ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ හිටපු සභාපති
විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

කොවිඞ් 19 වසංගතයත් සමඟ පැතිර යමින් පවතින බිහිසුණු සෞඛ්‍යය තර්ජනය පිළිබඳව ජාතික අවධානයක් යොමුව තිබේ. එහෙත්, එහි ඇති තවත් සුවිසල් පැතිකඩක් පිළිබඳව මෙතෙක් කිසිවකුගේත් අවධානය යොමු වී නැත. එනම්, මෙම වසංගත තත්වය යටතේ ජනතාවගේ මානසික සෞඛ්‍යය බිඳ වැටීමේ අවධානම පිළිබඳව ය.


ගියවර කොවිඞ් 19 වසංගතය පැතිර ගිය සමයේ කොවිඞ් 19 ආසාදනය වූ තම අසල් වැසියකු විශේෂිත ආරක්ෂිත ඇඳුම් කට්ටල හැඳගත් දෙදෙනකු විසින් ගිලන් රියකට නංවාගෙන යනු දුටු කාන්තාවක් ඉන් හටගත් මානසික කම්පනයෙන් යුතුව තම නිවස තුළට පිවිසි අතර ඉන් පිටතට ඒම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා ය. එපමණක් නොවේ. ජනමාධ්‍ය වලින් කොවිඞ් 19 පිළිබඳ තොරතුරු ඇසීම, දැකීම ප්‍රතික්ෂේප කළ ඇය කොරෝනා යන නම ඇසීමට පවා බියක් පළ කරනු දක්නා ලදී.


පසුගිය මාස කිහිපය තුළ කොවිඞ් 19 පැතිරුණු සමයේ රථවාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරිනියක් මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් පරීක්ෂා කොට එහි රියැදුරුගෙන් කරුණු විමසීමට සැරසුණා ය. ඒ මොහොතේ එම රියැදුරු ආරක්ෂිත මුව වැස්මක් පැළඳ නොසිටි අතර පොලිස් නිලධාරිනිය හා කතා බස් කිරීමට ඔහු රථයේ රියැදුරු අසුන පැත්තේ වූ වීදුරුව පහත් කළේ ය. එවිට එම රථයේ වූ වායු සමීකරණය මුල් කොට ගත් ශීත හුමාලය පොලිස් නිලධාරිනියගේ මුහුණට වැදිණ. ඉන් පසු සේවය නිම කොට නිවසට ගිය ඇයට තදබල උණක් වැළඳුණි. ඒ සමඟම ඇය තම පවුලේ ඥාතීන්ට පවසා සිටියේ එම මෝටර් රථයේ රියැදුරු ගෙන් තමන්ට කොරෝනා ආසාදනය වූ අතර ඒ බව ඒ මොහොතේම තමන්ට ඉතා හොඳින් දැනුණු බවකි. කෙසේ හෝ මෙම රෝගී තත්වය යටතේ රෝහල් ගත කරන ලද මෙම පොලිස් නිලධාරිනිය ඡක්‍ඍ පරීක්ෂණයට ලක් කරනු ලදුව එමඟින් ඇයට කොවිඞ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු විය. එහෙත්, ඒ බව පිළි නොගත් ඇය ඉන්පසුව දිගින් දිගටම කියා සිටියේ කොරෝනා කෙසේ වෙතත් මේ වන විටත් තම ශරීරය තුළ කිනම් හෝ මාරාන්තික වයිරසයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ය.


මා ඉහත සඳහන් කරන ලද්දේ හුදකලා සිද්ධීන් දෙකක් නොවේ. වත්මන් කොවිඞ් 19 වසංගතය මුල් කොට මෙබඳු සිද්ධීන් ජාලයක් අප සමාජය පුරා නිරන්තරවම සිදුවෙමින් පවතී. නමුදු මේවා මානසික අර්බුද හෝ මානසික රෝග ලක්ෂණ වශයෙන් හඳුනා ගෙන මනෝ වෛද්‍යවරුන් සහ මනෝ වෛද්‍ය සායන වෙත යොමු වනුයේ ඔවුන් අතුරින් ඉතා සීමිත පිරිසකි. සෙසු බහුතරය ගෙන් කොටසක් තුළ පවතින මෙවන් තත්ත්වයන් කෙටි කලකින් පහව යා හැකි නමුදු තවත් කොටසක් තුළ මේවා නිරන්තරව නැතහොත් මුළු ජීවිත කාලය පුරාම පැවතිය හැක. එය පොදු සමාජයීය මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් වුව අයහපත් තත්ත්වයකි.


මෙවන් වසංගත තත්වයන් හමුවේ මානසික සෞඛ්‍ය අර්බුදවලට පහසුවෙන් ලක් විය හැකි පිරිස් අතුරින් හීන වූ පෞරුෂයන් ගෙන් යුතු පුද්ගලයන් සහ මානසික අර්බුද සහ රෝග හට ගැනීමේ වැඩි පෞරුෂමය සහ ජෛවමය නැඹුරුවක් සහිත පිරිස් ප්‍රධාන වෙති.


මෙහිදී කෝවිඞ් 19 ආසාදිතයන් ඇසුරු කරන සහ ඔවුන් හා නිතර ගැටෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතරින් සේම ගුවන් විදුලි සහ රූපවාහිනී මඟින් නිවසේ සිට මෙම පුවත් වලට සවන් දෙන්නවුන් අතරින් ද මෙවැන්නවුන් මතු විය හැක.


කුමන හේතුවක් මත හෝ ඇතිවන මානසික පීඩනයන් මත ආතතිය (Stress) මුල්කොට ගත් විෂාද (Depression) සහ කාංසාත්මක තත්ත්වයන් (Anxiety) හට ගත හැකි අතර මේවා මානසික අර්බුද සහ රෝග කාරක ලෙස ද පැන නැඟිය හැක. එමෙන්ම විවිධ පුද්ගලයන් තුළ පැන නැඟිය හැකි කරදරකාරී ඇබ්බැහි වීම් හෙවත් ග්‍රස්තිමය ආබාධ (Obsessive Compulsive Disorder) සහ තමන් තුළ යම් රෝගයක් හෝ රෝග කිහිපයක් ඇතැයි යන මෝහමය සිතුවිල්ල (Hypochondria) සහ යම් යම් කරුණු මුල් කොට ඇතිවන අහේතුක බිය (Phobia) වැනි මානසික රෝග තත්වයන් මෙවන් කරුණු මුල්කොට ඉස්මතු විය හැකි අතර දැනටමත් පවත්නා එවන් තත්ත්වයන් වඩාත් තීව්‍ර ලෙසින් වර්ධනය විය හැක.

තමන් ජීවත් වන පරිසරය මුල් කොට ගත් සංවේදීතාවයන් ප්‍රධානතම හෙවත් සයිකෝසීය මානසික රෝග (Psychotic disorder) කෙරෙහි ද සෘජුවම බලපැවැත්වෙන බැවින් මෙම වසංගත රෝග තත්වය ඔවුන් ගේ මානසික සෞඛ්‍ය තත්වය තව දුරටත් බිඳ දැමීමට සමත් වෙයි.


මෙවන් වසංගත රෝග තත්වයන් සම්බන්ධයෙන් ආධ්‍යාත්මික ආරෝපණයන් සිදුකිරීම අප ජන සමාජයේ අතීතයේ සිට සිදු වූවකි. පැපොල, සරම්ප, කම්මුල්ගාය ආදී වසංගත රෝග දෙවියන් ගේ ලෙඩ යනුවෙන් හැඳින්වීම ඒ සඳහා වන කදිම නිදසුනකි. එහි දී එම රෝග සම්න්ධයෙන් සිදු කරනු ලබන ගුප්ත විශ්වාස මත පදනම් වූ අභිචාර විධි සහ ශාන්ති කර්ම මඟින් එම රෝග වලට ලක්වන පුද්ගලයන් සහ ඔවුන් ගේ පවුල්වල ඥාතීන් මානසික බිඳ වැටීම් වලින් අත්මිදී යහපත් මනෝ කායික ප්‍රතිශක්තියක් ස්ථාපිත කරගත් බව පැහැදිලි ය. දිගු කාලීනව කෙසේ වෙතත් ඒවා යම් තාවකාලික සහනයක් ලද හැකි නොවිධිමත් මනෝ චිකිත්සාවන් ලෙස සැලකිය හැකි ය.


ඒ කෙසේ වෙතත් මෙබඳු වසංගත රෝග තත්ත්වයන් නිසා හටගන්නා දැඩි මානසික පසුබෑම් හා බිඳවැටීම් තත්ත්වයන් මත යමකු තුළ පවත්නා ජීවිතාශාව පවා අවප්‍රමාණ වීමේ පැහැදිලි හැකියාවක් පවතී. විශේෂයෙන් එය මුල් කොට පැන නඟින තීව්‍ර විශාද තත්වයක් යටතේ තමන් ගේ සුපුරුදු දෛනික කටයුතුවලින් ඉවත් වීම, වෙනත් රෝගාබාධ සඳහා ගනු ලබන ඖෂධ භාවිතයෙන් වැලකී සිටීම ආදී හේතු මත ඔවුන් තුළ නොයෙකුත් කායික රෝගාබාධ උත්සන්න වීමේ වැඩි නැඹුරුවක් තිබේ. එමෙන්ම මෙවන් දැඩි කායික මානසික බිඳ වැටීම් වල දී යමකුගේ ශරීරයේ පවත්නා ප්‍රතිශක්තිය බිඳ වැටීම, අලුතින් රෝග හට ගැනීමට, දැනට හටගෙන ඇති රෝග උත්සන්න වීමට සහ එසේ වීමෙන් ඒ තැනැත්තා අකල් මරණයකට ලක්වීමට වුව පුළුවන.


දැනට කොවිඞ් 19 වසංගතය පවත්නා ලොව සෑම රටක පාහේ එම වසංගතය මුල් කොට බිඳ වැටෙන ජනතාවගේ මානසික සෞඛ්‍යය පිළිබඳව විවිධ මට්ටම් වලින් අවධානය යොමු වන අතරේ දේශපාලන, නිලධාරී හෝ පුරවැසි මට්ටමින් අපේ රටේ සියල්ලන්ම පාහේ ඒ පිළිබඳව වගේ වගක් නොමැතිව නිසොල්මන්ව සිටීම අප රටේ සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමයේ දියුණුව මැනවින් කියා පාන්නකි.