ටිරන් කුමාර බංගගමආරච්චි


මෙරට දේශපාලනයේ බොහෝ පිරිස් යාචකයෝ, යදින්නෝ බවට පත්වී ඇත. මේ අය ජනතා මනාපයවත් මේ තරම් හිඟා නොකෑහ. බලය ඉදිරියේ සැවොම අන්ධයෝය යන්න මේ වනවිට ශාසනය පැත්තක තබා ආසනයට ගහ මරා ගන්නා සිවුරුලා ගත්තෝ ඔප්පු කොට ඇත්තාහ. මිස්ටර් ක්ලීන් යන නාමය ලද්දා වූ රනිල් වික්‍රමසිංහ අසුනක ලයිසමක් අතැතිව කොතරම් උමතු වී අත්දැයි යන්න ඇස් පනාපිටම දැකිය හැකිවී ඇත. දෙමළ ජාතික සන්ධානය ජාතික ලැයිස්තු අසුන නියමිත කාලයෙන් අඩකට බෙදා දෙදෙනකු අතරේ බෙදන තැනට වැඩ කටයුතු සලසා ගෙන ඇත. සෑම දේශපාලකයකුම නහිනුයේ ජනතාවට සේවය කරන්නට යැයි තවම සිතන ඔලමොට්ටලයෝ මේ රටේ සිටිතැයි සිතන දේශපාලකයින්ද ඒ අතර නැතිවා නොවේ. කරු ජයසූරිය එවැනි දේශපාලකයෙකි. ඔහු පසුගිය දිනවල එකිනෙකා ඉදිරියට දමමින් ඔවුන් ලවා “දෙනවා නම් ගන්නවා” පන්නයේ රංගනයක් ඉදිරිපත් කළේ එජාප නායකත්වයේ වගකීමය. දෙනවා නම් ගන්න රනිල් කවදාවත් එහෙම දෙන පුද්ගලයකු නොවන බව දීර්ඝ කාලයක් රනිල්ටම රැවටුණු කරු තවම නොදැනීම කරුගේ දේශපාලනයේ භාවිතාව මනාව කියා පාන්නකි. අනෙක් අතට වෙන අය ලවා ඉල්ලා නොදෙන තැන තමාම ලිඛිතව ලියා දැන්වීමත් කරුගේ මෝස්තරයක් වී ඇත. ඔහු මීට පෙරද මෙවැනි ලියුම් ලීවේය. එනම් තමා නායකත්වය ගන්නට සූදානම් බව එහි අරුතය. මේ කතාව කරු කියනුයේ කොයි කල සිටද? එක්කෝ මේ තරම් යදින කරුට පිස්සුය. නැතහොත් කාට වුව නොදී ඉන්න රනිල්ට පිස්සුය. සැබැවින්ම මේ සැවොම පෙන්වනුයේ දේශපාලනය වනාහී උමතුවක්ම බවය. කරු එජාප දේශපාලනයේ නායකත්වය ගැනීම යනු ඉතා කෙටි කලකින් එය තම බෑණා වන නවීන්ට භාරදීමක් වනු ඇත. කරුගේ මේ නාට්‍ය අවසානය බෑණා දිනවීමේ අරමුණය. රනිල්ගේ මේ අල්ලා සිටීමේ අරමුණේ අවසානය ඒ තැනට තම මස්සිනා වන රුවන් විජේවර්ධනට ඔටුනු පැළඳීමය. මේ සැමගේ යටි අරමුණු එළියට පෙනෙන බව මේ අය නොඅදහති.


බෞද්ධ වීම


දැන් හැමට සිංහල බෞද්ධ වීමේ රෝගය වැලඳී ඇත. මේ කාට වඩා හොඳ වීමටද? එනම් මහින්ද රාජපක්ෂ අබිබවා සිංහල බෞද්ධ වීමටය. එය පහසු කටයුත්තක් නොවේ. කිසිවකු මහින්දගේ ආරට යන්නට දැඟලීම නිකං හති වැටීමකි. මහින්ද සිංහල බෞද්ධ ලකුණේ පේටන් අයිතිය ගෙන හමාරය. මෙරට පන්සල්, ඒවායේ භික්ෂු ප්‍රධානීන් මහින්දට සම්පූර්ණ අයිතිය ලියා දී ඇත්තේ සින්නක්කරටය. එය මහින්දගෙන් අභාවයෙන් කාලයක වෙනස් වුවහොත් මිස දැනට ඒ කොඩිය රැගෙන යෑම වැඩකට නැති වැඩක් මිස වෙන දෙයක් නොවේ. කරු එජාපයේ සිංහල බෞද්ධ හොඳම එක ලෙස පෙනෙන්නට හැදුවට එය මහින්ද ඉදිරියේ ව්‍යාජයකි. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට දාහත් දෙනෙක් රැගෙන මහින්ද ළඟට ගිය කරු නැවත එජාප නිවසට ආවේ හිස් අතිනි. එජාපයේ විශාලතම පිපිරුම ඇතිවූයේ කරු කළ වැඩෙනි. අදත් මහින්ද ළඟ ප්‍රබල භූමිකාවක් කරනුයේ එදා කරු අතින් අල්ලා ගෙන ගොස් මහින්දට භාර දුන් අයය. මේ යටගියාව අමතක කොට කරු එජාපයේ නායකත්වය ඉල්ලීමම මොනතරම් නරුමද? කරුගේ දේශපාලන ලිපිය සමාජ මාධ්‍යවල පළකිරීමත් සමග ඒ එකක් යටින් දමා තිබූ කමෙන්ටුවක් අපූරු කතාවක් කීය. එහි සඳහන් වූයේ ‘කරු යනු රනිල්ට කියන තවත් නමක් බවය.’ මේ සමාජ කියවීමය.


සජිත්ගේ බෞද්ධකම


සජිත් ප්‍රේමදාසද සිය මැතිවරණ කාලසීමාව පුරාම කියූ ප්‍රබලතම සටන් පාඨය වූයේ තමන් සිංහල බෞද්ධයකු බවය. එය සජිත් තමන් එසේ යැයි කියන්නට මන්ත්‍රයක් සේ මැතුරුවේය. තමන්ගේ ආගම යනු කෑ ගසා කිවයුතු සටන් පාඨයක්ද? මහින්ද නොකී දේ අනෙක් අය කියති. මහින්ද සිංහල බෞද්ධ කියා කිසිවිටෙක කීවේ නැත. ඔප්පු කළේය. ඒ කොන්ත්‍රාත්තුවට කර ගැසුවේ භික්ෂු ප්‍රධානියෝ වෙති. පර්සිලා මහින්ද වී නියම බෞද්ධයෝ ලෙස බෞතිස්ම වී ඇත. එය මුදල් ගෙවා ලබාගත හැකි නම්බුවක් යැයි සජිත් සිතීය. ඒ නිසා ඔහු කළේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් පන්සල්වලට සල්ලි බෙදීමය. මේ හරහා සජිත් හිතුවේ මහින්දගේ පදනම සෙලවී තමන්ටත් එහි ඉඩක් හිමිවනු ඇතැයි කියාය. මේ මහින්දගේ ඡන්ද පදනමය. සජිත්ගෙන් සල්ලි ගත්තද මේ භික්ෂූන් සජිත්ට ආවඩන්නේ නැත. ඒ සැම මහින්ද බන්ධනයේ සිරවී හමාරය. ඒ බව දන්නා නිසාම මහින්දට බය නැතිව සජිත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් විනාශ කරලා යැයි කෑමොර දිය හැකිය. ඒ මුදල් දුන්නේ පන්සල්වලට එය පවක්ද යැයි සජිත්ටත් ශබ්දයෙන් කිවහැකි වුවත් පව මහින්දගේ තුරුලේ රිංගන්නට යෑමය. මහින්දගේ දේ මහින්දටම දිය යුතුය. එය ඩැහැගෙන පෙන්වන්නට යන සජිත්, කරුලාට මහින්ද විය නොහැකි බව කිව යුතුය. මහින්දලා තව වුවමනා නැත. මහින්ද පමණක් සිටියාම හොඳටෝම ඇතිය. මහින්දගේ භික්ෂු ආලය පන්සල් ආලය ඔහු සතුවීමම ප්‍රමාණවත්ය. එයට කාට හෝ රිංගිය නොහැකිය. රිංගිය යුතුද නැත.


සිංහල ලකුණ


මේ ආශාවට මූලික හේතුව ජනපති ගෝඨා සිංහල බෞද්ධ ඡන්දයෙන්ම ජයගැනීමය. ඉන්පසු මහින්ද මහ මැතිවරණය ජයගත්තේද සිංහල බෞද්ධ ඡන්දයෙන්මය. මෙතෙක් මෙරට දේශපාලන ජයග්‍රහණ යනු සුළු පක්ෂවල එකමුතුවක හැඩයකි. එජාපය සැමදා විශ්වාස කළේ දෙමළ මුස්ලිම් පිරිසගේ මනාපය තමන් සතුවන තාක් එජාපය දිනන බවය. සිරිසේනගෙන් එය කෙළවර විය. සිරිසේනගේ ජයත් සමග පැත්තකට වූ මහින්දට නැවත කුදලාගෙන ගියේ සිංහල බෞද්ධ ලකුණය. එයට බිම්ගතව ලොකු මතවාදයක් ගොඩනැගුණේය. එය ඉතා සූක්ෂ්මව ගොඩනැගීය. මහින්දගේ බෞද්ධ එකෙන් පිරිසිදුම එක ලෙස ගෝඨා වටා එක්වූ වියත් මග පිරිසෙහි දක්නට ලැබුණි. ඒ අය මෙවර මහ මැතිවරණයෙන් රාජපක්ෂගේ බෞද්ධ කල්ලිය පරදවා මනාප ගත්තේය. ඊට හොඳම උදාහරණය රට, ජාතිය බේරා ගන්නටම උපන් විමල් වීරවංශට වඩා රට ජාතිය බේරා ගන්නට යුද්ධයට ගිය සරත් වීරසේකර ඔරිජිනල් එක විය. බෞද්ධකම අවදි වන්නට කෑ මොර දුන් විමල්ට වඩා ටයිකෝට් ඇඳ ජිනීවා ගොස් පෙනී සිටීම සරත් ඉහළින් තැබීමට හේතුවිය. ප්‍රසන්න රණතුංගට වඩා නාලක ගොඩහේවා උගත් අයෙකි. ඔහු ගෝඨාගේ බෞද්ධයෙකි. ගම්පහ ජනතාව ගම්පහට වැඩ කළ ප්‍රසන්නට වඩා ගෝඨාගේ නාලක ගැන සිතූහ. ගෝඨා ළඟ ඇත්තේ තියරිය. මහින්ද ළඟ ඇත්තේ ප්‍රැක්ටිකල්ය. එහෙත් දැන් තියරිම ප්‍රැක්ටිකල් වී ඇත. මෙවර මහ මැතිවරණ ප්‍රතිඵල කීවේ එයය.


විස්ස ගෙන ඒම


මේ ඉහත යථාර්ථය මහින්ද මෙන්ම බැසිල්ද වටහා ගනිමින් සිටින බව ඒකාන්තය. ඒ නිසාම සැමට පොදුවේ ගමනක් යන්නට නම් මේ මොහොතේ ජනපතිට උපරිම තැන දිය යුතුය. සැවොම සිතුවේ දහනවය හරහා බලය මහින්දට එන නිසා මහින්ද කෙරුමා වනු ඇති බවය. එහෙත් ඉහත යථාර්ථය තුළ තාමට නොදෙවෙනි බලයක් ගෝඨා සතු බව මහින්ද මෙන්ම බැසිල්ද වටහාගෙන ඇත. ගෝඨා පිල නියෝජනය කරමින් ආ අය ඉහළ මනාප ගන්නා විට ඒ තුළ පෙනෙන යථාර්ථය ජනතාව ඔහු කෙරෙහි විශ්වාස තබන බවය. වීරසේකරලා, ජයසුමනලා මෙන්ම ගොඩහේවලාත් දිනූයේ ගෝඨාගේ තියරිය නිසාය. එනම් මහින්ද යුද්ධයට අනුමැතිය දුන්නද එය ක්‍රියාත්මක කළේ ගෝඨාය. පසුගිය ජනපතිවරණයෙන් එය ජනතාව පිළිගත්හ. මහින්ද දේශපාලනයේ ප්‍රැක්ටිකල් එක වුවද ගෝඨාගේ තියරිය ජය ගත්තේය. ඒ අනුව දැන් තියරියම ප්‍රැක්ටිකල් එක වී ඇත. මේ බව මහින්ද මෙන්ම බැසිල් වටහාගෙන ඇත. දහනවයේ බලය මහින්ද අතට ගැනීම තරම් අනුවණකමක් නැති බව ඔවුහු අදහති. ඒ නිසා කඩිමුඩියේම විස්ස ගෙනවිත් නැවත ගෝඨාට බලය ලබාදීම මහින්ද සහ බැසිල්ගේ අරමුණය. ඒ අතර බැසිල් නැවත පාර්ලිමේන්තු ඒමක් සිදුවනු ඇත. නැවත සිදුවන්නේ තනතුරු පසෙකලා සහෝදරවරු බලසම්පන්න වීමය. මේ තිදෙනාම හිතුමතේ වැඩ කරනු ඇත. ගෝඨා ජනපති වුවද, මහින්ද අගමැති වුවද, බැසිල් ඇමතිවරයකු වුවද නොවුවද බලය ත්‍රිකෝණාකාර වනු ඇත. රාජපක්ෂලා කුමන ප්‍රශ්න තිබුණත් ගොදුරට පනිනුයේ එකාවන්වය.


දේශපාලනයේ පොහොට්ටු සලකුණ මහින්ද වුවත් එය මේ වනවිට තුනට බෙදී ඇත. එනම් ගෝඨා, බැසිල් ලෙසය. මේ තිදෙනාම නැතිව ගමනක් නැති බව තිදෙනාම දනිති. එකිනෙකා කුළල් කා ගනු වෙනුවට බලය පවුල ඇතුළේ බෙදා ගන්නට ඒ අය දක්ෂ වී ඇත. වත්මන වන විට මහින්දට ගෝඨාත්, බැසිලුත් නැතිව ගමනක් නොමැතිය. ගෝඨාටද මහින්ද බැසිල් නැතිව යායුතු දුර කෙටිය. බැසිල්ට මේ දෙදෙනාම නැතිව පැවැත්මක් නොමැතිය. මේ තුන්දෙනාගේ කල්ලිය එකටම මිස දෙකඩ වනු නොමැතිය. විස්ස හරහා ගෝඨා ශක්තිමත් කළද එයින් මහින්දට, බැසිල්ට හානියක් සිදු නොවේ. ගෝඨාට බලය දුන්නා කියා මහින්ද, බැසිල් කරන වැඩද නොකර සිටින්නේ නැත. පුරුදු පරිදි පවුල් ගස ශක්තිමත් වනු ඇත.


අනාගතයේ යම් දවසක මේවාට එරෙහිව කැරලි ගසන්නට මුල් අඩිතාලම් දමනු ඇත්තේ විමල් වීරවංශ, ගම්මන්පිල වැනි අයය. 2015 මෙන් එකමුතු වන රැල්ලට ඊළඟ වාරයේ විමල්, ගම්මන්පිල පෙරමුණ ගන්නවා නියතය. අභාග්‍ය හෝද හෝද මඬේ දමන්නට වන්නේ එකම පිරිසම වීමය. මන්ද නැවත ඉන්පසු තියරිකාරයන් මග හැරී ප්‍රැක්ටිකල් එක ජය ගනු ඇත. තියරිය තියරියක් විදිහටම පවතිනු ඇත. කිසිවකු දෙස අධිමානයෙන් බැලිය යුතු නැත. මේ හැමදේම ඉක්මනින් ඇතිවී නැතිවෙන සුලුය. එය බෞද්ධ දර්ශනයේ ඵලයය. එය සිංහල බෞද්ධයාටද පොදුය. එයද ඇතිවී නැතිවනු ඇත.
හැබැයි මේක මුස්ලිම් අයත් සිල් ගන්න කාලයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here