සාකච්ඡාව- ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත්ව සිටි මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා සහ එහි තවත් සාමාජිකයන් හතර දෙනෙකු එම ධුරයෙන් මීට දින කීපයකට පෙර ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් කටයුතු කර තිබුණි. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් 2019 වසරේ දී වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත් කළ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඇතුළු සාමාජිකයන්ට පසුගිය කාලයේ සිටම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ද චෝදනා එල්ල කරමින් තිබුණි. කෙසේ වෙතත් වෛද්‍ය සභාවට එල්ල වූ චෝදනා පහක් සම්බන්ධයෙන් ඉවත් කර තිබෙන්නේ සභාපතිවරයා සහ රාජිත සේනාරත්න විසින් පත් කළ බවට චෝදනා ලැබ සිටි සාමාජිකයන් සිව්දෙනා පමණි. ඉවත් කිරීමට ලක් වූ පිරිස පවසන්නේ මෙම ඉවත් කිරීම නීත්‍යනුකූල නොවන බවය. මේ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා සමග රාවය කළ සංවාදයකි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් පත් කිරීමෙන් පසු වෛද්‍ය සභාව දේශපාලනීකරණය වූ බවට චෝදනාවක් එල්ල වී තිබුණා. හිටපු අමාත්‍යවරයා විසින් වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත් කළ ඔබටත් මේ චෝදනා එල්ල වීම සම්බන්ධයෙන් තිබෙන පිළිතුර මොකක්ද?


මම කවදාවත් දේශපාලනය කළ පුද්ගලයෙක් නෙමෙයි. මම මගේ වෘත්තිය කරමින් සිටි අයෙක්. ළමා රෝග විශේෂඥවරයෙක් ලෙසත්, ළමා ආරක්ෂක අධිකාරියේ ආරම්භක සභාපති ලෙසත් මම මගේ වෘත්තිය හරියට කළ කෙනෙක්. 2019 දී සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි රාජිත සේනාරත්න මහත්මයා විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය ලබා ගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටියා. මොකද එවකට සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය කොල්වින් ගුණරත්නටත් මට වූ වැනිම මෙවැනි ප්‍රශ්න ඇතිවීම නිසා ඔහු ඉල්ලා අස්වුණා. ඔහුටත් එතැන තිබෙන ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමට අවශ්‍ය වී තිබුණා. මම මේක භාර ගත්තේ එක කොන්දේසියක් මතයි. ඒ වෛද්‍ය සභාවේ ක්‍රියාකාරීත්වයත් එහි ව්‍යවස්ථාවත් සියල්ල මට වෙනස් කිරීමට ඉඩ දෙනවා නම් පමණක් එය භාර ගන්නා කොන්දේසිය මතයි.


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රධාන කාර්යභාරයන් වෙන්නේ මොනවාද?


ප්‍රධාන වශයෙන්ම වෛද්‍යවරු ලියාපදිංචි කිරීම සිදුකරනවා. ඒ වගේම වෛද්‍යවරුන්ට විරුද්ධව රෝගීන් විසින් හෝ වෙනත් වෛද්‍යවරු විසින් හෝ වෙනත් අය විසින් සිදුකරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් විභාග කිරීම් සිදු කරනවා. ලංකාවේ පෞද්ගලික රෝහල්වල සේවයට පැමිණෙන විදේශීය වෛද්‍යවරු තාවකාලිකව ලංකාවේ ලියාපදිංචි කිරීමත් සිදුවෙනවා. ඒ වගේම වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ශිෂ්‍යයන් විදේශ රටවල විශ්වවිද්‍යාලවලට යන අවස්ථාවල දී එම විදෙස් විශ්වවිද්‍යාල ඉගෙනීමට සුදුසු ද නැද්ද යන්න සම්බන්ධයෙන් තිබෙන නිර්ණායක මත තීරණ ලබා දෙනවා.


වෛද්‍යවරු සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවලට අදාළ විමර්ශන කිරීම වෛද්‍යවරු විසින්ම සිදු කිරීම හරහා එම විමර්ශනවල විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකියි නේද?


ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව පත්වෙන්නේ 1926 දී ආඥාවකිනුයි. ඒ ඉංග්‍රීසීන් විසින් පාලනය ගෙන ගිය කාලයයි. ඒ කාලයේ මේක ආරම්භ වෙන්නේ එංගලන්තයේ වෛද්‍ය සභාව අනුවයි. හැබැයි පසුකාලීනව එංගලන්තයේ තිබෙන වෛද්‍ය සභාවේත් විටින් විට වෙනස්කම් සහ සංශෝධනයන් සිදුකළා. ඉන්දියාවේත් එවැනිම වෙනස්වීම් මේ මෑතක දී සිදුවුණා. ඒකට පදනම් කීපයක් තිබුණා. එකක්, වෛද්‍යවරුන්ගේ නඩු වෛද්‍යවරු විසින්ම ඇසීම වැරදියි කියන පදනම මතයි. ඒ නිසා එංගලන්තයේ වෛද්‍ය සභාවේ නීතීඥවරු, වෛද්‍යවරු සුළු සංඛ්‍යාවක් සහ මහජන නියෝජනයක් තිබෙනවා. ඒ වගේම එහි තිබෙන්නේ ඒ සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කර පැමිණෙන ක්‍රමවේදයක් මිස ඇමතිවරයා හෝ ඇමතිවරිය විසින් පත් කරන ක්‍රමයක් හෝ ඡන්ද ක්‍රමයක් හෝ වෘත්තීය සංගම් වලින් පත්වන ක්‍රමයක්වත් නෙමෙයි. මගේ අදහස තිබුණේ එවැනි ක්‍රමවේදයක් ලංකාවේත් ස්ථාපිත කිරීමයි. නමුත් ඒ දේ කිරීම තබා වෙනත් ප්‍රධාන කාරණා හෝ නිරාකරණය කරගැනීමටත් බැරි තත්ත්වයක් තිබුණා.


ලංකාවේ වෛද්‍ය සභාවට සාමාජිකයන් පත්වීම සම්බන්ධයෙන් තිබෙන ක්‍රමවේදය මොකක්ද?


ඇමතිවරයා පත් කරන නියෝජිතයන් සිව්දෙනෙක්, ඡන්දයකින් පත් ව එන වෘත්තීය සංගම්වල සාමාජිකයන්, ඡන්දයෙන් පත්වන වෛද්‍යවරුන්ගේ සංගම්වලින් එන කීපදෙනෙක්, දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයෙන් එක් අයෙක්, ලියාපදිංචි කළ වෛද්‍යවරුන්ගේ සංගමයේ එක් අයෙක්, වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු අට දෙනෙක් ලෙස දැනට වෛද්‍ය සභාවට පත්වීම සිදුවෙනවා. ඒ සියලුදෙනා අවුරුදු පහක් සඳහා පත්වන අතර ඊට අමතරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් එහි සාමාජිකයකු වෙනවා. එම තනතුරට පමණක් වසර පහක සීමාවක් නැහැ. අනෙක් සියලු අය ආඥා පනතට අනුව පත්වන්නේ වසර පහකටයි. එයට අනුව ඇමතිවරයාට හෝ ඇමතිවරියට ඒ අයව ඉවත් කරන්න පුළුවන්කමක් නැහැ. එවැනි ඉවත් කිරීමක් මීට පෙර කිසිදෙනක සිදුවීත් නැහැ. ඒ නිසා මේ ඉවත් කිරීම් සම්බන්ධයෙන් නීත්‍යනුකූල ගැටලුවකුත් තිබෙනවා.


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වූ ඔබ ඇතුළු තවත් සාමාජිකයන් හතරදෙනෙකු ඉවත් කිරීමට අමාත්‍යවරිය කටයුතු කරනවා. එය නීත්‍යනුකූල ඉවත් කිරීමක් නොවෙයිද?


වෛද්‍ය සභාවට එල්ල කරන චෝදනා පහක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මීට මාස දෙකකට පමණ පෙර කමිටුවක් පත් කළා. වෘත්තීය සංගමයේ දෙදෙනෙකුත් ඒ කමිටුවේ හිටියා. ඒක ඒ අයගේ වරදක් නොවන නමුත් සාමාන්‍යයෙන් එහෙම සිදු කරන්නේ නැහැ. ඒ කමිටුවෙන් විමර්ශනය කර මේ චෝදනා පහට පිළිතුරු දෙන්න කියලා අපිට කිවුවා. වෛද්‍ය සභාවේ වෙනත් සාමාජිකයන් කණ්ඩායමක් මේ චෝදනා පහට පිළිතුරු සැපයීමට සියලු දත්ත සහිත වාර්තාවක් අදාළ කමිටුවට ලබා දුන්නා. ඊට අමතරව වෙන වෙනම අපෙන් විමසීමක් සිදුවුණේත් නැහැ. වෛද්‍ය සභාවේ වාර්තාවක් ලබා ගත්තා. ඒ වගේම ඒ චෝදනා වෛද්‍ය සභාවටම තිබූ ඒවා මිස අපි තනි පුද්ගලයන්ට නෙමෙයි. පසුව ඇමතිවරිය විසින් පසුගිය දිනවල විවිධ නිලධාරීන් යොදවමින් වෛද්‍ය සභාවෙන් ඉවත් කරන්න පෙර ඉල්ලා අස්වන ලෙස දුරකථනය හරහා පණිවිඩ ලබා දුන්නා. ආඥාවේ එහෙම නැති නිසා මම එහෙම ඉවත් නොවන බව මම ඒ අයට කිවුවා. මේක ආණ්ඩු මාරුවන විට මාරුවන ආකාරයේ තනතුරක් නෙමෙයි. පසුව කමිටුවට ඉදිරිපත් කළ චෝදනා පහ එහෙමම ඉදිරිපත් කරමින් ඒවායේ වරදකරුවකු ලෙස මම වෛද්‍ය සභාවෙන් ඉවත් කරන බවට ලිපියක් එවා තිබුණා. එම වාර්තාව අනුව ඉවත් කරනවා නම් කමිටුවේ සියලුදෙනා ඉවත් කළ යුතුයි. මට අමාත්‍යවරියට හෝ වෙනත් කිසිවෙකුට චෝදනා කිරීමේ අවශ්‍යතාවක් නැහැ. නමුත් මේ කළ ක්‍රියාමාර්ගය වැරදියි. මේ ඉවත් කිරීම නීත්‍යනුකූල නැහැ. මේ හරහා ඉවත් කරන්නේ මම සහ රාජිත අමාත්‍යවරයා විසින් පත් කළ අය බවට චෝදනා ලැබී ඇති සාමාජිකයන් හතරදෙනා පමණයි. 1926 සිට අද වන තුරු මේ විධියට වෛද්‍ය සභාවෙන් කිසිවෙකු ඉවත් කර නැහැ. මේ දේ වුණේ පළමු වතාවටයි. ඉල්ලා අස්වීම් සිදුව තිබෙනවා. මටත් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කළේ මේක නීත්‍යනුකූල නොවන ලෙසයි. කිසිම ඇමතිවරයෙකු මෙතෙක් වෛද්‍ය සභාවේ සභාපතිවරයෙකුට ඉල්ලා අස්වීමට කියා නැහැ.


ඔබ ඇතුළු සාමාජිකයන් සිව්දෙනෙකු ඉවත් කිරීමේ දී එල්ලවූ චෝදනා අතර ERPM විභාගය දිගින් දිගටම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් තිබුණා. මේ ප්‍රමාදයට හේතුව මොකක් ද?


ERPM විභාගය සඳහා අවම සුදුසුකම් තිබිය යුතු බවට නිර්ණය කර තිබුණත් එය මෙතෙක් නීත්‍යනුකූල කර තිබුණේ නැහැ. ශිෂ්‍යයෙක් වෛද්‍ය විද්‍යාව හදාරනවා නම් අවම සුදුසුකම් ලෙස උසස් පෙළ සී 2ක් සහ එස් එකක් තිබිය යුතු බවට මීට වසර දහයකට පෙර තීරණයක් ගෙන තිබුණා. ඒ සම්බන්ධයෙන් ලිපි ලේඛන හා පුවත්පත් දැන්වීම්වලින් ඒ පිළිබඳ ප්‍රචාරය කළත් ඒ පිළිබඳ නීත්‍යනුකූල ලෙස පිළිගත හැකි ආකාරයට අදාළ නීතිමය කටයුතු කර තිබුණේ නැහැ. මේ අතරතුර ඇතැම් ශිෂ්‍යයන් විවිධ රටවල වෛද්‍ය විද්‍යා පීඨවලට ගිහින් වෛද්‍ය විද්‍යාව හදාරනවා. සමහර අය උසස් පෙළ කරන්නේත් නැතිව ඒ රටවලට ගිහින් එහි තිබෙන ඒ හා සමාන විභාගයක් කර හෝ නොකර ආදී නොයෙකුත් ආකාරයට වෛද්‍ය විද්‍යාව හැදෑරීම කරනවා. ඒක එක පැත්තක්. අවම සුදුසුකම් සම්බන්ධයෙන් නීත්‍යනුකූලභාවයක් ඇති කිරීමට 2018 දීත් ගැසට් එකක් නිකුත් කළත් එය පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නැහැ. 2019 දී මම වෛද්‍ය සභාවට පත් වූ පසුත් එය කැබිනට් සම්මුතියකින් එහාට ගියේ නැහැ. මෙවර සෞඛ්‍ය අමාත්‍යවරිය පත් වූ පසු මීට මාස දෙකකට පමණ පෙර එය පාර්ලිමේන්තුවට ගියත් තවම ගැසට් පළකිරීමක් සිදුවී නැහැ.


මේ නිසා අවම සුදුසුකම් නැති අයට අවස්ථාව දෙන්න එපා කියලා සභාවේ කොටසක් කියනවා. ඒ නිසා නීත්‍යනුකූලභාවයක් නැති වුණත් අපි ඒ අයට අවස්ථාව නොදී හිටියා. ඒ වෙලාවේ ඒ ශිෂ්‍යයන්ගෙන් කණ්ඩායමක් උසාවි ගියා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට උසස් පෙළ ප්‍රතිඵල සෝදිසි කිරීමට කිසිදු අයිතියක් නොමැති බවටත් ඒ විදේශ විශ්වවිද්‍යාලය වෛද්‍ය සභාවේ නිර්දේශය ලැබුණු එකක් නම් ඒ අයට විභාගයට පෙනී සිටීමට ඉඩ ලබා දිය යුතු බවට සැප්තැම්බර් මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග ලැබුණා. කොවිඞ් වසංගත තත්ත්වය නිසා ඒ තීන්දුව ලැබීමටත් යම් ප්‍රමාදයක් සිදුවුණා. අපි විභාගය පැවැත්වීමට සූදානමින් සිටියදී මෙම නඩු විභාගයත් තිබූ නිසා එහි ප්‍රතිඵල ලැබෙන තුරු විභාගය නොපවත්වා සිටීමට අපට නීතීඥ උපදෙස් ලැබී තිබුණා. උසාවියෙන් තීන්දුවක් ලැබුණු පසු එය පිළිගැනීමට සිදුවෙනවා. ඒ නිසා ඒ ශිෂ්‍යයන්ට විභාගයට පෙනී සිටීමට ඉඩ ලබාදීමට අපි වෛද්‍ය සභාවේදීත් තීරණය කළා. එතැනදී ඇතැම් අය එයට විරුද්ධ වුණා. නමුත් උසාවි නියෝගයක් නිසා අපිට ඒ තීරණය ගත යුතුව තිබෙන බව මම ඒ අවස්ථාවේ කිවුවා. ඒ වගේම අපි ඒ පිළිබඳ වෛද්‍ය සභාවේ දී ඡන්ද විමසීමක් කළා. උසාවි නියෝගය උල්ලංඝනය වන නිසා ඒ අයට විභාගය ලබා දිය යුතු බවට වැඩි දෙනෙක් කිවුවා. පසුව මේක ප්‍රමාද කරමු කියන දේ සභාවේ වැඩි දෙනෙක් යෝජනා කළා. ඒකට හේතු වුණේ පාර්ලිමේන්තුවෙන් අවම සුදුසුකම් සම්මත වීම ඒ වන විට සිදුවිය හැකි නිසයි. එයත් මේ විභාගය ප්‍රමාදවීමට බලපෑවා. අපට තිබෙන එක චෝදනාවක් වුණේ මේ විභාගය ප්‍රමාද කළේ ඇයි කියන කාරණයයි. ඒකට හේතු තිබෙනවා. එකක් උසාවියේ නඩුවක් අතරතුර විභාගය නොපවත්වන ලෙස ලැබුණු නීති උපදෙස්. අනෙක් දේ කොවිඞ් රැල්ල. අනෙක් දේ සභාවේ වැඩි දෙනෙක් මෙය ප්‍රමාද කරන ලෙස ඉල්ලීමයි. මෙය ප්‍රමාද වීමට හේතු විවිධ බලධාරීන් අපෙන් විමසුවා, ඒකට හේතුත් අපි පැවසුවා. පසුව අපි විභාගය පැවැත්වීමේ දින නියම කළා. අපි පස් දෙනෙකුට තිබුණු එක චෝදනාවක් වුණේ විභාගය ප්‍රමාද කිරීමයි. නමුත් අපි පස්දෙනාගෙන් සමහර අය විභාගය ඉක්මනින් තැබීමට උනන්දු කළ අයයි. මේක අපි පමණක් ගත් තීරණයක් නෙමෙයි. ඒ තීරණය ගත්තේ මුළු මහත් වෛද්‍ය සභාවෙනුයි. ඒ චෝදනාව අනෙක් අයටත් අදාළයි.


වෛද්‍ය විද්‍යාවට හැදෑරීමට සුදුසු විශ්වවිද්‍යාල ලෙස නම් කර තිබූ විශ්වවිද්‍යාල තුනක් වෛද්‍ය සභාවේ වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති බවට පසුගිය කාලයේ චෝදනාවක් එල්ල වුණා. පසුව ඒවා නැවත වෙබ් අඩවියට ඇතුළත් කර තිබුණා. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පිළිගත් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් වන මේ වියවුල මොකක්ද?


වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඇති විදෙස් විශ්වවිද්‍යාලවල සම්බන්ධයෙනුත් අවම සුදුසුකම් අනුව වර්ගීකරණයක් කර තිබෙනවා. ඒ අනුව එම විශ්වවිද්‍යාලය සුදුසුද නැද්ද කියලා තීරණය කරනවා. ඒ ශිෂ්‍යයන් විදේශීය විශ්වවිද්‍යාලවලට යන විට සුදුසු බවට සහතිකයක් ඒ අනුව නිකුත් කිරීම සිදුවෙනවා. ඒ සහතිකය තිබෙනවා නම් ඒ අය ඉගෙනගෙන නැවත පැමිණි පසු ලියාපදිංචි වීමට සුදුසුකම් ලබනවා. එතැනදී උසස් පෙළ අවම සුදුසුකම හා විශ්වවිද්‍යාල නිර්ණායකවලට අනුව පිළිගත් එකක් විය යුතුයි. මේවා සඳහා යම් මුදලක් අය කිරීමකුත් සිදු වෙනවා. ඒ වගේම ඔවුන්ට ERPM (Examination for Registration to Practise Medicine) විභාගයකට මුහුණ දීමටත් සිදුවෙනවා.


විදේශ විශ්වවිද්‍යාලවල පිළිගැනීම සම්බන්ධයෙන් මිම්මක් ලෙස ගන්නේ ගැසට් එකේ තිබෙන විශ්වවිද්‍යාලවල තිබෙන අවම සුදුසුකම් කියන කොටසයි. ඒ සඳහා වෙනම විදෙස් උපාධි කමිටුවක් තිබෙනවා. ඒ විශ්වවිද්‍යාල සුදුසුද නැද්ද කියලා තීරණය කරන්නේ මම නෙමෙයි, ඒ කමිටුවෙන්. ඒ කමිටුවේ හත්අට දෙනෙක් ඉන්නවා. වෘත්තීය සංගම්වල නියෝජිතයනුත් ඉන්නවා. මෑතකදී ගැසට් එකේ අවම සුදුසුකම් නිර්ණායක සමග සසඳද්දී වෛද්‍ය විද්‍යාල කීපයක් සුදුසු නොමැති බව පෙනුණා. ඒ නම් අපි වෙබ් අඩවියෙනුත් ඉවත් කළා. ඒ අවස්ථාවේ දේශපාලන බලපෑම් ඇති කර ඒවා නැවත ඇතුළත් කරන ලෙස පැවසුවා. ඒක කමිටුවේ ගත් තීරණයක් නිසා නැවත ඒවා ඇතුළත් කරනවා නම් කමිටුවේම සාකච්ඡා කර තීරණය ගත යුතු බවට මම එම දේශපාලන බලපෑම්වලටත් පිළිතුරු දුන්නා. චෝදනා කරන වෘත්තීය සංගම්වල සාමාජිකයනුත් කමිටු තීරණ ගැනීම්වලදීත් හිටියා. කමිටුව පසුව සාකච්ඡා කළ අවස්ථාවේත් ඒවා නැවත ඇතුළත් කළ නොහැකි බවට තීරණය වුණා. පසුව ඒවා නැවත ඇතුළත් කරන ලෙස ඇමතිවරිය මට ලිඛිතවත් දන්වා සිටියා. එවරත් ඒවා ඇතුළත් නොකිරීමට කමිටුව තීරණය කළා. ඒ තීරණවල වෘත්තීය සංගම්වල අයත් හිටියා.

පසුව ඒ විශ්වවිද්‍යාල තුන නැවත ඇතුළත් කරන ලෙසත් අපිව රැස්වීමකට කැඳවා ඇමතිවරිය කිවුවා, අවසන් තීරණය දිය හැකි වන්නේ ඇමතිවරියට බවත් කිවුවා. ඒවා සම්බන්ධයෙන් අමාත්‍යවරියට තීරණයක් ගැනීමේ අවසන් අයිතිය ඇති නිසා ඒ ඉල්ලීම මත ඒ නම් තුන වෙබ් අඩවියට එකතු කළා. පසුව නැවත වරක් වෘත්තීය සංගම්වල අයත් සමග ඒ කමිටුවම එම විශ්වවිද්‍යාල සියල්ල සම්බන්ධයෙන් ගැසට් එක සමග සසඳා බැලීමෙන් පසුව නැවතත් පෙර තීරණයටම පැමිණියා. මොකද ඒක වෙනස් කරන්න බැහැ, ගැසට් එකේ නිර්ණායක මත නම් ඒවා අනිවාර්යයෙන් ඒවා ඉවත් වෙනවා. ඒ වාර්තාව අවසන් තීරණය සඳහා ඇමතිවරියට ඉදිරිපත් කළා. මාස දෙකක් වුණත් කිසිදු පිළිතුරක් ලැබුණේ නැහැ. ■