ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

මැයි 11 වන දා සිට කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදීම සහ අනෙකුත් දිස්ත්‍රික්කවල රාත්‍රී කාලයේ පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරමින් ආයතන, කාර්යාල හා අනෙකුත් සේවා ස්ථානවල කටයුතු ආරම්භ කර පවත්වාගෙන යාමේ උත්සාහයක් ආණ්ඩුව විසින් ආරම්භ කරන ලදි. මේ වනවිට සෞඛ්‍ය අංශවල ඇතැම් අයගේ මතය බවට පත්ව තිබෙන්නේ ද අවදානම සම්පූර්ණයෙන්ම පහව නොගියත් වැලිසර රෝගී පොකුර හැරුණුකොට අනෙක් ප්‍රදේශ කිසියම් පාලන තත්ත්වයක තිබෙන බව නිරීක්ෂණය වන බව ය. එහෙත් එහි නිවැරදි චිත්‍රයක් එම අංශවලට ද තවමත් තිබේ යැයි නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති වන්නේ වසංගතයේ අවිනිශ්චිත ස්වභාවය ද එහි පාලනය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල දක්නට ලැබුණු දෝෂයන් මෙන්ම ජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන් ද ගැටලු පැවතුණු බැවිනි.


වසංගත රෝග විද්‍යා ඒකකයේ 2020 මැයි 13 පෙ.ව. 10 තත්ත්ව වාර්තාවට අනුව ඒ අවස්ථාව වන විට හඳුනාගෙන තිබූ රෝගීන් 889 අතුරින් 498ක් ඒ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම ඔවුන් පදිංචිව සිටි දිස්ත්‍රික්ක ද දක්වා තිබුණි. ඒ වන විට තිබූ දත්තවලට අනුව පෙනෙන්නේ වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 51%ක් නාවික හමුදා සාමාජිකයන් බව ය. ඉන් පිටත තත්ත්වය පමණක් පාලනය කළ හැකි මට්ටමක බව පෙනෙන්නට තිබෙන බව සෞඛ්‍ය අංශ විසින් පවසන්නේ එබැවිනි. කෙසේ වෙතත් පසුගිය කාලයේ වැලිසර කඳවුරේ සිට ගම්බිම් බලා ගිය සෙබළුන් ලංකාවේ විවිධ ප්‍රදේශවල අය සමග ගැටී තිබීම හේතුවෙන් තවත් රෝගීන් පිරිසක් වාර්තා වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අංශවලට තිබෙන්නේ සැකසහිත බවකි. වසංගත රෝගයේ ස්වභාවය අනුව ඒවා නිශ්චිත කාලසීමාවන් තුළ වාර්තා විය යුතු වුවත් මෙහි වඩා අවදානම් ස්වරූපය වන්නේ බොහෝ දෙනා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වීම ය.


දැන් ක්‍රම ක්‍රමයෙන් රටේ කටයුතු යළි පණගැන්වෙන්නේ මෙවන් වටාපිටාවක් තුළ ය. ඇතැම් පිරිස් මේ වටාපිටාව තේරුම් ගනිමින් කටයුතු කරන ආකාරය දක්නට ලැබුණ ද ඇතැම් ස්ථානවල පසුගිය දින කීපයේ දක්නට ලැබුණේ යහපත් තත්ත්වයක් නොවේ. ඇඳිරි නීතිය පවතින කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිමින් දුරස්ථභාවය නොසලකා හරිමින් ජනතාව පැමිණි අවස්ථා තිබූ බැවින් නීති දැඩි කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද ප්‍රකාශ කර තිබුණි. බස්රථවලට නැගීමේ දී හා වෙළෙඳ සැල් අසල සමාජ දුරස්ථභාවය රඳවාගෙන කටයුතු කරන පිරිස් මෙන්ම ඒ පිළිබඳ තැකීමකින් තොරව පොරකෑම් සිදුවන අවස්ථා සහ එසේ පොරකෑමට සිදුවන වටාපිටාවක් නිර්මාණය වී තිබෙන අයුරුද නිරීක්ෂණය විය. අවදානම් ලෙස නම් නොකෙරුණු ඇතැම් ප්‍රදේශවල සමහර අය සිතන්නේ ද උවදුර සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බවකි.


පවතින තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ මෙවැන්නකි. “දැනට රෝගීන් වාර්තා වෙන්නේ වැලිසර රෝගී පොකුරෙන් විතරයි. ඊට අමතරව ඩුබායිවලින් ආ කීපදෙනෙක් වාර්තා වුණා. ඊට අමතරව මේ වන විට වෙනත් ස්ථානවලින් රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. අනෙක් රෝගී පොකුරුවලිනුත් දැනට වාර්තා වෙන්නේ නැහැ. ඒ කියන්නේ වැලිසර රෝගී පොකුර හැරෙන්න මෙහි පැතිරීම ටික ටික අඩුවෙලා ගිහින් තියනවා. පිටතට පෙනෙන්න තිබෙන තත්ත්වය ඒකයි.” එහෙත් ඔහු පැවසුවේ එවැන්නක් පෙනුණද රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වා සිය ගණන් රෝගීන් වැලිසර සිටි බවය. එබැවින් ඇතැම්විට නොදැනුවත්ව හඳුනා නොගත් ආසාදිතයෙක් කොහේ හෝ සිටිය හැකි බවත් ඔවුන්ගෙන් තවත් අයට එය පැතිරිය හැකි බවත් ඔහු පැවසුවේ ය. පුද්ගල දුරස්ථභාවය දිගින් දිගටම පවත්වා ගත යුතු බවත් ඒ අනුව එය පැතිරීම වැළැක්වීමට කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කළේ ය.


එමෙන්ම එලෙස හඳුනා නොගනිමින් ආසාදිතයන් සමාජයේ සිටිය හැකි බැවින් ඒ සම්බන්ධව ගැනීමට සූදානම් පියවර සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කළේ මෙලෙසය. “එවැනි ආසාදි හඳුනා ගැනීම සඳහා තිබෙන එක් ක්‍රමවේදයක් තමයි රෝග ලක්ෂණ තිබෙන අය රෝහල්වලට ආවොත් කොවිඞ් 19 කියලා සැක නම් අපි ඒ අයව පරීක්ෂා කරනවා. ඊට අමතරව රටේම ජනගහණය නියෝජනය වන ආකාරයට ලංකාවේ රෝහල් 35ක පමණ කොවිඞ් 19 රෝග ලක්ෂණ තිබෙන අය පැමිණියොත් ඒ අයගේ සාම්පල් පරීක්ෂා කර බලනවා. ඒ අය අතුරින් හදිසියේවත් ආසාදිත බව තහවුරු වුවොත් අපි ඒ පිළිබඳ තවත් ගැඹුරට ගවේෂණය කරන්න ඕනෑ. ඊට අමතරව සමාජයේ අවදානම වැඩි කණ්ඩායම් ලෙස අපි හඳුනාගෙන තිබෙන වතු ආශ්‍රිත අය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයයි. මුලින් වාර්තා වුණේ විදේශ රටවල සිට පැමිණි අයගෙන් බෝ වූ අය, ඉහළ සමාජයේ හා මධ්‍යම පාන්තික අයයි. ඊට පස්සේ ඊට වඩා අඩු සමාජ ආර්ථික තත්ත්වයක් තිබෙන අය අතරේ මේක පැතිරීම වැඩිපුර සිදුවුණා. එවැනි අවදානම් තිබෙන අය ඉන්නවා. ඒ වගේම වෘත්තීය නිසා අවදානම් තිබෙන අය ඉන්නවා. සෞඛ්‍ය සේවකයෝ, හමුදා අංශ, පොලීසිය, වෙළෙද සැල්වල කටයුතු කරන අය, බැංකුවල සේවය කරන අය, පාසල් විවෘත වූ පසු පාසල්වල සිටින අය, සිරකඳවුරුවල සිටින අය ආදී ස්ථානවල අහඹු ලෙස සාම්පල ලබාගෙන පරීක්ෂණ කිරීම දිගටම කරගෙන යෑම සිදුවෙනවා. මැලේරියා වසංගතය අපේ රටෙන් නැති කළේත් ඒ විධියේ ක්‍රමවේදයකට යි. තවත් මගහැරුණු ආසාදිතයන් සිටිනවා දැයි හඳුනා ගැනීමට දිගින් දිගටම පරීක්ෂා කර තමයි ඒ වසංගතය සම්පූර්ණයෙන්ම ඉවත් කළේ. මැලේරියාවේ මදුරුවෙක් මගින් රෝගය ව්‍යාප්ත වුණත් මෙය එවැන්නක් නෙමෙයි, බිඳිති මගින් බෝවීම සිදුවෙනවා. එතැනදී වඩාත්ම හොඳ ක්‍රමය අනුගමනය කරමින් දිගින් දිගටම අහඹු පරීක්ෂ සිදුකරමින් අපි නොදැනුවත්ව මෙය කොහේ හෝ ව්‍යාප්ත වෙනවා ද කියන දේ හැකි ඉක්මනින් හඳුනාගන්න ක්‍රමවේදයක් අපි දාලා තියනවා. හඳුනා ගැනීම සඳහා එය දිගටම ක්‍රියාත්මක කරනවා.” ඒ සියල්ල සිදු වුවද පුද්ගල දුරස්ථභාවය රඳවා ගැනීම හා සෞඛ්‍ය උපදේශ දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමේ වගකීම ජනතාවට තිබෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.


පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජාතික විද්වත් සංවිධානයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හිටපු වසංගත රෝග විද්‍යාඥ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා පැවසුවේ මෙවැන්නකි. “දැනට වාර්තා වී තිබෙන රෝගීන් අතරෙන් 70%ක් පමණ රෝග ලක්ෂණ නොමැති අය යි. මේක ටිකක භයානක තත්ත්වයක්. මොකද හඳුනා නොගනිමින් අනෙක් අයට රෝගය බෝවීම සිදුවන්නේ ඒ අය සමාජය තුළ සැරිසැරීමෙනුයි. කොළඹ ගම්පහ ඇඳිරි නීතිය තිබෙනවා කිව්වත් නිරීක්ෂණය වෙන්නේ වෙනදා වගේමයි, විශාල වෙනසක් පෙනෙන්නේ නැහැ. කොළඹ නම් මාස්ක් භාවිතය, දුරස්ථභාව ආරක්ෂා කිරීම බොහෝ ස්ථානවල දකින්න තිබෙන යහපත් ලක්ෂණයි. නමුත් ඇතැම් ප්‍රදේශවල මේ වෙද්දී එහෙම අදහසක් නෑ. දැන් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා ඒ අය හිතන බව ආරංචි වුණා. මේ දිනවල තිබෙන තත්ත්වයේ බලපෑම අපිට දකින්න ලැබෙන්නේ 18, 19 වැනි දිනවලයි, එය වැඩිපුර දකින්න ලැබෙනවා නම් වෙන්නේ 25 වනදා යි. රෝගීන් වාර්තා වෙනවා නම් වෙන්න ඕනෑ එහෙමයි. ලෝකය පුරාම තිබෙන චිත්‍රය එය යි.”
එවන් තත්ත්වයක් තුළ තවමත් අවදානමෙන් මිදුණා යැයි කිසිවෙකුට වගකීමෙන් බැහැරවීමට තවමත් කිසිසේත් හැකියාවක් නැත. තිබෙන තත්ත්වය මත කටයුතු කළ යුතු වන්නේ උපරිමයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමිනි, එමෙන්ම රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමෙනි. එක් රැස්වීම් තුළ නිසි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකිරීමෙන් හඳුනා නොගත් රෝග ප්‍රභවයක් සමාජයේ සිටී නම් එය ආශ්‍රිතයන්ට බෝ වී රෝග ලක්ෂණ පහළ වේ නම් එය සිදුවන්නේ සතියක් හෝ දෙකක් වැනි කාල රාමු තුළය. ලෝකයේ බොහෝ රටවල රෝගී පොකුරු වාර්තා වූයේ එලෙසය. අවදානමක් නොමැති ලෙස නිරීක්ෂණය වුව ද එලෙස රෝගී පොකුරු ඕනෑම මොහොතක වාර්තාවීමට ඉඩ තිබෙන්නේ ය. එබැවින් රට යථා තත්ත්වයට පත් කිරීමේ දී ජනතාව ද පෞද්ගලිකව තම වගකීම ඉටු කළ යුතු වනවා සේ ම බලධාරීන් ද තම වගකීම නිසි ලෙස ඉටු කළ යුතුව තිබෙන්නේ ය. රට විවෘත කිරීමකට පෙර සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට හැකි පරිසරයක් සකස් කිරීම හා අදාළ තාක්ෂණික කටයුතු ද සූදානම් කළ යුතුව තිබෙන්නේ ය.


තහවුරු කරන ලද කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය (2020.05.13 පෙ.ව 10.00 දෛනික වාර්තාවට අනුව)