ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

දැනට කොවිඞ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙන රෝගීන්ට අමතරව සමාජය තුළ හඳුනානොගත් කොවිඞ් ආසාදිතයන් ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් සිටින බවට ඔබ ප්‍රකාශ කර තිබුණා. ඒකට පදනම් වෙන්නේ මොකක් ද?


කොවිඞ්-19 කියන්නේ SARS COV2 කියන වසංගතයටයි. මීට පෙර 2003 දී SARS COV1 කියන වසංගතය ආවා. සමහර යුරෝපීය රටවලට සහ සමහර ආසියානු රටවලට එහි බලපෑම තිබුණා. එයත් කොවිඞ් වෛරස කාණ්ඩයට අයත් වෛරසයක්. SARS COV2 වලට අදාළ දත්ත හොඳින් නිරීක්ෂණය කළ විට පෙනෙන්නේ අනුවර්ථනය වීමේ හැකියාව මේ වෛරසයට තිබෙන බවයි. ඒ නිසා ඒක නව මුහුණුවරකින් තවත් රටකට යෑමේ ඉඩ තිබෙනවා. නිසි සෞඛ්‍ය පටිපාටිය අනුගමනය නොකළොත් කොරෝනා වෛරසය ආසාදනය වුණු රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙකුගෙන් තවත් පන්සියයකට හෝ ඊට අධික ප්‍රමාණයකට ඒ වෛරසය ඇතුළුවීමේ හැකියාව තියෙනවා.

Asymptomatic කාණ්ඩයට අයත් වන රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන කොවිඞ් ආසාදිතයෙකුගෙන් තවත් පනස් දෙනෙකුට පමණ රෝගය බෝ වෙන්න පුළුවන්. මැයි මාසයේ දී එවැනි රෝග ලක්ෂණ නොපෙන්වන කාණ්ඩයට අයත් ආසාදිතයන් ලංකාවේ ලක්ෂ 12ක් පමණ ඉන්න බව මම කිවුවා. ඒ වන විට සමාජයේ අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ ලක්ෂ 12ක්වත් කළ යුතු බව මම ඒ අවස්ථාවේ ආණ්ඩුවට කීවා. එහෙම පරීක්ෂණ කර ඒ අනුව සිතියම්ගත කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් ඉල්ලා සිටියා. පළමු රැල්ලෙන් පසුව ඒ ආකාරයේ පරීක්ෂණ සිදුවුණා නම් දැඩි අවදානමක් සහිත ප්‍රදේශ සහ අඩු අවදානමක් සහිත ප්‍රදේශ ලෙස වෙන් කරගන්න තිබුණා. නමුත් ඒක වුණේ නැහැ. ඒ නිසා මේ දෙවන රැල්ල සමග දැන් හඳුනාගෙන තිබෙන රෝගී සංඛ්‍යා සමග සන්සන්ධනය කර බැලූ විට ලක්ෂ විස්සකට වැඩිය රෝග ලක්ෂණ නොපෙන්වන කාණ්ඩයේ රෝගීන් ලංකාවේ ඉන්න පුළුවන් බවට මම ගණනය කළේ ඒ අනුවයි.


නමුත් පළමු රැල්ල අවසාන වන විට සම්පූර්ණයෙන් කොවිඞ් අවසන් වුණා සහ එය පරාජය කළා වැනි පණිවුඩයක් සමාජගත වීම සිදුවුණා. ඒක කිසිදු විද්‍යාත්මක පදනමක් නැති පණිවුඩයක් සමාජගත කිරීමක් නේද?


බලධාරීන් ඒ අවස්ථාවේ කිසිම අවදානමක් නැති බව කිවුවා. ඒක ලොකු වැරැද්දක්. සිහින දකින පණ්ඩිතයෝ නිසා ඉදිරියේ දී ලංකාව ලොකු අනතුරකට මුහුණ දෙන බව මම මැයි මාසයේ දී පුවත්පතකටත් කිවුවා. අඩුම වශයෙන්ම 2021 දක්වා මේ වෛරසයත් සමග ජීවත්වීමට අපි සූදානම් වී සිටිය යුතුයි. මොකද මේ වෛරසය නැවත නැවත විවිධ මුහුණුවරින් අනුවර්ථනය වෙනවා. ඒ නිසා මේකට එන්නතක් සොයාගන්නා තුරු මේ සමග ජීවත් වීමට සිදුවෙනවා. නමුත් ඒ අවස්ථාවේත් බලධාරීන් ඒක ගණන් ගත්තේ නැහැ. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළේ වෛද්‍ය අනිල් ජාසිංහ වැනි අය පමණයි.


මේ වන විට දිනකට හමුවන රෝගීන් සංඛ්‍යා ඉහළ ගොස් තිබුණත් තවමත් එය සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවට නිල නිවේදනයක් සෞඛ්‍ය අංශ විසින් ලබා දී නැහැ නේද?


මේ අවස්ථාව වන විට මේ වෛරසය සමාජගතවෙලා නැහැ කියලා කියන අය ඉන්නවා නම් ඒ අය ඇත්තටම ජීවත් වෙන්නේ සිහින ලෝකයකයි. ඇත්තටම මේ වෛරසය දැන් සමාජගතවෙලා ඉවරයි. ඒක අපි කවුරුත් පිළිගන්න ඕනෑ දෙයක්. මොකක් හෝ හේතුවක් මත මේක සමාජ ව්‍යාප්තියක් දක්වා වර්ධනය වී ඇති බවට හෝ නොවන බවට අදාළ දත්ත අදාල බලධාරීන් විසින් නිකුත් කර නැහැ. මේ දත්ත නිකුත් කරන්නේ නැත්නම් තාක්ෂණික කමිටුවෙන් ඉවත් වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් කියා තිබුණා. ජනාධිපතිට හෝ ආණ්ඩුවට හෝ සෞඛ්‍ය බලධාරීන්ට හරි තීරණයක් ගන්න බැරි මේවාට අදාළ නිවැරදි දත්ත ලබා දී නැති නිසායි. ඒකට හේතුව කවුරුවත් දන්නේ නැහැ. අපි යථාර්ථය තේරුම් ගන්න ඕනෑ. හොඳ නම තබා ගැනීමේ අරමුණින් මේක සමාජගත වෙලා නැහැ කියලා ඒ අය ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට කිවුවා ද දන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවේම මේක සමාජගත වෙන්න ඉඩ ඇති බව ජනාධිපතිවරයාට කීවා නම් ඒ අනුව තීරණ ගන්න තිබුණා. ඒ තීරණ ගැනීමට නිවැරදි දත්ත ලැබෙන්න නැතිව ඇති කියලා මම හිතනවා. ඒ වගේම මේ දෙවැනි රැල්ල එන අවස්ථාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් හිටියේත් නැහැ. ඒ නිසා ඒවා එක තැනකින් සම්බන්ධීකරණය නොවීමත් ලොකු අඩුපාඩුවක් වුණා.

සමාජය තුළ එවැනි හඳුනානොගත් ආසාදිතයන් විශාල සංඛ්‍යාවකි සිටී නම් මේක දැනට තිබෙන පාලනයෙන් ගිලිහීම් අවදානම ඉතා ඉහළ විය හැකියි නේද? දැනට සිදුවන කොවිඞ් පාලන යාන්ත්‍රණය ඒ සඳහා ප්‍රමාණවත් ද?


තවම මේක පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක තියනවා කියලා හිතනවා. ඒ කියන්නේ ඇමරිකාව, ස්පාඤඥය හෝ ඉන්දියාව වැනි රටවල වගේ භයානක තත්ත්වයට තවම මේක ගිහින් නැහැ. ඒකට හේතු කීපයක් තියනවා. එකක් ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව හිරු එළිය හොඳින් තිබෙන දිනවල ලැබෙන UVC කිරණ ධාරිතාවය නිසා විවිධ මතුපිටවල් මත ඇති මේ වෛරසය ගොඩක් වෙලාවට මර්දනයවීමක් සිදු වෙනවා. මේ හේතුව නිසාත් අපි තවම අසීරු තත්ත්වයකට ඇවිත් නැහැ. නමුත් මේක සමාජගත වී ඇති බව අපි පිළිගත යුතුයි. අනෙක් දේ අප්‍රේල්, මැයි වන විට සෞඛ්‍ය නීති පිළිපැදීමක් වුණේ නැහැ. ඒකට හේතුව කොවිඞ් වසංගතය තුරන් කළ බවට බලධාරීන් කිවුවා. ඒ නිසා මුඛ ආවරණ පැළඳූ අයත් ඒවා නොකර ඉන්න පටන් ගත්තා. මොකද සම්පූර්ණයෙන්ම ලංකාවෙන් කොවිඞ් තුරන් කරලා තියෙන්නේ කියලා බලධාරියෙකු ඇවිත් කිවුවාට පස්සේ මිනිස්සු සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැතිව ගියා. කොවිඞ් වලින් ආරක්ෂාවීම සම්බන්ධයෙන් තිබූ කම්පනය ඒ නිසා නැතිවෙලා ගියා. බියක් සැකක් නැතිව මිනිස්සු හැසිරෙන්න පටන් ගත්තා. සමහර කර්මාන්තශාලාවල උණ තිබේ ද කියාවත් පරීක්ෂා කළේ නැහැ.මේ තත්ත්වය ඇති වෙන්න හේතු වුණේ එයයි. මුලින් තිබුණු බිය නැති වුණු නිසා මිනිස්සු සෞඛ්‍ය අංශ වලින් දී තිබූ උපදේශන මාලාව පිළිපැද්දේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය ඇති වෙන්න ප්‍රධාන හේතුව නොසැලකිලිමත්භාවයයි. මේක පාලනය කරගත හැකි ස්ථානයක තවමත් තිබෙන බව මම හිතනවා. නමුත් බලධාරීන් විසින් කළ යුතු ක්‍රියාමාර්ග කීපයක් තිබෙනවා. එන්නතක් සොයා ගන්න පෙර මේ සෞඛ්‍ය උපදේශන දිගටම අනිවාර්යෙන් පිළිපැදිය යුතුයි. ඒ වගේම පීසීආර් අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකර අවදානම් කලාප, ආරක්ෂිත කලාප ආදිය හඳුනාගෙන ඒවා සිතියම්ගත යුතුයි.


කොවිඞ් රැල්ල පැමිණි අවස්ථාවෙන් පසු රට විවෘත කිරීමට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එවැනි කලාප හඳුනාගෙන සිතියම්ගත කිරීම සම්බන්ධයෙන් වාර්තා සකස් කර බලධාරීන්ට ලබා දුන්නා නේද, ඒවා ක්‍රියාත්මක නොවූයේ ඇයි?


ඒ අය විශාල මහන්සියක් ගෙන ඒ කියන සිතියම් ගත කිරීම සිදුකර ජනාධිපතිවරයාටත් භාර දුන්නා. නමුත් සිදුවුණේ ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ හොඳ නාමයන් ලබා ගැනීමේ අරමුණින් ඇතැම් අය මම හිතන්නේ එවැනි අවදානමක් නැති බවත් ඒවා අවශ්‍ය නොවන බවත් දැනුම්දීම නිසා ඒවා එතරම් සැලකිල්ලට නොගත්තා විය හැකියි. ජනාධිපතිවරයා හෝ සෞඛ්‍ය ඇමති කියන්නේ වෛද්‍යවරු නෙමෙයි. ඒ නිසා ඒ අයත් අහන්නේ මේ සම්බන්ධ විශේෂඥයන් කියන දේයි. ඒ නිසා එවැනි විශේෂඥයෙක් කියනවා නම් මේක සම්පූර්ණයෙන්ම තුරන් කරලා තියෙන්නේ කියලා ඔවුන්ට එය පිළිගන්න වෙනවා. නමුත් ප්‍රවීණයන් විසින් සකස් කළ සිතියම් පසෙක දාලා එක්කෙනෙක් දෙන්නෙක්ගේ වචනය මත මෙවැනි තත්ත්වයක් ඇති කරගැනීම ඇත්තටම ලොකු ප්‍රශ්නයක්.


මම හිතන්නේ අපි තීරණ වලට එළඹුනා ගොඩක් පරක්කු වැඩියි. මිනුවන්ගොඩින් රෝගියෙකු හමුවුණේ ඔක්තෝබර් මාසයේ මුලයි. ඉන් දින දෙකකට පමණ පසු පුළුවන්නම් රට අඩක් වහන ලෙස මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ඒ කියන්නේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන මගීන් සීමා කරන ලෙසත්, සේවා ස්ථානවල අඩක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ගෙන්වීමට, ඒ වගේම රෝහල්වල සේවයේ යෙදෙන අයත් ඒ ආකාරයට යොදවන ලෙස ඉල්ලා සිටියා. ඒ වගේම පීසීආර් වලින් රෝගීන් ලෙස හඳුනාගන්නා සියලුදෙනාම මුල් අවස්ථාවල රෝහල්වලට යොමු කිරීම අවශ්‍ය නැහැ. මොකද එහෙම රෝහල්ගත කළත් මුල් අවස්ථාවල ලබා දෙන්නේ පැනඩෝල් සහ පිරිටන් පමණයි. ඒ නිසා එවැනි අය නිවෙස්වල රඳවා අධීක්ෂණය කිරීම කළ හැකියි.රෝහල්ගත කළ යුතු මට්ටමක අය පමණයි රෝහල්ගත කළ හැකිව තිබුණා. මොකද අපේ රෝහල් ධාරිතාවයට මේ සියල්ල දරා ගන්න බැහැ. මේවා මුල් අවස්ථාවේ කළ යුතු දේයි. නමුත් ඒවා ගැන එතරම් සැලිකිල්ලක් දැක්වුවේ නැහැ. දැන් අවසානයේ ධාරිතා ඉක්මවා ගිය පසු කොහොමත් එය සිදුකරන්න වෙනවා. ඒ තත්ත්වයට වැටෙන්න පෙර මේවා සලකා බැලීම සිදුකරන්න තිබුණා. මුල සිටම අපේ රෝහල් පද්ධතියට මෙවැනි පීඩනයක් සහ ධාරිතාවයක් ගන්න අවශ්‍ය නැහැ.


දැනට මෙරට තුළ සිදුවන පීසීආර් පරීක්ෂණවලින් 50%ක් පමණ නිවැරදි ඒවා නොවන බවටත් ඔබ පවසා තිබුණා. ඊට පදනම මොකක්ද?


නොවැම්බර් දෙසැම්බර් මාසයේ වූහාන් වල පළමු කොරෝනා රෝගීන් හමුවෙද්දී ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න ක්‍රමවේදයක් ලංකාවේ තිබුණේ නැහැ. පීසීආර් සඳහා යොදා ගත්තේ ක්ෂය රෝගය හඳුනාගැනීම සඳහා ගෙනැවිත් තිබූ ඉතා පැරණි තාක්ෂණික යන්ත්‍රයි. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වැනි අය මේ කොවිඞ් වෛරසය ලංකාවට ඒමට පෙර පීසීආර් පරීක්ෂා කිරීමට අවශ්‍ය දේ සපයාගෙන ඒ සඳහා සූදානම් වී සිටියත් මෙහේ තිබෙන කොලම් වර්ගයේ පීසීආර් පරීක්ෂණ ඉතා පැරණි පරීක්ෂණ ක්‍රමයක්. ඒ සඳහා ගත වන කාලයත් ඉතා වැඩියි. ඒ වගේම ඒවා යම් අයෙක් විසින්ම පියවරින් පියවර කිරීමට සිදුවෙනවා. ඒ වගේම මේ ක්‍රමවේදය හරහා යම් යම් වැරදි සිදුවීමටත් තිබෙන ඉඩ වැඩියි. නමුත් දැන් බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ භාවිතා කරන්නේ නව ක්‍රමවේදයයි. ඒක ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් විසින් සොයා ගත් ක්‍රමවේදයක්. පරණ තාක්ෂණයෙන් පැය පහක් පමණ කළ යුතු දේ රොබෝ තාක්ෂණයෙන් විනාඩි 18න් සිදුවෙනවා. ඒ නිසා දැන් බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ දී පැයකට අඩු කාලයක දී ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ නව තාක්ෂණය භාවිතා කර පීසීආර් පරීක්ෂණ ධාරිතාව වැඩි කරගැනීමට කටයුතු කළ යුතුයි. මේ නව තාක්ෂණය යෙදවූවොත් දැනට තිබෙන රසායනාගාරවල දිනකට පරීක්ෂණ තිස්දාහක් පමණ කිරීමට හැකියාව තියනවා.


මේ වන විට රැපිඞ් පරීක්ෂණ සිදුකිරීමේ සූදානමක් තිබෙනවා. නමුත් ඒවා ගෙන්වීම සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට වාර්තා වන අතරම ඒවායේ නිරවද්‍යතාවය සම්බන්ධයෙනුත් ගැටලුකාරී තත්ත්වයක් ඇති බවට ක්ෂේත්‍රයේ විද්වතුන් පවසනවා.


දැන් සාකච්ඡා වන ඇන්ටිජන් රැපිඞ් පරීක්ෂණය සම්බන්ධයෙන් මම මුල් කාලයේ වෛද්‍ය අනිල් ජාසිංහ සමගත් සාකච්ඡා කළා. ඒක නරක දෙයක් නෙමෙයි. නමුත් ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ තිබෙන නීතිය වන්නේ යම් බෙහෙතක් හෝ කට්ටලයක් හෝ උපකරණයක් ලංකාවට ගෙන ඒමට පෙර ඒ සියල්ල එම විෂය භාර විශේෂඥයන් විසින් පරීක්ෂා කළ යුතුයි. එසේ පරීක්ෂා කර ඒ අය ඒ පිළිබඳ නිර්දේශයක් ලබා දිය යුතුයි. ඖෂධ නියාමන අධිකාරියට ඒවා ගෙන්වීමට සුදුසුයි කියන සහතිකය ලබා දිය හැකි වන්නේ එම කට්ටල නිරවද්‍ය ලෙස භාවිතා කළ හැකි ද යන්න පිළිබඳ එම නිර්දේශය ලැබුණ පසුයි. නමුත් මේ ගෙන්වීම සම්බන්ධයෙන් එය සිදුවී නැහැ. නමුත් ඔක්තෝබර් මාසයේ 22 ඖෂධ නියාමන අධිකාරියෙන් මේකට සහතිකයත් ලබා දී අවසන්. නමුත් ඒවායේ නිරවද්‍යතාවය සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීමේ කටයුතු කරන්නේ දැන්. එතැන විශාල අක්‍රමිකතාවයක් සිදුව ඇති බව ඉතා පැහැදිලියි. ඇන්ටිජන් පරීක්ෂන නරක දෙයක් නෙමෙයි වගේම ඒවා ඉතා ඉක්මණින් කළ හැකියි. නමුත් මෙතැන ලොකු අක්‍රමිකතාවයක් ඇතිව තිබෙනවා. ඒ වගේම ඇන්ටිජන් පරීක්ෂණය පීසීආර් වෙනුවට කළ හැකි පරීක්ෂණයකුත් නෙමෙයි. උදාහරණයක් ලෙස රෝහලක බාහිර ප්‍රතිකාර ඒකකයට විවිධ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙනවා. ඒ අය රෝහල තුළට ගැනීමට පෙර මෙම ඇන්ටිජන් පරීක්ෂණ කර සාමාන්‍ය අදහසක් ලබාගන්න පුළුවන්. මෙම පරීක්ෂණය වැදගත් වන්නේ එවැනි ඉක්මන් පරීක්ෂණ කළ යුතු අවස්ථාවකයි. නමුත් එයින් නිගමනයන්ට එන්න බැහැ. 48%ක පමණ වැරදිභාවයක් ඒවායේ තියනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here