සාකච්ඡාව- ඉදුනිල් උස්ගොඩ ආරච්චි


ලෝකයේ බොහෝ රටවල මෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ ද පැවැත්වෙන මැතිවරණයන් සදහා ද විශාල වශයෙන් බලපෑම් ඇතිකරන මාධ්‍යයක් බවට මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල පත්ව තිබේ. මේ සමග මැතිරවණය ඉලක්ක කරගෙන සිදුකරන වෛරී සහගත ප්‍රකාශ, ව්‍යාජ පුවත්, නොමග යනවන සුළු පුවත් ඉතා සීග්‍රයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වේ. මේවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සැලකිලිමත් ද, ඔවුන් ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබද ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එම කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් කළමනාකරණ අංශයේ සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග රණසිංහ සමග රාවය කරන ලද සංවාදය කි.

-ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය-


මැතිවරණය පාදක කරගෙන සමාජ මාධ්‍ය හරහා සිදුවන මැතිවරණ ප්‍රචාරයණයන් මෙන්ම වෛරී හා සාවද්‍ය පුවත් සහ ප්‍රකාශ ඉතා වේගයෙන් වර්ධනය වන බව පෙනෙනවා. මේවා සම්බන්ධනේ මැතිවරණ කොමිෂන් සභාව සැලකිලිමත් ද?


මැතිවරණ ප්‍රචාරක කටයුතු සමාජ මාධ්‍ය හරහා සියලු දෙනාටම කරන්න පුළුවන් දෙයක් නිසාත් ඒවාට අනෙක් ප්‍රචාරණ ක්‍රම වලට සාපේක්ෂව එතරම් වියදම් දරන්නේ නැතිව කළ හැකි නිසාත් ඒ ගැන අපේ විරෝධයක් නැහැ. එය පැරණි ක්‍රමයෙන් නව තාක්ෂණයට යෑමක් ලෙස අපි දකිනවා. නමුත් කණගාටුවට කරුණ, සමාජ මාධ්‍ය පරිශීලකයන් වගේම පරිපාලකයිනුත් කිසිම ආකාරයකට නීතියකට යටත් නොවන ආකාරයෙන් ක්‍රියාකරීම යි. අදහස් දැක්වීමේ අයිතිය නැත්නම් ප්‍රකාශනයේ හා භාෂණයේ අයිතිය අයුතු ලෙස භාවිතා කරමින් ජාතීන් අතර ආගම් අතර ජන කොට්ඨාෂ අතර විරෝධතා හෝ වෛරය ඇති කරන ආකාරයෙන් වගේම කාන්තාවන් ආන්තික ජන කොට්ඨාස සංක්‍රාන්තික ලිංගිකයන් සමාන සහකරුවන් ඇසුරුකරන්නන් යනාදීන් අගෟරවයට අපහාසයට පත් කරන ආකාරයේ දේවලුත් මේ දේශපාලන ක්‍රියාකාරකම් හරහා සිදුකරනවා. ඒ වගේම ශරීරයේ ස්වභාවයන්, ඔවුන්ගේ තිබෙන ශාරීරික ආබාධ යනාදිය විවේචනය කරන්නත් යොදා ගැනීම කණගාටුවට කරුණක්. මොකද ඒවාට පිළිතුරු දෙන්නත් අනෙක් අයට අවස්ථාවක් නැහැ. අවස්ථාව ලැබුණත් ව්‍යාජ ගිණුම් හරහා සහ අනෙක් කණ්ඩායම් හරහා ඔවුන්ට පහර ගහනවා. සමාජ මාධ්‍ය ඉතාම හොද අවියක්. ගින්දර විදුලිය වගේ හොද දෙයක්. නමුත් ඒක නරකට පාවිච්චි කරන අවස්ථා අපට දකින්න තියනවා. අනෙක් පැත්තෙන් නිහඩ කාල සීමාවේ පැය 48ක් ප්‍රචාරක කටයුතු සියල්ලම තහනම්. අපේ අදහස වන්නේ අගෝස්තු 3 වන දා කෙසේ වෙතත් 4 සහ 5වන දා ප්‍රචාරක කටයුතු වලින් සමාජ මාධ්‍ය පරිශීලකයන් සහ පරිපාලකයන් වැළකී සිටීම අත්‍යාවශ්‍ය බව යි.

එලෙස සිදුවන වෛරී සහගත හෝ සාවද්‍ය පුවත්, තොරතුරු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන්නේ කොහොම ද?


වෛරී ප්‍රකාශ වගේම අසත්‍ය ප්‍රකාශ යනාදී තොරතුරු පැතිරවීම අපේ රටේ නීතියේ හැටියට වරදක්. වෛරී ප්‍රකාශනත් අසත්‍ය ප්‍රකාශනත් මොන මාධ්‍යයේ ගියත් වැරදියි. මේ දේවල් පිළිබද අපිට කෙලින්ම සොයා බලන්න පුළුවන් වෙන්නේ අපිට පැමිණිලි ලැබුණොතිනු යි. මේ තුළට ගිහින් පරීක්ෂා කර කරුණු සොයා බලන්න තරම් යාන්ත්‍රණයක් අප සතුව නැහැ. ඒ නිසා මේ ඡන්දයේ දී බැරි වුණත් ඉදිරියේ දී පැවැත්වෙන ඡන්ද විමසීම් වල දී මේවා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දන්වන්න කියලා අපි ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන සියලු පුරවැසියන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම ඒවා සම්බන්ධයෙන් 0719160000 කියන වට්ස්ඇප් සහ වයිබර් අංකයෙන් දැනටමත් දන්වන්න පුළුවන්කම තියනවා. ඒ වගේම මගේ තිබුණු ෆේස්බුක් ගිණුම පවා මම තාවකාලිකව deactivate කළේ ඒ හරහා පැමිණිලි යොමු කරන්න පටන් ගත්තාම මට මගේ සාමාන්‍ය කටයුතුත් කරගෙන යන්න නැති තත්ත්වයට පත් වුණා. ඒ හැම දේටම මාව ටැග් කරනවා. Tell Commission- Election Commission of Sri Lanka හරහාත් ඕන කෙනෙක්ට ෆේස්බුක් සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුළුවන්. එහෙම නැතිව ෆේස්බුක් එකේ මහින්ද දේශප්‍රිය ටැග් කිරීමෙන් වන අපහසුතාවයෙන් මිදෙන්න මම තාවකාලිකව මගේ ෆේස්බුක් ගිණුම ඩිඇක්ටිවේට් කළා.

මැතිවරණ සමයේ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව ෆේස්බුක් සමාගම සමග තිබෙන ගිවිසුම මොකක් ද සහ එහි සුභදායිී ප්‍රථිඵල තිබේ ද?


අපේ කිට්ටු සම්බන්ධතාවයක් තියනවා. අපි පසුගිය මැතිවරණ අවස්ථාවේ දී පැමිණිලි 1100ක් පමණ කළා. එයින් 800කට ආසන්න සංඛ්‍යාවක් ඒ අය ඉවත් කරලා තිබුණා. හැබැයි ඒකට ටිකක් වෙලාව යනවා. එසැනින් ඉවත් කරගන්න බැහැ, හානිය වෙලා ඉවරයි. අපේ නීතියට අනුව වැරදි වුණාත් ඒ අයගේ Standards (නිර්ණායක) වලට අනුව වැරදි නෙමෙයි නම් ඒ අය ඒවා ඉවත් කරන්නේ නැහැ. මේ ලෝකේ කිසිම රටකට මේක කර ගන්න බැරිවෙලා තියනවා. ඉන්දියාවේත් ඉන්දුනීසියාවේත් මුදල් ගෙවූ හා ස්වේච්ඡා සංවිධාන වල දහස් ගණන් පිරිස යොදවාත් ඒක කරන්න අමාරුවෙලා තියනවා.

-ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් කළමණාකරණ අංශයේ සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග රණසිංහ-


මැතිවරණ කාලසීමාවේ සමාජ මාධ්‍යවල සිදුවන මැතිවරණ නීති උල්ලංඝණයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන්නේ කොහොම ද?


මැතිවරණ ප්‍රචාරණය සහ මැතිවරණයට අදාලව සිද්ධවන නීති උල්ලංඝණය කිරීම් සමාජ මාධ්‍ය ගිණුම් සහ ඒ ආශ්‍රිතවත් සිදුවන නිසා ඒ ගැන මැතිවරණ කොමිෂන් සභාවට මැදිහත් ව කටයුතු කරන ලෙස 2019 වසරේ ජනාධිපතිවරණය සමග විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල හිමිකරුවන්ගෙන් වගේම සිවිල් සමාජ ක්‍රියාකරුවන්ගෙනුත් අපිට ඉල්ලීම් එනවා. මේ ඉල්ලීමත් එක්ක අපි 2019 ඡන්දයේ දී සමාජ මාධ්‍ය ජාල අයිතිකරුවන් සමග සාකච්ඡාවක් ආරම්භ කළා. මේකෙ දී මූලික වශයෙන් ෆේස්බුක් ආයතනය, ගූගල් ආයතනය, යූටියුබ් ආයතනය සහ ට්විටර් යන ආයතන හතරම සම්බන්ධ වෙනවා. මේ අය මැතිවරණ කොමිෂන් සභාව ලංකාවේ මැතිවරණ කාලසීමාවේ නිල ආයතනය විධියට හදුනාගෙන අපි වෙනුවෙන් වෙන් කරන ලද සහ ඒ අය විසින් දෙන විශේෂ පහසුකමක් හරහා අප විසින් සමාජ ජාලා ආශ්‍රිතව වාර්තා කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හදුනාගෙන ඒවා සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි එක්ක එකග වෙනවා. අපිට සමාජ මාධ්‍ය ජාල හිමිකරුවන් සමග සෘජු සම්බන්ධතාවයක් වෙනම තියනවා. නමුත් සමහර දේවල් තහවුරු කරගන්න විශේෂයෙන්ම වෙබ් අඩවි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න තාක්ෂණික සහාය ගන්න ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ ඒකකය වගේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේත් සහයෝගය ගන්න පුළුවන්.

සමාජ මාධ්‍ය සමාගම් සමග ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ තිබෙන මේ එකගතාවයන්ගේ ස්වභාවය මොන වගේ ද?
සමාජ මාධ්‍ය කියන්නේ බොහොම සක්‍රීය මහජන අවකාශයක්. විශේෂයෙන්ම අපි සමාජ මාධ්‍ය ආයතන හැම එකක් එක්කම එන මූලික එකගතාවය තමයි ඒ අයගේ අන්තර්ජාතික ප්‍රමිතීන්වල තියන පළමු දේ වන වෛරී ප්‍රකාශ. ඒ සම්බන්ධයෙන් ශක්තිමත්ව අපේ මැතිවරණ නීතියෙන් ආවරණය නොවුණත් ඒ අයගේ නිර්ණායක තුළ වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් ඒ අය ඉතාම ක්ෂණිකව ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අය බලන දෙවැනි දේ වැරදි පුවත්(Fake News) හෝ වැරදි තොරතුරු, තුන්වැන්න තොරතුරු විකෘති කර නොමග යැවීම්(Disinformation) සිදුකිරීම්. මෙතැන දී අපි පළමු අවධානය දෙන්නේ මේ කියන කාරණා තුන සම්බන්ධයෙනුයි. මේ දේවල් වාර්තා වුණොත් අපි පරීක්ෂා කර බලා යම් තහවුරුවක් අපිටත් ගන්න පුළුවන් නම් අපි ඒ සමාජ මාධ්‍ය ආයතන වලට යොමු කරනවා. ඒ ආයතන වලත් මණ්ඩලයක් විසින් ඒවා විශ්ලේණය කරනවා, කරුණු තහවුරුකරන්නන්(Fact checkers) හරහා තහවුරු කරගන්නවා. ඔවුන් ඒවා ඉවත් කිරීම හෝ අඩපණ කිරීම් කරන්නේ ඒ ආකාරයට යි.


ඊට අමතරව නිශ්චිත මැතිවරණ නිීති උල්ලංඝනයන් උදාහරණයක් ලෙස ඡන්ද පත්‍රිකාවක් ඡායාරූපගත කර තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කිරීමක්, නිහඩ කාල සීමාවේ ප්‍රචාරණ කටයුතු කිරීම් වැනි දේ කළ නොහැකි නිසා අපි එවැනි අවස්ථා වලත් එම සමාගම් වලට ඒවා සම්බන්ධයෙන් පැමිණිලි කරනවා.

මේවා හරහා යම් සුභදායී ප්‍රතිඵල ලැබී තිබේ ද?


පසුගිය අවුරුද්දේ අපි නියමු ව්‍යාපෘතිය යටතේ කළ එකේ දී අපි 1200ක් පමණ ෆේස්බුක් ආයාතනයට වාර්තා කළා. එයින් 850කට පමණ ප්‍රමාණයකට ඒ අය ගත් ක්‍රියාමාර්ග මැතිවරණය අවසානයේ දී අපිට සදහන් කර තිබුණා. සමහර ඒවා සම්බන්ධයෙන් ඒ අයට ක්‍රියාමාර්ග ගන්න බැහැ හෝ තොරතුරු ප්‍රමාණවත් මදි වැනි කාරණා නිසා වෙලා නැහැ. මේ මැතිවරණයේ දී ත් අපි ඒ ක්‍රියාමාර්ගයම කරනවා. හැබැයි පසුගිය මැතිවරණයේ දී අපි ඉගෙනගත් පාඩම් එක්ක තව ටිකක් එහාට ගිහින් තියනවා. මැතිවරණයේ දී අපි එක්ක වැඩ කරන මැතිවරණ නිරීක්ෂණ සංවිධානත් තමන්ගේ සාම්ප්‍රදායික මැතිවරණ නිරීක්ෂණයෙන් ඔබ්බට ගිහින් මේ සමාජ මාධ්‍ය ජාල හරහා කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් නිරීන්ක්ෂණයන් කරන්න පටන් අරං තියනවා. ඒ නිසා ඒ අයත් දැන් අපිට දෛනිකව ඒ අයගේ නිරීක්ෂණයන් යොමු කරනවා. එතකොට අපිට වෙනදාට වඩා සක්‍රීයව සහ සංඛ්‍යාත්මකව වැඩි ප්‍රමාණයකින් සමාජ මාධ්‍ය ජාල තුළ සිද්ධවන දේවල් සම්බන්ධනේ සැලකිලිමත්ව කටයුතු කරනවා.

මැතිවරණ කාලයේ සමාජ මාධ්‍ය හරහා වන මැතිවරණ උල්ලංඝණයන් පිළිබද සමාජ මාධ්‍ය සමාගම් සහ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව අතර සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කළොත්?


මේ හැම සමාජ මාධ්‍ය ජාලයකටම ඒ අයගේම නීතිරීති රාමුවක්, ඒ කියන්නේ Community Standards කියනවා. ඒවා ඒ අය අන්තර් ජාතිකව හදලා තියන ඒවා යි. ඒ අයගේ Community Standards සහ අපි විසින් නිර්දේශ කරන ලද දේවල් අතර සමපාතතාවයක් තියනවා නම් ඉතා පහසුවෙන් ඒ අය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව විශේෂිත මැතිවරණ නීතියක් උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් තහවුරු කළ තොරතුරු ලබාදීමක් සිද්ධ කළොත් ඒවා සම්බන්ධයෙනුත් ඒ අය ක්‍රියාත්මක වෙනවා.


ඒ වෙනුවෙන් වෙනම ඒකකයක් මැතිවරණ කොමිෂන් සභාවේ ජාතික මැතිවරණ පැමිණිලි කළමානාකරණ මධ්‍යස්ථානයට අනුබද්ධව හදලා තියනවා. ඒ අය කරන්නේ මෙවැනි පැමිණිලි ආවාට පස්සේ ඒවා විශ්ලේෂණය කර ඒක නීති විරෝධී දෙයක් ද කියලා බලනවා. ඊට පස්සේ ඒක Community Standards උල්ලංඝණය වෙනවා ද කියලා බලනවා. ඊට පස්සේ අපි අතර තිබෙන විශේෂිත සන්නිවේදන ක්‍රමවේදයක් හරහා අපි ඒවා සාමාජ මාධ්‍ය ආයතන වලට පැමිණිලි කරනවා. ඊට පස්සේ ඒ අය ඒ සම්බන්ධයෙන ගන්න ක්‍රියාමාර්ග පිළිබද අපිට දැනුම් දෙනවා. මේක අපි අතර මැතිවරණ කාල සීමාවේ දී ක්‍රියාත්මක වන ඉතා සක්‍රීය එකගතාවයක්.

මේ එකගතාවය ඇති වෙන්නේ ලිඛිත ගිවිසුමක් මත ද නොඑසේ නම් වාචික පදනමක් මත ද?


ඒක ඇත්තටම සිද්ධ වෙන්නේ නිල එකගතාවයක් විධියට යි. මේක ලිඛිත එකගතාවයක් නෙමෙයි, වාචික අවබෝධයක්. 2019 මැතිවරණයේ දී අපි මේක කරන්නේ නියමු ව්‍යාපෘතියක් විධියට යි.

රටේ මහජනයා වෙනුවෙන් වගවන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වෙනත් රටක පෞද්ගලික සමාගම් සමග ලිඛිත නොවන ගිවිසුමක් මත කටයුතු කිරීම සදාචාරාත්මක යැයි පිළිගත හැකි ද?


ඒ අය ඇත්තටම එකග වුණේ එක මේසයක දී මේක අත්සන් කරන්න යි. නමුත් මේක ටික කාලයක් අත්හදා බලන්න අපට අවශ්‍ය වුණා. මොකද මේක ඒ අයටත් අපි හැමෝටමත් අලුත්. ලිඛිත ගිවිසුමකට ආවාට පස්සේ ඒවා සංශෝධනය කරගන්න යෑම ඊට වඩා අපහසුයි. දැන් අපි වෙනුවෙන් කටයුතු කරන්න ඒ අයටත් වගකීමක් තියනවා. මේක මැතිවරණ ඉතිහාසය තුළ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය සම්බන්ධයෙන් අත්දැකීම් බහුල වන අතරේම මේක සම්බන්ධ වෙන්නේ අලුත් ක්‍රියාකාරීත්වයක් විධියටයි. ඒ වගේම සමාජ මාධ්‍ය ජාල වලටත් ලංකාව එක්ක මේ සම්බන්ධව වැඩ කිරීම අලුත් දෙයක්. ඒ නිසා මේකට අපට කොච්චර පහසුකම්, මානව සම්පත්, තාක්ෂණික සම්පත් ප්‍රමාණයක් ඕනෑ ද, මේ දේවල් සම්බන්ධනේ නීතිමය සීමාවන් කොච්චර දුරට සකස් කරගන්න ඕනෑ ද කියන කාරණා සම්බන්ධයෙන් අපි තාම ඉන්නේ පරීක්ෂණ මට්ටමේ යි. අපිත් එක්ක අවබෝධතා ගිවිසුමකට ඇවිල්ලා මේක ඉදිරියට අරගෙන යන්න සාමාජ මාධ්‍ය ජාල පැහැදිලිවම එකග යි. නමුත් අන්තර් ජාතිකව අනෙකුත් මැතිවරණ කොමිෂන් සභා විසින් ගිවිසුම් ගතව යන ක්‍රියාකාරීත්වයන් වල සාර්ථක ආසාර්ථකභාවයන් පිළිබදව අධ්‍යයනයක් කර ඉදිරියේ දී අවබෝධතා ගිවිසුමකට එළඹෙන්න අපි බලනවා. හැබැයි අවබෝධතා ගිවිසුමකට නොඑළඹීම නිසා දැන් ක්‍රියාකාරීත්වයේ අඩුවක් තියනවා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. දැන් දෙපාර්ශවයම සක්‍රීයව තම තමන්ගේ සීමාවන්ගෙන් ඔබ්බට ගිහිල්ලා අපි එකගවෙලා ඉන්න මූලික එකගතා පදනම මත මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් පමණක් නෙමෙයි මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් තමන්ම සොයා බලා කටයුතු කිරීමේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here