නුවන් උදය වික්‍රමසිංහ


මෙම ජනාධිපතිවරණයෙන් කවරකු ජයග්‍රහණය කළද ඇරඹෙනු ඇත්තේ තවත් අර්බුද සමයක්මය. එහෙත් පොදු ජනතාව නමින් හඳුන්වන පිරිස තමන් අතින් කතිරය හරහා කරන ලද වරද වටහා නොගනු ඇති අතරම ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳීමේ අභිලාෂයෙන් යුත් මිනිසුන්ට දිගටම අරගලය හැර අන් යමක් ඉතිරි නොවනු ඇත.


පසුගිය යහපාලන සමයෙහි ශේෂ පත්‍රය නිවී සැනසිල්ලෙහි කියවා බලන්නට මැතිවරණ සමයෙන් පසුව යමකු උනන්දු වන්නේ නම් ඔහුට එහිදී දකින්නට ලැබෙනු ඇත්තේ යහපත් දේශයක් උදෙසා අවංකවම උත්සාහ දැරූ පුරවැසි කොට්ඨාසයකගේ අපේක්ෂා දේශපාලකයන් විසින් සිතා මතා බිඳ දමන ලද නින්දිත කතා පුවතයි. එහෙත් එක් දෙයක් නම් ඉතිහාසය පුරාම වලංගුය. ඒ 2015දී ජනතාව විසින් යාවජීව රාජ පරපුරක් බිහිවීමේ බරපතළ අවදානම වළක්වා ගත් බවයි. එහෙත් ඒ ලබාගත් ජයග්‍රහණය හැරුණවිට යහපාලන සමය මෙරටෙහි ජනතාවට අත්කර දුන්නේ අංගවිකල ජයග්‍රහණයන් කිහිපයක් පමණි. ඊට විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම යනුවෙන් කරන ලද විකාර සහගත ක්‍රියාදාමය, තොරතුරු දැනැගැනීමේ පනත නමින් ගෙන එන ලද අසම්පූර්ණ පනත යන සියල්ල ඇතුළත්ය. ඒ සියල්ල අතරෙහි යහපාලන සමය විසින් කරන ලද නින්දිතම පාවාදීම වනුයේ රටෙහි සම්පත් බරපතළ ලෙස කොල්ල කෑ චෞරයන්ට නීතියෙහි සිදුරු සදමින් ගැලවී පැන යාමට ඉඩ හැරීමයි. යහපාලන සමය ඇරඹී මද කලක් යන විටම ජනතාවට පැහැදිලි වන්නට ගත් එක් කටුක සත්‍යයක් වූයේ මෛත්‍රී රනිල් යන දෙදෙනාගෙන් කවරකුගෙන් වුවද රටෙහි ජනතා දේපළ කොල්ල කෑ පිරිසට දඬුවම් නොලැබෙන බවයි. එසේම දෙපාර්ශ්වය ඉතා සියුම් ලෙස විවිධ පුද්ගලයන් ආරක්ෂා කිරීමට නොපැකිළෙන බවයි. මේ ගැන විමසූ විට යහ පාලනයේ රනිල් පාර්ශ්වයට සමීප එක් පුද්ගලයකු මේ ලියුම්කරුටම පැවසූවේ සොරු ඇල්ලීම යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සටන් පාඨයක් මිස යූඑන්පිය කියූ දෙයක් නොවන බවයි. ඒ අතර රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයෙන් නිතර කියවුණු එක් දෙයක් වූයේ තමන් විසින් බිහි කිරීමට අපේක්ෂා කරනුයේ සොරුනට සොරකම් කළ නොහැකි ‘සිස්ටම්’ එකක් බවයි. මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය නම් රනිල් සහ මෛත්‍රී දෙදෙන එකිනෙකාට වෛර කරන පෙම්වතුන් යුවළක් මෙන් කළ නින්දිත බල අරගලයක් හේතුවෙන් රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන්ට අත්වූ විනාශයයි.

මෙවර මැතිවරණයේ ජයග්‍රාහකයා කවුරු වුවද ඔහුගේ දේශපාලන මධු සමයද පවතිනු ඇත්තේ කෙටි කාලයක් පමණි. ඉන්පසුව එළඹෙන්නේ ලෝක දේශපාලන බලවතුන්ගේ අරගලයෙහි ඉත්තකු බවට පත්වෙමින් ඒ අතර තමන්ගේම පිලෙහි ඉන්නා චෞරයන් සමග යන ගමනකි. දේශපාලන වේදිකාවෙහි කවරක් පැවසුවද දේශපාලන ජයග්‍රහණය දක්වා අපේක්ෂකයන් දෙදෙනා සමග කරට කර සිටි චෞරයන් සංඛ්‍යාව දෙස බලන විට මේ දෙනොගෙන් කවරකුට වුව ඔවුන්ගෙන් ගැලවී නිදහස් ගමනක් තිබේ යයි සිතන්නට නොහැකිය. විය හැකි එකම දෙය නම් මහ මැතිවරණය වනතුරු හානිකර යයි සිතෙනා චරිත ‘මධුමාධව පන්නයේ සඟවාලීම් වලට’ ලක් කිරීම පමණි. සජිත් මෙන්ම ගෝඨාභය යන දෙදෙනාගෙන් කිසිවකුට හෝ තමන්ගේ කරෙහි එල්ලී ඉන්නා මැක්කන් හලා යාමට හැකියාවක් හෝ එසේ කිරීමට වුවමනාවක් හෝ තිබෙතැයි අපට පෙනෙන්නේද නැත. වියහැකියාව වඩාත් වැඩි තත්ත්වය නම් දිනනා පැත්තට පරාජිත පැත්තෙන් යම් පිරිසක් ‘දෑත් ශක්තිමත් කිරීමට’ පැනීම පමණි.


ජයග්‍රහණය හෝ පරාජය යන දෙකින් එකක් ඉතුරු වනු ඇත්තේ ශ්‍රීලනිපය, යූඑන්පිය සහ පොහොට්ටුව යන පක්ෂවලට පමණි. පොදු ජනතාවට කොහොමත් උරුමව ඇත්තේ නියත පාරජයමය. මේ දේශපාලන බලවේග හරහා තමන්ට ජයක් අත්වේයයි ජනතාව සිතන්නේ නම් එය ඔවුන් දකිනා බියකරු දවල් සිහිනයක් පමණි. බත්බැලයන් මෙන් යූඑන්පිය සහ පොහොට්ටුව පසුපස දිවූ පිරිසෙන් කොටසක් පමණක් ටික දිනකින් තමන් දුටුවේ හුදු සිහිනයක් බව දරුණු ස්වප්න මෝචනයක් හරහා දකිනු ඇත.


පොදු ජනතාව අත් විඳින නියත පරාජය කෙසේ වෙතත් මෙවර ජනපතිවරණයෙන් ජය ලබන්නාගේ ජයත් පරාජිතයාගේ පරාජයත් යන දෙකම ඉක්මවූ සුබවාදී පරාජයක් කරගත හැකිය යන්න මේ ලියුම්කරුගේ විශ්වාසයයි. යහපාලන සමය මේ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් භාවිත කළ හැකි සියලු වදන්, භාෂා මෙවලම් හමාර කර දැමීය. ඉදිරි පාලනය ජනතාවගේ අපේක්ෂා බාහිර බලවේගවල අවශ්‍යතා හමුවෙහි පාවා දෙන ආකාරය ඉක්මනින්ම අපට දැකගත හැකිවනු ඇත. එහෙයින්ම එළඹ සිටි සිහියෙන් ඉදිරිය බැලීමට සමත් ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාව ජනතාවට ඉදිරි මහ මැතිවරණය වන විට තදින්ම දැනෙනු ඇත. වඩාත්ම හිතකර ප්‍රවණතාව වනුයේ එළඹෙන මහ මැතිවරණය සාම්ප්‍රදායික ප්‍රධාන පක්ෂ දෙක -නැත පොහොට්ටුවද සමග තුන වෙනුවට විකල්ප බලවේගයක් සඳහා නිර්මාණය කරන ඉඩයි.
ජනපතිවරණ අභියෝගය හමුවෙහි මෙරටෙහි සැලකිය යුතු බුද්ධිමතුන් පිරිසක් ජවිපෙ සමග එක්ව විකල්ප බලවේගයක් නිර්මාණය කර හමාරය. ඒ අතර අජිත් කොලොන්නේ සහ තවත් පිරිසක් විසින් දියත් කරන ලද ව්‍යාපාරයක්ද මහේෂ් සිය අපේක්ෂකයා කරමින් තම ගමනක අවසානය සනිටුහන් කර තිබේ. එහෙත් අප අමතක නොකළ යුතු කරුණ නම් මේ සියලු ව්‍යාපාර වෙනුවෙන් තම කාලය කැප කළ සාමාන්‍ය පුරවැසියන්ගෙන් බොහොමයක් අවංකවම රටෙහි යහපත පැතූ පිරිසක් බවයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ලංකාවෙහි වමේ අනෙක් පක්ෂ වලද ඉන්නා ක්‍රියාධරයන්ද තම කාලය ධනය සහ ශ්‍රමය කැප කරනුයේ රටෙහි ක්‍රමවිරෝධී දේශපාලනයක් වෙනුවෙනි. එහෙයින් මේ සියල්ලන්ගේ අපේක්ෂා බිඳ නොහෙලන ඒ වෙනුවට ඒවා කුළු ගන්වන වඩා සවිමත් ව්‍යාපාරයක් වෙනුවෙන් සියලු සන්ධානයන්හී අවංක ක්‍රියාධරයන් සහ බුද්ධිමතුන්ගේ මැදිහත්වීම නොවැම්බර් දහහත්වනදා සිට දැඩිව අවශ්‍ය වෙනු ඇත. ජනතාව ලද පරාජය ජයග්‍රහණයක් කරා ගෙන යා හැක්කේ එවන් මැදිහත්වීමකට පමණි. ඊළඟ පාර්ලිමේන්තුව යනු අර්බුද වගා කරන්නක් වනු ඇති අතර එහිදී අත්තනෝමතික පාලනයක් නවත්වාලිය හැක්කේ විරුද්ධ පක්ෂයට ගැනෙන අවංක මහජන නියෝජිතයන් සංඛ්‍යාව වැඩි කිරීමෙන් පමණි. කාසි මලු හරහා ඔළු ගෙඩි එහා මෙහා කිරීමේ කෙළ පැමිණි කයිරාටිකයන් මර්දනය කළ හැකි වන්නේ එසේ කාසි පසුපස මතවාදයන් පාවා නොදෙනා අවංක පිරිසකට පමණි.


නොවැම්බර් දහහත් වෙනිදා සිට එළඹෙන කාලය පාලකයන්ට සහ සාම්ප්‍රදායික විරුද්ධ පක්ෂවලට බල අරගලයක් වනු ඇති අතර සැබෑ වෙනසක් සඳහා සටන් වදින්නට සූදානම් වන්නන්ට තම දේශපාලන පරිණතබව සහ දූරදර්ශී බව පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් වනු ඇත. ඉදින් ඔවුන්ගේද ඉදිරි ජය තීරණය වනු ඇත්තේ මේ ලිට්මස් පරීක්ෂණයේ ප්‍රතිඵල මත බව සටහන් කළ යුතුව තිබේ.