වික්ටර් අයිවන්


සම්භාව්‍ය ලිබරල් මතය අනුව පමණක් නොව, දේශීය හා ජාත්‍යන්තර නීතිය අනුවද පරමාධිපත්‍යය බලයේ නියම හිමිකරුවන් වන්නේ මහජනයාය. නැතහොත් රාජ්‍ය බලයේ ප්‍රභවය සමාජය වන අතර, මහජනයා තෝරා පත් කර ගන්නා රාජ්‍ය පාලකයන් මහජන කැමැත්තට හා මහජන පාලනයට යටත්ය. 20 වැනි සංශෝධනය සැලකිය හැක්කේ මහජනයාගේ පරමාධිපත්‍යය බලය දුර්වල කරන හා හෑල්ලුවට ලක් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙසය. ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට අපේක්ෂා කරන බොහොමයක් දේවල් මහජනයාගේ පරමාධිපත්‍යයට අදාළ මෙවලම් ලෙස සැලකිය හැකිය. එවැනි ව්‍යවස්ථා සංශෝධනයන් නීතිගත කරගැනීමට අනුමැතිය හා මගපෙන්වීම් ලබාදෙන අධිකරණ තීන්දුවක් නිවැරදි හෝ හොඳ අධිකරණ තීන්දුවක් ලෙස සැලකිය නොහැකිය.

ලංකාවේ අධිකරණය


ඉන්දියාවේ මෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ආරක්ෂා කරගැනීම තමන් වෙත පැවරී තිබෙන ප්‍රධානතම වගකීමක් ලෙස සලකා ක්‍රියා කරන අධිකරණයක් ලංකාවේ වී නම් ලංකාවේ කතාව දැන් අසන්නට ලැබෙන අවලස්සන කතාවට වඩා බොහෝ වෙනස් වන්නට ඉඩ තිබුණි.


එසේ වී නම් 1948 හා 1949 පුරවැසි අණ පනත්වලින් පුරවැසි අයිතිවාසිකම් හිමිවිය යුතු තත්ත්වයක සිටි ඉන්දියානු වතු කම්කරුවන් සැලකිය යුතු පිරිසකට පුරවැසි අයිතිවාසිකම් හිමිවන්නට ඉඩ තිබුණි. 1956 රාජ්‍ය භාෂා නීතියේදීද දෙමළ ජනතාවට ඔවුන්ගේ සාධාරණ භාෂා අයිතිවාසිකම් අහිමි නොකෙරෙන ආකාරයට එම නීතිය සකස් වන්නට ඉඩ තිබුණි.


එවැනි චින්තනයක් සහිත අධිකරණ ක්‍රමයක් රටේ තිබුණේ නම්, කිරීටයට තිබෙන බැඳීම අහිමි කිරීමට හේතුවන ආණ්ඩුක්‍රමයකට අනුමැතිය ලැබෙනු ඇතත් අධිකරණයට තිබුණ විමර්ශන බලය හා සිවිල් සේවකයන්ට තිබෙන ස්වාධීනත්වය අහිමි කරන ආණ්ඩු ක්‍රමයකට ඉඩ නොලැබෙන්නට ඉඩ තිබුණි. එවැනි අධිකරණයක් තිබුණේ නම් ජනාධිපති ජයවර්ධනටද පාර්ලිමේන්තුවේ 5/6ක බලය යොදා ගෙන ව්‍යවස්ථාව සමග නටන තත්ත්වයකට යාමට ඉඩ නොලැබෙන්නට තිබුණි. එසේම කවර ආකාරයකටවත් කල් ඉකුත්වෙමින් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය ජනමත විචාරණයක් මගින් දීර්ඝ කරගන්නට ඉඩ නොතිබුණි.


එවැනි අධිකරණයක් තිබුණේ වී නම් ජනාධිපති චන්ද්‍රිකාට අධිකරණයේ සහාය ඇතිව විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කරගත හැකි ක්‍රමයක් ඇති නොවන්නට ඉඩ තිබුණි. එසේම 17. 18, 19 හෝ 20 වැනි සංශෝධනවලට ඒ ආකාරයෙන් නීතිගත කරන්නට ඉඩ නොලැබෙන්නට තිබුණි. එසේ වී නම් ලංකාව මහා පරිමාණයෙන් ලේ වගුරුවන රටක් නොවන්නට ඉඩ තිබුණා සේ ම අද ඇද වැටී තිබෙන බංකොළොත් තත්ත්වය වෙනුවට ලංකාව පොහොසත් දියුණු රටක් ලෙස පවතින්නට ඉඩ තිබුණි.


ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමෙහිලාත්, ප්‍රජාතන්ත්‍රවාදය නවීන කිරීමෙහිලාත් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉටුකර තිබෙන කාර්යභාරය අතිවිශාලය. එහෙත් එම විෂයෙහිලා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අතින් ඒ සා විශාල කාර්යභාරයක් සිදුවී නැත. ලංකාවේ පාලකයන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන සමහර අවස්ථාවලදී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එම ව්‍යවස්ථාව උල්ලංඝනයන්ට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව දැකිය හැකිය.


ඉන්දියානු අධිකරණය


ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස දිනාගැනීම සඳහා කෙරුණු දිග්ගැස්සුණු නිදහස් අරගලයක් හරහා ගොඩ නැගුණ ඉතාමත් දියුණු ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් විසින් නිර්මාණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණයක් ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් ස්වාධීන අධිකරණයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන අධිකරණ සමාලෝචන බලය ඇතුළු අවශ්‍ය බලතල ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා දුන්නේය. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය අධිකරණය කෙරෙහි තබන ලද විශ්වාසය අතිවිශාල වූ අතර එය අධිකරණය සලකන ලද්දේ නිදහස් අරගලයෙන් මුදාහරින ලද ඉන්දියානු සමාජ විප්ලවයේ ආරක්ෂකයා හා භාරකාරයා ලෙසය.


ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථා සභාව එය කෙරෙහි තබන ලද විශ්වාසය උපරිම මට්ටමකට ආරක්ෂා කිරීමට සමත් වී තිබෙන්නේ යැයි කිව හැකිය ඉන්දියාව බිහිකළ ඉතාමත් බලවත් පාළිකාවක් ලෙස සැලකිය හැකි ඉන්දිරා ගාන්ධි ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නට දරන ලද උත්සාහයේදී අධිකරණය ඇගේ එම ක්‍රියාවට එරෙහිව බලවත් ලෙස නැගී සිටින තැනකට ගියා මිස ඇය කරන ලද වරදට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. ඉන්පසු ඉන්දියානු දේශපාලකයන්ට පටු හා කූඨ අරමුණු සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීමට තිබෙන ඉඩ ඇහිරීම සඳහා මූලික ව්‍යුහය (Basic Structure) පිළිබඳ නීතියක් ඇති කොට පවත්වාගෙන යමින් තිබෙන අතර ඒ මගින් ව්‍යවස්ථාව සමග සෙල්ලම් කිරීමට තිබෙන හැකියාව ඉන්දියානු පාලකයන්ට අහිමි කර තිබෙන්නේ යැයි කිව හැකිය.


ව්‍යවස්ථාදායකට ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා බලයක් ඇති බව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කෙරෙන්නේ නැත. එහෙත් ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහයට හානියක් ඇති කිරීමට හේතුවන වෙනස්කම්වලට ඉඩක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථාපිත කර තිබෙන එම නීතියේ අර්ථය ලෙස සැලකිය හැකිය.

ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය


ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට සාපේක්ෂව ගත්විට ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන්ම මහජනයාගේ පරමාධිපත්‍ය බලය හා මහජන අයිතිවාසිකම් විෂයෙහි ලොකු ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණයක් ලෙස සැලකෙන්නේ නැත.


ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්නුම් කර තිබෙන එම පසුගාමී තත්ත්වය කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලන, යහපත් හා මනා ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගැන කෙරෙන සංවාදයක් ඇත්තේම නැති තරම්ය. එම තත්ත්වය අධිකරණ ක්‍රමය කෙරෙහි සමාජය තුළ තිබිය යුතු විශ්වාසය හා ගෞරවය විශාල ප්‍රමාණයකට නැති කිරීමට හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය.


ඩොනමෝර් ව්‍යවස්ථාව අධිකරණයට විමර්ශන බලය ලබාදී තිබුණද, ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හේතුවූ පුරවැසි අණපනත්වලදී හෝ සිංහල රාජ්‍ය භාෂා නීති සම්පාදනයේදී අසාධාරණයක් ඇතිවීම වැළකීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී තිබුණු එම බලය පාවිච්චි කරන තැනකට ගියේ නැත. ඒ වෙනුවට සිදුවූයේ පාලක පක්ෂය සමග කල්ලි ගැසී වරද තහවුරුවන්නට ඉඩහරින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් අධිකරණයට තිබූ විමර්ශන බලය මුළුමනින් අහිමි කරන ලද අතර 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් අධිකරණයට තිබෙන විමර්ශන බලය සීමාසහිත රාමුවක තැබෙන ලෙස කප්පාදු කළේය. එම තත්ත්වය අධිකරණයේ බලවත් විරෝධයට, හේතු නොවූවා පමණක් නොව, අධිකරණ විමර්ශන බලය තමන් වෙත හිමිකර ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය උනන්දුවක් පෙන්නුම් කර නැත.


අධිකරණ විමර්ශනය (Judicial Review) ලෙස සැලකෙන්නේ ඕනෑම පනතක් හෝ නීතියක් ව්‍යවස්ථාවට අනුකූල වේද නැද්ද යන්න සලකා බලා ව්‍යවස්ථාවට අනුකූල නොවේ නම් ඒ පනත හෝ නීතිය අවලංගු කිරීමට අධිකරණයට තිබෙන බලයයි. ඒ බලය නැති අධිකරණයත් ස්වාධීන අධිකරණයක් ලෙස සැලකිය නොහැක. ලංකාවේ අධිකරණය සැලකිය හැක්කේ අධිකරණ විමර්ශන බලය බොහෝදුරට අහිමි කර තිබෙන අධිකරණයක් වශයෙනි. 19 වැනි සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී විෂයෙහි සිදුවූ මහා පෙරළියක් නම්, ඒ වරද නිවැරදි කළ යුතුව තිබුණත් එවැන්නක් සිදු නොවීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පරිහානිය


ජනාධිපති ජයවර්ධනගේ පාලන කාලයේ තරම් අධිකරණයට අයුතු ඇඟිලි ගැසීම් කෙරුණු යුගයක් තවත් නැති තරම් වුවත් එය ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිම ප්‍රබෝධයක් හා දියුණුවක් පෙන්නුම් කර තිබෙන යුගය ලෙසද සැලකිය හැකිය. ඒ ගෞරවයෙන් වැඩි පංගුවක් හිමිවිය යුත්තේ අගවිනිසුරු නෙවිල් සමරකෝන්ටය. ඔහු ජනාධිපති ජයවර්ධනගේ පුද්ගලික මිතුරකු වුවද අගවිනිසුරු ධුරයට පත් මොහොතේ සිටම ජනාධිපතිවරයා සමග තිබුණු යාළුකම අතහැර නියම අගවිනිසුරුවරයකුගේ කාර්යභාරය සියතට ගත්තේය. අවසානයේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබූ ජනාධිපතිවරයාට පවා ඔහු කැමති ලෙස නැටීමට නොහැකි තත්ත්වයක් ඇති කැරිණි. අභිමානවත් ශ්‍රේෂ්ඨාධිකරණයක් පවත්වා ගෙන යෑමට නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයා සමත් විය.

නෙවිල් සමරකෝන් එම තනතුරෙන් නික්ම යාමෙන් පසුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ දැල්වෙමින් තිබුණ පහන නිවී ගියේ නැත. අගවිනිසුරු තනතුරට තේරී පත්වූ අනුප්‍රාප්තිකයන් ශ්‍රේෂ්ඨාධිකරණය හිමි කරගෙන තිබුණු දියුණුව ඉදිරියට ගෙන ගියේය. සියල්ල ආපස්සට හරවන ලද, අධිකරණය හිමිකරගෙන තිබුණු දියුණුව නැති භංග fාකට විනාශ කර දමන ලද පුද්ගලයා වශයෙන් සැලකිය හැක්කේ 1999දී අගවිනිසුරු ධුරයට පත් සරත් සිල්වාය.


සරත් සිල්වා සමග මා ඇති කරගත් ගැටුම සැලකිය හැක්කේ අහඹු සිද්ධියකින් විකසිත වූ දීර්ඝ ක්‍රියාදාමයක් ලෙසය. පහළ අධිකරණයේ විනිසුරුවරයෙකු තමන් ඉදිරියේ ඇසෙන නඩු දෙකක වගඋත්තරකාර කාන්තාවන් දෙදෙනකු තමන්ගේ ලිංගික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා යොදා ගැනීමේ අවලස්සන සිද්ධීන් දෙකක් පිළිබඳව කරුණු සොයා බලන තැනකට යොමුවන්නට මට සිදුවිය. ඒ කාලයේදී නීතිපති ධුරය හෙබවූයේ සරත් සිල්වාය. මහේස්ත්‍රාත්වරයා අතින් කෙළෙසීමකට ලක්ව සිටි කාන්තාවන් දෙදෙනා අතුරින් පළමු කාන්තාවට අදාළ සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාවට ලක් කරන ලදුව එම දෙපාර්තමේන්තුව වැඩිදුර උපදෙස් පතා එම වාර්තාව නීතිපති වෙත යවා තිබුණි. එම මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවයට ගන්නවා තබා අධිකරණයේ පැත්ත පළාතකටවත් නොගත යුතු තරමේ වංචනික හා නින්දාසහගත ඉතිහාසයක් තිබූ පුද්ගලයකු බව තේරුම් ගැනීමට අවශ්‍ය තොරතුරු එම වාර්තාවේ තිබියදී නීතිපතිවරයා එය නොසලකා එම දූෂිත මහේස්ත්‍රාත්වරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීම නිසා නීතිපති ගැනද කරුණු සොයා බලා ඔහු අතින් නීතියට පටහැනිව සිදුවී තිබෙන අවලස්සන දේවල් ගැන හඬ නගන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කරන්නට මට සිදුවිය.

අධිකරණය පාවාදීම


ඒ වනවිට අධිකරණය පමණක් නොව, නීතියද, සංගම් ව්‍යාපාරද තිබුණේ අද මෙන් ආචීර්ණ කල්පික තත්ත්වයක නොව අභ්‍යන්තරයේ තිබෙන වැරදි නිවැරදි කරගැනීමට කැමති තත්ත්වයකය. මගේ හඬ නැගීම සිදුවූයේ මහේස්ත්‍රාත්වරයකුට (ලෙනින් රත්නායක), දිසා විනිසුරුවරයෙකුට (උපාලි අබේරත්න) හා නීතිපතිට එරෙහිවය. මා කරන හඬ නැගීම නොකඩවා කරන හඬ නැගීමක් වූ අතර නීතිඥ සංගමයේ එකල ප්‍රධානියා ලෙස ක්‍රියා කළ රොමේෂ් ද සිල්වා මා අධිකරණයට එරෙහිව නගන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්න තීරණයක් ගැනීම සඳහා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනයක් කැඳවීය.


විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා නගන ලද චෝදනා ගැන සොයා බැලිය යුතු බවත්, ඒවා පදනම් විරහිත චෝදනා වේ නම්. මා සම්බන්ධයෙන් අධිකරණය දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් විනිසුරුවරුන්ට එරෙහිව මා නගා තිබෙන චෝදනා සනාථ වේ නම් නීතිපතිට එරෙහිව මා නගා තිබෙන චෝදනා ගැනද සොයා බැලිය යුතු බව එම සම්මේලනයේ මතය විය.


ඒ අනුව විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා නගන ලද චෝදනා සොයා බැලීම සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් පත් කරන ලද අතර එම පරීක්ෂණ කමිටු දෙකම එම විනිසුරුවරුන් දෙදෙනා වරදකරු කළේය. ඉන්පසු මම රසායන ඉංජිනේරු ජයසේකරද සමග නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කරන ලද අතර, ශ්‍රේෂ්ඨාධිකරණය එම පැමිණිලි දෙක පාදක කරගනිමින් නීතිපතිට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළේය.


ජී.පී.එස්. ද සිල්වා අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම ගියේ එම සන්ධිස්ථානයේදීය. එවිට ජනාධිපති චන්ද්‍රිකා කළේ හොඳටම බෙල්ල හිරවූ තත්ත්වයකට පත්ව සිටි සිය මිත්‍ර නීතිපතිවරයා එම තත්ත්වයෙන් බේරා ගැනීම සඳහා තිබුණ චෝදනා නොසලකා අගවිනිසුරු ධුරයට පත් කිරීමය. එම නොහොබිනා පත්කිරීමට එරෙහිව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් බලවත් විරෝධයක් පැන නැගුණද සිදුවී තිබුණ වරද නිවැරදි කිරීමක් සිදු නොවීය. ඉන්පසු නව අගවිනිසුරුවරයා අධිකරණය කනපිට හැරෙව්වේය. එය දූෂණයෙන් ඉහවහා ගිය තැනක් බවට පත් කළේය.


2001 දෙසැම්බර්වලදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව බලයට පත් එජාප ආණ්ඩුවට අධිකරණය වසාගෙන තිබුණ එම බිහිසුණු පිළිලය ඉවත් කිරීමේ හැකියාවක් තිබුණද, අගමැති රනිල් වික්‍රමසිංහ එම ප්‍රශ්නයට අත ගසන්න කැමති වූයේ නැත.


චෝදනාලාභී තත්ත්වයක සිටි සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත් කිරීමට එරෙහිව මට කළ හැකි හැම දෙයක්ම කර තිබුණි. ඔහු දිවුරුම් දෙන ඡායාරූපය උඩ යට හරවා ‘අධිකරණයේ මළගම’ යන තේමාව යටතේ රාවය පුවත්පත පළ කරන ලද්දේ කළු කලාපයක් වශයෙනි. ඔහුගේ තේරී පත්වීමට එරෙහිව ඔහුගේම අධිකරණය ඉදිරියේ නඩු පැවරුවෙමි. නඩු හබ තිබූ ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන් එම දුෂ්කර මොහොතේදී අගවිනිසුරුට ආධාර කරන ප්‍රතිපත්තියක් මගින් ඔවුන්ගේ බරපතළ නඩු හබ විසඳා ගත්තේය. විකල්ප ව්‍යාපාර ලෙස පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය වැනි දේශපාලන ව්‍යාපාර පවා එම පක්ෂවල කීර්තියට හේතුවන නඩු තීන්දු ලබා ගැනීම සඳහා එම දූෂිත අගවිනිසුරුවරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. රටේ ජනමාධ්‍යයද එම දූෂිත අගවිනිසුරුවරයා උපරිම මට්ටමෙන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඒ සියලුදෙනා එම ඓතිහාසික මොහොතේ අධිකරණයේ ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීමට තිබෙන හැකියාව නැති කොට අධිකරණයේ ඇතිවී තිබුණ අතිවිශාල පිරිහීම ගල් ගැසුණු තත්ත්වයකට පත් කළේය. ඒ සියලුදෙනාගේ එම වීර ක්‍රියාදාමය වෙනුවෙන් දායක වූ සියලුදෙනාට පමණක් නොව, දැන් රටටද ගෙවන්නට සිදුවී තිබෙන වන්දිය අතිවිශාලය. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here