කොළඹ මහනගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි

සාකච්ඡාව- ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

කොවිඩ් වසංගතය පැතිරීමේ දී වැඩි අවදානමකට මුහුණදෙන කොළඹ නගරය සම්බන්ධයෙන් මේ වන විට තිබෙන තත්ත්වය මොකක් ද?

මාර්තු මාසයේ 12 වැනි දා සිට ඔක්තෝබර් මාසයේ 08 වනදා වනතුරු කොළඹ නගරයෙන් වාර්තා වුණේ රෝගීන් 134ක් පමණයි. ඊට පසුව මිනුවන්ගොඩ පොකුරත් එක්ක තවත් රෝගීන් කීපදෙනෙක් වාර්තා වුණා. ඒ එක්කම ඩොක් යාර්ඞ් පොකුරත් පටන් ගත්තා. ඩොක් යාර්ඞ් පොකුරෙනුත් රෝගීන් වැඩි වශයෙන් සොයාගනු ලැබුවා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් රෝගීන් 62ක් ඒ පොකුරු දෙක ආශ‍්‍රිතව කොළඹින් වාර්තා වුණා. ඊට පස්සේ ඔක්තෝබර් 20 පමණ වන විට පෑලියගොඩ මාළු වෙළෙඳ සැලෙන් රෝගීන් වාර්තා වීම පටන් ගත්තා. එතැනින් රෝගීන් 337ක් මුලින් අපිට වාර්තා වුණා. ඒ වාර්තා වීමත් සමගම අපි ක්ෂණිකව ගිහින් ඔවුන්ගේ පළමු ආශ‍්‍රිතයන් සොයා ඔවුන්ට පීසීආර් පරීක්ෂණ සිදුකළා. ඒ අනුව මුලින් හඳුනා ගත් එක් රෝගියෙක්ගෙන් තවත් රෝගීන් තුන්දෙනෙක් පමණ සොයාගැනීමට හැකිවුණා. ක්ෂණිකව පළමු ආශ‍්‍රිතයින් හඹා ගොස් පළමු ආශ‍්‍රිතයන්ගේ පීසීආර් කිරීම් තුළින් අපිට රෝගීන් 700ක් පමණ සොයා ගන්න පුළුවන් වුණා. එසේ නොකළා නම් අපි නොදැනුවත්ව රෝගය තවදුරටත් පැතිරෙන්න පටන් ගන්නවා.

ඊළඟට දෙවැනුව සොයා ගත් පුද්ගලයන්ගේ ආශ‍්‍රිතයන් පළමු ආශ‍්‍රිතයන් බවට පත් වෙනවා. ඊළඟට ඒ අයගේ ආශ‍්‍රිතයන් සොයා ඒ අයව පීසීආර් පරීක්ෂණ වලට ලක් කරනවා. එවැනි ක‍්‍රමවේදයක් අනුව අපි රෝගීන් සොයමින් නගරය පීරමින් මේ කටයුතු කරනවා. මොකද මේක පාලනය කරගන්න කළ යුතු එකම විධිය ඒකයි. ඒ සමගම රෝගීන් වාර්තාවීමත් සමග කොවිඞ් සම්බන්ධයෙන් වන ජනාධිපති කාර්ය සාධක බලකාය එම ප‍්‍රදේශ වසා දමනවා ද නීරෝධායන ඇඳිරි නීතියට යටත් කරනවා ද යන තීරණ ගන්නවා. රෝගීන් වැඩියෙන් වාර්තා වූ ප‍්‍රදේශ සියල්ලම වාගේ මේ වන විට නිරෝධායන ඇඳිරි නීතියට ලක් කර තිබෙනවා. මාර්තු මාසයේ සිට ඔක්තෝබර් 26 වන විට අපි කොළඹින් රෝගීන් 1137ක් හඳුනාගෙන තියනවා. මේ වන විට මාළු වෙළෙඳ සැලෙන් පමණක් රෝගීන් දාහකට වැඩි ප‍්‍රමාණයක් හඳුනා ගැනීමට හැකිවී තිබෙනවා. දිනකට පීසීආර් පරීක්ෂණ 300ක් 400ක් අතර ප‍්‍රමාණයක් කිරීමට අපිට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන ලෙස අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ කටයුතු සිදුවෙමින් පවතිනවා.

කොළඹ නගරය ආශ‍්‍රිතවත් මෙතරම් ප‍්‍රමාණයකට රෝගය ව්‍යාප්ත වනතුරු හඳුනා ගැනීමට නොහැකිවීමට හේතුව ඊට පෙර අහඹු පරීක්ෂණ වැනි දේ නිසි ලෙස සිදු නොවීම නිසා විය හැකියි නේද?

මේ මාළු වෙළෙඳසැලේ පොකුර අලූත් පොකුරක්. අපි මීට පෙර ප‍්‍රජාවේ පරීක්ෂණ කළා. බස් රියදුරන්, කොන්දොස්තරවරු, ත‍්‍රීරෝද රථ රියදුරන්, නාටාමිලා, පාරේ යන සාමාන්‍ය අය, විවිධ ආයතනවල අය ආදී ලෙස අපි මීට පෙර පීසීආර් පරීක්ෂණ 12800ක් සිදුකර තිබෙනවා. ඒ අතරින් රෝගීන් ලෙස වාර්තා වුණේ ඉතා කුඩා ප‍්‍රතිශතයක්, ඒ කියන්නේ 0.37ක ප‍්‍රතිශතයක් පමණයි. නමුත් මේ වන විට අපි හඹා ගොස් පීසීආර් පරීක්ෂණ කරන නිසා අපේ සඵලතාව 30%ක් 50% ක් දක්වා වෙනවා. 100ක් පරීක්ෂා කළොත් 50ක් පොසිටිව් වෙන මට්ටමට සොයා ගැනීමට පුළුවන් වෙලා තියෙන්නේ අපි දැන් හඹා ගොස් පළමු පෙළ ආශ‍්‍රිතයින් සොයන නිසයි.

මේ තත්ත්වය කළමනාකරණය කරගැනීමට දැනට ක‍්‍රියාත්මක වන ක‍්‍රමවේද ප‍්‍රමාණවත් යැයි සිතනවා ද?

දැනට ගෙන තිබෙන හොඳම ක‍්‍රියාමාර්ගය වන්නේ රෝගියෙක් වාර්තා වූ පසු ඔවුන්ගේ ආශ‍්‍රිතයින් සොයා ඔවුන්ගෙන් නව ආසාදිතයින් සොයා ගැනීමයි. ඒක දැන් අපි කරනවා. මේ වෙලාවේ කළ යුතු ප‍්‍රධානම දේත් එයයි. ඊට අමතරව එම දත්ත අපි ජාතික වසංගත රෝග විද්‍යා අංශයට ලබා දෙනවා. එතැනින් එය කොවිඞ් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට ලබා දෙනවා. ඔවුන් ඒ දත්ත වගේම මුළු රටේම දත්තයන් උපයෝගී කරගෙන රෝගීන් වාර්තා වීම් අනුව එක් එක් ප‍්‍රදේශවල සංචරණය සීමා කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා. අපට කළ හැකි වන්නේ මෙයයි. මොකද සමහරවිට අපිට තවත් අවුරුදු දෙකක් තුනක් පමණ මේ කොවිඞ් එක්ක ජීවත් වෙන්න සිදුවෙනවා. මේකට එන්නතක් සොයා ගන්නා තුරු අපට කළ හැකි වෙනත් කිසිවක් නැහැ. එවැනි එන්නතක් නිපදවුවත් එය නිපදවන දියුණු රටවල් පළමුවෙන්ම එය දෙන්නේ තමන්ගේ ජනතාවටයි. පසුව එය මුලින්ම අනෙක් ධනවත් රටවල්වලට ලබා දෙන්න ඉඩ තියෙනවා. අපට ලබා දෙන්නේ පසුවයි. ඒවා සලකා බැලීමේ දී අපිට මේ තත්ත්වය එක්ක තව කාලයක් ජීවත් වෙන්න වෙනවා. ඒ නිසා මේ රෝගය තවත් එක් රෝගයක් ලෙස අපිට සලකන්න වෙනවා.

එසේ සැලකීම හරහා රටේ කේන්ද්‍රස්ථානය ලෙස ක‍්‍රියාකරන කොළඹ නගරයේ මෙන්ම රටේ අනෙක් ප‍්‍රදේශවල ජනතාවටත් විශාල අවදානමකට මුහුණදීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වෙනවා නේද? අවදානම හැකි තරම් අවම කරගැනීමේ ක‍්‍රියාවලියක් ඉදිරියට ක‍්‍රියාත්මක වෙන එකක් නැද්ද?

රෝගය වැළඳුණු අයගෙන් 80%කටම කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. අඩුම තරමේ කිවිසුමක්වත් යන්නේ නැහැ. තවත් 15%කට පමණ කිවිසුම් යෑම, උගුර රිදීම, බඬේ අමාරු වැනි දේ ඇති වෙනවා. ඊට අමතරව ටිකක් බරපතළ වන්නේ 5%කට පමණ ප‍්‍රමාණයකටයි. ගොඩක් අසාධ්‍ය වන්නේ එයිනුත් 1%කට යි. මියයන්නේ 0.03%ක් වැනි ප‍්‍රමාණයක්. ඒ නිසා අපිට මේකත් එක්ක දැන් ජීවත් වෙන්න වෙනවා. දැනට තිබෙන පියවර වන්නේ රෝගියෙක් සොයාගත් වහාම රෝග ලක්ෂණ තිබුණත් නැතත් ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කරනවා. මීට පෙර පළමුපෙළ ආශ‍්‍රිතයන් රජයෙන් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය කළා. නමුත් රෝගීන් වැඩි වන විට ඒක තවදුරටත් කරන්න බැහැ. ඒක අපි තේරුම් ගන්න  ඕනෑ. එවිට ඔවුන් නිවෙස් තුළ නිරෝධායනය කිරීමට කටයුතු කරන්න  ඕනෑ. එහි කිසිදු වරදක් නැහැ. අපේ ජනතාව සාක්ෂරතාවයෙන් උසස් ජනතාවක්. යම් හෙයකින් තමන්ට රෝග ලක්ෂණ පහළ වෙනවා නම් සහ මම කලින් සඳහන් කළ 5% කොටසට හෝ 1% කොටසට අයත් වෙනවා නම් ප‍්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරියා වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට කතා කර රෝහල් කරා යොමුවීමේ ක‍්‍රමවේදය විශේෂයෙන්ම කොළඹ නගරය තුළත් අනෙක් ප‍්‍රදේශ තුළත් සකස් කර තිබෙනවා. එවිට රෝගියා රැගෙන යාමේ ක‍්‍රමවේදය අපි සකස් කර තිබෙනවා.

මේක අලූත් තත්ත්වයක්. අපි ඒ අලූත් තත්ත්වයට හැඩගැසෙමින් ක‍්‍රියාත්මක වෙනවා. මේ තමයි අපිට කළ හැකි උපරිම දේ. හැබැයි අනෙක් පැත්තෙන් මහජනතාවගේ පැත්තෙන් විය යුතු දේ වෙන්නේ නැහැ. මිනිස්සුන්ට මේ ගැන පොඞ්ඩවත් හැඟීමක් නෑ. මංගල උත්සවවලට අවසර ඉල්ලනවා, ආගමික උත්සවවලට අවසර ඉල්ලනවා, ඒ වගේම මළ ගෙවල්වල ගියත් අනෙක් අයව බදා ගන්නවා. දුරස්ථභාවය සම්බන්ධයෙන් සැලකිලිමත් නැහැ. එළියට යනවා නම් මුඛ ආවරණ සෑම විටම පැළඳ සිටීම අත්‍යවශ්‍යයි. නිතර අත් සේදීම ආදී සෑමදාම කියන මේ පුරුදු ටික කළා නම් මේකෙන් ගැලවෙන්න පුළුවන්. එහෙම කළොත් මේක පැතිරීම වළක්වාගන්න අපි මේ කරන සියලූ දේ හොඳටම ප‍්‍රමාණවත්. අධි අවදානම් අයට මේක වැළඳීම වළක්වා ගැනීම මහජනතාවගේ යුතුකමයි. තමන් ආසාදිතයෙකු බව දන්නවා නම්, එහෙම නැතිනම් ආශ‍්‍රිතයෙක් නම් අනිවාර්යෙන්ම මහලූ දෙමාපියන් ළඟට ගැබිනි භාර්යාව ළඟට හෝ කුඩා දරුවන් ළඟට හෝ වෙනත් රෝගාබාධ සහිත අය ළඟට යෑම හොඳ නැහැ. මමත් මාස එකහමාරකින් මගේ අම්මා බලන්න ගියේ නැහැ. ඒ වගේම මගේ නැන්දණිය අපි මීට සති එකහමාරකට පමණ පෙර සහෝදරියක් ළඟ නතර කර ආවා. ළඟදී වෑකන්දේ අවුරුදු අනූවක පමණ වුණත් සෞඛ්‍ය සම්පන්නව සිටි අයෙක් මියගියේ කොවිඞ් ආසාදිතවයි. ඇගේ පුතා මාළු වෙළෙඳසැලේ වැඩ කරනවා. මේ කොවිඞ් තත්ත්වය මතුවුණ අවස්ථාවේ විකුණ ගන්න බැරිවුණු මාළු මිනිස්සු බය නිසා එළියට දාන්නත් බැරි නිසා ගෙනත් අම්මා සහ අක්කා ඉන්න ගෙදර තියලා තිබුණා. උදේ බලද්දී අම්මා මැරිලා. පීසීආර් කරලා බැලූ විට පොසිටිව්. සමාජ වගකීම ඉටු නොකළොත් ඇතිවන තත්ත්වය එයයි.

මේ වන විට මේ වසංගත තත්ත්වය සමග කොළඹ නගරය ආශ‍්‍රිතව බොහෝ ප‍්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වෙනවා. කොළඹ  කොළඹ අකර්මණ්‍ය වුවහොත් එය පොදුවේ රටටම ඉතාම අහිතකර ලෙස බලපෑම් ඇති කරනවා. මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද?

කොළඹ නගර සභාවේ නම් මොනම හේතුවක් මතවත් නීරෝධායන ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශවලින් සේවකයෝ ගෙන්වන්නේ නැහැ. මොකද එහෙම ගෙන්වනවා නම් ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කිරීමේ මුඛ්‍ය පරමාර්ථයම බිඳ වැටෙනවා. මීට පෙර අවස්ථාවේ නම් හැඳුනුම්පත භාවිත කර සේවයට ගෙන්වීම අපි සිදුකළා. නමුත් දැන් අපි මොනම හේතුවක් මතවත් එහෙම ගෙන්වන්නේ නැහැ. දැනට සිටින අනෙක් නිලධාරීන් මගින් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒවගේම අපද්‍රව්‍ය කළමනාකරණය, මළ අපවහනය ආදී සේවාවන් සැපයීම් බිඳ වැටීමට ලක්වීමට ඉඩ නොදී දිගටම කරගෙන යනවා. ඒ වගේම බැංකු පද්ධතිය ක‍්‍රියාත්මක වෙනවා. මොකද මේ රෝගයේ ස්වභාව මෙයයි, ඒත් එක්ක අපට කළ හැකි දේ මෙපමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here