කුසල් පෙරේරා


දෙවන කෝවිඞ් -19 රැල්ල සති දෙක තුනකින් බරපතල ලෙස පැතිර ගියේය. ඒ හේතුවෙන් ඉකුත් ඔක්තෝම්බර 30 වන (සිකුරාදා) පොහොදා නිවාඩුව සමග වූ දිගු සති අන්තය බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවූ සති අන්තයක් විය. නොවැම්බර් 01 වන ඉරිදා දින පස්වරුවේ මෙය ලියන මොහොතේ එය නොවැම්බර 09 වන සඳුදා අළුයම 05 දක්වා දීර්ග කරනු ලැබූවේ අලුතින් ඇහැළියගොඩ, කුරුණෑගල හා කුලියාපිටිය පොලිස් වසම් 03 ද ඊට ඈඳමින්ය. දැන් බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නය වී ඇත්තේ කෙටි විරාමයකින් පසු 09 වන දින සිට ඇඳිරි නීතිය යළි දීර්ග කිරීමට ඉඩ ඇතිද යන්නය.


මේ වනවිට අප මුහුණ දෙන බරපතලම අර්බූද තුනක් ඇතැයි මම විශ්වාස කරමි. (1) නොසිතූ අයුරින් මතු වූ දෙවන කෝවිඞ් -19 රැල්ලේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ඇති අවදානමත් (2) යෝධ ණය කන්දරාවක් සමග වන කෙළවරක් නොපෙනෙන ආර්ථික බිඳ වැටීමත් (3) ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ පැමිණීම විසින් වඩාත් උග්‍ර කෙරෙන තුන් කොන් භූ-දේශපාලන කඹ ඇදිල්ලත් ඒ අර්බූද තුන ය.


මේවාට වෙන වෙනම විසඳුම් ඉදිරිපත් කළ නොහැකිය. සියල්ල ගැට ගැසී ඇත්තේ අපේ අති දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකයෙහි දුබලතාව මත ය. ජනතාවට හිමිකාරිත්වයක් නොතබා කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමත් අති දූෂිත ආර්ථිකයෙහි සුපුරුදු ලාභදායි ව්‍යාපාරයක් බවට පත්ව ඇත. පී.සී.ආර් පරීක්ෂණවල සිට නිරෝදායන ස්ථාන දක්වා බොහෝ දේ පිළිබඳව බොහෝවිට අසන්නට ඇත්තේ යටි මඩි ගැසීම් හා අත යට ගනුදෙනු ය.


කෝවිඞ්-19 ලංකාවට එන විටත් අප සිටියේ දූෂණය ඉහ වහා ගිය, සැළසුමක් නොමැති විවෘත වෙළඳපල ආර්ථිකය ගොඩ ගැසූ මහා ණය කන්දරාවක් කර තියා ගෙනය. කෝවිඞ්-19 පළමු රැල්ල පාලනයේදී අවශ්‍ය පරීක්ෂණ හා නිරෝදායන සඳහා අලුතින් වියදම් දැරීමට එනිසා ආණ්ඩුවට හයියක් නොවුනි. පසු විමසුමකට අනුව, පළමු ලාංකීය කොරෝනා ආසාදිතයා මාර්තු 11 වන දින කොළඹදී හඳුනා ගත් දින සිට මෙතෙක් සෞඛ්‍ය ප්‍රතිකාර සේවාවට අලුතින් එක ස්වසන ආධාරක යන්ත්‍රයක් හෝ මිලදී ගෙන නැත. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පැමිණ ගිය පසු ඇමෙරිකානු තානාපතිනි ටෙප්ලිට්ස් ස්වසන ආධාරක යන්ත්‍ර 200 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රදාන කිරීම සම්බන්ධ සාඩම්බර පණිවිඩයක් නිකුත්කර තිබූයේ එනිසා ය.


ලබන වසරේ (2021) රජයේ වියදම් වෙනුවෙන් වන විසර්ජන පනතට අනුව, සෞඛ්‍ය සේවා සඳහා වෙන්කර ඇති මුදල පසුගිය 2019 වසරට වඩා රුපියල් බිලියන 20 කින් පමණ කප්පාදු කෙරුණු රුපියල් බිලියන 158 ක් පමණි. එහෙත් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ කෙරෙන වියදම් වෙනුවෙන් සෞඛ්‍ය සඳහා වෙන් කෙරුණු මුදල මෙන් දෙගුණයකටත් වඩා වන රුපියල් බිලියන 335 ක් වෙන්කර ඇතැයි වාර්තා විය.


මෙතෙක් ගොඩ ගැසුනු යෝධ ණය කන්දරාව කාලාන්තරයක් තිස්සේ වර්ධනය වන දූෂණය හා බැඳුණු රාජ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් වැල් පොලී වන්නේය. ඒවා ගෙවීමට හැකි ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගා ගැනීමට සැළසුම් නොමැති හෙයින් ආණ්ඩු මාරු සමගින්ද යළි යළිත් ණය හා ආධාර යැදීමට අපට සිදුව ඇත. භූ-දේශපාලනයේ කඹ ඇදිල්ලට අප හසුව ඇත්තේ ඒ හේතුවෙනි.


ණය මත අප එසේ කොටු වන්නේ දියුණු බටහිර රටවල් පවා කෝවිඞ්-19 න් බිඳ වැටුණු තම ආර්ථික ගොඩ නගා ගැනීමට උත්සාහ කරමින් සිටියදීය. අපගේ වැනි රටවල ණය ගෙවීමට උපකාර විය නොහැකි ආර්ථික අනාථවීමක ඔවුන් සිටියදීය.


ගෝලීය ආර්ථිකයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකානු කොන්ග්‍රස් පර්යේෂණ සේවාවේ :ක්‍දබටරුිසදබ්ක ඍැිැ්රජය ීැරඩසජැ* 2020 ඔක්තෝම්බර 27 වන දින ප්‍රකාශිත නවතම විමසුමෙහි සඳහන් කෙරෙන්නේ “දැනට කෙරෙන ගණන් බැලීම් අනුව, 2020 දී ගෝලීය ආර්ථික වර්ධන වේගය සියයට ඝෘණ 4.5 සිට ඝෘණ 06 දක්වා පහත වැටිය හැකි ය. ඒ සමග සියයට 2.5 සිට 5.2 ක යළි ගොඩ ඒමේ ශක්‍යතාවක් 2021 දී තිබිය හැක….. ඒ කෙසේමුත් ඉහළ යන දිළිඳුකමෙහි, උදුරා දැමෙන ජීවිතවල, පීලි පනිනු ලබන වෘත්තීන්හි සහ සමාජ අස්ථාවරත්වයේ වියදම සමග ගෝලීය ආර්ථික වර්ධනයේදී පුද්ගල ජීවිත අහිමිවීමේ පිරිවැය දිගටම බලපානු ඇත. ඇතැම් ගණන් හැදීම් වලට අනුව, ගෝලීය ආර්ථිකයේ හැකිලීම හේතුවෙන් ගෝලීය වශයෙන් මිලියන 100 සිට 110 දක්වා වන මිනිසුන් සංඛ්‍යාවක් අතිශය දුප්පත් ජනගහනයට අලුතින් එකතු විය හැක. ගෝලීය ආර්ථිකයේ බිඳ වැටීමට අනුව, ගෝලීය වෙළඳාම වාර්ෂිකව සියයට 9.2 කින් පමණ පහත වැටිය හැකිය. එය විශේෂයෙන් වෙළඳාම මත යැපෙන දියුණු වන්නාවූ ආර්ථික වෙත දැඩි බලපෑමක් කරනු ඇත.” යනුවෙනි.


එවැනි පසුබිමක, ගෝලීය ආර්ථිකය යළි පිළිසකර කිරීමට කෝවිඞ්-19 ට පෙර තිබූ විවෘත වෙළඳපල ආර්ථික ආකෘතියට නොහැකි යැයි දියුණු බටහිර ලෝකයේ ආර්ථික විද්‍යාඥයෝ වාද විවාද කරති. ඔවුන් බොහෝ දෙනකුගේ අවධාරණය ඇත්තේ (1) පරිසරය සැළසුම් සහගතව ආරක්ෂා කරමින් රැක ගැනීමත් (2) ජාතික රාජ්‍ය ප්‍රජා සහභාගිත්වය ඇතිව ප්‍රජාතන්ත්‍රීය කිරිමත් (3) විවෘත වෙළඳපල ආර්ථික විසින් අඛණ්ඩව පවත්වා ගෙන පැමිණි සමාජ ආර්ථික විෂමතා අහෝසි කිරීමත් ඉලක්ක කෙරෙන සංවර්ධන ආකෘතියක් සකස් කර ගැනීම පිළිබඳවය.


ණය ගෙවීමට තව ණය සොයා යාමෙන් භූ-දේශපාලන ගැටුමෙන් ගොඩ එන්නට අපට නොහැක. එනිසා භූ-දේශපාලනික කඹ ඇදිල්ලෙන් ගැලවෙන්නට මෙන්ම, කෝවිඞ්-19 වසංගතයේ දෙවන රැල්ලෙන් තව දුරටත් අනාථ වූ ආර්ථිකය ගොඩ දමා ගැනීමට අති දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකය විසිකර දමා ප්‍රජා නියාමනයක් සහිත අලුත් පන්නයේ ජාතික සංවර්ධන සැළසුමකට පිවිසෙන්නට බල කෙරෙන්නේය. ග්‍රාමීය ආර්ථිකයෙහි නිෂ්පාදන දියුණු කර ගැනීම සඳහා පළාත් රාජ්‍ය ව්‍යුහය ප්‍රජා සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහයක් බවට පත් කර ගැනීමට සිදුවන්නේය. ජනතාව පැත්තකින් තබා සංවර්ධන කාර්ය කොළඹ සිට තීන්දු කිරීම අතිශය අසාර්ථක ව්‍යායාමයක් වූ බැව් අවුරුදු 70 ට වැඩි ඉතිහාසය ඔප්පු කරන්නකි.


ජනතාව පැත්තකින් තැබුණු කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීම ගැන අවුරුද්දකට ආසන්න කතාවත් එවැනිමය. කොළඹින් සැළසුම් කළ දෙමසක දැඩි පාලනයක් සමග රටම වසා දැමීමෙන් අපි පළමු කෝවිඞ්-19 රැල්ල සාර්ථකව මැඩ පවත්වා ගත්තේ යැයි පිළිගත්තෙමු. අගෝස්තුවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි වූයේ ඒ සාර්ථකත්වය හේතුවෙන් ය. ඒ දක්වාද f කෝවිඞ්-19 පැතිරීම පාලනය කිරීමේ මූලික තීන්දු සහ පියවර ප්‍රකාශයට පත් කෙරුණේ විධාන හා නියෝග ලෙසින්ය. කොළඹින් නිකුත් කෙරෙන විධාන හා නියෝග ලෙස පැමිණෙන එවැනි තීන්දු සහ පියවර සතු ජනතා හවුලක ස්වරයක් පෙනුමක් නොවුනි. ඒවා ක්‍රියාත්මක කිරීමට සන්නද්ධ හමුදාව සහ පොලීසිය පෙර ගමන්කරුවන් ලෙස යොදා ගැනීමත් කෝවිඞ්-19 පාලනයේදී ජනතාව ආගන්තුකයින් ලෙස තබන්නට හේතු විය. “ජනතාව” යනු කෝවිඞ්-19 වැළඳිය හැකි ජන සමූහයක් යැයි ඒ සියලු විධාන හා නියෝග සතු ස්වරය විය. එහෙයින් ජනතාවගේ වගකීම වන්නේ කොළඹින් ප්‍රකාශයට පත් කෙරෙන සියලු කොන්දේසි වලට අවනතවීම යැයි සමාජ මතයක් ආණ්ඩුව වෙනුවෙන් කෙරුණු සන්නිවේදනයන් මගින් සහ මාධ්‍ය හරහා තහවුරු කෙරුණි.


කෝවිඞ්-19 ආසාදිත වීම හා එවැන්නෙකුගේ ආශ්‍රිතයෙකුවීම මහා අපරාධයක් ලෙස සැළකීමේ සමාජ මානසිකත්වයක් දෙවන රැල්ලත් සමග ඉතා සීඝ්‍රයෙන් හැදුනි. එයට ප්‍රධාන හේතුවක් වූයේ පොලීසිය විසින් ආසාදිතයින් සහ ආශ්‍රිතයින් සොයා යෑම අපරාධකරුවන් සොයා යෑමක් ලෙස මාධ්‍ය හරහා ජනතාවට ඒත්තු ගැන්වීමය. ඔවුන්ගේ නියෝග නොතකන්නේ නම් අත්අඩංගුවට ගන්නා බැව් නිවේදනය කිරීමය. එවැනි මර්දනකාරී වටපිටාවකින් පලා යාමට එබැවින් ජනතාව පෙළඹිණ. එවගේම බ්‍රැන්ඩික්ස් පොකුරේ ව්‍යාප්තිය සමග විශේෂයෙන් ඇඟළුම් සේවක සේවිකාවන් අතීතයේ “ලාදුරු” රෝගීන් මෙන් සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීමේ අමනුස්ස ප්‍රවණතාවක්ද හැදින.


එවැනි විධාන හා නියෝග මගින් මෙවැනි සමාජ කර්තව්‍යයකට ජනතා සහාය දිනා ගත හැකිද යන අතිශය වැදගත් ප්‍රශ්නය දැන් මතු වන්නේය. බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීම සමග නාගරික මැද පංතිකයින් හමුදාපතිගේ ඉල්ලීම නොතකා දිගු සති අන්තය නිදැල්ලේ නිදහසේ ගත කිරීමට බස්නාහිරින් පිටව යෑම මැද පංතියේ සදාචාරයට අමතරව, ඉහළින් එන විධාන හා නියෝග සඳහා සමාජ සහායක් ගොනු නොවන බවද ප්‍රදර්ශනය කෙරුවකි.


මෙය තවමත් සමාජගත බෝවීමක් නොවේ යැයි සෞඛ්‍ය බලධාරීහු කියති. විපක්ෂ හා රාජපක්ෂ විරෝධීන් එහි එල්ලී වාද කරති. දෙවන රැල්ල සමාජගත පැතිරීමක් වූවත් නොවූවත් එය පාලනය කිරීම සඳහා කළ යුත්තේ නොපමාව ආසාදිතයින් සහ ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් හඳුනා ගැනීමත් ඔවුන් වහා නිරෝදායනයට හා පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමත් ය. ඒ අතර දෙවන ආශ්‍රිතයින් සමූහය තෝරා ගෙන යම් තහංචි සමගින් ඔවුන්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම ය. එවැන්නක් සඳහා ප්‍රජා සෞඛ්‍ය සේවා පදනම් කෙරෙන වසංගත පාලන සැළසුමක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වන්නේය. එවැන්නක් අවම ආර්ථික බරක් ඇතිව සෑම නිවසක්ම නිරන්තර සෝදිසියට ලක් කළ හැකි සාර්ථක සැළසුමකි.


අපේ රටේ 1930 ගණන්වල සිට මැලේරියාව, වසූරිය, බරවා රෝගය, සරම්ප, පෝලියෝව වැනි වසංගත පාලනය කෙරුණේත් 60 දසකය වන විට එවැනි වසංගත ගැන අසන්නට නොලැබුණේත් ප්‍රජා සෞඛ්‍ය සේවා වෙත තැබූ විශ්වාසය හා ඔවුන් ජනතාව දැනුවත් කරමින් ජනතා සහභාගිත්වය ඇතිව එම වසංගත තුරන් කිරීමට ක්‍රියා කළ යුතු නිසාත් පමණි. එනිසා අප වහා කළ යුත්තේ –

1.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල කෝවිඞ්-19 පාලනයේ ප්‍රධාන කේන්ද්‍ර කිරීම.

2.ඒවායේ සේවයේ නියුතු සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ට හා පවුල් සෞඛ්‍ය සේවිකාවන්ටත් ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරීන්ටත් කෝවිඞ්-19 සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක දැනුවත් කිරීමක් සහ ප්‍රජා සන්නිවේදනය සම්බන්ධ දින 03 ක පුහුණුවක් පළාත් මට්ටමින් ලබාදීම

3.ජගහනයෙන් දෙකෙන් පංගුවක් කාන්තාවන් වන නිසාත් සෑම නිවසකම මෙන් දරුවන් සිටිය හැකි නිසාත් නිවාස නිරීක්ෂණ කටයුතු සඳහා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සහභාගිවීම අනිවාර්ය කිරීම

4.සෑම ග්‍රාම සේවා වසකම කෝවිඞ්-19 පාලනය කිරීම පිළිබඳව සහ ඒ හා අදාල තොරතුරු ජනතාව අත නොපමාව පත් කිරීම සහ සියලු නිවැසියන්ට ඔවුන්ගේ පුද්ගලිකත්වය සුරකින වසංගත පාලනයක් තහවුරුව ඇති බවට ඒත්තු යන අයුරු ක්‍රියා කිරීම

5.වයස අවුරුදු 45 ට වැඩි නිවැසියන් දැනට අධි රුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියව, පිලිකාව වැනි රෝග සඳහා ප්‍රතිකාර ගන්නේද, ඔවුන්ගේ රැකියා ස්වරූපය කවරේද, වැනි සෞඛ්‍යම වශයෙන් ප්‍රයෝජනවත් තොරතුරු පමණක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොපමාව ලබා ගැනීම

6.එම තොරතුරු පහසුවෙන් භාවිත කළ හැකි ලෙස පරිඝණක මෙවලමක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි ගබඩා කර තැබීම

7.සතියකට වරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෑම ග්‍රාම සේවා නිලධාරි වසමකම තෝරා ගන්නා අහඹු නියැදියක සෞඛ්‍ය තත්ත්වය පිරික්සිය යුතු අතර ඒ තොරතුරුද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි ගබඩා කර තැබීම

8.සෑම ග්‍රාම සේවා නිලධාරි වසමකම කෝවිඞ්-19 වසංගතය පිළිබඳ පූර්ණ වාර්තාවක් ග්‍රාම සේවා නිලධාරිගේ සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ සහාය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් සකස්කර එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි ගබඩා කර, සති පතා යාවත් කාලීන කිරීම

9.සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකම අවශ්‍ය විටෙක තොරතුරු ලබා ගැනීමට හා හදිසි කාරණාවක් දැනුම් දීමට විශේෂයෙන් වෙන් කෙරුණු දුරකතන අංකයක් හා වගකිව යුතු නිලධාරියෙකු හෝ නිලධාරිනියක සිටීම

10.පළාත් වශයෙන් එවැනි සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීමටත් පසු විපරම් කිරීමටත් පළාත් සෞඛ්‍ය අධිකාරිගේ සභාපතිත්වයෙන් පළාතේ දිස්ත්‍රික් ලේකම්වරුන්, සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්, රෝහල් වෛද්‍ය අධිකාරිවරුන්, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් දෙසතියකට වරක් තත්ත්ව සමාලෝචනයක් පැවැත් වීම සහ ඉන් අනතුරුව පළාත් සෞඛ්‍ය අධිකාරිගේ සභාපතිත්වයෙන් මාධ්‍ය හමුවකදී සියලු තොරතුරු ප්‍රසිද්ධ කිරීම


පළාත් රාජ්‍ය ව්‍යුහයන් ප්‍රජාතන්ත්‍රීය කෙරෙන පියවර සමග කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමේ මෙවැනි ප්‍රජාමූල වැඩපිළිවෙලක අවශ්‍යතාව මම දකිමි. එවගේම, එය තව දුරටත් ප්‍රමාද කිරීම දෙවන කෝවිඞ්-19 රැල්ල පාලනය කර ගැනීමට පමණක් නොව, විශේෂයෙන් ඊළගට ඇති විය හැකි අතුරු සමාජ ආර්ථික ගැටළු වලට විසඳුම් සෙවීමටද අසීරුවක් විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here