‍රදේශවාසියෙකු පැවසූවකි.


තමන්ට වූ ඉවසිය නොහැකි අසාධාරණයන්ට එරෙහිව අවසානයේ ගත හැකි වූ පියවර ලෙස පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කරන තැනකට ප්‍රදේශවාසීන් පත් වන්නේ පොලීසියේම ක්‍රියාදාමයන් හරහා ය. ඔවුහු ප්‍රකෝපකාරී තත්ත්වයට ඇද දමන්නේ පොලීසිය විසින් හිසට වෙඩි තබා තමන්ගේ අයෙකු මරා දැමූ පසු ඇසින් දුටු සාක්ෂිකරුවන් ද රැගෙන යාම ආදී වූ සිදුවීම් හරහා ය. මේ සිදුවීම් වලින් පසු බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ කියවීම වූයේ මෙම ප්‍රදේශයේ ජීවත් වූවන් කුඞ්ඩන් බවකි. ඔහුට අනුව පොලීසියට මේ ප්‍රහාරය එල්ල වන්නේ අසාධාරණයෙන් පීඩිත වූ මිනිසුන්ගෙන් නොව කුඞ්ඩන්ගෙනි. ඔහු පොලීසිය සාධාරණීකරණයට ලක් කරන්නේ එලෙසිනි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ගැනීමට නියමිතව තිබූ හෙරොයින් එම කාර්යාංශයේම නිලධාරීන් පිරිසක් විසින් යළි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කළ බවට පසුගිය දිනවල ද හෙළිවූයේ ය. මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන්නේ හා ඒවා ප්‍රවාහණය කරන හා වෙළදාම් කරන ජාවාරම් හි ඉහළින්ම සිටින්නේ මෙවැනි දුගී පැල්පත්වල සිටින මිනිසුන් නොවන බව නොරහසකි. එවැනි ජාවාරම් සම්බන්ධයෙන් පියවර ගත යුතු නිලධාරීන්ගේම සහාය නොමැතිව කිසිවෙකුට ඒවා කළ නොහැකි බව ද නොරහසකි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙවැනි ප්‍රකාශ කරන්නේ එවන් පසුබිමක් තුළ සිට ය. රාජ්‍ය සේවයේ දූෂිතම ආයතන අතරින් මුල් තැනට ද පොලීසිය පත්ව සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකින් ද හෙළි වී තිබෙන්නේ ය. පොලිස් දෙපාර්තමේන්තුව තුළ තම කාර්යභාරය ඉතා මැනවින් කරන නිලධාරීන් ද නැතුවා නොවේ. එහෙත් එවැනි නිලධාරීන්ට ද එසේ කටයුතු කිරීම උඩුගම් බලා පිහිනීමක් වනවාට සැක නැත. වැරදිම කරමින් සිටින පරිසරයක් තුළ කාලය සමග ඒ වරද සම්මතය බවට පත් වන්නේ ය. ඒ තුළ නිවැරදිව කටයුතු කිරීම ද වරදක් බවට පත් වන තරමට වරද සම්මතයක් ම කරගන්නේ ය. මෙරට බොහෝ ආයතන මෙන්ම පොලීසිය ද තිබෙන්නේ එවැනි තත්ත්වයක ය.


අමිත්ගේ වැඩිමල් පුතා විවාහ වී සිටියත් අනෙක් පුතුන් දෙදෙනා හා දියණිය තවමත් පාසල් යන දරුවෝ වූහ. ඔහුගේ බිරිද පවසන්නේ ඒ සියලුදෙනා අමිත් ජීවත් කළේ ධීවර රැකියාවෙන් බව ය. එහෙත් දැන් ඔවුන්ට ඉදිරියේ දී නොව දැනටමත් ජීවිත ගැට ගසා ගන්නේ කෙසේ ද යන්න ගැටලුවක් බවට පත් ව තිබුණේ ය. “ඊයේ වැස්සයි හුළගයි වෙලාවේ පුතාගේ දරුවෝ තුන්දෙනා බිලී බාන්න වැල්ලට ගිහින්. මම අඬ අඬා ගිහින් එක්ක ආවා. කවුරුවත් නැති වෙලාවේ ගහගෙන ගියත් දන්නේ නැහැ.” අමිත්ගේ මව කදුළු සලමින් පවසන්නී ය. ඇය ද අමිත්ලා රැගෙන එන මාළු වෙළදාම් කර ජීවත්වන්නිය කි. ඒ සියලුදෙනාගේ ජීවිතවල කේන්ද්‍රස්ථානය වී තිබුණේ අමිත් ය. තවත් ධීවරයන් ගණනාවක් ද ධීවර කටයුතු කර තිබුණේ අමිත් සමග ය. ප්‍රදේශවාසීන්ගෙන් ඇතැම් අය අප සමග පැවසුවේ ඔවුන්ගේ ධීවර කටයුතු වලට ද අමිත් සහාය දැක්වූ බව ය. ඔහු අසල්වාසීන් බොහෝ දෙනාට උදව් උපකාර කරමින් සහයෝගයෙන් ජීවත් වූ ධීවරයෙකු බව ඔවුහු පැවසූහ. “අපි කුඩු ගංජා විකුණනවා නම් මෙහෙම ගෙවල්වල ඉන්නේ නැහැ. මේ ගේ ලෑලි දිරාපත්වෙලා ගැලවෙනවා. ගඟේ මුහුදේ මාළු බාන්න ගිය පුතාටයි මේ දේ වුණේ. දැන් මේ දරුවන්ට කවුද කන්න දෙන්නේ. මමත් දැන් වයසයි. පුතා තමයි මාළු ටික අල්ලගෙන ඇවිත් අපිට කන්න ටික දුන්නේ.” ඒ, අමිත්ගේ මව යි.


බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තව නිලධාරීන් කණ්ඩායමක් ද සමග පැමිණ අමිත්ලාගේ පවුලේ අයගේ දිරාගිය ලෑලි නිවස වෙනුවට එතැන නිවසක් සාදා දෙන බවට පැවසූ බව ද නිවැසියෝ පැවසූ හ. එහෙත් එතැන නිවාස සෑදීමට රජයෙන් අවසර නොදෙන බවත් පීඩාවට පත්ව සිටින තමන් තවත් රැවටීමට ඒ අය උත්සාහ ගන්නේ මන්දැයි ඔවුහු විමසති. කෙසේ වෙතත් ඒ ආකාරයේ විවිධ පොරොන්දු ලබා දී ගිය කිසිවෙකු අමිත්ගේ දරුවන් වෙනුවෙන් හෝ කිසිදු උපකාරයක් මෙතෙක් නොකළ බව ද අමිත්ගේ පවුලේ අය පැවසූ හ. අමිත්ගේ මිය යෑම ඔවුන්ගේ පවුලේ සියලුදෙනාගේ ජීවිත අසීරු අඩියකට තල්ලු කර තිබුණි. මේ ව්‍යසනයට මුහුණ දෙන අමිත්ගේ කුඩා දරුවන්ගේ හෙට දවසේ ඉරණම කුමක් වේ ද, එහි වගකිම ගන්නේ කවුද, ඒවාට මෙවැනි ම්ලේච්ඡ සහගත ක්‍රියාපටිපාටියක් ගන්නා නිලධාරීන් හෝ ඔවුන් ආරක්ෂා කරන්නන් දෙන පිළිතුර කුමක් ද?


මිය ගිය අමිත් යළි එන්නේ නැත. එහෙත් ඔහුගේ ඝාතනයට ද පවුලේ අයට ද යුක්තිය ඉටු විය යුතු ය. මේ නීතිය සාමය රැකිය යුතු නිලධාරීන් අතින් වූ පළමුවැනි ඝාතනය නොවන්නේ ය. එහෙත් එය අවසානය විය යුතු යැයි යහපත් සමාජයක් පතන සියල්ලන්ගේම ප්‍රාර්ථනය වන්නේ ය. පොලීසියට නිරායුධ මිනිසුන් මෙලෙස ඝාතනය කිරීමට කිසිදු අයිතියක් හෝ බලයක් නැත. මේවා මගින් නැවතත් නිර්මාණය වෙමින් තිබෙන්නේ පොලිස් ඝාතන සංස්කෘතියක් ද යන ගැටලුව දැන් මතු වෙමින් තිබෙන්නේ ය. මේ මතු වෙමින් තිබෙන බව පෙනෙන පොලිස් හිංසන රැල්ල නැවතත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියෙහි ආරම්භය ප්‍රතිඵල ලෙස කරලියට පැමිණෙන ඒවා විය හැකි ය. පසුගිය මාස කීපයේ මෙන්ම මීට පෙර ද රාජපක්ෂ ආණ්ඩුව පැවති සමයේ ඊට ඕනෑ තරම් උදාහරණ දැක්විය හැකිය.