ඉදුනිල් උස්ගොඩ ආරච්චි


පසුගිය දිනක ලීසිං සමාගමක් අසල දී පහරදීමට ලක්ව මිය ගිය ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන විසින් මාධ්‍ය හමුවක දී කරන ලද ප්‍රකාශයන් සහිත වීඩියෝවක් පසුගිය දිනවල නැවත සමාජ මාධ්‍ය වලට එක්ව තිබුණි. එය ලීසිං ගැටලුව හා සම්බන්ධයෙන් වූවක් නොවුණි. “රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වුණු වියත්මග වගේම සංවිධානයක් හරිමග. හරිමග ඇතුළේ පාතාල ක්‍රියාකාරීන් ඉන්නවාදැයි කියලා සැකයක් දැන් අපිට ඇතිවෙලා තියනවා. අපි ආරක්ෂක ලේකම්තුමාගෙන් අහනවා අපේ හඬ බාල කරන්න පාතාලේ ක්‍රියාකාරීන් දානව ද, පසුගිය කාලේ වගේ කියලා. අපි හඬ අවදි කරන්නෙ වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. ඒක මංකොල්ල කන්න රටේ පාලකයන්ට හෝ හරිමගේ චණ්ඩින්ට ඉඩක් නෑ.” ඔහු එහි එසේ කියන්නේ ය.


ඔහුගේ එම සම්පූර්ණ කතාව අසන්නකුට හැගී යන්නේ දේශපාලන ව්‍යාපාරයක් තුළ නැවතත් ත්‍රී රෝද රථ රියදුරන් රැවටීමකට ලක් වූ බවකි. දැන් ඔවුන් වෙත තවත් තාඩන පීඩන ද එල්ලවෙමින් පවතින බව කි. එමෙන් ම ඒ වන විට ඇති ව තිබූ තත්ත්වය තමන්ට විශ්වාස කළ නොහැකි හා බලාපොරොත්තු නොවූ තත්ත්වයක් බව ඔහුගේ කතාවෙන් ගම්‍ය වන්නේ ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දැක්ම තුළ එවැනි පාතාලයක් තිබිය නොහැකි බව ද ලබා දී තිබූ පොරොන්දු වලට අනුව මේ තත්ත්වය පිළිගත නොහැකි බැවින් දැන් ඇතිව තිබෙන තත්ත්වයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා භාර ගත යුතු බව ද සුනිල් ජයවර්ධන කියන්නේ ය. “මේ වෙනකොට හරිමගට මුවාවෙච්ච පිරිසක් ආරක්ෂක ලේකම්තුමාගේ නමට හා ප්‍රතිරූපයට මුවාවෙලා රක්ෂණ ක්‍රියාවලියක් ආරක්ෂක අමාත්‍යාංශය අනියමින් යොදාගෙන රක්ෂණය කිරීමක් අහිංසක ත්‍රීරෝද රථ රියදුරන්ට විකුණනවා. පොලීසිය යොදවා මේ රක්ෂණය නොගතහොත් උඹලට ස්ටෑන්ඞ් නැහැ කියලා රියදුරන්ව බිය වද්දලා තියෙන්නේ.” ඔහු කියන්නේ ය. මේ සියල්ලෙන් පෙනී යන කරුණ නම් දේශපාලන ව්‍යාපාරයක් ජය ගැනීම වෙනුවෙන් ත්‍රී රෝද රථ රියදුරන් නැවතත් රැවටීමකට ලක්ව ඇති බව ය. එපමණක් නොව ඔවුන් තවදුරටත් විවිධ දේ හරහා රැවටීමට උත්සාහ කරන බව ය. අවසානයේ පොරොන්දු ඉටු කිරීම වෙනුවට ඒවා පිළිබද කතා කරන්නන්ගේ හඩ ද යටපත් කිරීමට හා බිය ගැන්වීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බව ය.


වෘත්තිකයන්ගේ බලාපොරොත්තු


ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීයමයභාවය නගා සිටුවීම් වෙනුවෙන් ප්‍රතිපත්ති, නියාමනයන් ආදිය ඇති කිරීම වෙනුවෙන් හා ඔවුන්ගේ සුබසාධනයන් ඇතිකිරීම වෙනුවෙන් ත්‍රීරෝද රථ රියදුරන්ට හා ඊට අදාල වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීන්ට අවශ්‍යව තිබුණේ හා ඒ වෙනුවෙන් ඔවුන් පරිශ්‍රමයක් යෙදුවේ මීට බොහෝ කලකට පෙර සිට ය. එහෙත් පෙනෙන්නට තිබුණේ ඡන්ද පොරොන්දු වලින් එහාට බලය ලබා ගත් පසු ආණ්ඩු වලට එහි වැදගත් කමක් පිළිබද එතරම් තැකීමක් නොවූ බව ය. පසුගිය ජනාධිපතිවරණය ඉලක්ක කර ත්‍රීරෝද රථ රියදුරන් වෙත හරිමග එන්නේ ඔවුන්ගේ මේ ඉටු නොවූ බලාපොරොත්තු නැවත දල්වමිනි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාත්මක වූ එක් දේශපාලන ව්‍යාපාරයක් ලෙස හරිමග කටයුතු කළේ ය. හරිමග 2020 කැදවුම්කරු වූයේ වත්මන් ආරක්ෂක ලේකම් වන විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ය. ජනාධිපතිවරණය ඉලක්ක කර පැවැත්වුණු විවිධ වැඩසටහන් රැස්වීම් හරිමගෙන් සංවිධානය වී තිබූ අතර ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධකරගෙන සිදුකළ දේශපාලන ව්‍යාපෘති ද ඒ අතර විය. හරිමග ස්ටිකර් තම ත්‍රී රෝද රථවල අලවා ගනිමින් ද බොහෝ රියදුරෝ ඊට සහාය පළ කළ හ.


හරිමග සංවිධානය පසුගිය ජනාධිපතිවරණ කාලයේ ත්‍රීරෝද රථ රියදුරන්ගේ ගැටලු වලට විසදුම් ලබා දීම වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත්වීම හා සිදුවූ ක්‍රියාවලියේ ස්වභාවය සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් රෝහණ පෙරේරා රාවය කළ විමසීමේ දී පැවසුවේ මෙවැන්නකි. “හරිමග සංවිධානය කියන්නේ ත්‍රීවීල් සම්බන්ධව කිසිම අත්දැකීමක් තියන සංවිධානයක් නෙමෙයි. හරිමග සංවිධානයෙන් ආරක්ෂක ලේකම්තුමා මේ වැඩසටහන හැදුවේ ත්‍රීරෝද රථ රියදුරන්ගේ ප්‍රශ්න මුල් කරගෙන යි. අපි ජනාධිපතිවරණය කාලයේ දී ත්‍රීරෝද රථ සංගම්වල හා සියලුම වෘත්තීය ත්‍රීරෝද රථ රියදුරන් පිළිබදව ලොකු වාර්තාවක් හදලා ඔවුන්ට ලබාදුන්නා. හරිමග සංවිධානයේ ස්ටිකර් එකත් ඉස්සෙල්ලාම ගැහුවේ අපේ ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ත්‍රී වීල් වල යි. ඒ වෙලාවේ මම එතුමා එක්ක මේ ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධව දුරකථනයෙන් කතා කළා. හරිමග සංවිධානය හැදුණේ ත්‍රීරෝද රථ රියදුරන්ගේ මෙතෙක් කලක් විසදිලා නැති ප්‍රශ්න වෙනුවෙනුයි. නමුත් ඒක සංවිධානය කළේ විවිධ ආයතනවල උගත් යැයි කියන අය යි. ඒ අයට ඇත්තටම මේ සම්බන්ධව කිසිදු අත්දැකීමක් තිබුණේ නැහැ.”


හරිමග වැරදිමග යෑම


හරිමග ත්‍රීරෝද රථ රියදුරන් සොයා එන්නේ ඔවුන්ගේ එතෙක් කලක් නොවිසදුණු ගැටලු වලට විසදුම් සොයා දීමේ මුහුණුවරෙනි. ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධයෙන් වන වෘත්තීය සමිති සදහන් කළ ආකාරයට එම සංවිධානයේ පුද්ගලයන්ට මෙම කර්මාන්තය සම්බන්ධයෙන් අත්දැකීම් හෝ වැටහීමක් නැතත් ඔවුහු තම කර්මාන්තය සම්බන්ධයෙන් විසදාගත යුතුව තිබෙන ගැටලු හරිමග ට ඉදිරිපත්කර තිබුණි. ඒ අනුව තමන්ගේ ගැටලු වලට විසදුම් ලැබේ යැයි ලැබෙන විශ්වාසය මත ඔවුහු පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත් කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කළහ. මියගිය වෘත්තීය සමිති නායකයා ආවේගශීලීව ජනාධිපතිවරණයට පසු කාලයේ මාධ්‍ය හමුවක කතා කරන්නේ මේ හරිමග ගැන ය, ජනාධිපතිවරණයට පසු හරිමග ඔස්සේ ත්‍රීරෝද රථ රියදුරන් වෙත එල්ල වනවා යැයි කියන බලපෑම් සම්බන්ධව ය, ඒ හරහා ක්‍රියාත්මක වන පාතාලයක් ගැන ය. “හරිමග සංවිධානය පොලීසිය හරහා ත්‍රීරෝද රථ රියදුරන් රැස්වීම් වලට කැඳෙවුවා. ඒකට අනුග්‍රහය දැක්වුවේ රක්ෂණ සමාගමක්. ඒ රැස්වීම් වලින් රක්ෂණයක් හදුන්වා දීලා වක්‍රව වියත්මගේ අයෙක් හඳුන්වා දීමත් සිදුවුණා. ඒවා තමයි සුනිල් ජයවර්ධන විවේචනය කළේ.” සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර ඒ සම්බන්ධයෙන් පැවසුවේ එලෙස ය.


ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළ පසු හරිමග සංවිධානය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ ත්‍රීරෝද රථ රියදුරන් සදහා බොරැල්ල වයිඑම්බී ශාලාවේ උත්සවශ්‍රීයෙන් රැස්වීමක් සංවිධානය කර තිබුණේ 2020 ජනවාරි 03 වන දා ය. එහි මුලසුන හෙබවූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ත්‍රීරෝද රථ රියදුරන් අමතන අතර පවසන්නේ, පොලීසිය තිබෙන්නේ ද ආරක්ෂක ලේකම් ලෙස තමන් යටතේ බවත් ත්‍රීරෝද රථ රියදුරන් කිසිවෙකු පොලිස් නිලධාරීන් විසින් නීත්‍යානුකූල පියවර ගනිමින් දඩ කොළ ලියා දෙනවා හෝ උසාවියට දැමීම දැකීමට තමන් අකමැති බව ය. එමෙන්ම ඔහු මෙසේ ද පවසන්නේ ය. “හරිමග සංවිධානයෙන් සූදානම් කරලා තියනවා, ඒ තමයි රක්ෂණ යෝජනා ක්‍රමය. රු.985ක, අවුරුද්දකට එච්චරයි ගෙවන්න තියෙන්නේ. අවාසනාවකට තමුන්නාන්සේලා අතරින් එක්කෙනෙක් මිය ගියොත් ඒ මිය ගිය කෙනාට ලක්ෂ පහක රක්ෂණ වන්දියක් ලබා දෙන්න කටයුතු කරලා තියනවා. ඒ වගේම ඒ රියදුරා සම්පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුණොත් එයාටත් ලක්ෂ පහක වන්දියක් ලබාදෙන්න රක්ෂණය කටයුතු කරලා තියනවා. ඒ වගේම වාහනේ යන මගියා අනතුරකට පත් වුණොත් ඒ අයට පනස්දාහ බැගින් තුන් දෙනෙකුට ඒ වන්දිය ලබා දෙන්න කටයුතු කරලා තියනවා.” ඔහු කීවේ ය. එම අවස්ථාවට ඔහු සමග වියත්මගෙහි සාමාජික රියර්අද්මිරාල් සරත් වීරසේකර ද එක් ව සිටි අතර ඔහු සභාව අමතමින් කියා සිටියේ, ත්‍රීරෝද රථ රියදුරන් වත්මන් ජනාධිපතිවරයා පත්කර ගැනීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ බවත් එමෙන්ම එහි දෙවැනි අදියර ලෙස හොද ශක්තිමත් රජයක් ද ජනාධිපතිවරයාට ලබා දුනහොත් නැවත වතාවක් රට සුරක්ෂිත සහ සෞභාග්‍යමත් බවට පත් කරගැනීමට ඔවුන්ට හැකිවන බව ය.


සුන් වූ බලාපොරොත්තු


ලංකාවේම මේ වන විට මිලියන 1.3ක් ත්‍රීරෝද රථ තිබෙන අතර ඉන් ලක්ෂ නවයක් පමණ වෘත්තීය ත්‍රී රෝද රථ හිමියන් ය. ජනාධිපතිවරණයට පෙර ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති විසින් ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් වාර්තාවක් හරිමගට ලබා දී තිබුණි. දේශපාලන ජයග්‍රහණයට පසු තමන් වෙනුවෙන් පැවැත්වූ මේ උත්සවය පිළිබද ත්‍රීරෝද රථ රියදුරන් ද බලාපොරොත්තු දල්වාගෙන සිටියත් එහි දී සිදුවූයේ ඔවුන් බලාපොරොත්තුවූ ආකාරයේ සිදුවීම් නොවේ. “ඒක සංවිධානය කළ අය යෝජනා කළේ ත්‍රී රෝද රථ රියදුරන්ගේ ප්‍රශ්න ඒ වෙලාවේ ආරක්ෂක ලේකම්වරයා එක්ක සාකච්ඡා කරනවා කියලා යි. අපිට ඒ රක්ෂණය හදුන්වා දුන්නේ එතැන දී යි. අපිට තිබුණ ප්‍රධාන ප්‍රශ්නය රක්ෂණයක් නෙමෙයි. අපි ඒ වෙලාවේත් එළියට ආවේ අපේ විරෝධය එතැන දී ම එල්ල කරලා යි. ඒ සංවිධානයේ සභාපතිටත් වැඩසටහනේ දී අපිව සම්බන්ධීකරණය කළ කෙනාටත් අපි අපේ විරෝධය දක්වලා එළියට ආවා.” රෝහණ පෙරේරා පැවසුවේ ය. බලාපොරොත්තු රහිත ලෙස රැස්වීම වෙනත් මගක යෑම නිසා ඔවුහු එම අවස්ථාවේ දී ම තම විරෝධය ඊට පළ කර තිබුණි. යහපාලන ආණ්ඩුව පැවති සමයේ ද ඔවුහු තම ගැටලු ලිපි ලේඛන මගින් ද මැති ඇමතිවරු හරහා ද ජනාධිපතිට හා අගමැතිට ඉදිරිපත් කරමින් සාකච්ඡා අවස්ථාවක් හෝ ලබාදෙන ලෙස ඉල්ලා තිබුණත් ඒ කිසිවකු ඔවුන්ට ඊට අවස්ථාවක් ලබා දී නොතිබුණි. එබැවින් ඔවුන් පවසන්නේ මේ කිසිදු ආණ්ඩුවක පාලකයන්ට වෘත්තීය රියදුරන් සම්බන්ධනේ කිසිදු හැඟීමක් හෝ අවබෝධයක් නොතිබූ බව ය. එබැවින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම වෙනුවෙන් හරිමග සංවිධානය සමග එක් වී කටයුතු කළත් එම සංවිධානයේ අයට ද මේ සම්බන්ධව කිසිදු දැනුමක් හෝ වැටහීමක් නොතිබූ බව ඔවුහු පවසති.


“රක්ෂණය කිරීමට පෙර වෘත්තීය ත්‍රීරෝද රථ රියදුරා කියන්නේ කවුද කියලා හඳුනාගන්නා නියාමනයක් අවශ්‍ය යි. රක්ෂණය කියන්නේ ව්‍යාපාරයක්. ඒවායේ කොමිෂන් තියනවා. පහුගිය කාලයේ එක එක අය එක එක විධියට රක්ෂණ ක්‍රම හදුන්වා දෙන්න හැදුවා. ප්‍රවාහන ඇමතිවරුත් සමහර අවස්ථාවල කළා. සංගම් අල්ලගෙන කරන්නත් උත්සාහ කළා. 2005 දී මහින්ද චින්තනයේ ත්‍රී රෝද රථ අභිමන් යටතේ සමාජ ආරක්ෂණ රක්ෂණයක් පිළිබද එකක් ආවා. ඒක යථාර්ථයක් කරගැනීමට අවුරුදු 15කට පස්සේත් අපි පොර බදනවා. මේ දේ කරන්න රක්ෂණ සමාගම් කැමති වුණත් වෘත්තීය ත්‍රී රෝද රථ රියදුරන්ගේ වගකීම ගන්නේ කවුද කියන ප්‍රශ්නය එනවා. අදාල පළාත් සභාව තුළ ත්‍රී රෝද රථ රියදුරන් ලියාපදිංචි කිරීමේ වගකීම පැහැර හැර තියනවා. එහෙම තත්ත්වයක් තුළ ත්‍රී රෝද රථ රියදුරන්ට රක්ෂණය ලබා දීම කියන දේ විවිධ අය ගණිකා වෘත්තියේ යොදවනවා. සුනිල් ජයවර්ධන විවේචනය කළේ ඒකේ එක අවස්ථාවක්. ඒක එකම අවස්ථාව නෙමෙයි, තවත් එක් අවසථාවක්. රක්ෂණයක් ලබා දීම කෙරෙන්න ඕනෑ, හැබැයි ඒක කරන විදිය වැරදියි. ඒ විතරක් නෙමෙයි මේකෙන් දෙගොල්ලාම මුලා වෙනවා. දේශපාලනය වහලා මුලා කරවලා ත්‍රී රෝද රථ රියදුරන්ට මේක දෙන්න හදනවා. ඒත් ඒ එකක්වත් වෙන්නෙත් නැහැ.” ඒ, වෘත්තීය සමිති නායක ලලිත් ධර්මසේකර ය. කෙසේ වෙතත් ඔවුහු පවසන්නේ එම රක්ෂණ කතන්දරය එතරම් දුර දිග නොගිය බව ය. එහෙත් සුනිල් ජයවර්ධනගේ වීඩියෝවේ ඔහු ප්‍රකාශ කරන්නේ එම රක්ෂණය නොගන්නා රියදුරන්ට රියපොළවල් නොදෙන බවට පොලීසිය ලවා තර්ජන කරන බව කි. කෙසේ වෙතත් මේවා හරහා පැහැදිලිව පෙනී යන කරුණ නම් වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ත්‍රීරෝද රථ රියදුරන් යම් ආකාරයකට රැවටීමකට ලක්ව ඇති බව ය, එමෙන් ම මේ සිදුවීම් වලින් ඔවුහු එය හොදාකාරවම වටහාගෙන ද සිටිති.


තවත් මාෆියා


සුනිල් තම ප්‍රකාශයන් හරහා බොරැල්ල, කොහුවල, රාජගිරිය, ග්‍රෑන්ඞ්පාස් ආදී ලෙස ඇතැම් පොලිස් ස්ථාන ද නම් කරමින් කියන්නේ ත්‍රීරෝද රථවල හදිසි ඇමතුම් අංක සදහන් කිරීම වෙනුවෙන් රු.300, රු.500 ආදී ලෙස මුදල් ලබා ගන්නා බව ය. එක් අතකින් රක්ෂණ ආවරණ ලබා ගන්නා ලෙස ත්‍රී රෝද රථ රියදුරන්ට බල කරද්දී අනෙක් පැත්තෙන් එලෙස මුදල් ඉල්ලන බවට ඔහු එම වීඩියෝවේ චෝදනා කරන්නේ ය. “වාහනයේ පොලිස් බල ප්‍රදේශය සදහන් කිරීම සම්බන්ධයෙන් මාෆියාවක් තියනවා. ඒක කණ්ඩායම් දෙක තුනක් එකතුවෙලා කරන මාෆියාවක්. රු.50ක වියදමක් යන්නේ නැති වුණත් සමහර තැන් වල රුපියල් දෙසීය තුන්සීය අරගෙන තිබුණා. ඒ මාෆියාව කරන අය ඉස්සෙල්ලාම ඒ ප්‍රදේශයේ පොලීසිය හම්බවෙලා ඒක කරන්න ඕනෑ විදිය කියනවා. එතැන දී සමහර විට අදාල නිලධාරීන්ට යම් මුදලක් දෙන බව කියනවා. එවැනි මාෆියාවක් තිබෙන එක ඇත්ත. ඒ ගැන අපි හරිමග සංවිධානයත් දැනුවත් කරලා තිබුණා. සුනිල් ඒ ගැන කතා කළේ ඇත්ත යි.” ඒ, රෝහණ පෙරේරා ය.


කෙසේ වෙතත් අවසානයේ මෙම අසාධාරණයන්ට එරෙහිව ආවේගශීලීව කටයුතු කළ සුනිල් ජයවර්ධන වෘත්තීය සමිති නායකයා ලීසිං මාෆියාවක් සම්බන්ධ ගැටලුවක් හමුවේ ජීවිතයෙන් සමුගත්තේ ය. එහෙත් සුනිල්ලා ඇතුළු සියලු ත්‍රීරෝද රථ වෘත්තිකයන් වෙනුවෙන් පෙනීසිටින සංවිධාන කතා කළ සහ විසදුම් සෙවූ ගැටලු තවමත් එලෙස ම ය. ලීසිං මාෆියා සහ මෙම වෘත්තිය හා බැදුණු අනෙකුත් මාෆියා වලට ද තවමත් විසදුම් නැත. විවිධ නම් වලින් කලින් කලට පැමිණෙන දේශපාලන ව්‍යාපාර තුළ ද ඔවුන් වරින් වර භාවිතා වූ බව හා රැවටීම් වලට ලක්වූ බව ඔවුහු දනිති. එහෙත් සුනිල්ගේ ආවේගශීලී ප්‍රකාශ හා සුන්වූ බලාපොරොත්තු තුළ වුව අරගල අවසන් නොමැති බව කියන්නේ ය. අපිව මැරුවත් අපේ හඩ නවත්වන්නේ නෑ වෘත්තීය සමිති නායක සුනිල් ජයවර්ධන කීවේ ය.