විමලනාත් වීරරත්න



ලංකාවට ඕනෑ හෝසේ ආකේඩියෝ බුඑන්ඩියා වැනි තාත්තා කෙනෙකි. ඌර්සුලා ඉගුවේරන් වැනි ඉතිහාසයේ සෑම කරුණකටම සාක්ෂ්‍යය දරන අම්මා කෙනෙකි. ඒ දෙදෙනාම අපට හමුවන්නේ ගාර්ෂියා මාකේස්ගේ දබැ යමබාරුා හැ්රි දf ිදකසඑමාැ නමැති කෘතියෙනි. ලංකාව මුහුණ පා සිටින්නේ සියවසක හුදෙකලාවට පෙර අවදියකටද? ඊට පසු අවදියකටද යන්න තීරණය කර ක්‍රියා කළ යුතු අවදියකට පුරවැසියෝ පත්ව සිටිති.


සියවසක හුදෙකලාව කෘතිය ඇරඹෙන්නේ මෙසේය. “වසර බොහෝ ගණනකට පසු වෙඩික්කරුවන්ට මුහුණ දී සිටියදී සිය පියා අයිස් සොයා ගැනීම සඳහා තමන් කැටුව ගිය ඒ දුරස්ථ සන්ධ්‍යාව කර්නල් අවුරේලියානෝ බුඑන්ඩියාට සිහිවිය. (පරිවර්තනය – සාගර විජේසේන) අවුරේලියානෝගේ පියා හෝසේ ආකේඩියෝ බුඑන්ඩියාය. මැකොන්ඩෝව නම් ගමට නූතනත්වය ආරෝපණය කිරීමට ප්‍රථම වෑයම දරන්නේ ඔහුය. ඌර්සුලා මෙම ප්‍රයත්නයෙහි පදනම් භූමිකාව නිරූපණය කරන්නීය.


ලංකාවට බුඑන්ඩියා වැනි පදනම් නායකයකු සොයාගත නොහැකිද? අප හැමදාම කළයුත්තේ රාජපක්ෂලාට, වික්‍රමසිංහලාට හා ප්‍රේමදාසලාට අනාගතය භාරදී ඔවුන් වගකීම් විරහිතව ක්‍රියා කරන විට දෙස් දෙවොල් තබමින් සිටීමද? අපට රාජ්‍ය පාලකයා පිළිබඳව අලුතින් සිතිය නොහැකිද? අයිස් සොයා ගැනීම මැකොන්ඩෝවේ ඉතිහාසය වෙනස් කළ පීතෘ සිදුවීම් නම් අපට අයිස් සොයා ගැනීම බඳු පීතෘ සංසිද්ධියක් සාක්ෂාත් කරගත නොහැකිද? ප්‍රශ්නය වන්නේ එය කරන්නේ කවුද? කෙසේද? යන්න විය හැකිය. බිත්ති හතරක් ඇතුළත ඉඳන් චින්තනය අකුරුවලට නැගිය හැකි වුවත් චින්තනය බිහිවූයේ බිත්ති හතරක් මැද නොවේ. බාහිර සමාජයේ අත්දැකීම්, දැනුම, ජනශ්‍රැතිය සංස්කෘති පරිණාමය උපස්ථම්භක කරගෙනය. ඉදින් අයිස් සොයා ගැනීමට නම් පළමුව දුර ගමනකට පිළිපන්ව සිටිය යුතුය. චින්තනය අවශෝෂණය කරගැනීමට සිදුවන්නේ එම පරමාර්ථය වෙතටය.


අයිස් ගැසීම


ලංකාවේ නායකයන් කරන්නේ අයිස් සෙවීම වෙනුවට අයිස් ගැසීමය. රට මුහුණ පා සිටින කප්පරක් වූ ප්‍රශ්න කන්දරාවෙන් මුදවා ගතහැකි නව සමාජ ආර්ථික හා සංස්කෘතික වැඩපිළිවෙලක් රටට අවශ්‍යය. කිසිදු දේශපාලන පක්ෂයක් ඒ ගැන ගැඹුරින් සාකච්ඡා කරන බවක් පෙනෙන්නට නැත. කවුරුත් සාකච්ඡා කරන්නේ දෛනික දේවල්ය. ඇමති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට අත්වන ඉරණම බොහෝ දෙනෙක් මුල සිටම දැන සිටියහ. පොජපෙ ලේකම්වරයා ඉතා අවංකව ස්වාධීනව සිතා මතා කැබිනට් ඇමතිවරයෙකුට ඉවත්වීමට නොකී බව මෝලෙන් ඇන කීවත් නොතේරෙන මෝල්ලුන්ට විශ්වාසභංගයට ඡන්ද විමසීමේදීවත් තේරුණාදැයි හරියටම කිව නොහැකිය. පොජපෙ ලේකම්, තෙල් මිල වැඩි කළදාට පසුදා එවැනි ලිපියක් ලියන්නට ඇත්තේ පක්ෂයේ සැලසුමක් පරිදිය. ගම්මන්පිල ඉවත්විය යුතු වට පොජපෙ ලේකම් තනියම සිතා මතා ලිපිය ලිව්වා නම් ඔහු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දිය යුතුව තිබුණි. සැබැවින්ම මෙවැනි පජාත සැලසුම් ගැන සාකච්ඡා කිරීමත් කාලය කා දැමීමකි. එහෙත් මෙවැනි සැලසුම්සහගත රංගන නොතේරෙන ජනතාවක් ලංකාවේ සිටින නිසා යම්තාක් දුරකට හෝ ඒවා ගැන වද වෙන්නට සිදුවෙයි. බැසිල් පාර්ලිමේන්තු පැමිණි සැණින් තෙල් මිල අඩු කරන බව ආණ්ඩුවේ කිහිප දෙනෙක්ම කීහ. බැසිල්ගේ මහප්පලා එසේ කියා තිබුණත් බැසිල් කියා තිබුණේ එසේ කළ නොහැකි බවය. ජනතාව තවදුරටත්, අයිස් සොයන්නට කියන්නේ මෙවැනි නායකයන්ටද?


ජනාධිපතිවරයාගේ ප්‍රථම ධුර කාලයේ වසර දෙකක් ගතවීමටත් මත්තෙන් ඔහුට සිය දෙවැනි ධුර කාලය මතක් වී තිබුණි. හොම්බ බිම ඇනී සිටියත් ජනතාව තවදුරටත් කල්පනා කරන විදිය අනුව නම් ගෝඨාභය මහතාට ඊළඟ ජනාධිපතිවරයෙනුත් දිනිය හැකිය. ජනාධිපතිවරයා දැන් කල්පනා කළයුත්තේ දෙවැනි ධුර කාලය ගැන නොව, පළමු ධුර කාලය තුළ නායකයකු ලෙස තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම් සමුදාය ඉටුකිරීම ගැනය. අධ්‍යාපනය සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය වැනි රටේ අනාගතයට හා ඍජුවම ජන ජීවිතයට බලපාන ප්‍රශ්න මුළුමනින් අවුල් ජාලයක්ව තිබේ. ඒවා ගැන විසඳුම් පෙනෙන මානයක නැත. පාසල් දහදාහකට වැඩි සංඛ්‍යාවකට අන්තර්ජාල පහසුකම් සැලසූ බව ජාතිය ඇමතීමේදී ජනාධිපතිවරයා කියා තිබුණි. ඒවා ගල් පැලෙන ප්‍රබන්ධය. අධ්‍යාපනය සහ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කරන පිරිස් අනියමින් සිරගත කර දඬුවම් පමුණුවන ක්‍රමයක් වත්මන් ජනපතිගේ පාලන සමයේ ගොඩනැගී තිබේ. වගා කිරීමට පොහොර නැත. ඇමතිවරු තරගයට බොරු කියති. ගොවීහු ගොවිකම් කිරීමට වඩා උද්ඝෝෂණය කරති. වල් අලින්ගෙන් වගාවට සිදුවන හානි එමටය. මේ වනවිටත් අලි ප්‍රහාරවලින් සැලකිය යුතු පිරිසක් මියගොස් ඇත. වර්තමානයේ ලංකාවේ තිබෙන්නේ නිසි ප්‍රමිතියෙන් අලි වැටක් සක්‍රීය කරගත නොහැකි ආණ්ඩුවකි. අලින්ගෙන් වගා බිමක් ආරක්ෂා කර දිය නොහැකි ආණ්ඩුවක් රට ආරක්ෂා කරන බව කියයි. මේවා ගැන ජනයා අවිචාරවත්ය. ඇමතිවරු ගුරුවරුන්ට කාලකණ්ණි කියති. ඔන්ලයින් අධ්‍යාපනය සඳහා එක් ගුරුවරයෙක් ප්‍රමාණවත් බව අඩ ඇමතියෙක් කියා තිබුණි. මෙවැනි අලකලංචි කන්දරාවක් තිබියදී ඒවා ගැන ජනපති නිර්වින්දනය වූ අයුරින් ක්‍රියා කරයි. ඔහු මගට යනවිට මග කාපට් කර තිබේ නම්, මල් වවා අසරණයන් එලවා දමා, අත වනන පිරිසක් සූදානම් කර තිබේ නම් ජනපති දකින්නේ කේතුමතියකි. එහෙත් ලංකාව රිම් එකෙන් ගොස් රිම් එකත් හිල්වී ඇති රටක් බව වයස අවුරුදු 73ක අත්දැකීම් ඇති වැඩිහිටියකු වන ජනපතිට අවබෝධයක් තිබිය යුතුය. පාලකයන් කරන බොරුව නොදකින ජනතාවක් සිටින සමාජයක් ලංකාවේ තිබීම පාලකයන්ගේ වාසනා මහිමයකට සිදුව තිබෙන්නකි.


බිංදුවේ උගත්තු


ලංකාවට නව යුගයක් උදා කිරීමට උගත් තරුණ පිරිසකට නොහැකිද? ජූලි 20 වැනිදා බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කීවේ ගම්මන්පිල ඔහුගෙන් ඉගෙන ගෙන උසස් පෙළට .්. සාමාර්ථ තුනක් ලබා ඉහළින්ම විභාගය සමත් වූවකු බවය. එහෙත් එවැනි උගතුන්ගෙන් රටට ප්‍රයෝජනයක් නැති බව ඒ සමගම කිව යුතුව ඇත. ඔහු විෂය භාර ඇමති ලෙස සිය වගකීම පැහැර හැර ඇති බව පැහැදිලිය. තෙල් මිල ස්ථායිකරණය සඳහා අරමුදලක් පිහිටුවා ඇති බව ඔහු වේලාසනම කියා තිබුණත් එය විදුලිබල මණ්ඩලයේ තෙල් මිලදී ගැනීම් හා භාණ්ඩාගාර බිල්පත් සඳහා වැය කර ඇති බව හෙළිවූයේ තෙල් මිල ඉහළ දැමීමෙන් පසු උද්ගත වූ අර්බුදයත් සමගය. තමා යම් මොහොතක අමාරුවේ වැටෙන්නට ඉඩ ඇති බව දැන අඩුම තරමින් ඇමතිවරයා ඒ ගැන කිසියම් හෝ විමසීමක් ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් කරන්නට තිබුණි. ඔහු එසේ කර, නායකයන් හිතුවක්කාරී පිළිතුරකුත් ලබාදී තිබුණේ නම් ඇමති ඒ බව ජනතාවට කිව යුතුය. බන්දුල කියන වර්ගයේ උගතුන්ට නැත්තේ එම අවංකකමය. එම කශේරුකාවය. ගම්මන්පිල උගතා ක්‍රියා කරන්නේ හුදෙක් තනතුර හා වරප්‍රසාද පිළිබඳ මඬනා ලද හැඟීමෙන් නම් එවැනි උගතුන්ගෙන් රටට ප්‍රයෝජනයක් නැත. ගම්මන්පිල නම් වූ බන්දුලගේ උගතා විශ්වාසභංගයෙන් දිනුවේ හරියටම ආණ්ඩුවේ සැලසුම ක්‍රියාත්මක කළ නිසාය. සැබැවින්ම ඔහු දිනුවේ ජූලි 20දා නොව තෙල් මිල වැඩි කළ දවසේය.


අයිස් සොයා ගැනීම


මේ ආකාරයට කුප්‍රකට ක්‍රියා නොකරන පිරිසක් අප රාජ්‍ය පාලනය සඳහා සොයා ගන්නේ කෙසේද? කවර මට්ටමේ තරුණ උගතෙකුට වුව රාජපක්ෂලා හා වික්‍රමසිංහලා සමග දේශපාලනය කිරීමට ගියහොත් ඉහත වෙට්ට පිත්තල ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියාකිරීමට සිදුවනු ඇත. ඊට ප්‍රතිපක්ෂව කෙළින්ම ජවිපෙ ලැයිස්තුවට ගියහොත් තක්කඩි නාමය ගාවා නොගෙන ජවිපෙ මන්ත්‍රීවරුන් සේ ම අවංක ප්‍රතිපත්ති දැරිය හැකිවනු ඇත. එහෙත් ප්‍රශ්නය වන්නේ එම ව්‍රතය රටක් වෙනස් කිරීම සඳහා ප්‍රමාණවත් නොවීමය. ජවිපෙ වැනි පක්ෂයක් උගතුන් කලකාරුවන් එකතු කරගන්නේ හුදෙක් පක්ෂයට බහුජන හැඩය ලබාගනු පිණිසය. එය වැදගත් ප්‍රයත්නයකි. ප්‍රශ්නය වන්නේ එසේ හැඩය වෙනස් කිරීමෙන් රට වෙනස් කිරීමට බලයක් නොලැබීමය. ජවිපෙට මේ මොහොතෙහිත් බන්දුලගේ උගතා මෙන් කුප්‍රකට සැලසුම්වල කොටස්කරුවන් නොවන සැබෑ තරුණ උගත්තු සිටිති. මහැදුරු සුනිල් සෙනෙවි, මහැදුරු අමරකීර්ති, ආචාර්ය හරිනි එහි ප්‍රමුඛයෝය. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, වමේ උගතුන්, කලාකරුවන් මෙන් ම සාහිත්‍යධරයන් ජවිපෙට මනරම් බහුජන හැඩයක් එක් කරනු පෙනේ. මේ කවුරුත් පක්ෂයේ අනන්‍යතාවට යටත් කොට කැරෙන දේශපාලනයට දැන් තිත තැබිය යුතුය. ගෝර්කි බොල්ෂෙවික් පක්ෂයේ අනන්‍යතාවට යටත්ව ක්‍රියා කළ යුගය මෙන්ම සුසමාදර්ශය දැන් අවසන් කළ යුතුව ඇත. එමෙන්ම වර්තමාන වමේ ව්‍යාපාරය තම අතීත පූර්වාදර්ශ ගෙඩි පිටින් ගැනීම දැන් නතර කළ යුතුව ඇත. තරුණ උගතුන්ගෙන් සමන්විත, ඔවුන් ප්‍රමුඛත්වය ගත් ලිබරල් දේශපාලන ව්‍යාපාරයක් දැන් රටට අවශ්‍යය. නූතනත්වය හෙවත් අයිස් සොයා යන මැකොන්ඩෝවක් බවට ලංකාව පත් කළ හැක්කේ නව චින්තනයකින් හෙබි පරපුරකටය.
සමගි ජනබලවේගය සමගත් රංචු ගැසීමට යන තරුණ උගතුන් පිරිසක් සිටිති. ජවිපෙ සමග යන උගතුන්ට ඊට අවශෝෂණය වී හෝ ජාම බේරාගත හැකි වුවත් සජබ සමග පෙම් කෙළින උගතුන්ට නම් නැටි කඩාගෙන මිස බේරෙන්නට නොහැකිය. ඒ ලංකාවේ දක්ෂිණාංශයේ හා වම යනුවෙන් බොරුවට හඳුන්වන රාජපක්ෂලාගේ දක්ෂිණාංශයේ ස්වභාවයය. එබැවින් රටේ අවංක වෙනසක් පතන, හෝසේ ආකේඩියෝ බුඑන්ඩියා මෙන් අයිස් සොයා යන බුද්ධිමතුන්ගේ වගකීම වියයුත්තේ පක්ෂ නමැති පටු වළෙහි නොවැටී නව දේශපාලන සංස්කෘතියක් සඳහා කැපවීමය. ඒ සඳහා දුර විහිදෙන සංවාදයක් ඇති කිරීමය.


දේශපාලන පක්ෂයක රාමුවෙන් එපිටට ගොස් තරුණ උගතුන්ට මෙවැනි සාකච්ඡාවක් කළ හැකිද? කළ හැකි වුවත් එය ප්‍රායෝගික වන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙහිදී පැන නැගිය හැකිය. මීළඟ ජනාධිපතිවරණයේදී ගෝඨාභය මහතා දිනුවත්, සජිත් ප්‍රේමදාස දිනුවත් ජනතාව බිහිසුණු උගුලකට හසුවනු විනා වෙනත් යමක් සිදුවන්නේ නැත. අනුර දිසානායකට දිනීමට හැකි නම් ඔහු සහ එම පක්ෂය ගෙවුණු කාලවකවානුව තුළ ප්‍රදර්ශනය කර ඇති අභ්‍යාසය මත ඔවුන් කෙරෙහි යම් විශ්වාසයක් තැබිය හැකිය. එහෙත් බැසිල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කළත් අනුර එම තනතුරට පත් නොකරන ජනතාවක් ලංකාවේ සිටිති. මේ ඛේදවාචකය වෙනත් උපක්‍රමයකින් ජයගත යුතුව ඇත. ඒ සඳහා දේශපාලන පක්ෂ ක්‍රමයට විකල්ප, ව්‍යුහමය වශයෙන් වෙනස් සංවිධානමය වැඩසටහනක් සම්පාදනය කළ යුතුය. පක්ෂ යාන්ත්‍රණයට උඩින් රටේ පිළිගත් උගතුන් බුද්ධිමතුන් මෙහෙයවන සමාජ, ආර්ථික වැඩසටහනක් ඉස්මත්තට ගත් ක්‍රමයක් වෙත අපට අවධානය යොමු කළ හැකිය. මෙහිදී අදාළ වැඩසටහන හා පක්ෂ යාන්ත්‍රණය අතර දෘඪ සබඳතාවක් පැවතීමද අත්‍යවශ්‍යය. රටේ සෑම විෂය ක්ෂේත්‍රයකම වැඩ කරන උගතුන්ට මේ සඳහා දායකවීමට කවුළු විවර වී තිබිය යුතුය. ඕනෑම පක්ෂයක, බහුජන සංවිධානයක හා ජන කණ්ඩායමක ප්‍රගතිශීලී මත දරන්නන්ට ඊට සම්බන්ධවීමට අවකාශය තිබිය යුතුය. ඔවුන්ගේ සාමූහික කාර්යය විය යුත්තේ හෝසේ ආකේඩියෝ බුඑන්ඩියා මෙන් අයිස් සොයා ගැනීමය. එනම් ප්‍රජාතන්ත්‍රවාදයත්, මූල්‍ය විනිවිදභාවයත්, නීතියේ පාලනයත්, විද්‍යාවත් සංවර්ධනයත් සාක්ෂාත් කරගැනීමට ප්‍රතිපත්ති වැඩසටහන් සැලසුම් කිරීමය. ජවිපෙ සහ අනුර දිසානායකට අයිස් සොයා යන ගමනේ අම්මා හෙවත් ඌර්සුලා ඉගුවේරන් හෙවත් ඉතිහාස සාක්ෂිය බවට පත්විය නොහැකිද?