සමීර රාජපක්ෂ

රන්ජන් රාමනායකගේ දඬුවමට එකඟ බොහෝ දෙනා නගන තර්කය නම් දඬුවමේ කාලය දීර්ඝ වැඩි බවය. දඬුවමට එකඟය. එහෙත් සිව් වසරක් වැඩිය. මේ සරල පෙන්වාදීමය.

අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව දැන් දැන් අලූත් නැත. එය පරණය. ටෝනි එමානුවෙල් අධිකරණයට අපහාස කළා යැයි චෝදනා ලබන ප‍්‍රමුඛ මතකයය. එය එදා කර තබා ගත්තේ රාවයය. එවිට බොහෝ අයට මේ ගැන කතා කරන්නට හෝ වුවමනාවක් නොවීය. එකල සමාජ මාධ්‍යයද නැති නිසා ඒ ගැන ඇහුණේ කෙඳිරියක් ලෙසටය. ටෝනි හිරේ යනුයේ ජනපතිනි චන්ද්‍රිකාගේ පාලන කාලයේදීය. ඒ එවකට සිටි අගවිනිසුරුවරයාට එරෙහිව පවරන ලද නඩුවකදී උස් හඬින් කතා කළ චෝදනාවටය. එදා ටෝනි වසරකට හිරේ යනුයේ අගවිනිසුරුට උස් හඬින් කතා කළා යැයි කියාය. ඔහු හිරේ යෑම ගැන කතාබහ අඩු වුවද ඔහු පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ කතාබහක් එකල මතුවන්නේ හිරේදි ඔහු බරපතළ ලෙස පහරකෑමට ලක්වන නිසාය. අවුරුද්දක් හිරේ තපින ඔහු නිදහස ලබා පැමිණීමෙන් පසු විදේශගත වන්නේය. උස් හඬින් කතා කළා කියා වසරක් සිරදඬුවම් ලැබුණේ නම් උසාවි එන වාරයක් පාසා මාධ්‍ය ඉදිරියේ අධිකරණයේ වැරදි කී රන්ජන්ගේ සිව් වසර ගළප්පා ගත යුත්තේ කෙසේද?

දෙවැනි චරිතය

ඉන්පසු අධිකරණයට අපහාස කොට හිරේ යනුයේ එස්.බී. දිසානායකය. ඒ 2003දී කළ ප‍්‍රකාශයක් හේතු කොටගෙනය. 2004 වසරේදී ඊට දඬුවම් ලබන එස්.බී. බරපතළ වැඩසහිතව සිරගත කරනුයේ වසර දෙකකටය. ඒ ද චන්ද්‍රිකාගේ පාලන කාලයේදීය. චන්ද්‍රිකාගේ අගසව් දෙපළ වූ මංගල, එස්.බී, දෙපළගෙන් එස්.බී. ගැලවී එජාපයට එකතු වී වාචාල කතා කියන අතරතුර අධිකරණයටද සුපුරුදු වාග් ප‍්‍රහාරය එල්ල කළේය. එදා එස්.බී. හිරේයෑමත් සමග ඔහුගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයද අහිමි විය. එය ඉන්පසු රේණුකා හේරත්ට හිමි වූවාය. එස්.බී.ගේ ප‍්‍රජා අයිතියද අහිමි වූ අතර අද ඔහු රන්ජන් අරබයා මහත් අභිමානයෙන් කියනුයේ අධිකරණයට අපහාස කළ විට ප‍්‍රජා අයිතිය අහෝසි වන බවය.

සිවුරු

එස්.බී.ගෙන් පසු අධිකරණයට අපහාස කිරීම අහන්න ලැබෙනුයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝය. සිවුරේ බලය උපරිම දේශපාලන හයියක් කරගත් ඥානසාර හිමි යහපාලන ආණ්ඩු කාලයේ හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවකදී අධිකරණ ශාලාවට කඩා පැන චණ්ඩි ප‍්‍රකාශ නිකුත් කළෝය. එය පදනම් කරගනිමින් ඥානසාර හිමිට නඩු පැවරෙන අතර ප‍්‍රතිඵලය වූයේ ඥානසාර හිමිට බරපතළ වැඩසහිතව අවුරුදු 19ක සිරදඬුවමකි. ඒ චෝදනා ගොන්නට අධිකරණය නියෝග කරනුයේ එම සිරදඬුවම එකවර වසර 06කින් ගෙවී යන ලෙස ක‍්‍රියාත්මක වන ආකාරයටය. ඒ අනුව රන්ජන්ට වසර හතරක් වූ අපහාස දඬුවම ඥානසාර හිමිට වසර හයක් වූහ.

රන්ජන්

රන්ජන් එන්නේ ඉන්පසුවය. මේ දිනවල කතා වනුයේ ඔහුගේ දඬුවම ගැනය. රන්ජන් හිරේ යන්නේ අරලියගහ මන්දිරයේ පැවති දේශපාලන රැුස්වීමක් අවසන අරලියහ මන්දිරය ඉදිරිපිට රැුඳී සිටි මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් කළ ප‍්‍රකාශයක් මුල්කර ගෙනය. 2017දී කළ එම ප‍්‍රකාශයට තීරණය ලැබෙනුයේ නොබෝදාය.

රන්ජන්ට පසු

රන්ජන්ට පසු බන්ධනාගාර ගතවනුයේ කවුද? අධිකරණයට අපහාස කළ චෝදනාව එල්ල වූ තවකෙක් සිටී. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියය. ඔහුට එරෙහිව පැමිණිල්ල ගොනුකර ඇත්තේ මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන අයය. රන්ජන්ගේ සිව් වසරක දඬුවම පාදෙණියට කෙසේ බලපානු ඇත්ද යන්න ඉදිරියේදී දැකගත හැකිය. මේ අනුව බලන කල අධිකරණයට අපහාස කිරීම වුව සලකා බලා දඬුවම් නියම කරන කාල රාමුව විවිධ බව පෙනේ. බැලූ බැල්මට වරද එකය. දඬුවම් කාලය වෙනස්ය. එසේ නම් දඬුවමට එකඟ වන අය දඬුවම් කාලය ප‍්‍රශ්න කිරීම වරදක් නොවන බව පැහැදිලිය.

ජනපති සමාව

මේ අතර ඇති අනෙක් විශේෂ කරුණ නම් මේ ජනප‍්‍රිය චරිතවලට ජනාධිපති සමාව හිමිවීමය. එමානුවෙල් සාමාන්‍ය පුද්ගලයෙක් නිසා ඔහුට විශේෂ ජනපති සමාවක් නොලැබුණු අතර, එස්.බී.ට මහින්ද රාජපක්ෂ ජනපති ලෙස සමාව පිරිනැමුවේය. ඒ වනවිටත් එස්.බී. නිදහස ලබන්නට ආසන්න දින කිහිපයේ සිටිමුත් ජනපති සමාව ලැබීම නිසා අහෝසි වී තිබූ ප‍්‍රජා අයිතිය නැවත ලැබුණි. එස්.බී. සිරගත වූවා යැයි කීවද එය එක්තරා විදිහක හාස්‍යයකි. බන්ධනාගාර ගතවූ මුල් සතියේම ඇස් ලෙඩ වැලදුණ බව පවසමින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු එස්.බී. එතැන් සිට නිදහස ලබන තුරුම සිටිනුයේ රෝහලේය.

ඥානසාර හිමියන්ට හිරේදි අප‍්‍රමාණ සැලකිලි ලැබෙන අතර ඔහු ගෙවනුයේ සිරගත ජීවිතයකට වඩා සැප ජීවිතයකි. ජනපති සිරිසේනගේ සමාව ලබා ඥානසාර හිමි ඉක්මනින්ම එළියට ආහ.

රන්ජන්ට-දුමින්ද?

රන්ජන්ටත් කලින් එළියට ඒමට නම් ජනපති ගෝඨාගේ සමාව ලැබිය යුතුය. එවිට ඔහුට අහිමි වූ ප‍්‍රජා අයිතියත් ලැබේ. එහෙත් ජනපති ගෝඨා රන්ජන්ට නිදහස ලබාදේද යන්න ප‍්‍රශ්නාර්ථයකි. එය වෙනත් මානයකින් බලන්නේ නම් දැනට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින දුමින්ද සිල්වා නිදහස් කර ගැනීමට පොටක් විය හැකිය. ජනපතිට දුමින්ද සිල්වා නිදහස් කරන්නැයි දිනපතා ඉල්ලීම්ය. එහෙත් ජනපති මේ තරම් දුමින්දගේ නිදහස පමා කරනුයේ ඇයිද යන්නත් බොහෝ අයට ප‍්‍රහේළිකාවකි. දුමින්ද නිදහස් කරන දින ළඟ ළඟම වෙතත්, ආණ්ඩුවට එයට අත ගැසීමේ ලැජ්ජාවක්ද ඇති බව පෙනේ. එසේ නම් දුමින්ද නිදහස් කරන්නට ජනපතිට ඉඩක් පෑදී ඇත. එනම් රන්ජන් සමග දුමින්දත් එළියට දැමීමය. එවිට ආණ්ඩුවට විපක්ෂයට බැණීමටවත් විපක්ෂයට ආණ්ඩුවට චෝදනා කිරීමටවත් ඉඩක් නොලැබී යන්නේය. එකට එක කැපී යන්නේය. මේ අනුව ඉදිරියේදී මේ දෙපළටම ජනපති සමාව හිමිවිය හැක. එසේ නොවීමටත් ඉඩ ඇත. දුමින්ද නම් කෙසේ හෝ නිදහස් වනු ඇත.

බරපතළ වැඩ

සිව් වසරක බරපතළ වැඩසහිතව කී සැණින් සැවොම සිතනුයේ රන්ජන් සිව් වසර ගෙවෙන තැන අප‍්‍රමාණ දුක්විඳ කෙසඟ වී සිටිනු ඇත කියාය. එවැනි කිසිවක් සිදු නොවේ.

අද දවසේ බරපතළ වැඩ කියා කළුගල් කඩන්නට හෝ වෙනත් බර වැඩ දෙන්නේ නැත. එම්මානුවෙල්ට මෙන්ම එස්.බී.ට බරපතළ වැඩ කියා දී තිබුණේ කර්මාන්ත පුහුණුවය. එය බරපතළ වැඩ කියා කීවද හැම සිරකරුවකුටම ලැබෙන වැඩය. මේ කර්මාන්ත ගෘහ කර්මාන්ත සහ කාර්මික කර්මාන්ත යනුවෙන් බෙදේ. මේ කර්මාන්ත ගණයට පරිගණක මෙන්ම නැටුම්, නාට්‍ය කලාව, මේසන්, ටින්කරින්, කොහු ආශ‍්‍රිත කර්මාන්ත, වඩු ලොන්ඩරි ඇතුළත්ය. එස්.බී. දින කිහිපයට කර ඇත්තේ කොහු කර්මාන්තයය. රන්ජන්ට බොහෝ විට බරපතළ වැඩ ලෙස නැටුම් හා නාට්‍ය කලාව ප‍්‍රගුණ කිරීමට ඉඩ ලැබෙනු ඇත. බරපතළ වැඩ සහිතව කී සැණින් අනියත බියක් ඇති වුවද ඒ තත්ත්වයන් දැන් බොහෝ වෙනස්ය. ජනප‍්‍රිය සහ ධනවතුන් හිරේ යෑමත් සාමාන්‍ය මිනිසුන් හිරේ යෑමත් අතර අහසට පොළොව මෙන් වෙනස්කම් පවතී.