විමලනාත් වීරරත්න

බැසිල් රාජපක්ෂ තුනෙන් දෙකක් ඉල්ලන්නේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහාය. ඔහු මාධ්‍ය හමුවකදී කීවේ පවතින ව්‍යවස්ථාව ආණ්ඩු දැමූ කමිසයක් බවය. අණ්ඩ දැමූ කමිසයක් වෙනුවට ඔහු හොඳ කමිසයක් බලාපොරොත්තු වන අතර එය සන්නාහයක් බව නොකීමටද හෙතෙම පරෙස්සම් වූයේය.


19 වැනි සංශෝධනය මගින් ජනාධිපති ධුරයේ බලතල සීමා කර ඇති බවත් එය මේ වනවිට නාමික තනතුරක් බවට පත්කර ඇති බවත්ය. ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා විශාරදයෝ පෙන්වා දුන්හ. එහෙත් නාමික තනතුරකට අපේක්ෂකයන් දෙදනකු අතර ලොකු තරගයක් ඇතිවිය. එම තරගයෙන් ගෝඨාභය රාජපක්ෂ දිනුවේය. ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන් මාස තුනකට පසු ඔහු කීවේ ගතවූ මාස තුන ගැන තමන්ට සෑහීමකට පත්විය නොහැකි බවය. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළින් අවශ්‍ය සහයෝගය ලබාගැනීම සඳහා බලතල නොමැති බැවින් ව්‍යවස්ථාව වෙනස් කළ යුතුව ඇතැයිද ඔහු කීවේය. 19 වැනි සංශෝධනය වෙනස් කොට 18 බඳු සංශෝධනයක් ඊට එක් නොකරන බවට සහතික විය හැකිදැයි ජනපතිගෙන් එම අවස්ථාවේදී කැරුණු ප්‍රශ්න කිරීමට හෙතෙම ඍජු උත්තරයක් නොදුන්නේය. ඒ වෙනුවට ඔහු කීවේ දහඅට දහනවය මොකක් වුණත් තමන්ට වැඩ කිරීමට අසීරුයි, වැඩ කළ හැකි ව්‍යවස්ථාවක් අවශ්‍ය බවය. ජනාධිපතිවරයාට පෙර ව්‍යවස්ථාව පිළිබඳව මත පළ කළ නිහාල් ජයවික්‍රම, වික්ටර් අයිවන්, උයන්ගොඩ වැනි අය කීවේද ජනාධිපතිවරයා ජයග්‍රහණයෙන් මාස 03කට පසු කී දේ ය. එනම් ජනාධිපති ධුරය 2015න් පසුව නාමික තනතුරක් බවට පත්ව තිබේ යන්නය.


බැසිල් රාජපක්ෂ 08 වැනිදා මාධ්‍ය හමුවේදී මතු කළේ මෙම ප්‍රශ්නයයි. ඔහු ඉල්ලා සිටින ව්‍යවස්ථා සන්නාහය තුනෙන් දෙකක් මගින් ලබාදිය යුතුද? එසේ නොලැබුණහොත් වැඩ කිරීමේ අපහසුතාවකට ආණ්ඩුව ලක්වේද? නැත. මේ එකක්වත් සිදුවන්නේ නැත. 19 වැනි සංශෝධනය මගින් අඩුලුහුඬුකම් සහිතව වුවත් ස්වාධීන කොමිෂන් සභා නමැති අදහස යථාර්ථයක් බවට පත් කළේය. ඒවාටත් වැඩ කිරීමට අවශ්‍ය නීති කාලයක් යනතුරු සම්පාදනය නොවුණි. දැන් වුවත් ඒවා තිබෙන්නේ සෙලවෙන දත් පරිදි විය හැකිය. එහෙත් එම සෙලවෙන දත් නීති සම්පාදනය මගින් ශක්තිමත් කර ඒවා උක් පතුරු ගැලවිය හැකි දත් බවට පරිවර්තනය කළ හැකිය. ස්වාධීන මැතිවරණ කොමිසම බලවත් විවාදාපන්න තත්ත්වයක් යටතේ වුව ස්වාධීන තීරණ ගතහැකි පසුබිමක් ප්‍රකට කළේ සෙලවෙන දත් තබාගෙනය. ඔවුන්ගේ අභ්‍යන්තර මත බෙදීම් නොමැති වූවා නම් එහි කටයුතු මීට වඩා ප්‍රශස්ත මට්ටමකට ගෙනෙන්නට තිබුණි. ස්වාධීන කමිෂන් සභා ගැන ජනාධිපතිවරයා කරන විවේචනයත් එම අභ්‍යන්තර ආරාවුලමය. ඒකාධිපතිත්වයට කැමති නායකයන්ට ආයුධ සපයා නොදීමත් කමිෂන් සභාවල වගකීමකි. ප්‍රබල බල විභේදනයක් තිබුණත් ජනපතිගේ මෙන්ම අගමැතිගේත් අරමුණ කණ්ඩායම්වාදයෙන් තොරව රටට වැඩ කිරීම නම් ඒ සඳහා පවතින දුර්වල ව්‍යවස්ථාව වුව බාධකයක් නොවේ. කොවිඞ් වසංගතයේදී අගමැතිට හා ජනපතිට එක රේඛාවක සිටගත හැකිවිය. සෙස්සන් බාධා නොකළේ කොවිඩි වැනි අසීරු ප්‍රශ්නයක් නිසා යැයි ජනපති ඉදිරි දිනක මේ ප්‍රශ්නය මතුවුවහොත් කියන්නට පුළුවන. එහි එක්තරා සත්‍යයක් තිබේ. එහෙත් එය පරමය නොවේ. පරම සත්‍යය නම් යම් ක්‍රමවේදයකට වැඩ කරන රටක් බවට ලංකාවේ කිසියම් ආණ්ඩුවකට පත්විය හැකි නම් විරුද්ධ පක්ෂවලට ඊට විරුද්ධ විය නොහැකිවීමය.


ජනාධිපතිවරයා රටේ සංවර්ධනය හා සමෘද්ධිය අපේක්ෂා කරන්නෙකි. එම අරමුණට අප සහාය විය යුතුය. එහෙත් ඒ සඳහා ඔහු ඕනෑම තත්ත්වයක් ඩෝසර් කරගෙන යන ක්‍රමයකට වුව පක්ෂය. ප්‍රශ්නය වන්නේ රටේ හැම පුරවැසියකුම එවැනි ඩෝසර් සංවර්ධනයකට කැමති නොවීමය. කොටින්ම සංවර්ධනය සඳහා ජනපතිට ඕනෑම සන්නාහයක් පොරවා ගත නොහැකිය. ඊට ඉඩ ලැබෙන්නේ නැත. මෙම ව්‍යවස්ථාව බැසිල් කියන පරිදිම එක්තරා කඩමාල්ලක් බව සැබෑය. ව්‍යවස්ථාව ගැන මත පළ කළ විශාරදයෝ ඒ බවත් කීහ. කඩමාල්ල වෙනුවට රටේ ප්‍රශ්නවලට පිළිතුරු දැක්වෙන විශේෂයෙන් ජාතික ප්‍රශ්නයට පිළිතුරු සපයා දෙන අනාගතවාදී අරුතකින් සැදුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යය. එහෙත් එම ඕනෑකම පොදු ජන පෙරමුණේ තනි වුවමනාවට හදන බැසිල් කියන වර්ගයේ ව්‍යවස්ථා සන්නාහයකින් තෘප්ත නොවේ. එවැනි සන්නාහයක් පැළඳීමට අවශ්‍ය තුනෙන් දෙක ආණ්ඩුවට කෙසේවත් නොදිය යුතුය. ව්‍යවස්ථාව ගොඩනැගීම එම විෂය පිළිබඳව දත් ප්‍රාමාණිකයන් සම්බන්ධ කරගෙන සම්පාදනය කරන වැඩසටහනක් බවට පත්විය යුතුය. ඒ බවක් ජනපති හෝ බැසිල් කිසිම තැනක සහතික වී නැත. මැදගොඩ හිමියෝ යෝජනා කරන්නේ ගෝඨාභයගේ ශක්තිය උරාගෙන පාර්ලිමේන්තුවෙන් පිට ව්‍යවස්ථාවක් හදමු යනුවෙනි. ව්‍යවස්ථාවක් නොව වෙන මොකක් හෝ අටමගලයක් නම් එසේ ජනපතිගේ ශක්තිය අරගෙන හැදිය හැකිය. ව්‍යවස්ථාව යනු උගුලක් හෝ අටම් පහුරක් නොවේ. එය රටේ මූලික නීතියයි. පාලනතන්ත්‍රයක, බහුත්වවාදී ජන සමාජයක මූලික පදනමයි. මැදගොඩ හිමියන්ට ව්‍යවස්ථා විෂයේදී ගෝඨාභය අම්බෙඞ්කාර් කෙනකු ලෙස පෙනෙනවා වුවත් අපට එම විෂයේදී ජනපති පෙනෙන්නේ නොදරුවකු ලෙසිනි. ජනපති ව්‍යවස්ථාව හැදීමත් හමුදාවට භාර දුනහොත් රටට ඇත්තටම අබසරණය. හමුදාව හදන ව්‍යවස්ථාවට සංඝ සමාජයෙහි ආශිර්වාදය ද හිමිවිය හැකිය. පොදු ජන පෙරමුණ තුළින් මීට අකමැති වන ප්‍රධාන පුද්ගලයා අගමැති මහින්ද රාජපක්ෂය. ජනපතිට සියලු බලතල ගොස් අගමැති නාමික තත්ත්වයට පත්වන ව්‍යවස්ථාවකට ඔහු කැමතිවන්නේ නැත.


සැබැවින්ම තුනෙන් දෙකක් සඳහා ප්‍රකාශිත ඡන්දවලින් 75%කට වඩා ලබා ගත යුතුය. අනෙක් අතට සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ 75%කිනුත් මේ බලය නොලැබෙනු ඇත. 85%ක්වත් ඡන්ද සංඛ්‍යාවක් ඒ සඳහා ගත යුතුව ඇතැයි උපකල්පනය කළ හැකිය. විපක්ෂය ඉතාමත් දුර්වල සමයක එවැනි ජයග්‍රහණයක් ආණ්ඩු පක්ෂයට ලැබෙන්නට පුළුවන. විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ල දුර්වලය. එහෙත් ඔවුහු ඡන්ද පදනම මුළුමනින් අහිමි කරගෙන නැත. එබැවින් ජනපතිට, පසුව 150 හදා ගැනීමට යත්න දැරිය හැකිය. විපක්ෂයට මේ ගැන යටි අරමුණු රහිත අදහසක් ඇත්නම් එවැනි ප්‍රයත්නයක් වැළකීමට ක්‍රියා කළ යුතුව ඇත.


ජනපති කීවේ ඔහුට වැඩකළ හැකි ව්‍යවස්ථාවක් අවශ්‍ය බවය. එය ඔහුගේ පැත්තේ කතාවකි. ඔහුට වැඩ කළ හැකි ව්‍යවස්ථාවක් හදන්නට කකුල් කඩාගෙන තුනෙන් දෙක සොයන්නට වුවමනා නැත. ව්‍යවස්ථා විශේෂඥයන්ට ඒ වැඬේ භාරදී ප්‍රමාණවත් කාලයක් ගෙන මහජන අදහස්, වෘත්තීයවේදීන් හා සකලවිධ සමාජ කොටස්වල හැඟීම් දැනීම් විකල්ප මතවාද පාදක කරගත් මහජන ව්‍යවස්ථා වැඩසටහනකට තුනෙන් දෙක ස්වේච්ඡාවෙන්ම හිමිවනු ඇත. භේද විරහිතව එවැනි වැඩ විධික්‍රමයකට අත ගසා බලන ලෙස අප ජනපතිට කියමු. එය නිසැකවම ප්‍රතිඵල අත්කර දෙනු ඇත.