සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 20 වෙනි සංශෝධනය මෙච්චර ඉක්මනට සම්පාදනය වුණේ කොහොමද? කවුද මේකේ නිර්මාතෘවරු?


අධිකරණ ඇමතිතුමා සහ අනෙකුත් ව්‍යවස්ථාව පිළිබඳ විශේෂඥයන් එකතු වෙලා ඒක කරන්න ඇති කියලා තමයි අපි හිතන්නේ. රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට ඒකට මගේ සම්බන්ධයක් නෑ. 19 වෙනි සංශෝධනයෙන් රට අරාජිකවීම නිසා අහෝසි කරන්න තමයි විසිවෙනි සංශෝධනය ගෙනාවේ. ඊට පස්සේ නව ව්‍යවස්ථාවකට යයි.


යම් යම් දෝෂ තිබුණත් 19 වෙනි සංශෝධනයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය පුළුල් කෙරුණා කියා දේශපාලන විශ්ලේෂකයන් පවා පිළිගන්නවා. ගෙවුණු අවුරුදු පහක කාලය තුළ පුරවැසියනුත් එහි ප්‍රතිඵල අත්වින්දා.

19 අහෝසි කරන්නට 20 ගේනවා කියන්නේම ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අහිමි කිරීමක් නේද?


ඔබ කියන විදිහට 19වෙනි සංශෝධනයෙන් මොනවද ප්‍රජාතන්ත්‍රවාදී කෙරුණේ? ස්වාධීන කොමිෂන් සභා ප්‍රජාතන්ත්‍රවාදීද? ස්වාධීනද? ස්වාධීන කියන මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීනද? ඒකේ හිටපු හූල් ස්වාධීනද? ඔහුට දේශපාලන නැඹුරුවක් තිබ්බේ නැද්ද? ඔහු උතුරට ගිහිල්ලා කියනවා පොදු පෙරමුණට ඡන්දෙ දෙන්න එපා කියලා. මැතිවරණ කොමිසමක රාජකාරිය තමයි පාර්ලිමේන්තුවක් විසුරුවාම මැතිවරණයක් පවත්වන එක. එහෙම නැතිව පාර්ලිමේන්තුවක් විසුරුවාම ඒක නීති විරෝධියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට යන එක නෙවෙයි. ඉතිං ඒවා ස්වාධීනද? මේකෙන් කළේ ඇත්ත වශයෙන්ම ස්වාධීන කොමිෂන් සභා කියන මුවාවෙන් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ තිබෙන බලය දියාරු කරලා එන්ජීඕ නඩවලට දෙන එක. ඒක නිසා ඒවා අහෝසි කළ යුතුයි.


කොමිසන් සභාවක සාමාජිකයකුගේ දෙදෙනෙකුගේ ප්‍රශ්න තිබෙනවා විය හැකියි. එහෙම තැනකදි සිදුවිය යුත්තේ එවැනි සාමාජිකයන් ඉවත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම හෝ ඊට සංශෝධන සිදු කිරීම නේද? එහෙම නැතිව කොමිෂන් සභා සම්පූර්ණයෙන් අහෝසි කිරීමේ තර්කානුකූලභාවය කුමක්ද?


ඒ ඔබයි, රාවය පත්තරෙයි බලන විදිහනේ. නමුත් අපි බලන විදිහ වෙනස්. ඇත්ත වශයෙන්ම මේ ස්වාධීන කියන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කළේ කවුද? ව්‍යවස්ථාදායක සභාව. ව්‍යවස්ථාදායක සභාවේ කවුද හිටියේ? ඒකේ හිටියේ ආර්. සම්බන්ධන් සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඔවුන් දෙන්නා තමයි මේ සියලු දෙයක්ම කළේ. පොලිස්පති පත්කළේ, නීතිපති පත්කළේ. ජනාධිපති කියන්නේ රටේ සමස්ත ජනතාවගේ බහුතරයෙන් පත්වෙන තැනැත්තා. ඒ තැනැත්තා තමයි ඒ දවස්වල මේ සියලුම වැදගත් තනතුරුවලට නිලධාරින් පත් කළේ. නමුත් 19 වෙනි සංශෝධනයෙන් ඒ බලය දුන්නා ව්‍යවස්ථාදායක සභාවට. ව්‍යවස්ථා සභාවට පත් කරන නවයෙන් හතක්ම තියෙන්නේ අගමැති සහ විපක්ෂනායක අතේ. ඒ කියන්නේ රටේ සමස්ත ජනතාව නියෝජනය කරන ජනාධිපතිතුමා සතු බලය 19 වෙනි සංශෝධනයෙන් දීලා තියනවා දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට. ඒ දෙන්නා තමයි මේ ඔක්කොම පත් කළේ. අන්තිමට වුණේ මොකක්ද? අගමැති වුණා රනිල් වික්‍රමසිංහ. එයාගේ ස්ථාවරය, යුද්ධය ගැන ආකල්ප මොනවද කියලා අපි දන්නවා. අනිත් එක්කෙනා තමයි විපක්ෂ නායක වුණු සම්බන්ධන්. එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදයේ දේශපාලන හස්තයේ නායකයා. ඔවුන් දෙන්නා තමයි පොලිස්පතිවරයා පත් කළේ. ඔවුන් දෙන්නා තමයි ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කළේ. ඒක නිසා තමයි අද රට අරාජික වෙලා තියෙන්නේ. එහෙම තියෙද්දි ඔබ හිතනවාද 19 වෙනි සංශෝධනය අහෝසි නොකළ යුතුයි කියලා?


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ හත්දෙනෙක් හරි ඉන්නවා. ජනාධිපති කියන්නේ තනි පුද්ගලයෙක්. හත්දෙනෙකුගේ එකඟත්වයෙන් කෙරෙන තේරීමක් කොයි විදිහෙන් බැලුවත් එක් පුද්ගලයෙකුගේ අත්තනෝමතික තේරීමකට වඩා ප්‍රජාතන්ත්‍රවාදීයිනේ?


ජනාධිපති කියන්නේ රටේ බහුතර ජනතාවක් ඍජුවම තෝරාපත් කරගන්නා නායකයා. නමුත් ව්‍යවස්ථාවේ තීරණ ගන්නේ අගමැතියි විපක්ෂ නායකයි දෙන්නා. ඒ දෙන්නා පත් කරනවා පස් දෙනෙක්. ඒ දෙන්නගේ මතයට තමයි ගරු කරන්නේ ඒ පස්දෙනාම. මොකද අර දෙන්නානේ මේ පස්දෙනාවම පත් කරන්නේ. එහෙම නැතිව පාර්ලිමේන්තුවෙන් පත් කරන අය නෙවෙයිනේ. එතකොට රටේ ඉතාම වැදගත් තනතුරුවලට පුද්ගලයන් පත් කිරීම පිළිබඳ තීරණ ගත්තේ ත්‍රිකුණාමලයෙන් සහ කොළඹින් පත්වෙන මන්ත්‍රීවරු දෙන්නෙක්. අනෙක් එක විපක්ෂ නායකතුමා සහ අගමැතිතුමා පත්කරනවා පක්ෂ නායකයන්ගෙන් අහලා පස්දෙනෙක්. ජනාධිපති පත් කරන්නේ එක් කෙනයි. අනෙක් පක්ෂවල ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් අහලා තමයි අනෙක් කෙනා පත් කරන්නේ. නමුත් සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන් බහුතරයක් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ව්‍යවස්ථා සභාවට එකෙක්වත් පත් කරගන්න බෑ. ඒ ගැන ඔබ මොකද කියන්නේ? චන්ද්‍රිකා මැතිනිය කිව්වා නේද සිංහල බෞද්ධ බල අධිකාරිය අහෝසි කළ යුතුයි කියලා. ආන්න ඒක තමයි මේකෙන් කරන්නේ.


පළාත් සභා අහෝසි කිරීම පිළිබඳ අදහස කාලෙකට ඉස්සර බොහොම තදින් සාකච්ඡාවට ලක් කෙරුණක්. නමුත් පසුව එය වැළලී ගියා. මේ වෙලාවේ ඔබ පළාත් සභා අහෝසි කළ යුතුයි කියා ඉදිරිපත් කරන යෝජනාව ඔබගේ පෞද්ගලික යෝජනාවක්ද? ආණ්ඩුවේ අදහසක්ද?


ඒක කිව්වේ මෙහෙමනේ. පළාත් සභා ක්‍රමය ඉන්දියාව විසින් අප මත බලෙන් පැටෙව්වම මුල ඉඳන්ම විරුද්ධ වෙච්ච කෙනෙක් මම. එහෙත් මට පළාත් සභා පිළිබඳ රාජ්‍ය ඇමතිකම දුන්නා. එතකොට මගෙන් මාධ්‍යකරුවෝ ඇහුවා පළාත් සභා සම්බන්ධයෙන් දැන් ඔබගේ ස්ථාවරය වෙනස් වෙලාද කියලා. මම කිව්වා නැහැ කියලා. මොකද මට ඇමතිකමක් හම්බ වුණා කියලා මගේ ස්ථාවරය වෙනස් වෙන්නේ නැති නිසා. ඒ මගේ පුද්ගලික මතය. ඒ ස්ථාවරයේ තමයි දැනටත් මම ඉන්නේ. හැබැයි දැන් මම රාජ්‍ය ඇමති නිසා මගේ වෙනස් මතයක් තියනවා නම්, මම ඒක රජයට වාර්තාවක් හැටියට දෙනවා නම් මම ඒක සාධාරණීකරණයක් කරන්න ඕනෙ නේ. මම දැන් බලනවා ඒකට කොච්චර මුදල් වැය වෙනවද? කොච්චර සේවක පිරිසක් ඉන්නවාද? මොනතරම් වාහන තියනවාද? ගොඩනැඟිලි තියනවාද? ඒවා නඩත්තු කරන්න මොන තරම් වියදමක් යනවද? සහ ඒකෙන් වැඩ ද්වීකරණය වෙලා තියනවාද සහ ඒකෙන් රටට සෙතක් වෙලා තියනවාද? උදාහරණයක් හැටියට අපේ රටේ පළාත් කෘෂිකර්ම ඇමැතිවරු දහයක් හිටියානේ. කෘෂි කර්මාන්තය දියුණු වුණාද? අධ්‍යාපන ඇමතිවරුත් ඒ වගේම හිටියානේ. දැන් පළාත් මට්ටමින් රටේ අධ්‍යාපනය දියුණු වෙලාද? සෞඛ්‍ය ඇමතිවරුත් ඒ වගේම හිටියානේ. අද මොකක්ද පළාත් රෝහල්වල තත්ත්වය? ඒක කාර්යක්ෂමතාව දැන් අපි අවුරුදු දෙක තුනක් පළාත් සභා නැතිව ගියා. ඒකෙන් රටට පාඩුවක් වුණාද? මෙන්න මේ දේවල් ගැන බලලා මම හොඳ වාර්තාවක් දෙනවා. එදා වගේම අදත් ඔය ගැන මගේ මතයේ මම ඉන්නවා. නමුත් ආණ්ඩුවෙන් එහෙම යෝජනාවක් ඉදිරිපත් වෙලා නෑ.


පෞද්ගලිකව ඉන්න මතයට තිබෙන පදනමක් නිවැරදි විය හැකි වුවත්, මේක ඉන්දියාවේ මැදිහත්වීමෙන් හඳුන්වා දුන්නක්. ඒ වගේම වත්මන් අගමැතිවරයා ජනාධිපති ධුරය දරන කාලේ ඉන්දියාවට පවසා තිබුණේ දහතුන ප්ලස් දෙනවා කියලයි. පළාත් සභා ඇත්තටම සුදු අලියෙක් වුවත් මේ තත්ත්වයන් නිසා මේවා අහෝසි කිරීමට හැකිවේද?


ඒක රජය තීරණය කළ යුතු දෙයක්නේ. ඊළඟට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින්. ඒ කියන්නේ ජනතාවගේ මතයනේ. එහෙම කෙරෙන දේකට කාටවත් මොනවත් කියන්න බෑ. මම හිතන හැටියට දහතුන ප්ලස් කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එහෙම කියන්න ඇත්තේ දෙමළ මිනිස්සුන්ට ඔවුන් දෙමළ වීම නිසාම මේ රටේ යම් ප්‍රශ්නයක් තියනවා නම් දහතුන ප්ලස් නෙවෙයි දහතුන ඩබල් ප්ලස් එකක් වුණත් දෙන්න පුළුවන්. අපි මුලින්ම සොයා බලන්න ඕනේ දෙමළ මිනිස්සුන්ට එහෙම ප්‍රශ්නයක් තියනවාද කියලා.


කොහොමද ඒ සොයා බැලීම කරන්න යන්නේ?


මම විග්නේෂ්වරන් මහත්තයාගෙන් පාර්ලිමේන්තුවේදී ඇහුවානේ සිංහල මිනිස්සුන්ට නැති දෙමළ මිනිස්සුන්ට තියන ප්‍රශ්නය මොකක්ද කියලා. එතකොට එයා ඒ ප්‍රශ්නයට උත්තර නොදී දැන් කියනවා දෙමළ මිනිස්සුන්ගේ අභිලාෂයන් මුදුන්පත් කරන්න ස්වයං පාලනයක් දෙන්න ඕනේ කියලා. එතකොට මම ඇහුවා දෙමළ මිනිස්සුන්ගේ අභිලාෂයන් ඉටු කරන්නට ස්වයං පාලනයක් දෙනවා නම් ලංකාවේ දෙමළ ජනගහනයෙන් සීයට පනහකට වඩා ඉන්නේ දකුණේ. සිංහලයන් සමග ජීවත්වෙන ඒ ජනතාවගේ අභිලාෂයන් ගැන ඔබ මොකද කියන්නේ කියලා. ඒ ගැන තැකීමක් නැත්ද? එහෙම නැත්නම් ඒ අභිලාෂයන් මුදුන්පත් වෙලා කියලා ඔබතුමා පිළිගන්නවාද? උත්තර නෑ. මේක ඉන්දියාව අපිට බලෙන් පැටෙව්ව එකක්.


බලෙන් පැටෙව්වා වුවත් දෙපාර්ශ්වය අතරේ ගිවිසුමක් අත්සන් කරලා එකඟතාවකට ඇවිත් තියනවා. එක පාර්ශ්වයකට අවශ්‍ය විදිහට ඉන් ඉවත් වෙන්න පුළුවන්ද?


13 වෙනි සංශෝධනයෙන් පළාත් සභා ඇති කිරීමට අදාළව ඉන්දු ලංකා ගිවිසුමේ කොන්දේසි තියනවා. ඉන්දියාව විසින් එකඟ වෙච්ච කොන්දේසි ඒ අය විසින් ඉටු කළාද? එක කොන්දේසියක් තමයි කොටි ත්‍රස්තවාදීන් නිරායුධ කරන එක. ඒක ඒගොල්ල කළාද? නෑනේ. ඒගොල්ලන්ගේ පාර්ශ්වයෙන් ඉටු කළ යුතු කොන්දේසි ඉටු කෙරිලා නැත්නම් ඒගොල්ල මොකටද අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපෙන් ඉටු කළ යුතු කොන්දේසි ගැන. ඒක නිසා මේක රාජ්‍ය තාන්ත්‍රිකව කළ යුතු දෙයක්. අපි මොනතරම් පුංචි රටක් වුණත්, දුප්පත් රටක් වුණත්, ඉන්දියාව මොනතරම් බලගතු රටක් වුණත්, අපි ස්වාධීන රටක්. අපේ රටේ අභිමානය අපි රකින්න ඕනේ. මම හිතන්නේ නෑ අප වගේ රටක මේ වගේ අභිමානවත් නිර්භීත නායකයෙක් ඉන්න කොට ඒ වගේ බලපෑම් කරන්න ඉන්දියාව එයි කියලා.


පළාත් සභා එන්නේ බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් විදිහට. පළාත් සභා අහෝසි කරනවා නම් බලය බෙදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විකල්පය මොකක්ද?


අපි කවදාවත් බලය බෙදන්නට කැමැති වෙන්නේ නෑ. අපි වගේ පුංචි රටකට මොකටද බලය බෙදීමක්? බලය බෙදන්නේ, ෆෙඩරල් කරන්නේ මහා විශාල රටවල්. ඇමරිකා එක්සත් ජනපදය ගත්තොත් එහි ප්‍රාන්ත පනහක් තියනවා. එහි කුඩාම ප්‍රාන්තය වෙස්ට් වර්ජිනියා ලංකාවටත් වඩා ලොකුයි. ඉන්දියාව ෆෙඩරල් රටක්. දකුණු ඉන්දියා තමිල්නාඩු ප්‍රාන්තයේ ජනගහනය මිලියන 88යි. ලංකාවේ ජනගහනය මිලියන 22යි. අන්න එහෙම තැන්වලයි බලය බෙදන්නේ. බලය බෙදන්නේ සමහර පුවත්පත්වලින් උපුටා දක්වන පරිදි දෙමළ බෙදුම්වාදීන්ගේ න්‍යාය පත්‍රය සම්පූර්ණ කරන්න. ඒකට ඉඩ දෙන්න බෑ. හැබැයි බලය ඕනේ තරම් විමධ්‍යගත කරන්න පුළුවන්. ඒ දවස්වල ගම්සභා ක්‍රමයට පවා ගියානේ. මේ කුඩා රට අපිට බලය විමධ්‍යගත කරලා ඕනේ තරම් පාලනය කරන්න පුළුවන්. බලය බෙදලා නෙවෙයි.


පළාත් සභාවලට විරුද්ධවෙමින් පළාත් සභා ඇමති ධුරයේ කටයුතු කිරීම පැහැදිලි කරන්නේ කොහොමද?

මම 19 වෙනි සංශෝධනයට විරුද්ධ වුණා. නමුත් ඒක ක්‍රියාත්මක කෙරෙනවා නම් මම මගේ විරුද්ධත්වයත් තියාගෙන මන්ත්‍රීකමත් කරනවානේ. අපේ හමුදාවත් එහෙමනේ. අපි හමුදාපතිත් එක්ක තර්ක කරගන්නවා. සමහර තීරණ වැරදි වුණත් හමුදාපති අන්තිමට තීරණයක් දුන්නොත් අපි ඒක ක්‍රියාත්මක කරනවා. අනෙක ජනාධිපතිතුමාට අවශ්‍ය වෙන්නේ උඩින් එකක් කියාගෙන යටින් එකක් තියාගෙන ඉන්න අය නොවෙයි. අපේ අවංක අදහස් පදනම් සහිතව එතුමාට දන්වන එක. කවුරු කැමති වුණත් නැති වුණත් මම ඒක කරනවා.


කොළඹින් වැඩිම මනාප ගත්ත අපේක්ෂකයා ඔබ වෙද්දී කොළඹ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් අතරිනුත් ඔබ ඉදිරියෙන්ම සිටි බව අපි දැක්කා. කාර්යාල නොමැති තැන්වල දාන කටවුට්, දැන්වීම් වගේම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට පටහැනිව සෙනඟ ඒකරාශි කරමින් පවත්වන රැස්වීම් ඒ අතර ප්‍රධාන වුණා. හමුදා නිලධාරින්ගේ තිබෙන බව කියන විනය මේ කාරණයේදී ප්‍රදර්ශනය නොවුණේ ඇයි?


මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන කොට, සංවිධායකවරු රැස්වීම් පත්වන කොට, සමහර තැන්වල ඒ වගේ අඩුපාඩු වෙනවා තමයි. ඉතිං ඒකට අපිට සම්පූර්ණයෙන් වගකියන්න බෑ. අපි මාස්ක්ස් අරගෙන ගියේ නෑ මුලින්. නමුත් පළවෙනි දෙවෙනි එක ඒ වගේ වුණාම අපි මාස්ක්ස් එකසිය පනහ දෙසීය තුන්සීය සල්ලිවලට අරගෙන මගේ වාහනේ තිබ්බා. ඒවා දීලා තමයි මම පසුව ප්‍රචාරක වැඩ කළේ. ඉතිං පළවෙනි දෙවෙනි අවස්ථාවලදී වෙච්ච දේවල් තමයි ඔය පත්තරවල ෆොටෝ දාලා ලොකුවට පෙන්නුවේ. එහෙම කළා කියලා ජනතාව රැවටුණේ නෑ. ඒක බොරු කියලා දන්න නිසා තමයි මට හිතුවටත් වඩා ඡන්ද ලැබුණේ.


2015 ජනවාරි 08 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කළ දේශපාලන ව්‍යාපාරයේ ඉදිරි පෙළ සාමාජිකයන් වූ දීපිකා උඩගම, ගාමිණී වියන්ගොඩ ප්‍රමුඛ සිවිල් සමාජ නායකයන් කළේ දේශද්‍රෝහී ක්‍රියාවක් බවත්, දේශද්‍රෝහීන් හැටියට ඒ අයව සලකා අනාගතයේ ඔබලාගේ ආණ්ඩුවක් යටතේ අධිකරණය මගින් ඔවුන්ට මරණ දඬුවම් ලබාදෙන බවත් ඔබ වසර කිහිපයකට පෙර ප්‍රකාශ කොට තිබුණා. දැන් ඔබලාගේ ආණ්ඩුවක් බලයට පත්ව තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ කෙසේද?


ඒක මම කිව්වේ ආණ්ඩුව පෙරළපු හින්දා නෙවෙයි. රණවිරුවන් සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කළ වැඩපිළිවෙළ නිසයි. දීපිකා උඩගම යුද මෙහෙයුම් කළ නිර්භීත, පදක්කම්ලාභී හමුදා නිලධාරීන් පවා සාම සාධක හමුදාවලට යවන එක බලෙන් නවත්වන් හිටියා. ඔවුන්ගේ එකම නුසුදුසුකම තිබ්බේ යුද්ධයට සක්‍රියව දායකවීම. නමුත් මේ රණවිරුවෝ යුද්ධ කළේ දීපිකා උඩගමගේ පවුලත් එක්කම රටේ සමස්ත ජනතාවටම නිදහසේ ඉන්නයි. ඒකෙදි විසි දෙදහක් මැරුණා. දාහතර දාහක් ආබාධිත වුණා. ඉතිරි ජීවත් වෙච්ච අයට දඬුවම් කරන්න තමයි දීපිකා උඩගම කතා කළේ. ඒවා සාධාරණීකරණය කළා වියන්ගොඩලා. ඒක දේශයට ද්‍රෝහීවීමක්. මම ඔවුන්ව දේශද්‍රෝහීන් කියලා හැඳින්වුවේ එහෙමයි. දේශද්‍රෝහීකම කියන එක මම නෙවෙයි උසාවියේ ඔප්පු කළ යුතු කාරණයක්. උසාවිය එහෙම තීරණය කළොත් ඒ අයට දැඩි දඬුවම් දෙයි. නමුත් අපිට දැන් රටේ ඊට වඩා දේවල් තියනවා කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here