ඍණ ආර්ථික වර්ධනයක් සහිත ලංකාවේ ආර්ථිකය ඉදිරීයේදී 6% ක ආර්ථික වර්ධනයක් දක්වා නැංවීමට මෙවර අයවැයේ ප්‍රධාන ඉලක්කයක් ලෙස දැක්වෙයි. මේ සඳහා මුදල් ඇමතිවරයා යෝජනා කරන්නේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමය. එමඟින් රටේ 6% ක ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැකිය. දැනට ජාතික ආදායමෙන් 90% ක් රාජ්‍ය ණය ගෙවීමට වැයවෙයි. එය 70% කට අඩු කිරීම තවත් අපේක්ෂාවකි. 6% ක ආර්ථික වර්ධනයක් ඇතිකරගත හොත් ජාතික ආදායමෙන් කරන ණය ගෙවීම් අපේක්ෂිත ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රතිශතයකට ගත හැකිය. ප්‍රශ්නය වන්නේ අපේක්ෂාව හොඳ වුවත් අයවැය යෝජනා තුළ මුදල් උපයන පැහැදිලි මාර්ග දක්නට නොවීමය.


දේශීය ආර්ථිකය නංවන මාවතකට අයවැය ප්‍රවිශ්ට කරවීම වැරදි නැත. එය න්‍යායිකව නිවැරදි වන්නේ කිරි ආහාර, බතික්, මැටි, පිත්තල වැනි විෂයයන් සඳහා අමාත්‍යාංශ විෂ්‍ය පථ ඇතිකර තිබෙන තත්ත්වය තුළය. කෘෂි කර්මාන්තයට හා කිරි ආහාර නිෂ්පාදන විෂයෙහි බදු අවම කර තිබීමද ඒ සඳහා දිරි දීමකි. එහෙත් ප්‍රශ්නය වන්නේ ඒවායින් ජාතික ආර්ථිකය නැංවීමට නොහැකි වීමය. එම ග්‍රාමීය කර්මාන්ත සියල්ලම පාහේ එදාවේල උපයා ගැනීමට සරිලන, දැනටත් එම ප්‍රාථමික අවදියේම තිබෙන නිෂ්පාදන මාර්ගය. කිරි නිෂ්පාදනය ඉහළ තලයකට ගෙන ඒමට නම් ඉන්දියාව කිරි විෂයේදි කටයුතු කරන ආකාරයට ක්‍රියා කළ යුතුය. අප ආනයනික කිරි පිටිවලින් යැපෙන මානසිකත්වයෙන් තවම විතැන් වී නැත. විතැන් වීමට නොහැකිව තිබෙන්නේ දේශීය නිෂ්පාදන වලට ඉල්ලුමට සාපේක්ෂව සැපයුමක් කළ නොහැකි නිසාය. දියර කිරි පානය කරන ළමා හා නව යොවුන් පරපුරක් ලංකාවේ නැත. ලංකාවේ සිටින්නේ දියර කිරි පානයට කැමැත්තක් දක්වන වැඩිහිටි පරපුරකි. මුදල් ඇමති ඇතුළු මේ රටේ නායකයන් දේශීයත්වය දේශපාලන උපායක් ලෙස පමණක් ගන්නා අතර ඒවා සැබෑවට අභ්‍යාස නොකිරීමේ වරදට ජාතියට මෙන්ම නායකයන්ටත් වන්දි ගෙවීමට සිදුවෙමින් තිබීම දේශීය චින්තනය වේෂයෙන් රටේ තිබෙන අවපැහැ චිත්‍රයෙන් පෙනේ.


මීළඟ ප්‍රශ්නය වන්නේ ලංකාව උපයන ප්‍රමාණය මෙන් දෙගුණයක් වියදම් කිරීමය. සැබැවින්ම අය වැය පරතරය දෙගුණයකටත් මදක් වැඩිය. වියදම් සීමා කරන ක්‍රමයක් මෙන්ම ආදායම් වැඩිකරගන්නා ස්ථාවර ක්‍රම රටට අවශ්‍යය. රටට ගොඩ යාමට නම් ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයකට අත ගැසිය යුතුය. කර්මාන්ත ආර්ථිකය දියුණු කිරීම එහිදී වැදගත් වෙයි. අනෙක් අතින් සේවා ආර්ථිකය නැංවිය යුතුය. අනෙක සා.පෙළට පහළ අධ්‍යාපනයක් ලැබූ, අඩු ආදායම්ලාභි පවුල් වල ලක්ෂයකට රැකියා දීම වැනි කටයුතු වලදී ඍජු ඉපැයීමක් ඔවුන්ගෙන් රටට නොලැබේ. ඔවුන් සේවා ආර්ථිකයකට යොමු කිරීම විකල්පයන් ලෙස කළ හැකිය. අනෙක් අතින් එම පිරිස පුහුණු ශ්‍රමිකයන් බවට පත් කළ හැකිය. එවැනි පුහුණු වැඩසටහනක් අයවැය යෝජනා තුළ දැක්වෙයි. සැබැවින්ම කොවිඞ් වැනි හදිසි තත්ත්වයකදී රැකියා අහිමිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ නුපුහුණු ශ්‍රමිකයන් වීමය. කොවිඞ් වලින් පසුව සංක්‍රාම ආදායම තව නැංවීමටද මෙම පුහුණු ශ්‍රමිකයන්ගේ සේවය ලබාගත හැකිය. උපාධිධාරින් බඳවා ගැනීමේ වැඩසටහනේදී තොරතුරු තාක්ෂණය ඔවුන්ගේ පුහුණු විෂය පථයන්ට ඇතුළු කොට රාජ්‍ය සේවය දෙස නවමු ඇසකින් බැලීමට ජනපති ක්‍රියා කරන බව ප්‍රකාශ කර තිබුණත් එසේ වන බවත් නොපෙනේ.


රුපියල් 4000/= ශිෂ්‍යාධාරයක් වෘත්තීය පුහුනුව ලබන සිසුන්ට ලබාදීම හා වතු කම්කරු දෛනික වැටුප රු: 1000/= ක් බවට පත් කිරීම වැදගත් කර්තව්‍යයන්ය. අනික් අතට සමෘද්ධිලාභීන්ට 7% ක ණය සහනය මතු පිටින් සහනයක් යැයි පෙනී ගියත් සමස්ත සමෘද්ධි වැඩසටහනම දුප්පත්කම තවදුරටත් නඩත්තු කරන වැඩසටහනක් බව ඔප්පු වී තිබියදීත් එම සහනයෙන් ප්‍රතිලාභයක් අත්විය නොහැකිය. අයවැයෙන් මෙන්ම ආණ්ඩුව හැමවිටම පොඩි මිනිසාගේ ජීවිතය ප්‍රතිෂ්ඨාපනය ගැන කතා කළත්, සිදු නොවන්නේද එයමය. නිරෝධායන නීති නිදසුනකට ගතහොත් ඒවා පිළිපැදිය හැක්කේ ඉහළ මධ්‍යම පන්තියටය. පහළ මධ්‍යම පන්තියටත් අසීරුය. බිම් මට්ටමට කෙසේවත් කළ නොහැකිය. එබැවින් ඔවුහු දෛනික කුළියක් සොයාගෙන අගුලු ලූ ප්‍රදේශවලින් පළායති. ඉහළ මධ්‍යම පන්තියට සුපර්මාර්කට් වලින් ඇනවුම් කර බඩු භාණ්ඩ ගෙන්වාගත හැකිය. අයවැයේ තිබෙන්නෙත් පොඩි මිනිහා පිළිබඳ එම ව්‍යාජයම මිස වෙනකක් නොවේ. ආණ්ඩුවට ලොකු ආර්ථික සැලසුම් නොමැති නිසා සමස්තයම පොඩි මිනිහාට කේන්ද්‍ර ගත කළ බව කියයි. රජයේ රැකියාවල නියුතු වුවන්ට ආර්ථික අර්බුදය නිසා වෙනත් රැකියාවලට යාමට ඉඩදීමෙන් ප්‍රකාශ වන්නේ ආණ්ඩුවේ හදවතේම ඇතිවී තිබෙන අරාජිකත්වයයි. රාජ්‍ය සේවය අකාර්යක්ෂම වී තිබියදී, එවැනි තීරණයකින් රාජ්‍ය සේවය තවදුරටත් අකාර්යක්ෂම වීමේ අනතුරක් තිබේ. අයවැය යෝජනා එක දේකට සමාන වෙයි. ඒ එපා වාහේට හොදි බෙදීමටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here