විමලනාත් වීරරත්න

ලංකාවට තිබෙන්නේ දැඩි සත්කාර (ICU) අවශ්‍ය රෝගීන්ට ඇඳන් 700ක් පමණක් බව පසුගියදා වාර්තා විය. ලංකාවේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳ හරස් කඩකට වඩා එය ලංකාවේ ජන ජීවිතය පත්කර ඇති ඛේදනීය තත්ත්වය සම්බන්ධ හරස් කැපුමක් බව කිව හැකිය. ලංකාවටම ඇත්තේ අයිසීයූ ඇඳන් 700ක් පමණි යන පුවතට අපේ‍්‍රල් 23 වැනිදා පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කළ කතාව සම්බන්ධ කර බැලූ විට ලංකාව ගලවා ගත නොහැකි දුඃඛිත ඉරණමකට මෙරට පාලකයන් විසින් පත්කර ඇති බව මනාව වටහා ගත හැකිය. අනුර දිසානායක 23දා මෙරට දේශපාලකයන්ගේ අලූත් හොරකමක් ගැන හෙළිදරව් නොකළත් පාර්ලිමේන්තුවේ සැලකිය යුතු පිරිසක් විටින් විට කරන ලද මහජන මුදල් අවභාවිත කිරීම් ප‍්‍රමාණය සංයුක්ත ලෙස ඉදිරිපත් කළේය. රටට සිදුව ඇති හානියේ ස්වභාවය ඔහුගේ කතාව මගින් පැහැදිලි කැරිණි. අනුර එය අභියෝගාත්මක වේෂයකින් ද ප‍්‍රකාශ කළේය. ඊට පිළිතුරු ලෙස තමන් සොරකම් නොකළ බව කිසිවෙක් නොකීහ. ජනපති දක්වාම පිරිස් මෙම විවේචනයට හසුවුණු අතර රට මහත් ව්‍යසනයක් අත්කර ගනිමින් සිටියදී රටටම තිබෙන්නේ (ICU) ඇඳන් 700ක් වීම ගැන අනුරගේ යෙදුමකින් කිවහොත් චෞර වළල්ල කියන්නේ කුමක්ද යන්න ජනතාව දැනගත යුතුව ඇත.

රට බේරා ගැනීම

රටට ලොකුම හානිය කර තිබෙන්නේ ප‍්‍රභාකරන් මෙහෙයවූ ත‍්‍රස්තවාදය විසින් යැයි උපකල්පනය කළ රටක් ලෙස ලංකාව හඳුනා ගත හැකිය. දැන් එහි යම් කොටසක් මුස්ලිම් අන්තවාදයටත් ඌනනය වී තිබේ. සැබැවින්ම රටට ලොකුම හානිය කර ඇත්තේ එම දෙපිරිස නොව, මහ ජාතියේ පාලකයෝය. අඩුම තරමින් 77න් පසු ගෙවුණු අවධිය තුළ දේශපාලකයෝ විසින් රටේ දියුණුව සඳහා සැලසුම් සකස් කර ක‍්‍රියාත්මක කරමින් සහ මහජන මුදල් අවභාවිත කිරීමෙන් වැළකී සිටියා නම් ලංකාව මේ වන විට ඉහළම දියුණුවක් අත් කරගත හැකිව තිබුණු රටකි. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, මැලේසියාවේ මහතීර් හා වසර 2000දී රුවන්ඩාවේ ජනාධිපති ධුරයට පත් පෝල් කාගමේ වැනි නායකයෝ දූෂණය අවම කොට එම රටවල් සංවර්ධනයේ දිසාවට යොමු කර සැලසුම්සහගතව ජනතාවට සෞභාග්‍යය අත්කර දුන්නෝය. රුවන්ඩාවේ නායකයා එරට මිනිසුන් මිලියන ගණන් මියගිය ගෝත‍්‍රික සටන්වලට විරාමය තබා එම පිරිස් සංවර්ධන ක‍්‍රියාවලියට දායක කර ගත්තේය. 2017 පැවති ජනාධිපතිවරණයෙන් ඔහුට 98%ක් ඡුන්ද ලැබුණි. අගාධයක තිබුණු රුවන්ඩාව වසර 20ක් තුළ ඉහළ දියුණුවක් අත් කරගත් රටක් බවට පත් කළ හැකිවූයේ ජනාධිපතිවරයා වංචාව, දූෂණය නැවැත්වූ, වැඩ කරන පරිසමාප්ත නායකයකු ලෙස කටයුතු කිරීමෙනි. නව අදහස් ඇති හා ඒවා ප‍්‍රායෝගිකත්වයට නැංවිය හැකි නායකයකු ලෙස ක‍්‍රියා කිරීමෙනි. 1994දී උප ජනාධිපතිවරයා වීමට පෙර පෝල් කාගමේ මහතාත් කොමාන්ඩෝ නිලධාරියෙකි. එහෙත් දේශපාලන තනතුරකට පත්වීමෙන් පසුව ඔහු ගෝඨාභය රාජපක්ෂ මෙන් හමුදාවේ පම්පෝරිය ගැසීමට නොගොස් දේශපාලන භූමිකාව නිවැරදිව කිරීමට උත්සාහ කළේය. ජයග‍්‍රහණය ලැබූයේ එනිසාය. ලංකාවේ නායකයන් එවැනි ආදර්ශවත් චරිත හැදෑරීමෙන් වැළකී තවදුරටත් ලෝකයේ අපකීර්තිමත්ම නායකයන් හා සමාන්තරවෙමින් සිටීම කෙතරම් ඛේදයක්ද?

රට තිබෙන තැන

ලංකාවේ ජනයා වසර පහෙන් පහට මුහුණදෙමින් සිටින්නේ එකම වර්ගයේ අත්දැකීමකටය. ගෝඨාභයට ඡුන්දය දුන් 69 ලක්ෂය දැන් ඔහුට දොස් නගයි. ඒ තම බලාපොරොත්තු ඉටු නොකිරීම පිළිබඳවය. ජනපතිට පෝල් කාගමේ කෙනෙක් වීමට උදව් කිරීමට ද කෙනෙකු නැත. ඔහු තමන් සියල්ල දන්නවා යැයි සිතා උදව් නොපතනවා වන්නටද පුළුවන. බෞද්ධ උපදේශක සභාව වැනි අන්තේවාසික සභා ජනපතිට උපදෙස් දීමට පිහිට වූ ඒවා බව පෙනී ගියත් එම හිමිවරුන් අද පත්ව ඇත්තේ කබ්රාල්ගෙන් බණ අහන තත්ත්වයටය. පෝට් සිටිය ගැන ඕවර්රෝල් විස්තරයක් ජනපතිට ඉදිරිපත් කළ නොහැකි නිසා එහිමිවරුන්ට කබ්රාල් විස්තරේ කීවේය. ”එහෙමනම් කමක් නැහැ. රටට ලාභයක් වෙන්නයි අපිටත් ඕනෑ” කියා උන්වහන්සේලා දානයට වැඩියහ. මෙවැනි උපදේශක සභා ලී ක්වාන් යූලාට, මහතීර්ලාට නොතිබුණේය. කාගමේට තිබෙන බවකුත් අප අසා නැත. එහෙත් ඔවුන්ට විෂය විෂයාන්තර කරුණු කියා දීමට උපදේශකයෝ සිටියහ. ජනපති ගෝඨාභයට එවැනි අය නැත. ‘වියත් මග’ වැනි සංවිධාන ජනපතිගේ ජයග‍්‍රහණයෙන් පසු බිංදුවට වැටුණේය. ඇතැම් උපදේශකයෝ නඩුවලින් බේරීමට තනතුරු දරති. රටට හෙණ වැදුණත් ඒ ගැන ඔවුන්ට තැකීමක් නැත. ජනපති ගෝඨාභයට මේ තත්ත්වය පිළිබඳව නිසැකවම යම් හිතේ අමාරුවක් තිබිය හැකිය. මන්ද මහා වැඩකාරයකු ලෙස පුටුවට කැඳවාගෙන ආ ඔහු අද වනවිට සිරිසේන මහතාටත් වඩා සමාජ මාධ්‍ය ජාලාකරුවන්ගේ විහිලූ තහලූවලට ලක්ව සිටින නිසාය. අඩුම තරමින් ජනපති ෆේස්බුක් විහිළු නොබලා ඉඳහිට හෝ මාධ්‍යවල පළවන විෂයගත විචාරයන් අධ්‍යයනය කරනවා නම් වැදගත්ය. එවිට ඔහුට ඔහුගේ අවුල යම් පමණකට හෝ අවබෝධ විය හැකිය. රටෙහි කෘෂිකර්මාන්තය ගැන ජනපති යම් උනන්දුවක් දක්වයි. ඔහු ඊට සැබෑ උනන්දුවක් දක්වන්නේ ගම්වලදී වැඩි පිරිසක් ගොවීන් මුණ ගැසෙන නිසා විය හැකිය. එහෙත් ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස හැඳින්වුණත් ලංකාවේ ගොවීහු දුප්පතුන් ලෙස දිවි ගෙවන්නේ මන්ද යන ප‍්‍රශ්නය ජනාධිපතිවරයා විශ්ලේෂණය කරගෙන තිබෙනවාද?

මේ පිළිබඳව ආර්ථික විශ්ලේෂක, මහාචාර්ය සිරිමල් අබේරත්න ඉකුත් සන්ඬේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියා තිබුණු අතර එය අපේ‍්‍රල් 27 දිනපතා ලංකාදීපයෙහිද පළවී තිබුණි. ලිපියෙහි මාතෘකාව ”ලංකාවේ ගොවීන් දුප්පත් වන්නේ ඇයි” යන්නය. ගොවීන් විශාල පිරිසකගේ නිෂ්පාදනය කුඩා වීම ගොවීන්ගේ සමස්ත දුප්පත්කමට හේතුව බව එම ලිපිය මගින් අවධාරණය කර තිබුණි. පිරිස වැඩිවීමත් නිපදවීම අඩුවීමත් යන්න එහි අදහස විය. ලිිපියෙහි ඉදිරිපත් කර තිබුණු වැදගත් සංඛ්‍යා ලේඛනයක් වූයේ ශ‍්‍රී ලංකාවේ ගොවියකු රටේ දළ දේශීය නිෂ්පාදිතය වෙනුවෙන් උපයන මුදල සාමාන්‍යයෙන් ඇ.ඩො. 3160ක් බවය. එනම් රු. ලක්ෂ 6ක් වැනි ප‍්‍රමාණයකි. එහෙත් ඊශ‍්‍රායලයේ ගොවියකු එරට දළ දේශීය නිෂ්පාදිතය වෙනුවෙන් ඇ.ඩො. 107,523ක් උපයයි. එය රු. කෝටි දෙකකට අධික මුදලකි. ශ‍්‍රී ලංකාවේ ගොවියා මසකට උපයන මුදල ඇ.ඩො. 263ක් හෙවත් රු. 5100ක් බවද ඊශ‍්‍රායල ගොවියකු මසකට උපයන මුදල ඇ.ඩො. 8960ක් හෙවත් රු. ලක්ෂ 17ක් පමණ වෙතැයිද ලෝක බැංකු වාර්තා උපුටමින් මහාචාර්ය සිරිමල් අබේරත්න මෙම ලිපියේදී දක්වයි. ඊශ‍්‍රායලය වතුර හිඟ රටකි. ලංකාවේ වතුර පිළිබඳ එවැනි ප‍්‍රශ්නයක් නැත. එහෙත් රටේ අතිබහුතරයක් කෘෂිකර්මාන්තය නොකිරීමත් සැලසුම්සහගත කෘෂිකර්මාන්තයක් කිරීමත් මෙම දියුණුවට හේතුව බව සැලකිය හැකිය. අනෙක් අතට රැකියා විරහිත බව නිසා සෑම කෙනකුම කෘෂිකර්මාන්තය දෙසට යොමු කිරීම නුනුවණ ක‍්‍රියාවක් බවද ඉහත ලිපිය අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගම සමග පිළිසඳරට ගිය සෑම විටකම ගොවීන්ට ඇති බාධා ඉවත් කොට කෘෂිකර්මාන්තයට පහසුකම් සලසන ලෙස නිලධාරීන්ට කියයි. එහෙත් වල්සපුගල ගොවීන්ට නිසි පරිදි අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර දෙන්නේ නැත. ඔහු සැලසුම්සහගත කෘෂිකර්මාන්තයක් ලංකාවේ ක‍්‍රියාත්මක කිරීමට විශේෂඥයන්ගේ උපදෙස් පතන්නේද නැත. ගෝඨාභය මහතාට යුද කටයුතු පිළිබඳ අවබෝධයක් ඇතත්, කෘෂිකර්මය ගැන තාක්ෂණික හා ව්‍යවහාරික අවබෝධයක් නැත. වවන හැම පුද්ගලයෙක්ම රට නගන පුද්ගලයකු බවට දැක්වෙන ප‍්‍රවාදය ව්‍යාජයක් බව ගොවියාට කියා දිය යුතුව ඇත. වවන සෑම පුද්ගලයකුම රට නගන්නේ නැති බවත්, එමෙන්ම ඉන් තමන් නැගෙන්නේ නැති බවත් ගොවියාගේ දිගුකාලීන දුප්පත්කමෙන් ප‍්‍රත්‍යක්ෂ වෙයි. මේ ගැන ජනපතිගේ නිරීක්ෂණ කවරේද? තවම ඔහු එම පසුබිම නිරීක්ෂණය කර නැති නම් වහාම ඒ ගැන අවධානය යොමු කිරීම වැදගත්ය.

විපක්ෂයේ භූමිකාව

කොරෝනා ව්‍යාප්තිය දක්වාම දේවල් ආණ්ඩුවට අහිතකර ලෙස බලපානු පෙනේ. විපක්ෂයක සාමාන්‍ය ක‍්‍රමය අනුව විපාක්ෂිකයන් කටයුතු කරගෙන යන අතර ආණ්ඩුව සෑම ක‍්‍රියාවකින්ම අසමත් බව පෙන්වමින් ලකුණු රැස් කිරීම විපක්ෂයේ කාර්යය බවට පත්ව තිබේ. මේ ආකාරයට පාස්කු ප‍්‍රහාරය සහ බැංකු මගඩිය පෙන්වා පොදු ජන පෙරමුණ යහපාලන සමයේ වේගයෙන් ලකුණු රැස් කළේය. 2015දීත් මහජන වැඩසටහනක් රහිතව විපක්ෂය ලකුණු රැස් කළ අතර එහි ප‍්‍රතිඵලය වූයේ බලය ලැබුණත් පැවති ආණ්ඩුවට වඩා අලූතින් බලයට පත් ආණ්ඩුව නරක අතට යාමය.

ලංකාව යනු ජනතාව අවිචාරවත්ව ඡුන්දය ප‍්‍රකාශ කරන රටකි. දේශපාලකයන් අවිචාරවත්ව ඡන්දය ඉල්ලන රටකි. අනුර දිසානායක කෙතරම් ප‍්‍රශස්ත අදහස් ඇති නායකයකු වුවත් ජනතාව ඡන්දය නොදෙන්නේ ජනතාව මෙන්ම රටේ දේශපාලන ක‍්‍රමය පත්වී තිබෙන අවිචාරවත් බව නිසාය. මෙම අවිචාර සමයෙන් ගොඩ යාමට නම් විපක්ෂයේ සිටින යම් අවබෝධයක් හා වුවමනාවක් ඇති නායකයන් රට ඉලක්කයකට යොමු කරන වැඩසටහනක් සම්පාදනය කර එය ජනයාට ඉදිරිපත් කළ යුතුය. ජනයා පුද්ගල කේන්ද්‍රීය දේශපාලන සිතුවිල්ලෙන් මුදවන වැඩසටහනක්ද ඊට සමාන්තරවීම අත්‍යවශ්‍යය. ප‍්‍රතිපත්ති වැඩසටහනකට ඡන්දය දෙන හා එම වැඩසටහන දිනවීමට ජනතාව අතර මතයක් ඇති කළ හැකිය. සෑම විපක්ෂයක්ම හැමදාම සිදු කළේ මජර විපාක්ෂික ක‍්‍රියාවලියක නිමග්න වීමය. එනම් බලය ලබාගැනීමට පමණක් කෙටි සැලසුම් සකස් කර අනතුරුව බලය ලබා ගැනීමට පාදක කරගත් මහජන ප‍්‍රශ්න අතහැරීමය. නැතහොත් ඒවා හිඟන්නාගේ තුවාලය බවට පත්කර ගැනීමය. යහපාලන කණ්ඩායමේ මෙන්ම පොදු ජන පෙරමුණෙහිද ආසන්න ඉතිහාසය එපරිදිය. මේ ගැන වර්තමාන විපක්ෂය ගැඹුරින් සිතන බවක් නොපෙනේ. ඔවුන් අනුගතව සිටිනු පෙනෙන්නේ ආණ්ඩුව අභ්‍යන්තර ආරාවුල උත්සන්නව ගොස් එය ඇතුළතින් බිඳ වැටෙන තෙක් බලා සිටීමෙහිය. ආණ්ඩුවට දේශපාලන විවේචනය කරන අතරම විපක්ෂය ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ රට පිළිබඳ ස්වකීය අනාගත සංවර්ධන වැඩසටහනය. මේ සඳහා දුර දකින නායකයන් රටට අවශ්‍යය. දැනට සිටින පක්ෂ නායකයන්ගෙන් අනුර දිසානායකට ඒ සම්බන්ධයෙන් වැදගත් භූමිකාවක් ඉටු කළ හැකිය. ජවිපෙ ආණ්ඩුව ගැන කරන විවේචනවලට සමාන්තරව රටෙහි සියලූ ක්ෂේත‍්‍ර අරභයා ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක්ද ඉදිරිපත් කළ යුතුය. එය හුදෙකලා වැඩසටහනක් නොවී සෙසු පක්ෂවල දායකත්වයද ඊට ගත හැකි නම් එමගින් ඉලක්කයක් ඇති විපක්ෂ ක‍්‍රියාවලියක් රටෙහි ඇති කළ හැකිය.

ලංකාවේ දේශපාලන පක්ෂ පොදු වැඩසටහනකට නොපැමිණියහොත් රට නතරවනු ඇත්තේ අගාධ අඳුරක බව දේශපාලන නායකයන් කල්පනා කළ යුතුව ඇත. දේශපාලන පක්ෂ මිස මේ මැදිහත්වීම කළ හැකි වෙනත් සංවිධාන ව්‍යුහයක් රටට නැත. දේශපාලන ව්‍යාපාරයක් නොවන සංවිධානයකට එවැනි ශක්‍යතාවක් නොමැති අතර එවැනි සංවිධානවලට සමාජ ප‍්‍රතිසංස්කරණ විෂයෙහි දේශපාලන පක්ෂවලට දායක විය හැකිය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය දක්වා දේවල් ඊට අදාළය. නිදසුනක් ලෙස පුනරුදය ව්‍යාපාරය ඉදිරිපත් කළ මහජන ව්‍යවස්ථාව මෙහිදී පළල් කතිකාවතකට භාජනය කළ හැකිය. මේ ගැන පැතිරුණු සාකච්ඡුාවක් ගොඩනැගීමට දැනට ජනප‍්‍රසාදය අහිමි කර නොගත් නායකයන් මීළඟ ජනපතිවීම වැනි සිහිනවලින් මිදී ක‍්‍රියා කළ යුතුව ඇත.