ආරියවංශ අබේසේකර

උත්සව වූ කලී මනුෂ්‍ය සමාජයන්හි පැවැත්මට අවශ්‍ය අනිවාර්ය මානුෂික ක‍්‍රියාකාරකම් අතරින් සුන්දරතම එකකි. සුවිශේෂ ආහාර පාන, නව වස්ත‍්‍රාභරණ, විනෝද ක‍්‍රීඩා උත්සවයන්හි අනිවාර්ය අංගයෝ වෙති. ආදි කාලීන ගෝත‍්‍රික සමාජයන්හි සාමාජිකයින් ඉතා හොඳ ආහාර වේලක් ලැබුණු දිනෙක රාත‍්‍රියෙහි පොදු ගිනිමැලය වටා කමින් බොමින් කළ නැටුම් හා ගායනා කළ ගී තුළින් නිපන්නේයැ’යි විශ්වාස කළ හැකි මේ මනුෂ්‍ය ක‍්‍රියාව එදා පටන් අද දක්වා ඛාද්‍ය භෝජ්‍යාදියෙන් සහ නැටුමින් ගැයුමින් ජීවිතය සුන්දරත්වයට පත්වන ක‍්‍රියාවලියකි. උත්සව රහිත මනුෂ්‍ය සමාජයක් මිහි මත පවතිතැයි සිතිය නොහැකිය. මේ අහිංසක මානුෂික ක‍්‍රියාවට කිසිවෙකු හිතා මතා අකුල් හෙළන්නේ නම් ඔවුන් සමාජ ද්‍රෝහීන් යන පදයෙන් ඇමතිය යුත්තන් මිස මහත්වරුන් නම් නොවේ.

‘බර මාසේ තෙර පූජා’ හෙවත් මාස දොළහට උත්සව දහතුනක් පවත්වන අසල්වැසි ඉන්දියාව හා සසඳා බලන කල ලංකාව ලෞකික උත්සව අඩු රටකි. ආගමික උත්සව ගණනාවක් සහිත වුවත් බහුතර ලාංකිකයාට ඛාද්‍ය භෝජ්‍ය, කෙළි සිනා සහිතව සැමරිය හැකි උත්සවයකැයි කිව හැකිව ඇති දෙයකට ඇත්තේ සිංහල දෙමළ අලූත් අවුරුද්ද පමණය. එය ද විවිධ සංස්කෘතික ක‍්‍රියාකාරකමින් වට්ටෝරු ගත කොට ඇත්තේ අවුරුද්දේ එක් දිනෙක හෝ නිදැල්ලේ ගලා යා යුතු ජීවිතයේ සුන්දර විඳීම් කිසි කමකට පලකට නැති ජ්‍යොතිෂය ඇඟිලි ගැසීම් විසින් සීමා කරනු ලැබ ඇත්තේය. ඉතින් එය ද කිසියම් පිරිසක් විසින් සංවිධාන ගතව අහිමි කරනු ලබන්නේ නම් ඒ පිරිස් මනුෂ්‍යත්වයට නිගා කරන්නන් හෝ ‘හිඟන්නන්ගේ පාත්තරයට කඩා පැන්න හෙනහුරන්’ මිස පාලකයින් හෝ නායකයින් නම් නොවන්නේමය.

කොවිඞ් වසංගත බිය හේතුවෙන් පසුගිය වසරේ කිසිදු ලෞකික හෝ අලෞකික උත්සවයක් පැවැත්වීමට ලාංකිකයාට හැකිවූයේ නැත. ගිය වසර හා සසඳන කල වසංගතයේ වැඩියක් මිස අඩුවක් නොපෙන්වතත් මේ වසරේ ජාතික උත්සවයන් මතු නොව, විවාහ මංගලාදී උත්සවයන් පවා පැවැත්වීම සඳහා අසීමිත ලිහිලක් ලබා දීම වංසගතයට මුහුණදීමේ තම අසමත්භාවය වසංගා ගැනීම සඳහා ආණ්ඩුව අටවන ලද උගුලක් මිස රටේ මිනිසුන්ගේ මානුෂීය අයිතීන් සහ අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන දක්වන ලද අනුග‍්‍රහයක් නම් නොවේ. එහෙත් කවරදාත් පොදු මිනිසුන්ගේ අයිතිවාසිකම් නොතකන ලාංකීය දේශපාලනයේ යටි දර්ශනයන් විසින් 2021 සිංහල දෙමළ අලූත් අවුරුද්ද විෂ පාත‍්‍රයක් බවට පත් කොට තිබේ. එක්තරා අන්දමකින් එය අපට සොක‍්‍රටීස් අතට දෙන ලද හෙම්ලොක් විෂ පාත‍්‍රය සිහියට නංවයි.

සිය පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර අවධානයෙන් යුක්ත රාජ්‍ය ආයතනයන් පිහිටුවා ඒවායේ ක‍්‍රියාකාරිත්වයන් පිළිබඳව නිරන්තර අවදානයෙන් යුක්තවීම ලෝකයේ සෑම ශිෂ්ට රටකම පාලනතන්ත‍්‍රයේ පරම වගකීමකි. කිසියම් පුරවැසියෙකුට සොර සතුරන්ගෙන් මතු නොව, සොබා දහමින් හෝ මානසික රෝගීන්ගෙන් වුව ගැහැටක් වන්නේ නම් පවත්නා රජය සහ අදාළ රාජ්‍ය ආයතන එහි වගකීම භාර ගත යුත්තේය. එහෙත් ලංකාව ඉතිහාසයේ කවර දිනෙකවත් එතරම් ශිෂ්ටත්වයක් පෙන්වා නැත. මේ රටේ සොබාදහමින් හෝ වනසතුන්ගෙන් ලාංකිකයන්ට පැමිණෙන අතරවර කෙළවරක් නැත. එහෙත් ලංකාවේ පැවති සහ පවත්නා ආණ්ඩු වලට ඒ පිළිබඳ වගේ වගක් නැත. එමතුද නොව, ඉන් බොහෝවකට හේතු ප‍්‍රත්‍යයන් ගොඩනඟා ඇත්තේ ද ආණ්ඩු හෝ ආණ්ඩු කරවන්නන්ගේ ඥාති මිත‍්‍රාදීන්ය. මෙවන් පාලකයන් විසින් සෙව්නා රටක රට තුළ නිෂ්පාදනය කෙරෙන හා පිටතින් ගෙන්වන ආහාර පානයන්හි සෞඛ්‍යාරක්ෂිතභාවය පිළිබඳ අටුවා ටීකා කුමටදැ’යි කිසිවෙකු අසතහොත් එය පුදුමයට කාරණයක් නම් නොවේ. එහෙත් භාණ්ඩයන්හි යෝග්‍යතාව පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයන්හි නිරත වීම සඳහා ම මහජන මුදල් වියදම් කොට ගොඩනඟා පවත්වාගෙන යන ආයතනයක ප‍්‍රධානීන්ගේ මුවින් ම මහජන පරිභෝජනයට නුසුදුසු දෑ සපයන වෙළෙන්ඳන්ගේ සහ නිෂ්පාදන ආයතනයන්හි සුවය සහ පැවැත්ම ප‍්‍රාර්ථනා කෙරෙන ප‍්‍රකාශයන් නිකුත් වන්නේ නම්, එවන් ප‍්‍රකාශ නිකුත් වූ පසුවත් ඔවුන් එම ආයතනයන්හි ම ලග්නව සිටින්නේ නම් ඒ රටේ පාලකයන් සහ පාලන ඉරියව් පිළිබඳව අලූතින් යමක් කිව යුතු නොවේ.

ලංකාවේ බහුතරයක් දෙනා විසින් සමරනු ලබන සිංහල දෙමළ අලූත් අවුරුද්ද පිළිබඳ පනිවිඩය රැගෙන කොහා සම්ප‍්‍රාප්ත වන්නේ මෙවන් පසුබිමක් තුළටය. උත්සව සමයේ හැම නිවෙසකම ආහාර හා රසකැවිලි තැනීමේ අනිවාර්ය අමුද්‍රව්‍යයක් වූ පොල්තෙල් විෂ සහිත වන බව ඔප්පු වූයේ ඒ පිළිබඳ මහජන මතයක් නිර්මාණය වූ පසුව කරන ලද පර්යේෂණයන්හි ප‍්‍රතිඵලයක් වශයෙන් මිස, එම අශුද්ධ තෙල් විදේශයන්ගෙන් ආනයනය කළ පසු ප‍්‍රමිති ආයතනයන් විසින් අනිවාර්යයෙන් කළ යුතු වූ තත්ත්ව පරීක්ෂාවන්හි ප‍්‍රතිඵලයක් වශයෙන් නොවන කල ලාංකීය මහජන මුදලින් ප‍්‍රමිති ආයතනයක් පවත්වා ගෙන යන්නේ කුමටදැයි වටහා දිය හැකි කෙනෙකු වෙත් නම් මේ ඔවුනට කාලයයි.

රුපියලේ බාල්දුවත් දේශීය කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ පවත්නා අවුල්සහගත බව සහ සහල් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ පවත්නා ඒකාධිකාරීත්වයත් නිසා ඇතිව ඇති ආහාර ද්‍රව්‍යයන්ගේ මිල අහස උසට ඉහළ යෑම් උක්ත විෂ පොල්තෙල් සමග එක් වූ කල ලංකාවේ සිංහල දෙමළ අලූත් අවුරුද්ද සමරණ ජනතාවට කෘමිනාශක බෝතලයක් මිලට ගෙන එයින් අලූත් අවුරුද්ද සැමරීම වඩාත් වාසිදායකය. මක්නිසාද සුරයින් සහ අසුරයින් එක්ව අමරණීයත්වය ලබා ගැනීම සඳහා අමාව පතා කිරි සයුර කළඹන විට අමාවට පෙර සුරාව සමග විෂ පාත‍්‍රයකුත් කිරි සයුරින් මතු වූ බැවිනි.

ජාතිවාදී සුරාවෙන් මත්ව අමාව පතා වර්තමාන ආණ්ඩුව වැනි පාලන ඒකකයක් පිහිටුවා ගත් ජනතාවකට මේ අතරමැද වූ විෂ එතරම්ම නරක දෙයක් ද විය නොහැකිය.